ගෙනගියේ ඔබ මුහුදු පතුලට - රැගෙන යා යුතු උන් නොවේ



ඒ පසුගිය මස 29 වනදාවයි. දෙවන වසර හතර වන සෙමෙස්ටර් විභාගය අවසන් වූ දවස වූවත් ඊලඟ දවසේ යෙදී තිබූ ලියෝ සමාජයේ වැඩ කටයුතු කිහිපයක යෙදී සිටින හවස් යාමය විය. එක් වරම මැසෙන්ජර් ඇප් යෙදවුමෙන් පණිවුඩයක් ලැබූ බවට සංඥාවක් ලැබුණි. ඒ ගැන එතරම් තැකීමක් නොකල මා යෙදී සිටි කටයුත්ත සදහා අවධානය යොමු කලේය. වැඩ සියල්ල අවසන් වන විට සවස 6 පමණ වී තිබුණු අතර නැවතත් බෝඩිමට පැමිණි මා ඇගපත සෝදාගෙන ඇදෙහි හාන්සි වූයේ ෆේස්බුක් යෙදුම විවෘත කරගෙනමය. එවිට නෙත ගැටුණු මැසෙන්ජර් පණිවිඩය මා විවෘත කලෙමි.

නෙත්මා නානායක්කාර නම් ගිණුමකින් පණිවිඩය පැමිණ තිබූ අතර එහි සදහන් වූයේ Hi Malli යන්න පමණය. ඇයද Online සිටි නිසා මා Hi යනුවෙන් රිප්ලයි එකක් යැව්වෙමි. එසැනින් ඇයගෙන් මා හට ඇමතුමක් ලැබුණි.

“හෙලෝ කසුන් මල්ලි”

“ඔව් කතා කරනවා. මේ කව්ද?”

“මල්ලි මම නෙත්මා. ඉන්නේ US වල, ඩොක්ටර් කෙනෙක්. මල්ලි මේ වෙලාවේ Busy ද?”

“ආ.....කමක් නෑ කියන්නකෝ අක්කා.”

“මල්ලි මම ඔයාගෙ කතා කියවලා තියෙනවා. මම ආසයි මගේ කතාවත් ඔයාට කියන්න.”

“හරි අක්කේ කියන්නකෝ බලන්න.”

“මෙහෙම නෙවෙයි මල්ලි මම අනිද්දා ලංකාවට එනවා. මල්ලිට මාව හම්බුවෙන්න පුළුවන් කොහේදිද?”

“අක්කේ මට නම් 5 වෙනිදා වෙනකම් හෙල්ලෙන්න බැහැ. රීසර්ච් එකේ වැඩ. මම 6 එන්න හිතන් ඉන්නවා national library එක පැත්තේ එදාට මාව හම්බුවෙන්න පුළුවන්.”

“ආහ් හරි මල්ලි. මට ඔයාගේ නම්බර් එක එවන්නකෝ. මම ලංකාවට ඇවිත් මගේ නම්බර් එක ඔයාට එවන්නම්”

ඇය දෙසැම්බර් පලමුදා ලංකාවට පැමිණ ඇයගේ දුරකථන අංකය එවන ලද අතර දෙසැම්බර් 5වනදා ඇයව විහාරමහාදේවි උද්‍යානයේදී මුණ ගැසුණි. වැඩි වයසක් නොමැති ඇය ක්‍රීම් සෝඩා බෝතලයක් බොමින් ඇගේ කතාව ඇරඹීය.

“මල්ලි මම මේ කියන කතාව ඔයාට සුරංගනා කතාවක් විදිහට පේන්න පුළුවන්. ඔයා කියවලා තියෙන පොත්වල එන ආදර කතාවක් විදිහට පේන්න පුළුවන්. ඒත් මේක මේ කොළඹ අහස යට ඇත්තටම සිද්ධ වෙච්ච කතාවක්. මම සම්පූර්ණ අවසරය දෙනවා ඔයාට මේක ලියන්න. “

