මං දලදා මාලිගාවේ ඉදන් එලියට බැස්සා.අවුරුදු ගානකට පස්සේ මේ ආවේ.ඔස්ට්‍රේලියාවේ ඩිග්‍රී එකට ගියාට ජොබ් එකත් එහෙන්ම හොයා ගත්ත නිසා අවුරුදු 6ක් විතර රටෙන් දුරස් වෙලා හිටපු නිසා ඉස්සර පුරුදු නුවර පාරවල් දැන් නුපුරුදු වෙලා.
මාලිගාවෙන් එලියට බහිද්දි හවස් වෙලා තිබුනත් ලොකු මන්දාරමක් තිබුනා.මටත් නොදැනී මගේ හිත ඒ දවස් හොයාගෙන දිව්වා.මමත් ඒ මතක පාර දිගේ යන්න කාර් එකෙන් කුඩේ අරන් හෙමින් සැරේ 'මිරකල්' එක පැත්තට ගියා.
මම ගියේ මහනුවර ධර්මරාජෙට.මම උසස් පෙලට කලේ Art.සිංහල කරන්න තිබ්බ කැමැත්ත නිසා නන්දන වීරරත්න සර්ගේ පන්තියට ගියේ.මම මුලින්ම එයා දැක්කේ මිරකල් එකේදී.යාලුවෝ එක්ක හිනා වෙවී ඉන්න එයා දැක්කම හිතට අමුත්තක් දැනුනත් ඒ මොකක්ද කියලා දැනන් හිටියේ නෑ.මුලින්ම මහාමායා එකේ කියල හිතුවත් එයා පුෂ්පදානේ කියලා දැක්කෙ පස්සේ.මෙහෙම බලන් ඉදිද්දී එක සැරේට එයා මං දිහා බලලා හීන් හිනාවක් දැම්මා.වෙලාවට කොල්ලෝ සෙට් එක දැක්කේ නැත්ත,නැත්නම් වස නෝන්ඩිය.
පන්තිය හවසට ඇරුනට පස්සේ කොල්ලො සෙට් එක පන්සල් පාර දිගේ ඇවිත්,මල් කඩ ටික පහු කරගෙන ,වැව රවුමෙන් HNB එක ලඟට ඇවිත්,කහ ඉර පැනලා රාජසිංහ පාරේ KCC එකට පිටිපස්සෙන් පැනිදෙණිය බස් ගහන බෝධිය ලඟට එනවා ගෙදර යන්න.එයත් එයාගේ යාලුවෝ ටිකත් එක්ක ඒ පාරෙම එනවා පිලිමතලාව බස් නවත්තන්න තැනට.වෙනස තියෙන්නේ එයාලා යන්නේ ඉස්සරහින්,අපි යන්නේ එයාලාට පිටිපස්සෙන්.
මෙහෙම කාලයක් ගියත් අපි අතරේ තිබුනේ හිනාවක් විතරයි.නුවර අහස හරිම පුදුමාකාරයි.කොයි වෙලාවේ කියන්න බෑ වැස්සක් එන්නේ.දවසක් පන්ති ඇරෙද්දි වැහි මන්දාරමක් තිබුනත් වැස්සක් වහීවි කියලා හිතුවේ නෑ.ඒත් මල් කඩ ටික පහු කරද්දි හීන් පොදක් පටන් ගත්තා.ඉස්සරහින් ගියපු කෙල්ලෝ ටික කුඩ ඉහලා ගත්තා ඉක්මනට.එයත් දම් පාටට හුරු කුඩය ඉහල ගත්තා.වැව රවුම දිගේ ගිහින් රාජසිංහ පාරට එන කොටම හීන් පොද තද කරන්න ගත්තා.කොල්ලො ටික දුවලා දුවලා යද්දි මමත් එයාගේ කුඩේ යටට ඉක්මනට දුවලා ගියේ ඉබේම.
මම ගිහින් කුඩේ අල්ලගත්ත ගමන් එයා ගැස්සිලා ගියා.හැමදාම වගේ හීන් හිනාවකින් සංග්‍රහ කරපු ඇය කුඩේ යටින් මම එක්කන් ගියා.තනියම ගියත් තෙමෙන පොඩි කුඩේ යටින් ඇයත් එක්ක ඇයගේ ලගින්ම නොතෙමී තෙමෙමින් ගියා.බෝධිය ලඟදී මම ඇයගෙන් මිදිලා දුවලා ගිහින් බස් එකෙට නැග්ගා.ඇය ඇගේ බස් එකට නැග්ගා.
මෙහෙම අවුරුදු දෙකක් අප්‍රකාශිත ප්‍රේමයක් හිතේ තියාගෙන අපි පන්ති ගියා.වැස්ස දවසට ඇය මටම ඇයගේ කුඩය වෙන්කරලා තිබුනා වගේ හිතුනේ වෙන කවුරු කුඩේ යටින් යන්නට ආවත් ඇය එයට ඉඩ නොදුන් නිසයි.
මම ඇයව අන්තිමට දැක්කේ උසස් පෙල පන්තියේ අන්තිම දවසේ.එදත් මන්දාරමේ වැහි පොදක් යද්දි ඇයත් එක්ක මම පන්ති ඉවර වෙලා ආවා කුඩේ යටින්.එදා ඇයගෙන් මිදිලා යන්නට සැරසෙද්දි ඇය අවුරුදු දෙකේදීම මට කතා කල ප්‍රථම හා අවසන් වචන ටික කිව්වා.
"හොදින්,exam එකට ලියන්න"
"ඔයත්"
මම කිව්වා.
මම ඇයගෙන් මිදිලා බස් එකට දිව්වා.ඒ තමයි මම ඇයව දැක්ක අවසන් අවස්ථාව.පස්සේ කාලෙක මට ආරංචි වුනා ඇය කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වුන බව.
මටත් නොදැනීම වැටිච්ච වැස්ස එක්ක මමත් බස් නවත්වන්න තැනට ඇවිත්.ඒ මතක පාර දිගේම.නැවතත් කාර් එක ලඟට එන්න සැරසෙන කොට අසල තිබ්බ පොඩි කඩේක රේඩියෝවේ මෙන්න මෙහෙම සින්දුවක් ගියා.
"මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්...."
...කසුන් සපුමොහොට්ටි...
(රූපය අන්තර්ජාලයෙනි)
(ස්තුතිය-මාගේ සහෝදර මිතුරිය කවීෂාට )
0 Comments