Mahadevan Sathasivam - The greatest batsman ever on earth forgotten to Sri Lanka cricket


මෙම ලිපිය ඔබ කියවන අවස්ථාවේ ඔබ භාවිත කරන්නේ ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් හෝ කුමක් වූවත් ගූගල් සර්ච් බාරයේ “ගාර්ෆීල්ඩ් සෝබර්ස්” ලෙස සටහන් කර බලන්න.ඔහු පිලිබඳ විකිපීඩියා හා cricinfo ගිණුමක්ද දකින්නට ඇත.එහි ඔහුගේ දස්කම් හා විස්තර අඩංගු දත්ත රාශියක්ද ඇත.ඔහුව එහි සඳහන් කර ඇත්තේ නූතන “ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා” යන නමිනි. ඔබ තවත් ගූගල් සෙවුමක් විවර කර එහි මහාදේවන් සතාසිවම් ලෙස සෙව්මක් කලහොත් ඔබට විකිපීඩියා හා cricinfo ගිණුමක්ද ලැබෙන අතර එහි ඔහුගේ ලොකූ විස්තරයක් නොමැත,නමුත් ඔහුට එරෙහිව වූ වංගෙඩියේ මිනීමැරුම නඩු තීන්දුව ගැන විශාල වශයෙන් ලිපි ඇත.නමුත් හොදම කරුණ තවම ඔබ දන්නේ නැත.ඒ ඔබ කලින් සෙවීමක් කල “ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා” වන සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් විසින් වංගෙඩියේ මිනීමැරුම නඩු තීන්දුව මඟින් පට්ට ගසනා මහාදේවන් සතාසිවම් පිලිබද පැවසූවේ "the greatest batsman ever on earth"  “මිහිතලයේ සිටි ශ්‍රේෂ්ඨම පිතිකරුවා” ලෙසයි.මේ කතාව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට අමතක වූ කුමාරයෙකුගේ කතාවයි.

වර්ෂ 1947 දිනක ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු ඉන්දියාවේ චෙපාක් හි (M.A. චිදම්බරම් ක්‍රීඩාංගණය) පැවැත්වෙන තරඟයක අවස්ථාවක්.

සිහින් සිරුරකින් යුක්ත තරුණයෙක් කඩුල්ලේ සිටියි.තොප්පිය මදක් ඇදව සිත්ගන්නා සුළු අයුරකින් පැළද සිටිනා මොහුගේ බෙල්ල වටා සුදු අත් ලේන්සුවක් පැලද සිටිනු දැක ගත හැක.ඔහුට එල්ල වන සෑම පන්දුවකටම ඔහු හොදින් ක්‍රීඩා කරමින් සිටිනා අතර එය පිටිය පුරා යයි.ලකුණු 215 රැස් කරමින් චෙපාක් හි ක්‍රීඩා කල හොදම ඉනිම හා එතෙක් දකුණු ඉන්දියානුවන් දුටු අලංකාරතම ඉනිම ක්‍රීඩා කල මේ ලාංකීය පිතිකරුවා අන් කවරෙකුත් නොව මහාදේවන් සතාසිවම් ය.

මහාදේවන් සතාසිවම් උපන්නේ 1915 ඔක්තෝම්බර් 18 දින සිලෝන් හි ය.එවකට ලංකාව පාලනය කරන ලද්දේ බ්‍රිතාන්‍යයන්‍ ය. මහාදේවන් සතාසිවම් තම ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන්නේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් වන අතර පසුව ඔහු කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුල් වී වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කලේය.තම පාසල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම වරප්‍රසාදයක් ලෙස සලකන ලංකාව වැනි රටක,වෙස්ලි විද්‍යාලය වැනි ඉතාමත්ම වරප්‍රසාද ලත් පාසල ක්‍රීඩා කල සතාසිවම් ඉන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගත්තේය.ඇතැම් පන්දු යවන්නන්ට එරෙහිව විනාශකාරී ඉනිම් පවා ක්‍රීඩා කල සතාසිවම් තම පාසල වෙනුවෙන් ක්‍රීඩා කල අවසන් තරඟයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 142ක අගනා ඉනිමක් ක්‍රීඩා කලේය.