“මම නෙත්මා රන්දිනි නානායක්කාර. හුඟක් අය කියන්නේ මට නෙතූ කියලා. ඒත් එයා විතරයි මට රන්දි කියුවේ. ඇගේ මුහුණේ සිහින් සිනාවක් ඇදෙයි. මම ඉස්කෝල් ගියේ කොළඹ විශාඛා එකට. මගේ ලොකුම හීනයක් වුනේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඉතින් සාමාන්‍ය පෙලින් පස්සේ 2001 A/L කරන්න මම තෝර ගත්තේ විද්‍යා විෂයන්. මම පන්ති ගියේ රොටරියට. ඒ කාලේ රොටරියේ physics කරේ අමිත් පුස්වැල්ල සර්. අපි සර්ගේ පන්තියට යන්නේ දුවගෙන ඉස්සරහ පේලිය අල්ල ගන්න. උසස් පෙළ කරන්න අරගෙන අවුරුද්දක් විතර ඔහොම යන කොට තමා මට තිලංක හම්බුවෙන්නේ.”

“තිලංක මල්ෂාන් සූරියබණ්ඩාර තමයි එයාගේ නම. එයා ගියේ කොළඹ රෝයල් එකට. රෝයල් එකේ බයෝ එකේ හිටපු මීටරේ කියලා තමා එයාට එයාගේ යාළුවෝ කියුවේ. ඇත්තෙන්ම එයා මීටරයක් තමා. මල්ලිට කියන්න එයා උසස් පෙළ කරන අතරේ කරාතේ, චෙස්, වගේ ක්‍රීඩා පවා කරා. ඒ වගේම තමා එයා මාර හැන්ඩ්සම්. අපේ කෙල්ලෝ එයාට පිස්සු වැටිලා හිටියේ. “

“ඔහොම යනකොට දවසක් අහම්බෙන් වගේ අපේ තාත්තිට වැඩක් වැටිලා මට බස් එකේ යන්න වුනා. එදා මගේ වෙලාව කියන්නේ මගේ හොදම යාළුවාත් ඇවිත් නැහැ. පන්නිපිටියට යන්න හයිලෙවල් පාර ලඟට වෙලා ඉන්නකොට තිලංක ආවා. ඇවිත් එයාගේ ලස්සන හිනාව දාලා මගේ එහා පැත්තෙන් හිට ගත්තා.”

“ඔයා ගෙදර යන්නද?”

“මම ඇත්තෙන්ම ගැස්සිලා ගියා. “

“ඔව්....නැහැ...ඔව්...අයියේ.” මට කලබලේට කියවුණා.

එයා හිනා වෙන ගමන් ඔව්ද නැද්ද කියන්න හරියට”

“ඔව් අයියේ”

“අයියේ? රන්දි මේ මමත් ඔයාගේ වයසේ හරිද? අයියේ නෙවේ තිලංක කියන්න නැත්නම් තිලා කියන්න.”

“ඔ...ඔ...ඔයා කොහොමද ම..ම..ම.. මගේ නම දන්නේ?”

“ලමයෝ ඇයි මේ බය වෙලා වගේ?”

“ඇත්තටම මම මාර බයවෙලා හිටියේ.”

“නෑ...නෑ...බ...බය වෙලා නෑ...කියන්නකෝ ඔයා කොහොමද මගේ නම දන්නේ?”

“ඔයා නෙත්මා රන්දිනි නානායක්කාර. ඉන්නේ පන්නිපිටියේ දෙල්ගහවත්ත පාරේ. තාත්තා කරන්නේ බිස්නස්. අම්මා ගුරුවරියක්. මල්ලි කෙනෙක් ඉන්නවා. ස්කෝලේ යන්නේ විශාඛා එකට. තව විස්තර ඕනද?”

මම බය වෙලා වගේ තිලංක දිහා බලන් හිටියා.

“ඇයි ලමයෝ මේ?”

“කො...කො....කො....කොහොමද?”

“මම විස්තර දන්නේද?”

මම ඔළුව වැනුවා.

“එහෙම තමයි.තමන්ට වටිනා කෙනෙක් ගැන හොයලා බලන්න ඕනනේ. ඔන්න 138ක් එනවා නඟිමු.” කියලා එයා මගේ අතත් අල්ලගෙන බස් එකට නැගලා තිබුන ෂීට් එකකින් වාඩි වුණා. මම කොයිතරම් බයවෙලාද කියලා හිටියේ කියනවනම් මගේ මුළු ඇගම සීතල වෙලා තිබුණා.

