ජෙනරාල් සර් ජෝන් ලයනල් කොතලාවල

 


ඒ 1955 වසරයි.

ස්ථානය ඉන්දුනීසියාවේ බංග්ඩුන් නුවරයි.

අප්‍රිකානු සහ ආසියානු රටවල රාජ්‍ය නායකයන් එකතු වී ඉදිරියට මුහුණ දෙන සමාජ,ආර්ථික,දේශපාලන ගැටලු සාකච්ඡා කිරීම මෙම සම්මේලනයේ ප්‍රධාන අරමුණ විය. මෙම කාලයේ ලිබරල්වාදය පෙරටු කොටගත් ඇමෙරිකාව ඇතුලු දක්ෂිණාංශික රටවල් සහ සමාජවාදය පෙරටුකොටගත් රුසියානු සමූහාණ්ඩුව ඇතුලු වාමාංශික රටවල් අතර සිදුවෙමින් තිබුණු සීතල යුද්ධය නිසා මෙසේ කිසිදු පාර්ශවයක් නොගත් රටවල් රැස්වී සම්මේලනයක් පැවැත්වීම ලෝක ව්‍යාප්ත ප්‍රවෘත්තියක් විය. මෙම සමුළුවේදී එක් ගාම්භීර රාජ්‍ය නායකයෙක් සිදු කල අභීත කතාවක් එවකට පැවති අධිරාජ්‍යවාදයට ගැසූ කනේ පහරක් සේ විය.

“මෙහි සිටින අප සියලු දෙනා ම අධිරාජ්‍ය විරෝධීන් යැයි සිතමි. මෙය සතුටට කාරණයකි. එහෙත් අප කවර තරාතිරමක හෝ අධිරාජ්‍යවාදයක් නුරුස්සන හැම අධිරාජ්‍යවාදයකට ම විරුද්ධව නැගී සිටින කොටසක් බව ඒකමතිකව ලොවට කියා පෑ යුතු ය. එපමණක් නොව ලෝකයේ කවර ප්‍රදේශයක හෝ දක්නට ලැබෙන කවර වර්ගයක හෝ අධිරාජ්‍යවාද නැති කිරීමට එක හෙලා ඉදිරිපත් වන බව උස් හඬින් ප්‍රකාශ කල යුතු ය.”

මේ ලෙස අභීත ලෙස අධිරාජ්‍යවාදයට එරෙහිව කල කතාව පසුකාලීනව නොබැදි ජාතීන්ගේ සම්මේලනට මහඟු පිටිවහලක් වීය. එම අභීත කතාව සිදු කලේ ශ්‍රී ලංකා මාතාවට දාව බිහි වූ ප්‍රබල ගණයේ ලෝක නායකයෙකු වූ ශ්‍රීමත් ජෙනරාල් ජෝන් ලනයල් කොතලාවල මහතාය.

නෙයිනාගේ සූදු පොළ වැටලූ කීර්තිමත් පොලිස් පරීක්ෂක ජෝන් කොතලාවල මහතාට හා ශ්‍රී ලංකාවේ මිනිරන් රජු ලෙස ප්‍රසිද්ධ මුදලිදු D.C.G. ආටිගලගේ වැඩිමහල් දියණිය වූ ඇලිස් ආටිගලයන්ට දාව 1897 වසරේ අප්‍රේල් 04 වනදා බම්බලපිටිය බම්බලවත්තේදී පිහිටි පොලිස් පරීක්ෂක ජෝන් කොතලාවලයන්ට අයත් නිවසේදී උපත ලැබූ ජෝන් ලයනල් කොතලාවල දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ වැඩිමහල් දරුවා විය. මූලික අධ්‍යාපනය මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා ගත් කොතලාවල දරුවා ඉන් පසුව ඇතුලත් වූයේ කොළඹ රාජකීය විද්‍යාලයටය. ඒ චාර්ල්ස් හාර්ට්ලි විදුහල්පතිගේ යුගයේදීය. ජෝන් ලනයල් කොතලාවලට අවුරුදු 10 ක් සපිරෙන විට 1907 දී ඔහුගේ පියා සියදිවි නසා ගන්නේ තමාගේ මස්සිනා කෙනෙකු වූ ෆ්‍රැන්සිස් ආටිගල ඝාතනය කිරීමට එල්ල වූ අභූත චෝදනාවලට වරදකරු වී මරණ දණ්ඩණය ලැබීමේ සිත් තැවුලෙනි.

