“ කාන්තාවක් තේ
බෑගයක් වැනි ය - ඔබ ඇයව උණු වතුරට දමන තුරු ඇය කෙතරම් ශක්තිමත් දැයි ඔබට කිව නො හැක.”
ඒ ඇමරිකානු විශිෂ්ට ජනපතිවරයෙකුගේ විශිෂ්ට බිරිඳක් වූ එලිනෝර්
ඩී රූස්වෙල්ට් මහත්මිය පැවසු වදනකි. ඇත්තෙන්ම කාන්තාවකගේ දරා ගැනීමේ හැකියාව අති විශිෂ්ට
ය. ඇයට ඩෙල් 50ක තරම් අධික වේදනාවක් දරා ගත හැකිය. ආර්ථවහරණයේදී පිටවෙන ලේ ප්‍රමාණය
පුරුෂයෙකුට පිටවූ හොත් ඔහු එතැනම මියයන බව “පෑඩ්මෑන්” නම සිනමා නිර්මාණයේ පවා පවසනු
ලබයි. නමුත් එසේ සියල්ල දරා ගත හැකි කාන්තාව ශ්‍රී ලාංකේය දේශපාලනය තුල අතිශය පසුගාමී
බවක් පෙන්නුම් කරයි.
ලොව ප්‍රථම අගමැතිනිය 1960 වසරේ බිහි වූයේ ශ්‍රී ලංකාව තුලිනි.
ඒ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මහත්මියයි. කෙටියෙන් ම කිවහොත් සිරිමාවෝ මැතිනියයි.
ලොව විධායක බලය හිමි වූ ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහි කලේ ද ශ්‍රී ලංකාවයි. ඒ
1994 වසරේ ශ්‍රී ලංකාවේ සිව්වැනි විධායක ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග
මහත්මියයි. නමුත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නාක් මෙන් ලොව කාන්තා දේශපාලනයේ නම
රැන්දූ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදයකයේ එනම් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජන ප්‍රතිශතය 5.3%ක්
තරම් ඉතා අඩු ප්‍රතිශතයකි.
ලොව වැඩිපුර ම කාන්තා දේශපාල නියෝජනය පවතින්නේ රුවන්ඩාව
නම් අප්‍රිකානු රාජ්‍යයේ ය. එය 57%ක් තරම් ඉහල අගයකි. නමුත් සාක්ෂරතාවය අතින් ගතහොත්
එය පවතින්නේ වර්තමානයේ පවා ශ්‍රී ලංකාවට වඩා පහලිනි. එසේම බංගලාදේශය, පකිස්ථානය වැනි
මුස්ලිම් ආගම අදහන, කාන්තාවන්ට දැඩි
නීති ඇති රාජ්‍යයන් තුල ද කාන්තා දේශපාලන නියෝජනය 20% සීමාව පසු කර ඇත. එසේම ආගම්,
ජාතීන්, භාෂා සිය ගණනක් ඇති ලංකාවට වඩා හැට ගුණයක් විශාල ඉන්දියාවේ පවා දේශපාලනය තුල
කාන්තා නියෝජනය 10.9%ක් ඇත. නමුත් ශ්‍රී ලංකාව
සාක්ෂරතාවයෙන් ඉහල, ආගමික නිදහස සහිත, වර්ග කිලෝමීටර 65,610 භූමියක් ඇති රටක් වූවද
පාර්ලිමේන්තුව තුල කාන්තා දේශපාලනය ප්‍රතිශතයක් ලෙස ගත්විට 6%ක අගයක් වූවද නොමැත.
ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලනයේ ඉතිහාසය 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම
ප්‍රතිසංස්කරණයන් දක්වාම දිව යයි. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන් මඟින්
සර්වජන ඡන්දබලය හදුන්වා දීමත් සමඟ 1931 පැවති ප්‍රථම රාජ්‍ය සභා මැතිවරණයට තරඟ කල
කාන්තාවන් තිදෙනාගෙන් රුවන්වැල්ල කොට්ඨාශයෙන් තරඟ කල පාරම්පරික දේශපාලන පරපුරකින් පැවත
එන ඇඩ්ලින් මොලමුරේ මහත්මිය සහ තේසුම් සරවනමුත්තු නම් ද්‍රවිඩ වෛද්‍යවරියක්
කොළඹ කොට්ඨාශයට තේරී පත්වූවාය. එතැන සිට ආරම්භ
වූ ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලනය තුල පාර්ලිමේන්තුවකට මුලින්ම පත් වූ මන්ත්‍රීවරිය
ලෙස 1947 දී ෆ්ලොරන්ස් සේනානායක මහත්මියද, ශ්‍රී ලංකාවේ පලමු අමාත්‍යවරිය ලෙස 1956
දී කුසුමා විජයවර්ධන මහත්මියද, පත් වී එහි උච්ඡතම අවස්ථා දෙක ලෙස 1960 ලොව ප්‍රථම
අගමැතිනිය හා 1994 ලොව ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහි වීම ගත හැකිය. එසේ ගමන් මඟක
පැමිණෙන ශ්‍රී ලාංකීය කාන්තා දේශපාලනය වර්ථමාන පාර්ලිමේන්තුවේ ආසන 12ක් නියෝජනය කරයි.
ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යා
ලේඛණයන්ට අනුව ශ්‍රී ලංකාවේ කාන්තා ජනගහණය 52%කි. එසේම ඡන්ද හිමි ඡන්ද දායිකාවන් සංඛ්‍යාව
56%කි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් බහුතරය ශිෂ්‍යාවන් ය. නමුත් ශ්‍රී
ලංකාවේ කාන්තා නියුක්තිය 34%කි. එසේම පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%කි. එසේ වීමට
හේතු මොනවාද යන්න අප සලකා බැලිය යුතුම කාරණයකි.
මෙහිදි ප්‍රථමයෙන්ම
එන කරුණ වන්නේ අධ්‍යාපනය සහ පවුලේ දේශපාලන සබඳතාවන් ය. ශ්‍රී ලංකාවේ දේශපාලන සංදර්භය
ගත් විට එහි ගොඩනැගී ඇති මතයක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වීමටනම් දේශපාලන
සබඳතාවයන් පැවතිය යුතුම බවය. එය කාන්තාවන්ට එන විට කාන්තාව උගත් හා ඇය දේශපාලන පසුබිමකින්
පැමිණිය යුතු බවය. උදාහරණයක් ලෙස සිරිමාවෝ මැතිණිය පැමිණෙන්නේ රදල පෙලපතකින්, උසස්
අධ්‍යාපනයකින් සහ දේශපාලන පසුබිමකින් ය. ඇඩ්ලින් මොලමුරේ මහත්මිය පැමිණෙන්නේ ද රදල
පෙලපතකින්, උසස් අධ්‍යාපනයකින් සහ දේශපාලන පසුබිමකින් ය. වර්ථමානයේ රදල පෙලපතක් අවශ්‍ය
නොවුනද උසස් අධ්‍යාපනයකින් යුතුව සහ දේශපාලන පසුබිමකින් පැමිණීම අත්‍යාවශ්‍ය ය කාරණයක්
වී ඇත. උදාහරණයක් ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගත හොත් ඇය දේශපාලන පවුල් පසුබිමකින්
පැමිණෙන කොලඹ ප්‍රධාන පෙලේ පාසලක උගත් කෙනෙකි. අප පාර්ලිමේන්තුව නරඹන විට ඇතැම් මන්ත්‍රීවරුන්
ඉංග්‍රීසියෙන් සභාව අමතන විට කිසිදාක හෝ මන්ත්‍රීවරියන් පරිවර්ථන යන්ත්‍ර භාවිතා කරනු
දක්නට නැති වීම එය සනාථ කරයි. එම නිසා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කාන්තා දේශපාලනයේ
මන්ත්‍රීවරියන් අඩු ප්‍රමාණයක් සිටීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස උසස් අධ්‍යාපනයකින්
යුතුව සහ දේශපාලන පසුබිමකින් පැමිණීම දැක්විය හැකිය.
එසේම ශ්‍රී ලංකාව තුල
දේශපාලනය යන්න කෙරෙහි පවතින ජනමතය කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය අඩු වීමට තවත්
ප්‍රධාන හේතුවකි. මන්ද සාමාන්‍යය ජනමතය තුල දේශපාලනය යන සංදර්භය යනු ප්‍රචණ්ඩත්වය
පිරුණු, ලේ තැවරුණු, ම්ලේච්ඡ සහ ගසා කන දෙයකි. එය අප පසුගිය වසරවල් තුලදී දැකගත්තෙමු.
මිරිස් කුඩු ගසා ගන්නා,පොදු දේපල විනාශ කරනා, මිනී මරනා දේශපාලනය පවතින එකම දේශපාලනය
යැයි සාමාන්‍ය මහජන මතය වේ. එම නිසා සමාජය විසින් පිලිගනු ලබන හොඳ ගැහැණිය වනාහි
එසේ ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවුණු, මහා ශබ්දයෙන් කෑ ගසා නොගන්නා, පිරිමීන්ගේ වැඩ යයි
සම්මත වැඩ නොකල යුතු කෙනෙකි යන සමාජ මතය සමාජය තුල පැවතීම කාන්තා දේශපාලන සහභාගීත්වය
අඩු කිරීමට තවත් හේතුවකි.