සතාසිවම් ක්‍රීඩා කරන අවදියේ ලංකාවට ටෙස් වරම් හෝ නොතිබුණි.අළු බදුන තරඟාවලිය සඳහා යන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහි දවස් කිහිපයක විවේකය සඳහා නැවතුනු විටදී හෝ,කොදෙව්වන් මෙරටට පැමිණි විටකදී හැර ලංකා කණ්ඩායම බොහෝ විට ක්‍රීඩා කලේ ඉන්දියාව සමඟය.චෙන්නායි හි පැවැත්වෙන පලමු පෙල ක්‍රිකට් තරඟවලට ලංකාව ක්‍රීඩා කල අතර සතාසිවම් ක්‍රීඩා කලේ ඉන් තරඟ 11 ක් පමණි. එම තරඟ 11 තුලදී  ඉනිම 18ක් ක්‍රීඩා කල සතාසිවම් ශතක 3ක් අර්ධ ශතක 3 ක් සමඟින් ලකුණු 753ක් ක්‍රීඩා කලේය.ඔහුගේ ලකුණු සාමාන්‍ය වූයේ 41.83 කි. ක්‍රිකට් ක්‍රීඩාව එතරම් නොදියුනු යුගයක,ආරක්ෂිත ආවරණ නොමැතිව තොප්පියක් පැලද ගණනය කල නොහැකි වේගයෙන් එන පන්දුවකට පහර දෙමින් තරඟ 11ක් තුල මෙවන් දස්කමක් පෑම අදටද කතා කරනා කරුණකි.

පලමු පෙල තරඟ හැරුණු විට ඔහු ලංකාවේ සමාජ වලට ක්‍රීඩා කල අතර ටැමිල් යූනියන් සමඟ ඔහු ද්විත්ව ශතක  4 ක් සමඟ ශතක 44ක් රැස් කර ඇත.වර්තමානයේ ක්‍රීඩකයෙක් සමඟ සසඳන විට සතාසිවම් යනු හොද ක්‍රීඩකයෙකු බව ඔබට නොසිතුනත් ඉහත සඳහන් කල ක්‍රිකට් ක්‍රීඩාව එතරම් නොදියුනු යුගයක,ආරක්ෂිත ආවරණ නොමැතිව තොප්පියක් පැලද ගණනය කල නොහැකි වේගයෙන් එන පන්දුවකට පහරදීම හා ක්‍රිකට් ක්‍රීඩාව දියුනු යුගයක,ආරක්ෂිත ආවරණ සියල්ල සහිතව වේගයෙන් එන පන්දුවකට පහරදීම යන අවස්ථා දෙක හා සසදද්දී සතාසිවම් යනු එකල සිටි විශිෂ්ඨ ක්‍රීඩකයෙකු බව හෙලි වේ.ඔහු ගේ දක්ෂතා පිලිබඳ ඔප්පු කල හැකි තරඟ තුනක් පවතී.

1.  දකුණු ඉන්දියාවේ චෙපාක් හි (M.A. චිදම්බරම් ක්‍රීඩාංගණය) තරඟය - 1947

මෙම තරඟය සතාසිවම් ක්‍රීඩා කල හොඳම තරඟය ලෙස සැලකේ.එහිදි මහාදේවන් සතාසිවම් විනාඩි 258ක් තුල ලකුණු 215 ක් රැස් කල අතර එම ඉනිමට 4 පහරවල් 24ක් අඩංගු විය.ක්‍රිකට් පොතේ සඳහන් වූ සියලුම පහරවලින් අනූන වූ තරඟයක් ලෙස සඳහන් වන එම තරඟයේදී සතාසිවම් සියලු ඩ්‍රයිව් පහරවලින්, කට් හා පුල් පහරවල් හා ලේට් කට් පහර තුලින් පන්දු රකින්නන් අසරණ කල බව පුවත්පත් වාර්ථා පවසයි.ඒ ජේ.ගෝපාලන්,එන්.ජේ.වෙන්කටේෂන්,ගුලාම් අහමඩ්, වැනි දක්ෂ පන්දු යවන්නන් හට ය.

එම තරඟය වාර්ථාකල මුම්බායි මිරර් පුවත්පතේ ප්‍රධාන ක්‍රිකට් විචාරකයා වූ ශ්‍රී රාම් වීරා පවසා තිබුනේ ,

“ලංකාවෙන් පැමිණි මහාදේවන් සතාසිවම් එල්ල කළ පිති ප්‍රහාරය චෙපාක් ක්‍රීඩාංගණයේ මෙතෙක් මා දුටු අනර්ඝතම පිතිකරු ඉනිමයි”

එදින පන්දු යැවු පසුව ඉන්දියානු නායකයෙකු වූ, අතිශය දක්ෂ දඟ පන්දු යවන්නකු වූ ගුලාම් අහමඩ්, මහාදේවන් සතාසිවම් ගැන කීවේ මෙසේය.

