කාලෙකට පස්සේ ගාල්ලට ආවේ අද.ගාල්ල ඇත්තටම ටිකක් නෙවේ,ගොඩක් වෙනස් වෙලා.මම කාර් එක කුණු ඇල පාරට හැරෙව්වේ මහින්දෙට ගිහිල්ලා එන්න.මහින්දේ,මගේ ජීවිතේ කොයිතරම් වටිනවාද කියලා උගන්නපු ඉස්කෝලේ.වුඩ්වඩ් මාවතට හරවලා ඉස්කෝලේ ඉස්සරහින් නවත්තලා ගේට්ටුවෙන් ඇතුල් වෙලා ඉස්කෝලේ ඇවිදලා මිස්ලා සර්ලා එක්ක කතා කරලා ආපහු ආවේ ගෙදර යන්න.ඒත් මට එක සැරේටම ඔහුව මතක් වුනා.ඒ එක්කම ඇයත්.මම ගේට්ටුවට දන්වලා කා එක මෙතනින් ටිකක් දාලා යනවා කියලා වුඩ්වඩ් මාවත දිගේ අටපට්ටම් විහාරේ පහු කරගෙන කෝච්චි පාර පැත්තට ගියා.අදත් ඒ දවස් වල වගේමයි.ඇහැල මල් පිපිලා වැටිලා අටපට්ටම් විහාරේ පඩි පෙල කහ ඇතිරිල්ලක් දාලා වගේ ලස්සනයි.නිව් තිග්මා එකේ පන්තියක් වගේ.සර්ලගේ වාහන ටික නවත්තලා තියෙනවා.ඔහොම මම එන කොට සුජිත් සර්ගේ පන්තියත් පහු වුණා.මම හන්දියට එන කොටම කෝච්චියක් හූ කියාගෙන එතනින් ගියා.ඒ හූ හඩත් එක්ක මගේ මතකේ අතීතයට ගියා.
මම උසස් පෙල කලේ ගාල්ලේ ප්‍රමුඛ පෙලේ බෞද්ධ විද්‍යාලය වන ගාල්ල මහින්ද විද්‍යාලයෙන්.මමත් ඒ කාලේ ඉතිං රැල්ලට නිසා ඉංග්‍රීසී පන්තියකට ගියා.සයන්ස් සෙන්ටර් එකේ, කමල් සහබන්දු සර්ගේ.සර්ගේ වැරැද්දක් නෙවේ.අපේ වැරැද්ද නිසා හරියට ඉංග්‍රීසි ඉගෙනගන්න බැරි වුනාට මාරම යාලුවෝ පිරිසක් හදා ගන්න පුළුවන් වුනා.එයින් එක්කෙනෙක් තමයි සසංක කියන්නේ.
සසංක කියන්නේ ටිකක් ගාල්ලට ටිකක් ලඟ කෙනෙක්.හබරාදුව තමයි සසංකගේ ගෙවල්.මමත් හබරාදුව හරහා එන නිසා අපි දෙන්නා ඉක්මනින්ම යාලුවෝ වුණා.සසංකයා ඉස්කෝලේ ගියේ ගාල්ල නගරයේම තියෙන පාසලකට.කොල්ලා දක්ෂයා.මොකද නැත්නම් ලේසියෙන් පහසු එකෙක්ට කමල් සර්ගේ විභාගෙන් ලොකු ලකුණක් අරන් ස්ටේජ් නගින්න බෑ.ඒකට ටැලන්ට් එක වගේම අනිවා වාසනාවත් බලපාන ඕනේ.ඌට ඔය කිව්ව දෙකම තිබ්බා.මොකද ඌට තමයි පන්තියේ ලස්සනම කෙල්ලෝ දහ දෙනා අතර හිටපු චලනිගේ කැමැත්ත තිබ්බේ.
