ZD8


 
එදා 2021 සැප්තැම්බරයේ අඟහරුවාදා දවසක්. මම එදා හිටියේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ “අඹ සෙවණ” කියන අපේ විවෘත වටපිටාවේ යාලුවෝ කට්ටියත් එක්ක කයියක් දාගෙන. එතකොට තමයි බන්ධනාගාර නිලධාරියෙක් වෙච්ච මගේ පොඩි මාමා මට කතා කරේ.

“ලොක්කා. මොකද කරන්නේ වැඩක්ද?”

“නෑ පොඩි මාමේ කියන්න.

“මේ සෙනසුරාදා මාව හම්බුවෙන්න වැලිකඩට එන්න පුළුවන්ද?

“ඇයි පොඩි මාමේ?

“නෑ ලොක්කට කතාවක් ලියන්න හොද කතාවක් තියෙනවා. කැමති නම් ඇවිත් අහගන්න පුලුවන්. මොකද කියන්නේ?

“හරි පොඩි මාමේ මම එනවා. එදාට කතා කරමු.

“හරි එහෙනම් පරිස්සමින්. හොදට වැඩ ටික කරගන්න. බුදුසරණයි කියමින් ඔහු දුරකථනය විසන්ධි කලේය.

නොයිවසිලිවන්ත දින කිහිපයක් වේගයෙන් ගෙවී ගොස් සෙනසුරාදා දිනය එළඹියේ ය.

ගොළු මඩම හන්දියෙන් 154 අඟුලාන - කිරිබත්ගොඩ බසයට ගොඩ වුණු මම පැය දෙකකට ආසන්න කාලයක් ගත කරමින් වැලිකඩ බන්ධනාගාරය අසලින් බැස ගත් අතර පොඩි මාමා සමඟ බන්ධනාගාරයට ඇතුල් වූ මම අවසර පත්‍රයන් හා අනෙකුත් අවශ්‍ය ලියකියවිලි වැඩ සම්පූර්ණ කිරීමෙන් පසුව කතාවේ කතානායකයා මුණ ගැසීමට ගියෙමු.

ඇගපතින් වියපත්ව ගිය මුහුණ පුරා සුදු රැව්ලකින් වැසුණු වයසින් අවුරුදු 70 ක පෙනුමැති පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අප ඉදිරියට ගෙන එනු ලැබිනි.

“ලොකු උන්නැහේ, අර එදා මට කියුව කතාව මේ මගේ පුතාටත් කියන්න පුළුවන්ද?

“මොන කතාවද මහත්තයෝ? වියපත් නමුත් පැහැදිලි කටහඩකින් ඔහු විමසීය.

“අර උන්නැහේ මේ මහ උළු ගෙදරට එන්න හේතු වුණු කාරණේ එක්ක කියුව කතාව.

“ආහ්! ඒකද මහත්තයෝ. එහෙම කියන්න එපැයි. කියමින් රැව්බුරුල් අරිමින් ඔහු තම කතාව පටන් ගත්තේය.

මේ ඒ කතාවයි. ටිකිරි මුදියන්සේලාගේ සිරිල් ගේ කතාවයි.

“මගේ නම මහත්තයෝ ටිකිරි මුදියන්සේලාගේ සිරිල්. මම ඉපදුණේ 1948 අවුරුද්දේ. මයේ ගම් පලාත අනුරාධපුර අරලගංවිල. මගේ රස්සාව වුණේ ගොවිතැන. මගෙ අප්පොච්චා කරෙත් ඒ රස්සාවමයි. මම පහේ කැලෑසිය වෙනකන් ඉස්කෝලේ ගියා. ඉන් පස්සේ මං නැවතිලා අප්පොච්චා එක්ක කුඹුරු වැඩ, හේන් වැඩ වලට ගියා. අපිට ගොඩින් අක්කර දෙකයි, මඩින් අක්කර දෙකයි තිබ්බා. ඒවා අපි සරුවට වගා කරා හැම වාරෙම.

