11.22.63



ඔහුගේ නාමය ඇමෙරිකානු ඉතිහාසයේ පුරෝගාමි චරිතයන් කිහිප දෙනා අතුරේ අනිවාර්යයෙන් සඳහන් වෙයි.අකාලයේ මිය ගියද ඒබ්‍රහම් ලින්කන්ගෙන් පසු මතකයට නැගෙන එකම ඇමෙරිකානු ජනාධිපතිවරයා ඔහුයි. මේ ඔහුගේ කතාවයි. 

ස්ථානය-ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ හියුස්ටන් හී පිහිටි රයිස් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණය.

දිනය-1962 සැප්තැම්බර් 12

වෙනදාට නැති තරම් හිස් සංඛ්‍යාවකින් රයිස් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණය වැසි ගොස්ය.පිටියේ තනා ඇති වේදිකාවක් මත නැග සිටින හොදින් හැද පැලදගෙන සිටින ආකර්ෂණීය තරුණයෙකු ජතතාව අමතමින් කතා කරයි.

අප මේ දශකය තුල සඳවෙත යාම හා අනෙක් දෑ කිරීමට තෝරා ගන්නේ ඒවා පහසු නිසා නොව ඒවා දුෂ්කර නිසායි....”

ඉන් ප්‍රමෝදයට පත් ජනතාවගේ අත්පොලසන් හඩින් සමස්ථ පරිසරයම ගිගුම් දුනි.

අප සඳ වෙත යාමට තෝරා ගන්නේ” යැයි නම් වූ මෙම අමරණීය දේශණය පැවැත්වූ එම ආකර්ෂණීය තරුණයා වන්නේ අන් කවරෙකුවත් නොව ඇමෙරිකා එක්සත් ජනපදයේ 35 වන ජනාධිපතිවරයා වූ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි යි.

1936-1940 කාලයන්හී බ්‍රිතාන්‍යයේ ඇමෙරිකානු තානාපති වූ ජෝශප් පැට්‍රික් කෙනෙඩි හා රෝස් ෆිට්ස්ජෙරල්ඩ් ට දාව 1917 මැයි 29 වනදා ඇමෙරිකා එක්සත් ජනපදයේ මැංචෙස්ටර් ප්‍රාන්තයේ බෲක්ලින්හී උපන් ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි පිරිමි දරුවායි.

 

මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව උසස් අධ්‍යාපනය ලැබීමට හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුල් වුණු ජෝන් කෙනෙඩි එහි දීප්තිමත් තාරකාවක් ලෙස කටයුතු කරා.තම උපාධිය සඳහා වූ අවසන් නිබන්ධය ලෙස ඉදිරිපත් කල “එංගලන්තය නිදාසිටින්නේ මන්ද?” යන විශිෂ්ඨ උපාධි නිබන්ධනය නිසා ඔහුට පලමු පෙල උපාධියක් හිමි උනා.

 

සරසවියෙන් පිටවූ පසු නාවික හමුදාවට බැදුණු ජෝන් කෙනෙඩි දෙවන ලෝක යුධ සමයේ සොලමන් දූපත් ආශ්‍රිත නාවික යාත්‍රාවක අණ දෙන නිළධාරියා ලෙස ක්‍රියා කරමින් සිටින අවස්ථාවක ජපන් මුහුදු බෝම්බකරුවෙක් සිදුකල ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ අතර ඒ අතර තුර ඔහු විසින් තම සඟයන්ද බේරා ගනු ලැබිණි.මෙම ක්‍රියාව නිසා ඔහුට අමෙරිකානු නාවික හමුදාව විසින් මුහුදු බල ඇණි පදක්කම ප්‍රධානය කරන ලදී.

