BATTLE OF KOKAVIL - 1990

 



මිස්‍ටර් යෂ් අපි ඔයාව අපේ අලුත් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය විදිහට ගන්න කැමතියි.

හරි මිස්ටර් රාජපතිරණ, මොකක් ගැනද චිත්‍රපටිය?

යෂ් අහලා තියෙනවද 1990 කොකාවිල් සටන ගැන.

අ.....ඔව් ටිකක් අහලා තියෙනවා. ආමි ඔෆිසර් කෙනෙක් කදවුර ආරක්ෂා කරගන්න කදවුරත් එක්ක පුපුරවා ගත්තා කියලා මම අහලා තියෙනවා.

 ඔව් ඒක යම් තරමකට ඇත්ත. හරි යෂ් මොකද මේ වැඩේට කියන්නේ?

 මගේ රෝල් එක මොන වගේද කියනවද මිස්ටර් රාජපතිරණ

 ඔයා තමයි සාලිය අලදෙණිය. කපිතාන් සාලිය අලදෙණිය. අර ඔයා කියන පුපුරවා ගත්ත ඔෆිසර්.

 මම තිර පිටපත බලලා කියන්නම්.

 හරි යෂ්. මට සති දෙකක් ඇතුලත ඔයාගෙන් පිලිතුරක් ඕන. මොකද නළු නිලියන්ට මාස එකහමාරක යුධ හමුදා පුහුණුවක් එක්ක යන්නයි මගේ බලාපොරොත්තුව.

 හරි මිස්ටර් රාජපතිරණ මම කියන්නම්.

 මම යෂ්වින් ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මට්ටමේ රංගන ශිල්පියෙක්. හුගක් වෙලාවට මට ආරාධනා එන්නේ ප්‍රේමණීය චිත්‍රපට වලට. ඒත් මෙදා සැරේ ආමි චිත්‍රපටයක් නිසා මම හොදට තිර පිටපත කියවලා එදා රෑම ඩිරෙක්ටර් රාජපතිරණට කැමැත්ත දුන්නේ ඒක ඇත්තටම හිතට වැදුණ නිසා.

 මාසයකට විතර පස්සේ චිත්‍රපටයේ වැඩ කරන සියලු දෙනාට මාස එකහමාරක යුධ හමුදා පුහුණුව දෙන්න දියතලාව ශ්‍රී ලංකා යුධ හමුදා ඇකඩමියට එක්කගෙන ගියා. අපේ කණ්ඩායම භාර කපිතාන් ලංකා සූරියබණ්ඩාර මුල් සතියේ අපිට හමුදා නිලතල, ආචාර කල යුතු ආකාරය වගේ මූලික කරුණු කියලා දුන්නා. දෙවෙනි සතිය තිබුණේ අපි කරන්න යන චිත්‍රපටියේ කතාව ආශ්‍රිත ස්ථානයන් වල සංචාරයක නිරත වෙන්න. විශේෂ හමුදා ප්‍රවාහනයක් මඟින් කොකාවිල් හමුදා කදවුරට අප රැගෙන ගියා. එහි ගත කරනා පලමු දින රාත්‍රියේ අපිට  අපේ කණ්ඩායම භාර කපිතාන් ලංකා සූරියබණ්ඩාර කොකාවිල් කතාව මේ විදිහට ආරම්භ කරා.

 "මේ ඔබට කියන කතාව, දෙවිවරුන් 64 දෙනෙක් එකම අරමුණක් සඳහා රට වෙනුවෙන් තම ජීවිතය පුජා කල ඓතිහාසික පුරාවෘත්තයක්. ඒක නිසා මේ කතාව හොදින් අහගන්න”

 1982 ජපන් රජයෙන් ලැබුණු ආධාරයක් විදිහට තමයි මේ කොකාවිල් රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ ඉදි කරනු ලැබුවේ. මේ කුළුණ කොකාවිල් ප්‍රදේශයේම සාදන්න ප්‍රධාන හේතුව වුණේ උතුරු පලාතටම තිබෙන උසම ස්ථානයක් නිසයි. උතුරු පළාතට රූපවාහිනී වගේම ගුවන් විදුලි සහ හමුදා සන්නිවේදන කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීම අරමුණු කර ගන්න තමයි මේ කුළුණ මෙතන පිහිටුවන්නේ. මීටර් 174ක් උස මේ කුළුණේ තියෙන ජාතිකමය වශයෙන් තියෙන වටිනා කම නිසා මේ කුළුණේ ආරක්ෂාවට කුඩා හමුදා කඳවුරක් පිහිටුවා තිබුණා. ඇත්තෙන්ම කියුවොත් ඒක කදවුරක් කියලා කියන්න බැහැ. කුඩා අනුකණ්ඩයක් පිහිටුවලා තිබුණේ.”