“ඔය අතරේ 1970 ගණන් වල මම තමයි ගමේ ගැටිස්සියන්ගේ හිත්වල හිටියේ. ඔහු සිනාසෙයි. මම කියන්නේ වර්ණනාවක් නෙවේ. ඒත් මට හිත ගියේ රන්මැනිකාට. හීන් බණ්ඩා ආරච්චිලාගේ රන්මැණිකාට. ඒකි මට බහ දීලා පෝය 12කට 13කට පස්සේ මම ඒකිව මයෙ පැලට කැන්දන් ආවා 1978 ගණන් වල වගේ මගේ මතකේ හැටියට. අපි දෙන්නා කුඹුරු අක්කරයෙකුයි, හේන් කෑල්ලයි කරගෙන සතුටින් ජීවත් වුණා. ඔන්න ඔය කියන කාලේ තමයි මැතිණිගේ ආණ්ඩුවේ මහවැලි ව්‍යාපාරේ ජේ.ආර් මහත්තයගේ ආණ්ඩුවෙන් ඉක්මන් කොරලා මාදුරු ඔයේ ඉදන් මහවැලි බී කලාපෙට වතුර ගෙනියන්න ඇලක් කැපුවේ. ඒකට අපි එදා ඉදන්ම කියන්නේ ඉසෙඩ් ඩී ඇල කියලා.

“බොරු කියන්නේ මක්කටෙයි මහත්තයෝ මටයි රන්මැණිකාටයි අවුරුදු ගාණක් යනකම් ලමයි හිටියේ නෑ. අපිට දරු හුරුතල් බලන්න හම්බ වුනේ 1991 අවුරුද්දේ විතර තමයි. මටයි මැනිකටයි හම්බවුනේ ලස්සන රෝස මලක් වගේ පොඩි කෙලි පැටික්කියක්. අපි ඒ වෙද්දි උළු හෙවිලි කරපු කපරාරුව ඉවර කරපු පොඩි ගේ පොඩ්ඩකුත් හදාගෙන තිබුනේ. අපේ ලස්සනට ජීවිතේ කෙලි පැටික්කිත් එක්ක ලස්සනට ගෙවිලා ගියා 2009 අවුරුද්ද විතර වෙනකම්. එක දවසක් මැනිකේ සිහිය නැතිවෙලා වැටුණා. මහ ඉස්පිරිතාලෙට එක්කන් ගියාම මගේ මැනිකෙට වකුගඩු අමාරුවක් තියෙනවා කියලා දැනගන්න පුලුවන් වුනා. මම කරන්න පුලුවන් හැමදේම කරත් මට මගේ මැනිකව බේර ගන්න බැරි වුණා මහත්තයෝ.

ඔහුගේ දෑස දිගේ කදුලු බේරෙයි. මගේත් මාමාගේත් දෑස් කදුලින් බරව ඇත. ඔහු කදුලු පිසදාගනිමින් ඔහු නැවත තමාගේ කතාව ආරම්භ කරයි.

“මගේ මැනික මට නැති වුනේ දූව විස්ස ව්ද්දාලෙට තේරුනාට පස්සේයි. දුව හුඟක් වෙලාවට කොළඹ විස්ස විද්දාලේ උන්නේ. මගේ මැනිකගේ තුන් මාසේ දානේ දවසේ රෑ මම ගෙයි පිලේ ඉන්න කොට මහ විසාල ඇතීන්නියක් අපේ ගෙයි කඩුල්ල ගාවට ඇවිත් ලොකු කුංචනාදයක් කරලා ගියා. ඇත්තමයි මහත්තයෝ මහත්තයාලා විශ්වාස නොකෙරුවත් නැතත් ඒ ආවේ මගෙ රන්මැනිකා. උන්දැ මලත් මාව අත්අරින්නේ නෑ කියල යන්නයි ඒ ආවේ.

“එදා ඉදන් ඒ ඇතින්න අපේ ගෙවල් ගාව තියෙන මාදුරු ඔය කැලේ කාටවත් කරදර නොකර ජීවත් වුනා. හරිම පුදුමේ කියන්නේ හැමදාම හවසට අපේ ගෙවල් පැත්තට ඇවිත් කුංචනාදයක් කරලා යන එකනම් නොවරදවාම වුණා. ඒවා නිකන් අපේ කෙලී පොඩි සන්දියේ කියපු නැලවිලි ගී වගෙයි මට ඇහුනේ.

