මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා.....




ලෝකේ ලස්සනම අහස තියෙන්නේ නුවරට කියලා හුඟක් අය කියනවා.ඒක ඇත්ත.ඒ වගේම ඒ අහස යට ජීවත්වෙන ජීවිතත් හරිම පුදුමාකාරයි. දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය මුලු නුවර පුරාම විහිදිලා තියෙනවා කියලා හිතෙනවා.හුඟක් අය කියනවා දවසේ ඕනම වෙලාවක ඕන ප්‍රශ්ණයක් හිතේ තියන් වැව රවුමට ගියොත් ඒ ප්‍රශ්ණේ අපිටම අමතක වෙලා යනවා කියලා.ඒ තරම් නුවර පුදුමාකාරයිලු.ඒත් මගේ ප්‍රශ්ණ පටන් ගත්තේ නුවර.ඒත් තවමත් මම නුවරට ආදරෙයි.ඒ ජීවිතේ ගොඩක් පාඩම් නුවර මට කියලා දුන්න නිසා.

මම මේ නුවරට එන්නේ කාලෙකින්.වෛද්‍ය විද්‍යාලයෙන් අයින් වෙන කොටම ලැබුණු ශිෂ්‍යත්වයකින් ඇමෙරිකාවේ ගිහින් අවුරුදු තුනකට පස්සේ තමයි මම මේ එන්නේ.දළදා වහන්සේ වැද පුදාගෙන මම නුවර ඔරලෝසු කනුව පහු කරගෙන මම ගියේ පේරාදෙණීයේ තියෙන අපේ නැන්දලාගේ ගෙදර.නුවර හුඟක් වෙනස් වෙලා.පාරවල් ලොකු වෙලා.මැයි මාසේ නිසා මැයි මල් පිපිලා රතු පලසක් එලුවා වගේ පාර.ටිකෙන් ටිකෙන් පුෂ්පදානේ පැත්තට ලංවෙන කොට පොලිස් ස්ටේෂන් එක ඉස්සරහ තියෙන බස් ස්ටැන්ඩ් එක දිහාව මට නිකම්ම බැලුනා.අදත් එදා වගේ මැයි මල් පිපිලා.එතන පහු වෙනවත් එක්කම හීන් පොද වැස්සක් ඇද වැටුනා.එතනින් කුඩයක් යටින් ගියපු තරුණ පෙම්වතුන් දෙන්නෙක් දැකපු මගේ හිත වාහනය එලවන ගමන්ම ඒ සුන්දර වූත් අසුන්දර මතක තියෙනා අතීතයට ඇදීලා ගියා.

මම නුවරට ආවේ උසස් පෙළ කරන්න.Bio වලින් උසස් කරපු මම ගියේ නුවර ප්‍රතාපවත් පිරිමි විද්‍යාලයකට.මම biology පන්ති ගියේ ප්‍රින්ස්ටන් එකේ ලාල් බණ්ඩාර සර්ගේ පන්තියට.පාසල ලඟින් බස් එකට නැඟලා ප්‍රිංස්ටන් එක ලඟින් බැහැලා කටුකැලේ පාර දිගේ කන්ද උඩට ගිහින් පන්තියට ගිය හැටි තාමත් මතක් වෙනවා.ඒ පන්තියටම තමයි එයත් ඇවිත් හිටියේ.කාවින්ද්‍යා තමයි එයාගේ නම.සුදෝ සුදුවක් නැති වුනත් හරි අමුතු ලස්සනක් එයාට තිබුණා.එයා ගියේ නුවර ප්‍රමුඛතම කාන්තා විද්‍යාලයකට.එයාලට නම් ප්‍රිංස්ටන් එක ලඟයි.අපි කොල්ලෝ සෙට් එක යද්දි එයාලගේ සෙට් එක ඇවිත් කෑමත් කනවා.අපිත් ඉතින් එයාලත් එක්ක විහිලු කර කර සර් එනකම් ඉන්නවා.කොල්ලෝ කෙල්ලෝ කියලා භේදයක් නෑ.අපි සෙට් එක යාලුවෝ වගේ හිටියේ.පන්ති ඇරිලා පාරට ඇවිත් හිමිහිට හිමිහිට කයියක් දාගෙන පුල්ලෙයාර් කෝවිල පහු කරන් පොලිස් ස්ටේෂන් එක ලඟ තියෙන මැයි ගහ යට බස් ස්ටේෂන් එක ලඟට එනවා.මොකද මෙතනින් නැග්ගම කරදරයක් නැතුව ෂීට් එකක් අල්ලන් යන්න පුලුවන් නිසා.මමයි මගේ යාලුවා ශානකයි, කාවින්ද්‍යයි එයාගේ යාලුවා නෙත්මිණියි හුඟක් වෙලාවට එකට ඉන්නේ අපේ ගෙවල් ලඟ නිසා වෙන්න ඇති.මොකද මමයි ශානයි දංගොල්ලේ.කාවින්ද්‍යායි නෙත්මිණියි ගන්නොරුවේ.අපි එක බස් එකේ ආවේ ගියේ.

