ඇය තම සමකාලීනයන්ට සහෝදරියකි. ඇය තම වෘත්තීය සඟයන්ට ආදරණීය
මඟ පෙන්වනියකි.ඇය තම ශිෂ්‍යයන් හට ආදරණීය මවකි. ගරු
ගාම්භීරත්වයෙන් හෙබි ඇගේ කටහඩ කනට සුමිහිරිය. නිතරම මුවේ
තිබෙන සිනහව නෙතට රසඳුනකි. ශ්‍රී ලංකා ගුවන් විදුලිය ලක් මෑණියන්ට බිහිකල අතලොස්සක්
වූ විශිෂ්ඨතම කාන්තා නිවේදිකාවන් අතරින් ඇය දෙවැනි වන්නේ ස්වල්ප දෙනෙකුට පමණි. බසට
වස නොපෙවූ පරපුරක අභිවන්දනීය කාන්තා කටහඬක ජීවිත කථාවයි මේ.
දිනය-1970 දශකයේ අග වකවානුවේ දිනයකි.
ස්ථානය - ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රධාන
කාර්යාලය
ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ පහළ වූ අග්‍රගණ්‍ය
නිවේදිකාවක් වන කුසුම් පීරිස් මහත්මිය එක්තරා තරුණියකට මෙසේ පවසයි.
“නංගී,ඔයා අර සහන නිවේදක නිවේදිකා බඳවා ගැනීම් වලට
ඇප්ලිකේෂන් එකක් දාන්න”
“හා අක්කේ” යනුවෙන් එම තරුණිය පිලිතුරු දෙයි.
දින කිහිපයක් ගෙවී යයි.
පෙර කී තරුණිය දකින කුසුම් පීරිස් මහත්මිය ඇයට නැවතත්
“නංගී” යනුවෙන් කතා කර ලඟට එන මෙන් සන්
කරයි.
ඇය දිව යයි. “ඇයි අක්කේ?”
“ඔයා අර මං කියපු එකට ඇප්ලිකේෂන් එකක් දැම්මද?”
“අනේ සමාවෙන්න අක්කේ.මට ඒක දාන්න අමතක වුනා.”
“ඇයි?”
“අනේ අක්කේ මං නිවේදන වලට ඒ තරම් දක්ෂ නෑ අක්කේ.”
“මෝඩි” යැයි පවසමින් අත ගුලි කර පෙරකී තරුණියට හොද ටොකු
පහරක් දුන් කුසුම් පීරිස් මහත්මිය ඇය ඇදගෙන ගොස් කොලයක් දී
“දැන් ලියලා දානවා” යැයි ටිකක් සැර ස්වරයෙන් ඇයට පැවසූ
අතරම ඇය හා අයදුම්පත ගෙන ගොස් අදාල අංශයටම
බාර දුනි.
කුසුම් පීරිස් මහත්මියගේ එම ටොකු පහරට පින් සිදුවන්නට
ලංකාවට තවත් අනගිභවනීය කාන්තා හඬ පෞරුෂයක් දායාද වුණි.එම ටොකු පහර කෑ තරුණිය වන්නේ
සම්මානනීය ගුවන් විදුලි නිවේදිකාවක් සේම ගුරුවරියක් වන චිත්‍රා කුමාරි පත්තපෙරුම
මහත්මියයි.
1956 වසරේ බක් මස හය වන කිවි දින සිමියොන් කළුබෝවිල
මහතාට සහ ශිලා සරත් කුමාරිහාමි යන දෙපලගේ කුළුදුල් දරුවා ලෙස මෙලොව එලිය දුටු චිත්‍රා
කුමාරි කළුබෝවිල සහෝදරියකගේ හා සහෝදරයන් දෙදෙනෙකුගේ වැඩිමහල් සහෝදරිය විය.කොළඹ
ආනන්ද බාලිකා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක් වූ ඇය ක්‍රීඩා සේම නර්ථන අංශයෙන්ද
පාසලට කීර්තියක් ගෙන ආ ශිෂ්‍යාවක් විය.
