ශ්‍රී ලංකාවේ ඔසප් සනීපාරක්ෂාව (menstrual hygiene in Sri Lanka)

 


“පැය භාගයක් ගෑනු අයට වගේ ලේ ගියොත් පිරිමීන්ට ඔවුන් මැරිලා වැටෙනවා.”

 මේ පෑඩ් මෑන් නම් සම්මානලාභී චිත්‍රපටයේ එන වාක්‍යයක්. ඇත්තෙන්ම ශ්‍රී ලංකාව වගේ අධි සංස්කෘතික සමාජයක ඔසප් වීම ගැන හෝ ඔසප් සනීපාරක්ෂාව ගැන කතා කරන්නේ හොරෙන් හොරෙන්. ඒකත් පිරිමි කෙනෙක් මෙහෙම ලියන කොට හිතා ගන්න පුලුවනි නේද? ඒත් මේ කතා කල යුතු මාතෘකාවක්. මගින් කියවලා නතර කරන්නේ නැතිව සම්පූර්ණ ලිපියම කියවන්න කියලා පිරිමි ඔබට මෙන්ම කාන්තා ඔබටත් ආරාධනා කරනාවා.

2020 ලෝක බැංකු වාර්ථා අනුව ශ්‍රී ලංකාවේ ජන හා සංගණන දෙපාර්තමේන්තුවට අනුව මෙරට කාන්තා ජනගහණය 51.2% ක් ලෙස 2020 දී හදුනාගෙන ඇත. ඒ අනුව සමස්ත ජනගහණයෙන් අඩකට වඩා සිටින්නේ කාන්තා පාර්ශවය ය. කාන්තාවකගේ ශරීරය තුල මාසිකව සිදුවන ජෛව ක්‍රියාවලියක් වන්නේ ඔසප් වීමයි. එනම් කාන්තාවක් මවක් වීමට සූදානම් බව හගවන අපූර්ව ක්‍රියාවලියකි. කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බය ශුක්‍රාණුවක් හා සංකෝචනය නොවී ගර්භාශයේ තැන්පත් වෙයි. ඉන් පසු දරුවෙකු පිලිසිද ගැනීමට තරම් ගර්භාෂ බිත්තිය සවිමත් වන අතර ශුක්‍රාණුවක් හා සංසේචනය නොවීම නිසා එසේ සවිමත් වූ ගර්භාශ බිත්තිය රුධිරය සමඟ පිටතට පැමිණීම මෙසේ මාසික ඔසප් වීම ලෙස හදුන්වනු ලබයි. සාමාන්‍යයෙන් මෙය දින පහක් පමණ කාලයක් පවතින අතර කාන්තාවකගෙන් සාමාන්‍යයෙන් දිනකට තෙවරක් පමණ එසේ රුධිරය පිටවේ.

ශ්‍රී ලංකාව තුල මෙසේ මාසික ඔසප් බවට පත්වන කාන්තාවන් සංඛ්‍යාව මිලියන 4.2ක් බවට ගණන් බලා ඇත. (roar media, 2018)

මෙසේ පිටවන රුධිරය අවශෝෂණය කරගැනීමට පිරිසිදු ඔසප් කලමණාකරන ද්‍රව්‍ය භාවිතා කිරීම ඔසප් සනීපාරක්ෂාව ලෙස අර්ථ දැක්විය හැක. (WHO/UNICEF,2012) ඔසප් සනීපාරක්ෂාව නිවැරදි ලෙස පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් කාර්යයකි. මන්ද එය කාන්තාවගේ සෞඛ්‍යයට බලපානා කාරණයක් බැවිනි. එසේම එය ඇයගේ අධ්‍යාපනයටද බලපායි.

