වෙනුර වර්ධිත එදිරිසිංහ (Venura Warditha Edirisingha)

 



නාත්තන්ඩිය,මහවැව පිහිටි ගොඩවෙල බෙහෙත් සාප්පුවේ වෛද්‍යාචාර්යය තිලකරත්න එදිරිසිංහ මහතාට දාව ඥාණවති රාජකරුණා මහත්මියගේ කුසින් 1966 සැප්තැම්බර් 08 දින උපත ලැබූ පුත්‍රයාට නාමය තැබුවේ වෙනුර වර්ධිත එදිරිසිංහ යනුවෙනි.එම නාමය පසුකාලීනව ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතියේ යුග යුග කියවෙන නාමයක් වේයැයි කිසිදා ඔවුන් දෙපල නොසිතන්නට ඇත.

එක් සහෝදරියකට හා සහෝදරයෙකුට වැඩිමහල් සොහොයුරාව උපන් වෙනුර වර්ධිත එදිරිසිංහ ඉගෙනීමට දස්කම් දැක්වූවෙක් විය.මුදරන්කුලිය විදුහලෙන් අධ්‍යාපනය ලැබූ වෙනුර පලමු වසර සමත් වූ පසු ඉගෙනීමට ඇති දක්ශතාවය නිසාම ඉහල අධ්‍යාපන සුදුසුකම් මත තෙවන ශ්‍රේණියට සමත් වූ අතර තෙවන ශ්‍රේණියෙහි මාස 2ක් පමණක් රැදි සිටි හෙතෙම සිව්වන ශ්‍රේණියට සමත් විය.පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයෙන් විභාග අංක Z- 366 යටතේ උසස් ලෙස සමත් වූ වෙනුර 1976 දී මාදම්පේ මධ්‍ය විදුහලට ඇතුලත්වූ වෙනුර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සම්මාන 8 ක් ගත් අතර ඔහු වයඹ පලාත් පලමු හා දිවයිනේ සිව්වන ස්ථානයත් ලබා ගනිමින් කොළඹ රාජකීය විදුහලට ඇතුලත් විය.

රාජකීය විදුහල ඔහුගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යක් විය.කොළඹ රාජකීය විදුහලේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ වෙනුර ගුරුවරුන්ගේ හා මිතුරන්ගේ ආකර්ෂණය ලබා ගනිමින් ඉගෙනුම ලැබූ අතර 1984 වසරේ රාජකීය විදුහලේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී පාසලේ විශිෂ්ඨතම ශිෂ්‍යයෙකු ලෙස අනුස්මරණ ත්‍යාග 5ක් ලබා ගත්තේය.එසේම ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්ද විය.ඔහු රාජකීය විදුහල වෙනුවෙන් තැබූ සමහරක් ක්‍රීඩා වාර්තා අද වන තුරුත් ලියවී ඇත්තේ ඔහුගේ නාමයට ය.

එසේම ඔහු දක්ෂ කථිකයෙකු සේම ලේඛකයෙකුද විය.ඔහු රාජකීය විදුහලේ සිටින සමයේ ජේෂ්ඨ අංශයේ කලා තරගයේදී කෙටි කථා හා ගීත රචනා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් අතර කාව්‍ය රචනා තරගයේදී දෙවන ස්ථානය ලබා ගත්තේය.එහිදි ඔහු විසින් රචිත “කළු වලාකුලේ” කාව්‍ය රචනාව ඔහු කාව්‍යත්වයට කෙතරම් දක්ෂ දැයි ඔප්පු කරයි.

පිපාසයෙන් පීඩිත වී -මුව පොව්වන් මිරිඟු සොයා,

දිවයනු දකිනා ඔබ ඉන් - සතුටක් සොයනවාදෝ...,

පරවෙන මල් කැකුළු බලා - මැළැවුණු තුරුවැල් ගයනා,

දුක් ගීතය කෙලෙසෙකවත් ඔබට ඇසෙනවදෝ,

කළු වලාකුලේ..........”

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි වෙනුර වර්ධිත එදිරිසිංහ දිවයිනේ ප්‍රථමයා වී කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණි.