කුඩා කාලයේදීම තම මවගේ පෙළඹවීම මත ශ්‍රී ලංකා ගුවන්
විදුලියේ ළමා හඬ මණ්ඩපයේ පැවැත්වෙන ශිල්පි පරීක්ෂණයට සහභාගීවන ඇය ඉන් සමත් වී ළමා
වැඩසටහන් ශිල්පිනියක් ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලියේ හඳ මාමා ළමා වැඩසටහනට සම්බන්ධ
වෙයි.එසේ ආරම්භ වන ගමන පෙර කී ටොකු පහරත් සමඟ ඉදිරියට යනුයේ යෞවන වැඩසටහන්
ශිල්පිනියක හා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසිනි.එසේ ඉදිරියට පැමිණි ඇය ශ්‍රී ලංකා
ගුවන් විදුලියේ වෙළඳ සේවයේ අධ්‍යක්ෂවරිය ලෙසද විශාල මෙහෙවරක් ඉටු කර්නු ලැබීය.
එසේම ඇය නල්ලූර් කෝවිල යුධ වතාවරණය මැද විවෘත කල
අවස්ථාවේ සිය ජීවිත අවධානමද නොතකමින් එහි ගොස් එහි ජනයා විදි දුක් වේදනා දකුණේ
ජනයාගේ දෑස් ඉදිරියේ මවා පෙන්වීමට තරම් ඇය එඩිතර විය.
ගුවන් විදුලි නිවේදිකාවක් පමනක් නොව ඇය වේදිකා නාට්‍ය
ශිල්පිනියක් සේම නර්ථන ගුරුවරියක්ද විය.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර,දයානන්ද
ගුණවර්ධන වැනි වේදිකා නාට්‍ය කලාවේ පතාක යෝධයන්ගේ සෙවනේ නාට්‍ය කලාව ඉගෙනීමට ඇය
පින් කර තිබුණි.එසේම ඇය පහතරට නර්ථනය පිලිබඳ ගුරුවරියක්ද විය.ඇයගෙන් ලැබූ ගුරු
හරුකම් පිළිබඳ ඇයගේ එක් ශිෂ්‍යාවක් වන නිල්මිණී තෙන්නකෝන් මහත්මිය අදටත් සිහිපත්
කරනුයේ බැතිබර සිතිනි.
ඇය 2017,2018,2019 යන වර්ශයන් හී දී පිට පිට තෙවතාවක්
රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේදී විශිෂ්ඨතම සිංහල නිවේදිකාව වශයෙන් ගෞරව
සම්මානයට පාත්‍ර වූයේ සුදුස්සාට සුදුසු දෙය කල් ගත වී හෝ අනිවාර්යයයෙන් ලැබෙන බව
පසක් කරමිනි.
වර්තමානය වන විට ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ නිළධාරී
මඩුල්ලේ සාමාජිකාවක් වන ඇය බාහිර කතිකාචාර්යයවරියක් ලෙසද සේවය කරයි.
ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ජේෂ්ඨ තාක්ශණික ඉංජිනේරුවරයෙකු
වන චන්දන පත්තපෙරුම මහතා හා විවාහ වී සිටින චිත්‍රා මහත්මියට දරුවන්
දෙදෙනෙකි.තරිඳු පත්තපෙරුම හා ගජිත් පත්තපෙරුම යන ඔවුන් දෙදෙනාද ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන්
ලක් මාතාව ජාත්‍යන්තර තලයට ගෙන ගිය ක්‍රීඩකයින් දෙදෙනෙකි.
අදටත් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අභිමානවත් කාන්තා හඬ
පෞරුෂය වන චිත්‍රා කුමාරි පත්තපෙරුම මහත්මියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා.
“සන්නිවේදනය යනු සෑම සත්ත්ව මෙන්ම මානව කොට්ඨාසයක්ම සිය
පැවැත්ම වෙනුවෙන් සිදු කරනා ලබන ක්‍රියාවලියකි” - චිත්‍රා කුමාරි පත්තපෙරුම-
සටහන-කසුන් සපුමොහොට්ටි
0 Comments