ශ්‍රී ලංකාවේ තරුණ කාන්තාවන් අතරින් බහුතරය පාසල් යන වයසේ ගැහැනු ලමුන් ය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 12 හෝ 14 අතර කාලයේදී ගැහැණු දරුවෙකුගේ පලමු ඔසප් වීම සිදු වේ. එය මහත් ඉහලින් සමරන බොහෝ පිරිස් ඉන්පසු ගැහැනු දරුවෙකුගේ ඔසප් වීම පිලිබඳ බලනුයේ වෙනස්ම ඇසකිනි. ඔවුන්ට අවශ්‍යය නිවැරදි සනීපාරක්ෂක ද්‍රව්‍ය පවා ගෙන දෙන්නේ ඉතාමත් අකැමැත්තෙනි. නමුත් මාසික ඔසප් වීම යනු ජෛවීය ක්‍රියාවලියක් නිසා එය නැවැත්වීමට නොහැක. නමුත් මෙවන් ජෛවීය ක්‍රියාවලියක් හේතුවෙන් ගැහැණු දරුවෙකුගේ පාසල් ගමනට බාධා ඇති වේ නම් එය බරපතල තත්ත්වයක් සේම එම රටේ අධ්‍යාපන පද්ධතිය තුල ඔසප් සනීපාරක්ෂාව පිලිබඳ දක්වන අවධානය පිලිබඳ නිරූපණයක්ද වේ.

ශ්‍රී ලංකාව ගත් විට මෙරට ගැහැණු ළමුන්ගේ සමීක්‍ෂණයකදී, ඔසප් වීම නිසා පාසල මගහැරෙන බව කියා සිටි සංඛ්‍යාව තුනෙන් එකකට වඩා මඳක් වැඩි ය. 68% - 81% අතර ගණනක් කියා සිටියේ වේදනාව සහ ශාරීරික අපහසුතාවයන් නිසා ඔසප් දිනයන්හි පාසල් නොයා සිටිනා බවයි. එසේම 23% - 40% පිරිසක් ඔසප් වීම නිසා පාසල් නිල ඇඳුම්වල පැල්ලම් ඇතිවීමේ බිය නිසා පාසල් නොයන බව කියා සිටියි. (UNICEF) එසේම පාසල් යන ගැහැණු දරුවන් ගත් විට ඉන්  37%ක්ම ඔසප් වීමෙන් පසු පළමු සහ දෙවන දින වල පාසල් යාමෙන් වැළකී සිටින බව හෙලි වී ඇත. ඒ අනුව ගත් විට වසරකට මාසයක් පමණ ගැහැණූ දරුවෙකුට තම පාසල් ගමන මඟ හැරෙයි. 

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතරින් සෞඛ්‍යාරක්ෂිත ඔසප් සනීපාරක්ෂක ක්‍රම භාවිතා කරනුයේ 30%ක් පමණය. ඉතිරි 70%ක් දෙනාම භාවිතා කරනුයේ නිවැරදි ඔසප් සනීපාරක්ෂක ක්‍රම නොවේ. එසේ භාවිතා කරන නිවැරදි නොවන ඔසප් සනීපාරක්ෂක ක්‍රම‍යක් වනුයේ රෙදි කඩක් භාවිතා කිරීමයි. නමුත් එය පෑඩ් භාවිතා කිරීම තරම් සාර්ථක ක්‍රමවේදයක් නොවේ. පාසල් ශිෂ්‍යාවන් හට පෑඩ් භාවිතා කල හැකිනම් ඉහත කී මඟ හැරෙනා මාසයක් වැනි අධ්‍යාපන කාලය ඔවුනට ලබා ගත හැක. නමුත් එය සිදු කිරීමේදී ගැටලු කිහිපයක්ම මතු වේ. ඒවා නම්,

  • ·       ආර්ථික හේතූ
  • ·       සාමාජීය හේතු
  • ·   සනීපාරක්ෂක හේතු

ලෙස ඒවා වර්ගීකරණය කල හැක.

