ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය හා ගෘහණිය

 



 

ටෙලිකතාවේ ආරම්භය.

 

රූපය වනාහි විශ්ව භාෂාවකි.එම රූපය ඒ අයුරින්ම දැක්වීමට ගත් උත්සහයන්ගේ අග්ර ඵලය ලෙස රූපවාහිනිය බිහිවුණි.1925 දී ජෝන් ලොගී බෙයාර්ඩ් සොයා ගත් රූපවාහිනියේ ලංකාවතරණය සිදු වූයේ 1978 වසරේ බලයට පත් වූ ජේ.ආර්. රජය අනුගමනය කල විවෘත වෙලඳ ආර්ථික ප්රතිපත්තිය සමඟය.1982 දී ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාව ලෙස ලංකාවේ ප්රථම රූපවාහිනි ආයතනය බිහි වූ අතර එකල රූපවාහිනිය පැවතියේ ආර්ථික අතින් ඉහල පවුල්වල පමණී.නමුත් වර්ථමානය වන විට එය සෑම නිවසකම අනිවාර්ය උපාංගයක් වී ඇත.

ලාංකීය ජනතාවගේ විනෝදාස්වාදය හා රසවින්දනය ඉහල නැංවීම සඳහා 1983 ජනවාරී 18 දින කොටස් 24 කින් යුත් ලංකාවේ පලමු ටෙලිනාට්ය වන දිමුතු මුතු විකාශය කරනා ලදී.රාත්රී 8.30 සිට 9.00 දක්වා වන අඩහෝරාවක කාලය වෙන් වූ මෙම නාට්ය ශ්රී ලාංකීය සමාජයේ සටහනක් තැබූවක් විය.දිමුතු මුතු හි සාර්ථකත්වය මත ප්රේක්ෂක අඛණ්ඩතාවය සුරැකීම සඳහා ඉන් පසු ලාහිරු දහසක්,යශෝරාවය,අඹ යහලුවෝ,ගම්පෙරලිය වැනි ටෙලි නාට්ය බිහි වුණි.ඉන් පෙර තම මිත්තනියගෙන් කතා අසමින් නින්දට ගිය පරම්පරාව ටෙලිනාට්ය බලමින් නින්දට යන්නට විය.

නමුත් මෙම ටෙලි නාට්ය ඉතාමත් රසවත්,හරවත්,සදාචාරාත්මක,ගුණාත්මක ටෙලිනාට්ය විය.මෙසේ කාලය සෙමෙන් ගත වෙද්දී ටෙලි නාට්ය මෙරට ජනප්රිය විය.නමුත් 1998-2000 කාල වකවානුව වන විට ටෙලි නාට්ය කර්මාන්තයක් විය.ටෙලි නාට්ය කලාවේ පිරිහීම ඇරඹුණි.

 

දීර්ඝ මෙගා ටෙලිකතා රැල්ලක ආරම්භය

 

ධම්ම ජාගොඩ,D.B.නිහාල්සිංහ, පරාක්රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, තිලක් ගුණවර්ධන වැනි ප්රවීණයන් ආරම්භ කල ටෙලි නාට්ය කලාව විමලරත්න අධිකාරි, ජයන්ත චන්ද්රසිරි, සුදත් රෝහණ, නාලන් මෙන්ඩිස්, වැනි අයවලුන් දෙවෙනි පරම්පරාව ලෙස එය ඉදිරියට ගෙන ගියේ ය. නමුත් 90 දශකයේ මුල් භාගයේ සහ නව සහස්රකයේ මුල් අවුරුදු කිහිපයේ ඇති වූ පෞද්ගලික මාධ්යජාලා හි පිබිදීමත් සමඟ ටෙලි නාට්ය කලාව කර්මාන්තයක් බවට පත් විය. ඒ සමඟම ඇරඹි ඉන්දීය ටෙලිකතා රැල්ල ශ්රී ලාංකේය ටෙලි නාට්ය කලාව තුල තිබූ, හරවත් බව, සදාචාරාත්මක බව හා ගුණාත්මක භාවය සෝදා පාලුවට ලක් කරනා ලදී.

එසේම කොටස් 100ටත් වඩා විකාශනය කරමින් දීර්ඝ ටෙලි නාට්ය ආරම්භ කලේ ද මෙම ඉන්දීය ටෙලිකතා රැල්ලයි. එම රැල්ල හා යමින් ගුණාත්මක, හරවත්, සදාචාරාත්මක ටෙලි කතා නිෂ්පාදනයට ඇතැම් නිෂ්පාදකවරු උත්සහ ගත්තද ඔවුන් අසාර්ථක විය. ඔවුන්ගේ අසාර්ථකත්වයේ ප්රතිඵලය වූයේ අද අප දකිනා අංග සම්පූර්ණ පිටපතක් නොමැති, එදිනෙදා දර්ශන තලය අනුව හැඩ ගැසෙනා, හුදු සංවාද පමණක් ඇති, ආධුනික, හරවත් බවක් ගෑවී හෝ නොමැති, වාණිජ අරමුණු පමණක් මුල් කරගත්, ප්රේක්ෂකයා ෆැන්ටසි ලෝකයක හිර කරනා දීර්ඝ මෙගා ටෙලිකතා රැල්ලයි.