එක දවසක් පන්ති ඉවරවෙලා  අපි බස් ස්ටෑන්ඩ් එක ලඟට එනකොට එක සැරේට පොදක් ගියා.බස් ස්ටෑන්ඩ් එකේ ඒ වෙලාවට සෙනඟ නිසා අපි මැයි ගස් සෙවනට ආවා.හිරි පොද ටික ටික තද කරා.කාවින්ද්‍යායි නෙත්මිණියි කුඩ දෙක එලියට අරන් ඉහලා ගත්තා විතරයි වැස්ස තද කරා.නුවර වැහි කියලා වහිනේ නෑ.ඒ වගේම වැස්සක් පටන්ගත්තොත් නවතින්නෙත් නෑ.ශානකයා ටක්ගාලා නෙත්මිණිගේ කුඩේ යටට පැන්නත් මම හිටපු විදිහටම හිටියා.

“ඒයි මෝඩයෝ.එනවා තෙමෙන්නේ නැතුව.” කාවින්ද්‍යා කතා කරනවා ඇහුනා.මම හැරිලා බලන කොට කාවින්ද්‍යා මම ලඟ.රවාගෙන.ඒ එක්කම කුඩය මගේ හිසට උඩින් ඇල්ලුවා.

“මේක අල්ලගන්නකෝ සඳුන්.මම ඔයා තරම් උස නෑනේ.මොනවා කනවද දන්නේ නෑ මෙච්චර උස යන්න.”

“අම්මෝ...බටු ඇටේ වගේ හිටියට කටේ සැර.”මම සිනා සෙමින් කියුවා.

“ආ මම සැරයිනේ.සැර නැති කෙනෙක්ගෙන් කුඩේ ඉල්ල ගන්නකෝ” කියමින් රවමින් ඇය යන්නට හැරුණු විගස මම ඇගේ අතින් අල්ලා කුඩේ මගේ අතට ගත්තා.

“හපෝ සැර.ඉක්මනට වයසට යාවි.”

“යනව යන්න මෝඩයා.”කියමින් මගේ අතට ගැසූ ඇය මා වෙතට ලං වූවේ නොතෙමි සිටීමටයි.වැහි මන්දාරම සමඟ මැයි ගසේ අදුරත් එක් වූ විට අමුතු හැගුමක් මවෙත දැනුනා.මගේ මුවින් ගීයක් පිට වුනා.

“මන්දාරම් අදුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ

මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම් ඔබ සිටියානම්....”

“කවුද?”

මම පියවි ලෝකෙට ආවේ එසැනින්. “මොකක්ද?”

“නෑ මම ඇහුවේ කාත් එක්කද ඇවිදන් යන්න හිතන් ඉන්නේ?”

“ආහ්....නෑ...මේ....මේ.....අන්න බස් එක එනවා.යමු.”කියමින් මම ඇය හා බස් රථය වෙතට ගියේ ඇය වෙත මට තිබුණු හැගීම් ඇයට කීමට නොහැකි නිසයි.මන්ද ඉන් අපේ මිත්‍රතාවයටද පහරක් එල්ල විය හැකි නිසාවෙනි.

මීලඟ දිනයේ බසයට නැගුණු මම වීදුරුව අසල අසුනකට බර වීමී.ටික දුරක් යන විට මා අසලින් යමෙකු වාඩි වෙනු දැනුනු අතර එදෙස මා බලන විට මා දුටුවේ මා දෙස බලා සිටින කාවින්ද්‍යායි.සත්තකින්ම මම තිගැස්සි ගියෙමි.මම ඇය කෙරෙහි ප්‍රේමයක් දැක්වූවත් ඇයගේ මතය කුමක් වේදැයි මට පැවසිය නොහැක.