 “ඒ කාලයේ නුවරඑළියේ පිහිටි 3 වන සිංහ රෙජිමේන්තුවේ ස්වේච්ඡා බළකායේ අණ දෙන නිලධාරියා වූණේ කර්නල් අභය වීරකෝන්. 1990 මැයි 18 3 වන සිංහ රෙජිමේන්තුවේ ස්වේච්ඡා බළකායේ නිලධාරීන් තුන් දෙනෙක් වගේම සෙබළුන් පිරිසක් මාන්කුලම් කඳවුරට අනුයුක්ත කලා. එම කදවුරෙන් නිලධාරීහු දෙදෙනෙක් සහ සෙබළු 84 දෙනෙක් කොකාවිල් රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණේ ආරක්ෂාව සපයන්න සඳහා ඒ කඳවුරට යවනු ලැබුවා. ඒ කණ්ඩායමට 3 වන සිංහ ස්වේච්ඡා රෙජිමේන්තුවේ 54ක් , 2වන විජයබා ස්වේච්ඡා පාබල රෙජිමේන්තුව, සංඥා බලකාය, සේවා බලකාය වගේම වෛද්‍ය බලකායට අයත් සෙබළුන්බ් 25ක් වගේම සිවිල් සේවකයෝ පස් දෙනෙක්ද අයත් වූණා. මේ 84 දෙනාට අණ දුන්නේ ලුතිනන් ජයන්ත රත්නායක. ඔහුගේ දෙවැනියා වුණේ අපේ කතාවේ ප්‍රධාන චරිතය කණ්ඩ භාර නිලධාරී දෙවන ලුතිනන් සාලිය උපුල් අලදෙණිය.”

 “මෙන්න මේ කාලය වෙන කොට ආර්.ප්‍රේමදාස මහත්තයාගේ රජයත් එක්ක කොටි සංවිධානය ඇති කරගෙන තිබ්බ සාම ගිවිසුම බිදවැටෙනවා.  සාම ගිවිසුමට මුවා වෙලා වැඩි කරගත්ත කොටි බලයත් එක්ක හිමින් හිමින් කොටි උතුරේ තිබ්බ කදවුරු වට කරනවා. කොකාවිල් අනු කණ්ඩයත් එයින් එකක්. 1990 ජූලි මාසේ මුල ඉදන්ම කොටි ප්‍රහාර එල්ල් කරත් සාර්ථකව ඒ ප්‍රහාර මැඩ පවත්වන්න කොකාවිල් කඳවුරේ සෙබළුන්ට හැකි වෙනවා. ඒත් ආසන්නම කදවුරු වුණ කිලිනොච්චි වගේම මාන්කුලම් කදවුරුවලට කොටි පහර දෙන සද්දේ කොකාවිල් අනු කණ්ඩයටත් රෑ පුරා ඇහෙන්නට වුණා.”

 “සාලිය අලදෙණිය 1963.05.01 මහනුවර ලේවැල්ලේ අංක 109/01 ලිපිනයේ පදිංචි වෙලා සිටිය සී.එස්. අලදෙනිය මහතාගේ සහ එම මැතිණියගේ එකම පුතා විදිහට මෙලොව එළිය දුටු සාලිය උපුල් අලදෙනිය මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවෙක්. උසස් අධ්‍යාපනය හදාරා නිම වුවාත් සමඟම 1989.04.29 ශ්‍රි ලංකා යුධ හමුදා ස්වේච්ඡා බළසේනාවට බැදී කෙඩෙට් නිලධාරි පුහුණුව සාර්ථකව හදාරා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ  3 වන ස්වේච්ඡා බළඇණිය වෙත ඇතුලත් වුණා. 1990 ජුලි 06 සතියක නිවාඩුවක් අවසන් වෙලා නැවත කොකාවිල් කදවුරට එන්න නුවරින් දුම්රියට නගින කොට සාලිය අලදෙණිය හීනෙන්වත් හිතන් නැතුව ඇති මේ යන්නේ තමන්ගේ ඉරණම් ගමන කියලා. 1990 ජුලි 06 නැවත කදවුරට වාර්ථා කල සාලිය අලදෙණියට අණ දෙන නිලධාරී (වැඩ බලන) ධූරය පැවරු ලුතිනන් ජයන්ත රත්නායක ඇතුලු තවත් සෙබළුන් කිහිප දෙනෙක් ඊට පස්සේ දවසේ 1990 ජුලි 07 කදවුරෙන් පිටත් වෙලා ගියේ නිවාඩු සදහායි. ඒ නිසා සෙබළු 64 දෙනෙක් සමඟ අලදෙණිය කදවුර බාර ගත්තා.”

