කැලණි විහාර
දායක සභාවේ ප්‍රථම සභාපති දොන් වෝල්ටර් විජේවර්ධන මහතාට සහ කඹුරුපිටියේ මිරිස්වත්ත
වලව්වේ අනුලා කල්‍යාණවතී විජේසිංහ මහත්මියට දාව 1938 පෙබරවාරි 17 කඹුරුපිටියේ දී උපත ලැබූ පිලිප් උපාලි විජේවර්ධන
සුප්‍රසිද්ධ වලව් පරම්පරාවක් වන සේදවත්ත වලව් පරපුරේ සාමාජිකයෙක් වන අතර ඔහුගේ
මිත්තණිය වූයේ සුප්‍රසිද්ධ හෙලේනා වීජේවර්ධන මැතිණියයි. ඔහුට අනෝජා විජේවර්ධන (පසු
කලෙක ඇය මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා හා විවාහ විය) සහ කල්‍යාණි දේවි
විජේවර්ධන (පසු කලෙක ඇය ජෙනරාල් සේපාල ආටිගල මහතාගේ සහෝදරයා වන වෛද්‍ය ගාමිණි ආටිගල මහතා හා විවාහ විය) නමින් වැඩිමහල්
සොහොයුරියන් දෙදෙනෙකු විය. නමුත් අවාසනාවකට මෙන් උපාලිගේ උපතින් වසරකට පමණ පසු
ඔහුගේ පියා 1939 දී හදිසියේ අභාවප්‍රාප්ත වුණි.
තම පියාගේ
අභාවයත් සමඟ ලොව පුරා ඇති වූ දෙවන ලෝක යුද්ධයේ උණුසුම එකල සිලෝනයටද දැනෙන්නට වූ
අතර උපාලි සහ ඔහුගේ සහෝදරියන් රැගෙන ඔවුනගේ මව කඹුරුපිටිය සිය මහ වලව්වට ගියේය. එහි
හැදී වැඩුණු ඔහු සිය මූල් අධ්‍යාපනය (එකල හෝඩිය) නාරන්දෙණිය පාසලෙන් ලබා ගත්තේය.
ඔහු සිය සමවයසේ සිසුන්ට වඩා හොද ධාරණ ශක්තියක් සේම තර්ක ඥාණයකින්ද යුක්ත විය. වසර
6ක් පමණ කඹුරුපිටියේ ගත කල කුඩා උපාලි නැවත කොළඹ සේදවත්ත වලව්වට පැමිණි අතර තම
වැඩිමහල් සොහොයුරියන් දෙදෙනාම ගිය කොළඹ කාන්තා විද්‍යාලට ප්‍රාථමික අධ්‍යාපනය සදහා
ඇතුලත් විණි. (එකල කාන්තා විද්‍යාලයන්හි ප්‍රාථමික ශ්‍රේණි වලට පිරිමි ලමුන්ද
බඳවාගෙන ඇත.) ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව ඔහු කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත්
වුණි.
උපාලිගේ එක් විනෝදාංශයක් වූයේ අසුන් පැදීමයි.
දිනක් සිය අසු පදවමින් රත්මලාන කඳවල වත්ත නැරඹීමට උපාලි ගියේය. ඔහු දුටු සර් ජෝන්
කොතලාවලයන් මේ අනවසරයෙන් පැමිණි පුද්ගලයා දැක මුරකරුවෙකු යවා උපාලි කඳවල වලව්වට
ගෙන්වා ගත්තේය. ඉන්පසු ඔහු හා කතා බස් කොට
ඔහුට සංග්‍රහ කොට උපාලි යෑමට සූදානම් වෙද්දී සර් ජෝන් “නුඹලා අපේ නෑදෑයෝ. තව ටිකක් ලොකු වෙල
වරෙන්, මම උඹට අශ්වයා පිට නැගලා කරන ‘පෝලෝ’ සෙල්ලම පුරුදු කරවන්නම්” කියා පැවසූ බව
පසු කලෙක උපාලි විජේවර්ධනයන් ප්‍රවීණ මාධ්‍යවේදී නන්දසේන සූරියආරච්චි මහතාට පවසා ඇත.
1953 එනම් වයස අවුරුදු 15 දී උපාලි විජේවර්ධන එංගලන්තයේ ලෙදර්හෙඩ්
හි ශාන්ත ජෝන් විද්‍යාලය බලා පිටත්ව ගියේ සිය වැඩිදුර අධ්‍යාපනය සඳහාය. 1956 දී
පාසලෙන් අස් වූ පසු ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව හැදෑරීමට
ඇතුලත් විය. ආර්ථික විද්‍යාව පිලිබඳ දෙවන පන්තියේ ගෞරව උපාධිධාරියෙකු ලෙස සමත් වූ
උපාලි ත්‍රිකුණාමලයේ වරායට ගියේ තම මව විසින් ඔහුට පොරොන්දු වූ පරිදි ලබා දුන්
එම්.ජී. වර්ගයේ රේසින් කාර් එක ලබා ගැනීමටය. ත්‍රිකුණාමලයේ වරායට ගොස් එමින් ගමන් මාගස්තොට
පැවති කාර් රේස් එකකටද ගොස් දෙවන ස්ථානය ලබාගෙන සිය නිවසට පැමිණියේය.
මෙසේ කල් ගෙවනා
උපාලිට ලීවර් සමාගමේ ඉතා තරඟකාරී සම්මුඛ පරීක්ෂණ වට කිහිපයකින් පසුව එහි රැකියාව
ලැබුණි. සේවකයන් සමඟ ඉතා සමීප ඇසුරක් පැවති උපාලිව එහි සිටි ඇතැම් ප්‍රධානීන්
දුටුවේ තමන්ට පවතින අනාගත තර්ජනයක් විලසිනි. මෙසේ කාලයක් ගත වෙද්දී එහි සිටි එක්
සුදු ජාතික ප්‍රධානියෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් නිසා කලකිරුණු උපාලි සිය රැකියාව
දමා ආවේ සිය මාසික පඩියද මේසය උඩ දමාය. නමුත් එය මහා ව්‍යාපාර ලෝකයක ආරම්භයක් විය.