“මොකද මේ?” ඇය ඇසීමි

“ඇ..ඇයි.. මොකද?”

“මොකද අහන්නේ මේ බය වෙලා.”

“මම නෑ...”මම ඇයට සිනහවක් පෑවෙමි.

“හ්ම්ම්...හ්ම්ම්ම්...මේ ඒක නෙවෙයි?”

“ම්ම්ම්ම්”

“මේ....ඊයේ අර කා ගැනද කියුවේ?”

“මොකක්ද?”

“නෑ.... අර ඇවිදන් යන්න හිටියා නම් කියුව ඔබ.අන්න එයා?”

“ආහ්....මේ....කෙනෙක්?”

“හ්ම්ම්ම්ම්....”ඇයගේ මුහුණ එක් වරම මැලවී ගිය අයුරු මා දුටුවේය.

“ඇයි?”

“නෑ.....මේ....නිකන්....එයා ලස්සනද?”

“ම්ම්ම්ම්....ලස්සනයි.ඒත් ඇයි අහන්නේ?”

“නෑ....නිකන්.....”

එතැන් සිට ඇය මුහුණ අදුරු කරගෙන කතාවක් හෝ නොකර සිටියාය.මා පාසල අසලින් බසින විටත් ඇය නිශ්ශබ්දය.

ඉන් පසු දින කිහිපයක්ම මට ඇය හා කතා කිරීමට නොහැකි වුනේ පාසලේ කටයුතු කිහිපයකට මා හිර වූ නිසයි.නැවත ඇය හා කතා කිරීමට මට අවස්ථාව ලැබුනේ බණ්ඩාර සර්ගේ පන්ති ඇරිලා බස් ස්ටෑන්ඩ් එකට යමින් ගමනුයි.

“මොකද බටු ඇටේ කතාවක් නැත්තේ?”

ඇය කතා නැති තැන මම ඇසීමි.

“නෑ...නිකන්...ඇයි යන්න ඉන්න කෙනා නැද්ද?”

“මොන කෙනාද?” මම විමතියෙන් විමිසුවෙමි.

“ඇයි අර කුඩේ යටින් යන්න හිටියානම් කියලා කියපු කෙනා.”

“ආ........ඒ කෙනාද? ඒ කෙනා කවුද කියලා දැන ගන්න ඕනද?”

“කැමති නම් කියන්න.”ඇය මට ගස්සාගෙන ඉදිරියට ගියාය.මා ඉදිරියට පැන ඇයගේ අතින් අල්ලා ඇද ගතිමි. ශානක නෙත්මිණි එක්ක කතා කරමින් සිටි නිසා ඔවුන් එය දුටුවේ නැත.

“අනේ අතාරින්නකෝ සඳුන්.මිනිස්සුත් බලන් ඉන්නවා.”

“අතාරින්නම් හැබැයි මං කියන දේ අහගෙන යන්න ඕන.”මා එසේ කියුවේ ඇය තවමත් සිටින්නේ පාසල් නිල ඇදුමින් බැවිනි.

“හරි අනේ.අත අරින්නකෝ”

“හ්ම්ම්.ඔන්න ගස්සගෙන දුවන්න බෑ” යැයි කියමින් ඇයගේ අත මා අත ඇරියේය.

“මොකක්ද කියන්න තියෙන්නේ?”

“කැමතිද දැන ගන්න ඒ කවුද කියලා?”

“හ්ම්.....”ඇය බිම බලා ගෙන පැවසුවාය.

ඇයගේ කනට ලං වූ මම “ඒ තමයි ඔයා” යැයි පැවසුවෙමි.

“මො....මො...මොකක්?”

“හ්ම්ම්ම්ම්...ඒ තමයි ඔයා....මොකද කියන්නේ?”

“අනේ යන්න සඳුන්” කියමින් මඳ සිනහවක් පාමින් ඇය ඉදිරියට දුව ගොස් නෙත්මිණි හා එක් වුණි.

