පියවර විසි එකක කතාව



සෑම සොල්දාදුවෙකුගේම වීර ක්‍රියා හදුනා නොගනියි. යුද්ධයේ ගණනය කල නොහැකි ඛේදවාචකයන් දහසක් අතරින් යුද්ධය අවසන් වීමෙන් පසු වූවද ඇතැම් සොල්දාදුවන්ගේ දේහයන් හදුනා ගැනීමට පවා නොහැකි වී ඇත. එවන් වූ සොල්දාදුවන් සදහා පිහිටා ඇති සොහොන් ගැබ වන්නේ නාදුනන සොල්දාදුවාගේ සොහොන් ගැබයි. ඇමෙරිකානු යුධ හමුදාවන්හි මිය ගිය හදුනා ගැණීමට නොහැකි වූ දස දහසක් නාදුනන සොල්දාදුවන් උදෙසා එය කැප කොට ඇත.

ඇමෙරිකානු යුධ ඉතිහාසයේ 1861 – 1865 කාල වලදී පැවති සිවිල් යුද්ධයේදී බොහෝ විට ඉහල මට්ටමේ මරණ අනුපාතය නිසා සිදු වූයේ සොල්දාදුවන් යුධ පිටිය තුලදීම වැලලීමයි. නමුත් 1862 පිහිටු වූ ජාතික සුසාන භූමි පද්ධතිය මඟින් සිවිල් යුද්ධයෙන් මිය ගිය නොදන්නා සොල්දාදුවන් ගොඩ ගෙන ජාතික සුසාන භූමීන්හි තැන්පත් කරනා ලදී. 1898 දී ස්පාඤ්ඤ ඇමෙරිකානු යුද්ධයේ සිට එක්සත් ජනපද හමුදාව විදේශයන්හි  තම මියගිය තම සොල්දාදුවන් නැවත එක්සත් ජනපදයට ගෙන ඒමට කටයුතු කලේය.

පලමු ලෝක මහා සංග්‍රාමයේදී මියයන සෙබලුන් හදුනා ගැනීමට එක්සත් ජනපදය විසින් ඩෝග් ටැග් නම් ඇලුමිනියම් හදුනාගැණීමේ තැටියක් ලැබුනු අතර ඉන් යුද්ධයේදී මියයන සෙබලුන් හදුනා ගැනීමට පහසු වුණි. එකල යුද්ධයෙන් ඇමෙරිකාව මියයන සොල්දාදුවන්ගේ පවුල්වලට විකල්ප ලබා දුන්නේය. ළඟම ඥාතීන් විසින් ඉල්ලා සිටින්නේ නම්, යුරෝපයේ මියගිය සේවා සාමාජිකයින්ගේ දේහය පවුලට වියදමකින් තොරව එක්සත් ජනපදයේ ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ. එසේත් නැතිනම්, යුරෝපයේ ස්ථාපිත කෙරෙන ස්ථිර එක්සත් ජනපද හමුදා සුසාන භූමිවල තම මළවුන් භූමදාන කිරීමට පවුල්වලට තෝරා ගත හැකිය.

1920 දෙසැම්බරයේදී, නිව් යෝර්ක් කොන්ග්‍රස් සභික සහ පළමු ලෝක යුද්ධයේ ප්‍රවීණ හැමිල්ටන් ෆිෂ් ජූනියර් විසින් ආර්ලිංටන් ජාතික සුසාන භූමියේ ඉදිකරන ලද විශේෂ සොහොනක එක් නාඳුනන ඇමරිකානු සොල්දාදුවෙකුගේ දේහය තැන්පත් කිරීම සඳහා නීති සම්පාදනය කරන ලදී. නීති සම්පාදනයේ පරමාර්ථය වූයේ

“පසුගිය යුද්ධයේදී කිසිදු කොටසක්, ආගමක් හෝ ජාතියක් නියෝජනය නොකරන සහ ඇමරිකාවේ ආත්මය සහ ඇගේ වීරෝදාර මළවුන්ගේ උත්තරීතර පරිත්‍යාගය සංකේතවත් කරන නාඳුනන ඇමරිකානු රණශූරයෙකුගේ දේහය නිවසට ගෙන ඒමයි. .”

“to bring home the body of an unknown American warrior who in himself represents no section, creed, or race in the late war and who typifies, moreover, the soul of America and the supreme sacrifice of her heroic dead.”