ඉන් පසුව ජෝන් ලනයල් කොතලවල ඇතුලු පවුලේ අය දැවැන්ත ආර්ථික ප්‍රශ්ණ රාශියකට මුහුණ දුන් අතර ඔවුන්ව රැක බලා ගත්තේ ඇලිස් ආටිගල මැතිණියගේ නැගණිය වූ ඇලන් ආටිගලය මහත්මියගේ සැමියා වූ F.R.සේනානායක මහතා විසිනි. ජෝන් කොතලාවලයන්ට දේශපාලනයට එන්නට මඟ කියා දෙන්නේද මේ සේනානායක පවුල හා පැවති ඇසුරයි. මේ අතර 1915 දී සිංහල මුස්ලිම් කෝලාහලය ඇති වූ අතර රට පුරා යුධ නීතිය (martial law) පනවන ලදී. එසේම එයට සැකකරුවන් ලෙස D.S. සේනානායක , F.R. සේනානායක ඇතුළු දේශපාලනඥයන් රැසක් අත්අඩංගුවට ගන්නා ලදී. මෙහිදි ඔවුන් බැලීමට සහ ඉදිරි කටයුතු වලට උපදෙස් ගැනීමට එවකට 18 හැවිරිදි ජෝන් ලයනල් කොතලාවල තරුණයා නිතර නිතර බන්ධනාගාරයට ගිය අතර ඔහුගේ දේශපාලන ඥානය වර්ධනය වීමට එය විශාල උදව්වක් වුණි.

1916 වසරේ F.R. සේනානායක මහතාගේ මැදිහත් වීම මත ජෝන් කොතලාවල තරුණයා එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිටත්ව ගිය අතර එහිදි ඔහු විශ්ව විද්‍යාලීය පිල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය. ඒ අතර පැවති තරඟයකදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස හදුන්වන ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී ශතකයක් පවා ලබා ගත්තේය. විශිෂ්ඨ විශ්ව විද්‍යාලීය දිවියකින් පසුව තරුණ කොතලාවල 1919 දී නැවත මව් බිම බලා පැමිණි ඔහු 1922 සැප්තැම්බර් මස දී ලංකා සැහැල්ලු පාබල හමුදාවේ පලමු වන බල ඇණියේ දෙවන ලුතිනන් වරයෙකු ලෙස පත් වුණි. 1924 දී D.S. සේනානායක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වීමත් සමඟ ඔහුට සහය වෙමින් ජෝන් කොතලාවල තරුණයාද දේශපාලනයට කෙමෙන් කෙමෙන් අවතීර්ණ විය.

