මේ ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය බිහිකල ඒ මහා ශිෂ්‍ය වීරයන් අතරින් තවත් දෙදෙනෙකුගේ කතාවයි. මේ ත්‍රිමා - වෙනුර, නිෂ්මි - බාලේගෙන් පසු සෑම විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයෙකුගේම මුවඟ රැව් දෙන ශිෂ්‍ය වීරයන් දෙපලගේ කතාවයි. මේ තම ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් නොසිත සිත සිට ගත් ජනක - සිසිත ගේ කතාවයි.
ඒ 2012 වර්ෂයයි. එය ශ්‍රී ලංකාවට වැදගත් වසරක් බවට පත්
විය. ඒ බොහෝ දේශපාලනික,ආර්ථීකමය වශයෙනි. නමුත් ශ්‍රී ලංකා අධ්‍යාපනය උදෙසා ශ්‍රී
ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය විශාල සටනකට මුල පිරුවේය.එනම් අධ්‍යාපනය උදෙසා අයවැයෙන්
6%ක මුදලක් වෙන් කරනා ලෙස රජයට බල කරමිනි. ඒ සමඟම සරසවි ආචාර්යයවරුන්ගේ සංගමයද
තමන්ගේ වැටුප වැඩි කරනා ලෙස ඉල්ලමින් එම සටනේ තවත් පාර්ශවයක් බවට පත් විය. රජය හා
පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුලු ක්‍රියාකාරීන්
ගාල්ලේ සිට කොළඹ තෙක් විරෝධතා පාගමනක්
ආරම්භ කලේය. එය 2012 සැප්තැම්බර් 27 කොළඹට ලඟා වීමට තිබුණි. ඒ අතරතුර විශ්ව විද්‍යාල
ආචාර්යයවරුන්ගේ විරෝධතාවයට
සහය පල කරමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මහනුවර
සිට කොළඹට සැප්තැම්බර් 24 දින ගමන් ආරම්භ කලේය. ඔවුන් 26 වනදා සවස් වන විට ගම්පහ
යක්කලට ලඟා වුණි.
හදිසි
වැඩකටයුත්තක් සදහා එදින රාත්‍රීයේ WPPA 9507 දරන සුසුකි වර්ගයේ යතුරු පැදියකින් යක්කල
හන්දියට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු වැඩබලන කැඳවුම්කරු චින්තක
රාජපක්ෂට තමා ලුහු බැද එන යතුරු පැදියක සැකයක් දැනුනද ඔහු එතරම් එය ගණන් නොගත්තේය.
එසේ නැවත ඔවුන් නැවතී සිටි ගම්පහ බණ්ඩාරවත්තේ නැවතුම් පොලට පැමිණි චින්තක තම විශ්ව
විද්‍යාලීය සොහොයුරන් හා එක් විය. එලියෙන් ඩිෆෙන්ඩර් වර්ගයේ වාහනයක ශබ්දය කිහිප
වතාවක්ම ඇසුනද එය පිලිබද තැකීමක් නොකල අන්තරේ ඉදිරි පෙළ ක්‍රියාකාරීන් පිරිස හෙට
දිනයේ වැඩ පිලිබඳ සාකච්ඡාවක යෙදී සිටියේය. නමුත් ඔවුන් නොදැන සිටි දේවල් දෙකක්
තිබුනේය. එනම් එලියේ ඔවුන්ගෙන් දෙදෙනෙකු බිලි ගැනීමට මාරක හස්තයක් එසවී තිබූ බවයි.
එසේම ඒ බිලිගැනීමේ ඉරණමට ගොදුරු වනුයේ මේ මොහොතේ තමා හා සිටින මාතලං සහ ටොක්කා
බවය.
මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල නගරයට ආසන්නව පිහිටි තඹරව නම් ග්‍රාමයේ නීල් කුමාර ඒකනායක හා කුමාරි හේරත්
යුවලට දාව මධ්‍යම පාන්තික පවුලක වැඩිමල් දරුවා ලෙස උපත ලද ජනක බණ්ඩාර ඒකනායක 2008
වසරේදී මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් උසස් පෙළ ඉහලින් සමත් වී කැලණිය විශ්ව විද්‍යාලයට
ඇතුලත් වුණි. ඔහුගේ විශ්ව විද්‍යාලීය නාමය හෙවත් කාඩ් එක වූයේ මාතලං යන නාමයයි. ප්‍රථම
වසරේ සිටම ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඔහු කැලණිය ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙසද කලක්
ක්‍රියා කලේය.
කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය
ප්‍රදේශයේ දිලිදු පවුලක උපත ලද සිසිත ප්‍රියංකර පවුලේ වැඩිමහල් දරුවා විය. කුඩා කාලයේ
සිටම තම පවුලෙන් වෙන් වී තම නැන්දා හා ආත්තම්මා හා ජීවත් වූ ඔහු අම්මා යැයි කීවේ තම
නැන්දා වූ ධම්මිකා ප්‍රියදර්ශණීටය. කොළඹ මෝදර ඩි ලා සාල් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ
ඔහු 2012 වසරේ අනේක බාධා මැද රුහුණු විශ්ව විද්‍යාලයේ කලමණාකරණ පීඨයට ඇතුල් වූයේ එම
විද්‍යාලයෙන් වසර 21කට පසු විශ්ව විද්‍යාලීය ප්‍රවේශයක් ලැබූ පලමු සිසුවා ලෙසය. ඔහු
විදි දුක් ගැහැට කොපමණද කිවහොත් ඔහු විශ්ව විද්‍යාලයට යන තෙක්ම ඔහු පාඩම් කලේ කුප්පි
ලාම්පු එලියෙනි. ඔහු අන්තර් විශ්ව ව්ද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ කැපී පෙනෙන චරිතයක් විය.
විශ්ව විද්‍යාලයේ ඔහුගේ නාමය ටොක්කා විය. විශ්ව විද්‍යාලීය සෑම සටනකදීම ඔහු පෙරමුණ
ගත්තේය.
දිනය- 2012 සැප්තැම්බර් 27
වේලාව - අලුයම 2.00 ත් 3.00ත් අතරය.
ගම්පහ බණ්ඩාරවත්තේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයන්ගේ නැවතුම්පොලේ සිට දෙල්කඳ
ප්‍රදේශයේ පිහිටා තිබූ මුද්‍රණාලයකට ලබා දී තිබූ අත්පත්‍රිකා ලබා ගැනීමට ජනක ඒකනායක
හා සිසිත ප්‍රියංකර ලියාපදිංචි අංක WPPA 9507 දරන සුසුකි වර්ගයේ යතුරු පැදියෙන් පිටවී
ගියේය. ඒ ඔවුන්ව ප්‍රාණයෙන් යුක්තව දුටු අවසන් අවස්ථාවයි.
වේලාව ගෙවී ගියේය. තම සහෝදර සිසුන් දෙදෙනාගෙන් කිසිදු පණිවුඩයක් නොලැබුනු තැන
ඔවුන්ට දුරකථන ඇමතුම් ලබා ගත්තද ඔවුන්ගේ දුරකථන වලින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනි.
ස්ථානය - ගම්පහ ඉඹුල්ගොඩ, පාසල් හන්දිය
වේලාව - අලුයම 4.00 හෝ 4.30 අතර
ටොක් ටොක් ටොක්....
තමන්ගේ දොරට මේ එලිවෙන පාන්දර තට්ටු කරන්නේ කව්දැයි බැලීමට එලියට බසින ලද අසල්වාසීන්
දුටුවේ පොලිස් ඇදුමෙන් සැරසී සිටි නිලධාරීන්ය. අනතුරක් සිදුවී ඇති බවත්, නාදුනන මල සිරුරු දෙකක් වසා දැමීමට ගෝණි කිහිපයක්
ලබා දිය හැකිද යන්නත් ඔවුන්ගේ ප්‍රකාශය විය. 2012 සැප්තැම්බර් 27 දින හිරු උදාවන විට
මිනිසුන් සිද්ධිය වූ ස්ථානයට රැස් විය.
ගම්පහ ඉඹුල්ගොඩ මාර්ගයේ දකුණු පසට වන්නට තිබූ විදුලි කණුවක පොලොව මට්ටමින්
අඩියක් උසින් කොන්ක්‍රීට් පදාසයක් ගැලවී ගොස් තිබූ අතර ඊට අඩි කිහිපයක් දුරින් ඉදිරිපස
හානි වූ සුසුකි වර්ගයේ යතුරු පැදියක් තිබූ අතර ආරක්ෂිත හිස් වැසුම කෑලී වලට කැඩි ගොස්
තිබුණි. උදෑසන 6.30ට පමණ පොලීසිය විසින් මල සිරුරු දෙක අවමංගල රථයකට දමා රෝහලට පිටත්
කර හරින්නේ රථ වාහන අනතුරකදි පිලිපැදිය යුතු අවම ක්‍රියා පටිපාටීන් පවා නොසලකා හරිමිනි.
