මෑතකදී මම සීයා කෙනෙකු සමඟ රට යන මඟ ගැන කතා කරමින් සිටිනා විටදී මා ඔහුගෙන් මෙසේ ප්‍රශ්ණයක් ඇසුවෙමි.
“සීයා හිතන
විදිහට ලංකාව දියුණු වෙන්න ඕනිනම් මොකක්ද වෙන්න ඕන.”
එවිට ඔහු දුන්
පිලිතුර මගේ මේ ලිපියට මඟ පෑදුවේය.
“මේ යන
විදිහටනම් පුතේ, දියසෙන් කුමාරයා පහල වෙන්නම ඕනේ.”
කවුද මේ ලංකාව
ගලවා ගන්න එන දියසෙන් කුමාරයා. ඇත්තෙන්ම ඔහු කෝ? ඔහු කවදද එන්නේ? මෙවැනි විශාල ප්‍රශ්ණ
ගණනක් සිංහල ජන මනස තුල තවමත් පවතින බව නොරහසක්.
ලෝකයේ බොහෝ
රටවල මේ වගේ පුරාවෘත තියෙනවා. 2014-2015 ගණන් වල හිරු නාලිකාවේ විකාශය වුණු
මර්ලින් නාට්‍යයේ එන ආතර් කුමාරයාත් දිනක මහා බ්‍රිතාන්‍යය බේරා ගැනීමට පැමිණෙන
කෙනෙක් විදිහටත් ඔවුන්ගේ පුරාවෘතවල සඳහන් වෙනවා. ඒවගේම ලංකාවේ රාවණා රජුත් ඒ වගේම
පුරාවෘතයක්. ඒත් දියසෙන් කුමාරයා යන පුරාවෘතය ජන මනසේ අලුත් වන්නේ ලංකාවේ
දේශපාලඥයන් නිසා. අපි බලමු කවුද මේ දියසෙන්
කුමාරයා කියන්නේ කියලා.
දියසෙන්
කුමාරයා කියන චරිතය අපිට මුලින්ම අහන්න ලැබෙන්නේ කෝට්ටේ යුගයේදී, ඒකාලයේ ලියවුණු
ප්‍රශස්ති කාව්‍යයක් (යම් අයෙකු වර්ණනා කොට ලියූ කාව්‍ය) වන පැරකුම්බා සිරිතේ එන
116 වන පද්‍යයෙන් මේ කියන දියසේන හෙවත් “දියනා” කියන කෙනා හමුවෙනවා.
“කියඟ මඟිය
එනු කොහි සිටැ - දදැ සමනොළ ගොසිනා
නොය කියමුතු
එදිගැ - බමුණැ සුරිදු විසිනා
ගිය කලැ
දෙදහස් පන්සිය රජකු එතැයි දියනා
කියවිණි
තන්වැසිය පැරකුම් රජ මෙදිනා.”
සිරි පතුල
වන්දනා කර එන මඟියෙකු හා බමුණෙකු අතර ඇතිවන සංවාදයක් ලෙස දැක්වෙන මෙම පද්‍ය
පන්තියෙහි, බමුණා මඟියාගෙන් කොහේ සිට එනවා දැයි ඇසූ විට සමනොළ ගොසින් එනවා යැයි
පවසයි. එම දිශාවේ විස්තර කියන්න යයි කියූ විට මඟියා තමන්ට සුමන සමන් දෙවියන්
විසින් බුද්ධ පරිණිර්වාණයෙන් වසර 2500ක් ගිය විට දිය නා රජෙකු එන බවත්, ඒ මෙකල රජ
කරන පරාක්‍රමබාහු රජු බවත් පැවසූ බව කියයි. මෙහි දිය නා රජෙකු යනු ලෝකය පාලනය කරන
නායකයෙකු බවයි. ඒ දිය යනු ලෝකයට සමාන පදයක් හා නා යනු නායක යන්නට සමාන පදයක් යන
තේරුම් ඇතිවය. එසේම ඇතැම් උගතුන් පවසන්නේ මෙහි එන දිය නා යන පදය පසු කාලයේ දියසෙන්
බවට පත් වී සුඛෝච්චාරණයේ පහසුව සඳහා දියසේන වූ බවයි.