1977 වසරේ බලයේ සිටි ජේ.ආර්.ජයවර්ධන රජය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමඟ අධ්‍යාපනයත් පෞද්ගලීකරණය කිරීමට සූදානම් විය.1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 25 වන ව්‍යවස්ථාවට අනුකූලව විශේෂ විධි විධානවලට අනුකූලව රාගම තලගොල්ල රජයේ රෝහල හා එයට අයත් හෙක්ටයාර 14ක් පමණ වූ එහි ඉඩම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ලබා දුන් අතර එයට ඇතුලත් කර ගත්තේ වෛද්‍ය පීඨ ඇතුල්වීමේ විභාගය අසමත් වූවන් ය.1981 සැප්තැම්බර් 09 දා විවෘත කල එයට ඇතුලත් වූ පලමු කණ්ඩායමේ එක් සිසුවෙකුගෙන් රු.69,000ක් ගත් අතර සිව්වන කණ්ඩායමෙන් රු.125,000ක්ද ලබා ගත්තේය.මෙම මුදල එකලට අනුව විශාල මුදලක් විය.

මෙයට විරුද්ධව නැගී සිටි අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු ශිෂ්‍ය සංගම් මුලදී උද්ඝෝෂණය කලේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට කොළඹ වෛද්‍ය පීඨ උපාධිය ලබා දීමට එරෙහිව වූවත් 1987 මැයි මස සිට දින 29ක් ක්‍රියාත්මක වූ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය තුළින් නව පන්නරයක් ලැබූ ශිෂ්‍ය සංගම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය උපාධියට පමණක් නොව සමස්ථ නිදහස් අධ්‍යාපනයටම ඉදිරියේදී තර්ජනයක් ලෙස හඳුනාගෙන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය යටතේ සංවිධානය වී

පෞද්ගලික විශ්ව විද්‍යාල ජනසතු කරනු

යන පාඨය යටතේ නව මඟක් ඔස්සේ අරගල අරඹන ලදී. එහිදී එම අරගල සඳහා ප්‍රධාන නායකත්වයක් ගනු ලැබුවේ 1988 මැයි මස සිට 1989 මැයි දක්වා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු හා 1989 මැයි සිට එම වසරේ ඔක්තෝම්බර් මස ඝාතනය වන තෙක් ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේත් කැදවුම්කරු වූත් වෙනුර වර්ධිත එදිරිසිංහ යි.

----------------------------------------------------------------------------------------------------

 

දිනය:-1989 ඔක්තෝම්බර් 20

රජයේ අදිසි රහස් ඝාතන හස්තය දින ගණනක සිට තමා පසුපස හබා එන බව වෙනුරට වැටහී තිබුණි.එනිසා එදින තම නිවස බලා ගිය වෙනුර තම මව,පියා ඇතුළු සිය පවුලේ සියළු දෙනා වෑන් රියකට නංවාගෙන හලාවත ප්‍රදේශයේ නිවසකට රැගෙන ගියේ ආරක්ෂාවට යැයි පවසමිනි.එසේ ඔවුන් එහි නතර කල ඔහු තම මිතුරෙකුගේ නිවසේ රැය පහන්කොට පසු දින මිතුරාත් සමඟ හලාවත දුම්රිය පොළට පැමිණියේ නැවත කොළඹ ඒමටය.එවිට ඔහු නොදත් දෙයක් සිදුවිය.

රජයේ ඝාතන ඇසකට ඔහු යොමු විය.ඒ බව දැනගත් රජයේ ඝාතන ප්‍රධානීන් ඔහුගේ මරණ වරේන්තුව නිකුත් කලේය.වෙනුර කොළඹට පැමිණ ප්‍රවීණ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මහතාගේ කොල්ලුපිටියේ නිවසට ගිය අතර රජයේ අදිසි රහස් ඝාතන හස්තය ඔහු ඉන් පිටවී යන තෙක් බලා සිටියේ ය.

වෙනුර රිචඩ් ද සොයිසාගේ මහතාගේ කොල්ලුපිටියේ නිවසෙන් පිට වී බම්බලපිටිය දෙසට ඇවිද ගියේය.ඔහු පසුපස ලුහුබැදි රජයේ අදිසි රහස් ඝාතන හස්තය බම්බලපිටියේදී ඔහු පැහැර ගන්නා ලදී.ඒ වෙනුර වර්ධිත එදිරිසිංහ ජීවත් සිටිනා දුටු අවසන් අවස්ථාවයි.