*****************************************************************

මාද කල්පනාවෙන් කල්පනාවෙන්ම නැන්දලාගේ ගෙදරට ලංවී සිටියෙමි. ඇය හා සාමිචීයේ යෙදි සිට ඇය මා හට දහවල් ආහාරය සූදානම් කිරීමට නැගිට ගිය අතර මා එලියේ වූ රොබරෝසියා ගස යට බංකුවට වී යලි මතක ලෝකයට පිවිසීමි.

එදින මාගේ ප්‍රකාශය නිසා ඇය මා හා තරහ වේයැයි සිතුවත් එසේ නොවීනි.ඉන් පසුදා මා හා එකට බස් රථයේ ආ ඇය වාඩි වූයේ මාගේ අනෙක් පසිනි.

“සඳුන්...මේ....”

“කියන්න කවී.....”

“කවී?”

“නෑ ඉතින් කාවින්ද්‍යා කියන එක කවී කියලා කියුවට කමක් නෑනේ?”

“හ්ම්ම්ම්.....ඒක නෙවෙයි.මම ඊයේ ඔයා කියපු දේ හිතලා බැලුවා.”

“ඉතින්?”

“ඉතින් සඳුන් අපි තව ආශ්‍රය කරමු.මොකද ආදරෙයි කියලා නොකියුවත් මම ඔයාට ආදරෙයි.ඒත් අපි අපේ හීන වලට යන්න ඕන.තේරුනාද?”

“තේරුනා මැතිනියනි.”

“අනේ යනවා යන්න මෝඩයා.අහන්නකෝ සඳූ....”

“ම්ම්ම්ම් කියන්න.”

“අපි අපේ ඉලක්ක වලට යන්න ඕනේ.තේරුණාද?මම ඔයත් එක්ක ඉන්නවා හැමදේටම.ඔයා අත අරින්නේ නැතුව.ඔයත් මාත් එක්ක ඉන්න.අපි එකට ගොඩ යමු.හැබැයි වෙන කෙල්ලෙක් එක්ක යාලුයි කියලා හරි මට නොකිය කෙල්ලෙක් හම්බ වුනා යැයි හරි ආරංචි වුනොත් මරනවා.”

“හාපෝ....හරි...හරි උත්තමාවියණි.එසේයි...එසේයි.”කියමින් මා සිනාසුණි.

“යනවා යන්න” කියමින් ඇය මගේ අතට කුඩා පහරක් ගසා මාගේ උරහිසට හිස තබා ගත්තාය.

එසේ මාගේ හා නෙත්මිණිගේ ආදර අන්දරය ඇරඹුණි.මෙය දැනගෙන උන්නේ ශානක හා නෙත්මිණි පමණි. අපි දෙදෙනාම ඉතා හොදින් වැඩ කලෙමු.අප පාසල් වල ඉහලම දක්ෂතා දක්වන්නට අප දෙදෙනාටම හැකි වුනෙමු.අප දෙදෙනා සෑම පන්තියකම හොදින් දක්ෂතා පෙන්වුවෙමු.පන්ති නිමවී බස් රථයේ යෙදෙනා කතා බහ හැරුණු කොට අපට කතා කිරීමටවත් විවේකයක් නොතිබුණි.නමුත් මේ සියල්ල කනපිට හැරුනේ ක්ෂණයෙනි.

“සඳු...........?”දිනක් පන්තියේ විවේකයකදී ඇය මා හමුවීමට පැමිණියේ කේන්තියෙනි.

“කවී ඇයි මේ කේන්තියෙන්.”

“කේන්තියෙන්.......මොකක්ද අරකි එක්ක ඔයාට තියෙන වැඩේ?”

“කවුද?මොකද අනේ මේ?”

“මොකද නෙවේ....අර මල්ෂා කියන එකී එක්ක ඔයාට තියෙන වැඩේ මොකක්ද?”

“මොන මල්ෂාද?”

“අනේ ඔයා බබානේ සඳු...අර ස්කූල් බස් එකේ යද්දි මඟින් ඉස්කෝලෙට බහින මල්ෂා.අන්න ඒකි ගැන අහන්නේ?”

“ආහ්...මල්ෂා....එයා මගෙන් බුක් මාක් වගයක් විකුණලා දෙන්න පුලුවන්ද කියලා ඇහුවා.ඉතින් මම කියුවා බලන්නම් කියලා.එයාලගේ මොකක්ද දිනේකටලු.”

