නිම්නයේ පස් අතර කෙසඟ අත පය නිතර - ආදරේ ඇටසැකිලි සොයනවා

 



Ok ලමයි ඔයාලා ගිහින් ගමේ මිනිස්සු එක්ක කතා කරන්න. එයාලගේ කතාව අහන්න. ඔයාලගේ  assignment එකට ඒක වැදගත් වෙයි.”

“අපේ ක්ෂේත්‍ර චාරිකාව දවසේ රත්නපුර ගමේ මිනිස්සු එක්ක කතා කරන්න තිබ්බ වෙලාව ඒ විදිහට ආරම්භ වුනා. ගමේ උදවිය හුඟක් අතරින් ටිකක් වයස පෙනුමක් තිබුණු මාමා කෙනෙකු ගාවට මම හිමිහිට කිට්ටු වුණා.

“මාමේ.... ටිකක් කතා කරන්න පුළුවන්ද?”

“ආ එන්න වාඩි වෙන්න පුතා.” ලඟ තිබුණු පුටුවක් මා වෙත ලංකරමින් ඔහු තම පුටුවේ හරි බැරි ගැහී වාඩි වුණි.

“මට මුලින්ම මාමාගේ නම කියන්න පුළුවන්ද?”

“මගේ නම පුතා සිරිපාල. බටුගෙදර හන්දියෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න ඉන්නේ.” බුලත් කහට බැදුණු දත් පෙල දක්වමින් සිනා සෙමින් ඔහු පැවසීය.

“මට මාමේ මේ ගමේ තියෙන ප්‍රශ්ණ ගැන ටිකක් කියන්න පුළුවන්ද?”

“පුතා....මගේ මුළු ජීවිතේම ගෙව්වේ මේ ගමේ. මේ ගමේ ප්‍රශ්ණ කියන්න ගියොත් මගේ ජීවිතේම පුතාට කියන්න වෙනවා. කමක් නැද්ද?”

“අනේ ඒකට කමක් නෑ මාමා. කියන්න.” මමත් පුටුවේ හරි බරි ගැහී වාඩි වී ගතිමි.

මේ ඔහුගේ කතාවයි.

“මම ඉපදුනේ ’56 අවුරුද්දේ. අම්මා ගෙදර හිටියේ.තාත්තා මැණික් ගැරුවා. මගේ පවුලේ මමත් එක්ක පස් දෙනෙක් හිටියා. මම දෙවෙනියා. ලොකු අයියා ටික කාලෙකට කලින් අන්තරා වුණා. අනිත් මල්ලියි නංගිලා දෙන්නයි ආවාහ විවාහ වෙලා ගමෙන් එලියේ ඉන්නේ. මම ඉස්කෝලෙට කියලා ගියේ බටුගෙදර ඉස්කෝලෙට. ඒ කියලත් ගියේ දහය කැලෑසියට විතරයි. මම නමයේ කැලෑසියේදී තාත්තා පතලේ ඉන්නකොට පතල කඩා වැටිලා අන්තරා වුණා. ඉන්පස්සේ මම ලොකු අයියත් එක්ක මැණික් ගරන්න ගියා.”

“ඔහොම අවුරුදු ගානක් ගියා. මම දැන් හොද ගැටයා. දන්නවනේ ඉතින් ඔය කාලෙට. මටත් හිත ගියා හොද තරුණ ලස්සන ගැටිස්සියකට. නම තිලකා. අවුරුදු දෙකක් මට ගියා ඒකිගේ හිත දිනා ගන්න. අන්තිමේදී පස්සෙන් ආව කොල්ලොන්ගෙන් තිලකගේ බහ හම්බ වුණේ මේ සිරිපාලට. ඊලඟ වෙසක් පෝයට මම තිලකව මගේ යන්තමින් ගඩොලින් හදලා උළු හෙවිලි කරලා තිබ්බ ගෙදරට කැන්දන් ආවා.”

ඔහුගේ මුහුණේ සුන්දර සිනහවක් පෙනෙයි. ඒ ඔහු තරුණ කාලයේ කල කොළු වැඩ සහ ඔහුඟේ බිරිද තිලකා සමඟ ඔහු එකල ගත කල දිවිය පිලිබඳ මතකයට නැගීම නිසා විය හැකිය.