තම රැකියාව අත්
හැර අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඉන්නා විට ලීවර් සමාගමේ
තමාගේ හිතවත් සේවකයෙකු වූ රාජාරාම් (ඇතැම් තැනක මුරුගයියා) පැමිණ තම පියා සතු සීනී
බෝල සාදන යන්ත්‍රයක් ඇති බවත් ව්‍යාපාරය පාඩු වී ඇති නිසා එය විකුණන බවත් පැවසීය.
තමා ඉතිරි කරගත් මුදලක් සමඟ අතින් ක්‍රියා කරනා එම යන්ත්‍රය මිලට ගත් උපාලි එයට
මෝටරයක් සවි කොට රාජාරාම් සමඟ සීනී බෝල කර්මාන්තය ආරම්භ කලේය. ටික කලකින් එය හොදින්
දියුණු වූ අතර එම ව්‍යාපාරය එසේ තිබියදීම තම මිත්තණියගෙන් ලද උපකාරයන්ගෙන් බ්ලුමැන්ඩල්
මාවතේ ඩෙල්ටා ටොෆි යනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කලේය. නමුත් ටොෆිය හරි ගියේ නැත.
ඉක්මනින් දියවෙන සුළු ස්වභාවය නිසා එය මහජනයා අතරට පැමිණීමේදී අසාර්ථක වුණි. උපාලි
ඉන් සැලුනේ නැත. තම ඩිකිය ටොෆි කර්මාන්තය පිලිබඳ පොත් වලින් පුරවා ගත් ඔහු කම්හලේ
තිබූ ඇලුමිනියම් පුටුව යන්ත්‍රය ලඟට ගෙන සේවකයන් සමඟ ටොෆියේ නියම පදම එන තෙක් වෙහෙසුනේය.
අවසානයේ ඔහු සාර්ථක විය. ඔහුගේ ව්‍යාපාරික ඥානය භාවිතා කරමින් ඔහු වසරක් ඇතුලත ඩෙල්ටා
ටොෆි නාමය ව්‍යාපාරික ලොව හිනිපෙත්තටම ගෙන ගියේය.
ඉන්පසු ඔහු ලංකාව
පුරා සංචාරයක යෙදුණි. එය සංචාරයකටත් වඩා පර්යේෂණයක් විය. ඔහු එම සංචාරයෙන් පසුව
ලංකාවේ ව්‍යාපාරික ලෝකය උඩු යටිකුරු කරමින් රේඩියෝවක් වෙලඳපොලට හදුන්වා දෙනු
ලැබිනි. “යුනික්” නම් වූ එම රේඩියෝව සෑම පලාතකටම උචිත ලෙස නිමවා තිබූ හෙයින් මහ
වලව්වේ මුලාදෑනියාගේ සිට කමතේ සිටින ගොවියා දක්වා සැමටම පහසුවෙන් රේඩියෝවට සවන්
දෙන්නට හැකියාව ඉන් ලැබුණී.
උපාලි විජේවර්ධන
යනු තමන්ගේ තනි මතයට වැඩ කල මිනිසෙකු විය. ඔහුට මැණික් ව්‍යාපාරය පිලිබඳ ඇල්මක්
ඇති වූ අතර රත්නපුරය බලා ගිය ඔහු මැනික් කර්මාන්තය පිලිබඳ හොද දැනුමක් ලබා ගෙන
මැනික් අපනයනය කිරීමට පටන් ගත්තේය. ඉන් ලැබූ විශාල ලාභය ඔහු මෝටර් රථ නිෂ්පාදනය
සඳහා යෙදවීය. හෝමාගම ගලවිලවත්තේ ඇරඹුණු එම කර්මාන්තශාලාව නිපදවූ පලමු උපාලි මැස්ඩා
මෝටර් රථය රැගෙන කැලණිය රජමහ විහාරයට ගිය උපාලි කැලණි විහාරාධිපති තලේවල විජිත
ධම්ම රක්ඛිත හිමියන්ට විහාරයේ ප්‍රයෝජනය උදෙසා එය පූජා කලේය. වේගයෙන් උපාලි මැස්ඩා
රථයේ ඉල්ලුම වැඩි වූ අතර උපාලි මේ අතර උපාලි ෆියට් නමින් තවත් මෝටර් රථයක් වෙලද
පොලට ඉදිරිපත් කලේය.
කටයුතු මෙසේ සිදු
වෙමින් තිබියදී උපාලි විජේවර්ධන තම සමීපතමයෙකුගේ ඉවත් වීම වෙනුවෙන් පැවති ප්‍රිය
සම්භාෂණයකට සහභාගී වුණි. එයට එකල ප්‍රසිද්ධ චොකලට් සමාගමක ප්‍රධානියා වූ ඩෙරෙන්ජර්
නම් මහතාද පැමිණ සිටි අතර ඔහු හා කතා කිරීමෙන් පසුව කල්පනාවක නිරතව සිටින උපාලි
දුටු ඔහුගේ සමීපතමයෙකු ඔහුගෙන් ඒ ගැන විමසීය.