කෙසේ වෙතත්
මෙම පද්‍ය ඇතුලත් පැරකුම්බා සිරිත ලියන ලද්දේ කවුරුන් විසින්දැයි යන්න තවම නොදන්නා
අතර මෙම දියසෙන් කුමාර සංකල්පය බිහිවූයේ කුමන වකවානුවේද යන්න ස්ථීර නොමැත.නමුත්
මෙය ප්‍රශස්ති කාව්‍ය ගණයේ කාව්‍යයක් නිසා සවන පැරකුම්බා (VI පරාක්‍රමබාහු) රජුගේ ප්‍රතිරූපය පුම්බා
දැක්වීමට ලියවුණු එකක්ද විය හැකි බව උගතුන්ගේ මතයයි.
එසේම අපට
දියසෙන් කුමාරයා පිලිබඳ හමුවන තවත් තැනක් වන්නේ මහනුවර යුගයේ ස්වාමීන් වහන්සේලා
විසින් ලියන ලද සුමන සූත්‍රයයි. එය සූත්‍ර පිටකයේ එන සූත්‍රයක් ලෙස දැක්වීමට
“ඒවං මේසුතං ඒතං
සමයං භගවා සුමනකූටං දිවාගුහං භගවන්තෝ දේසිතං සුමන සුත්තංති”
(මා විසින්
මෙසේ අසන ලදී.එක් සමයෙක් හි අප බුදුන් වහන්සේ සුමන කූටයේ(සමනොල කන්දේ) දිවාගුහාවේ
දී සුමන සූත්‍රය දේශනා කල සේක)
යන ආරම්භක
පාලි පාඨය යොදා ඇත. නමුත් ඉන් පසු පාලි භාෂාව වෙනුවට සිංහල භාෂාව යොදාගෙන එහි
ඉතිරිය රචනා කොට ඇති අතර එහි ලංකාවට සිදු වූ ඕලන්ද ආක්‍රමණය තෙක් ලියවී ඇති අතර
ඉන් හැඟී යන්නේ එකල විසූ භික්ෂූන් වහන්සේලා විසින් මෙය කරවන ලද්දක් බවයි.
මෙම සුමන සූත්‍රයට
අනුව දියසෙන් යනු කුමාරයෙක් නොව රජ කෙනෙකි.එසේම ඔහු ශ්‍රී ලාංකිකයෙකු නොව ඉන්දියානුවෙකි.
සුමන සූත්‍රයේ සඳහන් වන පරිදි මෙම දියසෙන් රජු දඹදිව වසර 13ක් රාජ්‍ය කොට දහස්
ගණනක සේනාවක් පිරිවරාගෙන ලංකාවේ මහබටුතොට නම් ස්ථානයෙන් ගොඩ බසින අතර, ඔහු ලංකාවේ
රාජ්‍යත්වයට පැමිණ අනුරාධපුරය කෙරෙහි ඇල්මක් දක්වා එය අගනුවර කොටගෙන රාජ්‍ය කරනු
ලබයි.ඔහු අනුරාධපුරය නැවත ප්‍රතිසංස්කරණය කරනු ලබන අතර දාගැබ් වල කොත් පලදවමින්
රාජ්‍ය සරුසාර කරමින් වසර 22ක් මෙරට රාජ්‍ය කොට මිය යන බව සදහන් වෙයි. ඇතැමුන්ට
අනුව මෙම රජු ලෝක නායකයෙකි.
