උඩුකාව කදුකරයේ මායාකාරී පාසල ---> තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලය -මාතර



දිනය 1946 ජනවාරී මස 17 බ්‍රහස්පතින්දා දිනයයි. මා ඔබව කැදවාගෙන යන්නේ සිලෝනයේ මාතර තෙළිජ්ජවිල මංසන්ධියේ පැවැත්වෙන පාසලක් විවෘත කරනා උත්සවයක් වෙතටයි. සිංහල ජාතික ඇදුමින් සැරසුනු මහත්මයෙකු ප්‍රධාන කොටගත් එම උත්සවයේ එම මහත්මයා පිලිගැනීමට ගැහැණු දරුවන් කිහිප දෙනෙකු විසින්  ගයනා ගීය මෙසේය.

“ලකඹර දිලි පූර්ණ චන්ද්‍ර

කන්නන්ගර මැතිතුමනි

හෙළදිව මෝහන්ධකාර

බිදලුව ඔබේ සෞම්‍ය රැසිනි”

එසේ පිලිගත් දරුවන් සමඟ එම මහතා පොල් අතු සෙවිලි කල ගොඩනැගිලි 4කින් යුතු එම පාසල් භූමියට පා තැබූ අතර ඔහු එම පාසලේ මුල්ම ශිෂ්‍යාවගේ නමද තම අත් අකුරින්ම ඇතුලත් කලේය.

එසේ සුදු ඇදුමින් සැරසී සිටි අමුත්තා අන් කවරෙකුවත් නොව නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්‍ ය. එතුමා පැමිණ විවෘත කල පාසල වන්නේ තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයයි.එතුමා තම අත් අකුරින්ම නම ඇතුල් කල ශිෂ්‍යාව වන්නේ තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍යාව වන සෝමවතී ගුණසේකර මහත්මියයි.

සියළු දෙනාටම එක හා සමානව අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් ගෙන ආ නිදහස් අධ්‍යාපන පනත ජාතික වීරයන්ගේ බාධක මැද 1945 ජූලි මස සම්මත කරගත් පසු මධ්‍ය විද්‍යාලීය සංකල්පය අනුව පිහිටු වීමට යෙදුණු මධ්‍ය විද්‍යාල අතරින් මුල්ම මධ්‍ය විද්‍යාල 11 අතරින් එකක් වන තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රමුඛ පෙලේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයකි. වැලිගම රාජ්‍ය සභා මන්ත්‍රී ඩේවිඩ් වනිගසේකර මහතාගේ හා බම්බලපිටිය වජිරාරාමයේ පූජ්‍ය නාරද හිමියන්ගේ හා ධානපති හෙන්රි අලස් මහතාගේ යන අයගේ අනුග්‍රහයෙන් පොල් අතු සෙවිලි ගොඩනැගිලි හතරකින් යුතුව ශිෂ්‍ය සංඛ්‍යාව පනහකින් සහ ගුරුවරුන් දොලහකින් යුතුව ආරම්භ කල තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ මුල්ම විදුහල්පතිවරයා වූයේ පසු කාලයක විභාග කොමසාරිස් ධූරයටද පත් වූ එච්.එල්. විමලසූරිය මහතාය.

එතුමාගේ වසර දෙකක සේවා කාලයකින් පසු එඩ්මන්ඩ් ඩයස් මහතා මීලඟ විදුහල්පති ධූරයට පත් විය.වසරක පමණ සේවා කාලයකින් පසුව මීළඟ විදුහල්පතිතුමා ලෙස පත්වූයේ එම්.එස්. ද සිල්වා මහතාය. 1951 වසරේ මාර්තු 03 එතුමාගෙ සේවා කාලයෙන් පසුව මාස හතකට තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ලෙස ජී.තන්තිරිගොඩ මහතා පත් විය. එතුමාගෙන් පසු 1951 ඔක්තෝම්බර් මස සිට 1952 අගෝස්තු දක්වා විදුහල්පති වූ එච්. එල්. රත්නපාල මහතාගේ පරිපාලන කාලයේ තෙළිජ්ජවිල, අකුරුගොඩ, ගල් ඇන්ද කුටිය නම් රජයේ ඉඩමේ අක්කර 12 ප්‍රදේශයක් තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයට ලබා දුන් අතර එම ඉඩමේ දී 1952 මාර්තු මස 17 දින එවකට මංමාවත් හා කර්මාන්ත ඇමති වූ ජෙනරාල් සර් ජෝන් කොතලාවල මහතා අතින් ප්‍රධාන ශාලාවකට මුල් ගල් තැබිණි. එසේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජේෂ්ඨ පාඨශාලා විභාගයට ඉංග්‍රීසී මාධ්‍යයෙන් සිසුන් ඉදිරිපත් වූයේද 1952 වසරේය. එසේ ඉදිරිපත් වූ සිසුන් 100ක් අතුරින් 90%ක්ම උසස් පෙළ හැදැරීමට සුදුසුකම් ලැබීම නිසා 1953 වසරේ සිට විශ්ව විද්‍යාල ප්‍රවේශයට සඳහා වන පන්තිද මෙහි ආරම්භ විය.