“රන්දි ඇයි ලමයෝ මේ?”

මම තිලංක දිහා බලාගෙන හිටියා ඇස් දෙකත් ලොකු කරගෙන.

“රන්දි මම ඔයාව දැක්කේ පන්ති ආපු මුල්ම දවස් වලමයි. මම එදා ඉදන්ම ඔයා ගැන හෙව්වා. ඔයාට නොදැනෙන්න ඔයාගේ පස්සෙන් ආවා. ඒත් මට හයියක් තිබුනේ නෑ ඔයා එක්ක කතා කරන්න. රන්දි මම ඔයාට කැමතියි. ඔයා මොකක්ද කියන්නේ?”

“මො...මො......මො......කක්ද?” මම ඇත්තටම හිතුවේ මේ හීනයක් කියලා. මම කොච්චර බයේද හිටියේ කියනවානම් මගේ පපුවේ සද්දේ මටම ඇහුණා.”

“මම ඔයාට කැමතියි. ඔයා මට කැමතිද?”

“ම.....ම.....ම....මං?”

“ඔව් ලමයෝ ඔයා තමයි. ඇයි මෙච්චර බයවෙලා.?”

“නෑ...ඔව්...නැ...මේ....මේ.....”

“හරි හරි කලබල වෙන්න එපා. කෝ ඇස් දෙක වහගෙන හිමීහිට හුස්ම ගන්න. කෝ කරන්න. ඇස් වහ ගන්න.හ්ම් දැන් හුස්ම ගන්න.දැන් පහතට දාන්න. හ්ම් ආපහු උඩට පහලට උඩට පහලට

ඒ විදිහට විනාඩි පහක් විතර කරද්දි මගේ හිතේ කලබල ගතිය අඩු වුණා. ඒ අතරේ තිලංක මටත් එක්ක ටිකට් අරන් තිබ්බා.”

“හ්ම් හරි මම අහපු ප්‍රශ්ණයට කල්පනා කරලා කියන්නකෝ.”

“හා...හා...හ...හරි අයියා. සොරි තිලංක”

“හ්ම් මම කියන්නම්කෝ මම ගැන. මම තිලංක මල්ෂාන් සූරියබණ්ඩාර. රෝයලිස්ට්. ඉන්නේ කොට්ටාව ධර්මපාල ස්කෝලේ ගාව. තාත්තා ආමි එකේ බ්‍රිගේඩියර්. දැන් හෙඩ් ක්වාර්ටස් වැඩ කරන්නේ. මගේ අම්මාත් ටීචින් කරන්නේ. මට අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. දැනට ඒ ඇතිනේ.”

එයා එයාගේ අර ලස්සන හිනාව දාන ගමන් කිව්ව හැටි මට තාමත් මතකයි. එතකොටම කොන්දොස්තර “පන්නිපිටිය බහින්න පන්නිපිටිය. “

“රන්දි දැන් බහින්නකෝ. පරිස්සමින්. මේ බ්‍රහස්පතින්දා රිවිෂන් එකේදී හම්බුවුනාම කියන්නකෝ ඔයාගේ උත්තරේ.”

“මම ඊලඟ දවස් හතරම කල්පනා කරේ මොකක්ද තිලංකට කියන්නේ කියලා. කොහොම හරි බ්‍රහස්පතින්දා උදේම මාව රොටරි එක ගාවින් බස්ස ගත්තා. ටික වෙලාවක් යද්දි තිලංකත් ආවා.”

“ගුඩ් මෝනිම් රන්දි. කොහොමද?”

“ගුඩ් මෝනිම් තිලංක. හොදයි ඉතිං.”

“ඉතිං. කල්පනා කරාද?”

“ඔව් තිලංක මම කල්පනා කරා. මමත් ඇත්තෙන්ම ඔයාට ගොඩක් කැමැතියි. හැබැයි එක කොන්දේසියක් උඩ.”

“මොකක්ද?”