“ඔන්න ඔය කාලේ තමයි ඉසෙඩ් ඩී ඇලට අලියෙක් වැටිලා මලේ. ඒක නිසා ආණ්ඩුවෙන් අලි වැට හදනවා කියලා අපිට පොරොන්දු වුණා. අපි හැමදාම බලන් හිටියා ඒත් අලි වැට හැදුන් නෑ. නිකන් කණු වගයක් ඉන්දලා නිකන් කම්බි වගයක් ඇදලා ගියා. ඊට පස්සෙ දවසෙම අලි ඇවිත් වැට පෙරලලා තිබ්බා. ආපහු සති දෙකකට විතර පස්සේ ආපහු ඇවිත් ඉන්දලා ගියා. අලි ඇවිත් ආපහු පෙරලුවා. ඕක නිකන් චක්කරේ වගේ වෙනවා.

“මම ඔය අලිවැට ප්‍රශ්ණේ ගැන මගේ ඉහේ කෙස් ගාණට පොලීසි, වනජීවී ඔපීසි ගානේ ගිහින් ඇති. දවසක් මම දැක්කා පත්තරේ තියෙනවා ඔය අලි වැට ගහන වැඩේට රුපියල් මිලියන 29ක් විතර ආණ්ඩුවෙන් වෙන් කොරනවා කියලා. ඔය අතරේ චන්ද්‍රපාල කියලා ලොකු එකෙක් සල්ලි හොරාට කනවා කියලා ආරංචියක් ආවා. මිනිහ තමයි මට වනජීවී ඔපීසියට මම ගියාම මට සත්තම දාලා එලව ගන්න එකා.

“දවසක් උදේ පාන්දර නැගිටින කොට මහ ගෝසාවක්. ගමේ මිනිස්සු ඇල පැත්තට දුවනවා. මමත් දුවලා ගියා මොකක්ද වෙච්ච සන්තෑසිය කියලා බලන්න. අනේ මහත්තයෝ මම දැක්ක දෙයින් මගේ කකුල් පන නැති වුණා වගේ මහත්තයෝ.

ඔහු නැවත අඩයි. මහ හයියෙන් අඩයි. මම මාමා දෙස කර කියා ගන්න දෙයක් නැතිව බැලීමි. මාමා කලින් කතාව අසා ඇති නිසා මට සන්සුන්ව සිටිනා ලෙස අතින් සන් කලේය. විනාඩි පහක් හයක් ගෙවී ගියේය. ඔහු තම ඇඩුම අවසන් කර නැවත කතාව පටන් ගත්තේ ඉකි බිදුම මැදිනි.

“මහත්තයෝ මගේ රන් මැණිකා ඇලේ ගිලිලා මැරිලා. එදා ඇලේ වතුර පාර සැර වෙලා. ඒකිට ගොඩ පීනන්න බැරිවෙලා. අනේ මගේ ඇතින්නි. ඒකිට ආත්ම දෙකේම මැරෙන්න දහ දුකක් විදින්න වුණා. මට ඒ ඇලේ මැරිලා තිබ්බ සද්දන්ත ශරීරේ බලා හිටින්න බැරි තැන මම ගෙදරට ඇවිත් දවස පුරාම ඇඩුවා. ඔය අතරේ වනජීවි මහත්තුරු වගයක් ඇවිත් ඒකිගේ ශරීරේ ගොඩ අරන් ගියා කියලා ආරංචිය හම්බ වුනා.

“මම ඊට පස්සේ දවසෙම  වනජීවි ඔපීසියට ගිහින් කියුවා අලි වැට හොදට හදලා දෙන්න මහත්තයෝ කියලා. ඒත් අර චන්ද්‍රපාල කියන කෙනා මට කුනුහරුපෙන් බැන්නා

 “තොට මොකක්ද වේ#@$ පු&$ ඔය අලි වැට හැදුවත් නැතත් තියෙන ප්‍රශ්ණේ, අලියා තොගේ ගෑනි නෙවේනේ යකෝ ඕකේ ගිලිලා මැරෙන්නේ...”

