සොදුරිය මට නොකියාම ගියා


ගාල්ල හුඟක් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු තැනක්.ගාල්ල වැස්සට ලස්සනයි ලස්සන විදිහට බලන කෙනෙක්ට.මමත් කාලයක් ගාල්ලේ වැස්ස ලස්සනට වින්ද කෙනෙක්.ඒත් ඒ වෙනම කාලෙක,එයත් එක්ක.ඒත් එයා අද මම දාලා ගිහින්.මම මේ කල්පනා කරන්නේ ගාල්ලේ බස් ස්ටේෂන් එක උඩ තට්ටුවේ සරසවිය ලඟ තියෙන විවේක ස්ථානයේ ඉදන් වැස්ස දිහා බලන්.මම එතන ඉදන් මගේ ලස්සන අතීතයට හිත අරන් ගියා.

මම සාමාන්ය පෙල උඩින්ම පාස් වෙලා කලා විෂය ධාරාවෙන් උසස් පෙළ කරන්න මහින්දෙට ඇතුලත් වුනා.මගේ ජීවිතේ වෙනස් කරපු කෙනා මට හම්බුවෙන්නේ ගාල්ලේ සිප්රෝ එකේදී.ගාල්ලේ කොල්ලෝ කෙල්ලොන්ට සිංහල පොවන ගුරුතුමා වන සුජිත් සර්ගේ පන්තියේදී.එයා ගාල්ලේ කොටුව ඇතුලේ තියෙන රතු ටයි දාන ඉස්කෝලේ කෙනෙක්.එයාගේ නම දැන ගන්න විතරක් මමයි මගේ යාලුවා මතීෂයි සතියක් විතර පස්සෙන් ගියා.බොහෝම අමාරුවෙන් එයාගේ නම හොයා ගත්තේ.එයා සුජිත්මා,ඉන්නේ පිලානේ.මේ තොරතුරු දැනගත්තෙත් බොහෝම අමාරුවෙන් එයාගේ යාලුවෙක්ගේ මාර්ගයෙන්.කොහොමින් කොහොම හරි කෙල්ලගේ නම දැනගත්තා කියමු.කොහොමද අප්පා ඒකිට මේ හිතේ තියෙන දේ කියන්නේ.දවසක් මමයි මතිෂයයි නැග්ගා ඉමදුව බස් එකට එයාගේ පිටිපස්සෙන්ම.පුදුමෙට වගේ එයාගේ ෂීට් එකේ ජනේලේ ගාව ෂීට් එකේ ඉඩක් තිබුණා.මම මතිෂයට කියලා ගියා එතෙන්ට.
“Excuse me, මෙතන කවුරුහරි ඉන්නවද?”
“නැ...ඔව්...නැහැ...”
“හරියට කියන්න ලමයෝ ඉන්නවද නැද්ද?”
“කැමතිනම් වාඩි වෙන්න පුලුවන්.”
“හරි.තැන්ක්ස්.එහාට වෙන්න පුලුවන්ද?මට වාඩි වෙන්න.”
“ආහ්...හරි...හරි...ටිකක් ඉන්න.”
“තැන්ක්ස්.”
“වෙල්කම්”
ඇය ජනේලයෙන් එලිය බලා ගත්තා.දැන් මොකක්ද කරන්නේ යකෝ.ඒකි එක්ක කතා කරන්නත් ඕනි.ම්ම්ම්ම්ම් මොකක්ද කරන්නේ කියලා කල්පනා කරන කොට,
“වඩේ....වඩේ...සීයට පහයි...සීයට පහයි....” වඩේ විකුණන කෙනා නැග්ගා.
මම දැක්කා කෙල්ල ඒ බේසමේ තිබ්බ වඩේ දැකලා අහක බලන් කෙල ගිලිනෝ.හපෝ වඩේ පෙරේතියක්ද කොහේද?
වඩේ පහක් දෙන්න කියලා ඒ මනුස්සයට කියලා රුපියල් 100 දෙන්න පර්ස් එක අදින කොට මං දැක්කා සුජිත්මා මම දිහා බලලා ආපහු අහක බලා ගන්නවා.මම වඩේ එකක් අතට අරගෙන එයා දිහාට අනිත් ටික දුන්නා.
“මේ....සුජිත්මා....ආ මෙන්න ගන්න.”
