“පුතා මම ඔයා කියවන කතා හරි කැමැත්තෙන් කියවනවා. ඔයාගේ යාල්දේවී කතාවට සමාන කතාවක් මටත් තියෙනවා. ඔයා වෙලාවක් කියන්න මම කතාව කියන්නම් ඔයාට.”
ඒ පසුගිය දිනෙක මාගේ මුහුණු පොතට ලැබුණු පණිවිඩයකි. තවත් කතා කුමකටද මා හැරෙන තැපෑලෙන් ඔහු ඇමතුවෙමි. මේ ඔහු මට කියු කතාවයි.
**********************************************************************
මම ඉපදුනේ ගාල්ලේ හික්කඩුවේ. පොඩි කාලේ ඉදන්ම තිබුණු ආසවක් තමයි යුධ හමුදාවට බැදෙන එක. පාසලේදී කැඩෙට් කණ්ඩායම වගේ කණ්ඩායම්වල ක්‍රියාකාරී සාමාජිකයෙක් වුණ නිසා මට ඉතාමත්ම පහසුවෙන් දියතලාව ආරක්ෂක විද්‍යාපීඨයට ඇතුල්වෙන්න පුලුවන් වුනා. එතනින් මම දෙවන ලුතිනන් විදිහට අධිකාරී ලබලා මාව ඉදිරි ආරක්ෂක වලල්ලට යැව්වා. එහේ අවුරුද්දක් දෙකක් විතර හිටියා. ඒ කාලේදී දෙවන ඊලාම යුද්ධය සැරට තිබුණු කාලයක්. මම එතන වුණ සටනකදී වුන තුවාලක් නිසා මාව කොළඹට ගෙනාවා. එතනදී වුණ සිදුවීම සලකලා බලලා මට රණශූර පදක්කම නිර්දේශ කරා වගේම මාව කැප්ටන් නිලයට උසස් කරා. තුවාලේ හොද වෙලා අවුරුද්දකට විතර පස්සේ නැවතත් මම ක්‍රියාන්විත රාජකාරී සදහා යෙදෙව්වා.
ඒ 1994 මුල වගේ. මම යෙදවුවේ යාපනය නගරයේ ඒ වෙනකොට පිහිටුවලා තිබුණ කදවුරට අනුයුක්තව නල්ලුර් කෝවිල අසල තිබුණු මධ්‍යස්ථානයකට. එතන යුද්ධයෙන් අවතැන්වුණු සිවිල් ජනතාවට උපකාර කරන මධ්‍යස්ථානයක් විදිහට. එතන හමුදාව සතු වගකීම් වලින් සමහරක් පැවරුනේ මට. ඒ ලමයින්ගේ අධ්‍යාපනය පිලිබද වගේ කටයුතු මම නිතරම සොයා බැලුවා. ඔය අතරදී අහම්බෙන් වගේ තමයි මම ඇයව දුටුවේ.
දවසක් මම මධ්‍යස්ථානයේ ඇවිදින කොට ලඟ තිබුණ නුග ගහ පැත්තෙන් ලස්සන කවියක් ඇහුණා ලස්සන කටහඩකින්.
“පණම් සෙලවිල්ලෛ කවලෛයුම් ඉල්ලේ
නංගල් ශුඩුවෝම් අප්පම්
පාඩිච් ශුඩුවෝම් අප්පම්”
පුංචි ලමයි ටිකක් වට කරගෙන රතු පාට ඉරි ගියපු කොලපාට සාරියක් ඇදගෙන පිච්ච මල් ගහපු ලස්සන කොණ්ඩයක් එක්ක සිංදු කියන ඇය දැක්ක ගමන් මට හිතුනේ මම ඉන්නේ දිව්‍ය ලෝකෙදවත්ද කියලා.මම හිමිහිට ඒ පැත්තට ගියා.මම දැක්ක ගමන් ලමයි බය වුණා කියලා තේරුණ නිසා සිනහවකින් මුව සරසාගෙන
“මිස් සිංදු උගන්වනවා වගේ?”
