අතීත ශ්‍රී ලංකාවේ තුවක්කු

 

ප්‍රසන්න වීරක්කොඩි මහතා චිත්‍රයට නැඟූ කොඩිතුවක්කු හමුදාව

ලෝක ඉතිහාසයේ පැවති යුධ සටන් ගත් විට තම භූමිය යටත් කරගත් විදේශිකයින්ට විරුද්ධව සටන් වැදි ජාතීන් සිටිනුයේ අතලොස්සකි. මන්ද බොහෝ රටවල එකල සිටියේ තාක්ෂණැයෙන් නොදියුණු ජාතීන් නිසා බොහෝ විට විදේශීය ජාතිය සිදුකලේ ඔවුන් සමූල ඝාතනය කිරීම හෝ ඔවුන්ව තමන්ගේ වහල් සේවයට යොදා ගැනීමයි. නමුත් ඈත අතීතයේ පටන් ග්‍රීසිය, රෝමය වැනි රටවල් සමඟ විදේශීය සබඳතා පැවැත්වූ රටක් ලෙස පැවති ශ්‍රී ලංකාව සේන හා ගුත්තිකගෙන් ආරම්භ වූ ආසියානු ආක්‍රමණ හමුවේ නොබියව තම දේශයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඉදිරිපෙල සටන් කල ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන් චිරප්‍රසිද්ධය.  නමුත් 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා ලංකාවට පැමිණිදා සිටන්ම ශ්‍රී ලාංකිකයන් ආසියාතික ආක්‍රමණයන්ට භාවිතා කල සටන් උපක්‍රම වල සිට යුරෝපීය ජාතීන්ට ගැලපෙන පරිදි තම සටන් උපක්‍රම වෙනස් කර ගත්තේය. මෙසේ වෙනස් කරගත් සටන් උපක්‍රමයක් ලෙස ගිනි අවි භාවිතයට ගැනීම දැක්විය හැක.

ශ්‍රී ලංකාවේ ගිනි අවි භාවිතා කිරීම පෘතුගීසී යුගය දක්වා දිව යන බව පිලිගන්නා මතය වූවද ඊට පෙර සිටම ශ්‍රී ලංකාවේ ගිනි අවි භාවිතා කල බව ඇතැමුන්ගේ මතයයි. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ගිනි අවි වල ඉතිහාසය ගවේෂණය කරනා විට අපට ප්‍රධාන වශයෙන් හමුවන ගිනි අවි වර්හ කිහිපයක් තිබේ.

  • ගිනි පිඹින තුවක්කු
  • අත් තුවක්කු
  • දික් තුවක්කු
  • කොඩිතුවක්කු

ලෙස ඒවා දැක්විය හැකියි.

 

ගිනි පිඹින තුවක්කු

ගිනි පිඹින තුවක්කු යුද රොකට්ටු ලෙසද හදුන්වා තිබේ. මේවායේ ප්‍රධාන කාර්යභාරය වන්නේ සතුරාගේ ඉදිරිපෙල හමුදා ව්‍යාකූල කිරීම සහ සතුරු හමුදාවේ අවි ආයුධ, පතොරම් වැනි යුද සැපයුම් ප්‍රවාහනය කරන කරත්ත වල ගොනුන් සහ එකල ප්‍රවාහන කටයුතු සදහා යොදා ගත් අලි ඇතුන් ව්‍යාකූල කිරීමයි. මෙම ගිනි පිඹින තුවක්කු වල පරාසය මීටර් 900ක් තරම් දුරට විහිදි යන අතර මෙම ඇතැම් ඒවා අහසේදී පුපුරා යන ෂෙල් වෙඩි ආකාරයෙන් සකසා ඇත. එසේම මේවායේ තවත් වර්ගයක් වන බිම් රොකට්ටු යන්න ඉහලින් ගොස් බිම පතිත වූ පසු ඒවායේ ශක්තිය අවසන් වන තුරු බිම දිගේ සර්පයන් මෙන් ඇදී යයි. එම නිසා ව්‍යාකූල වන සතුන් ඒ මේ අත දිව යන අතර ඉන් ප්‍රයෝජන ගන්නා ස්වදේශික හමුදාවන් සතුරා මවිත වන ප්‍රහාරයන් එල්ල කරයි. මෙම අවි වර්ග රාජකීය ගිනි අවි නිෂ්පාදන කම්හල්හි නිපදවා ඇත. මෙම ආයුධ 1761 පෙබරවාරි හි කටුවන බලකොටු ප්‍රහාරය, ෆං එක් ආණ්ඩුකාරවරයාගේ උඩරට ආක්‍රමණයට එරෙහි සටන, 1766 හඟුරන්කෙත සටන වැනි ලන්දේසීන්ට එරෙහි බොහෝ සටන් වලට විශේෂයෙන් මෙම ගිනි පිඹින තුවක්කු නැතිනම් යුධ රොකට්ටු යොදා ගත් බව සඳහන් වෙයි.