චලනිත් ලස්සන වගේම දක්ෂ කෙල්ලෙක්.ඒකිත් අනිවා ස්ටේජ් නඟින එක නඟිනවා කමල් සර්ගේ පන්තියේ.ඒකි බද්දෙගම.ස්කෝලේ ගියේ ඒ පැත්තේ ජනප්‍රිය කාන්තා විද්‍යාලයකට.අපේ එකත් හැන්ඩියා නිසා වැඩිය පස්සෙන් යන්න ඕන වුනේ නෑ සසංකට, කෙල්ල කෙලින්ම හා කියුවා.අන්න එදා සසංකයා අපේ කොල්ලෝ ටිකට සුපිරි පාටියක් දුන්නා සහන එක ගාවින් බස්සගෙන.සසංක මාර සතුටෙන් හිටියේ එදා ඉදන්.
ඔහොම කාලය ගියා.කෙල්ලයි කොල්ලයි පන්තිය ඉවර වෙලා පෙම් කුරුලෝ දෙන්න වගේ එක කුඩේ යටින් ගාල්ල බස් ස්ටෑන්ඩ් එකට යනකම් යනවා.සමහර දවස් වලට කළුපාලම පැත්තෙන් කුණු ඇල පාර දිගේ හරි, නැත්නම් බන්ධනාගාරේ පැත්තෙන් හරි.එහෙම ඇවිත් චලනි බද්දෙගම බස් එකට යනවා, සසංකයා අපි එක්ක දික්කුඹුර බස් එකේ හරි, කතළුව හරහා එකේ හරි යනවා.ඔහොම කාලයක් මේ කතාව ලස්සනට ගලා ගෙන ගියා.
ඒත් දවසක් හදිසියේම චලනි පන්ති ආවේ නෑ.එදා මම හිටියේ සසංකයට වඩා පිටිපස්සෙන්.එදා මම ස්ටෑන්ඩ් එකට යන ගමන් සසංකගෙන් ඒ ගැන ඇහුවා. “මොකද බං අද චලනි ආවේ නැත්තේ”
“පට්ට කේස් එකක් බං.අපි දවසක් එකට යනවා ඒකිලාගේ නැන්දා කෙනෙක් දැකලා ඒකිලාගේ ගෙදරට ගිහින් කියලා.”
“නෑහ්....අඩෝ ඉතින් ගහලද ඒකිට?”
“ඔව් බං.ඒකි ඊයේ රෑ අඩ අඩ කියුවේ.පට්ට දුකයි බං”
“හරි මචං.උබ ඕකට අවුල් ගන්න එපා.ඕවා කාලය විසින් විසඳාවි බං.”
“අනේ මන්දා බං.මොනවා වෙයිද කියලා.බලන් ඉමුකෝ”
කොල්ලා ඉන්නේ මාර දුකෙන් බව මට තේරුනා.ඒත් සසංකයා ඒ දුක පෙන්නුවේ නෑ.වෙනදා වගේම කාත් එක්කත් කතා කරලා වෙනදා ආතල් එක අරන් බස් එකේ ගියා.
එදා ගෙදර ගියපු මට හිතා ගන්න බැරි විදිහට උණ ගත්තා.බලද්දි ඩෙංගු උණ.මාව වහාම සමූපකාර ඉස්පිරිතාලෙට ඇඩ්මීට් කරා.සතියක් ගියා මට සුව වෙන්න.ඊලඟ සතියේත් ඉස්පිරිතාලෙම ඉන්න කියුවා කෝකටත්.ඔය කාලේ අතර තුර සසංක මාව බලන් දෙපාරක්ම කොල්ලෝ සෙට් එකත් එක්ක ආවත් කතා කරන්න බැරි වුනා.එදා බදාදා දවසක්.කමල් සර්ගේ පන්ති ඇරිලා සසංක තනියම ආවා මම බලන්න.එදාත් හරිම අසරණ පෙනුමක් තිබුණේ උගේ මූණේ.මම ඒ වෙනස දැකලා ඇහුවා
“මොකෝ බං මූණ එල්ල ගෙන”
“නෑ බං.පොඩි අවුලක් .”