“අර ඩෙරෙන්ජරයා
මගෙන් ඩෙල්ටා එක ඉල්ලුවා. මම දෙනවා ඒ මිනිහට ඩෙල්ටා ටොෆියක්”
වැඩි කල් නොයා තමන්ගේ මාමා කෙනෙක් වුණු සෙනෙට් සභික සරත්
විජේසිංහ මහතාගෙන් සහ තවත් අයගෙන් කොටස් මිලදී ගෙන ඔහු ඉහත කී
චොකලට් සමාගමේ බහුතර කොටස් හිමියා බවට පත් විය. ඉන් පසු නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්
කල උපාලි විජේවර්ධන ඩෙරෙන්ජර්ට දුන් ඩෙල්ටා ටොෆිය එය විය. එම චොකලට් සමාගම කිසිවක්
නොව “කැන්ඩොස්” චොකලට් සමාගමය.
මේ අතර ඔහු
මැලේසියාවට ගොස් එහිද කැන්ඩොස් මැලේසියා නමින් කර්මාන්තශාලාවක් අරඹා ව්‍යාපාර
ආරම්භ කලේය. ඒ සමඟම සිංගප්පූරුවේද කැන්ඩෝස් චොකලට් කර්මාන්ත ශාලාවක් ඇරඹූ ඔහු වසර
දෙකක් තුල දෙරටේම කොකෝවා නිෂ්පාදනය ඉහලම තැනට ගෙන ආ අතර හොංකොං, තායිලන්තය හා
ඔස්ට්‍රේලියාව වැනි රටවලද චොකලට් නිෂ්පාදන බෙදා හැරි අතර එය ඉතාමත් ප්‍රසිද්ධ විය.
උපාලි විජේවර්ධනයන්ට තිබූ ජනප්‍රියතාවය කොතෙක්ද යත් දිනක් සිංගප්පූරු කැන්ඩෝස්
කර්මාන්තශාලාවක පිරිසක් මැලේසියාවේ ගුවන් තොටුපලක අතරමං වී මැලේසියානු ආගමන විගමන
දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්ණ කිරීම් වලට භාජනය වෙමින් සිටියේය. ඔවුන් පුන
පුනා කියා සිටියේ උපාලි විජේවර්ධන හමු වීමට පැමිණි බවයි. නමුත් මැලේසියානු
නිලධාරීන් කියා සිටියේ එවැන්නෙකු එරට නැති බවයි. එවිට ඔවුන් කැන්ඩොස් යන නාමය කී
විට මැලේසියානු නිලධාරීන් උපාලි විජේවර්ධන හා කතා කොට ප්‍රශ්ණය නිරාකරණය කොට
අවසානයේ මෙසේ කීවාලු,
“එයාගේ නම අපි
දන්නේ නැහැ. මේ රටේ කවුරුත් එයාට කියන්නේ ‘කොකෝ රජ්ජුරුවෝ’ කියලා”
එකල කැන්ඩොස්
සමාගම සතුව මැලේසියාවේ අක්කර 40,000 ක භූමි ප්‍රමාණයක් තිබී ඇත.
මේ අතර 1977 තම
ඥාති සොහොයුරා වූ ජේ.ආර්.ජයවර්ධනගේ ආණ්ඩුව විසින් ඔහුව මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ
ජෙනරාල් ධූරයට පත් කරනා ලදී. ඔහුට පැවරුනේ සුදුසු භූමි ප්‍රදේශයක් තෝරාගෙන එහි
නිදහස් වෙලද කලාපයක් ආරම්භ කිරීමය. ශ්‍රී ලංකාවට පැමිණෙන ආයෝජකයන් සහ විදේශිකයන්
මගින් රටට බලපෑමක් කිරීමට අවශ්‍යය නම් කටුනායක ගුවන් තොටිපල සමීපයේ නිදහස් වෙලඳ
කලාපය ස්ථාපිත කිරීම වඩා සුදුසු යැයි ඔහු ප්‍රකාශ කලේය. එසේම එයට තම පෞද්ගලික ධනය
යොදවමින් විදේශ ගමන් වල යෙදෙමින් ආයෝජකයන් මෙරටට ගෙන ඒමට ඔහු උත්සුක විය. එසේ
ගෙන්වාගත් ආයෝජකයින් මඟින් සෘජු මෙන්ම වක්‍රව ද ශ්‍රී ලංකාවේ රැකියා ප්‍රශ්ණය
විසදුවා සේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද එය විශාල පිටිවහලක් විණි.
එසේම උපාලි විජේවර්ධනයන්
එම වැඩකටයුතු බලා කියා ගන්නා විට උපාලි සමාගම් වල වැඩකටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන
යාමට ඔහුට දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් සිටියේය. ඔහු නමින් ආනන්ද පේලිමුහන්දිරම්ය. උපාලි
ආයතනයට පුහුණු පාලක නිලධාරියෙකු ලෙස පැමිණි ඔහු දැක්වූ දක්ෂතා නිසා සේම ව්‍යාපාර පිලිබඳ
ඔහු සතු හසල දැනුම නිසා උපාලි විසින් ආනන්දව අධ්‍යක්ෂධූරයට පත් කරනු ලැබිණි.
ගුවන් හමුදා
කපිතාන් මනි සෙනෙවිරත්නයන්ගේ කාර්යාල දුරකථනයට හදිසි ඇමතුමක් ලැබුණි.
“හෙලෝ කැප්ටන් මනි
සෙනෙවිරත්න කතා කරනවා.”
“හෙලෝ කැප්ටන්. මම
උපාලි ගෲප් එකේ ඩිරෙක්ටර් ආනන්ද පේලි මුහන්දිරම්. උපාලි විජේවර්ධන මහතා ඔබව
හමුවීමට බලා සිටිනවා. හැකි ඉක්මනින් පැමිණිය හැකිද?”
“හරි මම කාර්යාලයේ
වැඩ අවසන් කොට පැමිණෙන්නම්.”
කාර්යාලයේ වැඩ
අවසන් කල ගුවන් හමුදා කපිතාන් මනි සෙනෙවිරත්න තර්ස්ටන් පාරේ තිබූ උපාලි විජේවර්ධනයන්ගේ
නිවසේදී ඔහුව හමුවුණි. උපාලි සතුව තිබූ ගුවන් යානා දැනුම ඔහුව පුදුම කලේය.