 “කොකාවිල් කඳවුර තුළ සිටි හමුදා භටයන් බංකර් සාදන්න ලී කොට ගැනීම සඳහා කඳවුරෙන් පිටතට පැමිණි අවස්ථාවක සැඟවිලා හිටපු කොටි ත්‍රස්තවාදීන් ඔවුන්ට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. එම අවස්ථාවේ දී සෙබළුන්ට යළි කඳවුර තුළට පැමිණීමට සිදුවුණා. කොකාවිල් කඳවුර පිහිටා තිබුණේ හුදෙකලා වී නිසා එය වෙත අමතර භට සේනා යැවීමටද ඉතා අපහසු වෙලා තිබුණා. මේ පිහිටීම ගැන මනාව තේරුම් ගත්ත කොටි ත්‍රස්තවාදීන් හමුදා භටයින්ට කඳවුරෙන් පිටතට ඒමට එක අවස්ථාවක්වත් ලබාදුන්නේ නැහැ. හමුදා භටයන් කඳවුරෙන් පිටතට පැමිණීමට තැත් කරනා සෑම අවස්ථාවකම ත්‍රස්තවාදීන්ගේ ස්නයිපර් ප්‍රහාර වලට වගේම අත් බෝම්බ ප්‍රහාර වලටද ලක් වෙන්න හමුදාවට සිදු වුණා.”

“කොකාවිල් කදවුරේ පිහිටීමේ තවත් අවාසියක් වුණේ කඳවුරට ජලය සපයන ලිඳ කඳවුරෙන් පිටත පිහිටලා තිබුණ එකයි. හමුදා භටයන් කඳවුරෙන් පිටතට පැමිණීමට තැත් කරනා සෑම අවස්ථාවකම ත්‍රස්තවාදීන්ගේ ස්නයිපර් ප්‍රහාර වලට වගේම අත් බෝම්බ ප්‍රහාර වලටද ලක් වීම නිසා හමුදා සෙබළුන්ට ලිඳෙන් ජලය ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලයි තිබුණේ. කඳවුර තුළ තිබුණු ජලය සහ ආහාර ක්‍රමයෙන් අවසන් වෙමින් පැවතුණා. ලුතිනන් අලදෙණිය සංඥා මැදිරියේ සිට අසල තිබුණු ප්‍රධාන කඳවුරක් සම්බන්ධ කරගෙන ආහාර, ජලය, පතරොම්, ඖෂධ වැනි දේවල් කොකාවිල් කඳවුර වෙත එවන්න කියා සිටියා. මේ පිලිබද සන්නිවේදන උපකරණ තුලින් ඇසූ ත්‍රස්ථවාදීන් ලුතිනන් අලදෙණිය එම පණිවිඩය යවා පැය කිහිපයක් ගතවන කඳවුර වෙත හදිසි ප්‍රහාරයක් එල්ල කළා. එයට කඳවුරේ සිටි හමුදා සෙබළුන්ද ප්‍රති ප්‍රහාර එල්ල කළා. ඒ ක්ෂණික ප්‍රහාරයේ අරමුණ වුණේ කඳවුර තුළ තිබුණු උණ්ඩ අවසන් කරන එකයි. කොකාවිල් කඳවුර වෙත පහසුවෙන් ආධාර එවීමට නොහැකි බව දන්නා කොටි ත්‍රස්ථවාදීන් කඳවුර තුළ තිබුණු උණ්ඩ අවසන් වුණොත් එය යටත් කරගැනීමට පහසු බව දැනගෙන සිටියා.