“මට ඒකටනම් මාර තරහක් ආවේ මහත්තයෝ. මයේ රන්මැණිකා මලාට කමක් නෑ, ඒකි ආපහු මම ගාවට ආවා. ඒත් ආපහු ඒකි මැරුණා නෙවේ මැරුවා මේ වගේ සල්ලි වලට කෑදර පෙරේතයෝ. මම හිතාගත්තා ඔය වල් පර$ව මරනවා කියලා. මම දවස් ගානක් මිනිහගේ පස්සෙන් ගියා. මිනිහා යන එන තැන් හොදට හොයලා බැලුවා. මයේ රන් මැණිකා ඇතින්නිගේ මරණෙන් තුන් මහක් ගෙවිච්ච දවසේ මිනිහා එනකන් මග රැකගෙන ඉදලා මම ඕකට කැත්තෙන් කෙටුවා. කොටලා මම ගොහින් පොලීසියට බාර වුණා. පස්සේ උසාවියේ නඩුකාර උන්නාන්සේ මට ජීවිතාන්තේ දක්වා මහ උළු ගෙදරට යැව්වා. මම දැන් ඉන්නේ මගේ රන් මැණිකා ගාවට යන්න මගේ අවස්ථාව එනකම්.”

එසේ ඔහු තම පුදුමාකාර කතාව අවසන් කලේය. තව කෙටි වෙලාවක් ඔහු එක්ක සුහද කතා බහක යෙදුනු අපි දෙන්නා වැලිකඩ හිර ගෙදරින් එලියට ඇවිත් සමුගත්තා.

ඊට පසු මාසයකට පමණ පසුව 2021 දෙසැම්බරයේ අවසාන සතියේ දවසක, හවස් යාමයක කොතලාවල වැව් ඉස්මත්තේ සිටිනා වෙලාවක පොඩි මාමාගෙන් නැවත දුරකතන ඇමතුමක් ලැබුනා.

“ලොකු පුතේ වැඩක්ද?”

“නෑ පොඩි මාමේ කියන්න.”

“මතකද අර කතාව කියපු හිර ගෙදර මනුස්සයා.”

“ඔව් පොඩි මාමේ මතකයි හොදටම”

“ඒ මනුස්සයා අද උදේ නැති වුනා. රජයේ වියදමෙන් අපි මරණ කටයුතු කරලා දැම්මා. ඒ මනුස්සයගේ කතාව ලෝකෙට කියන්න ලොක්කා ඉක්මනටම.”

හරි පොඩි මාමේ කියා මා දුරකතනය විසන්දි කර වැව් දිය දෙස ඔහේ බලා සිටියේ මාගේ දුරකතනයේ සංගීත පෙල ගැස්මේ ධාවනය වෙමින් තිබූ ගීතයට සවන් දෙමිනි.

 

සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා
සේපාලිකා මල් සංකාවෙන් තනිවම පිපිලා
පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා
මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා

ගේ මැද පාළුයි මතකය පෑරෙයි
යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි
ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා
මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා

ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී..නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම...."

මේ මතක වස්ත්‍රය සඟ සතු කොට පූජා කරනු ලැබේ.

පලි.

මෙම කතාව චරිත අත්තලගේ මහතාගේ ZD8 සංගීත නිර්මාණය ආශ්‍රිතව ගොඩ නැගුනක් වන්නක් අතර මෙහි එන කතාව එම සංගීත නිර්මාණය ඇසුරින් නිර්මාණය කෙරුනකි. සියලු නිර්මාණ අයිතිය චරිත අත්තලගේ මහතාට හිමි විය යුතුය. මෙහි එන දින හා ඇතැම් නම් මනඃකල්පිත වේ.

කසුන් සපුමොහොට්ටි

Post a Comment

0 Comments