මේ අතර ලුතිනන් ධූරයට උසස් වීමක් ලැබූ මේ විප්ලවකාරී තරුණයා රත්මලානේ අක්කර 100 පමණ වූ කඳවල වත්ත වෙන්දේසියට සහභාගී විය. මෙයට ලංසු තබන අබ්දුල් ගෆූර් නම් ව්‍යාපාරිකයා හා තරඟයට ජෝන් කොතලාවල ලංසු තැබුවේ තමා සන්තකයේම ඇත්තේ රු. 20,000 ක් පමණය යන්න දැන දැනමය. කෙසේ වෙතත් අවසානයේ රු.60,000 ලංසුව අවසන් වී ජෝන් කොතලාවලට ඉඩම ලැබුනද මුදල් නොමැතිව එතැනින් මාරු වීමට ගිය ජෝන් කොතලාවල තරුණයා අල්වා ගත් පිරිස පසුව ඔහුගේ පියා ගැන දැන ඔහුට එම ඉඩම ලබා ගැනීමට උපකාර කර ඇත. රබර්, කුරුඳු, පොල් හා කුඹුරු අක්කර 15 කින් සමන්විත වූ සරුසාර සශ්‍රීක භූමියක් වූ එම භූමිය තම මෑණියන්ගෙන් ලබා ගත් මුදලකින් සම්පූර්ණයෙන්ම මිලට ගෙන 1925 දී නිවස සෑදීමට කටයුතු ආරම්භ කල අතර 1927 දී එහි වැඩ කටයුතු අවසන් කෙරිණි. වර්ථමානයේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්නට ඇත්තේ එම වලව්ව යි. 1928 දී ලංකාවේ ප්‍රබල පවුල් දෙකක් වන බණ්ඩාරණායක සහ සේනානායක පවුල් දෙකෙන්ම පැවත එන තරුණියක් වූ එෆි මන්ත්‍රිණී ඩයස් බණ්ඩාරණායක හා විවාහ වන ජෝන් ලයනල් කොතලාවලයන්ට ලක්ෂ්මිණි කොතලාවල නමින් දියණියක්ද විය. 1929 දී කපිතාන් නිලයට උසස් වන ජෝන් කොතලාවල 1931 වසරේදී රාජ්‍ය මණ්ත්‍රණ සභාවට කුරුණෑගල ආසනයෙන් තරඟ කිරීමට ඉදිරිපත් වූ ඔහුගේ පලමු දේශපාලන රැස්වීමට පැමිණ සිටියේ දොලොස්දෙනෙකු පමණි. නමුත් පසුව තම චතුර වාග් ශෛලිය යොදා ගනිමින් මිනිසුන්ව ආකර්ශණය කරගත් ඔහු කුරුණෑගල ආසනය ජය ගත්තේ වැඩි ඡන්ද 10,000කින් පමණ තම විරුද්ධවාදීයා වූ කොල්වින් සොයිසා පරදවමින්‍ ය. ඔහු  රාජ්‍ය මණ්ත්‍රණ සභාවට සහභාගී වූයේ උඩරට ඇදුමෙන් සැරසීය.

ඔහුට එහිදි කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සභාපතිත්වය හිමි විය. D.S. සේනානායකයන්ගේ ගොවි ජනපද පිහිටුවීමේ දිගුවක් ලෙස 1933 මින්නේරිය ගොවි ජනපදය ආරම්භ කිරීම ජෝන් කොතලාවලයන්ට හිමි වූ අතර යටපත්ව ගිය  ශ්‍රී විභූතිය යලි ගොඩනැගීම සඳහා ගොවීන් 300ක් සහ මධ්‍යම පාන්තික වැවිලි කරුවන් 100 දෙනෙක් එදින සහභාගී වී සිටියේය. ජනපද ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා පලමු ගස බිම හෙලීමට ජෝන් කොතලාවලයන්ට වැය වූයේ පොරෝ පහර 54ක් පමණි.

1936 මැතිවරණයෙන් රාජ්‍ය මණ්ත්‍රණ සභාවට නිතරඟයෙන් තේරී පත් වූ ජෝන් කොතලාවලයන්ට පැවරුණේ සන්නිවේදන හා වැඩ කමිටුවේ සභාපති ධූරයයි. ශ්‍රී ලංකාවේ ජන ගී හා ජන කථා සංරක්ෂණ කිරීම උදෙසා ගුණපාල මලලසේකර, මුදලිඳු අබේසේකර, කපුකොටුව වැනි විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් දියත් කල දීප ව්‍යාප්ත වැඩසටහනින් ශ්‍රී ලංකාවේ අස්පර්ශ උරුමයන් රාශියක් වර්තමානය දක්වා රැකගෙන ඒමට එතුමා කටයුතු කලේය. එය ජාතික සංස්කෘතික පුනරුදයක් සඳහා නිතතින්ම බලපෑවේය.

