පරාජිත අරගලයක අපරාජිත සටන්කරු - මොහොමඩ් සිරාවුදීන් නිෂ්මි



ලාංකීය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය ඉතිහාසයේ අමරණීය සටන්කරුවා ඔහු විය.ශ්‍රී ලාංකීය ශිෂ්‍ය සටන් ඉතිහාසයේ රුධිර නාලය ඔහු විය.සුවහසක් දෙනා ඔහුගේ කථිකත්වයට වශී විය.ඔහුගේ වදන් කතා කලේ මොළයට නොව හදවතටය.ඔහුගේ ශිෂ්‍ය සටන් නායකත්වය ඉතිහාසගතය.මේ පරාජිත අරගලයක අපරාජිත සටන්කරුවාගේ කතාවයි.

 

දිනය-1964 නොවැම්බර් 14

ස්ථානය-මරදාන ද සොයිසා ලමා රෝහල

සූතිකාගාරයේ සිට වෛද්‍යවරයා එළියට පැමිණ සූතිකාගාරය අසල සිට සෙයින් සිරාජුදීන් ගුරුතුමාට මෙසේ පැවසුවේය.

“සුභ පැතුම් මිස්ටර් සිරාජුදීන්,බිරිඳට පිරිමි දරුවෙක් ලැබුණා.දරුවා වගේම අම්මත් සනීපෙන්.”

“බොහෝම ස්තූතියි ඩොක්ටර්”.යැයි පැවසු සිරාජුදීන් ගුරුතුමා තම දෑත් ඉහලට ඔසවා “අල්ලාහ්”යනුවෙන් දෙවියන් යැද්දේ තම වැඩිමහල්ම දරුවා පිරිමි දරුවෙක් නිසාවෙනි.

දරුවා හා තම බිරිඳ සාමාන්‍ය වාට්ටුවට මාරු කල පසු ඇය දැකීමට ගිය සිරාජුදීන් ගුරුතුමා තම දරුවා දෝතට ගත්තේ පිරී ඉතිරී ගිය ස්නේහයකින්‍ ය.එවිටම තම පියා දෙස බැලූ ඒ කුඩා දරුවා ඔහුට සැහැල්ලු මඳ පවනක් වැනි සිනහවක් මුදා හලේය.

“අපි දරුවට නිෂ්මි කියලා නම දාමු.”සෙයින් සිරාජුදීන් තම බිරිඳ වූ ආතිකාට පැවසුවේය.

“නිෂ්මි,සනීපදායක මද පවන” යැයි මිමිණු ඇය “ඔව් ඒක හොඳයි.ඒක දාමු”යැයි පැවසුවාය.

සිරාවුදීන් මොහොමඩ් නිෂ්මි ලෙස ඒ කුඩා දරුවාගේ නම උප්පැන්නයේ ලියවුනි.

නමුත් සෙයින් සහ ආතිකා නොදත් දෙයක් ඒ දරුවාගේ දෛවයේ ලියවී තිබුණි.ඒ ඔහුගේ සනීපදායි මඳ පවන සැඩ සුළඟක් වී හමා ගොස් යුග යුග ගණන් සරසවි ශිෂ්‍ය ප්‍රජාව තුල කියවෙන,නොමැකෙන නාමයක් ඉතිරි කර යන වගය.

ගුරු යුවලක් වන සෙයින් සිරාවුදීන් සහ සහීඩ් ආතිකා උම්මා යුවලට දාව 1964 දී උපන් මොහොමඩ් සිරාවුදීන් නිෂ්මි දරුවන් සිව් දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවාය.තම මව්පියන් ගුරුවරු වූ නිසාම ඔහුටද ඔවුන් මාරු වන ස්ථානයෙන් ස්ථානයට යාමට සිදු වූ නිසා ඔහුට පාසල් කිහිපයකට යෑමට සිදු විය.

පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය සහ රක්වාන ශාන්ත අන්තෝනි පාසල යන පාසල් ද්විත්වයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහු සයවන ශ්‍රේණිය සඳහා ඇහැළියගොඩ මධ්‍ය විද්‍යාලයට ඇතුල් වුණි.ඉන් පසු සත්වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඔහු ඉගෙනුම ලැබුවේ රත්නපුරයේ පිහිටි දීප්තිමත් පාසලක් වූ රත්නපුර ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයෙනි.

නිෂ්මි වනාහි ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු විය.එසේම ඔහු ශිෂ්‍ය නායකයෙකුද විය.තවද නිෂ්මි වොලිබෝල් සේම මැරතන් පදක්කම්ලාභී ක්‍රීඩකයෙකුද විය.