“ඇත්තද? කෝ බලන්න බුක් මාක් ටික.”

“ඉන්නකෝ” කියමින් මා මල්ෂා දුන් බුක් මාක් ටික ඇයට ගෙනවිත් පෙන්නුවෙමි.

“ආහ්.ඇත්තනේ...”

“කවුද ඔයාට කියුවේ මේවා?”

“කියපු කෙනා වැඩක් නෑනේ.ආපහු මෙහෙම දේවල් මගෙන් හංගන්න එපා සඳු.අපි කටින් ආදරෙයි නොකියුවාට හදවතින් ආදරේ කරනවා.මට ඒක දරා ගන්න අමාරුයි.ආපහු මෙහෙම දෙයක් වුනොත් එදාට මම මෙහෙම කතා කර කර ඉන්නේ නෑ.හොඳද?”

“හරි...හරි...අයියෝ කොච්චි කරල කලබල වෙන්න එපා අප්පා.මම ඔයාට විතරයි ආදරේ.”

“අනේ යනෝ යන්න” කියමින් මගේ උරහිසට පහරක් ගසමින් ඇය ඉවත්ව ගියාය.

ඉන්පසු ඇයව මට  මුණ ගැසුනේ නැත්තේ පාඩම් වැඩ අධික නිසාවෙනි.

මහා පිපිරීම වූයේ අවසන් දවසේය.පන්තියේ අවසන් දවසේ කවී පැමිණියේ නැත.ඒ ඇයිදැයි කල්පනා කරමින් සිටිනා මා දෙසට පැමිණි කවීගේ එක් මිතුරියක් මට පොතක් දමා ගැසුවාක් මෙන් ලබා දී ඉක්මනින් නික්ම ගියාය.මා පොත විවර කරනා විට ඉන් බිමට වැටුණු ඡායාරූපය දැක මා වෙව්ලා ගියෙමි.එය මා හා මල්ෂා එකට සිටිනා ඡායාරූපයකි.එහි මා ඇයට ලංවී සිටිනා සෙයක් දිස් වේ. නමුත් සත්‍ය සිදුවීම මාගේ මතකයට එක්වරම සිහියට නැගුණි.මා වැඩ වලට සිරවී නිසා බුක්මාක් හි මුදල් ඇයට ලබා දීමට ගිය අවස්ථාවෙ කෙනෙකු ලබා ගත් ඡායාරූපයක් මෙසේ කිසිවෙකු ඇයට ලබා දී තිබුණි.

ඇය එවා තිබූ පොතේ මැද පිටුවක පටන් පිටු පහක පමණ දිග ලියමනක් කවී ලියා තිබුණි.

“සඳුන්,

නෙත්මිණි මට මේ පින්තූරය දීලා කියනකන් මම ඔයාව විශ්වාස කලා සඳුන්.ඒත් තමුසේ මහ ජරා බල්ලෙක් ඕයි.කෙල්ලෝ අනාථ කරන බල්ලෙක්.තමුසෙට ආදරේ කරා කියුවමත් මට දැන් දැනෙන්නේ හිරිකිතයක්.......”

මෙසේ හදවත කඩා වැටෙනා තරම් දරුණු වදනින් මා හට පිටු පහක් කුරිරු ලෙස අමතා තිබූ ඇය අවසන තබා තිබූ සටහනින් මගේ හදවත තවත් රිදුනි.

“තමුසේ වගේ පො@#යෙක්ගේ මූණ බලන්නත් මම කැමති නෑ.තමුසේ විනාස වෙයන් බල්ලා.මම යනවා ඔස්ට්‍රේලියා වලට.එහේ ඉන්නවා නෙත්මිණීගේ නැන්දා කෙනෙක්.තමුසේ නෙත්මිනීට කරදර කරන්න තරම් ගෑනියෙක් නොවී ඉන්නවා.මම යනවා.”

මගේ හිස ගිනි ගත්තාක් මෙනි.මම නෙත්මිණි සොයා යන විට මම දැක්කේ මල්ෂා හා සිනහ වෙමින් සිටිනා නෙත්මිණියි.මට සැනකින් සියල්ල වැටහුණි.මෙය මා හා කවී වෙන් කිරීමට ගැසූ උගුලකි.

