ලෝක ඉතිහාසය කියලා අපි වැඩිපුරම ඉගෙන ගන්නේ මොනවාද කියලා මම ඔබෙන් ප්‍රශ්ණයක් ඇහුවොත් ඔබ කියාවි ලෝක සංස්කෘතිය, ලෝක ඉතිහාසය හැඩ ගැසුණු හැටි, ලෝකය පාලනය කරපු රජවරු වගේ හුඟක් දේවල් කියාවි. ඒත් ඇත්තටම අපි ඉගෙන ගන්නේ ලෝක ඉතිහාසයේ වෙච්ච යුද්ධ නේද? කුරුස යුද්ධය, ඇමෙරිකානු නිදහස් සටන, ප්‍රංශ විප්ලවය, පලමු ලෝක මහා සංග්‍රාමය, රුසියානු විප්ලවය, දෙවන ලෝක යුද්ධය, කොරියානු යුද්ධය වගේ, ඒවගේ ඉදන් රැසියා - යුක්‍රේන යුද්ධය දක්වා මහා සංග්‍රාම රැසක් ලෝකයේ සිදු වෙලා වගේම සිදුවෙමින් පවතිනවා. අතීත ශ්‍රේෂ්ඨ යුධ ජනරාල්වරයෙකු වූ සන් ට්සු මෙසේ කියා තියෙනවා. යුද්ධය යනු රාජ්යයට වඩාත්ම වැදගත් දෙයයි. ඇත්තෙන්ම යුද්ධය රාජ්‍යයකට අත්‍යවශ්‍යම දෙයක්. යුද්ධය අතීතතයේ පැවතුනේ යුධ සැලසුම් හා යුධ ඥානය උපයෝගී කරගනිමින් චාලක සම්පත් යොදා ගනිමින් වූවද මීලඟ පරම්පරාවේ යුද්ධය පැමිණෙන්නේ චාලක නොවන සම්පත් යොදා ගනිමින් තාක්ෂණය හරහාය.
තාක්ෂණය
කියන්නේ ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන අංශයන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න එක් අංශයක්. තාක්ෂණය
එදා ඉදන් අද වෙනකොට කොයිතරම් දියුණු වෙලාද කියනවනම් 1969 ජූලි මාසයේදී ඇමෙරිකාවේ
නාසා ආයතනය ඇපලෝ 11 සඳ මෙහෙයුම යවන්න යොදා ගත්තු පරිගණක වලට වඩා අද අපේ තියෙන
ස්මාර්ට් දුරකථනය ලක්ෂ සංඛ්‍යාත ගුණයක් බලවත්. සරලවම කියනවනම් අපි වර්තමානයේ ජීවත්
වෙන යුගය තොරතුරු තාක්ෂණික යුගයක්. මේ යුගයේ වඩාත්ම වටින්නේ සල්ලි නෙවෙයි. වටින්නේ
දත්ත. මීලඟ පරම්පරාවේ යුද්ධයන් පැමිණෙන්නේ මෙන්න මේ කියනා දත්ත පසුපස. සරලවම කියනව
නම් ඔවුන් යොදා ගන්නේ සයිබර් යුධ උපක්‍රම. මෙන්න මේ විදිහට සයිබර් යුධ උපක්‍රම
යොදා ගනිමින් චාලක නොවන සම්පත් භාවිතා කරමින් සිදු කරනා යුධ පරම්පරාවට භාවිතා කරන
තාක්ෂණික නාමය තමයි, 5GW එහෙමත්
නැත්නම් පස්වන පරම්පරාවේ යුධකලාව කියලා.
ලෝකයේ යුධ
පරම්පරාවන් පහකට බෙදලා තියෙනවා. ඒ,
පලමු යුධ
පරම්පරාව
දෙවන යුධ
පරම්පරාව
තෙවන යුධ
පරම්පරාව
සිවවන යුධ
පරම්පරාව
සහ
පස්වන යුධ පරම්පරාව
මෙහි එන පලමු
යුධ පරම්පරාවේ යුද්ධයන් සිදු කලේ සතුරා හා මුහුණට මුහුණ, විවෘත භූමී ප්‍රදේශයන් වල
විශාල පිරිස් බලයක් සහ ආයුධ බලයන් උපයෝගී කරගනිමිනුයි. පුරාතන යුගයන්හි සිදු කල
යුද්ධ බොහෝ විට සිදු කලේ මේ ලෙසයි.