කාන්තාව වනාහි තමන්ගේ
පාඩුවේ සිටිය යුතු කෙනෙකි යන මිත්‍යා සමාජ මතය තවත් හේතුවකි. කාන්තාව වනාහි තමන්ගේ
ස්වාමියාට කීකරුව, තම ස්වාමියාගේ ඕනෑ එපාකම් ඉටු කරමින්, දරුවන්ගේ කටයුතු ඉටු කරමින්,
තම නිවසටම වී සිටිය යුතු අයෙක් බව සාමාන්‍ය මහජන මතය වේ. එම සාම්ප්‍රදායික රාමුව බිදිනා
ඕනෑම කෙනෙකුට “බඩුව” යැයි ආමන්ත්‍රණය කරන්නට සමාජය පැකිලෙන්නේ නැත. එය 21 වන සියවසේ
තොරතුරු තාක්ෂණ යුගය යැයි කියාගන්නා යුගයටද එකසේ බලපායි. එම නිසා දේශපාලනයට පැමිණීම
තුලින් තමාට, තමාගේ ඉදිරි දිවියට, තම පවුලේ අයට සහ තම පවුලේ නාමයට කැලලක් ලැබේවියැයි
පවතින අනිසි බිය කාන්තාව දේශපාලනය කිරීමෙන් ඉවතට ගෙනයනු ලැබේ.
තවත් කරුණක් වන්නේ
කාන්තාව දේශපාලනය කරනා විට ඔවුනට එල්ල වන වාචික, ශාරීරික හා මානසික පීඩාවන් ය. වාචික
පීඩනයට හොදම උදාහරණයන් ලැබෙන්නේ 1960 සිරිමාවෝ මැතිණියට බලයට පත් වීමත් සමඟය. ඒ වන
විට බණ්ඩාරනායක මහතා මිය ගොස් ඇති බව දැන දැනම කුලියාපිටිය හෝ ඒ ආසන්නයේ පැවති
එක්සත් ජාතික පක්ෂ රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඊරියගොල්ල පවසන්නේ “මේ ගෑනිට
පාර්ලිමේන්තුවේ බබ්බු හම්බුවෙයි” යනුවෙනි. එම රැලියේදීම එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී
පසුව ජනාධිපති වූ ආර්.ප්‍රේමදාස පැවසුවේ “මාසෙකට සැරයක් පාර්ලිමේන්තුවේ පුටුව සෝදන්නට
වෙයි” කියාය. මෙවන් ප්‍රකාශ තුලින් කාන්තාවක් බරපතල වාචික හිංසනයට ලක් වේ. එසේම මෑතකදීද
පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තුවේදී “වම්බටු ගහල පලා ගත්තද
කියලා රෝහිණි කවිරත්න අහනවා, ගිහිල්ලා අහන්න සජිත්ගේ නෝනගෙන්” යනුවෙන් දැඩි ලිංගික
අපහාසයක් සිදු කරනු ලැබුවේය. එය වාචික මෙන්ම මානසික පීඩාවක්ද විය. මන්ද එය හාරා අවුස්සමින්
පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න මහත්මියගෙන් මෙරට මාධ්‍ය පන්න පන්නා හඩ ප්‍රකාශ
ලබා ගත් නිසාවෙනි. එසේම දේශපාලන පක්ෂවලින් කාන්තාවන් නාමයෝජනා බාරදෙන විට එම පක්ෂ
ප්‍රධානීන් ලිංගික අල්ලස් ඉල්ලනා බව ප්‍රකට රහසකි. එම නිසා මෙවන් කාරනා හේතුවෙන් ද
කාන්තාව දේශපාලනය කිරීමෙන් ඈත් කරනු ලබයි.
එසේම මාධ්‍ය තුලින්ද,
සම්මුඛ සාකච්ඡා වලදී ද කාන්තාවන්ගෙන් අසනා ඇතැම් ප්‍රශ්ණ විකාර රූපී ය. උදාහරණයක්
ලෙස “ගෙදර දොරේ වැඩක් නොකර දේශපාලනයට එන්න
හිතුනේ ඇයි?” “ඔබ කොහොමද ගෙදර දොරේ වැඩ එක්ක දේශපාලන වැඩ සමබර කරගන්නේ?” “ඔබ දේශපාලන
රැලි වලට දේශපාලන වැඩ අවසන් වෙලා නිවසට එන විට කීය වගේද?” “ලමයින්ගේ වැඩ කටයුතු,
ස්වාමිපුරුෂයාගේ වැඩ කටයුතු වලට ඔබෙන් සහයෝගය ලැබෙනවාද?” වැනි විකාර රූපී ප්‍රශ්ණ
මාලා නිසා ද කාන්තාවන් හිංසනයට ලක්වෙන අතර කෙසේ හෝ පිලිතුරු ලබා දුන්නා යැයි සිතමු.