පසුව ඔහු රේස්ක්‍රොස් හි පිහිටි වධකාගාරයටත්,හෙන්ද්‍රි පේදිරිස් පිටියේ පිහිටි වධකාගරයත් රැගෙන ගොස් නොයෙක් වධ බන්ධනයන්ට ලක් කලද රජයේ අළුගෝසුවන්ට කිසිවක් දැනගත නොහැකි විය.අවසන වෙනුරගේ දෑතේ ඇඟිලිද කපා දැමීය.එහි වේදනාවද විදිමින් වධකාගර බිත්තියේ තම ඇඟිලි පෑනක් කොට ගනිමින් වෙනුර මෙම වාක්‍ය ඛණ්ඩය ලියනා ලදී.

මතු පරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු.

නිදහස් අධ්‍යාපනය දිනේවා.

යන්න ඒ වාක්‍ය ඛණ්ඩයයි.පසුව එම වාක්‍ය ඛණ්ඩය විශ්ව විද්‍යාල සිසුන්ගේ බයිබලය විය. විශ්ව විද්‍යාල සිසුන්ගේ මුව මුව කියවුණි. එවන් වූ නීර්භීත කමක් දක්වමින් ඒ අසහාය ශිෂ්‍ය නියමුවා 1989 ඔක්තෝම්බර් 22 දා අවසන් සුසුම් හෙළනා ලදී.

ඔහුගේ ඝාතනයට සමගාමීව සිදුවූ තවත් සිසු ඝාතන රැල්ලත් සමඟ ආරම්භ වූ ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ මාලාවත් සමඟ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරමින් විශ්වවිද්‍යාල පද්ධතියට අලුතින් වෛද්‍ය පීඨයක් එක් කරමින් කැළණි විශ්ව විද්‍යාලයට අනුබද්ධව රාගම වෛද්‍ය පීඨය ගොඩ නැගීය.

 වෙනුර වර්ධිත එදිරිසිංහ මියගොස් වසර 31 ක් පිරෙන මෙම වසර වන විටත් ඔහුගේ නාමය අමරණියය.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පිදු ඒ අසහාය සිසු විරුවාගේ මව වන ඥාණවති රාජකරුණා මෑණියන් අදටද ශිෂ්‍ය වීරයන් සිහි කරනා උත්සවයකදී දැක ගත හැක.

 

වෙනුරගේ සමකාලීනයන් ඔහුව හදුන්වන්නේ හැමිලට් නාට්‍යයේ එන දෙබසකින්‍ ය.

ඔහු මිනිස් ගුණයෙන් පිරි මිනිසෙකි.එවැන්නෙකු කිසි දිනෙක නොදිටිමි.”

ඔහු සුන්දර ගම් පළාතක ඉපිද,නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා,එහිද උපරිම කඩුල්ල වූ විශ්ව විද්‍යාලයට පැමිණ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ම තම දිවිය කැපකොට,ඒ උදෙසාම තම දිවිය පුද කලේය.ඔහු සැබැවින්ම මිනිස් ගුණයෙන් පිරි මිනිසෙකි.

“අපි යන්නේ කොයි පාරේ වෙනුර-ත්‍රිමා ගිය පාරේ”

වෙනුර ගැන ලිවිය යුතු තවත් කාරණයක් වන්නේ ඔහු, වර්ථමානයේ සිසු විරුවෙක්යැයි සිතා සිටින පෙරටුගාමීන්ට කඩේ යන, ඔවුන්ගේ දේශපාලන උවමනා එපා කම් ඉෂ්ඨ කරන කටමැත දොඩවන කැදවුම්කරු මෙන් නොව,  ජවිපෙ ශිෂ්‍ය ව්‍යාපාරයේ සිටියද ඔවුන්ගේ අනවශ්‍ය තීරණයන්ට නැගී සිටි කොන්ද පන ඇති නියම සිසු විරුවෙකු වූ  බැවිනි.

සටහන- කසුන් සපුමොහොට්ටි


Post a Comment

0 Comments