“විභාගයට තව මාස 6යි නේ. මේ මාස හයේදී පිස්සු නටන්න බැහැ. හොදට පාඩම් කරන්න ඕන. මට කොහොම හරි මෙඩිකල් යන්න ඕන. ඒක නිසා අපි මේ මාස හයෙන් පස්සේ එෆෙයාර් එක පටන් ගනිමුද?”

“ෂුවර්. මටත් ඕන මෙඩිකල් යන්න තමයි.

“හරි එහෙනම් බායි” කියලා පොත් ටිකත් තුරුළු කරන් මම දූවලා පන්තියට ගියේ ලැජ්ජාවට.” ඇගේ මුහුණේ සිහින් හිනාවකි.

“එදා හවසත් අපි දෙන්නා බස් එකේ ගියේ මොකද මම තාත්තාට කියලා ආවේ මම බස් එකේ එන්නම් කියලා. අපි විස්තර කතා කර කර යනකොට තිවංක එක සැරේට,

“මොකද කියන්නේ ඔට්ටුවක් දාමුද?”

“මොකක්ද ඒ?” මම ඇස් දෙක ලොකු කරන් ඇහුවා.

“මෙදා සැරේ ක්ලාස් එකේ එක්සැම් වල වැඩිම ලකුණු ගන්න ඕනා අපි දෙන්නා විතරයි. එහෙම බැරි වුනොත් රුපියල් සීයක් ගෙවන්න ඕන.”

ඒ කාලේ රුපියල් සීයක් කියන්නේ ලොකු ගාණක්.

“හරි ඔට්ටුයි.” මමත් හිනා වෙවී කියුවා.

“එදා ඉදන් විභාගය තිබ්බ මාසය වෙනකම් තිබ්බ හැම විභාගයකම වැඩිම ලකුණු ගත්තේ අපි දෙන්නා විතරයි. ඒ වගේම විභාගෙත් ලේසියෙන්ම ගොඩ දාගන්න අපිට පුළුවන් උනා. ඒ එයා දිස්ත්‍රික්කයේ 3 වෙනියා විදිහටත් මම දිස්ත්‍රික්කයේ 4 වෙනියා විදිහටත්. 2003 දී අපි කොළඹ වෛද්‍ය පීඨයට එකට ඇතුල් වුණා. ෆස්ට් ඉයර් එක ඉවර වෙනකොට අපිට ගෙවල් වලිනුත් කැමැත්ත ලැබුනා. අපි හරිම සතුටින් ආදරයෙන් ජීවත් වුණා.

“මල්ලිත් ඉතිහාසයට හරි ආසයි නේද? එයත් හරිම ආසයි. දන්නවද අපි යාලුවෙලා මුලින්ම ගියේ කොහේද කියලා?” මා දෙස සිහින් සිනහවක් පාමින් ඇය විමසීය. මම “නැත” යනුවෙන් ඔලුව සෙලෙව්වෙමු. “ අපි මුලින්ම ගියේ කෞතුකාගාරයට.” ඇය සිනා සෙමින් කියයි. “ කව්ද නේද තමන්ගේ කෙල්ල යාලු වුනාට පස්සේ මුලින්ම කෞතුකාගාරයට යන්නේ නේද? ඒත් මගේ තිලංක එහෙම නැහැ. එයා වෙනස්”

ඇය මෙතෙක් වේලා බටයෙන් කලත්තමින් සිටි ක්‍රීම් සෝඩා බෝතල එක හුස්මට ඉවර කර දැමීය.

මා මෙතෙක් වේලා හිතේ හිරකරගෙන සිටි ප්‍රශ්ණය මෙවේලේ ඇගෙන් විමසුවෙමි.

“ඉතිං අක්කේ දැන් අයියා කෝ?”