1948 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්වයේ නිදහස ලැබුණු අතර ජෝන් කොතලාවලයන්ට නයිට් නාමය පිරිනැමුණි. එතැන් පටන් ඔහුගේ විරුද්ධ පාක්ෂික දේශපාලඥයන් පවා ඔහුව ඇමතුවේ “සර් ජෝන් කොතලාවල” යන නාමයෙනි. සර් ජෝන් කොතලාවල කුරුණෑගල දොඩම්ගස්ලන්ද ආසනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ අතර ලංකාවේ පලමු කැබිනෙට්ටුවේ ප්‍රවාහන හා වැඩ අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙසද පත් වුණි.

1946 වර්ෂයේ වැඩ ආරම්භ වූ ලංකා විශ්ව විද්‍යාලය පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි කර්මාන්තය සඳහා ක්‍රියා කලේද සර් ජෝන් කොතලාවලය. D.R.විජේවර්ධනයන්ගේ මඟ පෙන්වීමෙන් ලන්ඩන් නගර සැලැස්ම නිර්මාණය කල ලෝ ප්‍රකට නගර නිර්මාණ ශිල්පී පැට්‍රික් ඇබර්කෝර්ම්බී මහතාගේ සේවය ලබා ගෙන නිර්මාණය කල පේරාදෙණිය සරසවිය වන් විශ්ව විද්‍යාලයක් බිහි වී නැත්තේ එනිසා වන්නට ඇත.

1950 වසරේ ලක්ෂපාන ජල විදුලි බලාගාරය ආරම්භ කිරීමට පැවරුණු සර් ජෝන් කොතලාවල මහතා මෙසේ කීවේය,

“මහ පැරකුම්බා රජු මහ පොළොවට වැටෙන සෑම දිය බිදුවක් ම කුඹුරට හරවා මිස සයුරට යා නොදිය යුතු යැයි කීවේ ය. එය අද මඳක් වෙනස් කොට ඒ සෑම දිය බිදුවක්ම ජල විදුලිය නිපදවීම සඳහා ටර්බයින් යන්ත්‍ර වෙත හැරවිය යුතුව ඇත.”

එසේ ආරම්භ කල ව්‍යාපෘතිය අධීක්ෂණය කලේ ශ්‍රී ලංකාවේ ජල විදුලියේ පියා වන D.J. විමලසුරේන්ද්‍ර මහතායි. අද වන විට ලක්ෂපාන ජල විදුලි බලාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල විදුලි බලාගාරය ලෙස පැයට ගිගාවොට් 405 ක් වාර්ෂිකව ජනනය කරයි.

1953 ඔක්තෝම්බර් මස ඩඩ්ලි සේනානායකගේ ඉල්ලා අස්වීම සමඟ 1953 ඔක්තෝම්බර් 12 ලංකාවේ තෙවන අගමැති ලෙස සර් ජෝන් දිව්රුම් දෙන ලදී.  1954 වසරේ අප්‍රේල් මස මහා බ්‍රිතාන්‍යයේ රැජින වූ 28 හැවිරිදි දෙවන එලිසබත් රැජින සහ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු තම පොදු රාජ්‍ය මණ්ඩලීය සංචාරයේදී ලංකාවට පැමිණි අතර ඔවුන් දෙපල කඳවල වලව්වටද පැමිණ ප්‍රීති වී ඇත.

1954 වසරේදී එවකට කිරීමට අපහසු කාර්යයක් වූ ශ්‍රී පාදයට විදුලිය සැපයීම සිදු කලේය. ඒ ලක්ෂපාන ව්‍යාපෘතිය සඳහා වූ බාරයක් ලෙසිනි. එසේ සවි කල විදුලි පහන් වලින් එකක් අදටද කොතලාවල වලව්වේ බුදු මැදුරට ඉහලින් ආලෝකමත් වෙයි.

