ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඡන්දදායකයන් සතු විය යුතුම අයිතිය - The Right To Recall

 

ලොව බොහෝ රටවල මහජන නියෝජිතයන් රැස්වන ව්‍යවස්ථාදායකය පවත්වන ස්ථානයේ උඩට වන්නට මහජන ගැලරියක් පවතියි. එය තිබෙනේ මහජනයාට පැමිණ තමා පත් කර එවූ නියෝජිතයා තමා වෙනුවෙන් කතා කරයිද නැද්ද කියා බැලීමට වැනි කරුණු සඳහා විය හැකිය. නමුත් එහි සැඟවුණු කරුණ නම් පහල සිටිනා මහජන නියෝජිතයාට ඉහල බැලූ විට සිටිනා මහජනතාව දැක තමාට වඩා ඉහලින් මහජනයා සිටිනවා යැයි යන මතය ඉබේම ඔහුගේ සිතට ඇතුල් වීමට වන බව මාගේ අදහස යි. නමුත් දකුණු ආසියානු කලාපයේ බොහෝ ව්‍යවස්ථාදායක වල මහජනයා පත් කර එවන ලද මහජන නියෝජිතයින් මහජනතාව බලා සිටියදීම ඉතාමත් කලහකාරී ලෙස හැසිරේ.අසභ්‍ය වදන් වලින් බැන ගනියි.මිරිස් කුඩු ගසා ගනියි. එසේ සියල්ල කොට මහජනයාට කියන්නේ ඒ සියල්ල කලේ මහජතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් බවය. මහජනයාට කරන්නට දෙයක් නොමැති නිසා බලා සිටින අතර එකම පිහිට දෙවියන් බව ඔවුන් සිතයි. නැත. එසේ නැත.එක් ක්‍රමයක් පවතියි. මෙම ක්‍රමය සම්මත වූවහොත් තමා පත් කල මහජන නියෝජිතයා ඔහුගේ කාර්යය සාධනය ඉටු නොකරයි නම් ඔහුව එම තනතුරෙන් නැවත ගෙන්නවීමේ බලය මහජනයාට හිමිවේ. මෙය හඳුන්වන්නේ “නැවත කැදවීමේ අයිතිය” ලෙසයි.

නැවත කැදවීමේ අයිතිය යනු ඡන්ද දායකයන් විසින් පත්කල තම ඡන්ද නියෝජිතයාගේ කාර්යය සාධනය දුර්වල මට්ටමක පවතියි නම්, ඔවුන්ගේ ධූර කාලය නිමවීමට පෙර ඔහු නැවත එම තනතුරෙන් කැඳවීමට ඡන්ද දායකයන් වශයෙන් මහජනයාට ඇති අයිතියයි.සරලව කිවහොත් තමාගේ ඡන්දය භාවිතා කොට තමාව නියෝජනය කිරීමට යවන ලද මහජන නියෝජිතයාගේ ක්‍රියා කලාපය දුර්වලයි නම්, තම ඡන්ද කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් ඔහුට පැවරී ඇති වගකීම් ඉටු නොකරයි නම්, ඔහුගේ නියමිත ධූර කාලය අවසන් වීමට ප්‍රථම ඔහුව එම තනතුරෙන් නැවත මහජනතාව වෙත කැදවීමයි.

මෙම නැවත කැදවීමේ අයිතිය දක්වන පනත පාර්ලිමේන්තුවේ සම්මත වී කතානායකගේ අත්සනින් නීතියක් වූවහොත්, යම් කිසි මහජන නියෝජිතයෙකු ඔහුගේ වගකීම් නිශ්චිත කාලයක් තුලදී නිසි පරිදි ඉටු නොකරයි නම්, ඔහුගේ ඡන්ද කොට්ඨාශයේ සිටිනා ඡන්ද දායකයන්ගේ 50%කට වඩා පිරිසකගේ තහවුරු කරන ලද අත්සනින් යුතු පෙත්සමක් ගොනු කලහොත්, මැතිවරණ කොමිසමේ සහය ඇතිව නැවත එම කොට්ඨාශයේ ඡන්දයක් පැවැත්වීමට හෝ දෙවනුවට වැඩි ඡන්ද ලබා ගත් පුද්ගලයා එම කොට්ඨාශයේ ඡන්ද නියෝජිතයා කිරීමේ හැකියාව නැවත කැදවීමේ අයිතිය තුලින් හැකියාව පවතියි.