එයා මගේ දිහා පුදුමෙන් බලලා ඇහුවේ
“ඔක්කොම ටික.”
මට ඒ මුහුණ දැකලා හිනා.
“ඔව් ඔව් ඔක්කොම ටික තමයි.”
“තෑන්ක්ස් මල්ෂ.”
කියලා කියද්දි මම උඩ ගියා.කොහොමද යකෝ මේකී මගේ නම හොයා ගත්තේ?
“ඇයි අනේ මේ ඇස් දෙක උඩ තියාගෙන කල්පනා කරන්නේ?ඔයාගේ නම හොයා ගත්ත විදිහද?ඒවා රහස් පස්සේ මම කියන්නම්.” ඇය සිනාසෙමින් කියුවා.
අපි මෙහෙම බස් එකේ කථා කර කර පිලාන පන්සල ලඟට යනකම් ආවා.ඊලඟ හෝල්ට් එකෙන් එයා බහින්න ඕන.
“මේ සුජිත්මා...මේ....ඔයාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද?”
“ඇයි මල්ෂ ඒ මොකටද?”
“නෑ....සුජිත් සර්ගේ නෝට් ටිකක් ඉල්ල ගන්න.දෙන්න පුලුවන්ද?”
“ම්ම්ම්....ටක් ගාලා ගහගන්න...076075077 හරි නේද?”
“හරි සුජිත්මා.”
“ඕකේ.එහෙනම් මම බහිනවා.බුදු සරණයි”
“බුදු සරණයි.”
ඇය බැස ගියා.අපි රෑ මැසේජ් කරා.අපේ අදහස් බෙදා ගත්තා.එයත් මම වගේම මම ගැන තොරතුරු හොයාගෙන තිබුණා.ඒත් මම එයා ගැන තියෙන අදහස් කිව්වේ නැහැ.අපි පන්ති ඇරිලා බස් එකට ආවේ එකට.බස් එකෙන් ගියේ එකට.වඩේ කෑවේ එකට.ඇත්තෙන්ම ඒකි වඩේ පෙරේතියක්.ගාල්ලේ තිබ්බ පොත් ප්රදර්ශණ වල ඇවිද්දේ එකට.මේ කිසිම දෙයක් වෙද්දී අපි අපි දෙන්නට ආදරෙයි කියා නොගත්තාට අපි දෙන්නට දෙන්නා හුඟක් ආදරෙන් හිටියේ.මේ විදිහට අවුරුද්දක් ගෙවුනා.විභාගෙට තව මාස අටයි.අපි දෙන්නා මේ කිසිම දෙයක් නිසා පාඩම් වැඩ නම් අතපසු කර ගත්තේ නෑ.
එක දවසක් පන්තියට ගියාට සුජිත්මා ඇවිත් හිටියේ නෑ.මම එයාගේ හොදම යාලුවා වුණ ගිත්මි ගෙන් ඇහුවා.එයත් දැන ගෙන හිටියේ නෑ.කරුමෙට මගේ ෆෝන් එකෙත් බැට්රි බැහැලා.මම පන්ති ඉවර වෙලා ගෙදර ගිහින් සුජිත්මාට කෝල් කරා.එයා ඉස්සුවේ නෑ.මම පස් හය සැරයක්ම කෝල් කරා.ඒත් ඉස්සුවේ නෑ.මොකද දන්නේ නෑ.මටත් කේන්තීයි.ආපහු සැරයක් ගන්න කොට
“මොකද” කියලා සැර කට හඩකින් එයා ඇහුවා.
මටත් කේන්ති ගිහින් තිබ්බ නිසා
“ ඇයි මොකද කටේ සද්දේ.මොකද කියනවා අද පන්ති ආවේ නැත්තේ.”
“මට ඕනිනම් මම එන්නේ නැහැ. ඇයි? ඒක ප්රශ්ණයක්ද?”
“ඔව් ප්රශ්ණයක් තමා.කියනවා මොකද ආවේ නැත්තේ.”
“දැන් තමුසෙට දැනගන්න ඕනි මම ආවේ නැත්තේ ඇයි කියලා නේ?”
මම උඩ ගියා.සුජිත්මා කවදාවත් මට එහෙම කතා කරලා නැති නිසා.
“මොකද සද්දයක් නැත්තේ?කියනවා දැන ගන්න ඕනද?”