මෙම දීර්ඝ මෙගා ටෙලිකතා රැල්ල සමඟ විවිධ අසංතුලිතතාවයන් සමාජය තුල බිහි වුණි. මෙම අසංතුලිතා කෙළින්ම බලපෑවේ සමාජ සංවිධානයේ මූලික ම ඒකකයක් වන පවුලටයි. දීර්ඝ මෙගා ටෙලිකතා රැල්ලේ අදිසි බලපෑම නිසා පවුල නම් ඒකකය බරපතළ ඛේදවාචකයකට මුහුණ දුණි.

 

ශ්රී ලංකාවේ පවුල

 

ශ්රී ලංකාවේ සමාජ සංවිධානය මූලිකවම කේන්ද්රගත වී තිබෙන්නේ පවුල මතය. ශ්රී ලංකාවේ පවුල නම් සමාජ ඒකකයට මුල් තැනක් සමාජ තුලින් නිතැතින් ම ලැබේ. නමුත් ශ්රී ලංකාවට පැමිණී ඉන්දීය ටෙලි කතා රැල්ලත් සමඟ ආරම්භ වූ මෙගා ටෙලි කතා රැල්ල ශ්රී ලංකාවේ සාම්ප්රදායික පවුල් සංවිධානයට එල්ල කලේ මරු පහරකි. ශ්රී ලංකාවේ ගෘහණියන් රාත්රී 7.00 සිට 9.00 හෝ 9.30 දක්වා එක දිගට රූපවාහිනිය ඉදිරියේ වාඩි වී එය නැරඹීමට පෙලබුණි. ඔවුන් රාත්රි ආහාරය සූදානම් කොට තබා රූපවාහිනිය ඉදිරියෙන් වාඩි වේ. ඉන් නිවැසියන් සියලු දෙනා එක්ව හිද ආහාරගත් ක්රමය අභාවයට ගියේ ය. එසේම රාත්රි 8.00ට පමණ රාත්රී ආහාරය ගන්නා නිවැසියන්ට ආහාරයට ගැනීමට සිදු වන්නේ සීතල වී නිවී ගොස් ඇති ආහාරය.

එසේම ඇතැම් නිවෙස්වල රාත්රි ආහාරය පිලියෙල කරනු ලබන්නේ ටෙලිනාට්ය බලන අතරවාරයේ ය. එවැනි නිවෙස්වල ඇතැම් දින වල හොද්දට ලුනු නැත. දැමීමට අමතකව ඇත. සමහර එලවලු රොස් වී ඇත. ආහාරයන්හි විවිධ අඩුපාඩුය. එසේම තවත් නිවෙස්වල ආහාරය සැකසෙන්නේ සියලුම ටෙලිකතා නැරඹීමෙන් අනතුරුවය. නිවැසියන් පැය ගණනක් කුසගින්නේ සිටිය යුතු අතර ඔවුන්ට රාත්රී ආහාරය ගැනීමට සිදු වන්නේ රාත්රී 10.30 ට පමණය. එසේම තමන්ට කුසගිනි බව පැවසුවහොත් ගෘහණියන් සිදු කරන්නේ ටෙලි කතාවේ දුෂ්ටයා කෙරෙහි රැස් කරගත් සියලුම වෛරයන් කුසගිනි යැයි පැවසූ කෙනාගේ පිටීන් ඇරීමය.

එසේම මව යනු දරුවන්ගේ සියලු වැඩ සොයා බලා සිදුකරන කෙනායි. නමුත් ටෙලිවිෂනය ඉදිරියේ අසුන් ගත් විට ඔවුන්ට දරුවා සිදුකරන්නේ කුමක්දැයි සෙවීමට හෝ කාලයක් නොමැත. ඔවුන්ගේ පාසල් වැඩ කෙසේද? ඔවුන්ගේ තමන්ගේ වැඩ සිදුකරයිද? ඔවුන්ගේ ප්රගතිය කෙසේද යන්න බොහෝ විට සොයා බලන මව ඒ සඳහා වන කාලය ටෙලි කතා බැලීමට වැය කර අවසානයේ දරුවා යම් විභාගයකින් අසමත් වූවහොත් කියන්නේ “එයාගේ ගෙදර වැඩ බලන්න වෙලාවක් තිබුනේ නෑ” යන්නයි.නමුත් ඇය නොදන්නා කාරණය වන්නේ ඇය වටිනා පැය කිහිපයක් නිරපරාදේ මඟ හැර ඇති බවය.