ආර්ථික හේතු

ශ්‍රී ලංකාව තුල බොහෝ විට කාන්තාවන් හා පාසල් සිසුවියන් සනීපාරක්ෂක තුවා භාවිතා නොකිරීමට ප්‍රධානනම හේතුව වන්නේ ඒවායේ මිලයි. සාමාන්‍යයෙන් එක් පැකට්ටුවක පෑඩ් 16ක් පමණ ඇති අතර එහි පැකට්ටුවක මිල රුපියල් 450ක් පමණ වේ. ඒ අනුව ගත් විට එක් සනීපාරක්ෂක පෑඩ් එකක මිල ආසන්න වශයෙන් ගත් විට රුපියල් 30ක් පමණ වෙයි. ඒ අනුව ගත් විට පාසල් යන ශිෂ්‍යාවකට දිනකට සනීපාරක්ෂක තුවා තුනක් භාවිතා කරයි කියා සිතයි නම් මාසයකට එක් පැකට්ටුවක ගණනනේ වසරකට රුපියල් 5,500.00 කට ආසන්න මුදලක් වැය වේ. එවිට ඇයට හා ඇගේ මවට ගතහොත් එය වසරකට රුපියල් 11,000කට ආසන්න ගණනකි.

රුපියල් 5,500.00ක් වසරකට වියදම් කිරීම ඇතැම් ධනවත් සහ ඉහල මධ්‍යම පාන්තික පවුල් සඳහා සාමාන්‍යය මුදලක් වූවද පහල මධ්‍යම පාන්තික සහ එදිනෙදා තම ජීවිතය සදහා සටන් කරනා සාමාන්‍ය වැසියාට එය විශාල මුදලකි. ඇතැම් විට එම පවුල්වල පාසල් යන ශිෂ්‍යාවන් දෙදෙනෙකු සිටීනම් වසරකට රුපියල් 16,000ක් යනු ඔවුනට විශාල මුදලකි. එම නිසා ඔවුන් සිය ඔසප් දිනවල පාසල් නොපැමින තම නිවසේ සිටියි. මන්ද ඔවුනගේ වසරක ඔසප් සනීපාරක්ෂාවට යන මුදල ඔවුනගේ මාස කිහිපයක ආහාර පරිභෝජනය සම්පූර්ණ කරන හෙයිනි.

එසේම රජය මඟින් සනීපාරක්ෂක තුවා කෙරෙහි පනවා ඇති බඳු මුදල් නිසාද වර්ථමානයේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් වී ඇත. එම හේතුව නිසා ශ්‍රී ලංකාවේ පාසල් ගැහැනු ලමයින්ගෙන් වැඩි පිරිසක් සනීපාරක්ෂක තුවා වෙනුවට රෙදි කඩවල් භාවිතා කිරීමට පුරුදු වී සිටිනා අතර පැය හයක් පමණ ඇති පාසල් කාලය තුලදී එය භාවිතා කිරීමේ ප්‍රායෝගික ගැටලු නිසා ඔවුන් ඔසප් දිනවල පාසල් ඒමෙන් වැලකී සිටියි.

 

සමාජීය හේතු

තවමත් ශ්‍රී ලාංකීය සමාජය කාන්තාවගේ ඔසප් වීම කෙරෙහි නිසි අවධානයක් යොමු කර නොමැත. සමාජය කාන්තාවගේ ඔසප් වීම සලකන්නේ සඟවාගෙන තබා ගත යුතු දෙයක් වශයෙනි. ඒ පිලිබඳ කතා කිරීමටද ශ්‍රී ලාංකීය සමාජය පැකිලෙයි. ඒ අතරින් ස්ත්‍රිය ප්‍රධාන වෙයි.

ස්ත්‍රිය තමන්ට ජෛව විද්‍යාත්මක සිදුවන ඔසප් වීම පිලිබඳ කතා කිරීමට පැකිලේ. ඔවුන් ඒ පිලිබඳ ඇසු විට පවා මඟ හරිනා ස්වරූපයක් දකිනට ලැබේ. ඔවුන් පවසන්නේ එය කාන්තාවන්ගේ දෙයක් බවත් එයින් පුරුෂයන්ට වැඩක් නොමැති බවයි. මෙම සංසිද්ධිය පාසල් පද්ධතිය තුල සුලභව දකින්නට ලැබෙයි. නව යොවුන් වියේ සිටිනා පිරිමි ලමුන් ගැහැණු ලමුන්ගෙන් ඔසප් වීම පිලිබඳ අසනා විට එයට ගැහැනු ලමුන් ලැජ්ජාශීලී වෙයි. මෙය පිලිබඳ පාසල් විෂය නිර්දේශයන්හිද දකින්නට නොලැබේ.

