ඒ ජනතා විමුක්ති පෙරමුණේ දෙවන නැගිටීමෙන් පසු සමයයි. දරුණු මර්ධනයකින් පසු සිර කඳවුරු නැවත විශ්ව විද්‍යාල බවට පත් කොට තිබුණි. නිදහස් අධ්යාපනය උදෙසා සටන් වැද මියගිය තම සිසු සොහොයුරන් සිහි කරමින් ජගත් ගාමිණි මාවතගම සහ තිලක් පුෂ්පකුමාර නම් විශ්ව විද්යාල ශිෂ්යයින් දෙදෙනා ජයවර්ධනපුර සරසවියේ තෙල් බැම්මේ සේපාලිකා ගස් වියන යට වාඩි වී සිටියේය. එම වසරේ එනම් 1992 නොවැම්බර් 12 දිනට යෙදී තිබෙන රෝහණ වීරසූරිය අනුස්මරණය වෙනුවෙන් ගීයක් ලිවීමට තිලක් පුෂ්පකුමාර සිසුවාට පැවරී තිබූ අතර උදේ පාන්දර සේපාලිකා ගස් මුදුන් වලින් වෑහෙන පිනි බිදු ඔවුනගේ හිස මතට වැටුනද ඔවුන් තම විරු සොහොයුරන් කෙරෙහි කල්පනාවක නිමග්නව සිටියේය. පද්මසිරි ත්රිමාවිතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලුරේ, සිසිර කීර්ති ජයවර්ධන, උදේනි බන්දුල දිසානායක, මච්චාගම සේනාරත්න, කුමාර කුලතුංග වැනි සියලුම ඉදිරිපෙළ ශිෂ්‍ය නායකයන් රජයේ අදිසි ඝාතන හස්ත විසින් බිලිගත් අයුරු, තමන්ගේ සමකාලීනයන් අතුරුදහන් වූ අයුරු ඔවුන් ඉදිරියේ මැවෙන්නට විය.
මේ අතරේ තිලක් පුෂ්පකුමාර තරුණයා තම සටහන් පොත එලියට ඇද ගත්තේය. ඔහු එහි ලියන්නට සූදානම් වද්දීම සේපාලිකා ගසින් රෑරා වැටුනු පිනි බිදුවකින් ඔහුගේ සටහන් පොත තෙමී ගියේය.
“මේ වැටෙන්නේ ඔවුන් වෙනුවෙන් කඳුලු නොවේද?”
ඔහුට සිතුණි. ඔහු තම සටහන් පොතේ තම කවිය මෙසේ ආරම්භ කලේය.
“ලපලු අගින් පිණි පබළු කදුලු සළලා
සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා
නිරුවත් දණහිස හී සර පහර වැදී
මලගිය මලිගිය මානව කැකුලක
කතාව අහපන් සිත නිරුවත් කර
කතාව අහපන්නේ”
මේ වැටෙන්නේ පිණිබිදු නොවේ. මේ සැලෙන්නේ තාරුණයේ කදුලුය. තවමත් හිරිමල් වියේ පසුවන ඔවුන්ගේ සුසුම් ඔබට හඬගා කියන්නේ සියල්ලන් වෙනුවෙන් නැගී සිට ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවූ ඒ නොපිපුණු එහෙත් සුවද හමන පිච්ච මල්වල කතාවය. ඔබේ හදවතේ විවිධ මත තිබීමට පුලුවන. නමුත් ඒවා පසෙක දමා සිත සම්පූර්ණයෙන් නිදහස් කරගෙන ඔවුන් කියනා මේ කතාව අසන්න.
“අයුක්තියේ පට පිලීබරණ ඇඳි
සිඟාළයන් නිරුවත් කළ වරදට
දේශන ශාලා
සිරකඳවුරු කර
අසත්‍යයේ මළගම
සරසන්නට
නුඹගේ මළගම
සඳකඩ පහනකි”
ඔවුන් කල වරද කුමක්ද? අයුක්තිය නම් රෙදි කඩින් සිය නිරුවත වසා ගෙන සිටි සිඟාලයන නිරුවත් කිරීමද? එය වරදක්ද? අසත්‍යය අයුක්තිය ඉදිරියේ තරුණයා දණ නමාගෙන සිටිය යුතුද? නමුත් ඉහත කී සිඟාලයන්ට අනුව ඔවුන් එසේ සිටිය යුතුය. එසේ නොසිටීමේ වරදට දඩුවම වූයේ වදකාගාර බවට පත්වූ තම විශ්ව විද්‍යාලීය දේශණශාලා වල බිම තම ලෙයින් තෙත් කිරීමටයි. තම දිවියේ අවසන් සුසුම් පොද වදකාගාර තුල දී ගුවනට මුසු කිරීමටයි. නමුත් ඔවුන්ගේ ඒ ජීවිත පරිත්‍යාගය අසත්‍යයේ මලගම සරසන සඳකඩ පහණක් වනු ඇත. යම් දිනක අසත්‍යයේ මලඟමට ගොඩ වෙන්නා වූ සෑම දෙනාම එයට ගොඩ වන්නේ ඔවුන් ජීවිත පරිත්‍යාගයන් ඇතුලත් සඳකඩ පහන හරහාය.