එසේම ඇතැම් ටෙලි නාට්ය තුලින් ගෘහණිය වෙනම ලෝකය ජීවත් කරවයි.ඇය සිතන්නේත් ඇය ජීවත් වන්නේද ටෙලිනාට්යවල ඇති සර්ව පිත්තල ලෝකයක බවය.ඇය සැබෑ ලෝකය දෙස බලන්නේද ටෙලිලොව දෘශ්ය කෝණයෙන්ය.ඇයට සැබෑ ලෝකය කරදරයක් සේ පෙනෙයි.ගැටලුව පැන නගින්නේ මෙතනින්ය.

 

ගෘහණිය හා ෆැන්ටසිය

 

ගෘහණිය මෙගාටෙලි ලොව ජීවත්වන දෘෂ්ටි කෝණයෙන් සැබෑ ලොව දෙස බලනා විට නිතැතින්ම ප්රශ්ණ මතුවෙනු ඇත.බොහෝ විට ඇය තමා වෙත එන ප්රශ්ණ සඳහා පිලිතුරු සොයනුයේ තාර්කිකව නොව, ටෙලි නාට්යයේ ප්රශ්ණයක් විසඳන ආකාරයටය.

එසේම ඇය ටෙලි නාට්යයේ ඇති ප්රශ්ණ තමන්ගේ කරගනී.එම නාට්ය වල මෙන් තම සැමියා හා අඩදබර ඇති කර ගනී. “ඇයි ඔයාට අර කතාවේ අරයා වගේ ඉන්න බැරි?” “අර කතාවේ අරයා වෙන ගෑනු කෙනෙක් එක්ක පැටලුනු වෙලාවේ හැසිරුනෙත් ඔය විදිහට” යැයි කියමින් ඇය වටා නිර්මාණය කරගත් මනඃකල්පිත ලෝකයක ජීවත් වෙමින් තම පවුල හා ගැටේ.එසේම එම ටෙලි නාට්ය වල මෙන් ඇදුම් ඇදීමට පවා සමහර ගෘහනියෝ පෙලබෙයි.සාරිය හැද දවස ගෙවීම හා සාරිය සමඟ නින්දට යාමේ රැල්ලක් ඇති වූයේද මෙවන් ටෙලිනාට්යයක බලපෑම නිසාය.

මෙවන් පවුල් ගැටුම් හී උපරිම අවස්ථාව දික්කසාද වීමයි.වර්ථමානයේ නීති කාර්යාලයකට ගියහොත් පැයක් ඇතුලත දික්කසාද නඩු 4ක් පමණ වාර්තා වේ.ඉන් තුනකටම හේතූ වන්නේ මෙවන් ෆැන්ටසි ලෝකයක ජීවත් වන ගෘහණියන් ගෙන එන්නා වූ දික්කසාද නඩු ය.ඒවායේ හේතු සොයාගෙන යන විට පැහැදිලි වන්නේ මෙම අර්ථ විරහිත මෙගා ටෙලි කතා රැල්ල පවුල නම් ඒකකයට කොතෙක් බලපා ඇත්ද යන්නයි.

මෙයට කුමක් කල හැකිද යන්න අප සලකා බැලිය යුතුය.

 

1. ප්රථමයෙන් කල යුත්තේ දේශපාලනීකරනය වී ඇති මාධ්ය ඉන් ගලවා ගැනීමයි.

2. දෙවනුව මාධ්ය වගකීම් හා සාරධර්ම පද්ධතියක් ගොඩ නැගීමයි.

3. තෙවනුව ගුණාත්මක ටෙලි නාට්ය විකාශණය සඳහා යම් තීරණ ගැනීමයි.

4. සිව්වනුව මාධ්ය නාලිකා වාණිජකරණයෙන් මුදවා ගැනීමයි.

 

මෙසේ උඩුගං බලා යමින් යම්කිසි පද්ධතියක් ගොඩනැගුවහොත් අපට යහපත් සමාජයක්,මාධ්ය කලාවක් හා සුභාවිත ටෙලිකතා සංස්කෘතියක් බිහි කල හැක.

 

නමුත් ප්රශ්ණය තිබෙන්නේ විවෘත ආර්ථිකයක් තුල ඒවා කල හැකිද යන්නයි.

 

කසුන් සපුමොහොට්ටි

 

 

Post a Comment

0 Comments