කෙසේ වෙතත්
මෙහිදි අපට හැඟීයන්නේ දියසෙන් යනු ආක්‍රමණීකයෙක් බවයි.ඉන්දියාවේ සිට පැමිණ මෙහි
රාජ්‍ය කරවනවා යැයි කීමෙන් හැඟවෙන්නේ ලංකාව ආක්‍රමණය කොට රාජ්‍යත්වය ලබා ගැනීම
නොවේද? එසේම මෙහි එන්නේ දියසෙන් රජෙකි.කුමාරයෙක් නොවේ. ඉන් හෙලි වන්නේ පසු කාලීනව
මෙය රජෙකු සිට කුමාරයෙක් දක්වා වෙනස් වූ බවයි.එසේම පසුකාලීනව ඉන්දියාවේ සිට
පැමිනෙන්නෙකු වෙනුවට ලංකාවේම බිහිවන්නෙකු දක්වාද පසු කාලීන ග්‍රන්ථවල දියසෙන් යන පුරාවෘතය ඉපදෙන්නා වූ නැකත,ඔහුව
හඳුනාගත හැකි ලක්ෂණ පවා ලියවීම තෙක් මෙම දියසෙන් යන චරිතය වෙනස් වී ඇත.
එසේම නුවර
වැව,කලා වැව,පදවිය වැව යන වැව් ත්‍රිත්වයෙන් පෝෂණය වන්නා වූ නුවර කලාවිය ප්‍රදේශයකින්
හමු වූ එක්තරා කඩඉම් පොතකද මෙම දියසෙන් චරිතය පිලිබද දක්වා ඇත.එයට අනුව මහියංගණය ස්තූපය
ප්‍රතිසංස්කරණය කොට කොත් පලඳවන දිනයේ දෙවියන් විසින් දියසෙන් කුමාරයා කොහි හෝ සිට
එම ස්ථානයට කැදවන බව දැක්වේ. 1877 ප්‍රතිසංස්කරණය ආරම්භ කොට 1890 කොත් පැලදවූ දින
මහියංගණය චෛත්‍ය වෙත දියසෙන් කුමාරයෙකු පැමිණි බව සඳහන් වන්නේ නැති අතර 1907 ඇති
වූ සුලි සුලඟකින් හානි වූ මහියංගණය චෛත්‍ය නැවතත් 1929 දී කිරීම මහියංගන විහාර
වර්ධන සභාවේ සභාපති වූ 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම කාරක සභාවේ සභාපති වූ D.S.සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ
අතර එම මහතාගේ D.S හෙවත් දොන්
ස්ටෙෆන් යන නාමයේ D අකුරෙන්
“දිය” යන්නත් S යන්නෙන් “සෙන්”
යන්නත් ආදේශ කොට ඔහු දියසේන ලෙස හදුන්වා දීමට එකල මහියංගණය ආශ්‍රිත ගැමියෝ උනන්දු
වූහ.කෙසේ වෙතත් 1952 අසු පිටින් වැටී මෙතුමා මිය ගිය අතර 1961 සැප්තැම්බර් 21 නැවත
කොත් පැලද වූ මහියංගණ ස්තූපය වෙත දෙවියන් විසින් එවන ලද දියසෙන් කෙනෙකු පැමිණි
බවත්ද සඳහනක් නැත.
1815 මාර්තු 02
අත්සන් කල උඩරට ගිවිසුම මඟින් ලංකාව ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට පත්වූ පසු නිදහස් අරගල
කිහිපයක් අසාර්ථක වූවද යටත් විජිතවාදයෙන් මිදීම සඳහා ශ්‍රී ලාංකීය ජන විඥ්ඥාණයට
ඇමතීමටද එකල සිටි ජන නායකයන් මෙම දියසෙන් කුමාරයා යන චරිතය උපයෝගී කොටගත්තේය. 1938
ලංකාවට දැනුනා වූ භූ කම්පනය දියසෙන් කුමාරයා උපත ලැබීම හේතුවෙන් සිදු වූ මහපොලව
කම්පා වීමක් ලෙස නිදහස් සටනේ තම පෑන මෙහෙය වූ පියදාස සිරිසේන ශූරීන් සටහන් කොට ඇත.
එසේම ශ්‍රීමත් අනාගාරික ධර්මපාල තුමන්ද තම දේශන තුලද දියසෙන් කුමාර සංකල්පය යොදා
ගෙන සිංහල ගැමියාගේ හදවතට දැනෙන අයුරින් කතා පවත්වා ඇත.