“ඉතින් පුතා මම අවුරුදු ගාණක් තිලකා එක්ක හොදින් ජීවත් වුණා. මම දිගටම පතල් වැඩ කලා. සමහර කාල වලට සමන් දෙවියෝ අපේ මූණ බැලුවා. සමහර දවස් වලට කිසි දෙයක් නැහැ. ගොඩ පතල් වල තව ඔය තට්ටු පතල්, ඇදුම් පතල් වල පවා මම  මගේ මුළු ජීවිතේම කඹුරලා තියෙනවා. දැන් කාලේ ඔය තාක්සනේ ඒ කාලේ නෑනේ පුතා. ඔය තට්ටු පතල් වල එහෙම පහලට යන්න යන්න වාතය අඩු වෙනවා. ඒ කාලේ හරිම අමාරුවෙන් ඔය කර්මාන්තේ කරගෙන ගියේ. ඔය තට්ටු කඩන් වැටෙනවා. මුළු ජීවිතේම සමන් දෙවි හාමුදුරුවොන්ට බාර දීලා තමා අපි පතලට බහින්නේ. බැහැලා වැඩ කරන කොට හරි මහන්සියි. ඉතින් එතකොට කවි හිතට ඉබේ එනවා පුතා. මට දැන් හුඟක් කවි අමතකයි. මතක එකක් දෙකක් කියන්නම්.”

“මී වදේ ලෙසට ඉල්ලම                 සොයාගෙන

ඒ වදේ ලෙසට කටපුරා                  තියාගෙන

ආයුදේ ලෙසට ඉල්ලම්                   කටුරැගෙන

මේ සඳේ පතල්වල ඉල්ලම්               කපන”

 

 

“උදේ සවස නිති දෙවියන්                     සිහිවෙනවා

නිල්මිණ සේදු ජලයෙන් පය                 සෝදනවා

නිල් මැනිකක් දුන්නොත් නම් නිසි        පුදදෙනවා

සමන් දෙවිදුනේ නිති අප රැක                දෙනවා”

 

ඔහු තාලයට පතල් කවි කියනවා මා අසා සිටියේ මුව අයාගෙනය. එතරම් සුන්දරය ඔහුගේ ගායනය.

“ඔන්න ඔහොම අපි අපේ මහන්සිය තුනී කරගන්නවා. ඒ වගේම ඇදුම් පතල්. ඒවයේ වැඩ කරන්න තමා හරි අමාරුම. අපි ගං පතුලට කිමිදිලා ඉල්ලම අරන් එන්න ඕන. නැත්නම් උදැල්ල දාලා අදින්නත් පුලුවන්. ඔය උදැල්ල කියන්නේ අපි ගමේ ගොඩේ පාවිච්ංචි කරන උදැල්ල වගේ එකක් නොවේ. හරි බර උදැල්ලක්. හරි දිග ලීයක් ගහලා තියෙන්නේ. ඕක ගං පතුලට දාලා ඉල්ලම ගොඩට අදිනවා.”

“ඔය විදිහට මම පතල් වල වැඩ කරනා අතරේ මගේ නෝනා තිලකත් ඔය පොඩි හේන් කෑල්ලක් කරා. ඔය කාලේ වෙනකොට මටයි තිලකටයි දරුවෝ තුන් දෙනෙක් හිටියා. කොල්ලො දෙන්නයි. කෙල්ලයි. තුන්දෙනාම ඉගෙන ගන්න හරිම හපන්නු. ගමේ ඉස්කෝලෙට උන් තුන්දෙනාම ගියේ. ඔය අතරේ තමා පුතේ මගේ පොඩි පවුලට කණ කොකා අඩන්න පටන් ගත්තේ.”

එක් වරම ඔහුගේ දෑස් කදුලින් තෙත් වුණි. මාහට කර කියා ගන්නට දෙයක් නොවුණි. ඔහු තම පිට අත්ලෙන් ගලා යන කඳුලු පිසලමින් නැවත කතාව පටන් ගත්තේය.