“අලදෙණියගේ ඉල්ලීම මත ආහාර, පතරොම්, ඖෂධ වැනි දේවල් රැගත් හෙලිකොප්ටර් යානා කොකාවිල් කඳවුර වෙත ආවත් ඒවට කඳවුර අසලට පැමිණීමටවත්  අවස්ථාවක් කොටි ලබා දුන්නේ නෑ. සැඟවී හිටපු කොටි ත්‍රස්තවාදීන් දිගින් දිගටම එල්ල කළ ප්‍රහාර නිසා කඳවුර තුළට ආහාර, පතරොම් සහ අනිකුත් ද්‍රව්‍යය ලබාදීමට සිදුවුණේ උඩු ගුවනේ ස්ථානගත කර තිබුණු හෙලිකොප්ටරයක ඉදල යි. ඒ විදිහට උඩු ගුවනේ ඉදලා පහළට දැමූ පතරොම්, ආහාර ද්‍රව්‍යය වගේම අනිකුත් දේවල් විශාල ප්‍රමාණයක් කඳවුරෙන් පිටතට වැටුණු නිසා සෙබළුන්ට ඒවා එකතු කරගැනීමට හැකිවුණේ නැහැ.”

“සෙබළුන්ට අත්‍යවශ්‍ය වුණු ජලය උඩු ගුවනේ සිට පහතට දැමීමට හැකියාවක් තිබුණේ නැති නිසා අයිස් කැට විශාල ප්‍රමාණයක් කඳවුර වෙත හෙලුවා. සෙබළුන් කොතරම් තිබහෙන් හිටියාද කියලා කියනවනම්  වැලි ගෑවුණු අයිස් කැට පවා අහුලාගෙන කට ඇතුළට දමාගත්තා කියලා ඒ ප්‍රහාරයෙන් බේරිලා ආපු සෙබළු තුන් හතර දෙනා කියනවා. ආධාරක හමුදා ඇවිත් කොකාවිල් කඳවුර බේරාගන්නට උත්සාහ කරත් ඔවුන් පැමිණි මාර්ග ත්‍රස්තවාදීන් විසින් අවහිර කර තිබුණා. ඒ විදිහට ගුවනින් සහ ගොඩබිමින් කොකාවිල් කඳවුර වෙත ආධාරක භට පිරිස්වලට පැමිණීමට තිබුණු සියළුම මාර්ග වැසී කොකාවිල් තනි වෙලා තිබුණා.”

“ඒ වන විටත් කඳවුරේ තිබුණු ආහාර ප්‍රමාණය දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් වුණු නිසා ඔවුන් දිනකට එක් වේලක් පමණක් ආහාර ගැනීමට තීරණය කළා. පස්සේ ඔවුන් ලුණු කැඳ, තැම්බූ කොළ වර්ග වැනි දේවල් ආහාරයට ගනිමින් සතුරා හමුවේ නොසැලෙමින් සටන් කළා. ඒ අතරතුර කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ හමුදා සෙබළුන් පිරිසක් තුවාල ලැබුවා. ඝන කැලෑවේ සිටි ත්‍රස්තවාදීන් ක්‍රමයෙන් කඳවුර වෙත ළඟාවන්නට වුණේ ඒ අතර යි. 1990 වසරේ ජූලි 10 වැනිදා වන විට විශාල කොටි ත්‍රස්තවාදීන් සංඛ්‍යාවක් කොකාවිල් කඳවුර ආසන්නයටම පැමිණ තිබුණා. සති 3කටත් වැඩි කාලයක් නිරාහාරව ඉදගෙන සටන් කරමින් සිටිය හමුදා භටයන් අසීරු තත්ත්වයකට පත්වෙලා හිටියා. ඒත් ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳ නොවැටී තිබුණ නිසා සතුරාට පහරදීමට සූදානම් වුණා. තරුණ ලුතිනන්වරයෙකු වුණත් සාලිය අලදෙණිය සිය සෙබළුන්ට මනාව අණ ලබාදෙමින් ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ දැවැන්ත ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා. ඒත් එම ප්‍රහාරය හේතුවෙන් සෙබළුන් 7 දෙනෙකු පමණ මිය ගිය අතර තවත් 12ක් පමණ තුවාල ලැබුවා. ඒ වන විට කඳවුරේ තිබුණු වෙඩි ද්‍රව්‍යය අවසන් වී තිබීම ඉතාමත් අවාසි සහගත තත්ත්වයක් වුණා.”

