ආයේ නොයෙනා - දිනෙක මතුදා..


 

මම කාර් එක පාරට දැම්මේ අද විජයග්‍රහණයේ දිනය නිසා ඇයව බලන්න යන්න කියලා. යන අතරමඟදී රෝස මල් කලඹක් ගත්තේ ඇය කැමතිම ඒ මල් වලට නිසා. ඇයගේ නිවසට හිස් අතින් යන්නත් බැරි නිසා ඒ ලඟ කඩයකින් කේක් එකක් ගත්ත මම නැවත වාහනයට නැගලා ඇයගේ නිවස දෙසට ධාවනය කරන්න පටන් ගත්තා. මම ඒ ඩ්‍රයිව් කරන අතරේ ඒ ලස්සන අතීතයට මගේ හිත දුවලා ගියා.

මම කුසල් සූරියආරච්චි. ගාල්ලේ තිබ්බ සූරිය අවන්හල් ජාලය අයිති අපේ තාත්තට. කොච්චර සල්ලි තිබුනත් ඒ ගැන නොපෙන්නා සරල විදිහට ජීවත් වෙන්න තාත්තාත් අම්මාත් මට, අයියට වගේම අක්කටත් කියලා දීලා තිබුනා. අපිත් ඉස්කෝලේ ගියේ, පන්ති ගියේ අනිත් ලමයි වගේම බස් එකේ. අපිත් සාමාන්‍ය ලමයි විදිහට පාසලේ, පන්තියේ යාලුවෝ ආශ්‍රය කරා. අක්කා,අයියා දෙන්නම හොදට උසස් පෙල සමත් වෙලා රජයේ විශ්ව විද්‍යාල වලට ගියා. ඒ වගේම මමත් උසස් පෙල කලා විෂය ධාරාවෙන් කරන ගමන් හොද ලකුණු අතරේ හිටියා. ඔන්න ඔය අතරේදී තමයි මට කාවින්ද්‍යා හම්බුවෙන්නේ.

මමත් එක්ක කල්ප සර්ගේ දේශපාලන විද්‍යා පන්තියේ කරට කර ලකුණු අතර හිටපු කෙල්ල තමයි කාවින්ද්‍යා. එක්කෝ එයා ඒ මාසේ වැඩිම ලකුණු මම දෙවනියා, නැත්නම් මම වැඩිම ලකුණු එයා දෙවෙනියා. එයා ගියේ ගාල්ලේ ප්‍රමුඛ පෙලේ බාලිකා පාසලක. ගුරුවරු දෙපලකගේ වැඩිමල් දරුවා වුණු එයා ඉස්කෝලේ කැඩෙට් සාජන්, කැඩෙට් බෑන්ඩ් ලීඩර්, ශිෂ්‍ය නායිකා වගේ හුඟක් බාහිර වැඩ එක්ක තමයි ඉගෙනීම් කටයුතුත් බැලන්ස් එකේ කරන් ගියේ.

“මචං අන්න උබේ ප්‍රේම කුමාරි යනවා.”

මගේ හොදම යාලුවා වුණ අවිශ්ක කෑගැහුවා.

“යකෝ ඇහෙයි ගොනෝ”

“ඇහෙන්න තමයි කියන්නේ. උබ කියන්නේ නැත්නම් යකෝ වෙන එකෙක් ඒ මල කඩා ගනියි.”

“ඒත් එයාගේ හිතේ තියෙන්නේ මොකක්ද කියලා දන්නේ නෑනේ බං”

“අනේ උබ මෙහේ ඉදන් පස්මහ බැලුම් බල බල ඉන්න කොට වෙන එකෙක් ඒකිගෙන් අහලා තියෙයි”

“කමක් නෑ බං.අයිති වෙන්නම ඕනේ නෑනේ බං ආදරේ කරන්න”

“අනේ හු*** කියවනවා තෝ මෙතන ඉදන්”

“දැන් තෝ මට මොකක්ද කරන්න කියන්නේ”

“ගිහින් අහපන් ඒකිගෙන්”

“බලමු කෝ බං” කියලා මම අවිශ්කයත් එක්කගෙන පන්තියට ආවා.

එදා ගිය සතියේ තිබ්බ විභාගේ ලකුණු කියන දවස. මට 97%ක් තිබ්බා.

“කෝ බලන්න 100% තියෙන අය?”

කවුරුත් නැගිට්ටේ නෑ.