 

1946 දී කෙනෙඩි කොංග්‍රස් මැතිවරණයට තරඟ කරමින් දේශපාලනයට පිවිසි අතර 1952 දී ඇමරිකානු සෙනෙට් සභාව සඳහා ඔහු තේරී පත්වුනේ ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ශකයා පරාජයට පත් කරමිනි. සෙනෙට් සභික කෙනෙඩි අවුරුදු 36 දී ජැකලින් බුවියර් සමඟ විවාහ වූ අතර 1957 දී ඔවුන්ගේ පලමු දරුවා උපත ලැබීය.

 

මේ වන විට ජෝන් එෆ් කෙනෙඩි ජනප්‍රිය දේශපාලඥයකු වූ අතර 1960 ජූලි මස ඔහුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කල අතර රිපබ්ලිකන් අපේක්ශක රිචඩ් නික්සන් ඉතා තියුණු තරඟයකින් පසුව පරාජය කරමින් 35 වන ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරි පත් වුණි. 1961 ජනවාරි 20 සිය ධූරයේ දිවුරුම් දුන් ඔහු සිය ආරම්භක කතාවේදී මෙසේ කීවේය.

 

 “ඔබේ රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අසන්න එපා, ඔබේ රට වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක්දැයි විමසන්න,” 

 "Ask not what your country can do for you, ask what you can do for your country,"

 

 ජනාධිපතිවරයෙකු ලෙස කෙනඩිට අවශ්‍ය වූයේ එක්සත් ජනපදය විද්‍යාවේ නව සොයාගැනීම් සහ අධ්‍යාපනය, රැකියා සහ වෙනත් ක්ෂේත්‍රවල වැඩිදියුණු කිරීම් සමඟ අනාගතයට ඉදිරියට යාමටය. ඔහුට අවශ්‍ය වූයේ මුළු ලෝකයටම සරිලන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහසයි. ඇමෙරිකාව අභ්‍යවකාශ ගවේෂණයට නායකත්වය දීමට ජනාධිපති කෙනඩි ද උනන්දු විය.

 

අප මේ දශකය තුල සඳවෙත යාම හා අනෙක් දෑ කිරීමට තෝරා ගන්නේ ඒවා පහසු නිසා නොව ඒවා දුෂ්කර නිසායි....”

 

අප සඳ වෙත යාමට තෝරා ගන්නේ” යන දේශණය ඇසුවෙකුට ඔහු තුල තිබූ ඉදිරි දැක්ම පහසුවෙන් වටහා ගත හැකිය. එතෙක් මෙතෙක් ලොව සිදු කල විශිෂ්ඨතම දේශණ ලැයිස්තුවට එම දේශණය ඇතුලත් වන්නේ ඒ නිසායි.

 

1962 ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඔත්තු බැලීමේ ගුවන් යානයක් කියුබාවේ සෝවියට් සංගමය විසින් ඉදිකරන ලද න්‍යෂ්ටික මිසයිල ස්ථාන රහසිගතව ඡායාරූප ගත කළේය. එයට ප්‍රතිචාරයක් ලෙස ඔවුන් ඇමෙරිකාව තුර්කියේ සිට රුසියාව ඉලක්ක කර මිසයිල එල්ල කල අතර 1962 ඔක්තෝම්බර් මාසයේ දින දහතුනක් පුරා ලෝකය න්‍යෂ්ටික යුද්ධයේ අද්දර සිටියේය. අවසානයේ දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණියේය. රුසියානු මිසයිල අර්බුධය පිලිබද ඔහු මෙසේ කීවේය.

 

“අපගේ මූලික පොදු සබැඳියාව වන්නේ අප සියලු දෙනාම මෙම කුඩා ග්‍රහලෝකයේ වාසය කිරීමයි. අපි හැමෝම හුස්ම ගන්නේ එකම වාතය. අපි හැමෝම අපේ දරුවන්ගේ අනාගතය අගය කරනවා. ඒ වගේම අපි හැමෝම මැරෙන අය."

our most basic common link is that we all inhabit this small planet. We all breathe the same air. We all cherish our children's future. And we are all mortal."