ඇය මගේ දෙස බලා සිටියේය. ඇගේ දෑසින් කදුළු කැට එක දෙක වැටෙන්නට පටන්ගත්ම ඇය මේසයට මුහුණ හොවාගෙන හඩන්නට වුණි. මා විශාල වශයෙන් ඒ අවස්ථාවේ අසරණ වූයේ එයට හේතුව නොදැනීම සහ වට පිටාවේ මිනිසුන් අප දෙස විශේෂයෙන්ම බලමින් යන්නට වූ නිසාය. නමුත් මා ඇයට හඩන්නට ඉඩ දුණි. විනාඩි 15ක් පමණ හැඩූ ඇය රතු වූ දෑසින් යුතුව නැගිට්ටාය. මල්ලි යමුකෝ කාර් එකට කියමින් ඇයගේ මෝටර් රථය දෙසට යන්නට වුණි. මාද ඇය පසුපසින් ගොස් රියට නැගි වහාම ඇය රිය ධාවනය කරන්නට විය.

“මල්ලි එයා මාව දාලා ගියා මල්ලි.”

“ඔයාව දාලා ගියා? ඇයි ඒ?”

“ඔය ඉස්සරහ කැබින් එකේ ෆයිල් එකක් ඇති. ඒකේ හේතුව ඇති. බලන්නකෝ.”

මම ඉදිරිපිට තිබූ කැබිනයේ ඇති ෆයිල් කවරය ඉවතට ගෙන එය විවර කලෙමි.

එහි තිබුනේ මරණ දැන්වීමකි.

 

අනිච්ඡාවත සංඛාරා

හදිස්සියේ අප අතරින් වෙන් වූ තිලංක මල්ෂාන් සූරියබණ්ඩාර තරුණ මහතාට නිවන් සුව ලැබේවා!

එහි මැද කඩවසම් තරුණයෙකු සිනා සෙමින් සිටියේය.

 

“අක්කේ........මේ......මේ......මේ.......”

“ඔව් මල්ලි ඔය ඉන්නේ මගේ තිලංක. එයා මාව දාලා ගියා.” නැවතත් ඇගේ ඇස් වලින් කදුලු කැට කඩා වැටෙයි.”

අප ඒ වන විට ගාලු මුවදොර පිටිය අසලට ලඟා වී සිටියෙමු. වාහනය නැවතු අප අසල තිබූ බංකුවක වාඩි වුණෙමු. ඇය නැවතත් කතාව ඇරඹුවේය.

“ඒ සෙකන්ඩ් ඉයර් එකේ වැකේෂන් එක. 2004 දෙසැම්බර්. එයා එයාගේ ස්කෝලේ යාලුවෝ වගයක් එක්ක නත්තලට පස්සේ දවස පෝය දවසේ 26 වෙනිදා ගාල්ලට ට්‍රිප් එකක් දාගෙන තිබ්බා. එදා එයාව කොළඹ කොටුවට දාන්න එක්කන් ගියෙත් මමයි වාහනෙන්. එදා එයා ඇදන් ගියේ වම් පැත්තේ දිග අතට ඉරි දෙකක් තියෙන සුදු පාට ශර්ට් එකක්. එයාගේ අතේ මම අරන් දුන්න සිල්වර් කලර් වොච් එක තිබ්බා. ටිකට් අරගෙන මමත් ඇතුලට ගියේ එයාව කෝච්චියෙන් යනකන් බලන් ඉන්න. උදේ 7.12ට හරියටම කෝච්චිය පිටත් වුණා. මොකද මම ඒ වෙලාවේ මගේ මොටරොල්ලා රේසර් ෆෝන් එකෙන් වෙලාව බැලුවා. තිලංක මාව නොපෙනී යනකන් කෝච්චියේ වීදුරුවෙන් බෙල්ල එලියට දාලා මට අත වන වන ගියා. ඒත් කවුද දෙයියනේ දන්නේ ඒ මගේ තිලංක දකින අවසන් වතාව කියලා. මම ගෙදර ඇවිත් ටික වෙලාවකින් මගේ හොදම යාලුවෙක් වුණු කල්පනා මට කෝල් කරා.”

“මේ නෙතූ උඹ නිව්ස් එක දන්නවද?

“මොකක්ද බං?”

“මුහුද ගොඩ ගලනවාලු බං.”

“අනේ පලයන් බං යන්න බොරු කියන්නේ නැතුව. ඇයි මොකද උඹට විහාර මහා දේවි වෙන්න හිතුනද?”

“මෝඩියේ ටීවි එක දාලා බලපන්.”