1982 වසරේ පැවති උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටි නිෂ්මි A සාමාර්ථ 3ක් සහ C සාමාර්ථයක් ලබා ගනිමින් ලකුණු 196ක් ගෙන පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට තේරී පත් වුණි.ඒ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පේරාදෙණිය ඉංජිනේරු පීඨයට තේරී පත් වූ මුල්ම මුස්ලිම් ජාතික ශිෂ්‍යයා බවට පත් වෙමිනි.

නිෂ්මි නායකයෙකු ලෙස සරසවිය තුල ඉස්මතු වන්නේ 1986 පේරාදෙණිය සරසවියේ “ඉලෙක් ලැබ්”ශිෂ්‍ය ගැටලුව හරහායි. එහිදී ඉංජිනේරු පීඨය සංවිධානය කල නිෂ්මි එම ගැටලුව පිළිබඳ පාලනාධිකරණය සමඟ කල තර්කයන් හමුවේ නිරුත්තර වූ පාලනාධිකාරිය ඉලෙක් ලැබ් සිද්ධියට ශිෂ්‍යභාවය අහෝසි කල ශිෂ්‍යයන්ගේ එම තහනම ඉවත් කලේය.එසේ ඔහු නිතැතින්ම ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය නියෝජිතයා වූයේය.

එසේම වෛද්‍ය පීඨයේ විභාග ගැටලුවකදී ඔහු එම විභාගය නිසි කාල සීමාවට පෙර තැබූ බව කල තර්කයන් හේතුවෙන් එම විභාගය නැවත පැවැත්වූ අතර සිද්ධියට මැදි වූ සියලුම ශිෂ්‍යයින් ඉන් සමත් වීමෙන් නිෂ්මිගේ තර්කානුකූලභාවය මනාවට ඔප්පු විය.එම සිද්ධියෙන් පසු නිෂ්මි වෛද්‍ය පීඨයේහිද ශිෂ්‍ය නියෝජිතයා විය.

නිෂ්මිගේ අපරාජිත ශිෂ්‍ය අරගල වල ජනප්‍රියතම ශිෂ්‍ය අරගලය වනුයේ 1978 දී දුම්බරට රැගෙන ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය නැවත පේරාදෙණියට රැගෙන ඒමට සිදු කල ඓතිහාසික “දුම්බර සටනට” නායකත්වය ලබා දීමයි.1978 සිට කොතෙක් උත්සහ කලත් එයට විසදුමක් ලබා දීමට රජය දැක්වූ අකැමැත්ත නිසා එය දිනෙන් දින කල් ගියේය.මෙය දුටු නිෂ්මි මෙයට නායකත්වය දීමට තීරණය කළේය.

නිෂ්මි රජයට දිනයක් දන්වන ලදී.එම දිනයට පෙර නිසි අයුරින් දුම්බර පිහිටි ශාස්ත්‍ර පීඨය පේරාදෙණියට නොගෙනාව හොත් බලෙන් හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ එම පීඨය පිහිටුවන බවද රජයට දන්වා යවන ලදී.නමුත් රජය සුපුරුදු උදාසීනත්වය දැක්වූ අතර අදාළ දිනයේදී පෙර සාකච්ඡා කරගත් පරිදි ශිෂ්‍යයන්,ආචාර්යය වරුන්,අනධ්‍යයන සේවකයන් පේරාදෙණිය සරසවි භූමියට කැදවා සතියක් පුරා එහි ශාස්ත්‍ර පීඨයේ දේශණ සිදු කරනා ලදී.අවසානයේදී රජයට තම ප්‍රතිපත්තීන් වෙනස් කර ගනිමින් නැවතත් ශාස්ත්‍ර පීඨය පේරාදෙණිය සරසවියේම පිහිටුවන ලදී.එසේ නිෂ්මි ශාස්ත්‍ර පීඨයේද ශිෂ්‍ය නියෝජිතයා වූ අතර ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේම නියෝජිතයා විය.ඉන් පසු සමස්ත ශිෂ්‍ය පරපුරේම නායකයා වෙමින් ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රථම කැදවුම්කරුවාද විය.

නිෂ්මිට ඕනෑම කෙනෙකුගේ සිත දිනාගැනීමට ගත වනුයේ ඉතාමත් සුළු කාලයකි.ලගන්නා සුළු වාග් විලාසය හා භාෂාවේ අලංකාරවත් වචන භාවිතය සේම තර්කනයේ හැකියාව එයට උපකාරී විය.එසේම ඕනෑම කෙනෙකුගේ අසාධාරණයට විරුද්ධව ඔහු නැගී සිටියේය.ඔහු මෙහෙයවූ ශිෂ්‍ය අරගල සියල්ලක්ම පාහේ අපරාජිත විය.නමුත් ඔහු ඉන් හිස උදුම්මවා නොගත්තේය.රබර් සෙරෙප්පු ජෝඩුව,අළු පැහැති ඔහුගේ කලිසමට එක්වූ කොටු සහිත කමිසය ඔහුටම ආවේණික සරලත්වයක් මවා පැවේය.