“කොකාවිල් කඳවුරට කිසිදු ආකාරයකින් ආධාරක භට පිරිස් එවීමට නොහැකි වීම වටහා ගත් ඉහල හමුදා අධිකාරිය ලුතිනන් අලදෙණියට එහි සිටින සෙබළුන් සමගින් කඳවුර අතහැර මාන්කුලම් කදවුර දක්වා පසුබැස යන ලෙස නියෝග කලා. ඒත් ඒ වන විටත් තුවාල ලබා සිටි සෙබළුන් ඉවතට ගෙනයාමට හැකියාවක් නොතිබීමත්, කදවුරේ තිබූ උපක්‍රමික වටිනා කමත් වටහා ගත්ත අලදෙණිය (“මා මලත් ඔබලා අතහැර නොයමි. ඔබලාට අවැසි නම් බේරී පලා ගියාට වරදක් නැත”) අවශ්‍යය කෙනෙක් වේ නම් කදවුර අතහැර යන ලෙසත් තමා අවසාන උණ්ඩය දක්වා සටන් වදින බවත් තම සෙබළුන් 64 දෙනාගෙන් ඉතිරි පිරිසට පැවසුවත් ඔවුන්ද එක හඩින් කියා හිටියේ ඔවුන්ද අවසන් උණ්ඩය දක්වා සටන් වදින බවයි. ඉන් පසුව තුවාල වුණු සෙබළුන් සංඥා මැදිරියට රැගෙන යන ලෙස අණ කළ ලුතිනන් අලදෙණිය, මිය ගිය සෙබළුන් කදවුරු භූමියේම මිහිදන් කොට 1990 ජුලි 11 ප්‍රහාරයට සූදානම් වුනා.”

“1990 ජුලි 11 කොකාවිල් අනුකණ්ඩයට ප්‍රහාරය වේලාසනින්ම එල්ල වුණා. සෙබළුන් ජුලි 12 පාන්දර පමණ තෙක් සටන අල්ලාගෙන ඉදියත් උණ්ඩ අවසන් වීමත් එක්ක සටන කොටි ත්‍රස්තවාදීන් අතට කැරකුණා. කඳවුර තුළට එකවර පැමිණි ත්‍රස්තවාදීන් 500ක් පමණ දෙනා ප්‍රහාර එල්ල කරන්න ගත්තා. එහි පිහිටලා තිබුණු තෙල් ටැංකියට ප්‍රහාර එල්ල කිරීම නිසා විශාල ගින්නක් ඇතිවුණා. ඒ වන විටත් ලුතිනන් අලදෙණිය රැඳී සිටියේ රූපවාහිනි මධ්‍යස්ථාන ගොඩනැගිල්ල තුළ යි. රූපවාහිනි මධ්‍යස්ථානයේ සිට හමුදා මූලස්ථානය සම්බන්ධ කරගන්න ලුතිනන්වරයා මෙහෙම කියනවා,

 

“මගේ කෑම්ප් එකේ 1st line එක teraලා ඇල්ලුවා. හැමතැනම ටෙරාලා හුඟක් ඉන්නවා. ඒක නිසා මා ගැන හිතන්න එපා. පුළුවන් තරම් කදවුරට ආටි ගහන්න, එහෙමත් නැත්නම් එයාර් ෆෝර්ස් එක දාලා උඩින් බෝමබ දාන්න.”

 

“එතනින් එහාට කොකාවිල් සම්ප්‍රේෂණ කදවුරෙන් කිසිදු රේඩියෝ පණිවුඩයක් නිකුත් වුනේ නෑ. ඉන් පස්සේ ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් රෝමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ගුවනට නැංවුණු මිග් යානා කොකාවිල් කදවුරු භූමියට බෝම්බ හෙලුවා. ඉන් කදවුරේ සිටිය ලුතිනන් සාලිය අලදෙණිය ඇතුලු 64 දෙනෙකු එම භූමිය තුලදීම අවසන් සුසුම් හෙලුවා. නමුත් තවමත් ඔවුන් සලකන්නේ ක්‍රියාන්විතයේදී අතුරුදහන් වූවන් KIA විදිහටයි.”