1921 ඔක්තෝම්බර් මාසයේදී, ප්‍රංශයේ විවිධ ඇමරිකානු හමුදා සුසාන භූමිවලින් හඳුනා නොගත් එක්සත් ජනපද හමුදා නිලධාරීන්ගේ සිරුරු හතරක් ගොඩ ගන්නා ලදී. 1921 ඔක්තෝම්බර් 23 වෙනිදා, කරඬු හතර ප්‍රංශයේ Châlons-sur-Marne (දැන් Châlons-en-Champagne) නගර ශාලාවට රැගෙන එන ලදී. පසුව 1921 ඔක්‌තෝබර් 24 වැනිදා අලුයම ප්‍රංශ සහ ඇමරිකානු සොල්දාදුවන්ගේ සහාය ඇතිව ක්වාටර්මාස්ටර් බළකායේ මේජර් රොබට් පී හාර්බෝල්ඩ් විසින් නාදුනන සොල්දාදුවා ලෙස ජර්මනියේ සේවය කල ඇමෙරිකානු 50වන පාබල බලසේනාවේ සාජන් එව්වඩ් එෆ් යංගර් තෝරාගන්නා ලද අතර ඔහුගේ දේහය සුදු පැහැ රෝස මල් ඉසිනා ලද මෘත කලේබරයක තැන්පත් කරනා ලදී. එසේ සකස් කරනා ලද නාදුනන සොල්දාදුවාගේ මෘත කලේබරය USS Olympia නෞකාව මඟින් Washington, DC වෙත ප්‍රවාහනය කරන ලදී. The Unknown 1921 නොවැම්බර් 9 වන දින Washington, DC වෙත පැමිණි අතර එදිනම එය Washington, DC හි කැපිටල් ගොඩනැගිල්ලේ 1921 නොවැම්බර් 10 දින තෙක් මහජන ගෞරවය උදෙසා තැම්පත් කරන ලදී.

1921 නොවැම්බර් 11 වන දින, නාඳුනන සොල්දාදුවාගේ මෘත කලාබරය අශ්වාරෝහකයින් පදවන රථයක් මත තබා වොෂින්ටන්, ඩීසී සහ පොටෝමැක් ගඟ හරහා පෙරහැරකින් ගෙන යන ලදී. ඉන්පසු රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් ආර්ලිංටන් ජාතික සුසාන භූමියේ  පැවැත්වුණු අතර නාදුනන සොල්දාදුවාගේ මෘත කලේබරය නාඳුනන සොල්දාදුවාගේ සොහොන්ගැබෙහි තැන්පත් කරන ලදී.

ඇමෙරිකානු කොංග්‍රසය එම ස්ථානයේ ස්මාරකයක් සෑදීමට තීරණය කල අතර එයට පැවති නිර්මාණ තරඟයකින් ජයග්‍රහණය කලේ ලොයිමර් රිච්ගේ අනුරුවයි. සොහොන් ස්මාරකයේ  සාර්කෝෆගස් උතුරු සහ දකුණ පැති පුවරුවල සාර්කෝෆගස් මල් වඩම් තුන බැගින් මල් වඩම් සයකින් සරසා ඇත. නැගෙනහිර පුවරුවෙහි සාමය, ජයග්‍රහණය සහ වීරත්වය නියෝජනය කරන රූප තුනකින් සහ බටහිර පුවරුවෙහි ලේඛනයක් සටහන් කොට ඇත. එහි සදහන් වන්නේ,

“Here rests in honored glory an American soldier known but to God.”

“මෙහි සැතපී සිටින්නේ දෙවියන් පමණක් දන්නා වූ ගෞරවණීය මහීමාන්විත ඇමෙරිකානු සොල්දාදුවෙකි.”

වසර 20කට පසුව ඇමෙරිකානු කොන්ග්‍රසය දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් හා කොරියානු යුද්ධයෙන් මිය ගිය නාදුනන සොල්දාදුවන් දෙදෙනෙකු තැන්පත් කිරීමට අවසර ලබා දුනි. 1956 අගෝස්තු මාසයේදී ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර් එයට අත්සන් තබන ලදී. එය තරමක් සංකීර්ණ විය, මන්ද මහද්වීප හතරක මියගිය හඳුනා නොගත් සියලුම ඇමරිකානු මියගිය අය නියෝජනය කිරීමට අවශ්‍ය විය. එසේ තෝරාගත් නාදුනන සොල්දාදුවන් දෙදෙනාගේ මෘත කලෙබරයන් දෙක USS Blandy නෞකාවෙන් වොෂින්ටන් ඩීසී වෙත රැගෙන පැමීනීයේය. 1958 මැයි 28 වන දින සිට දින දෙකක් මහජන ගෞරවය උදෙසා Washington, DC හි කැපිටල් ගොඩනැගිල්ලේ තැම්පත් කරන ලදී. දින දෙකකට පසු 1958 මැයි 30 වනදා එම මෘත කලේබරයන් දෙක ආර්ලිංටන් ජාතික සුසාන භූමියේ  පලමු ලෝක යුද්ධයේ නොදන්නා සොල්දාදුවාගේ සොහොක් කොතට දෙපසින් තැන්පත් කෙරිණි.