“මම හෙලිකොප්ටරයක්
ගන්න හිතාගෙන ඉන්නවා” යැයි උපාලි විජේවර්ධනයන් මනි සෙනෙවිරත්න හට පැවසීය. එම
කතාබහෙන් සති කිහිපයකට පසු කතා කල උපාලි ඔහු හෙලිකොප්ටරයක් ඇනවුම් කල බවත් තම
සමාගමට බැදෙන්නට කැමැතිදැයි මනි සෙනෙවිරත්නයන්ගෙන් විමසූ අතර ඔහුගේ පිලිතුර වූයේ
කල්පනා කර පිලිතුරක් ලබා දෙන්නම් කියාය. පසුදාම මුද්‍රිත අයදුම්පතක් මනි සෙනවිරත්නගේ
නිවසට ලැබුනු අතර ඔහු ගුවන් හමුදාවෙන් අස්වී උපාලි සමාගමට බැදුණි.
රැගෙන ආ
හෙලිකොප්ටරයෙන් 1979 ජනවාරි 9 දා ප්‍රථම චාරිකාව ලෙස තම නිවසේ හෙලිපෑඩයේ සිට කැලණි
විහාරයට ගිය අතර විහාරය ආසන්නයේ ගොඩබෑමට
අපහසු නිසා චෛත්‍ය තෙවරක් පැදකුණු කල හෙලිකොප්ටරය තම ගමන එසේ අරම්භ කලේය.
මේ අතර සෙස්නා
ගුවන් යානයක් මිලට ගත් උපාලි එය පැදවීම සඳහා ගුවන් හමුදාවේ සිටි දක්ෂතම සහ ලංකාවේ
ප්‍රථම මිග් ජෙට් යානාව පියාසර කල බළඝණ නායක නොයෙල් ෆ්‍රැන්සිස් ඉග්නේෂන් ආනන්දප්පා
තම සමාගමට බඳවා ගත් අතර රට තුල ගුවන් ගමන් වැඩි වෙද්දී ආසන විස්සක ගුවන් යානයක්
මිලට ගත් ඔහු කොලඹ, අනුරාධපුරය, යාපනය, ත්‍රිකුණාමලය යන ප්‍රදේශ අතර ගුවන් සේවයක්ද
ආරම්භ කල උපාලි ඇමෙරිකාවේ ද තම සමාගම් ශාඛාවක් පිහිටුවමින් ලෝක වෙලඳපොලට ප්‍රවිශ්ඨය
ලබා ගත්තේය.
මේ අතර කඹුරුපිටිය
තම මවගේ ගමට දියුණුවේ අරුණෝදය රැගෙන එන්නට උපාලි කල්පනා කලේය. එය වෙනුවෙන් රුහුණු
උදානය නමින් වැඩපිලිවෙලක්ද එය මෙහෙය වීමට නව අධ්‍යක්ෂක මණ්ඩලයක්ද පිහිටු වීය.
රුහුණටම වෙන් වූ විශ්ව විද්‍යාලයක් ලබා දෙන්නැයි කඹුරුපිටිය ආසනයේ සිටි මලවරාඅරච්චි
මන්ත්‍රිවරයා ඉල්ලා සිටි නමුත් දකුණේ සිටි ඇතැම් අධම තුචිඡ දේශපාලුවන් නිසා එම
අවස්ථාව අහිමි වී ගිය අතර රුහුණු විශ්ව විද්‍යාලය ලැබුනේ ඉන් දශකයකට පමණ පසුවය.
නමුත් රුහුණු උදානයෙන් ඉදිවූ කඹුරුපිටිය උපාලි විජේවර්ධන සම්මන්ත්‍රණ ශාලාව තවමත්
නාරන්දෙණිය ජාතික පාසල තුලදී දැක ගැනීමට හැක.
මේ අතර ඔහු තවත් ව්‍යාපාරයකට අත
ගැසුවේය. ඒ පුවත්පත් කලාවයි. සමස්ත ප්‍රජාවම දැනුවත් කරමින් විවිධ බලවේග තුලින්
දූෂණයට ලක්වී ඇති ශ්‍රී ලාංකීය සමාජ ක්‍රමය වෙනස් කිරීමට ඔහු ගත් ඒ පියවර උපාලි පුවත්පත්
සමාගම ඇරඹීමය. 1981 ඔක්තෝම්බර් 04 වැනිදා හෝමාගම ගලවිලවත්තේදී ආරම්භ වූ දිවයින ශ්‍රී
ලංකාවේ ජනතාවගේ පුවත්පතක් බවට පත් විය.
තම ව්‍යාපාර ගෝලීය
මට්ටමෙන් සිදු කිරීමට අවශ්‍යය නිසා උපාලි විසින් ලියර් ජෙට් 35 A වර්ගයට අයත්
ගුවන් යානයක් රුපියල් කෝටි 15ක් දී 1982 වසරේ මුල් භාගයේදී මිලදී ගත්තේය. එය තමාට
අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට උපාලි විජේවර්ධනයන් කටයුතු කලේය. මෙම ගුවන් යානය එන්ජින්
දෙකකින් යුක්ත අතර පැයට සැතපුම් 600ක වේගයෙන් ගමන් කල හැකියාව සහ විනාඩියකට අඩි
4900ක් ඉහලට නැංවීමේ හැකියාව සහ අඩි හතලිස්දහසක් ඉහලින් ගමන් කල හැකි මඟීන් 20කට අඩු
ගණනකට ආසන සකස් කල හැකි යානයකි. එමෙන්ම මෙම යානයේ හකුලන ලද කුඩා ඩිංගි බෝට්ටුවක්ද
ඇති අතර යම් අයුරකින් යානය මුහුදට කඩා වැටුනහොත් එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක
වෙයි. එහි සාමාන්‍යයෙන් දින කිහිපයක් ආරක්ෂාවීමට අවශ්‍ය සියලු දෑ තිබේ. නමුත් මෙම
යානයේ “කළු පෙට්ටිය” අඩංගු නොවුණි.