“ඔව්.සර් මම පුංචි සිංදුවක් කියලා දුන්නා. ඇයි සර් ප්‍රශ්ණයක්ද?”
පැහැදිලි සිංහලෙන් ඇය කතා කරපු විදිහට ඇත්තටම මට පුදුම හිතුනා.
“ආහ් නෑ....නෑ... කිසි වරදක් නැහැ. මට පුදුම ඔයා ඔය තරම් හොදට සිංහල කතා කරන්න ඉගෙන ගත්තේ කොහොමද කියලා?”
“මගේ අම්මා සිංහල.එයා කොළඹ. ඉතින් මටත් සිංහල කතා කරන්න පුලුවන් හොදට.”
“ආහ්......ඒක තමයි. මට මිස්ගේ නම අහගන්න පුලුවන්ද?”
“ඔහ් මම සරෝජනී සූරියසේකරන්, සර්?”
“ආහ් මම කාංචන විජේබණ්ඩාර, any relations to ශන්මුගම් සූරියසේකරන්.”
මොකද මම එහෙම ඇහුවේ මධ්‍යස්ථානයේ අධ්‍යාපනය බාරව හිටි සිවිල් පුද්ගලයා නැතිනම් විදුහල්පති වගේ කටයුතු කලේ ශන්මුගම් සූරියසේකරන් මහතා නිසා.
“He is my father. සර් දන්නවද මගේ අප්පව?”
“ඔව්.මම දන්නවා මිස්ටර් සූරියසේකරන්ව. හැබැයි මම දැනගෙන හිටියේ නැහැ මිස්ටර් සූරියසේකරන්ට දුවෙක් ඉන්න බව.”
“අප්පා මාව වැඩිය ප්‍රසිද්ධ කරන්නේ නෑ මේ ප්‍රශ්ණ නිසා”
“ඔහ් එහෙමද?”
“ඔව් සර්. සර් මෙතන ගැටලුවක් නැත්නම් මම මේ වැඩේ කරගෙන යන්නද?”
“Oh yes, please, ඔයාට ගැටලුවක් නැත්නම් මම මෙතන ටිකක් ඉන්නද?”
“No problem sir. ශරි නන්පරකලේ එන්නුඩන් මීන්ඩුම් කවිදෛ පාඩුවෝම්.”( හොඳයි ලමයිනේ අපි මාත් එක්ක ආයෙත් කවි ගයමු.)
“පණම් සෙලවිල්ලෛ කවලෛයුම් ඉල්ලේ
නංගල් ශුඩුවෝම් අප්පම්
පාඩිච් ශුඩුවෝම් අප්පම්”
ඇත්තෙන්ම ඇය නිකන් සුරංගනාවියක් වගේ මට පෙනුනේ. හුඟක් ගෑනු ලමයි මම දැකලා තියෙනවා. කිහිපදෙනෙක් එක්ක යාලු වෙලත් ඉදලා තිබිලා තියෙනවා පාසල් කාලෙදී. ඒත් මට සරෝජනී වගේ කිසිම කෙනෙක්ව දැනිලා නැහැ.එතන ටික වෙලාවක් ඉදලා මම මිස්ටර් සූරියසේකරන්වත් හම්බුවෙලා එහි වැඩකටයුතුත් බලලා පැය කිහිපයකට පස්සේ යන්න හදද්දි සරෝජනීව හම්බුවෙලා යන්න ඕන වෙලා ඇයව සොයද්දි ඇය කෑම බෙදන තැන ඉදන් ලමයින්ට කෑම කවනවා දැකලා ඇයට සමුදෙන්න කියලා එතනට ගියා.
“මිස් සරෝජනී මම යන්න කියලා”
“සරි සර් සමාවෙන්න මේ පොඩි ලමයින් තනිවම කන්න කියුවට කන්නේ නෑ. පව් අසරණ ලමයි. ඒක නිසා මම එයාලට කවනවා.”
“ආහ් හොදයි මිස් සරෝජනී. මම ගිහින් එන්නම්. ඔබතුමීට මොනාහරි අවශ්‍ය භාණ්ඩයක් තියෙනවද? මට පුලුවනි එය සපයන්න.”