වියට්නාම යුද්ධයේදී මියගිය නාදුනන සොල්දාදුවාගේ දේහය පර්ල් වරායේ සිට USS Brewton නෞකාවෙන් කැලිෆෝනියාවේ ට්‍රැවිස් ගුවන් හමුදා කඳවුර වෙත ප්‍රවාහනය කරන ලද අතර එතැන් සිට C-141B Starlifter යානයකින් Maryland හි Andrews ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන එන ලදුව 1984 මැයි 25 සිට 28 දක්වා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලේ තැන්පත් කරනා ලදී. ඉන්පසු මැයි 28 වන දින, හමුදා පෙරහැරකින් මිනී පෙට්ටිය ආර්ලින්ටන් ජාතික සුසාන භූමිය වෙත ප්‍රවාහනය කර ඉන් පසු එය කොරියානු සහ දෙවන ලෝක යුද්ධ නාදුනන සොල්දාදුවන් දෙදෙනාගේ සොහොන් ගැබ් අතර මැද මිහිදන් කරන ලදී. නමුත් පසුව එය ගුවන් හමුදාවේ පළමු ලුතිනන් මයිකල් ජෝසප් බ්ලැසි නම් ගුවන් නියමුවෙකු බව 1998 දී DNA පරීක්ෂණ මගින් හෙලි වීමෙන් අනතුරුව ඔහුගේ පවුලේ අයගේ කැමැත්තට අනුව, බ්ලැසිගේ සිරුර මිසූරි හි ශාන්ත ලුවී හි ජෙෆර්සන් ජාතික සුසාන භූමියේදී නැවත මිහිදන් කරන ලදී. වියට්නාම් යුද්ධය සඳහා නම් කරන ලද නොදන්නා සොල්දාදුවාගේ සොහොන් ගැබ  හිස්ව පවතී.  නමුත් 1999 සැප්තැම්බර් 17 නැවත එය වියට්නාම් යුද්ධයෙන් අතුරුදහන් වූ සියලුම එක්සත් ජනපද සේවා සාමාජිකයින්ට ගෞරව කිරීම සඳහා එය නැවත කැප කරන ලදී.

නොදන්නා සොල්දාදුවාගේ ස්මාරකය මුරකිරීම ඇමෙරිකානු සෙබෙලෙකුට ලැබෙනා භාග්‍යයක් ලෙස සලකයි. 1926 මාර්තු මාසයේදී, නාඳුනන සොල්දාදුවාගේ සොහොන්ගැබ ආරක්ෂා කිරීම සඳහා ප්‍රථම වරට ෆෝට් මයර් හි සොල්දාදුවන් වෙත පවරන ලදී. එකල දිවා කාලයේ පමණක් සිටින ආරක්ෂකයින්, සොහොන් ගෙය මතට නැගීම හෝ පා තැබීමට පැමිණෙන අමුත්තන් වැලැක්වීය. 1937 සිට, ආරක්ෂකයින් සතියේ දින හතේම පැය විසිහතරම දින 365ම කාලගුණය, දේශගුණය නොතකා  නාදුනනා සොල්දාදුවාගේ සොහොන් ගැබ මුරකිරීමට කැප විය.

1948 අප්‍රේල් 6 වන දින "The Old Guard" ලෙස හඳුන්වනු ලබන 3 වන එක්සත් ජනපද පාබල රෙජිමේන්තුව යුධ හමුදාවේ නිල උත්සව ඒකකය ලෙස නම් කරන ලදී. ඉන් පසුව “The Old Guard" නාඳුනන සොල්දාදුවාගේ සොහොන් ගැබ ආරක්ෂා කිරීමට පටන් ගත්තේය. The Old Guard" සොල්දාදුවන් ජනාධිපතිවරයාගේ පරිවාර ලෙස සේවය කරන අතර වොෂින්ටන්, ඩීසී සහ ඒ අවට ආර්ලින්ටන් ජාතික සුසාන භූමියේ හමුදා අවමංගල්‍ය පරිවාර ඇතුළු හමුදා උත්සව පවත්වයි.