සන්නිවේදනය සහ
තාක්ෂණයේ දියුණු වීමත් සමඟ සිදු වූ පෙරලියත් සමඟ ගිනි අවි කරලියට ඒම සමඟ දෙවන යුධ
පරම්පරාව ආරම්භ වුණි. මෙම යුගයේදී පුරාණ යුධ කලාවන් අනුගමනය කල නමුත් නව යුධ උපක්‍රම
භාවිතා කරමින් සටන් සිදු වුණි. යුධ අගල් සාදා ගනිමින් යුද්ධය සිදු කිරීම, කාලතුවක්කු
සහය ලබා ගනිමින් යුද්ධය ඉදිරියට ගෙන යාම මෙන්ම රේඩියෝ පණිවිඩ හුවමාරු මඟින් යුධ
තොරතුරු සන්නිවේදනය සිදු කිරීම මෙම පරම්පරාවේදී ආරම්භ විය. පලමු ලෝක යුද්ධය, බෝයර්
යුද්ධය සහ ඇමෙරිකානු සිවිල් යුද්ධයන්හි තොරතුරු විමසා බලන විට ඒවායෙහි දෙවන යුධ
පරම්පරාවන්හි ලක්ෂණ පැවති බව පැහැදිලි වෙයි.
තෙවන යුධ
පරම්පරාවට පැමිණෙන විට සාම්ප්‍රධායික යුද්ධයන්හි නොපැවති සතුරු සීමාවෙන් ඔබ්බෙහි
වූ අහිංසක සිවිල් ජනතාවද පීඩාවට පත් කරවන, එයින් සතුරු පාර්ශවයන් අධෛර්යමත් කරවා ඔවුන්ගේ
බලය නිශ්ක්‍රීය කිරීම වැනි උපක්‍රම භාවිතා කරන ලදී. මෙහිදී දුර සිට ආරක්ෂක
වලල්ලෙන් ඔබ්බෙන් වූ ප්‍රදේශයන්ට ගුවනින් පහර දීම, සතුරාගේ බල ප්‍රදේශයේ අභ්‍යන්තරයේ
සිට විශේෂ ඉලක්කයන් වෙත පහර දී සතුරාගේ ආරක්ෂාව බිද දැමීම මෙන්ම පෙර යුධ පරම්පරා
වල මෙන් නොව වේගවත් ඉක්මන් උපාය මාර්ග යොදා ගනිමින් සතුරු බලය බිද දැමීමට කටයුතු
කිරීම මෙම පරම්පරාවේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයන් වේ. මෙම පරම්පරාවේ ලක්ෂණ සහිත
යුද්ධ ලෙස දෙවන ලෝක යුද්ධය, වියට්නාම් යුද්ධය සහ කොරියානු යුද්ධය දැක්විය හැක.
දෙවන ලෝක
යුද්ධයේ අවසානයත් සමඟ ඇති වූ විවිධ සංවිධානයන් ගේ බලපෑම සහ ක්‍රියාකලාපයන්
හේතුවෙන් ජාතික රාජ්‍යන්ගෙන් යුද්ධ හා සටන් පිලිබඳ ඒකාධිකාරය අහෝසි වී ගියේය. ඒවායේ
අධිකාරිය රාජ්‍ය නොවන සංවිධානයන් විසින් රඟ දැක්වීමට ආරම්භ කිරීමත් සමඟ සිව්වන
පරම්පරාවේ යුද්ධයන්හි ආරම්භය සිදු විය. මෙම යුද්ධයන්හි විශේෂත්වය වන්නේ බොහෝ විට
යොදා ගනු ලබන්නේ ත්‍රස්තවාදය වීමයි. එසේම දේශපාලනික, සමාජීය, ආර්ථික සේම මිලිටරි යන
පීඩන සියල්ල යොදාගනිමින් ක්‍රියා කරන අතර ගරිල්ලා යුධ උපක්‍රම යොදා ගනිමින් සිය
සතුරාගේ පරමාදර්ශයන්ට සෘජු ප්‍රහාරයන් එල්ල කිරීම මෙම සිවවන යුධ පරම්පරාවේ යුද්ධයන්හි
විශේෂ ලක්ෂණයි. මෙයට හොදම උදාහරණය 2001 සැප්තැම්බර් 11 දින ඇමෙරිකාවේ සලකුණක් වූ
ලෝක වෙලඳ මධ්‍යස්ථනයට අල්-කයිඩා ත්‍රස්තවාදී සංවිධානය එල්ල කල ප්‍රහාරයයි.