“පුතා දන්නවද දන්නේ නෑ රත්නපුරේ දවස් 45හේ ගංවතුර. ඒ කියන්නේ අප්‍රේල් මාසේ අලුත් අවුරුදු දිනෙන් පස්සේ දවස් 45කින් විතර රත්නපුරේට ගලනවා. ඒ ඔය උඩහ සිරිපාද පද්මේ පැත්තට වහින නිසා. ඉතින් අපි කුඩා සන්දියේ ඉදලා ඔය ගංවතුරට පුරුදු වෙලා ඉන්නවා. ගංවතුර ආවහම ඉක්මනට පන්සලට දුවනවා. ඒත් මහා ලොකුවට එන්නේ නෑ. පොඩ්ඩක් ගොඩ දාලා ඉක්මනට බැහැල යනවා. ඒත් මතකයේ හැටියට මට නිච්චියක් නම් නැහැ අවුරුද්ද 2000 වගේ තමා මතක. ඔය කියන අවුරුද්දේ ගංවතුර මහා ලොකුවට ආවා. ඒත් ආවේ එක සැරේට. කර කියා ගන්න දෙයක් උනේ නෑ. අතට අහුවෙච්ච ඒවා අරන් අපි ආවා. පොඩි එවුන්ගේ පොත් පත්, ඇදුම් පැලදුම් සේරම වතුරේ ගියා. දවස් ටිකකින් ගංවතුර බැහැල ගියා. ඇදිවත විතරයි අපිට ඉතුරු වුනේ. ඒත් සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපිට ගමේ උදවිය පිහිට උනා. ඒ වගේම ටික දවසකින් මම හවුලේ වැඩ කරපු පතලෙන් ලොකු මැණිකක් හම්බුවෙලා සමන් දෙවියෝ අපේ මූණ බැලුවා. ටික ටික දෙයියනේ කියලා ආපහු වැඩ පටන්ගෙන ලොකු කාලයක් ගියේ නෑ. අපේ පවුලට කණ කොකා හයියෙන් ඇඩුවා.”

“අපේ උන්දැගෙ නංගි කෙනෙක් බැදල තිබ්බේ ඔය ඇලපාත පළාවෙල කියන ගමට. මෙහේ ඉදලා පහක් විතර ඇති. ඔය කියන්නේ 2003 අවුරුද්දේ මැයි මාසේ. මට දවස් නම් නිච්චි නැහැ පුතා. ඒත් අවුරුද්දයි මාසයි නම් මට හොදට මතකයි. ඉතින් ඔය කියන දවසේ මගේ පොඩි පුතයි, දුවයි එක්ක තිලකා පලාවෙල නංගිලාගේ ගෙදර ගියා ඊට පහුවෙනිදා දානයක් තිබුණ නිසා ඒකට උදව්වට. ලොකු කොල්ලා ගියේ නැහැ උට උසස් පෙල විභාගේ පන්තියක්ද මොකක්ද කියලා. අපි දෙන්නම ඊට පහුවෙනිදා දානයට යන්න කියලා හිටියේ. එදා උදේ ඉදන් හොදටම වහිනවා. මම යනවට ඒතරම් කැමති උනෙත් නැහැ. ඒත් නැවැත්තුවෙත් නැහැ සහෝදරියනේ කියලා හිතුන නිසා.”

 

ඔහුගේ හඩ බර වෙයි. ඔහුගේ දෙනෙතින් කදුලු වැගිරෙයි. ඔහු කතාව දිගටම කියාගෙන යයි.

 

හවස තුනට විතර ලොකු කොල්ලා මහ වැස්සෙම කඩා දුවගෙන ආවා.

 

“තාත්තේ......තාත්තේ......බාලම්මලාගේ දිහාව නාය ගිහින්ලු. විස්තර දන්නවද?”

 

“නෑනේ ලොකු පුතේ කවුද උබට කියුවේ.”

 

“මට යාලුවෙක් කියුවේ ඇලපාත පළාවෙල  කන්දක් නාය ගිහින් කියලා. බාලම්මලත් ඉන්නේ කන්දක් යට නිසා මම මේ දුවගෙන ආවේ. අපි දැන්ම යමුද තාත්තේ.”