මේ අතර අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලේ පිරිසට තම සඟයන් දෙදෙනාගේ
වියෝව දැන ගැනීමට ලැබෙන අතර ඔවුන් ජනක සිසිතගේ නිවෙස්වලටද මේ බව දන්වයි. මෙය ඔවුන්ට
දන්වන විටත් උදෑසන 8.00 පමණ වී ඇත. එදිනම සවස මාධ්‍ය සාකච්ඡාවක් කැදවන අන්තර් විශ්ව
විද්‍යාලීය ශිෂ්‍ය එකමුතුව තම සොහොයුරන්ගේ මරණයන් සැකබවට හෙලි කරනු ලැබීය.
1.
සිද්ධිය වූ ස්ථානයේ දී ජනක හා සිසිත ගමන්
කල යුතුව තිබුනේ විදුලි කණුව තිබූ මංතීරුවේ නොව ඊට විරුද්ධ මංතීරුවේ වීම.
2.
එම ස්ථානයේ යතුරු පැදිය ලිස්සා ගියා නම්
එහි සලකුණු මාර්ගයේ සටහන් වී තිබිය යුතු වීම.
3.
යතුරු පැදිය විදුලි කණුවේ වැදී තිබූ ආකාරය
අනුව යටුරු පැදියේ හානි වීමට තිබුනේ දකුණු පස පමණක් වූවත් යතුරු පැදියේ ඉදිරිපස ප්‍රදේශයට
බරපතල හානි වීම තිබීම.
4.
ජනක සිසිත සොහොයුරන්ගේ මල සිරුරු වල තිබූ
සැක සහිත තුවාල සලකුණු.
5.
පොලීසියේ සැක සහිත හැසිරීම
ආදී බොහෝ කරුණු ඔවුන් ජනක සිසිත සොහොයුරන්ගේ මරණයන් සැක වීමට බලපාන ලද බව ප්‍රකාශ
කලේය.
ඉන්පසු දින එනම් 2012 සැප්තැම්බර් 28 දින පෙරවරු 9.00 පමණ සිට පස්වරු 2.00
දක්වා ගම්පහ රෝහලේ විශේෂඥ අධිකරණ
වෛද්‍ය එස්.පී.ඒ. හේවගේ මහතා කල මරණ පරීක්ෂණයට අනුව අනතුරක් නිසා හිසට
සිදුවූ තුවාල හේතුවෙන් දෙදෙනාගේ මරණය සිදුව ඇති බව නිගමනය කලේය.
කෙසේ වෙතත් තවමත්
එම අනතුර සලකන්නේ පෙර සැලසුම් කල මිනීමැරුමක් ලෙසයි. එම සිදුවීමට තවමත් වරදකරුවෙක්
නැත. ඇතමුන්ට අනුව සිදු වී ඇත්තේ ජනක සිසිත හිතා මතා පාරේ අනෙක් පසෙන් පැමිණ උවමනාවෙන්ම
විදුලි කණුවට අඩියක් ඉහලින් යන ලෙස යතුරු පැදියේ ඉදිරි පස අනතුරට ලක් කොට සිය දිවි
නසා ගැනීමකි.
කෙසේ වෙතත් ජනක
සිසිත මියගොස් නැත. ඔවුන් අප අතරම සිටියි. ලිපියේ අවසන, සිසිත ගැන ලියවුණු මේ ගීය මෙසේ
සටහන් කරමින් මා සටහන නිමා කරමි.
නොසිත සිත සිට ගත්
මග
දෙසිත විහ සිත මුව අග
මසිත විකසිත කුසුම නුඹ ලඟ
සිසිත නුඹ දන්නවාද
නුඹේ නමට පිදෙනා
වග.....
අපි යන්නේ කොයි පාරේ
- ජනක සිසිත ගිය පාරේ.
කසුන් සපුමොහොට්ටි
තොරතුරු අන්තර්ජාලයෙනි.
0 Comments