“ස්තූතියි සර්. පුලුවන්නම් මට හුණු කූරු කිහිපයක් එක්ක කලු ලෑල්ලක් සපයන්න පුලුවන්ද?”
“හරි මිස් මම සපයන්නම්. එහෙනම් මම ගිහින් එන්නම්.”
කියලා මම නැවතත් කදවුරට පැමිණ එදින රාත්‍රී වන විට මාගේ සහෝදර සෙබලෙකු යොදවා කළු ලෑලි කිහිපයක් සහ හුනු කූරු කිහිපයක් මධ්‍යස්ථානය වෙත පිටත් කර හැරියා. මීලඟ දිනයේද මධ්‍යස්ථානය වෙත යන්නට සිටියත් යෙදුණු රාජකාරි කිපයක් නිසා මා හට නැවත යාමට හැකිවුණේ ඊටත් පසුදිනයේ.
එදින සුපුරුදු රාජකාරී වලට ප්‍රථමව මා ගියේ ඇය බලන්නටයි. ඇත්තෙන්ම සරෝජනී මාගේ සිතේ සොරාගෙන තිබුනා. එදින කලින් ඇය සිටි තැනට යන විට ඇගේ මිහිරි කඩහඩ ඇය දැකීමට පෙර සිටම ඇසෙන්නට වුණා.
“නිලා නිලා වා වා
නිල්ලාමල් ඕඩි වා
මලෛ මේල් ඒරී වා
මලිලිහෛ පූකොණ්ඩු වා”
කහ පැහැ සාරියක් ඇදගෙන පිච්ච මල් වරලසේ ගහගෙන හිටපු ඇය දුටු විගස නැවතත් ඇය වෙතටම සිත බැදුනේ මටත් හොරා.
“Excuse me, මිස්”
“ආහ්..සර් අනේ බොහෝම ස්තූතියි මේ කරපු උදව්වට.ලමයි මේ ඔෆිසර්ට නන්රි කියන්න.”
“නන්රි ඔෆිසර්” ලමුන් එක හඩින් කීව්වා.
“ඕක සුලු දෙයක් සරෝජනි මිස්.”
“සර් තව උදව්වක් කරන්න පුලුවන්ද?”
“කියන්න මිස්”
“ඔය මිස් කියන කෑල්ල අතඅරින්න පුලුවනිද?”
“හරි මිස්”
“ඔය ආයෙමත් මිස් කියනවා සර්”
“හරි සරෝජනී එහෙනම් මට සර් නොකියා කාංචන කියන්න. හරිද?”
“හරි සර්....සමාවෙන්න කාංචන”
ඒකට අපි දෙදෙනාටම සිනහ ගියා.
“සරෝජනි අපි කෑම වෙලාවෙදී හමුවෙමුකෝ එහෙනම්”
“හරි කාංචන”
“Ok see you” කියමින් මා ඇගෙන් සමුගත්තේ දහවලදී හමුවෙන බලාපොරොත්තුවෙනි.
එදින දහවල් අපි හමුවී කතා කලෙමු. එසේ ආරම්භ වූ අප දෙදෙනාගේ කථාව මාස කිහිපයකට පසු ආදරයකට පෙරලුණි. ආගම් ජාති බේද නොසලකා අප ආදරය කලෙමු. මෙය අප නිවෙස්වලටද දැන්වූ පසු නිවෙස් වලින්ද කිසිදු අකමැත්තක් පෙන්වූවේ නැත. නමුත් අවාසනාව අප වෙතට පැමිණියේ එක් නිමේශයකිනි.