මම බ්‍රැඩ්මන්, හාර්වේ, හට්න්, ඩෙනිස් කොම්ප්ටන්, කිත් මිලර් සහ බටහිර ඉන්දීය කොදෙව්හි භයංකර තුන්කට්ටුව ලෙස හැදින්වූ වීක්ස්, වොරල් හා වෝල්කොට් යන මේ සැමදෙනාට පන්දු යවා ඇත්තෙමි. මා පන්දු යවා ඇති අසීරුම පිතිකරුවා කවුරුන්දැයි ඔබ ඇසුවහොත් මා එකහෙලා කියන්නේ එකම නමකි. ඒ ලංකාවේ සතාසිවම්ය.”

එම ප්‍රකාශයෙන් පවා පැහැදිලි වන්නේ මහාදේවන් සතාසිවම් යනු කොතරම් දක්ෂ,විශිෂ්ඨ ක්‍රීඩකයෙක්ද යන්නයි.

2. පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමට එරෙහිව කොළඹ දී පැවතී තරඟය - 1950

1950 දී ලංකාවට පැමිණි ෆ්‍රෑන්ක් වොරල් ගේ නායකත්වයෙන් යුතු පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායම සමඟ ලංකා කණ්ඩායම තරඟ කලේය.අසීරු විකට්ටුවක් මත ක්‍රීඩා කල ලංකා කණ්ඩායම ෆ්‍රැන්ක් වොරල්, ජෝර්ජ් ට්‍රයිබ්, ෆ්‍රෙඩ් ෆීර්,ජෝර්ජ් පෝප් වැනි පලපුරුදු පන්දු යවන්නන් ඉදිරියේ දැවී යද්දී අසීරු තණතීරුවේ හොදින් සතාසිවම් ක්‍රීඩා කල අතර ඔහු ලකුණු 96ක් ලබා ගනිමින් ලංකා කණ්ඩායම ලකුණු 153 කට ඔසවා තැබුවේය. ඔහු දැවී නැවත තම කණ්ඩායම් මණ්ඩපය වෙත යද්දී ෆ්‍රැන්ක් වොරල් හා කණ්ඩායම නැගිට අත්පොලසන් දුනි.බොහෝ විට එසේ ප්‍රතිවිරුද්ධ පිලේ අයෙකුට එසේ අත්පොලසන් නොදෙනා අතර ඔහුගේ විශිෂ්ටත්වය ඉන් කියාපායි.

තරඟයෙන් පසුව ෆ්‍රැන්ක් වොරල් ප්‍රසිද්ධියේ පවසා සිටියේ තමා දුටු හොදම පිතිකරුවා සතාසිවම් බවත්,තමාට ලෝක ක්‍රිකට් කණ්ඩායමක් තෝරා ගැනීමට අවස්ථාවක් ලැබුනහොත් ලංකාවෙන් තම පලමු තේරීම සතාසිවම් බවත් ඔහු ප්‍රකාශ කලේය.

එම කණ්ඩායමේ සිටි,පසුව ලංකාවේ ක්‍රිකට් උපදේශකයෙකු ලෙසත් වසර කිහිපයක් කටයුතු කල ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් පවා පවසා සිටියේ, 

“මිහිතලයේ සිටි ශ්‍රේෂ්ඨම පිතිකරුවා” සතාසිවම් බවයි.

එමඟින් පවා පැහැදිලි වන්නේ මහාදේවන් සතාසිවම්ගේ විශිෂ්ඨත්වයයි.

 

3.ඉන්දීය කණ්ඩායමට එරෙහිව කොළඹ ඕවල් පිටියේ පැවති තරඟය - 1945

කොළඹ ඕවල් පිටියේ පැවති තරඟයේදී පන්දු යවන අන්තයේ සිටිනා ක්‍රීඩකයා දවා ගන්නා උපක්‍රමය හඳුන්වාදුන් වීනු මන්කාඩ්,ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ දොන් බ්‍රැඩ්මන්ඩ්ට පමණක් දෙවන වන පිතිකරණ සාමාන්‍ය සහිත විජේ මර්චන්ට්,මෝහින්දර් අමර්නාත්,විජේ හසාරේ වැනි ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 111 ක් ලබා ගනිමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කල අතර තරඟය අවසානයේ ලංකා ඇදුම් කාමරයට ආ ඉන්දීය නායක විජේ මර්චන්ට් සතාසිවම්ට කඩුල්ලෙහි ඉන්නක් ත්‍යාග කරමින් පැවසූවේ “එය ඉතා අනර්ඝ ඉනිමක්” ලෙසයි.