 

1963 අගභාගය වන විට ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි මීළඟ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා සූදානම් වෙමින් සිටියා. ඔහු සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශ කර නොතිබුණද, ජනාධිපති කෙනඩි තරඟ කිරීමට යන බව පැහැදිලි වූ අතර නැවත තේරී පත්වීමට ඇති අවස්ථා පිළිබඳව ඔහුට විශ්වාසයක් ඇති බව පෙනෙන්නට තිබුණි. සැප්තැම්බර් අඟ භාගය වන විට, ජනාධිපතිවරයා සතියකට අඩු කාලයකදී විවිධ ප්‍රාන්ත නවයක කතා කළේය. 1963 නොවැම්බර් 21 වන දින, ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව ටෙක්සාස් හි දින දෙකක, නගර පහක සංචාරය සඳහා එයාර් ෆෝස් වන් පිටත් විය.

 

පළමු නැවතුම වූ යේ සැන් ඇන්ටෝනියෝ නඟරය වූ අතර එදින දිනය ගත කිරීමෙන් පසු ඔහු හා ජැකොලයින් කෙනෙඩි මහත්මිය ෆෝට් වර්ත් හි ටෙක්සාස් හෝටලයේ රාත්‍රිය ගත කලේය. උදෑසන හෝටලයෙන් එලියට පැමිණි ඔහු පැමිණ සිටි ජනතාව අමතා ඔහුගේ "ෆෝට් වර්ත් හි දුර්වල හදවත් නොමැත" There are no faint hearts in Fort Worth” යන සාමාන්‍ය ජනතාව හමුවේ කෙරෙනා ඔහුගේ අවසන් ප්‍රසිද්ධ දේශණය කලේය. ඉන් පසුව ජනාධිපතිවරයා ෆෝට් වර්ත් වාණිජ මණ්ඩලයේ උදෑසන ආහාර වේලකට සහභාගි වෙමින් ඔහුගේ අවසන් ප්‍රසිද්ධ දේශණය සිදු කලේය.

 

ජනාධිපති ඇතුළු පිරිස හෝටලයෙන් පිටත් වී කාර්ස්වෙල් ගුවන් හමුදා කඳවුරට ගිය අතර එහි සිට ඩලස් වෙත මිනිත්තු දහතුනක ගුවන් ගමන සඳහා එයාර් ෆෝස් වන් යානය අහසට නැඟුණි. ලව් ෆීල්ඩ් ගුවන් තොටුපලෙන් පෙ.ව.11.38ට ගොඩ බසින ලද ජනාධිපති කෙනඩිට හා ජැකොලයින් කෙනඩි ආර්යාව උණුසුම් අන්දමින් පිලිගත් අතර පැමිණි ලිමොසින් රථය ඇතුලත් පෙලපාලිය පිටත් වූයේ මදක් ප්‍රමාද වීය. ලිමොසින් රථය විවෘත රථයක් වූ අතර එයට හේතුව එදින උදෑසන ජනාධිපති උපදේශක Kenny O'Donnell විසින් ඩලස් හි කාලගුණය පැහැදිලි නම්, ජනාධිපති ලිමොසින් රථය එහි බුබුලකින් සමන්විත නොවිය යුතු බව පවසා තිබීමයි.

 

1961 නිෂ්පාදිත ලින්කන් කොන්ටිනල් වර්ගයට අයත්  SS-100-X අංක තහඩු දරන ලිමොසින් රථය ගමන් කලේ වාහන පෙලපාලියේ දෙවැනියටය. එහි රියැදුරු ලෙස රහස් සේවා රියදුරු නියෝජිත විලියම් ග්‍රීර්  කටයුතු කල අතර රථයේ ඉදිරිපස දකුණේ රහස් සේවා නියෝජිත රෝයි කෙලර්මන් ගමන් කලේය. ටෙක්සාස් ආණ්ඩුකාර ජෝන් කොනලි රථයේ මැද අසුනේ දකුණු පස ගමන් කල අතර එහි වම් පස ගමන් කලේ නෙලී කොනලි මහත්මියයි. ලිමොසිනයේ පිටුපස අසුනේ වම් පස ජනාධිපති ආර්යාව ජැකී කෙනඩිත් දකුණු පස ජනාධිපති ජෝන් කෙනඩිත් ගමන් කලේය.