මම අම්මටයි තාත්තටයි කෑගහගෙනම  දූවගෙන ගිහින් ටීවී එක දැම්මා. අම්මා තාත්තත් ආවා ඒ එක්කම.

“මෙන්න විශේෂ පුවතක්. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මුහුද ගොඩ ගලනා බවට අපගේ ප්‍රවෘත්ති අංශයට දැනගන්න ලැබෙනවා...”

“මම ඉක්මනට දූවගෙන ගිහින් තිලංකට කෝල් ගත්තත් එයා අන්ස්වර් කරන්නේ නැති තැන මම එයාලගේ ගෙදරට ගත්තා. එයාලගේ අම්මත් එයාට ගන්න උත්සහ කරත් ගන්න බැහැ කිව්වා. ඒ එක්කම ෆෝන් වල සිග්නල් නැති වුණා. මම පහලට වෙලා ටීවි එක බලන කොට මගේ ඔලුව කවුරු හරි අතගානවා වගේ දැනිලා හැරිලා බැලුවත් කවුරුත් හිටියේ නැහැ. පිටිපස්සේ ඔරලෝසුව 9.40 නතර වෙලා තිබුණා. මෙහෙම ප්‍රවෘත්ති බලනකොටයි මම දැනගත්තේ මාතරට ගිය කෝච්චියක් පැරෑලිය කියන හරියක පෙරළිලා කියලා. මට කෑ ගැස්සුණා මල්ලි. මම අම්මටයි තාත්තටයි කියලා ඉක්මනට අම්මිගේ කාර් එක ඩ්‍රයිව් කරගෙන තිලංකලාගේ ගෙදර ගියා. තිලංකලාගේ අම්මත් අඩනවා. තිලංකලයි තාත්තා එයාගේ සැටලයිට් ෆෝන් එකෙන් තොරතුරු ගන්න ගමන් හිටියා.”

“තිලංක ගැන කිසි ආරංචියක් නැතුව මුළු රැයක් ගෙවිලා ගියා. ඊට පස්සේ දවසේ පාන්දරම අපි ආමි ජිප් එකකින් කරාපිටිය රෝහලට ගියා. එදා මල්ලි මම ඇත්තෙන්ම දැක්කා මිහිපිට අපාය. මගේ යාලුවෙක් රුහුණු මෙඩිකල් හිටියා. එයත් මමත් එක්ක ආවා. ඇවිත් මට තිලංකව හොයන්න උත්සහ කරා. රෝගී අංශ වල බැලුවත් හිටියේ නැහැ. හිතේ ලොකු වේදනාවකින් ආපහු යන්න හැදුවා අපි නිකමට මෘත ශරීර බලන්න ගියේ අඬ අඬ. ඒත් එතන තිබ්බේ නැහැ. අපි යන්න හදද්දි තව ට්‍රැක්ටරයක් ආවා මෘත ශරීර පුරවාගෙන. මම මෘත ශරීර කියන්නේ මල්ලි ඒත් මිනිස්සු නිසා. ඒ ට්‍රැක්ටරයෙන් මෘත ශරීර එකින් එක පිටතට ගනිද්දි අන්තිමට ගත්ත එක දැකලා මට කෑගැස්සුණා.”

“මල්ලි. ඒ... ඒ.... ඒ..... හිටියේ මගේ තිලංක. මුළු ඇගම මඩවලින් ලේවලින් නෑවිලා, හුඟක් වතුර පෙවිලා නිසා  නිල් පාට වෙලා. එයාගේ අතේ මම අරන් දුන්න වොච් එක තිබ්බා.  මට මතක මම අඩාගෙන එයාව බදාගන්න එක එච්චරයි මල්ලි ඊට පස්සේ මම නැගිටිද්දි මම හිටියේ ඉස්පිරිතාලේ ඇදක් උඩ. මම දවසක්ම සිහි නැතුව ඉදලා. තිවංකගේ බොඩි එක තාත්තාගේ සම්බන්ධතා වලින් කොළඹ ගෙනල්ලා. මම ඇඩුවා මල්ලි. තිවංකගේ අම්මා මගේ අම්මා එයාගේ මගේ සහෝදර සහෝදරියෝ මාව සනසවලා මල ගෙදරට එක්කන් ගියා. වෙනදා මම දැක්ක්ම පොඩි එකෙක් වගේ මම ලඟට දුවලා එන තිවංක එදා සුදුපාට ඇදුමකින් සැරසිලා පෙට්ටියක හෙල්ලෙන්නේ නැතුව හිටියා. මම නොකා නොඹී ඇඩුවා මල්ලි. ඒත් අපේ බැජ් එකේම කොල්ලොන්ගේ කරෙන් එයා යන්නම යන්න ගියා මල්ලි.”