මින් ප්‍රශ්ණ කරනුයේ ඡන්ද නියෝජිතයාගේ ධූර කාලය නොවේ.මින් ප්‍රශ්ණ කරනුයේ මහජනයා විසින් පත් කරනා ලද මහජන නියෝජිතයා මහජනයා වෙනුවෙන් ඉටු කර ඇත්තේ මොනවාද? මහජනයා සෑහීමකට පත් වන අයුරින් ඔහු වැඩ කොට තිබේද? යන්නයි.එසේ නොවේ නම් ඡන්ද දායකයන්ට ඔවුනගේ ඡන්දය නැවත ගැනීමේ අයිතිය තුලින් තම මහජන නියෝජිතයා නැවත කැදවීමේ බලයක් ඇති බවයි.

වර්ථමානය ගත හොත් මෙම පනත මහජනයා ඉල්ලා සිටිනා පනතකි.තමාගේ ප්‍රදේශය දියුණු කරනවාය,තව්තිසාවක් කරනවාය පොරොන්දු දී ඡන්දයෙන් තේරී පත් වූ පසු තමා දියුණු වී තම ප්‍රදේශයේ මහජනතාව බඩගින්නේ මිය යාමට හරිනා බොහෝ දේශපාලකයන් අද සිටියි.ඔවුනට ඡන්දය භාවිතා කල මහජනතාව දෙවියන්ට කන්නලව් කලත් කිසිඳු ඵලක් නොවේ.නැවත ආවොතින් සෙරෙප්ප්පු පාර දෙන්නේ යැයි කියනා ජනතාව වසර 4කට හෝ 5කට පසු නැවත ඡන්දයක් ආ පසු තම “ස්ටයිල්” එක හා කතා විලාසය වෙනස් කොට “ආදරණීය අම්මේ, තාත්තේ...” කියමින් දෙපා මුල වැද වැටෙනා පෙර කී ඡන්ද නියෝජිතයාටම නැවතත් පොලීමේ සිටගෙන හිද , සුලගිල්ල පාට කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය සුරකීමට යැයි කියමින් තම ඡන්දය ප්‍රකාශ කිරීමයි.නමුත් එසේ කොට ජයග්‍රහණය කල පසු ඡන්ද නියෝජිතයා ගමේ හතර මායිමවත් නොපාගන විට නැවතත් මිනිසුන් දෙවියන්ට කියයි.ජනතාව ඔහු හා ගැටුනද ඔහුට කිසිවක් කිරීමට ජනතාවට නොහැක.මන්ද ඔහු ජනතාවගේ ඡන්ද වලින් පත් වූ නියෝජිතයා නිසාය. නමුත් නැවත කැදවීමේ අයිතිය පනතකින් සම්මත වූවහොත් අපට නැවතත් දෙවියන්ට කීමට අවශ්‍යය වන්නේ නැත.අපට ඔහුව නැවත කැදවීමේ අයිතිය තිබේ. එවිට ඔහුට ලබා දුන් ඡන්ද නැවත කැදවීමට මහජනතාවට ඇති අයිතිය නිසා ඔහුට මහජනයා වෙනුවෙන් වැඩ කිරීමට සිදු වේ.