 

මාර්ගය සැලසුම් කර තිබුණේ ලව් ෆීල්ඩ් ගුවන් පඨයෙන් පිටවී මොකින්බර්ඩ් පටුමගෙන් වමට හරවා ලෙමන් මාවත දිගේ පැමිණ දකුණට හරවා සීඩර් ස්ප්‍රින්ග් මාවත ඔස්සේ ශාන්ත හර්වුඩ් මාවතෙන් පැමිණ ප්‍රධාන මාවත ඔස්සේ පැමිණ හූස්ටන් මාවතෙන් දකුණට හරවා එල්ම් මාවතට තියුණු හැරවුමක් ගෙන වමට හැරී Triple Underpas හරහා Dallas Trade Mart මෙත පැමීනීමටයි.

 

ප.ව. 12.29ට ජනාධිපති ලිමොසින් රථය ප්‍රධාන වීදියේ සිට හූස්ටන් වීදියට හැරීමෙන් පසු ඩෙලී ප්ලාසා වෙත ඇතුළු වේ. එය හූස්ටන් සහ එල්ම් වීදී කෙළවරේ කෙළින්ම ඉදිරියෙන් ඇති ටෙක්සාස් පාසල් පොත් තැන්පතු වෙත ළඟා වේ. පසුව මෝටර් රථය එල්ම් වීදිය වෙත වමට හැරීමක් සිදු කරයි. මඟ දෙපස සිටින ජනතාවට අත වනමින් යන ජෝන් එෆ් කෙනඩි තමා මාරයා අසල බව නොදැන සිටියේය.

 

වේලාව ප.ව.12.30 ය. එක් වරම වෙඩි හඩකින් ඩෙලී ප්ලාසාව ගිගුම් දෙයි. ඒ සමඟම තවත් වෙඩි හඩක් ඇසේ. පිටුපස රථයේ සිටි රහස් සේවා නියෝජිත ක්ලින්ට් හිල් රථය වෙත දිව එයි. ලිමෝසීනයේ වේගය අඩාල වෙයි. ජනාධිපති කෙනඩි තම උගුර අල්ලාගෙන ජැකොලයින් කෙනඩි වෙත පහත් වෙනවාත් සමඟම තෙවන වෙඩි පහරක් නිකුත් වෙයි. එය පැමිණ ජනාධිපතිවරයාගේ හිසේ දකුණු පස වදින අතර එය ඔහුගේ හිස්කබල පසාරූ කරගෙන මොලය කෑලි වලට කඩයි. ඒ සමඟම රහස් සේවා නියෝජිත ක්ලින්ට් හිල් රථයේ එල්ලන අතර රථය වේගයෙන් මාවතේ ඉදිරියට යයි. මේ සිද්ධි දාමය  Abraham Zapruder නැමැත්තෙක් තම නිහඬ චලන වර්ණ කැමරාවේ සටහන් කරගත් අතර එය තත්ත්පර 26.6ක් දිගු රාමු 486ක් ඇතුලත් ය.

 

වෙඩි වැදුණු ජනාධිපති කෙනඩි රැගත් රථය ප.ව.12.38 වන විට පාර්ක්ලන්ඩ් රෝහලට පැමීණේ. වහාම රෝහල් ගත කරන ජනාධිපති කෙනඩි හට වෛද්‍ය මැල්කම් පෙරී සහ රෝහල් කාර්යමණ්ඩලය ප්‍රතිකාර කිරීම ඇරඹුවද ඒ වන විටත් ඔහු වෙත මාරයා පැමිණ තිබුණි. පසු කලෙක පාර්ක්ලන්ඩ් හි ශල්‍ය ප්‍රධානී වෛද්‍ය ටොම් ෂයර්ස් පැවසූවේ “ඔහුට පහර දුන්නේ කුමක් දැයි ඔහු කිසි විටෙක දැන නොසිටි බව මට නිසැක වශයෙන්ම විශ්වාසයි” බවයි. කෙසේ වෙතත් මධ්‍යම සම්මත වේලාවෙන් ප.ව. 13.00ට පමණ ඔහු මිය ගිය අතර ඔහුගේ අවසාන පූජනීය කටයුතු කිරීම සඳහා ඔස්කාර් හියුබර් පියතුමා නම් කතෝලික පූජකවරයා රෝහලට කැදවන ලදී.