එය නරඹන අනාගතයේ දේශපාලනයට පිවිසීමට සිටිනා තරුණියක් එම පිලිතුරු හේතුවෙන් අධෛර්යයට
පත් විය හැකිය. එසේම තම සැමියාගෙන් වෙන්වී සිටිනා කාන්තාවක් ඡන්දය ඉල්ලනා විටද සමාජය
ඒ දෙස බලන්නේ වපර ඇසෙනි.
එසේම තවත් ප්‍රධාන
හේතුවක් වන්නේ ශ්‍රී ලාංකීය කාන්තාවන් කාන්තාවන් අතර පවතින ඊර්ෂ්‍යාශීලීත්වය යි.
උදාහරණයක් වශයෙන් එක් කාන්තාවක් ඡන්දය ඉල්ලුවායැයි සිතමු. ඇයට විරුද්ධව කේලම් යවන්නේද
ඇයවාගේම තවත් කාන්තාවන්මය. “අපි දන්නේ නැද්ද ඕකිගේ කැරැට්ටුව....” කියා ඇයව පහතට හෙලනු
ලබයි. ඇයව අධෛර්යයමත් කරනු ලබයි. එම නිසා ඇයට ලැබෙනා ඡන්ද ප්‍රමාණයන් අඩු වී යයි. දේශපාලන
සාක්ෂරතාවය බොහෝ විට ග්‍රාමීය කාන්තාව තුල අඩු බව නිසා බහුතර කාන්තාවන් ප්‍රමාණයන්
සිටින දිස්ත්‍රික්කයන් වල මහජන නියෝජිතයා වන්නේ ගැහැණියක නොව පිරිමි අයෙකි.
එසේම කාන්තාවට ඉදිරියට
පැමිණීමට ඉඩ නොදීම තුලින්ද කාන්තාව දේශපාලනය කිරීම අඩු වීමට හේතුවක් වී ඇත. විශේෂයෙන්ම
වාමාංශික සංගම් වල ඉතිහාසයේ කිසිම දිනෙක කාන්තාවක් ඉහල මට්ටමේ ධූරයකට පත් වී නැත.
කිසිත් අවශ්‍යය නැත. අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය යනු ස්ත්‍රීයට සමානව
සලකන තැනකි. නමුත් එහි කැදවුම්කරු ධූරයට කිසිමදාක විශ්ව විද්‍යාලීය ශිෂ්‍යාවක් පත්වී
නොමැත. අඩුම තරමෙන් ඔවුන්ගේ ශිෂ්‍ය වීරයන් අතර ශිෂ්‍ය වීරවරියක් නැත. නමුත් වත්මන්
අරගල භූමියේ පවා මා පෞද්ගලිකව දන්නා අන්තරේ ඉදිරිපෙලේ සිටිනා විශ්ව විද්‍යාලීය ශිෂ්‍යාවන්
සිටියි. නමුත් හැමවිටම මාධ්‍යයෙන් පවා පෙන්වන්නේ විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයන් පමණි.
ශිෂ්‍යාවන් නැත.
කාන්තාව දේශපාලනයට
රැගෙන ඒමේ පියවරක් ලෙස 2016 අංක 01 දරන පලාත් පාලන මැතිවරණ සංශෝධන පනත තුලින් පලාත්
පාලන ආයතන තුල කාන්තා නියෝජනය 25%ක් දක්වා ඉහල දමනු ලැබිනි. නමුත් එය නිසි ලෙස ක්‍රියාත්මක
වන්නේ නැත්තේ අඩු දේශපාලන සාක්ෂරතාවය හා ආකල්පමය හේතූන් නිසාවෙනි.
කාන්තාව ක්‍රියාකාරී
දේශපාලනයට වැඩි වශයෙන් ගෙන ඒමට නම් ප්‍රථමයෙන්ම අවශ්‍යවන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකි.
එතුලින් ශිෂ්‍යාවන්ට කාන්තා දේශපාලනයේ වැදගත්කම පෙන්වා දීම තුලින් ශ්‍රී ලාංකීය කාන්තා
සමාජය තුල යම් කිසි දැවැන්ත ආකල්පමය වෙනසක් ඇති කල යුතුය. එම ආකල්පමය වෙනස ක්‍රියාත්මක
වීම ආරම්භ වූ විට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයේ 50%ක් අනිවාර්යයෙන්ම කාන්තාවන් වනු
ඇත.
නමුත් කාන්තාවකට වූවද
අධික බලය අවශ්‍යයම නැත. මන්ද ඇතැම් කාන්තාවන්ට බලය ලැබුණු පසු ඔවුන් ඒ බලයෙන් පරපීඩක
තත්ත්වයන් ට ලක්විය හැකි බැවිනි.
කසුන් සපුමොහොට්ටි
තොරතුරු අන්තර්ජාලයෙනි.
0 Comments