“මතක
තියාගනිල්ලා කවද හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු
සුද්දෝ විසි තිස් දාහක් බෝ කළාට පස්‌සේ. ඊට පස්‌සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු
සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ
දූ දරුවන්ටත් උගන්වාවි ජාති, ආගම්, භාෂා භේදයක්
එපා කියලා. දෙමළත්, මරක්‌කලයත්, හම්බයත් එකයි කියලා උන් කියාවි. එහෙම කියලා උන් පන්සලේ වටේ කෝවිල් පල්ලි
හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකම් බලා ඉන්නවා. ඉපදෙන්න ඉන්න
දියසේනලා උපන් තිඹිරිගෙයිම මරා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා”
ලංකාවේ සිටි
විවිධ දේශපාලන චරිත වලටද ඇතැම් පිරිස් විසින් දියසෙන් කුමාරයා ලෙස ආදේශ කොට
හඳුන්වා ඇත. ලංකාවේ ප්‍රථම අගමැති D.S.සේනානායක
මහතාට දියසෙන් ලෙස හදුන්වා ඇත්තේ ඔහු මිනිපේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම හා
මහියංගනය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සහ නිදහස ලබා ගැනීමට ප්‍රමුඛව ක්‍රියා කල
හෙයිනි.එසේම ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම නිදහස් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ලබා
දුන් C.W.W. කන්නන්ගර මහතාට, ලංකාවේ වමේ දේශපාලනයේ
පුරෝගාමිබ් නායකයා වූ පිලිප් ගුණවර්ධන මහතාටද, ලංකාවේ සාගින්න තුරන් කිරීමට කැප වී
ක්‍රියා කල ආතර්.වී. දියෙස් මහතාටද දියසෙන් කුමාරයා යන නාමයෙන් ඇමතීමටද ඇතැම්
පිරිස් පෙළඹී ඇත. 2500 සම්බුද්ධත්ව ජයන්තිය යෙදී තිබූ 1956 වසරේ සඟ, වෙද, ගුරු,
ගොවි, කම්කරු ලෙස පංච මහා බලවේගයක් තුලින් බලයට පත් වූ S.W.R.D.බණ්ඩාරණායක මහතාද දියසෙන් කුමාරයා ලෙස
හදුන්වා දුන් අතර, එතුමා නිදහස් චතුරශ්‍රයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කලේ දියසෙන්
කුමාරයා තමන් පමණක් නොව සමස්ථ ජනතාවම බවයි. තවද තිස් වසරක L.T.T.E සිවිල් යුද්ධයට දේශපාලන නායකත්වය ලබා දුන්
මහින්ද රාජපක්ෂ මහතාද දියසෙන් කුමාරයා ලෙසද හැදින්වීමට ඇතැම් පිරිස් කටයුතු කල අතර
වර්ථමාන ජනාධිපති (2021 මෙය ලියන විට) ගෝඨාභය රාජපක්ෂ මහතාද බලයට පැමිණියේද මෙම
දියසෙන් සංකල්පය භාවිතා කරමිනි.එසේම මෙම දියසෙන් කුමාර සංකල්පය ඒ ඒ දේශපාලන
නායකත්වයට ආරූඪ කිරීමට ඒ ඒ දේශපාලන නායකත්වයන්ට සමීප නායක හිමිවරුන්ගේ ක්‍රියා
කලාපයන්ද බලපා ඇති බව ඒ පිලිබඳ තරමක් ගැඹුරින් විමසා බැලීමේදී පැහැදිලි වෙයි.
දේශපාලන
නායකත්වයන් පමණක් නොව සාමාන්‍ය ජනතාව අතරින්ද දියසෙන් කුමාරයන් බිහි වී ඇත. එයට ප්‍රකටම
උදාහරණය සිංහරාජ නන්දිමිත්‍ර සිල්වා හෙවත් ටිප්ටොප් සිල්වායි.දන්තාලේප ව්‍යාපාරිකයෙක්
වූ මොහු තමන් දියසෙන් කුමාරයා බවත් රාජ්‍ය නායකයන් තමාට රාජ්‍ය කිරීම බාර දී ඉවත්
විය යුතු බවත්, තමන් දින හතෙන් රාජ්‍ය නඟා සිටුවන බවත් පවසමින් දේශන පැවැත්වූ අතර
වයස අවුරුදු 80 දී ගැටුමකට මුහුණ දීමෙන් පසු මෙම දියසෙන් කුමාරයා මියගියේය.