අගමැති ලෙස කටයුතු කරනා කාලයේ උදෑසනම අවදි වන සර් ජෝන් කොතලාවලයන් කරන්නේ උදෑසන පුවත්පත් බැලීමය. තමා ඉලක්ක කරමින් G.S.ප්‍රනාන්දු සහ ඔබ්‍රික් කොලට් අදිනා කාටුන් දෙස බලා සිනහසෙන සර් ජෝන් කොතලාවල අවශ්‍ය කාටූනයක් වෙයි නම් ලේක් හවුස් ආයතනයට කතා කොට අවශ්‍ය කාටූනයේ වෙනම මුද්‍රණයක් ඉල්ලා සිටියි. දිනක් සර් ජෝන් කොතලාවල ගොනෙකුට ඇදි G.S.ප්‍රනාන්දුව කදවල වලව්වට ගෙන්වාගෙන තේ පැන් සංග්‍රහයක් ලබා දී සුහද ව කතා කරන ලදී. පසු කාලයක ඔබ්‍රික් කොලට්ව කදවල වලව්වට ගෙන්වා ගත් සර් ජෝන් කොතලාවල එවකට දේශපාලයේ සිටි සියලුම දේශපාලන චරිත කාටූන් තම කාර්යාල බිත්තියේ අන්දවා ගන්නා ලදී. අදටද කඳවල වලව්වට ගියහොත් ඒවා සියල්ල නැරඹිය හැක.

සර් ජෝන් කොතලාවල මහතාට ලංකාව තුල හොද විනයක් ඇති කිරීමට අවශ්‍යව තිබුණි. එවකට පැවති අල්ලස් ලබා ගැනීමට විරුද්ධව කිසිවෙකු හඬ නොනැගූ මොහොතක අල්ලස් මර්ධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට සර් ජෝන් කොතලාවලට හැකි වුණි. එය ශ්‍රී ලංකාවේ අල්ලසට විරුද්ධව ගත් ඉතා වැදගත් පියවරකි.

1956 මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ආසන 8කට අඩු කිරීමට ආගම හා භාෂාව පෙරටු කොට ගෙන පැමිණි S.W.R.D.බණ්ඩාරණායක මහතාට හැකි විය. ඡන්ද ප්‍රතිඵල එන විට සර් ජෝන් කොතලාවල මහතා දොඩම්ගස්ලන්ද ආසනයේ සිටි අතර ඊට පසු දින නැවත කඳවල වලව්වට පැමිණෙන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ, පක්ෂ මහලේකම් සර් උක්වත්ත ජයසුන්දර සහ F.R. සේනානායකයන්ගේ පුතෙකු වන උපාලි සේනානායක වලව්වේ රැදි සිටියේය. ඔවුන් දෙස බැලූ සර් ජෝන් කොතලාවල මහතා කියා සිටියේ,

“උඹලා කලබල වෙන්න එපා. මම පරාජය බාර ගන්න ලෑස්තියි. මම දැන් කියුවා සර් ඔලිවර්ට මම ඉල්ලා අස්වෙනවා කියලා”

එසේ කියමින් සිනාසෙමින් අසල වූ පුටුවක වාඩි වූයේ නියම දේශපාලනඥයෙකුගේ ගති ලක්ෂණ ප්‍රකට කරමිනි.

ඉන්පසු දේශපාලනයෙන් ඉවත් වී කාලය ගත කල සර් ජෝන් කොතලාවල මහතා 1979 ජූලි 11 දින අක්කර 47ක කදවල වලව්ව සහිත ඉඩම රජයට පැවරූ අතර ඊට පෙර අක්කර 17ක් රත්මලාන ගුවන් තොටුපලට ලබා දී ඇති අතර අක්කර 33ක ප්‍රමාණය වෙනත් කටයුතු සඳහා ලබා දී ඇත. තමන්ගේ සේවක මණ්ඩලයට ද අක්කර 3ක භූමි ප්‍රදේශයක් ලබා දෙන්නට සර් ජෝන් කොතලාවල මහතා අමතක කලේ නැත.