“නෙත්මිණි” මම කෝපයෙන් කෑ ගැසුවෙමි.මුළු පන්තියම මා හා ඇය දෙස බැලුබව වැටහුණත් මම ඇයට කෑ ගැසුවෙමි.

“ආහ්.කොන්දක් නැති එකා.කට්ටිය අහන්න මෙන්න මේකා අපේ කවීව රවට්ටලා මල්ෂා එක්ක ඉද්දී අහුවෙලා.මූ මහලොකුවට හිටියට මහ වල් සතෙක්.අහු වෙන්න එපා යැයි” ඇය මුළු පන්තියටම ඇසෙන්න පැවසුවේය.මගේ රතු කට්ටද පැන සිටි මම ඇයට ගැසීමට සැරසෙනවාත් සමඟ,

“මෙන්න මෙයා මට ගහන්න හදනවා.මහ ලොකු චන්ඩියා.ගෑනුන්ට ගහලා වීරයෙක් වෙන්න දඟලන්න එපා ඕයි.පො@#යෙක් වගේ.” නැවතත් නෙත්මිණි පැවසුවේය.

මාගේ රතු කට්ට පැන්නේය.මා ඇයට ගසන්නට අත සැරසෙනවාත් සමඟ මාගේ පිටු පසින් සිටි ශානක මා වැරෙන් අල්ලාගෙන ඉවතට ගෙන ගියේය.එසේ යන විට පන්තියේ සිටි අය මා හට සිනා සෙනවා මට තවමත් මතකය. ශානක පන්තියෙන් එලියේ මා තබා මාගේ හා ඔහුගේ පොත් බෑගයන් රැගෙන ඒමට පන්තියට ගියේය.මා සෙමන් සෙමෙන් ඉදිරියට ගියද පන්තිය අසලදී මාගේ කකුල පැටලී තාර ඇතිරූ පාර දිගේ පෙරලෙමින් යනවා හා යමක හිස තදින් වැදෙනවා පමණක් මට මතකය.

මා නැවත ඇස් ඇර බලන විට මා සිටියේ රෝහලකය.හිස පෙදසින් තද වේදනාවක් දැනුනත් මා අපහසුවෙන් හිස ඒ හරවා බලනා විට මා අසල සිටියේ නැන්දාය.ඇය මට සිහිය පැමිණ තිබෙනවා දැක දොස්තර මහතාට කෑ ගසා අඩ ගැසූ අතර විවර වූ දොරෙන් දොස්තර මහතෙකු හා හෙදියන් කිහිප දෙනෙකු සමඟ පැමිණියේ අම්මා හා තාත්තාය.මා පරික්ෂා කර බලා මාගේ තත්ත්වය සාමාන්‍ය බව පැවසූ ඔහු නැවතත් එන බව කියා නික්ම ගියාය.

“ඇයි පුතේ මේ වගේ දෙයක් කර ගත්තේ අම්මා අඩමින් ඇසුවාය.”

“හරි හරි ඉතින් දැන් අඩන්න එපා.කොල්ලා පීඩනෙන් ඉදපු නිසා කකුල් දෙක පැටලිලා වැටුනා කියලනේ ශානක පුතා කියුවේ.”

“අම්මපා මට ඔය පරට්ටිව අහු වුනොත් මම ඕකීව පට්ට ගහනවා.”

මට සියල්ල පැහැදිලි වුණි.අම්මා,තාත්තා හා නැන්දා සියල්ල දැන ගෙන ඇත.කෙසේ හෝ මා නොවැටී සිටිය යුතුයි මා අධිෂ්ඨාන කොටගෙන මා අම්මාව ඇමතුවෙමි.

“අ...ම්මේ.....”

“සුදු පුතේ......”

“අම්මේ....ම...ම විභා....ගේ ලිය...න්න ඕ..න.ම..ට දැ..න් අවු...ලක්..නෑ...”

“සුදු පුතේ.ඔයා දන්නවද රත්තරනේ ඔයා කොයි තරම් කාලයක් සිහි නැතුව හිටියද කියලා.”

“ද..ව..සක්.. වගේ..නේ.. අ..ම්මේ...”

“අනේ රත්තරනේ ඔයා සති තුනක් සිහි නැතුව හිටියා.අද විභාගේ අන්තිම දවසේ තමයි ඔයා නැගිට්ටේ. රත්තරනේ.”

