පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ - පෙන්වා මග නොමග නොවැටී යන තාලේ

සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ - අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

අද ලංකාවේ අපේ ලෝක ගුරු දිනය. 1994 ඔක්තෝම්බර් 6 ලෝක ගුරුදිනය කියලා යුනිස්කෝ සංවිධානය නම් කරාට  1994 ඔක්තෝබර් 6 තමයි ගුරු සහ විදුහල්පති සේවාවන් සකසන ලද ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ලංකාවේ ලෝක ගුරු දිනය ඔක්තෝම්බර් 06 සමරන්නේ.

ගුරු වෘත්තිය කියන්නේ බුදු දහමේ එන විදිහට බුදුන් වහන්සේ බෝධිසත්ත්ව අවධියේ ඉන්න කාලේ දිසාපාමොක් ආචාර්යවරයාගේ ඉදලා ගුරු ගීතයේ තම මුළු ජීවිතයම දරුවන්ගේ ඇස් පාදන්න කටයුතු කරපු දුයිෂෙන් හරහා තවමත් පැවතීගෙන එන වෘත්තියක්. ලෝකයේ දරුවන්ගේ නුවණ කියන ඇස පාදන්නේ ගුරුවරයා කියලා කියනවනේ.

හුඟක් අයගේ ජීවිතයේ මුලින්ම හමුවෙන ගුරුවරු දෙන්නා විදිහට සලකන්නේ අම්මයි තාත්තායි නේ. ඒත් මගේ ජීවිතය ගත්තොත් මගේ ජීවිතයේ මුල්ම ගුරුවරු දෙන්නා වෙන්නේ මගේ ආත්තම්මයි, සීයයි. පුංචි කාලේ මමයි මල්ලියි දෙපැත්තේ තියාගෙන මගේ සීයා අපේ ගෙදර තිබුණ දසමහ යෝධයන්ගේ කතා පොත කියවනවා මට තාම මතකයි. පුංචි කාලේ මාව උකුලේ තියාගෙන අත්තම්මා කියපු නැලවිලි ගී හොදටම නැතිවුණත් හීනයක් වගේ මතකයි.

මගේ ජීවිතයේ ලොකුම වෙනස්කම් කරපු අනෙක් ගුරුවරු දෙන්නා තමයි මගේ ආදරණීය අම්මයි තාත්තයි. අම්මා මගේ ශිෂ්‍යත්ව ගුරුතුමිය. මාව බඩේ තියාගෙන කවුරුවත් වාඩිවෙන්න දෙන්නේ නැති නිසා හිටගෙන ගාල්ලේ ඈත උඩුගම කදු අතරේ බස් එකේ ගිහින් පොඩි එවුන්ට උගන්වලා, ඒ උගන්නන වෙලාවල් වල සුදු හුණු අස්සේ තියෙන අහිතකර ද්‍රව්‍ය ආශ්වාස කරපු නිසාම 2010 වසරේ උගුරේ ඇතුල් පැත්තට ගලගණ්ඩය රෝගය ඇතිවෙලා කරපු ශල්‍යකර්මයෙන් පස්සෙත් එෆ්.එම්. මයික් දාගෙන 2010 ශිෂ්‍යත්ව කණ්ඩායමට උගන්වලා ගාල්ල දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල් ඉතිහාසයේ නොකැඩෙන වාර්ථාවක් වෙන එකම පන්තියකින් 11 දෙනෙක් සමත් කරපු එකම ගුරුවරිය මගේ අම්මායි. උඩදි කියුව ශල්‍යකර්මය නිසා ජීවිත කාලයම බෙහෙත් බොන්න සිද්ධ වෙච්ච මගේ අම්මා තාමත් උදේ ඉදන් හවස හය විතර වෙනකම් පොඩි එවුන්ට උගන්වනවා.

මගේ ඉතිහාසය, පුරවැසි, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, මාධ්‍ය, ICT වගේ හුඟක් විශයන්වල ගුරුවරයා වෙන්නේ මගේ ආදරණීය තාත්තා. තාත්තා ගැන කියනවා නම්, තාම දික්කුඹුර සිද්ධාර්ථයෙන් ඉවත් වෙලා ගියපු ආදි ශිෂ්‍යයෝ අහන දෙයක් තමයි “මචං සපුමොහොට්ටි සර් තාම සිද්ධාර්ථෙද?” කියන එක. තාත්තා හොදට ඇත්තටම හොදයි. හැබැයි තරහ ගියොත් ඉතින් කන්නේ ආපහු කන කීං ගාන්න. දේශපාලන අධිකාරියේ තර්ජන මැද තාත්තා තාමත් පොඩි එවුන්ට පෙට්‍රල් පුච්චගෙන ගිහින් උගන්වනවා.