ඔහු රජයට පැවරූ භූමියේ ඔහුගේ කැමැත්ත අනුව ජාතික ආරක්ෂක ඇකඩමිය පිහිට වූ අතර පසුව ඔහුට ගෞරව පිණිස ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ලෙස නම් කල අතර වර්තමානයේ එය හඳුන්වන්නේ ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ලෙසිනි. කොතලාවල මහතාගේ ආදර්ශ පාඨය වන “සිය රටටමයි කවදත්” යන්න අද ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආදර්ශ පාඨයයි. සර් ජෝන් කොතලාවල මහතා සිය වලව්ව ඇතුළු භූමිය ආරක්ෂක ඇකඩමියක් පිහිටුවීම කෙරෙහි ලබා දීම පිලිබඳ වරක් මෙසේ තම අදහස දක්වා ඇත,

DECIPLINE ඉංග්‍රීසියෙන්, සිංහලෙන් විනය. විනය තමා සියල්ලටම වඩා අවශ්‍යය කරන්නේ ලමයෙක් ඉදිරියට යන්න. පොඩි කාලේ ඉදන්ම පුරුදු කල යුත්තේ විනයයි. පන්සලේ විනය නැත්නම් පන්සල විනාස වෙනවා. ඒ වගේම රටක් විනාශ වෙනවා විනය නැත්නම්. එනිසා තමයි මම කල්පනා කලේ හමුදාවේ සොල්දාදුවන් රට පිටත් කරලා විනය පුරුදු කරන්නේ නැතුව අපේ රටේම පුරුදු කරන්න තැනක් හදන්න තමයි කඳවල වත්ත මම දුන්නේ.”

එතුමාගේ එම අදහස අද වන විට යථාර්තයක් වී ඇති අතර වර්ථමානය වන විට විනයවත් සොල්දාදුවන් සේම විනයවත් පුරවැසියන්, විද්‍යාර්ථයන් බිහි කරනා විද්‍යායතනයක් බවට ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පත්වී ඇත.

සර් ජෝන් කොතලාවල මහතා සමඟ කල අවසන් ගුවන් විදුලි සාකච්ඡාව මෙහෙය වූ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා මෙසේ ප්‍රශ්ණයක් අසයි.

“මේ දිනවල ජීවිතයේ සන්ද්‍යා සමය ගත කරමින් සිටින ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ?”

සර් ජෝන් කොතලාවල මහතා සිනහ සෙමින් මෙසේ පිලිතුරු ලබා දෙයි.

“බලාපොරොත්තු දිව්‍ය ලෝකෙට යන්න ලැබෙනවා වගේ දේවල්”

1980 සැප්තැම්බර් 29 අසනීප වූ සර් ජෝන් කොතලාවල මහතා කොලඹ මහ රෝහලට ඇතුලත් කලේය. ඔක්තෝම්බර් 1 ඔහුව ජෙනරාල් නිලයට උසස් කල අතර ඉන්පසු දින එනම් 1980 ඔක්තෝම්බර් 2 වන දින මේ උදාරතර සොදුරු මිනිසා සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කරමින් 83 වසරක් වන සිය දිවි සැරියට සමුදුන්නේය.

ජෙනරාල් සර් ජෝන් කොතලාවල මහතා මිය ගියද ඔහුගේ නාමය සදා අමරණීයය. අප ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඩම්බරකාර සිසුන් ලෙස ඔහුගේ නාමය ඉදිරියට ගෙන යන්නෙමු. අපි එයට බැදි සිටින්නෙමු. මන්ද අප ඊයේ වාගේම අදත්, අද වාගේම හෙටත්, හෙට වාගේම කවදත් “සිය රටටමයි කවදත්”.

 

සටහන - කසුන් සපුමොහොට්ටි

 

 

 

 

Post a Comment

0 Comments