දිනය - 1995 වසරේ අප්‍රේල් 19
ස්ථානය - ත්‍රිකුණාමලය නාවික හමුදා වරාය
වරායට ඇතුල්වූ මිනීමරු එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමත් සමඟ තෙවන ඊලාම් යුද්දය ආරම්භ විය. අප ඇතුලු හමුදාවන්ට පසු බැසීමට සිදු වූයේ එක් නිමේෂයකිනි. මා හට සරෝජනීට යැවිය හැකි වූයේ ප්‍රවේශමෙන් සිටිනා ලෙස පමණි. නැවතත් මා හට යාපනය නගරයට ඇතුලු වීමට හැකි වූයේ බ්‍රිගේඩියර් ජානක පෙරේරාගේ නායකත්වයෙන් යුතුව ආරම්භ වූ රිවිරැස මෙහෙයුමෙන් 53 සේනාංකය ඒ මාස හතකට පමණ පසුවය. යාපනය නගරය අල්ලා ගැනීමෙන් පසුවය. නගරය යකුන් නැටූ සොහොන් බිමක් මෙනි. මා උසස් නිලධාරීන්ගෙන් අවසර ගෙන මුලින්ම ගියේ සරෝජනීව බැලීමටය. ඇයගේ නිවස පිහිටි තැනක් හෝ සොයා ගැනීමට නොහැක. අහල පහල සිටි දෙමළ වැසියන්ගෙන් මා දැනගත් තොරතුරු අසා මගේ දෙඇස් තවමත් තෙත් වන්නේ එක ඇසිල්ලෙකිනි.
ඇයව එල්.ටී.ටී.ඊ ම්ලේච්ඡයන් වෙත බදවා ගැනීමට එල්.ටී.ටී.ඊ ම්ලේච්ඡයන් පිරිසක් පැමිණ තිබූ අතර එයට විරුද්ධ වූ ඇයගේ මව හා පියා වෙඩි තබා මරා ඇය ඇදගෙන යන්නට සැරසෙන විට ඇය එම ම්ලේච්ඡයන් පිරිසගේ නායකයාගේ මුහුණට කෙල ගසා ඇත. එයට උරණ වූ එම කුරිරු ත්‍රස්ථවාදියා ඇයගේ ශරීරය හරහා වෙඩි වරුසාවක් එල්ල කොට ඇත්තේ හිත් පිත් නොමැතිවය. අසල්වාසින් ඔවුනගේ මල සිරුරු වල දමා ඇත්තේද වෙඩි තබා දින කිහිපයකටත් පමණ පසුවය.
මෙය අසා මා සම්පූර්ණ දිනයක්ම හඩා වැලපුණි. නැවත මා නැගිටින ලද්දේ මිය යාමට හෝ සටන් කිරීම එකම අරමුණ කොටගෙනය. එතැන් පටන් 2009 යුද්ධය අවසන් වන තෙක්ම ඉදිරි ආරක්ෂක වලල්ලේ සටන් වැදුණු මා හට මරණ බියක් දැනුනේ නැත. මාගේ එකම අරමුණ වූයේ සරෝජනී සිටිනා ලෝකයකට යාම පමණි. යුද්ධයේදී සුළු සුළු තුවාල සිදු වුනද, ඒවාට තනතුරු පදක්කම් ලැබුණද සරෝජනී නැති පාලුව තවමත් මා හිත ශෝකයෙන් පෙලයි.
ජීවිතයේ 50වන කඩයිමද පසු කර ඇති මම තවමත් මේ හදවත ලියා ඇත්තේ යාපනයේ නුගසෙවනක හමුවූ ඒ සරෝජනී සූරියසේකරන් නමට පමණි. එය මාගේ දිවිය පවතින තෙක්ම එසේම වනු ඇත.
***********************************************************************
ඔහුගේ කතාව අසා බෝඩිම් කාමරයෙන් එලියට බැස්ස මගේ දෙසවනට අපේ බෝඩිමේ අන්කල් අසනා වෙලඳ සේවයෙන් ගුවනට මුදා හල මේ ගීතය ශ්‍රවණය වුනා.
“සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම..
නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව..
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන...
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම..”
සියලුම නම් ගම් සිද්ධීන් මනඃකල්පිතය.
ඡායාරූපය - ඉර හද යට චිත්‍රපටයෙන්
කසුන් සපුමොහොට්ටි
0 Comments