“මොකෝ සීන් එක?”
“නෑ බං,චලනිගේ තාත්තා මට කතා කරලා.මම ඒ වෙලාවේ නානගමන් හිටියේ.ඒක ආන්ස්වර් කරේ තාත්තා.ඒකිලාගේ තාත්තා සේරම කියලා බං.කුණු හරුපෙනුත් බැනලා.”
“අඩෝ නෑ....”
“ඔව් බං.අපේ තාත්තත් දන්නවනේ ඉතින්, කියවලා.මම නාලා ආපු පාර ‘චටාස්’ ගෑවා මතකයි බං.ඊට පස්සේ මොනවද මොනවද කියෙව්වා ඇහුන්නේ නෑ කන ‘කීන්’ ගාපු නිසා.අපේ අම්මයි මල්ලියි දෙන්නම ඇවිල්ලා තෙලක් ගෑවම තමයි ආපහු කන ටික ටික ඇහෙන්න ගත්තේ.”
“අඩෝ දැන් මොකෝ තත්ත්වේ?”
“කනේද?”
“කනේයි?චලනිගෙයි?දෙකේම”
“අනේ මන්දා බං.අපි දෙන්න තීරණයකට එන්න කියලා හිතන් ඉන්නේ.”
“මොකක්ද?”
“නෑ මචං.මේ...”
“ආහ්!මේ පුතානේ.ඉතින් කොහොමද?”අහගෙන අපේ මාමා ආවා.
“අවුලක් නෑ මාමේ.මං මේ මූ පොඩ්ඩක් බලලා යන්න ආවේ.දැන් යන්න කියලා නැත්නම් බස් එක ගන්න වෙන්නේ නෑ.මං යනවා මචං එහෙනම්.මං යනවා මාමේ.”
“හරි මචං.බුදු සරණයි.ගොන් වැඩ එහෙම කරන්න එපා.”
“හරි හරි මචං” කියාගෙන සසංක ඔහුගේ පොදු හිනාව දාගෙන මට අත වනාගෙන ගියා.මම කවදාවත් හිතුවේ නෑ මම සසංක දකින අන්තිම දවස වෙයි කියලා.
දවස් කිහිපයක් ගියා.මම ටිකට් කපලා ආවේ ඊයේ දවල්.මට එදා දවස හොදට මතකයි.සසංග මාව හම්බුවෙන්න ඇවිත් හරියටම සතියයි.දවල් එකට විතර මගේ හිතට අමුත්තක් දැනුනා.එක සැරේටම සසංගයි චලනියි දෙන්නම මතක් වුනා.ඒ වෙනකොට ගෙදර සිරස දාලා තිබ්බේ.මම ෆිල්ම් එකක් බලන ගමන්.දවල් දෙකේ live at 55 පටන් ගත්තා.
අද දින දහවල් ගාල්ල දුම්රිය පොල ආසනයේදී යුවලක් දුම්රියට පැන සිය දිවි නසා ගෙන තිබෙනවා.වැඩිදුරටත් සොයා බැලීමේදී තරුණයා ගාල්ල හබරාදුව ප්‍රදේශයේ පදිංචි අයෙකු හා තරුණිය ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචිකාරයෙකු බවත් සොයාගෙන තිබෙනවා.මෙසේ සියදිවි නසා ගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධයක් බවයි මූලික විමර්ශණ වලදී අණාවරනය වී ඇත්තේ.
මම ඉක්මනට අම්මාට කතා කර මගේ දුරකථනය ඇගේ බාරයෙන් ඉල්ලා ගත්තේ හදිසි බව පවසමින්.දුරකථනය ඔන් වෙනවාත් සමඟම සසංකගෙන් මැසේජ් කිහිපයක් පැමින ඇති බව දක්නට ලැබුනී.