මගේ අම්මගෙන් තාත්තගෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි හම්බ කරන්න ඕනේ සල්ලි නෙවෙයි, මිනිස්සු කියන එක. තාමත් මම කොච්චර කියුවත් සමහරක් ගුරුවරු වගේ සල්ලි වලට මුල් තැන දෙන්න කියලා ඒ දෙන්නා කියන එකක් තමයි “සල්ලි වලින් හැමදෙයක්ම මනින එපා” කියන එක.

මගේ පෙරපාසලේ ආදරණීය ගුරුවරියන් දෙපල, ලොකු ටීචර් සහ පොඩි ටීචර් මගේ අධ්‍යයන ජීවිතේ හමුවුණු මුල්ම ගුරුවරු දෙන්නා.

මගේ පාසල් කාලයට ගියොත් මම ගියපු පලවෙනි පාසල වෙච්ච බටේමුල්ල ජාතික පාසල ගාල්ල මගේ පලමු හා දෙවන ශ්‍රේණියේ ගුරුවරිය ස්වර්ණා ටීචර්. තුන හතර ශ්‍රේණි ඉගැන්නුවේ තාමත් ඉඩක් ලැබුනම කතා කරලා දුක සැප අහන මැනිලා ටීචර්. මගේ පාසල් කාලේ මාව හුගක් ඉස්සරහින් තිබ්බ, මාව ශිෂ්‍ය නායක මණ්ඩලයට දාපු, මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් කරපු චමින්ද සර් මුණ ගැහෙන්නේ පහ වසරේදී.

පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා මම බටේමුල්ල ජාතික පාසලෙන් යන දවසේ හොද ගුරුවරු අතරේ ලමයින්ව මානසිකව වට්ටන ගුරුවරුත් ඉන්නවා කියලා මම දැන ගත්තා. ඒ කතාව මම මෙතන කියන්නේ නැත්තේ ඒ වගේ ගුරුවරු ඇත්තෙන්ම ගුරු වෘත්තියට අපහාසයක් වන නිසා.

ඊට පස්සේ මම ගියේ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය මාතර. මගේ ජීවිතයේ ගොඩක් ලොකු පාඩම් උගන්නපු අද මම මේ තැනට එන්න මුල් අඩිතාලම දමපු, ජීවිතයට ආදරය විරහව උගන්නපු ඉස්කෝලේ. තෙලිජ්ජවිල ගැන කියන කොට මට මුලින්ම මතකට එන්නේ එකල විදුහල්පති විමල් විදාණපතිරණ විදුහල්පති තුමා. සර් ඔෆිස් එකෙන් එලිය බැස්සා කියලා ආරංචිය ආව සැනින් පාසල් භූමියේ හිටපු හය වසරේ පොඩි එකාගේ ඉදන් උගන්වන ගුරුවරයා දක්වා හැමෝම තමන්ගේ පන්ති කාමර වලට යනවා නෙවේ සෘද්ධි බලයෙන් පහත් වෙනවා. ඒත් සර්ගේ වටිනාකම හුඟක්ම දැනුනේ සර් විශ්‍රාම ගියාට පස්සෙයි. ඊට පස්සේ මට මතකයට එන්නේ ගාමිණි සර්ව, මම හිතන්නේ නෑ 2014 වෙනකන් තෙලිජ්ජවිල හිටපු කාටවත් ගාමිණී සර්ව අමතකයි කියලා. මම හය වසරට ඇතුල් වෙච්ච දවසේ 11 වසර සමත් වෙලා පාසලෙන් සමුගන්නකන් මට මතයේ රැදුණු ගුරුවරු අතර සේනානායක සර්, කුමාර සර්, ශ්‍යාමා බෝගොඩ මිස්, රේනුකා මිස්, චන්ද්‍රානි මිස්, ලනයල් සර්, සන්ද්‍යා මිස්, ලක්මාල් සර්, ප්‍රභාත් සර්, වයි.කේ.සරත් සර්, ජයනා මිස්, නයෝමි මිස්, ඉෂංකා මිස් ඒ වගේම ජීවිතයට පුටුවක් තියාගෙන සෙල්ලම් කරන්න නැතිවෙන්න මතක හිටින්න පශ්චාත් භාගය හරහා ඉරක් හිටින්න පාර දුන්න රොශාන් සර් විදිහට ඒ අතරින් කිහිප දෙනෙක්ව මතක් කරන්න පුලුවන්.