එසේම නිෂ්මි කිසිඳු දෙයකට බියක් දැක්වූයේ නැත.ඔහුගේ ප්‍රභලතම අවිය වූයේ විශ්වාසය හා කැපවීමයි. ඓතිහාසික “දුම්බර සටන” නිෂ්මි භාරගන්නා විට ඔහුගේ සමීපතමයෙකු ඔහුගෙන්,

“මේ වැඩේ ගොඩක් අමාරු වෙයි නේද?”

යනුවෙන් විමසීය.

එයට නිෂ්මි විසින් ලබා දුන් සරල පිළිතුර එතෙක් මෙතෙක් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගම් නායකයෙකු කරන ලද සුවිශිෂ්ඨ ප්‍රකාශයක් ලෙස සඳහන් විය.

“හොඳ දේ කිරීම අසීරුය.එවැනි දේ කල විට ඒවා වටිනා හා ලස්සන දේ වේ.පහසු දේ කරන්නට ඕනෑම කෙනෙකුට හැකිය.එසේම ඕනෑම කෙනෙකු ඒවා සිදු කරයි.නමුත් ඒවා වටිනා හා ලස්සන දේ වන්නේ නැත.එහෙයින් අනෙක් අය පසුබාන,අනෙක් අය අත්හරින අසීරු හොඳ කටයුතු පමණක් අප භාරගත යුතුය.අප ඒවා කල යුතුය.එය කල හැකිය.”

මෙසේ කෙටි කලකින්ම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය අරගල රාශියක් සිදු කල නිසාම නිෂ්මි ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය බිහි කල විශිෂ්ඨතම ශිෂ්‍ය සංගම් නායකයා ලෙස හඳුන්වන ලබන අතර 1988 දී “ඒෂියා වීක්” සඟරාවේ ගවේශණයකට අනුව සමස්ත ආසියානු කලාපයේම දීප්තිමත්ම ශිෂ්‍ය නායකයා ලෙසද නම් විය.

නිෂ්මි පූර්ණ කාලීන ශිෂ්‍ය ව්‍යාපාරයට යොමු වන්නේ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිටය.රාගම පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව කල අරගල වලින් ඔහුගේ නායකත්වය සේම ශිෂ්‍ය ව්‍යාපාරයට තිබූ බැදීම ඔප්පු වුණි.රාගම පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව විශ්ව විද්‍යාල වල සිදු කල උද්ඝෝෂණ මාලාවන් දින දෙක තුනක් ඇතුලත මර්ධනය කිරීමට රජයේ මර්ධන කණ්ඩායම් වලට හැකියාව ලැබුණු නමුත් කලින් සූදානම් කල පරිදි පුරා සතියක් මුළුල්ලේ සිදු කල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්ඝෝෂණ මාලාව නැවත්වීමට ඔවුනට නොහැකි විය.ඊට ප්‍රධානම හේතුව වූයේ නිෂ්මි එයට ලබා දුන් නායකත්වය යි. මෙය නිසා නිෂ්මි පසුපස රජයේ අදිසි ඝාතන හස්තය ලුහුබැදීම ආරම්භ කලේය.

1988 දී දින නියමයක් නොමැතිව පේරාදෙණිය සරසවිය වසා දැමු අවස්ථාවේද නිෂ්මි එයට විරුද්ධව අවශ්‍යය බලවේග රැස් කිරීමටද විශාල සහයෝගයක් ලබා දුන්නේය.1989 නොවැම්බර් 12 දින රෝහණ විජේවීර ඝාතනය කිරීමෙන් පසු සමන් පියසිරි ප්‍රනාන්දු ගේ නායකත්වය යටතේ 1989 නොවැම්බර් මස රැස්වූ ජ.වි.පෙ මධ්‍යම කාරක සභාව නිෂ්මිව මධ්‍යම කාරක සභිකයෙක් ලෙස පත් කලේය.එය නිසා නිෂ්මි පසුපස රජයේ අදිසි ඝාතන හස්තය ලුහුබැදීම තවත් වේගවත් කලේය.