ඇතැම් උගත් පිරිස් මෙම නැවත කැදවීම පිලිබඳ කතිකාවක් ගෙන යන විට බොහෝ අය එක් වී එය උපන් ගෙයිම  මරා දමයි.ඔවුන් මෙය වෙත එල්ල කරනා චෝදනාවක් වන්නේ මහජනයා විසින්ම පත් කරගත් මහජන නියෝජිතයින් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කිරීමට ගන්නා ප්‍රායෝගික නොමැති පියවරක් බවත් නැවත නැවත කැදවන වාරයක් ගනනේ ඡන්ද පැවැත්වීමට ගියහොත් රටේ ආර්ථිකය සහ දේශපාලන තත්ත්වය අර්බුදයකට ලක් වී රට අරාජික විය හැකි බවයි. නමුත් සත්‍ය මෙයයි.මෙම නැවත කැදවීමේ අයිතිය සම්මත කරගතහොත් මහජන නියෝජිතයින් තම වගකීම් නිසි ලෙස ඉටු කරනු ඇත.ඔවුන් කාර්යක්ෂමව කටයුතු කිරීමට පෙළඹෙනු ඇත.ඔවුන් තමා වෙනුවෙන් නොව සත්‍ය වශයෙන්ම ජනතාව වෙනුවෙන් සේවය කරනු ඇත.ඒ තමා නිසි ලෙස කටයුතු නොකලහොත් ඔහුට වේලාසනනින්ම තම ධූරය හැර යාමට සිදු වන නිසාය.මහජනයාට සහන සලසන ජනයාගේ සැප දුක බලන, ජනතාව වෙනුවෙන් සත්‍ය වශයෙන් වැඩ කරනා යම් කිසි මහජන නියෝජිතයෙකු සිටී නම් ජනතාව ඔහුට වසර 4 ක් හෝ 5ක් නොව වසර 50 ක කාලයක් තෙක් වූවත් පත් කර ගනියි.ඒ ජනතාව ඔහුව විශ්වාස කරනා නිසාය.ජනතාව සමඟ ඔහු කවර හේතුවකට වූවත් නැගී සිටිනා බව දන්නා නිසාය. ජනතාවගේ මිනිසෙකු ලෙස ජනතාව ඔහු වැලද ගෙන ඇති බැවිනි. ජනතාව ඔහුට ආදරය කරනා බැවිනි. එවන් වූ මහජන නියෝජිතයෙක්ට විරුද්ධව නැවත කැදවීමේ අවශ්‍යතාවයක් මහජනතාවට ඇති විය නොහැක. එවිට නැවත කැදවීමේ අයිතිය තුලින් රටේ ආර්ථිකය සහ දේශපාලන තත්ත්වය අර්බුදයකට ලක් වී රට අරාජික වීමට ඇති හැකියාව වෙනුවට රටේ  රටේ ආර්ථිකය සහ දේශපාලන තත්ත්වය ශක්තිමත් වෙනවා යැයි සහතික විය හැකිය.

සත්‍ය වශයෙන්ම මහජන නියෝජිතයන් මහජනතාවට සදා ණය ගැත්තන් වෙයි.ඔවුන්ට එම වරප්‍රසාද ලැබුනේ මහජනතාව නිසාය.ඔහු උදෑසන ගන්නා කෑම කටේ සිට, ගමන් යන වාහන , අදින ඇදුම හා දමනා පාවහන් යුවල දක්වාම ඔවුන් මහජනයාට ණය ගැති වෙයි. ඇත්තෙන්ම ඔවුන් මහජනතාව දකිනා විට හිදගෙන සිටිනා ආසනයෙන් නැගිටිය යුතුය.ඒතරම්ම ඔවුන් තම ඡන්ද දායකයන්ට ණය ගැතිය.නමුත් සත්‍ය එසේ නොවේ.ඔවුන් ඡන්ද කාලයේ ජනතාවගේ දෙපා මුල වැද වැටී ඡන්දය ඉල්ලුවද,ඡන්දයෙන් පසුව ඔවුන් සිටින්නේ අඩි ගණනක් උඩින්ය.එය දකුණු ආසියාවේ දේශපාලනයේ හැටිය.නමුත් නැවත කැදවීමේ අයිතිය හරහා ඉහත කී අඩි ගණනක් උඩ යන පුද්ගලයා කඹයකින් බැද ජනතාව අතට එය පාලනය කිරීමට හැකියාව ලබා දී ඇත.

නමුත් මහජන නියෝජිතයන් මෙම පනත සම්මත කර ගැනීමට උදව් වුවහොත් එය පුදුමය.මෙම අයිතිය පනතකින් සම්මත කලහොත් ඔවුන් ගෙවනා සුඛෝපභෝගී දිවියේ අවසානය එය බව ඔවුන් හොදින් දනියි.ආණ්ඩු පක්ෂය තබා විපක්ෂයද මෙයට එකහෙලා විරුද්ධ වන්නේ දේශපාලනයේ පවතින එක් න්‍යායක් නිසාය. ඒ හොරු හොරු අතරේ පවා සම්ප්‍රධායක් පවතින බව පෙන්වමිනි.ඔවුන් සමාජයේ සිටින්නේ මහජනතාව වෙනුවෙනි.නමුත් සිනහ යන කාරණය නම් ඔවුන් නැවත කැදවීමේ  අයිතිය තහවුරු කෙරෙනා පනතකට සහය නොදීමයි.