“එදා ඔබේ මුදු
වතින් ගලාගිය
රුහිරු සුවඳ
පැන් ලෙසින් දොවාගෙන
සිංහ නාද
දී ගිජිඳු නසන්නට
ඔබේම මාවත
පියමැන යන්නට
සුවහස් මල්
තව සරසවි බිම
ඇත”
පෙර දිනයන්
වල පරාල ඇණ
ගැසු, විදුලිය වැද්දු,
ධර්මචක්‍රයේ ගැසූ ඔබගේ
ශරීරයෙන් ගලා ගිය
ඒ රුධිරය අප
සුවද පැන් ලෙස
දොවා ගන්නෙමු. ඒ
සුවද පැනින් ප්‍රාණවත් වූ අප අයුක්තිය නම් ඇතා විනාශ
කර දමන්නට සිංහයන් මෙන් මහා නද
දෙමින් ඔබ පියමැන
ගිය ඒ මාවතේම
පියමැන එන්නෙමු. අපගෙන්
පසුවද ඔබ ගිය
මාවත පියමැන එන්නට
තවත් බොහෝ තාරුණ්‍යය මේ සරසවි බිම
තුල ඇත්තා සේම
අනාගතයේද තිබෙනු ඇත.
තම නෙතගට
නැගුණු කදුල පිසදා
ගත් තිලක් පසුව
මෙම කවිය 1992 නොවැම්බර් 12 රෝහණ වීරසූරිය අනුස්මරණය වෙනුවෙන් ඉදිරිපත් කලේය. පසු කලෙක සුනිල් පුෂ්පකුමාරයන් විසින් තනු යෙදූ මෙය අද වන විට සමස්ත විශ්ව විද්‍යාලීය ප්‍රජාවගේ ගීය බවට පත් වූ අතර අදටද මෙය වාදනය වන විට විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයෙකුගේ සේම එසේ නොවනා කෙනෙකුගේ පවා ඇගේ රෝම කූප පවා කෙලින් වනු මා සියැසින් දැක ඇත.
“අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා - වෙනුර ගිය පාරේ
අපි යන්නේ කොයි පාරේ නිෂ්මි - බාලේ ගිය පාරේ
අපි යන්නේ කොයි පාරේ ජනක - සිසිත ගිය පාරේ
අපි යනේ කොයි පාරේ - විරු සිසුවන් ගිය පාරේ”
පලි.
අද වන විට විශ්ව විද්‍යාලිය ප්‍රජාව ත්‍රිමා වෙනුර ගිය මාවතට වඩා වෙනස් මාවතක ගමන් ගන්නා බව පෙනේ. උපායශීලී සටන් වෙනුවට මරාගෙන මැරෙන සටන් මාවතක් කරා එය ඇදී ගොස් ඇති අතර ඇතමෙක් උප සංස්කෘතිය නාමයෙන් ත්‍රිමා වෙනුර විකුණාගෙන කයි. ත්‍රිමා වෙනුර හදාරාවත් නොමැති අය උප සංස්කෘතිය නම් තිරයට මුවා වී සිය චණ්ඩි කම් පෙන්වයි. විශේෂයෙන්ම ජ'පුර තෙල් බැම්ම හා බැදි කරුණු සෙවීමට මා සම්බන්ධ කරගත් අයෙකුට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයෙකුයැයි කියා ගන්නා කෙනෙකු බැන වැදී තිබුනේ “තොට පිස්සුද අපේ උප සංස්කෘතිය එලියට දෙන්න” යනුවෙනි. සිසු විරුවන් අයිති එක් ප්‍රජාවකට නොවේ. ඔවුන් අයත් වන්නේ සමස්ත රටටමය. මන්ද ඔවුන් තම දිවිය පුද කලේ රට වෙනුවෙනි.
විශේෂ ස්තූතිය-
තිලක් පුෂ්පකුමාර මහතාට සහ ජගත් ගාමිණි මාවතගම මහතාට
0 Comments