වර්තමානය වන
විට ලෝකය අත්පත් කරගෙන ඇති තාක්ෂණීක දියුණුවත් සමඟ අප තාක්ෂණික යුගයක් වෙත
පිවිසෙමින් ඇත. ලෝකය ගනුදෙනු කරන්නේ දත්ත සමඟය. ලෝකයේ මිලියනකටත් අදික පිරිසක් ඔබ
මේ ලිපිය කියවන විටත් සමාජ මාධ්‍ය ජාලයන් සමඟ ගනුදෙනු කරමින් පවතියි. එසේ ලොවම ඩිජිටලීකරණය
වී ඇති විටක සයිබර් ප්‍රහාර, වැරදි තොරතුරු සමාජ ගත කිරීම වැනි චාලක නොවන සම්පත්
යොදා ගනිමින් සිදු කරනා ක්‍රියාවන් සරලව පස්වන පරම්පරාවේ යුද්ධයන් ලෙස හදුන්වනු
ලැබේ.
පස්වන
පරම්පරාවේ යුද්ධයන්හි මූලාරම්භය ලෙස බොහෝ දෙනා සලකනු ලබන්නේ 2008 වසරේ ටියුනීසියාවෙන්
ආරම්භ දී අරාබිකරය හරහා හමා ගිය සමාජ මාධ්‍ය සුලි කුණාටුව වන “අරාබි වසන්තය” නම් සමාජ
මාධ්‍ය මඟින් මෙහෙයවනු ලැබූ ගැටුම් මාලාවයි. මෙම අරාබි වසන්තය තුලින් සමාජ මාධ්‍යන්
තුලින් ලෝකයට සිදු කල හැකි බලපෑම කෙසේද යන්න ලොවට වටහා දුන්නේ ලිබියාව දියුණු
මට්ටමකට ගෙන ආ නමුත් ආඥාදායකයෙකු වූ මොහොමඩ් ගඩාෆි එම රටේම මිනිසුන් විසින් මහ
පාරේදී මරා දැමීමයි. එසේම ඊජිප්තුව වැනි ලොව ඉහල පෙලේ මහා බලවත් රටවල් වර්ථමානයේ
පවතින තත්ත්වයන්ට ප්‍රධානම හේතුව වූයේ සමාජ මාධ්‍ය හරහා මෙහෙය වූ සයිබර් යුද්ධයයි.
එසේම හොංකොං
විරෝධතා වලදී මෙන්ම ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකු පවා රටෙන් එලවීමටද සමාජ
මාධ්‍ය ඔස්සේ ගෙනගිය ව්‍යාපාරයන් වලට හැකියාව ලැබුණි. එසේම 2016 ඇමෙරිකා එක්සත්
ජනපද ජානාධිපතිවරණයේදී පුද්ගල කැමැත්තට පවා බලපෑම් කිරීමට තරම් විශාල කටයුතු පවා
සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනගිය බවට ෆේස්බුක් ආයතනට චෝදනා එල්ල වී ඇත.
අප තවමත්
සිටින්නේ පස්වන යුධ පරම්පරාවේ යුද්ධයන්හි ලාබාල අවධියේය. කොටි ත්‍රස්තවාදීන්ගේ මහවිරු
සැමරුම් දිනවලදී ශ්‍රී ලංකාවේ රජයේ අන්තර්ජාල පිටු වලට මෙන්ම මාධ්‍ය ආයතන වලටද
සයිබර් ප්‍රහාරයන් එල්ල වන බව අප හොදයාකාරයෙන්ම දන්නෙමු. නමුත් ඒවාට ක්‍රියාත්මක
වන විශේෂ බලකායක් තවමත් ලංකාවේ පිහිටුවා නැත. සයිබර් ප්‍රහාරයකට එවෙලේම ප්‍රති
සයිබර් ප්‍රහාර යොමු කරමින් ඒවායේ අන්තර්ජාල ලිපිනයන් හබා ගොස් ඒවා ක්‍රියාත්මක වන
ස්ථානයන් හදුනාගෙන ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග ක්ෂණිකව ගත හැකි විශේෂ කාර්ය බලකායක්
ලංකාව තුල වහාම ස්ථාපනය කල යුතුය. මන්ද මීලඟට ලංකාව තුල සිදු වන්නේ අවි අතට ගෙන
යුධ පිටියක සිදු වන යුද්ධයක් නොව සයිබර් අවකාශය තුල දත්ත සඳහා සිදු වන මහා සයිබර්
යුද්ධයකි. අප එයට සූදානම්ව නොසිටියහොත් ලංකාවට සිදුවන දේ අපටවත් සිතා ගත නොහැකි වේවි.
එබැවින් සන්-ත්සු කියු ලෙසම සතුරා කන්ද බැස පැමිණ පහර දීමට පෙර අප කන්ද නැග ගොස් පහර
දිය යුතුය.
“ප්‍රමාණවත්
තරම් දියුණු වූ තාක්‍ෂණයක්
මැජික් වලින් වෙන්කර හඳුනාගත නොහැක.”
-ආතර්.සී.ක්ලාක්
KASUN SAPUMOHOTTI

0 Comments