“99%,98%” සර් ඇහුවා.

“කවුරුත් නෑ.”

“97%”

මමයි කාවින්ද්‍යයි විතරක් අර දහස් ගණනක් ඉන්න තැන නැගිට්ටා.

“ආහ්.අද දෙන්නට සමාන ලකුණු ඇවිත් වගේ නේද? දෙන්න අත්පුඩියක් මේ දෙන්නට.”

හැමෝගෙම අත්පුඩි මැද අපි නැවත වාඩි වුණා.

“95%ට වැඩි අය හවස නවතින්න.ඔයාලගේ තෑගී අරන් යන්න.”

හවස 5.00ට පන්තිය ඉවර වෙලා මම, කාවින්ද්‍යා ඇතුලුව තවත් 6 දෙනෙක් විතර හිටියා. සර් හැමෝටම තෑගි දුන්නා. පෑන් සෙට් එකක්. අපි පන්තිය ඉවර වෙලා යන ගමන් පලවෙනි වතාවට මමයි කාවින්ද්‍යායි කතා කරා.

“හෙලෝ කවී කොහොමද?

එයා මගේ දිහා පුදුමයෙන් බැලුවා.

“ඇයි?”

“නැහැ ඔයා කොහොමද මගේ නික් නේම් එක දන්නේ?”

“ආහ් ඒක හිතන්න දෙයක් නෙවේනේ. කාවින්ද්‍යා කවී ඇර වෙන මොකක් කියන්නද?”

“හී.........ඔව් නේද? මම හිතුවා ඔයාට 100% ඇති කියලා.”

“පුදුමයිනේ, මම හිතුවේ ඔයාට 100% ඇති කියලා”

අපි දෙන්නටම එක සැරේට හිනා ගියා.

“ඔයා දැන් යන්නේ බස් එකේද?”

“ඔව් අනේ බස් එකේ තමයි. ඔයා?”

“මමත් බස් එකේ තමයි. ජූල් ගහ හන්දියට යන්න ඕන.”

“අයියෝ පයින් යන්නකෝ කුසල්.කම්මැලිද?”

“කම්මැලිනම් නෑ කවී. ඒත් මේවගේ ලස්සන කෙල්ලෙක් එක්ක කතා කර කර යන්න ලැබෙන එක කොයි තරම් දෙයක්ද?”

“ලස්සන හාහ්.......හා.....හා... විහිලු කරන්න එපා කුසල්. උදේ ඉදන් කට්ට කාලා, අව්වේ ඩ්‍රිල් කරන අපි මොන ලස්සනක්ද?”

“නෑ ඇත්තමයි කවි ඔයා ලස්සනයි.”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්.”

“මම මේ අහන්නමයි හිටියේ ඔයා කොහොමද ඔය සේරම බැලන්ස් කරන්නේ?”

“ඔය සේරම කියන්නේ?”

“ඇයි අනේ ඔයා ඉස්කෝලේ කැඩෙට් සාජන්, කැඩෙට් බෑන්ඩ් ලීඩර්, ශිෂ්‍ය නායිකා, අර සංගම් මේ සංගම් වල තනතුරු දරන අස්සේ ඔයා කොහොමද ඇත්තටම ඉගෙනගන්න වැඩ එහෙම කරන්නේ?”

“අම්මෝ දෙයියනේ ඔයා ඔත්තුකාරයෙක්ද? කොහොමද ඔයා ඔය සේරම දන්නේ?” කවි ඇස් දෙක ලොකු කරගෙන මගෙන් ඇහුවා.

“උවමනාවක් තියේනම් මොනවද කවී දැනගන්න අමාරු?”

“ඔයාට මම ගැන ඒ තරම් උනන්දුවක් තියෙනවද?”

“ඔව් කියලා හිතා ගන්නකෝ, දැන් කියන්නකෝ කොහොමද ඔයා ඒ සේරම බැලන්ස් කර ගන්නේ?”

“දවසේ පැය 24ක් තියෙන්නේ ඒකට තමයි කුසල්. අවශ්‍යතාවය තියේනම් ඒක කලමනාකරණය කරගන්න පුලුවන්.”

කතාවෙන් කතාවෙන් මා ඇය සමඟ ගාල්ල මධ්‍යම බස් රථ නැවතුම් පොලේ ඉමදුව නැවතුම තෙක් පැමිණ තිබුනි.