මෙය කියවන ඔබට එන ගැටලුව වන්නේ මෙවන් වූ පනත් ලොව පවතී ද යන්නයි.ඔව් මෙම පනත් ලොව පවතිනවා පමණක් නොව ඒවා ප්‍රායෝගිකවද ක්‍රියාත්මක කෙරේ.ඇමෙරිකාව,ස්විස්ටර්ලන්තය වැනි රටවල පමනක් නොව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය පවතින අපගේ අසල්වැසි ඉන්දියාවේ පවා මෙම නැවත කැදවීමේ අයිතිය පිලිබඳ පනත ක්‍රියාත්මක වේ. එසේ නම් ලංකාව තුල මෙය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන්නේ ඇයි?

සත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක රජයක් යනු ජනතාව පාලනය කිරීම නොව ජනතාව උදෙසා පාලනය කිරීමයි.මෙම පනත සම්මත වූවහොත් කිසිදු අධිකාරයක්,මන්ත්‍රී වරයෙක්,අමාත්‍යවරයෙක් නොව රටේ ඉහලම දේශපාලන අධිකාරය වන්නේ නාමිකව නොව සත්‍ය වශයෙන්ම මහජනතාවයි. නමුත් මෙම නැවත කැදවීමේ අයිතිය බන්දේසියක තබා පිලිගන්වන්නේ නැත. එය දහසක් වූ පරාජයන් මැද සම්මත කර ගත යුත්තකි.මන්ද සමහර පරාජයන් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයන්ටත් වඩා ශ්‍රේෂ්ඨ නිසාය.

ශ්‍රී ලංකාව නැවත ගොඩ ඒමට නොහැකි තරම් ආගාධයකට වැටී ඇති බව ඇතම් තරුණයන්ගේ මතයයි.මා සිතන්නේ තවමත් අපට ගොඩ ඒමට හැකිය. එසේ ගොඩ ඒවට තිබෙනා අවසාන තුරුම්පුව මෙම නැවත කැදවීමේ අයිතිය සම්මත කර ගැනීම පමණක් විය හැක.යම් දිනයක සැබෑවටම මහජනයා විසින් පාලනයක් ගෙන යන දිදුලන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වේවායි මාගේ අවංක ප්‍රාර්ථනය යි.

“ඡන්ද දායකයන්ට තම නියෝජිතයන් නැවත කැදවීමේ අයිතියක් තිබිය යුතුය.එසේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය උපහාසයක් බවට පත් වේ.”

-        සචින්ද්‍ර නාත් සන්යාල්

(ඉන්දීය නිදහස් ව්‍යාපාරයට සම්බන්ද විප්ලවවාදියෙකි)

 

ප.ලි.-

මෙය කියවන ඔබට මෙය ප්‍රායෝගිකව ලංකාව තුල ක්‍රියාත්මක කල නොහැකියැයි සිතිය හැක. යමක් කිරීමට පෙර ඒ ගැන අනාවැකි කීමට කලින් ක්‍රියාත්මක කර බැලිය යුතුය. කලනොහැක්කක් නොමැත.අවශ්‍යය වන්නේ උවමනාව හා කැපවීම පමණි.

Kasun Sapumohotti

Post a Comment

1 Comments

  1. මහජනතාවගේ දේශපාලන සාක්ශරතාවය පිළිබඳ දෙවතාවක් සිතිය යුතුයි. මක් නිසාදයත් ඉතාමත් පහත් දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක වන නිසාය. මහජනතාවගේ දේශපාලන සාක්ශරතාවය ඉහළ මට්ටමක පවතිනවානම් මේ ක්‍රමයේ ගැටලුවක් ඇතිවෙන එකක් නෑ

    ReplyDelete