 නිසි ඔසප් සනීපාරක්ෂාව යනු කුමක්දැයි අනාගතයේ බිරිදක් වන ගැහැණු ලමුන්ට මෙන්ම අනාගතයේ ස්වාමි පුරුෂයන් වීමට සිටිනා පිරිමි ලමුන්ටද අවබෝධයක් ලැබෙන්නේ නැත. ස්ත්‍රී පුරුෂ සමාජ අසමානතාවයේ ආරම්භය වන්නේ එතැනයැයි මට හැගේ.

එසේම තවමත් සනීපාරක්ෂක තුවා ලබාදෙන විට යමකින් ඔතා ලබා දෙනු ලබයි. පාසල් ශිෂ්‍යාවන් ලෙස කඩයකට ගොස් සනීපාරක්ෂක තුවා ඉල්ලීමට තරම් ලැජ්ජාවක් ශ්‍රී ලාංකීය සමාජය විසින්ම ගොඩ නගා ඇත. එමෙන්ම ඔසප් සනීපාරක්ෂාව යනු තවමත් ශ්‍රී ලංකා සමාජයට නව ප්‍රවේශයකි.

මෙවන් වූ සමාජීය හේතු නිසා බොහෝ පාසල් ශිෂ්‍යාවන් තම ඔසප් දිනයන්හී පාසල් එමෙන් වැලකී සිටීමට කටයුතු කරයි.

 

සනීපාරක්ෂක හේතු

ශ්‍රී ලාංකීය පාසල් පද්ධතියේ සනීපාරක්ෂක පැතිකඩ ගත් විට නාගරික පාසල් පිලිබඳ කෙසේ වෙතත් අනෙක් ප්‍රදේශ වල පාසල් වල සනීපාරක්ෂක පැතිකඩ ඉතාමත් ශෝචනීයය. බොහෝ පාසල් වල නිසි පරිදි සනීපාරක්ෂක තුවා මාරු කිරීමට ස්ථානයක් නොමැත. සනීපාරක්ෂක තුවා නිසි පරිදි බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැත. එසේම බොහෝ පාසල් වල ගැහැණු ලමුන්ට වෙන් කර ඇති වැසිකිලි වල සබන් හෝ වෙනත් පිරිසිදුකාරක ද්‍රව්‍ය නොමැත.

මෙවන් වූ අඩු සනීපාරක්ෂක හේතූන් මත බොහෝ පාසල් ශිෂ්‍යාවන් තම ඔසප් දිනයන්හී පාසල් එමෙන් වැලකී සිටීමට කටයුතු කරනු ලබයි.

මේ ශ්‍රී ලංකාව ඔසප් සනීපාරක්ෂාව ගැන හඩක් නැගිය යුතු කාලයයි. ඔබේ හඬ ඔබේ මව, සහෝදරිය, පෙම්වතිය, බිරිද, දියණිය වෙනුවෙන් නඟන්න. ඔසප් සනීපාරක්ෂාව සුඛෝපභෝගී භාණ්ඩයක් නොව අත්‍යවශ්‍යය භාණ්ඩයක් බවට පත් කරමු.

අවසාන වශයෙන් පෑඩ්මෑන්හි එන සිත් ඇදගන්නා දෙබසකින්ම මෙය අවසන් කරන්නම්.

“...Big man, Strong man, not making country strong. Women strong, Mother strong, Sister strong, then countries strong.

“...දැවැන්ත පිරිමි, සවිමත් පිරිමි, නෙවේ රටක් ශක්තිමත් කරන්නේ. සවිමත් ගැහැණිය, සවිමත් මව, සවිමත් සොහොයුරිය එවිටයි රට සවිමත් වන්නේ.”

කසුන් සපුමොහොට්ටි.

Post a Comment

0 Comments