“සු...සූ...සුජිත්මා මේ ඔයාද?”
“සු.....සු....සුජිත්මා නෙවෙයි සුජිත්මා,දැන ගන්නවා තමුසේ තමුසේ තමයි මම දකපු ජරාම මිනිහා.මට තමුසේ අප්පිරියයි ඕයි.තමුසේ මහා ජරා මිනිහෙක් අයිසේ.අනික දැන් මට කෙනෙක් ඉන්නවා.තමුසෙට වඩා එයා සිය දහස් ගුණයක් හොදයි.තමුසේ ආපහු මට මැසේජ් කරන්න එපා.”
කියලා ඇය ෆෝන් එක තිබ්බා.මට එක සැරේටම කිසි දෙයක් හිතා ගන්න බැරිවුණා.මම ආපහු ආපහු ගත්තත් ඇයගේ දුරකථනය අක්රීයව තිබුනා.මේ විදිහට සතියක් ගියා.මගේ මිත්රයා මතීෂ,පුළුවන් තරම් මගේ හිත හැදුවත් මට හිතාගන්න බැරි වුණා මේ මොකද වුනේ කියලා.මේ සතියෙත් සුජිත්මා පන්ති ආවේ නැහැ.එයාගේ යාලුවා ගිත්මිත් ආවේ නැහැ.දෙවෙනි සතියත් ගෙවුනා.ඒත් කිසිම තොරතුරක් නැහැ.තුන්වෙනි සතියේ මගේ දුරකථනයට ඇමතුමක් ආවා නොදන්නා අංකයකින්.
“හෙලෝ.මල්ෂ පුතාද මේ?”
“ඔව්.කවුද මේ?”
“පුතා.මම සුජිත්මාගේ තාත්තා.පුතාට කථා කරන්න පුලුවන් තැනකද ඉන්නේ?”
“ඔව් කියන්න.තාත්තා.”
“මේකයි පුතා.ඔයාට අපේ ගෙදර එන්න පුලුවන්ද?”
“ඒ මොකද තාත්තා?”
“නෑ.පුතා.එදා අරම සුජිත්මාට ඔයාට කථා කරන්න කියුවේ මගේ බල කිරීමට.මට...මට..ඒක හරි ගස්සන්න ඕන.”
ඔහු හැඩුම් ස්වරයකින් කියුවා.
“හරි තාත්තා.මම දැන් එන්නම්”
කියලා හොද කිට් එකක් දාගෙන මතීෂ එක්ක උගේ මෝටර් බයික් එකෙන් සුජිත්මාගේ ගෙදර හොයන් ගියා.
සුජිත්මාගේ ගෙදරට හරවන තැන මල ගෙයක්.ආහ්...සුජිත්මාගේ ආත්තම්මා කෙනෙක් ඉන්නවා කියුවා නේ.එයා වෙන්න ඇති.ඒත් ඇයි මේ මලගෙයක් අස්සේ මට එන්න කියුවේ.කමක් නෑ ගිහිල්ලම බලනවා කියලා හිතාගෙන මම මතීෂ එක්ක ගෙට ගොඩ වුනා.ඒත්....ඒත්....ඒ හිටියේ සුජිත්මාගේ ආත්තම්මා නෙවෙයි.ඒ හිටියේ මගේ ලෝකය වෙලා හිටපු සුජිත්මා.සුදු පාට ගවුමකින් සැරසිලා,අත් දෙක පපුවට කරන් බැදගෙන නිසලව හිටියේ ඇයයි.මගේ කකුල් දෙක පණ නැතිව වැටෙන්න යද්දි මතීෂ මාව එලියට එක්කන් ගියේ මගේ ඇස් වලින් කදුලු දෝරේ ගලද්දි.
අපි එලියට ගිහින් වාඩි වුනා විතරයි,සුජිත්මාලගේ තාත්තා ආවා.ඇස් රතුවෙලා ඉදිමිලා.
“මට සමාවෙන්න පුතා.මට....මට....මට ඔයාට කියන්න ශක්තියක් තිබුනේ නැහැ.දුව පුතා ගැන හුඟක් දේවල් කියලා තියෙනවා.අන්තිමටම මගෙන් ඉල්ලපු ඉල්ලීම තමයි එයාගේ අල්මාරියේ තිබ්බ මේ ලියුම ඔයාට දෙන්න කියලා.මට..මට...මට සමාවෙන්න පුතා කතා කරන්නවත් මට අමාරුයි.ගිත්මි දුව පොඩ්ඩක් යාලුවෝ ගැන බලන්න.”