“අ...න්...න්...නේ..අම්ම්...මේ... මගේ දෑසින් කදුලු කැට කැට කඩා වැටුණි.”

“අඩන්න එපා මහත්තයෝ.....අපි ඊලඟ පාර ලියලා උඩින්ම මෙඩිකල් කොලේජ් යමු.”

කාලයක් ගත වුණි.

මාගේ තුවාල සුව වී මානසිකව පවා සුව වීමට මාස දෙකක් පමණ ගත විය.මා බැලීමට නිතර නිතර ශානක පැමිණි අතර ඔහුටත් විභාගය ගැන අවිනිශ්චිත බවක් තිබ්බ නිසා අප දෙදෙනාම නැවත විභාගයට සුදානම් වුණි.නමුත් මහනුවර සිට නොවේ.කුරුණෑගල ශානකලාගේ ආත්තම්මාලාගේ නිවසේ සිටය.සියලු අමිහිරි මතක අමතක කරලා පාඩම් කලා.විභාගේ ලියුවා.ඒකේ ප්‍රථිඵලය වුනේ මම ලංකාවේ පලවෙනියා සහ ශානක ලංකාවේ දස වෙනියා කරමින් අපි සමත් වුනු එක.අපි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුල් වෙලා වෛද්‍යවරු වුනා.අපිට ඒ සමඟම ඇමෙරිකාවට ශිෂ්‍යත්වයක් ලැබුණ නිසා අපි ඇමෙරිකාවට ගියා. අපි සාර්ථකව ඒ උපාධියත් අවසන් කරලා ලංකාවට ආවේ ඊයේ.ශානකලගේ සියලු දෙනා කුරුණෑගලට ගිහින් හිටපු නිසාත් අපේ පවුලේ නැන්දා මාමා ඇර අම්මා තාත්තා කොළඹට ගිහින් හිටපු නිසාත් මම තාත්තාගෙන් කාර් එක ඉල්ලාගෙන ශානක ගෙදරින් දමාගෙන නැන්දලාගේ ගෙදර ආවා.

දිග මත පාරක් ඔස්සේ ගිහින් හිටපු නිසා බඩගිනි හැදුනු මම දවල්ට කාලා නුවර පැත්තට ආපහු මාමාගේ යතුරුපැදියෙන් ගියේ මම සමඟ මාමා හා නැන්දා කොළඹ දින කිහිපයක් ගත කරන්න සවස යාමට සූදානම් වනවා කියූ නිසා මගේ ගුරුවරු හමුවී එන්නටයි. ප්‍රින්ස්ටන් එකේ ගුරුවරු හමුවෙලා කතා බහ කරලා ආපහු එන විට පුරුද්දටම පොලිස් ස්ටේෂන් එක ලඟ තියෙන මැයි ගහ යට බස් ස්ටේෂන් එක දෙසට ඇදිලා ගියා.මම බස් නැවතුම අසල යතුරුපැදිය නවතලා ගොඩවෙනවා සමඟම වැහි මන්දාරමක් එක්වරම මෝදු වෙලා සිහින් වැහි පොදක් වහින්න පටන් ගත්තා.ඒ එක්කම එතෙනට ආපු පුද්ගලික බස් රථයක් තුලින් වාදනය වූ ගීය නිසා මගේ හදවතේ තිබ්බ දුක ඇහේ කඳුලක් කරලා නිහඬවම බිමට වැටුනා.

“වැහි පොද වැටුනත් ඉස්සර වාගේ

මැයි මල් පිපුනත් රතට රතේ

අප දෙදෙනෙක් නැත අද මා පමනයි

මැයි ගස් සෙවණේ අදුරු පෙතේ

මේ මැයි ගහ යට දවසක් දා

වැස්සට අපි උන්නා...”

 

කතාවේ එන නම් හා සිද්ධිය මනඃකල්පිත වේ.ස්ථාන තරමක් දුරට සත්‍ය වේ.ඡායාරූපය අන්තර්ජාලයෙන්.

(කතාව ලිවීමට මට සහය වූ කවීෂා සොයුරියට සහ මහේෂ් සොයුරාට ස්තූතිය.)


Post a Comment

0 Comments