මචං කසුන්,මමයි චලනියි තීරණයක් ගත්තා.අපිට මේ සංසාරේ හමුවෙන්න අපේ දෙමාපියන් ඉඩ දෙන්නේ නෑ බං.ඒක නිසා අපි දෙන්නා එකටම මේ ලෝකෙන් යනවා.එතකොට අපිට ලබන ආත්මේදී එක් වෙන්න පුලුවන් වේවි.උබට ස්තූතියි බං මගේ යාලුවෙක් වෙලා හිටියට.මම අම්මලාට හොරෙන් ගෙදරින් ආවා.දැන් ඉන්නේ දෙවටේ.අම්මලාට ලියුමක් තියලා ආවේ.චලනිත් එහෙම කරලා එනවා කියුවා.මම මේ බව කියන්නේ උබටයි, අවිශ්කටයි විතරයි.අපි දෙන්නට දුකක් නෑ බං.එහෙනම් මචං අපි දෙන්නා යනවා.කාවින්ද්‍යාව මතක් කරා කියන්න.
මීට,
සසංක
මම අනිත් පැත්තට සසංකට කෝල් කරා.ෆෝන් එක වැඩ නෑ.මම මාමට කෝල් කරා.මොකද එයා වැඩ කරන්නේ ගාල්ල බන්ධනාගාරේ.එයා ගිහින් ස්ටේෂන් එකෙන් අහලා බැලුවා.ඒක ඇත්තලු.ඒ වෙනකොටත් සසංකගේ,චලනිගේ අම්මලා තාත්තලා එතනට ඇවිත් එක ගාලගෝට්ටියක්ලු.මට ඇත්තටම එදා ඇඩුනා.
මම සසංකගේ මල ගෙදර ගියා.ඒවගේම චලනිගෙත්.සසංකගේ පෙට්ටිය උස්සන්න අපිත් එකතු වුනා.අපිට ඇත්තටම ඇඩුනා ඒ වෙලාවේ.මොකද සසංක කියන්නේ ඇත්තටම හොද කොල්ලෙක්.මම එතනින් ආවේ අන්තිම පස් පිඩැල්ලත් දානවා බලන් ඉදලා.චලනිගේ මෘත දේහයත් එයාලගේ පැත්තෙන්ම වල දැම්මා.මම එදායින් පස්සේ කමල් සර්ගේ පන්ති යෑම නැවැත්තුවා.මොකද මට සසංකයි,චලනියි කුඩේ යටින් යනවා මැවි මැවි පෙනෙන්න ගත්තා.
හූ..............හූ.............
මතක සාගරේ ගිලිලා හිටපු මම මේ ලෝකයට ආවේ ඒ සද්දෙන්. මම හිටියේ කළු පාලම උඩ.මම වෙලාව බැලුවා.වෙලාව එක පහු වෙලා ටික වෙලාවක්.මේ කොච්චිය තමයි සසංක,චලනි ආදර කතාවේ ඉරණම විසදුවේ.ඒත් ඒ ගැන කිසි දෙයක් නොදන්නා කෙනෙක් වගේ කොළඹ දෙසට ඇදෙන කෝච්චිය දිහා මම බලන් හිටියා.මම කළු පාලම බැහැලා ත්‍රී වීල් එකක් බැලුවා.වෙලාවට එකක් තිබ්බා.ඒකට නැඟලා
“අයියේ,මහින්දේ ගාවට යන් කියුවා.”
“හරි මහත්තයා යමු.” කියලා ත්‍රීවිල් එක ස්ටාට් කරලා සෙට් එක දාගත්තා.සෙට් එකෙන් මෙන්න මේ ගීතය මට ඇහුනා.
“පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
පැතුමද සුනු විසුනුව වැටුනේ...
කාටද රිදුනේ...කවුරුද හැඩුවේ...
දුම්රිය මොහොතක් නතර වුනේ.........”
සටහන - කසුන් සපුමොහොට්ටි
(පුද්ගල නාම,සිද්ධීන් සියල්ල ප්‍රබන්ධයකි.ස්ථාන නාම පමණක් සත්‍ය වේ.)
0 Comments