ගිනි පිඹින තුවක්කුවක් (යුධ රොකට්ටුවක්)

අත් තුවක්කු

ශ්‍රී ලාංකික ස්වදේශීය හමුදා පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍යය ආක්‍රමණයන්ට එරෙහිව බහුල වශයෙන් යොදා ගත් තුවක්කු වර්ගය වන්නේ මෙම අත් තුවක්කුවයි. මෙම අත් තුවක්කුව නිපදවීමේ ආභාෂය ගෙන ඇත්තේ පෘතුගීසි අත් තුවක්කුවක අනුසාරයෙන් බව විශ්වාස කරනා අතර ශ්‍රී ලාංකිකයන් තමන්ටම ආවේණික වූ තුවක්කු වර්ගයක් නිෂ්පාදනයට තරම් දක්ෂයන් වූහ. සම්මත ෆ්ලින්ට්ලොක් යාන්ත්‍රණයේ තුවක්කුව වෙනස් කොට එය තුවක්කුවේ වම් පසට සවි කිරීම එම විශේෂත්වය විය. මෙම තුවක්කු වර්ගය හැදින් වූයේ “බණ්ඩිකුල තුවක්කුව” ලෙසය. ඒ අනුව නැගෙනහිර ආසියාව පෙදසට වන්නට පර්සියාව හැරුණු විට දක්නට ලැබෙන දේශීය වශයෙන් නිපදවන ලද  ෆ්ලින්ට්ලොක් යාන්ත්‍රණය ඇති එකම තුවක්කු වන්නේ ලංකාවේ නිපදවූ තුවක්කුය. එසේම දේශීය සම්භවයක් ඇති තුවක්කුවල පමණක් දක්නට ලැබෙන දෙකට බෙදන ලද තුවක්කු කදෙහි කෙලවර වෙඩික්කරුට හොදින් ග්‍රහණය කරගත හැකි වන ලෙස පපු පෙදසට සහ උරහිසෙහි රදවා ගැනීමට හැකි වන ලෙස නිපදවා ඇත. ඉන් එය වෙඩික්කරුට තම ශරීරයේම අංගයක් ලෙස පහසුවෙන් පාලනය කිරීමට හැකියාව ලැබේ. දඹුල්ල ලෙන් විහාර සිතුවම් හි “මාර පරාජය” නම් සිතුවම නිරීක්ෂණය කරනා විට දණ නමාගෙන සිටිනා වෙඩික්කරුවෙකු දක්නට ලැබෙන අතර එහි පපු පෙදෙස සහ උරහිස තුවක්කුවේ කෙලවර නිවැරදි ලෙස රදවා ගත් වෙඩික්කරු එල්ලයක් ගනිමින් සිටින අයුරු නිරීක්ෂණය කල හැක.

ෆ්ලින්ට්ලොක් යාන්ත්‍රණය තුවක්කුවේ වම් පස සවි කර ඇති අත් තුවක්කුවක්

අත් තුවක්කුවක් භාවිතා කරනා තුවක්කුකරුවෙක්


දඹුල්ල විහාර සිතුවම් හි ‘මාර පරාජය’ සිතුවමේ දක්නට ලැබෙන අත් තුවක්කුවක් භාවිතා කරනා තුවක්කුකරු



 දික් තුවක්කු (ස්නයිෆර්)