මම මහින්දයට එන කොට ආර්ට් එකේ අංශ ප්‍රධාන හිටියේ මෙත්තානන්ද සර්. සර් අපි අර උඩ කියපු පැන මඩ කඩිති සිංදුවේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ කියන එකට බොහෝම අකමැතියි. සර් කියන්නේ ගුරුවරයා ගෝලයට ඉගැන්නුවා නම් ගෝලයා ඉහල මාලයේ ඉන්න කොට සතුටු වෙනවා මිසක් ඔහුට මූසිල කියා කියන එක සම්පූර්ණ වැරදියි කියලා. ගෝලයා ගුරුවරයා පසු කර යායුතුයි කියලා සර් කියන දෙයක් තමයි “ගුරා හිටගෙන හුජ්ජ කරනවානම්, ගෝලයා දුව දුවා හුජ්ජ කරන්න ඉගෙන ගන්න ඕනය කියන එක.”  තව මහින්දේ ගත කරපු මගේ ස්වර්ණමය පාසල් අවධියේදී සනත් සර්, ප්‍රනාන්දු සර්, පූජ්‍ය මාකුඹුරේ චන්ද්‍රාලෝක හාමුදුරුවෝ, සුජීවනී මිස් මට මාව මතු කරගන්න පාර පෙන්නපු ගුරුවරුයි.

ඊට අමතරව අමතර පන්තිවලදී හමුවුණ ගුරුවරු අතර මතක හිටිනම ගුරුවරු දෙපල තමයි තිලක් සර් වගේම වික්‍රමනායක සර්. ජීවිතේට පොතක් නවන්නේ නැතුව කියවන්න ලියන්න හුරුකලේ තිලක් සර්, මම ලියනා විදිහ ගැන මුලින්ම හොදක් කියුවේ වික්‍රමනායක සර්. ඊටත් අමතරව මාව කියවන්න යොමු කරපු කපිල සර්, මුල් ගණිතය කියලා දීපු මානෙල් සර්, විද්‍යාවේ අත්පොත් මුලින්ම කියලා දීපු ඉන්ද්‍රලක්ෂ්මි මිස්, විද්‍යාව රහ කරලා මට පෙව්ව, තාමත් හම්බවෙන්න ගියාම “ආහ්..කසුන් කොහොමද” කියා උරහිසට තට්ටුවක් දමා කතා කරන ඉන්දික සර්, විද්‍යාව පේපර් කිරි කජු වගේ ලියන්න පුරුදු කරපු සාගර සර්, සංගීතය උගන්නපු ලලිත් සර්,සරෝජනී මිස් වගේ එකී මෙකී නොකී හුඟක් ගුරුවරු මගේ මේ ජීවිතයේදී මට උගන්වලා තියෙනවා.

ඒවගේම ඉගෙන ගත්තේ නැති වුනත් දමයන්ති ටීචර්, ප්‍රියදර්ශන සර්, ජයන්ගි ටීචර් (පොඩි අක්කා) මට ලියන කොට වගේම මගේ ජීවිතයට හුඟක් වචනයෙන් හරි උදව් කරපු ගුරුවරු.

අදත් මගේ විශ්ව විද්‍යාල ජීවිතයේදී අපේ අනාගතය ගොඩනගන්න මහන්සි වෙන ආදරණීය ගුරුවරු පිරිසක් මට හමුවෙලා වගේම තවමත් හමුවෙනවා. නුවන් සර්, හේමන්ත සර්, ලක්ෂිකා මැඩම්, කුමුදුනි මැඩම්, තමරා මැඩම්, හේවගේ සර්, ලක්ෂිකා මැඩම් වගේ ආචාර්යය මහාචාර්යය වරු වගේම නියෝජ්‍ය උපකුලපති විපුල චන්ද්‍රසිරි සර් පවා මගේ වර්ථමාන අධ්‍යයන ජීවිතයේ හමුවන දිසාපාමොක් පරම්පරාවේ වර්ථමාන නියෝජනයන් වේ.

 

මේ ගුරු දිනයේදී මා හට ඉගැන්වූ, උගන්වන, සියලු ගුරුවරුන්ගේ දෙපා මේ ලිපියෙන් වන්දනා කරමි.

 

“එක පොතකට, එක පෑනකට, එක ගුරුවරයෙකුට ලොවක් වෙනස් කල හැක.”

-        මලාලා යූසුෆ්සායි