දිනය 1956 සීතල
ඉරිදාවකි. එංගලන්තයේ පිහිටි තම නවාතැනේ බිම
වැතිරි පුවත්පතක් කියවමින් සිටි තරුණ උපාලිගේ නෙත ගැටුනේ ගුවන් අනතුරකින් මියගිය
අලිඛාන් කුමරුගේ පුවතයි. ඒ දෙස මොහොතක් බලා සිට තම ඥාතී සොහොයුරු රංජිත් විජේවර්ධන
දෙසට හැරී පුවත පෙන්වමින් “මටත් ඕන අන්න ඒ විදිහට සමුගන්න” කීවේය. දෛවය හරිම
පුදුමාකාරය.
1983 ජනවාරි 31
වනදා උපාලි තම ලියර් ජෙට් 35 A ජෙට් යානයට නැග මැලේසියාව බලා ගියේ ව්‍යාපාරික
කටයුතු කිහිපයකටය. පුවත්පත් වාර්ථා වලට අනුව ඔහුට එරට ඉඩම් හිමියන් කිහිප දෙනෙකු
සමඟ නීතිමය ප්‍රශ්ණ කිහිපයක් පැවතී ඇති අතර ඔහු ඒවායින් ජය ගෙනද ඇත. එසේම තවත්
සමහර පුවත්පත් වාර්තා අනුව ඔහු මැලේසියාවට ගියේ නව චොකලට් කම්හලක් ආරම්භ කිරීමට
කටයුතු කිරීමටය. කෙසේ හෝ වේවා ඔහු 1983 ජනවාරි 31 කටුනායකින් පිටත්ව ක්වාලාලම්පූර්
හි සුබාං අන්තර්ජාතික ගුවන්තොටුපලට ලඟා විය. (වර්ථමානයේ සුල්තාන් අබ්දුල් අශීස් ෂා
ගුවන්තොටුපල). ඉන්පසු දින කිහිපයක් රැදි
සිටි අතර ඔහුගේ ලියර් ජෙට් යානය සිංගප්පූරුව බලා රැගෙන ගියේ නඩත්තු කටයුතු සඳහාය.
නඩත්තු කටයුතු වලින් පසුව Test Run පරීක්ෂණ ධාවන දෙකකින් පසුව නැවත
මැලේසියාවට රැගෙන ආවේ ගුවන් යානයේ නියමු නොයෙල් ෆ්‍රැන්සිස් ඉග්නේෂන් ආනන්දප්පා
විසින්මය. නමුත් රැගෙන ආ පසු නියමු කුටියේ උෂ්ණත්ව පාලක ස්විචයේ තිබූ යම් දෝෂයක්
වාර්තා වීමෙන් පසුව සිංගප්පූරුවේ සිට පැමිණි ඉංජිනේරු ටොම් බොයිඩ් විසින් එම වරද
නිවැරදි කිරීමෙන් පසුව නැවතත් පරීක්ෂණ ධාවනයකින් පසුව යානය ධාවනයට සුදුසු බව ගුවන්
නියමු ආනන්දප්පා විසින් නිගමනය කරන ලදී.
1983 පෙබරවාරි 13 මැලේසියානු
වේලාවෙන් රාත්‍රි 7.55ට පමණ උපාලි ගුවන් යානයේ පියාසර සැලැස්ම ගුවන් ගමන් පිලිබඳ
ස්ථාවර විදුලි සංදේශ සේවය (AFTN) හරහා අදාල ගුවන් ගමන් පාලක මධ්‍යස්ථාන
වලට දැන්වීමට ගුවන් නියමුවන් කටයුතු කලේය. එසේ පියාසර
සැලැස්ම ලබා ගන්නේ ගුවන් යානයේ ආරක්ෂාවටය. යම් කිසි ගුවන් යානයක් අදාල ගුවන් පාලක
මධ්‍යස්ථානය නියමිත ගුවන් සැලැස්මේ වේලාවට අමතනු ලබන්නේ නැත්නම් විනාඩි 5ත් 15ත්
අතර කාලයේ එය පිලිබඳ තාවකාලිව ඒ අවට යානා උපයෝගී කරගනිමින් සොයා බලයි. විනාඩි 15කින්
පිලිතුරක් නැතිනම් යානය ගමන් ගන්නා මාර්ගයේ ඇති ගුවන් ගමන් පාලක මධ්‍යස්ථාන වෙත INSARPA (තොරතුරක් නැත)
යන සංඥා නාමය යොදා ගනිමින් දන්වනු ලබයි. එසේ දන්වාත් පිලිතුරක් නැතිනම් ALERSPA (අවධානයෙන් සිටින්න) යනුවෙන් සංඥා නාමය යොදා ගනිමින් දන්වනු ලබයි. විනාඩි
40 ක් යන තුරු තොරතුරක් නොලැබුනේ නම් DISTRESPA (ව්‍යවසනයක්) යන්න හඟවමින් සියලු ගුවන්
ගමන් පාලක මධ්‍යස්ථාන වෙත සංඥා නාමයක් නිකුත් කරනු ලබයි. එවිට අදාල ආයතන දැනුවත්
වී ගුවන් යානය සෙවීම ඇරඹේ. උපාලි ගුවන් යානයේ ගුවන් සැලැස්ම අනුව මැලේසියානු
වේලාවෙන් රාත්‍රී 8.41ට පිටත්වන ගුවන් යානය සුමාත්‍රාවේ මේඩාන් ගුවන් ගමන් පාලක
මධ්‍යස්ථානය හරහා ගමන් කොට ඉන්දියන් සාගරයේ “පංකා” නම් ස්ථානයෙන් ශ්‍රී ලංකා ගුව
ගමන් පාලක මධ්‍යස්ථාන අවකාශයට ඇතුල්ව, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.40ට කොළඹ
කටුනායකට පැමිණීමට නියමිත වුණි.