“එදා ලුතිනන් අලදෙණියට කඳවුර අතහැර යාමට හැකියාව තිබිය දීත් ඔහු පෙන්වපු සටන්කාමීත්වය නිසාම පසු කාලෙක ඔහු කපිතාන් ධූරයට උසස් කෙරුණු අතරම ඔහුට ඒ වෙනුවෙන් හමුදා සාමාජිකයකු සිය සේවා කාලය තුල ලැබිය හැකි ඉහලම සම්මානය වන පරම වීර විභූෂණ පදක්කම හිමිවුණා.”

කියා අපට පුහුණුව ලබා දෙන කපිතාන් ලංකා සූරියබණ්ඩාර සිය පැය දෙකක පමණ කතාව අවසන් කලා. අපේ සෑම දෙනාගේම ඇස් දෙක කදුලින් බරවෙලා කියලා ඔවුන්ගේ ඇස් දෙක බලද්දී තේරුණා.

මදක් දුෂ්කර වූත් නමුත් විශාල දැනුමක් ලබා ගත් මාස එකහමාරක හමුදා පුහුණුව අවසන් වී නිවෙස් බලා පැමිණි අපි නළු නිලියන්ගේ නිවෙස් වල දොරවල් වලට යටින් දමා තිබූ ලියුමක් හමු වුණා. එහි සදහන් වූයේ කුඩා දෙයක් විතරයි.

Dear Mr. SRNY Gunawardhana,

Congratulation on completing the hard one and half months of military training in SLMA - Diyatalawa. Please, Tell our true story to the world.

Thank you.

Singed,

CPT. SU Aladeniya PWV & other 64 Soldiers

 

හිතවත් SRNY ගුණවර්ධණ මහත්මයාණෙනි,

දියතලාව SLMA දුෂ්කර මාස එකහමාරක හමුදා පුහුණුව සම්පූර්ණ කිරීම ගැන සුභ පැතුම්. කරුණාකර, අපේ ඇත්ත කතාව ලෝකයට කියන්න.

ඔබට ස්තුතියි.

අත්සන් කලේ,

කපිතාන් SU අලදෙණීය PWV සහ අනෙකුත් සෙබළුන් 64 දෙනා

 

පලි.

ශ්‍රී ලංකාව යුද්ධය තිස්වසරක යුද්ධය නිම වී 2022 වසරට වසර 13ක් ගෙවී ගොස් ඇත. වෙනත් රටක නම් දෙවන ලෝක යුද්ධයන්හි ඔවුන් කල කතාවන් තවමත් සිනමා තිරයට නැගේ. නමුත් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ ඉතිහාසයක අඩුව ඉතාමත් හොදින් දැනේ. වර්ථමාන කී බෝඩ් වීරයන්ට ඒවා අමතක වී ගොස් ඇත. වර්ථමානයේ වණැස යූ ටියුබ් නාලිකාව මඟින් පශ්චාත් යුධ ඉතිහාසය පිලිබඳ වාර්ථා වැඩසටහන් පෙලක් සිදු කරමින් යයි. එසේම චරිත කිරිඇල්ල මහතාද පශ්චාත් යුධ ඉතිහාසයක වැදගත් කම නිතරම විදහා දක්වන අතර 1990 කොකාවිල් නමින් ග්‍රන්ථයක්ද එලි දක්වා ඇත. ශ්‍රී ලංකාවේ ඇත්තෙන්ම සිදු වූ දෙය අප සිනමාව සහ සාහිත්‍යය ඔස්සේ ලොවට පෙන්විය යුතුය. අප වෙනුවෙන් දිවි පුද කල ඔවුනට අප සාධාරණයක් සිදු කල යුතුය. එය ඉක්මන්ද විය යුතුය. එසේත් නැතිනම් අප තව වසර ගණනාවක් දිවි පුද කල රණවිරුවාට “යුද අපරාධ කරුවෙක්” යැයි හංවඩු ගසමින් ජීවත් වන නිවට ජාතියක් වනු ඇත.

 

කසුන් සපුමොහොට්ටි

ඡායාරූපය චරිත කිරිඇල්ල මහතාගේ 1990 කොකාවිල් කෘතියෙන්

Post a Comment

0 Comments