එසේම 1949 දී කොළඹ ඕවල් පිටියේ පැවති ඕස්ට්‍රේලියා හා ලංකා කණ්ඩායම් අතර තරඟයේ කාසිය වාසිය උරඟා බැලීමට සර් ඩොන් බ්‍රැඩ්මන්ඩ් සමඟ පිටියට යන ලංකා පිලේ නායක සතාසිවම්ගේ ජීවමාන ප්‍රමාණයේ ඡායාරූපයක් අදටත් පී.සරවනමුත්තු හෙවත් පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ දක්නට ඇත.

මෙසේ අතිවිශිෂ්ඨ ක්‍රීඩා දිවියක නිරත වූ මහාදේවන් සතාසිවම්ගේ සමස්ත ජීවිතයටම කණකොකා හඩන්නේ 1951 ඔක්තෝම්බර් 09 දිනයි.ඒ ඔහු විවාහව සිටි පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිනිබිරියක වන ආනන්දම් සතාසිවම් මහත්මියගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හා ඒ අසල තිබී ලේ තැවරුණු වංගෙඩියක් සොයා ගැනීමයි.අසාර්ථක යුග දිවියක් හා ඉවෝන් ස්ටීවන්සන් නම් සුදු තරුණියක් හා පැවති අනියම් සබඳතාව නිසා සතාසිවම් දෙසට චෝදනා එල්ල වූ අතර ඔහුට මාස 20ක් පමණ සිරගත වන්නට සිදු විය.කොල්වින් ආර් ද සිල්වා මහතා සතාසිවම් වෙනුවෙන් පෙනී සිටි අතර පරවේෂණීය සාක්ෂි හා ඔහු ඒ අවස්ථාවේ නිවසේ නොසිටීම මත ඔහු නිදොස් කොට නිදහස් කෙරුණු අතර ඔහුගේ නිවසේ සිටි මෙහෙකරු විසින් එම මිනීමැරුම සිදු කල බව පසුව හෙලි වූවත් රට පුරා ඇතිව තිබූ නිෂේධනීය ප්‍රතිචාර නිසා සතාසිවම් රටෙන් පිට වුණු අතර මෙම නඩු තීන්දුව “වංගෙඩියේ නඩු තීන්දුව” ලෙස අදටත් සමාජයේ කතා බහ කරයි.

රටෙන් පිටවුණු සතාසිවම් මහතා එංගලන්තයට ගොස් ඉවෝන් ස්ටීවන්සන් හා විවාහ වූ අතර ඔහු පසු කාලීනව ඔහු මැලේසියාවට හා සිංගප්පූරුවටත් ගිය අතර ඔහු එම රටවල් දෙකේම ජාතික ක්‍රිකට් කණ්ඩායෙමේ නායකත්වය දැරීය.එසේ රටවල් තුනකම ක්‍රිකට් කණ්ඩායම් වල නායකත්වය දැරූ එකම ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තාවක්ද තැබීය.

1960 දශකයේ මුල් භාගයේ නැවත ලංකාවට ආ සතාසිවම් කොළඹ BRC පිටියේ පැවති ඩොනමන් ඇන්ඩ්‍රි කුසලාන තරගයකට සහභාගී වී සිටිනා විට ඩෙනිස් ෆර්ඩිනන්ස් නම් ශාන්ත තෝමස් හි දක්ෂතම පන්දු යවන්නාගේ බවුන්සර් පන්දු වලට මනරම් හුක් පහරවල් වලින් පහර දුන්නේ වයස ක්‍රීකට් ක්‍රීඩාවට බාධාවක් නොවන බව පසක් කරමිනි.

ක්‍රිකට් ක්‍රීඩාවේ නොදියුණු යුගයක,දක්ෂ හා විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කලත් වැරදි වේලාවේ වැරදි තැනක සිටීම නිසා ලංකාවෙන් බිහිවූ  “මිහිතලයේ සිටි ශ්‍රේෂ්ඨම පිතිකරුවා” 1977 ජූලි 9 වැනිදා අවුරැදු 61ක් ආයු වළඳා මෙලොවින් නික්ම ගියේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට අලංකාරවත් මතකයක් ඉතුරු කරමිනි.

 

අන්තර්ජාලය ඇසුරින් සැකසිණි.

කසුන් සපුමොහොට්ටි

Post a Comment

0 Comments