1983 පෙබරවාරි 13
මැලේසියාවේ කොකෝ විලා නම් තම නිවසෙන් උපාලි විජේවර්ධන එලිය බසින ලද්දේ පැය තුනක්
පමණ තමා ප්‍රමාද කල දුරකථන ඇමතුමක් නිසා සවස පහට පමණය. එසේ පැමිණ උපාලි විජේවර්ධන
සුබාං ගුවන් තොටුපලේ නවතා තිබූ තම ලියර් ජෙට් යානට නැග තුන්වන අසුනේ වාඩි වූයේ
සෑමදා වාගේමය. මන්ද එම ආසනය අසල ඔහුට අවශ්‍ය සන්නිවේදන පහසුකමේ සිට සියල්ල සපයා
තිබූ නිසාය. නැවත ලංකාව බලා එන මේ පිරිස අතර උපාලි විජේවර්ධන, උපාලි සමූහයේ අධ්‍යක්ෂක
ආනන්ද පේලි මුහන්දිරම්, මැලේසියාවේ උපාලි සමාගම් අධ්‍යක්ෂක S.M.රත්නම් සහ උපාලිගේ
සහයක කඹුරුපිටියේ A.සේනානායක ද විය. යානය පැදවූයේ ගුවන්
නියමු නොයෙල් ෆ්‍රැන්සිස් ඉග්නේෂන් ආනන්දප්පා වන අතර සහය නියමු ලෙස සිඩ්නි සොයිසා
කටයුතු කලේය.
නියම කරගත් පරිදි මැලේසියානු
වේලාවෙන් රාත්‍රී 8.41ට මැලේසියාවේ ක්වාලාලම්පූර් හි සුබාං අන්තර්ජාතික
ගුවන්තොටුපලෙන් පිටත් වූයේ පැය 3 විනාඩි 30ක ගුවන් ගමනක් සදහා පැය 5 1/2ක ගුවන්
ගමනක් සඳහා අවශ්‍ය තෙල් සමගිනි. මෙසේ ගමන් ගන්නා ගුවන් යානය විනාඩි 15කට පමණ පසු
රාත්‍රී 8.56ට සුබාං ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයෙන් අඩි 27,000 දක්වා ඉහලට නැගීමට
අවසර ඉල්ලා සිටියේය. එවිට යානයේ වේගය පැයට කිලෝමීටර 744ක් ලෙස ගුවන් නියමු
ආනන්දප්පා වාර්ථා කර තිබුනි. ඉල්ලු අවසරය ලැබුණි. යානය අඩි 27,000 සීමාවට ලගා වූ
අතර ඉන් විනාඩි 8කට පසුව රාත්‍රී 9.02ට ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ධියට ඉහලින් තිබියදී
සුබාං ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයේ රේඩාර් තිරයෙන් එක්වරම අතුරුදහන් විය.
මේ අතර ශ්‍රී
ලංකාවේ කටුනායක ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය උපාලි විජේවර්ධනයන්ගේ ලියර් ජෙට් යානය
පංකා ස්ථානයට නොපැමිනීම පිලිබඳ සොයා බැලීමට පටන් ගත්තේය. මුලින්ම ක්වාලාලම්පූර් හි
සුබාං ගුවන් තොටුපලින් විමසා බැලූ කටුනායක ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය ඉන්පසු
පංකා ආසන්නයේ පියාසර කරමින් තිබූ ඇමෙරිකානු යුධ ගුවන් යානයකට NOVEMBER 482 UNIFORM යන සංකේත නාමයන් භාවිතා කරමින් උපාලි ජෙට් යානය පිලිබඳ සොයා බලන ලෙස
ඉල්ලීමක් කලේය. තෙවරක්ම යුධ ගුවන් යානය උපාලි ජෙට් යානය පිලිබඳ සලකුණක් නැතැයි
දැන්වූ පසු INSARPA නිවේදනයද, ඉන්පසු ALERSPA නිවේදනයද, විනාඩි
40කින් පසු DISTRESPA නිවේදනයද නිකුත් කරමින් උපාලි ගුවන්
යානය අතුරුදහන් බව නිවේදනයක් නිකුත් කලේය. මෙහි විශ්මය වන්නේ මෙම නිවේදන ත්‍රිත්වය
නිකුත් කල යුතුව ඇත්තේ සුමාත්‍රාවේ මේඩෑන් ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය වූවද
කටුනායක ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය නිවේදන ත්‍රිත්වය නිකුත් කරන තෙක් මේඩෑන්
ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය මේ පිලිබද නිවේදනයක් නොකිරීමයි.