“හරි එහෙනම් කුසල් මම යනවා. ඔයාත් පරිස්සමින් යන්න.”

“මේ...............කාවින්ද්‍යා මට ඔයාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද?”

“ඇයි?”

“කැමති නැත්නම් කමක් නෑ.” කියා මා යන්නට හැරුණි.

“ඒයි මෝඩයා....මෙහෙ එනවා. දෙනවා ඔය ෆෝන් එක.”

ඒ හඬ ඇසී තත්ත්පරයෙන් මා ඇය අතට දුරකථනයද ලබා දී හමාරය.

“ආ මෙන්න.” කියා ඇය ඇයගේ දුරකථන අංකය මට ලබා දුනි.

“තෑන්ක්ස් කවී.”

“වෙල්කම් ගෙදර ගිහින් මැසේජ් එකක් මට දාන්න කියා ඇය ජනේලය වසා ගත්තාය.”

මමද රටක් රාජ්‍යයක් ලැබුනා සේ ගොස් බසයට ගොඩ වී නිවෙස බලා ගියෙමි.

නිවෙස බලා ගිය මා ඇයට “ප්‍රවේශමෙන් නිවසට ගියාද”යි අසා දැමූ මැසේජයට ඇය එවූ “ඔව්” යන පණීවිඩයත් සමඟ අප බොහෝ වේලා චැට් කලෙමු. අප පන්ති ඇරී බොහෝ විට බස් නැවතුමට ගියේ එකටය. බොහෝ වෙලාවක් අප කතා කලේය. එසේම අපගේ පාඩම් වැඩද අතපසු නොකල අතර පන්ති වල මෙන්ම පාසලේ පවා ඉදිරියෙන්ම සිටියේ අප දෙදෙනාය. අප දෙදෙනා අප දෙදෙනාටත් නොදැනී ආදරය කරන්නට පටන්ගෙන තිබුණි.

දිනක් පන්ති නිමවී නැවත එන අතරතුර මාගේ හැගීම මා ඇයට ප්‍රකාශ කලෙමි.

“කුසල්, ලමයෝ මමත් ඔයාට ආදරේ නැතුව නෙවේ. ඒත් අපි තැනකට එන්න ඕන. මම මගේ හීන වලට යන්න ඕන. ඔයා ඔයාගේ හීන වලට යන්න ඕන. මම දන්නවා ඔයාට සල්ලි තියෙන බව. ඒත් ඔයා දවසක ඔයාගෙම කියලා බිස්නස් එකක් කරන්න ඕන. ඒක මගෙත් ප්‍රාර්ථනාව. ඒක නිසා අපි අපේ ඉලක්ක වලට මුලින්ම යමු.”

ඒ වචන, ඒ මුහුකුරා ගිය බව ඉදිරියේ මම නිහඩ වීමි. නමුත් ඇයද මා හට ආදරය කරනා බව පැවසීමෙන් ලද අස්වැසිල්ල මෙතෙකයි කිව නොහැක.

කාලය සුන්දරව ගෙවී ගියේය. අප 2007 වසරේ උසස් පෙල කරන ලද අතර එය නිම කල වහාම අපගේ සම්බන්ධය නිවෙස් වලට දැනුම් දුන් අතර අපගේ ඉලක්කයන්ට ගමන් කරනා තෙක් ප්‍රවේශමෙන් ආදරය කරනා ලෙස දෙපාර්ශවයේම දෙමව්පියන් අපට දැන්වීය. ඒ අතරේදී ප්‍රතිඵල නිතුත් විණි. අප දෙදෙනාම උසස් ලෙස සම්ත් වී තිබුණි. නමුත් කාවින්ද්‍යාගේ කුඩා කල සිටම තිබූ ආසාව ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදීමයි. මා එයට කොතෙක් අකැමැති වූවද ඇයගේ හීනය එය වූ නිසා ඇයට ඉඩ දීම හැර වෙතත් විකල්පයක් නොවිනි. ඇයට අනුව මා සෙබලියකගේ පෙම්වතෙක් ය. ඇය දියතලාව කදවුරේ පුහුණුව සදහා ඉතාමත්ම පහසුවෙන් තේරී පත් වුණු අතර මා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත් විණි.