එච්. එල්. රත්නපාල මහතාගෙන් පසුව 1953 මැයි 12 සිට 1955 අප්‍රේල් 24 දක්වා ඩී.ඒ. වෙදගේ මහතාද 1955 අප්‍රේල් 25 සිට 1957 පෙබරවාරි 01 දින දක්වා ආර්.බී. ගල්ලෑල්ල මහතාද විදුහල්පතිධූරය හෙබවීය. ගල්ලෑල්ල මහතාගේ පරිපාලන සමයේ 1952 මාර්තු මස 17 මුල්ගල් තැබූ ප්‍රධාන ශාලාව,පන්ති කාමර, විද්‍යාගාර හා පරිපාලන ඒකකයකින් යුතුව මැද මිදුල් දෙකකින් යුතුව ප්‍රධාන ශාලා ගොඩනැගිල්ල මුල්ගල තැබූ ජෙනරාල් සර් ජෝන් කොතලාවල මහතා අතින්ම 1955 ජූලි 15 දින විවෘත කල අතර එය විද්‍යාලීය අධ්‍යාපන කටයුතු සඳහා තවමත් සිය දායකත්වය සපයයි.

1957 පෙබරවාරි 01 දින තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ නව විදුහල්පති ලෙස පත් වූ එල්.එච්.පී. ද සිල්වා මහතාගේ වසර 11ක් පමණ දීර්ඝ සේවා කාලය තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකේ. දක්ෂ පරිපාලකයෙක් වූ එල්.එච්.පී. ද සිල්වා යුගයේ ,

·        සෞන්දර්යය අංශයෙන්

·        විෂය සමාගාමී ක්‍රියාකාරම්

·        විෂය බාහිර ක්‍රියාකාරකම්

·        අ.පො.ස. සා.පෙල / උසස් පෙල විභාග

යන සියල්ලන්ගෙන්ම මාතර දිස්ත්‍රික්කයේ මෙන්ම සමස්ත ලංකාවේම ඉහලින්ම වැජඹුණි. එකල තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ කීර්තිය කොතෙක් විහිදි තිබුනේද කිවහොත් 1962 දෙසැම්බර් මස 7 දින ලංකාවට පැමිණි අභ්‍යවකාශගත වූ ප්‍රථම මිනිසා වන යූරි ගගාරීන් මහතා පාසලට පැමිණ අඹ පැලයක් රෝපණය කල අතර විද්‍යාලයටද සමරු කිහිපයක් ප්‍රදානය කරන ලදී.(කාලයාගේ ඇවෑමෙන් හා නොසැලකිලිමත්භාවය නිසා ගගාරින්ගේ අඹ ගස මේ වන විට මිය ගොස් ඇති අතර ඔහු විසින් විද්‍යාලයට ප්‍රධානය කල සමරු හිටපු විදුහල්පති විමල් විදානපතිරණ මහතා විසින් පිලිසකර කොට විදුහල්පති කාමරයේ තබා ඇත.)

එල්.එච්.පී. ද සිල්වා මහතාගෙන් පසුව 1968-70 යූ.ඒ.එන්. ධර්මසිරි මහතාද, 1970-73 එන්.ජී.කේ සමරසේකර මහතාද, 1975-77 ආර්.ඒ.මාකෝස් මහතාද, 1977-80 ඩී.කේ.වෛද්‍යරත්න මහතාද, 1980-81 පී.වී.පි.වික්‍රමසිංහ මහතාද, 1981-86 එම්.කේ සිරිසේන මහතාද, 1986-88 එන්.ජයවර්ධන මහතාද, 1988.06-1988.09 ජේ.පී.පී. ජයවීර මහතාද, 1988-92 දක්වා ඒ.ගමගේ මහතාද, 1992-93 අයි.විජේවත්ත මහතාද, 1994.04-1994.10 දක්වා ඩබ්ලිව්. විතානන්ද මහතාද පිළිවෙලින් විවිධ අභියෝගාත්මක කාලවලදී තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ධූරයන් දරා ඇත.

1994.10.07 දින සිට තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ලෙස නැවත පත් වූ පී.වී.පි.වික්‍රමසිංහ මහතාගේ පරිපාලන කාලය තුල තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනයේ තවත් ඉදිරි පිම්මක් වූ L හැඩයේ තෙමහල් ගොඩනැගීල්ල සාදන ලදී. පන්ති කාමර 16ක්, ශ්‍රවණාගාරයක්(වත්මන් සුහුරු පන්ති කාමරය), පරිගණක විද්‍යාගාරයක්, ගුරුවරුන්ගේ විවේකස්ථානයක් සහ පුස්තකාලයකින් සමන්විත මෙම ගොඩනැගිල්ල තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලය තුළින් දැනුම ලබා ගැනීමට තවත් සිසුන්ට මාර්ගය විවර කලේය. එසේම 1996.01.31 දින තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් ලෙස නම් කිරීමද විදුහල ලැබූ තවත් ජයග්‍රහණයක් වූ අතර මෙකල විශ්ව විද්‍යාලීය ප්‍රජාව තුලද තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලය ප්‍රචලිත පාසලක් වී තිබුණි.