පහලොස් වන සියවසේදී ශ්‍රී ලාංකික ස්වදේශික හමුදාවන් ස්නයිෆර් තුවක්කු භාවිතා කලායැයි කිව හොත් ඔබ විශ්වාස නොකරනවා නියතය. නමුත් සත්‍ය එයය. සතුරු හමුදා ඛණ්ඩයේ අණ දෙන නිලධාරී, රණ බෙර වාදකයන් ආදී විශේෂ පුද්ගලයින් විනාශ කොට සතුරු හමුදාවේ ආත්ම ශක්තිය සම්පූර්ණයෙන් අඩපණ කිරීමට මෙම දික් තුවක්කු භාවිතයට ගෙන තිබේ. වෙඩි තැබීමේ පරාසය වැඩි මෙම තුවක්කු ඉහත කී අයුරින් වඩා සාර්ථක ඉලක්කයන් ගැනීමට අත් තුවක්කුවේ බටයේ දිග වැඩි කරමින් සහ බටයේ විශ්කම්භය අඩු කරමින්  මෙම තුවක්කුව නිර්මාණය කොට ඇත. දැනට සොයාගෙන ඇති දික් තුවක්කුවක් වන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ ඇති The Kings of all Gun නමින් හදුන්වන අලංකාර කැටයමින් යුක්ත දික් තුවක්කුවයි. මෙම තුවක්කු ක්‍රි.ව.1680ට අයත් යැයි ගණන් බලා ඇති අතර දිගින් මීටර 2.1 පමණ වෙයි. මෙවැනි දි තුවක්කු ලබා දුන්නේ ශ්‍රී ලාංකික ස්වදේශික හමුදාවේ දක්ෂතම සොල්දාදුවන්ට පමණය. කන්ද උඩරට සටන් වලදී බොහෝ විට යොදා ගෙන ඇති මෙම තුවක්කු වර්ගය මෙහෙය වීමට ආධාරකයක්ද යොදා ගෙන ඇත. සෙබලුන් සිව් දෙනෙකුගේ පමණ කණ්ඩායමක් දික් තුවක්කුවක් ගෙන කැලෑ වදින අතර සතුරා එන පෙරමඟ තුවක්කුව සූදානම් කරගෙන බලා සිටියි. සතුරු සේනාවේ ප්‍රධානියෙක් තම දර්ශණ පථයට හසුකරගන්නා තුවක්කුකරු තම දික් තුවක්කුව යොදා ගනිමින් වෙඩිල්ල නිකුත් කරයි. මෙවැනි කණ්ඩායම් හතරක් හෝ පහක් එසේ සිදු කරනා අතර සතුරු කණ්ඩායම් මෙම ප්‍රහාරයන්ගෙන් වික්ෂිප්ත වන අතර යුධ පිටියට පැමිණෙන විට ඔවුන් මානසිකව පහතට වැටී සිටියි.



දික් තුවක්කුවක් භාවිතා කරන තුවක්කුකරුවෙකු

ඇමෙරිකාවේ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ ඇති දික් තුවක්කුව 

දික් තුවක්කුවක අනුරුවක් සහ එයට භාවිත කල ආධාරකයක අනුරුවක්




කොඩිතුවක්කු

ලංකාවේ සටන් වලදී සාමාන්‍ය අවි සේම බර අවි ද භාවිතා කොට ඇති බවට සාක්ෂි පවතියි. ඇතැම් වාර්ථා වලට අනුව 16 වන සියවසට පෙර සිටම ලංකාවේ ගිනි අවි භාවිතා වී ඇති අතර එයිනුත් පැරණිතම ගිනි අවිය ලෙස සලකනුයේ කොඩි තුවක්කුවයි. ගාල්ලේ සිට කෙටි දුරකින් ලඟා විය හැකි තුවක්කුගලවත්ත විහාරයේ පර්වතයක කොටා ඇති කොඩි තුවක්කුව එම ස්ථානයේ කොටා ඇති වර්ෂය සොයා ගැනීමට අපහසු වූවද පෘතුගීසී ආගමනයට පෙර සිටම එම ස්ථානය ආරක්ෂක මුරපොලක් ලෙස පැවතීම නිසා පෙරකී නිගමයට එලඹීමටද හැකියාවක් ඇත.

මෙම කොඩිතුවක්කු විවිධ ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර මේවා සැහැල්ලු බර පන්තියේ යුධ අවි විය. සතුරා තමා කරා ලඟා වීමට පෙර හැකිතරම් සතුරාට ප්‍රහාර එල්ල කොට සතුරා තමාට ආසන්න වූ පසු කොඩිතුවක්කුව තම කරමත තබාගෙන ක්ෂණයෙන් පලා යෑමට ඇති හැකියාව මෙහි විශේෂ ලක්ෂණයකි. එසේම එසේම මෙම අවිය ක්‍රියාත්මක කිරීමේදී සෙබලුන් මෙම අවිය අසල හිද තම දෙපා අවියේ පාද දෙකට සිර කරගෙන ක්‍රියාත්මක කොට ඇත. එසේම මෙම කොඩිතුවක්කු ක්‍රියාත්මක කිරීමට විශේෂ සේනාංකයක් පිහිටුවා තිබූ අතර එය කොඩිතුවක්කු සේනාංකය ලෙස හැදින්වුණි.

මෙරටින් හමුවන පැරැණිතම කොඩිතුවක්කුව හමුවන්නේ සබරගමුව පලාතෙන්‍ ය. ඒ රුවන්වැල්ල නගරයේ මැදගොඩ දේවාලයේ ඇති කොඩිතුවක්කුවයි. එම කොඩිතුවක්කුව සීතාවක පලමුවන රාජසිංහ රජු විසින් දේවාලයට පූජා කොට ඇති බව මැදගොඩ දේවාල සන්නසෙහි දක්වා තිබේ. ජනප්‍රවාදයන්ට අනුව මෙය භාවිතා කොට ඇත්තේ දේවාලයේ ශබ්ධ පූජාවන්ටය. මෙම කොඩිතුවක්කුවේ ඇති විශේෂත්වය වන්නේ මෙහි ඇති වෙඩි බෙහෙත් සෘ‍ජුවම දැල්විය හැකි වීමයි. එය අද පවා හොදින් ක්‍රියාත්මක වන අයුරු දැකිය හැකියි.