 

නාඳුනන සොල්දාදුවාගේ සොහොන් ගැබෙහි ආරක්ෂකයින් වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සොල්දාදුවන් දැඩි තෝරා ගැනීමේ ක්‍රියාවලියක් සහ දැඩි පුහුණුවකින් පසු තෝරා ගනියි.  නාඳුනන සොල්දාදුවාගේ සොහොන් ගැබෙහි මුරකරුගේ දිනචරියාවේ සෑම අංගයකටම අර්ථයක් ඇත.

 ආරක්ෂක භටයා නාඳුනන සොල්දාදුවාගේ සොහොන් ගැබෙහි බටහිරට වන්නට ඇති කළු තීරුවෙන් පියවර 21 ක් ගොස්, හැරී තත්පර 21 ක් නැගෙනහිර දෙසට මුහුණලා හිද, නැවත හැරී තත්පර 21 ක් උතුරට මුහුණලා හිද, පසුව තීරුව මතින් නාඳුනන සොල්දාදුවාගේ සොහොන් ගැබ පසු කර  පියවර 21 ක් යයි. එසේ ගොස් නැවත හැරී තත්පර 21 ක් නැගෙනහිර දෙසට මුහුණලා හිද ඊළඟට, ආරක්ෂකයා ඔහුගේ/ඇයගේ ආයුධය අනෙක් උරහිස මත තැබීමට තියුණු "උරහිස්-අත්" චලනයක් ක්‍රියාත්මක කර නැවත හැරී තත්පර 21 ක් දකුණට මුහුණලා හිද, නැවත නාඳුනන සොල්දාදුවාගේ සොහොන් ගැබ පසු කර  පියවර 21 ක් යයි. ඔවුන් මෙය සතියේ දින හතේම පැය විසිහතරම දින 365ම කාලගුණය, දේශගුණය නොතකා අඛණ්ඩව සිදු කරනු දැවෙනා හිරු රැස් මැද, ගල් ගැසෙනා සීතලේ, ගත වෙව්ලුවන මහා වර්ෂා අතර මැද පවා “The Old Guard" සොල්දාදුවන් නාඳුනන සොල්දාදුවාගේ සොහොන් ගැබ ආරක්ෂා කරනු  ලබන අතර ඔක්තෝබර් 1 සිට මාර්තු 31 දක්වා සෑම පැයකටම සහ අප්‍රේල් 1 සිට සැප්තැම්බර් 30 දක්වා සෑම පැය භාගයකටම මුර කරුවන්  උත්සවාකාර කටයුත්තකින් හා තියුණු ආයුධ පරික්ෂාවකින් පසු පසු මාරුවේ.

මෙහි අංක 21 මගින් සංකේතවත් කරන්නේ එක්සත් ජනපදයේ හෝ වෙනත් ඕනෑම රටක සොල්දාදුවෙකුට   ප්‍රදානය කළ හැකි ඉහළම සංකේතාත්මක හමුදා ගෞරවය වන වෙඩි 21ක ආචාරයයි. තියුණු "උරහිස්-අත්" චලනයෙන් ඇඟවෙන්නේ ආරක්සකයන් සොහොන් ගෙය සහ හැකි ඕනෑම ආකාරයේ තර්ජනයක අතරමැද සිටින බවයි.

නොදන්නා සොල්දාදුවන් අපට මතක් කර දෙන්නේ අප අද මෙසේ නිදහසේ සිටිනේ ඔවුන්ගේ අසීමිත ජීවිත පුජාව නිසා බවය. එය ඇමෙරිකාවේ වූවද ශ්‍රී ලංකාවේ වූවද එකය. නොදන්නා සොල්දාදුවන් ඔවුන්ගේ ජීවිතයම අප වෙනුවෙන්ම කැප කල අය වෙයි.

We don’t know them all, but we owe them all.

අප ඔවුන් නොදන්නෙමු, නමුත් අප ඔවුන්ට ණය ගැත්තෝ වෙමු.

කසුන් සපුමොහොට්ටි

Post a Comment

0 Comments