රජයේ අදිසි ඝාතන හස්තයෙන් මිදීමට නිෂ්මි තම මිතුරන්ගේ නිවෙස්වල නවාතැන් ගත් අතර 1990 ජනවාරි මස 18 දින ඔහුව දෙහිවල දී අත්තඩංගුවට පත් විය.එසේ අත්තඩංගුවට ගත් ඔහු ග්‍රෙගරි මාවත හා බෞද්ධාලෝක මාවත අතර පිහිටි වධකාගාරයකට ගෙන යන ලදි.එසේ රැගෙන ගොස් නිෂ්මිට අනේක විධ වද වේදනා දුන් අතර ඔහුගේ කකුල් පැලෙන ලෙස පහර දුන් බව එහි නිෂ්මි හා වධවේදනා විද අමාරුවෙන් දිවි රැකගත් අයෙක් පසු කලෙක පවසන ලදී.එසේම විදුලි සැර පවා අල්ලමින්,

“කියපන් කොහේද තොපේ අනිත් එවුන් ඉන්නේ.කියපන් පා**,*** බල්ලා තොගේ....”

ආදී වශයෙන් අමුතිත්ත කුණු හරුප පවසමින් ශාරීරික වේදනා මෙන්ම මානසික වධ වේදනා දුන්නද නිෂ්මි කිසිවක් නොපවසා තම වේදනාව පිට කර ඇත.ඔහු සතු මානසික ශක්තිය පවා එහි සිටි වධකයන් පවා පුදුම වූ බව පසු කලෙක එම වධකාගරයේම සිටි උපාලි බාලසූරිය නම් සරසවි සිසුවා පවසා ඇත.

මෙසේ සති තුනක් පමණ වධ දුන්නද කිසිවක් ලබා ගත වූවේ නොමති තැන නිෂ්මිට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට රජයේ මුල් පුටු තීරණය කලේය.එසේ තීරණය කොට 1989 පෙබරවාරී 16 දින සවස් භාගයේ පැමිණි පැජරෝ රථ දෙකකින් එකකට දමා ගත් නිෂ්මිව ඉන් පසු ජීවත්ව සිටිනු කිසිවෙකුට දැකිය නොහැකි වූ අතර 1989 පෙබරවාරි 17 දින ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඉදිරියේ භාගයට පුලුස්සා දමා තිබූ මල සිරුරු දෙක අතරින් එකක් මොහොමඩ් සිරාජුදීන් නිෂ්මිගේ බව හෙලි වුණි.

නිෂ්මිට අවශ්‍යය වූවානම් ශිෂ්‍යය අරගලයක් නොකොට සාමාන්‍යය සරසවි සිසුවෙකු ලෙස ඉගෙන අති දක්ෂ ඉංජිනේරුවෙක් විය හැකිව තිබුණි.නමුත් ඔහු එම මාවත තෝරා ගත්තේ නැත.ඔහු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිට ඊට විරුද්ධව ආ බලවේගයන් හා අරගල කොට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පිදුවේය.ඔහු දිවි පිදුවේ අප වෙනුවෙන්‍ ය.ඔහු යුගයේ විශිෂ්ඨතම ශිෂ්‍ය විරුවන් කිහිපයෙන් එකෙකි.

“අපි යන්නේ කොයි පාරේ - නිෂ්මි බාලේ ගිය පාරේ”

 

සටහන- කසුන් සපුමොහොට්ටි

(අන්තර්ජාලයේ තිබූ ලිපි රාශියක එකතුවකින් රචිත ලිපියකි.)

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

ප.ලි.

මා ලියනා ලිපි මාගේ පෞද්ගලික කැමැත්ත මත ලියනා ඒවා විනා එයට මාගේ විශ්ව විද්‍යාලයෙන් කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැත.අනෙක් විශ්ව විද්‍යාලයන් සමහර විටෙක එවැනි දෑ සිදු කරනවා වන්නට පුලුවන. නමුත් මාගේ විශ්ව විද්‍යාලයෙන් මට බලපෑම් එල්ල කරනවා යැයි සිතා සිටිනා සියල්ලන් වෙතම මා නැවතත් කියා සිටින්නේ මාගේ ලිපි හා මාගේ විශ්ව විද්‍යාලයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි.

එසේම ශිෂ්‍ය වීරයන් වනාහි සමස්ථ ශිෂ්‍ය පරම්පරාවට අයත් අය මිස අපටය,අපේයැයි බෙදා වෙන් කල හැකි අය නොවන බව නව පරපුරේ විප්ලවවාදීන් යැයි කියා කෑ ගසා ගන්නා සහෝදරත්වයට සිහිපත් කරනු කැමැත්තෙමි.

අනික නිෂ්මිගේ නම " සිරාවුදීන් මොහොමඩ් නිෂ්මි "  මිස "සිවුරුදීන්" නොවන බවත් කෑගසනා අතදරු සහෝදරත්වය මතක තබා ගන්න. විප්ලවකට මුවා වී සිසු විරුවන්ට ගැරහීමෙන් වලකින්න.


Post a Comment

0 Comments