පසුදා වන විට රොයිටර්
පුවත් සේවයෙන් මේ පිලිබඳ ලොවම දැනුවත් කරන ලදී. ඉන්දුනීසියානු සහ මැලේසියානු ආරක්ෂක
අංශ උපාලි විජේවර්ධනගේ ලියර් ජෙට් යානය සොයා මෙහෙයුම් දියත් කලේය. මේ අතර බෝල්කන්
ගුවන් සේවයේ බල්ගේරියා ජාතික ගුවන් නියමුවෙකු පැවසූවේ තමන් පෙර දින රාත්‍රියේ ශ්‍රී
ලංකාවට පියාසර කරමින් සිටිනා විට දිවයිනට නැගෙනහිර වෙරලට ආසන්නව ගුවන් යානයක් තමන්
කොළඹට පැමිණීමට උත්සහ දරනා බවට පණිවුඩයක් රේඩියෝව හරහා ඇසුනු බවයි.(පසුව පරීක්ෂණ
ඔස්සේ පෙනී ගියේ මෙම ප්‍රකාශයේ සත්‍යතාවයක් නොමැති බවයි.) එම ප්‍රකාශය පදනම්ව ශ්‍රී
ලංකාවේ ඇමෙරිකානු තානාපති ජෝන් රීඩ් දියාගෝ ගාර්සියා හමුදා කඳවුරේ රැදි සිටි හත්වන
නාවික බල සේනාවට නියෝග කලේ ශ්‍රී ලංකාවට නැගෙන හිර වෙරල තීරයට සැතපුම් 500ත් 600ත්
දුරින් උපාලි විජේවර්ධනයන්ගේ ලියර් ජෙට් යානය සොයනා ලෙසයි. ඒ අනුව හත් වැනි නාවික
බල සේනාවේ නාවික යාත්‍රා දෙකක් සහ ගුවන් යානා දෙකක් උපාලි යානය සෙවීමට පැමිණියේය.
15 වනදා වන විට මෙහෙයුම්
වෙනම දෙසකට ඇදී ගියේ සුමාත්‍රාවේ ටන්ජුග් ටිරාම් ප්‍රදේශවාසීන් 13 දින රාත්‍රියේ
ගුවන් යානාවක් මුහුදට කඩා වැටෙනවා දුටු වේයැයි පැවසීමත් සමඟය. ඒ සමඟ ඉන්දුනීසියානු
සෝදිසි කණ්ඩායම් ප්‍රධානි ලුතිනන් කර්නල් ගටොට් පුජෝපර්ටෝනෝ ඒ ප්‍රදේශය ආශ්‍රිතව
මෙහෙයුම් කටයුතු දියත් කලේය. එසේම පීනැං ප්‍රදේශයේ බටර්වර්ත් ගුවන් පාලක මධ්‍යස්ථානයේ
රේඩාර් පද්ධතියේ උපාලි යානය අතුරුදහන් වීමට ආසන්න වේලාවකදී ගුවන් යානයක් පෙනී
නොපෙනී ගොස් ඇත. මෙය යානය මුහුදට කඩා වැටෙන අවස්ථාවේදී ලැබුණු රේඩාර් සංඥාවක් විය හැකි
යැයි උපකල්පනය කෙරුණි.
මේ අතර 13 ඉරිදා
රාත්‍රී 8.45ට පමණ ගිනි බෝලයක් වැනි යමක් මුහුදට කඩා වැටෙනු දුටු බව කුඩුම්බිගල
ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය පඩුගල ආනන්ද හිමි පොලීසියට දන්වා තිබෙන අතර කොළඹ
සහ මැලේසියාව අතර පවතින R 61 නම් ගුවන් සේවා මාර්ගය ඇත්තේ එම ආරණ්‍ය
හරහා වන බැවින් එය පිලිබඳවද පරීක්ෂණ පැවැත්වීමට අදාල ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර පානම
හේන් ගොවියෙකු සහ මඩකලපුවේ ධීවරයන් දෙදෙනෙකුද තමන් ගිනි බොලයක් මුහුදට පහත් වනු
දුටු බව ප්‍රකාශ කලේය.
මේ අතර රටවල්
කිහිපයක්ම එක් වී උපාලි විජේවර්ධනයන්ගේ ලියර් ජෙට් යානය සෙවීමේ කටයුතු වල නිරත
වුණි. ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් මුහුදු වෙඩි සොයනා Minesweeper නෞකා දෙකක් සමඟ නෞකා තුනක් සහ ගුවන් යානා දෙකක්ද, මැලේසියානු නාවික
හමුදාවට අයත් නෞකා දෙකක් සහ හර්කියුලිස් C130 වර්ගයට අයත් ගුවන් යානාවක්ද,
ඇමෙරිකාවේ හත්වන නාවික බල සේනාවේ නෞකා දෙකක් සහ ගුවන් යානා දෙකක්ද, එකල ඇමෙරිකාව
භාවිතා කල P3C ඔරියන් නම් ඔත්තු බැලීමට භාවිතා කරනා
එකල පැවති දියුණුම තාක්ෂණයෙන් සමන්විත ගුවන් යානාවක් ද, (එකල මෙම ගුවන් යානාව
පුවත්පත් හැදින්වූයේ “විස්කම් යානය” ලෙසය.) ඔස්ට්‍රේලියානු ගුවන් යානාවක් ද,
එංගලන්තය, ඉන්දියාව සහ සිංගප්පූරුවේ උපකාරයන් සහ සෝවියට් දේශයේ චන්ද්‍රිකාවක්ද
යොදා ගනිමින් ලියර් ජෙට් යානය සෙවීමේ මෙහෙයුම් වල නිරත වුණි. ඊට අමතරව ශ්‍රී
ලංකාවේ වේග ප්‍රහාරක යාත්‍රා, උපාලි සමාගමේම තවත් යානා දෙකක්, සහ කොන්සොලිඩේට්
ඉංජිනියර් සමාගමේ ගුවන් යානාවක්ද ශ්‍රී ලංකාව ආශ්‍රිතව මෙහෙයුම් සිදු කලේය.
මේ අතර 21 දින පුලාවු
පන්ග්දුන් නම් දූපතක් ආශ්‍රිතව ගුවන් යානයක යැයි සැක කෙරෙන රෝදයක් සොයා ගත් අතර එය
ලියර් ජෙට් සමාගමෙන් විමසූ විට එම රෝදය ලියර් ජෙට් යානයේ රෝදයක් නොවන බව දන්වන
ලදී.