කියලා ඔහු මට ලියුමක් දීලා ගිලා නැවත ඇතුලට.
මම ඉක්මනට ලියුම අරන් කියවන්න ගත්තා.සුජිත්මා මේ ලියුම ලියලා තියෙනේ අඩමින් බව තැනින් තැන බොදවෙලා තියෙන අකුරු වලින් පේනවා.
“ආදරණීය මගේම මල්ෂ,
ඔයා මේ ලියුම කියවන කොට මම මේ ලොකෙන් හුඟක් දුර ගිහින් තියේවි.මේක මගේ කර්මය වෙන්න ඇති.මම අද ඔයාට බැන්නේ මේ කරුමෙන් ඔයාව අයින් කරලා තියන්න ඕන නිසා.මට මේ ලෝකෙන් ඉක්මනටම යන්න වෙනවා.මොකද මට ලේ පිලිකාවක්ලු.ඒක හොද කරන්න බැරි තැනටම ඇවිල්ලලු.
මම පෙරේදා ස්කෝලේ ගිහින් ඇවිත් ගෙදර ආවා විතරයි එක සැරේටම කරකැවිල්ලක් ඇවිත් ඇදගෙන වැටුනා විතරයි මතක.මම එදා අවදි වුනේ ඉස්පිරිතාලෙදී.ලේ චෙක් කරන්න ලේ එකක් අරන් මගේ ටිකට් කැපුවා.ඒත් හවස තාත්තා ගෙදර ආවේ ඒ තරම් හොද මූනකින් නෙවේ.මට සැක හිතිලා මම අම්මගෙයි තාත්තගෙයි කථාව හොරෙන් අහන් හිටියා.මට ලේ පිලිකාවක්ලු.ජීවිතේ ගැන විශ්වාසයක් නෑලු.ඒත් හෙට ඉදන් බෙහෙත් කරන්වාලු.මම එහෙම අහගෙන ඇවිත් අඩ අඩ ඉන්න කොට තමයි ඔයා කෝල් කරේ.මට සමාවෙන්න රත්තරං.ඒත් මේ දුක ඔයාට දෙන්න බෑ.ඔයා හොඳට ඉගෙන ගෙන ලොකු තැනකට යන්න.මම ගැන හිත හිත ඉන්න එපා.මම මෙතනින් නවතිනවා.ඔයා ලබන්නට මේ ආත්මේ පිනක් නැතුව ඇති.හැබැයි ඊළඟ ආත්මෙම මට ඔයා ඕන.බුදු සරණයි.පරිස්සමින් ඉන්න.මම එක්ක තරහ වෙන්න එපා.
මීට ඔයාගේම,
සුජිත්මා.”
“වඩේ....වඩේ...සීයට පහයි...සීයට පහයි.... වඩේ....”
මම ආපහු පියවි ලෝකෙට ආවේ ඒ සද්දෙන්.වැස්ස යාන්තමට තුරල් වෙලා.අදට හරියටම සුජිත්මා නැතිවෙලා අවුරුදු 6 ක්.අද එයා වෙනුවෙන් පැවැත්වෙන බණට බඩු ටිකක් ගන්න ගාල්ල ස්ටෑන්ඩ් එක උඩ තියෙන සතොසට ආපු වෙලාවේ තමයි මේ වැස්සට අහු වුනේ.කාර් එකේ කුඩේ ගේන්න බැරි වුන නිසා වැස්ස තුරල් වෙනකම් අතීතෙට ගිහින් ඉදපු මම කුණු ඇල පාරේ පාර්ක් කරලා තිබ්බ කාර් එකට යන අතර මඟ ඇහුණු සින්දුවට නැවතිලා කන් යොමාගෙන හිටියා.
“එදා මෙදා තුර කඳුලට විවරවූ
දෑස් පියන්පත් කවුලු වසා..
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරුණු රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා....
දෑත ලයේ බැද අවසන් ගමනට
සොදුරිය මට නොකියාම ගියා..........”

Post a Comment

0 Comments