ඇතැම් පිරිස්
දියසෙන් කුමාරයා බිහි වන බව අදහමින් යම් යම් සංවිධානයන්ද පිහිටුවාගෙන ඇත. කළුතර ප්‍රදේශයේ
මෙවන් සංවිධානයකට සම්බන්ධ වූ වලස්මුල්ල ප්‍රදේශයේ ෂෙල්ටන් නම් තරුණයෙකු තමා
දියසෙන් කුමාරයා බව සිතා තමාගේ ආධ්‍යාත්මිකත්වය වර්ධනය කර ගැනීමට සිරිපා හිමේ බවුන් වැඩීමට
ගොස් නිව්මෝනියාව රෝගී තත්ත්වය උත්සන්න වී මිය ගොස් ඇහැල කණුව අසල ප්‍රදේශයේදී
ඔහුගේ මල සිරුර සොයා ගන්නා ලදී.
මිද්දෙණිය
වෑකඳවල අබකොල වැව ග්‍රාමයේද දියසෙන් කුමාරයා යැයි සැලකෙන දරුවෙකු බිහි වූ අතර ඔහු
වටා විශාල අනුගාමිකයන් පිරිසක්ද එක් රැස්ව සිටියේය.කෙසේ වෙතත් 88 – 89 කාලයේ ශ්‍රී
ලංකාවේ සිදු වූ ජ.වි.පෙ. දෙවැනි නැගිටීමේදී තමා ලඟ තිබූ බෝම්බයක් පිපිරී ගොස් මෙම
දියසෙන් කුමාරයා නොහොත් U.A. ජයතිලක නම්
තරුණයා මිය ගියේය.
එසේම දේශපාලඥයන්
විසින් තම වාසියට පමණක් ප්‍රයෝජනයට ගෙන අත්හැර දමන ලද තඹුත්තේගම යෝධයා හෙවත් හේරත්
බණ්ඩා නම් තරුණයාද දියසෙන් කුමාරයා ලෙස ඇතැම් පිරිස් සලකා ඇත.
වර්ථමානයේද
අන්තර්ජාලයේ සැරිසරන විට විවිධ දියසෙන් කුමාරයන් හමු වේ. අභයරතනාලංකාර නම් හිමි
නමක් දියසෙන් කුමාරයා බව සඳහන් වන අතර තවත් තැනක ප්‍රියන්ත පියසේන නම් කෙනෙක්ද
තමන් දියසෙන් කුමාරයා බවද ප්‍රකාශ කරමින් සිටියි.
වර්ථමානයේ
දියසෙන් නම් රොබෝවරයෙකු ඇරිමැක් ලංකා ආයතනය විසින් නිපදවා තිබෙන අතර කොළඹ නෙළුම්
කුළුනේ පිලිගැනීමේ නිලධාරියා ලෙස ඉදිරි කාලයකදී සේවය කිරීමට සූදානම්ව සිටිනවා.
කෙසේ වෙතත්
දියසෙන් කුමාරයා යනු ශ්‍රී ලාංකීය ජනතාවගේ අතර පවතින ජනප්‍රිය පුරාවෘතයක් වන අතර
එය කලින් කලට මතු වෙමින් යට යමින් පවතින්නකි. ශ්‍රී ලංකාව සංවර්ධනය කරා නොයන්නේ
දියසෙන් කුමාරයා එන තෙක් බලා හිදීම නිසා බව බොහෝ අයගේ මතයයි. දියසෙන් කුමාරයා දිය
නාගෙන එනතුරු නොසිට අප අපි වෙනුවෙන් වැඩ
කරමු. මන්ද දියසෙන් යනු එක් අයෙකු නොව අප සියලු දෙනාමය. අප සියලු දෙනාම එක් වූ කල
එතැන දියසෙන් සිටිනු ඇත.
සටහන - කසුන්
සපුමොහොට්ටි
තොරතුරු හා පින්තූරය
අන්තර්ජාලයෙනි.
0 Comments