 

ප.ව.13.33ට පමණ උප ජනාධිපති ලින්ඩන්.බී.ජොන්සන් රෝහලෙන් පිටව ගිය පසුව ධවල මන්දිරයේ වැඩ බලන මාධ්‍ය ලේකම් මැල්කම් කිල්ඩෆ් පාර්ක්ලන්ඩ් රෝහලේ හෙදියන්ගේ පන්ති කාමරයකට ඇතුළු වී නිල නිවේදනය නිකුත් කළේය.

 

“ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඩලස් හි දී අද දින මධ්‍යම සම්මත වේලාවෙන් ප.ව.1:00 ට පමණ මිය ගියේය. මොළයට වෙඩි වැදීමෙන් ඔහු මිය ගියේය. ජනාධිපතිවරයා ඝාතනය සම්බන්ධයෙන් වෙනත් තොරතුරු මා ළඟ නැහැ.”

 

මධ්‍යම සම්මත වේලාවෙන් ප.ව. 2:00 ට පසුව, කෙනඩිගේ සිරුර පාර්ක්ලන්ඩ් රෝහලෙන් ඉවත් කර ලව් ෆීල්ඩ් හි එයාර් ෆෝස් වන් වෙත ගෙන යන ලදී.  මධ්‍යම සම්මත වේලාවෙන් සවස 2:38  ලින්ඩන් බී. ජොන්සන් එක්සත් ජනපදයේ 36 වැනි ජනාධිපති ලෙස  සාරා ටී හියුස් ඉදිරියේදී එයාර් ෆෝස් වන් හීදී දිවුරුම් දෙන ලදී.

 

නැගෙනහිර සම්මත වේලාවෙන් ප.ව. 2:38CBS ප්‍රවෘත්ති නිවේදක වෝල්ටර් කොන්ක්‍රයිට් විසින් ජනාධිපති කෙනඩි මිය ගිය පුවත නිවේදනය කරන ලදී.

 

“ජනාධිපති කෙනඩි මධ්‍යම සම්මත වේලාවෙන් ප.ව. 1.00 ට මිය ගියේය. නැගෙනහිර සම්මත වේලාවෙන් ප.ව. 2.00ට පමණ, විනාඩි තිස් අටකට පමණ පෙර.”

 

නැගෙනහිර සම්මත වේලාවෙන් සවස 6:00 ට පමණඑයාර් ෆෝර්ස් වන් වොෂින්ටනයේ  ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුර වෙත ළඟා විය.

 

මේ අතර මධ්‍යම සම්මත වේලාවෙන් සවස 1.50ට ලී හාවි ඔස්වෙල් නැමැත්තෙකු අත්තඩංගුවට ගත් අතර සවස 7:05 ට පමණ පොලිස් නිලධාරි ජේ ඩී ටිපිට් ඝාතනය කිරීමට ලී හාවි ඔස්වෙල්ට චෝදනා එල්ල වූ අතර රාත්‍රී 11:26 ට පමණ ඔස්වල්ඩ්ට ජනාධිපති කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

 