දියතලාව කදවුරේ මූලික පුහුණුවෙන් පසු 2008 අග කාවින්ද්‍යා උතුරේ රාජකාරි සදහා යෙදවිණි. මා එයට අකැමැති වූයේ ඒ කාල වකවානුවේ යුද්ධය තදින්ම පැවති නිසායි.නමුත් හමුදා නීතිය මා හට වෙනස් කල නොහැකි නිසාත් කාවින්ද්‍යාගේ සිහිනය නිසාත් මා හට කැමති වන්නට විය.

ඒ අදුරු මූසල දිනය මා හට තවමත් මතකය. හරියටම ඒ 2009 මැයි 17 දිනය. ඒ අපගේ සෙමෙස්තර විභාගය අවසන් වී ටික දිනකි. යුද්ධයේ අවසානය කරා එලඹී සිටියේය. ඊට පෙර දින අමාරුවෙන් දුරකථනක් ඔස්සේ කථා කල කවී පැවසූවේ ඇයගේ නිවස පැත්තේ ගොසින් එන ලෙසයි. මා ගෙදර තිබූ වාහනයක් ද රැගෙන ඇයගේ නිවසට ගොස් ඇයගේ අම්මා තාත්තා හා මල්ලි සමඟ කතා කරමින් සිටියෙමි. දිවා ආහාරය ගන්නා විට කවදාවත් නැතිව ආහාර මාගේ ඉස්පොල්ලේ ගියේ පුදුමාකාර දැවිල්ලකිනි. එසේ ආහාර ගෙන සිටිනා විට කවදාවත් නොමැතිව කාවින්ද්‍යාගේ රූපය මා ඉදිරියේ මැවී මැකී ගියේය. ඇය නැති පාලුව නිසා වෙන්යැයි මා සිතා ගත්තෙමි. සවස 5.00ට පමණ හමුදා රථයක් ඇයගේ නිවස දෙසට හැරවුණු අතර, ඉන් බැස ආ සෙබලුන් දෙදෙනා කී කාරණය අසා නිස්කලංක පරිසරය විලාපයන්ගෙන් පිරිගියේය.

කාවින්ද්‍යා හා තවත් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමේ සිටිනා විට කොටීන් විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස එවා තිබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වී ඇති අතර එම ස්ථානයේ සිටි දහදෙනෙකු පමණ මරණයට පත් වී ඇත. කාවින්ද්‍යා හා තවත් කිහිප දෙනෙකුගේම ඇගෙහි කෑලී වෙන්වන තරමට එය ප්‍රබල බව පසුව නීතීඥයකු ලෙස මා සොයා බැලු තොරතුරු වලින් හෙලි විය.

කෙසේ වූවත් ඊට පසුදා නිවසට පැමිණියේ ජාතික කොඩියෙන් වසා දැමුණු සීල් කල පෙට්ටියක් විය. ඒ සුන්දර සිනහවෙන් පිරි මුහුණ දකින්නට මා හට පින නොමැති විය. ඇයගේ අවසන් කටයුතු ආචාර වෙඩිමුර, බියුගල් නලා හඩ අතරේ සිදු කෙරුණු අතර මා මුවින් නොහඩා සිටියද දෑස් වලින් කදුලු ධාරා රූරා වැටුණි.

මා මතකය තුලින් ඇයගේ නිවසට පැමිණී අතර ඇයගේ දෙමව්පියන් හමුවී හෙට දිනයේ ඇයගේ දහතුන්වන මතක බණ දේශණාව හා දානය පිලිබද සාකච්ඡා කරගෙන මා ඇය බැලීමට වත්ත පහලට ගියෙමි.

සොහොන් කොතෙහි “කාවින්ද්‍යා නෙත්මිණි ගුණවර්ධන සෙබලියට නිවන් සුව ලැබේවා” යන්නට උඩින් සිනහවින් පිරුණු ඇයගේ ඡායාරූපය දකිද්දී නැවතත් මගේ ඇස් වලි කදුලු කැට කඩා වැටුණි. ඒ එක්කම මේ වචන ටික මගේ හිතට ආවා.

“ආයේ නොයෙනා - දිනෙක මතුදා..
මට ලැබුනොතින් ඔයා...
පිළිගන්නවා පාවඩ එලා.”

(දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධයේදී මිය ගිය/ආබාධිත සියලු රණවිරු සොයුර සොයුරියන්ට උත්තමාචාරය)

(සියලු චරිත, සිද්ධීන් සම්පූර්ණයෙන්ම මනඃකල්පිත සිදුවීම්ය.)

Kasun Sapumohotti

Post a Comment

0 Comments