ඇය හඩමින් කතා කරයි. මමද වික්ෂිප්ත වී ඔහේ බලා සිටියේ මේ කුමක් වූවාදැයි සිතා ගැනීමටවත් නොහැකිවය. ඉකිය මැදින් ඇය නැවත කතාව ආරම්භ කලාය.

“මම මාස දෙකක්ම හරි කෑමක් නැතුව ඔහේ අඩ අඩ හිටියා. මම අන්තිමේදී ගොඩක් දුර්වල වෙලා ICU ඇතුල් කරා. එහෙම ඉද්දී දවසක් තිවංක මගේ ලඟට ඇවිත් මට එයා වෙනුවෙන් හොදට ඉගෙන ගන්න, එයා වෙනුවෙන් තවත් කල් ජීවත් වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මම එයා වෙනුවෙන් ඕන දෙයක් කරන්නම් කියුවා. ඊට පස්සේ එයාගේ ලස්සන හිනාව දාලා මගේ ඔලුව අතගාලා එයා ගියා. මම ඊලඟ දවසේ ඉදන් එයා වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගත්තා, එයා වෙනුවෙන් මගේ හිත හයිය කරන් වෛද්‍යවරියක් වුණා. මම තාමත් එයා වෙනුවෙන් ජීවත් වෙනවා. එයා වෙනුවෙන් ඉගෙන ගන්නවා.එයා වෙනුවෙන් පිංකම් කරනවා.”

මල්ලි දන්නවද මමයි තිලංකයි මිඩ් සෙමෙස්ටර් එක ඉවර වෙලා අනුරාධපුරේ ගියා. අනුරාධපුර ශ්‍රී මහා බෝ හාමුදුරුවෝ ඉස්සරහ වාඩි වෙලා ඉදිද්දී මම ඇහුවා

“ඔයාට මට කලින් මේ ලෝකෙන් යන්න වුනොත් මොකද කරන්නේ”

 කියලා . එතකොට එයා කියපු දේ දන්නවද?

 “හදිස්සියේවත් එහෙම වුනොත් ඔයත් එනකන් මම ඔයාව ආරක්ෂා කරගෙන ඉන්නවා.”

මම ලගදි දවසක හොයා ගත්තා තිවංක ගිය කෝච්චියට දෙවන රැල්ල වැදුනේ 9.40ට විතර බව. එදා මගේ ඔලුව අත ගෑවේ තිවංක. එයා තාමත් මගේ ලඟින්, මාව ආරක්ෂා කරමින් ඉන්නවා මල්ලි. මට ඒක දැනෙනවා.”

ඇය ඇගේ කතාව අවසන් කොට මුහුද දෙස බලා සිටියේය. මාද බොඳ වූ දෑසින් මුහුද දෙස ඔහේ බලාගෙන සිටියදී එෆ් එම් දෙරණ සුසර කර තිබූ තැනකින් මේ ගීය මාගේ දෙසවනට වැකුණි.

“යදම් බිදගෙන උදම් රළ පෙල

රකුසු වෙස් ගෙන ගියා බිම් පෙරලා

ගෙනගියේ ඔබ මුහුදු පතුලට

රැගෙන යා යුතු උන් නොවේ....

රැගෙන යා යුතු උන් නොවේ..........”

 

කසුන් සපුමොහොට්ටි

කල්පිතයත් සත්‍යත් අතර මැද තැනක සිට සුනාමියෙන් ජීවිත අහිමි වූ දහසක් දෙනා වෙනුවෙන් ලියූවකි.

 

 

Post a Comment

0 Comments