2002.11.06 දින තම සේවා කාලය අවසන් කල පී.වී.පි.වික්‍රමසිංහ මහතාගෙන් පසුව 2003-2004 කාල සීමාව සී.ජේ. ගුණවර්ධන මහතා විදුහල්පති ලෙස සේවය කල අතර 2004න් පසුව 2006 දක්වා විදුහල්පතිවරයෙකු නොමැතිව තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලය අභාවයට යන අවස්ථාවේ 2006.02.01 දින විදුහල්පතිවරයා ලෙස පැමිණි විමල් විදානපතිරණ මහතා විද්‍යාලීය අධ්‍යාපනය, විනය නැවත පෙර තිබූ මට්ටමට ගෙන ඒමට සිය වෘත්තීය දිවියම කැප කලේය.නැවතත් තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයට ස්වර්ණමය යුගයක් උදාවිය. විමල් විදානපතිරණ යුගයේදී,

·        සෞන්දර්යය අංශයෙන්

·        විෂය සමාගාමී ක්‍රියාකාරම්

·        විෂය බාහිර ක්‍රියාකාරකම්

·        අ.පො.ස. සා.පෙල / උසස් පෙල විභාග

·        ක්‍රීඩා

වැනි දෑ තුළින් දකුණු පලාත, සමස්ථ ලංකාවම ජය ගත්තේය. ඔහුගේ යුගයේ නැවතත් සා.පෙළ ප්‍රතිඵල (2016) 100% දක්වා ලඟා වුණි. විදුනෙත නම් ප්‍රදර්ශණය, තෙළි සිදු සටන, TCC tv ඔහු විසින් තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලීය නාමය ඔසවා තැබීමට ගත් උත්සහයන් විය.එසේම විදානපතිරණ යුගය තුල නව විද්‍යාලීය ගොඩනැගිලි හා පාරිසරික අලංකරණය පවා සිදු කල අතර විද්‍යාලීය සලකුණක් වන පොතක් කියවන ලමයාගේ පිලිරුවද, විද්‍යාලීය අභිමානය හා ආරක්ෂාව පැහැදිලි කරනා ආකර්ෂණීය යකඩ ගේට්ටුවද, විදානපතිරණ යුගය තුල ඉදිකරන ලද්දකි. 2017 අවසන් වූ එම යුගය සැබැවින්ම විප්ලවකාරී යුගයක් බව සෑම දෙනාම පිළිගන්නා දෙයකි.

වර්ථමානයේ තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති වන ජයන්ත මීගොඩ මහතාද ඉතා දක්ෂ විදුහල්පතිවරයෙකි.

ෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබ සමාජයේ/තම ක්ෂේත්‍රයේ ඉහලට ගිය පුද්ගලයන් බොහෝ සිටියි.  ඒ අතරින්,

·        සිවිල් සේවා නිලධාරියෙකු ලෙස පත් වී, පුත්තලම මහා දිසාපති ලෙස පත් වූ ජී.ජී.පුංචි හේවා මහතා,

·        ජීව විද්‍යා උපාධිදර මහාචාර්ය එම්.ඒ පේමදාස මහතා,

·        සංගීතඥ සෝමපාල බෝගොඩ මහතා

·        වර්ථමාන පාර්ලිමේන්තු කථානායක (2021) මහින්ද යාපා අබේවර්ධන මහතා,

·        ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කසුන් රාජිත,

·        නව පරපුරේ ගායන ශිල්පි හර්ෂන් චතුරංග,

·        ගණකාධිකාරි එම්.වී.ජී. දයානන්ද මහතා.

වැනි අය ඉන් කිහිප දෙනෙකි.

වර්ථමානයේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පාසලක් වශයෙන් නගරයේ පාසල් වලටද අභියෝග කරනා තෙළිජ්ජවිල මධ්‍ය විද්‍යාලය අදත් හෙටත් අනාගතයේත් දකුණු ලක බබළවන අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වෙනු නොඅනුමානය.

විදුහල් අතරේ කිරුළු පලන්දා ඔබ හෙලයේ රැජිණිය වේවා.

ජාතිය රකිනා හෙළ දූ දරුවන් මතු මතුවත් මෙහි බිහි වේවා...............

 

අන්තර්ජාලය,යූ ටියුබය වැනි දෑ ඔස්සේ ලබා ගත් කරුණු මත පදනම්ව සකසන ලද ලිපියකි. නිවැරදි විය යුතු තැන් තවත් ඇතුලත් විය යුතු විස්තර comment එකක් ලෙස දමන්න.

Photo credit - Telijjawila Central College Photographic Society

කසුන් සපුමොහොට්ටි

(2011-2016 තෙලිදියවිල මැදි විදුහල් ආදි සිසු)

Post a Comment

0 Comments