 

“ඉදහන් මම ඇදුමක් දාගෙන එන්න.” කියලා මම කමීසයක් දාගෙන ආවා. පුතා අල්ලපු ගෙදර සමන් පුතාගේ මෝටර් සයිකලය ලොකු එකා ඉල්ලන් ඇවිල්ලා තිබුණා. අපි ඒකේ නැගලා පලාවෙල නංගිලාගේ ගෙදර තිබ්බ තැනට ආවා.

 

ඔහුට දැන්නම් ඉකි ගසා ඇඩෙයි. මමද අසරණව බලා හිදිනවා හැර කිරීමට දෙයක් නොතිබුණි. ඔහු ඉකිය මැද්දෙන් කතාව ගෙන යයි.

 

“පු...පුතාට කියන්න පුතේ එ...එතන තුනේ ත...තනිකර පස්ගොඩක් විතරයි.මුළු කන්දම නාය ගිහින්. මගේ තිලකා, මගේ පොඩි එවුන් දෙන්නා. උන් දෙන්නා පුතේ උන් දෙන්නා ලෝකය දැකලා තිබ්බේ නෑ පුතේ. උන්ගෙන් පොඩි පුතා සාමාන්‍ය පෙල ලියලා ප්‍රතිපල එනකම් හිටියේ. ඌ මැරැණට පස්සේ උගේ ප්‍රතිඵල ආවා පුතේ. ලොකු එකා කියුවා උට A9 ක් තියේ කියලා. අන්....අන්තිමේදී තිලකයි පොඩි එවුන් දෙන්නයි හොයා ගන්න කොට දවස් තුනක් විතර ගිහින් පුතා. තිලකා පොඩි එවුන් දෙන්නා බදාගෙන හිටියේ.”

 

ඔහු කතාව නවත්වා හැඩීමට පටන් ගත්තේය. මා ඔහුව මා දන්නා තරමින් සැනසුවෙමි.මද මොහොතකින් ඔහු නැවත සිය කතාව ආරම්භ කලා.

 

  “ඊට පස්සේ පුතා මගේ ලොකු එකා විභාගේ උඩින්ම පාස් වෙලා කොළඹ ගිහින් ලොකු රස්සාවක් කරනවා දැන්. උටත් ලමයි දෙන්නෙක් විතර ඉන්නවා. මට එක වදේ එහේ එන්න කියලා. ඒත් කොහොමද පුතා මගෙ තිලකයි පොඩි එවුන් දෙන්නයි දාලා මේ ගමෙන් යන්නේ. උන් වල් වැදේවි මම ගියොත්.මගේ අන්තිම හුස්ම යනකන් මම මේ ගමේම ඉදිවි.”

 

“පුතාට කියන්න, 2003 ඉදන් මේ වෙනකන් රත්නපුරේ මහ ගංවතුර දෙකකට මූණ දුන්නා. නාය යෑම් 10කට පහලොවකට මූණ දුන්නා. මේ වෙනකන්, පුතාට කියන්න මේ වෙනකන් ඔය රජයේ කියන ලොකු මහත්තුරු එනවා යනවා කතා කරනවා අපිට ගං වතුරෙන් ආරක්සා වෙන හැටි කියලා ආපහු යනවා. අපි පොඩි සන්දියේ ඉදන් ගං වතුර එක්ක ඉදපු මිනිස්සු පුතා. ඒ උදවිය ඉපදෙන කොට අපි ගංවතුරේ දිය බුං හිටන් ගහපු උදවිය. උන්දැල අපිට කියනවා ගංවතුරෙන් ආරක්සා වෙන හැටි. උන්දැල හරිනම් කරන්න ඕන ගංවතුර එන එක අවම කරන්න පියවර ගන්න එක.”