මේ අතර මාස
කිහිපයක්ම පරීක්ෂණ කටයුතු කලද හමුවූයේ ඉහත කී රෝදය, ලී පෙට්ටියක්, නෞකාවකින් ඉවත
දැමූ ජිවිතාරක්ෂක වලල්ලක් සහ යකඩ තහඩු කිහිපයක් පමණි. අවසානයේ සියලු පරීක්ෂණ
කටයුතු නවතා දැමූ අතර උපාලි විජේවර්ධනයන්ගේ ලියර් ජෙට් යානය හෝඩුවාවක් නොතබා අතුරුදහන්
වූ තවත් මහා අභිරහසක් විය.
මේ අනතුර වන විට
උපාලි විජේවර්ධන විවාහ වී සිටියේය. ඇය සුප්‍රසිද්ධ රත්වත්තේ පරම්පරාවේ තරුණියක වූ
ලක්මිණි රත්වත්තේ ය. ඇයගේ පියා සීවලී රත්වත්තේ ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ
රත්වත්තේ ඩයස් බණ්ඩාරණායක මැතිණියගේ එක කුස උපන් සහෝදරයාය. මේ විවාහයත් සමඟ ලංකාවේ
ප්‍රබලතම දේශපාලන පවුල් දෙකක් සම්බන්ධ වුණි. නමුත් උපාලිගේ
අතුරුදහන් වීමෙන් ටික කලකට පසුව උපාලි විජේවර්ධනගේ බිරිඳ වන ලක්මිණි රත්වත්තේ
විජේවර්ධන උපාලි සමාගමේම සේවකයකු වූ නිමල් වෙල්ගම (කුමාර වෙල්ගමගේ සහෝදරයා) හා
විවාහ වන අතර ඉන් පසු ඇය ලක්මිණි රත්වත්තේ වෙල්ගම ලෙස සිය නාමය වෙනස් කරගනු ලබනවා.
ඉන්පසුව උපාලි විජේවර්ධනයන්ගේ බූදලය පිලිබඳ අයිතිය නීතිය ඉදිරියට යාම තවත් ප්‍රවෘත්තියක්
වුණා. උපාලි වීජේවර්ධනයන්ගේ බිරිද සහ සහෝදරියන් දෙදෙනා අතර පැවති මෙම නඩුවේ
තීන්දුව 1999 ජනවාරි මස ලබාදුන් අතර ඉන් උපාලිගේ බිරිඳට ඔහුගේ දේපල වල අයිතිය
පවරනවා. (මෙම තීන්දුව පිලිබඳ යම් යම් මතිමතාන්තර පවතියි.)
උපාලි විජේවර්ධන නම් වූ
චමත්කාරජනක අපූරු ව්යාපාරිකයා සතුව 80 දශකය වන විට ඩොලර් මිලියන 50ක ඇස්තමේන්තුගත කල වත්කමක්
තිබුණි. ඔහු අද වන විට ජීවත්ව සිටියානම් ඔහු ලෝකයේ ධනවත් පුද්ගලයින් දස දෙනාගෙන්
කෙනෙකු වන්නට ඉඩ තිබුණු බව බොහෝ දෙනාගේ මතයයි. එසේනම් අද ලංකාවේ තත්ත්වය මෙසේ
නොවනු ඇතැයිද ඇතමුන්ගේ මතයයි. එසේම ශ්‍රී ලාංකීය ජන විඥාණය හදුනාගත් පලමු ව්‍යාපාරිකයාද
ඔහුයි. තවමත් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයේ සංකේතයක් සහ ව්‍යවසායකත්ව දේශන වලදී නිතර
මතක් කරනවා සේම ව්‍යවසායකයින් විසින් අනුකරණය කරනා මෙන්ම කළ යුතු ආදර්ශයක් ලෙස
උපාලි විජේවර්ධනයන් සලකනු ලබයි. අවුරුදු 45ක් තරම් කෙටි තම ජීවිත කාලය ටොෆියකින්
තම ව්‍යාපාර ලොව අරඹා කොකෝ රජු ලෙස ඔටුනු පලන් උපාලි විජේවර්ධනයන් අතුරුදහන් වී
2023 වනවිට වසර 40ක් පිරෙන අතර ඔහු වනාහි නිතර නිතර සිහි කල යුතු චරිතයකි.
කසුන් සපුමොහොට්ටි
තොරතුරු - 1983 වසරේ පෙබරවාරි මස පුවත්පත් ආශ්‍රිතව සහ
අන්තර්ජාලය ඇසුරිනි.
ඡායාරූප අදාල පුවත්පත් මඟිනි. සියලුම ඡායාරූපවල ගෞරවය ඒ
අදාල ශිල්පීන් වෙත හිමිවිය යුතුය. අවසරයකින් තොරව ඡායාරූප උපුටා ගැනීමෙන් වලකින්න.
![]() |
ලක්මිණි රත්වත්ත විජේවර්ධන (පසුව වෙල්ගම) |
![]() |
උපාලි - ලක්මිණි විවාහය දා |
![]() |
ඔරියන් යානය |
![]() |
ඔරියන් යානයේ නිලධාරී පිරිස නැවත දියාගෝ ගාර්සියා වෙත යෑමට පෙර |
![]() |
අතුරුදහන් වූ උපාලි ලියර් ජෙට් යානය |
![]() |
නොයෙල් ෆ්‍රැන්සිස් ඉග්නේෂන් ආනන්දප්පා |
![]() |
සිඩ්නි සොයිසා |
![]() |
කුඩුම්බිගල ආරණ්‍යයේ විහාරාධිපති හිමි |
![]() |
1983 පෙබරවාරි 16 දිනමිණ පුවත්පත පුවත වාර්ථා කර ඇති අයුරු |
![]() |
1983 පෙබරවාරි 16 ලංකාදීප පුවත්පත පුවත වාර්ථා කර ඇති අයුරු |
![]() |
1983 පෙබරවාරි 15 දිවයින පුවත්පත පුවත වාර්ථා කර ඇති අයුරු |
0 Comments