එසේම 17 වන සියවසට අයත් කොළඹ කෞතුකාගාරයේ ඇති කොඩිතුවක්කුවද විශේෂ එකකකි. මෙම කොඩිතුවක්කුවේ බටයේ ප්‍රමාණයට එහි කට ප්‍රමාණයෙන් තරමක් විශාල වීමය. ඒ අනුව ඉන් නිකුත් වන වෙඩි උණ්ඩ  සතුරු සේනාවන්ට විශාල හානියක් කරයි. එසේම තුවක්කුවේ සමබරතාවයට සහ භාවිතයට යකඩ ද්වීපාදයක් සවි කර ඇති අතර තුවක්කු කද කෙළවර යුරෝපීය නිර්මාණ ශිල්පයකට අනුව නිමවා ඇත. තුවක්කු බටයට ලංවී බැලූ විට “උක්කුරාළ කෝරළේ” නමින් නමක් කොටා ඇති අතර එය මෙම තුවක්කුව භාවිත කල පුද්ගලයාගේයැයි සැලකේ.

එසේම එකල කාලතුවක්කුද භාවිතා කොට ඇතැයි සැලකිය හැකිය. මන්ද ඒ වර්ථමානයේ නෙදර්ලන්තයේ ඇමස්ටඩෑම්හි ජාතික කෞතුකාගාරයේ ඇති “ලෙව්කේ කාලතුවක්කුව” නිසාවෙනි. එම කාලතුවක්කුව එකල සතර කෝරලය භාරව සිටි ලෙව්කේ දිසාව විසින් ශ්‍රී විජය රාජසිංහ රජුට තෑගි දෙන ලදුව පසුව 1765 ලන්දේසීන්ගේ උඩරට ආක්‍රමණයේදී ඔවුන් යටතට ගත් එකකි. පිත්තලෙන් නිෂ්පාදිත මෙම කාලතුවක්කුවට රාත්තල් එකක බර උණ්ඩ නිකුත් කල හැකි අතර මෙහි බටයේ දිග සෙන්ටිමීටර 97.5කි. මෙහි බටයේ අභ්‍යන්තර විෂ්කම්භය සෙන්ටිමීටර 5ක් වන අතර දැවයෙන් කල යුධ කරත්තයක රදවා තිබේ.

මැදගොඩ දේවාලයේ ඇති කොඩිතුවක්කු යුද්ධයේදී භාවිතා කලේයැයි සැලකෙන අයුරු.



මැදගොඩ දේවාලයේ ඇති කොඩිතුවක්කුවේ ආකෘතියක්



කොළඹ කෞතුකාගරයේ ඇති කොඩිතුවක්කුවේ ආකෘතියක්


කොළඹ කෞතුකාගරයේ ඇති කොඩිතුවක්කු යුද්ධයේදී භාවිතා කලේයැයි සැලකෙන අයුරු.


ගාල්ල තුවක්කුගල වත්තේ විහාරයේ පර්වතයක කොටා ඇති කොඩිතුවක්කුවක ආකෘතියක්


ලෙව්කේ කාලතුවක්කුව




අතීත ශ්‍රී ලංකාවේ හමුදාව වනාහි අංගම්පොර සෙබලාගේ සිට කාලතුවක්තු භාවිත කරනා සෙබලා තෙක් විහිදී ගිය පුළුල් හමුදාවක් වන බවත්, විවිධාකාර ගරිල්ලා සටන් ක්‍රම යොදා ගනිමින් තම සතුරා තිගැස්සවූ සෙබළුන් බවත් අප මතක තබා ගත යුතුය. පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය යන විදේශ ආක්‍රමණිකයන්ට කිසිදා සමස්ථ ලංකාවම යුධමය ක්‍රියාමාර්ගයකින් යටත් කරගත නොහැකි වූයේ මෙම අවි ආයුධ කෙරෙහි ශ්‍රී ලාංකීය සටන් කරුවා සතුව තිබූ විශ්මිත දක්ෂතා නිසාවෙනි.

කසුන් සපුමොහොට්ටි

විශේෂ ස්තූතිය - ගාලු උරුමය පදනම.

ගාලු කොටුව සංචාරයකින් සහ අන්තර්ජාලයෙන් උපුටා ගත් කරුණු මත පදනම්ව සකසන ලද්දකි.

 





Post a Comment

0 Comments