 

“ස්වභාව ධර්මය කියන්නේ පුතා නවත්තන්න පුළුවන් එකක් නෙවේ. ඒත් ඒක පාලනය කරන්න පුළුවන්ය කියන එක ඕන කෙනෙකුට තේරෙනවානේ. මම දවසක් ඕක කියුවම උන්දැලා කියනවා රජයෙන් සල්ලි දෙන්නෑය කියලා. හැබැයි ගංවතුර කාලෙට රජයෙන් කෝටි ගණන් සල්ලි වෙන්කරනවාය කියලා පත්තරවල තියෙනවා. තව ඔය මොකක්ද ෆෝන් එකේ ඇප්ද මොකක්ද එකක් හදලා තියනවලු පුතා. අලුත් පරම්පරාව ඕවා දන්නවා ඇති. ඒත් ඔය 50 – 60 උදවිය ඕක පාවිච්චි කරන්න දන්නවද කියන සැකය තියෙනවා. අනික ඕවා 100%ක්ම ඇත්ත තොරතුරු දෙනවා කියලා කියන්න අමාරුයිනේ පුතා. එහෙනම් ඔය තාක්සනෙන් ගංවතුර එන එක අඩු කරන්න පුළුවන් නොවැ. මගේ මතයනම් අන්න ඒකයි පුතා.”

 

 

“අනේ බොහොම ස්තූතියි මාමේ. මේ ලබා දුන්න තොරතුරු වලට. අපි මේ තොරතුරු එකතු කරලා බලපෑමක් කරන්න පුළුවන් දෙයක් කරන්න බලන්නම් මාමේ.”

 

“අන්න හොදයි පුතා. පුතාලට මම හදවතින්ම සුභ පතනවා. එහෙනම් පුතා මම යනවා.”

 

මට ඔහුගේ දෙපා ලඟ දන ඉබේම නැමුනි. “සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි ආරක්සාවයි.” කියා හිස අතගා ආශිර්වාද කල ඔහු සෙමෙන් සෙමෙන් පාසලේ පියගැට පෙල බැසීමට පටන් ගත්තේය. මාගේ දෑසට කදුලක් නැගී ඔහේ ගලා ගොස් බිමට වැටුණි.

 

 

“රෑ අහසේ සඳ සිසිල දැවි දැවි නුඹේ දුකට

ගිනිපුපුරු පාමුලට එවනවා

නිම්නයේ පස් අතර කෙසඟ අත පය නිතර

ආදරේ ඇටසැකිලි සොයනවා”

 

පලි.

ඡායාරූපයට සහ කතාවට කිසිදු සම්බන්ධ කමක් නොමැත.

 

කතාව රසවත් කිරීමට ගෙන ඇති චරිත හැරුණු විට අනෙක් සමස්ත කතාවම සත්‍ය සිදුවීම් වේ. මෙහි 2003 වසරේ සිදු වීමෙන් 60 දෙනෙකුට සිය ජීවිත අහිමි වුණි. මෙහි එන බටුගෙදර ග්‍රාමයට මේ වසරේ පමණක් මතක තබා ගන්න මේ වසරේ පමනක් 9 වතාවක් ගංවතුර අවධානමට මුහුණ දීමට සිදු වුණි. පසුගිය වසර 5ත් 3ත් අතර කාලය තුල එක් මරණයක් පමණක් වාර්තා වී ඇති අතර දේපල හානි වාර්තා වී ඇත. කඳු නායයෑම් අතින්ද රත්නපුරය ඉදිරියෙන් සිටියි. සියලුම වගකිවයුතු අංශ ක්‍රියාත්මක වූවද ඒවා අතර අන්තර් සන්නිවේදන ගැටලු සහ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා සහ නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම නිසා රත්නපුර හා ආශ්‍රිත ගම්මාන වල ජනයා වැසි දිනයන්ට මර බියෙන් රාත්‍රිය පහන් කල යුතුව තිබේ. මෙවැනි කතාවක් ලිවීමට හේතුව වූයේ බටුගෙදර ජනයාගේ දුක සියැසින්ම දැක ඇසූ නිසයි. ජනතාවට සේවය කිරීම රාජ්‍ය සේවයේ මෙන්ම රජයේද උරමත පැටවුණු වගකීමක් බව මතක් කරමින් මේ පසු සටහන නවතමි.

 

කසුන් සපුමොහොට්ටි

 

Post a Comment

0 Comments