1963 නොවැම්බර් 24 දින, පෙ.ව. 11:21 සජීවී රූපවාහිනී කැමරාවලට Lee Harvey Oswald ඩලස් පොලිස් මූලස්ථානයේ එලියට රැගෙන එද්දී ප්‍රාදේශීය රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු වන ජැක් රූබි නම් පුද්ගලයා විසින් වෙඩි තැබීමෙන් පසු මාරාන්තික තුවාල ලැබීය . සිහිසුන් වූ ඔස්වල්ඩ්ව ගිලන් රථයකට දමා පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහල වෙත ගෙන යන ලද අතර දින දෙකකට පෙර ජෝන් එෆ්. කෙනඩිගේ ජීවිතය බේරා ගැනීමට උත්සහ කල වෛද්‍යවරුන්ටම ඔහුගේ ජීවිතයද බේරා ගැනීම පැවරුනමුත් ඔවුන්ගේ එම උත්සහය ව්‍යර්ථ කරමින් දරුණු තුවාල ලබා සිටි ඔස්වල්ඩ් සවස 1:07 ට මිය ගියේ ලෝකයෙන් විශාල රහස් ප්‍රමාණයක් හංගා ගනිමින් ය.

 

ඝාතනයෙන් පසු වොෂින්ටනයට ගෙන එන ලද කෙනඩිගේ දේහය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව 1963 නොවැම්බර් 25 වන දින ශාන්ත මැතිව් ආසන දෙව්මැදුරේදී පැවැත්විණි. රටවල් 90කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් ඇතුළුව අමුත්තන් 1,200ක් පමණ සහභාගී වූ එම දේව මෙහෙයෙන් පසුව ජනාදීපති ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩිගේ දේහය වර්ජිනියාවේ ආර්ලින්ටන් ජාතික සුසාන භූමියේ තැන්පත් කරන ලදී.

 

කෙනඩි ඝාතනය පිලිබද සෙවීමට පත් කල වොරන් කොමිසමේ වාර්ථාව පිටු 888 කින් යුක්ත වු අතර අවසන් වාර්තාව 1964 සැප්තැම්බර් 24 වන දින ජනාධිපති ජොන්සන් වෙත ඉදිරිපත් කරන ලදී. එය ඉන් දින තුනකට පසුව ප්‍රසිද්ධියට පත් කරන ලදී.

 

එහි සදහන් වන ආකාරයට එක් වෙඩි පහරකින් ජනාධිපති කෙනඩි සහ ආණ්ඩුකාර කොනලි තුවාල වූ බවත්, පසුව එල්ල වූ වෙඩි පහරක් කෙනඩිට වැදුණු බවත් තුන්වන වෙඩිල්ලක් ද පත්තු වූ බව කොමිසම නිගමනය කළ නමුත් ජනාධිපති කෙනඩි මරා දැමුවේ  පළමු, දෙවන හෝ තුන්වන වෙඩි තැබීමද යන්න පිළිබඳව නිගමනයකට එළඹිය නොහැකි බවත් සඳහන් වුණි. කෙසේ වූවත් වොරන් කොමිසම නිගමනය වන්නේ ලී හාවි ඔස්වල්ඩ් විසින් එම වෙඩි තුනම එල්ල කළ බවයි.

 

එසේම 1979 දී පත් කල ඝාතන පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙනඩි ඝාතනය පිලිබඳවද විමර්ශනය කළ අතර ජනාධිපති කෙනඩි ඇතැම් විට කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඝාතනය කර ඇති බව සොයා ගන්නා ලදී.

 

කෙසේ වෙතත් අද දක්වා විසදී නැති, අද්භූත සිදු වීම් රාශියකින් පිරී ඇති කෙනඩි ඝාතනය අලලා විශාල චිත්‍රපට සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති අතර බොහෝ කතාංග සඳහාද මෙම සිදු වීම පාදක වී ඇත.

 

මෙහි අමුණා ඇති ලින්ක් එක මඟින් කෙනඩි ඝාතනය විය හැකි හොදම ආකාරය පෙන්වනු ලබයි. එය මගේ පෞද්ගලික මතය අනුව සත්‍යයකි.

https://youtu.be/2nmGS8rVuIM

 

 

කසුන් සපුමොහොට්ටි

 

Post a Comment

0 Comments