ඇතුගල අහස

 



මම කුරුණෑගල ටවුන් එකෙන් බහින කොට වෙලාව රෑ 7ට විතර ඇති. අවුරුදු නිවාඩුවත් අල්ලලා මේ පාර නිවාඩු ගත්තේ පවුලේ අයත් එක්ක ටිකක් ඉන්න ඕන නිසා. බස් එකෙන් බැහැලා වට පිට බලද්දි තාත්තා කාර් එකෙන් ඇවිත් හිටියා මාව ගෙනියන්න. මම බෑග් එකත් උස්සගෙන තාත්තා ලඟට ගියා.

තාත්තා ඇවිත් හුඟක් වෙලාද?

නෑ පුතා. අද කඩේ මිනිස්සුන්ටත් අවුරුදු නිවාඩු දුන්නා. ඒක නිසා රෑ වෙනකන් කඩේ හිටියා. පුතා කෑම්ප් එකෙන් එන කොට කෝල් කරපු නිසා මම ටික වෙලාවකට කලින් මෙතනට ආවා.

හ්ම්ම්ම්ම්...කෝ අජිත් මම ඇහුවේ තාත්තාගේ ඩ්‍රයිවර් පේන්න හිටියේ නැති නිසා.

“අජිතුත් වේලාසන ගෙදර යැව්වා පුතා. පව් නේ ඒ මනුස්සයත් පවුලේ අයත් එක්ක වැඩිපුර වෙලාවක් ඉන්න ආස ඇතිනේ. කෝ දෙන්න බෑග් එක මම ඩිකියට දාන්න.”

“තාත්තා ඩිකිය ඕපන් කරන්නකෝ. මම දාන්නම්” කියා බෑගය කරට ගත්තේ එය ඉතා බර නිසාවෙනි.

බෑගයද ඩිකියට දමා මා ඩ්‍රයිවර් අසුනේ හිද වාහන නිවස දක්වා ගමන් කිරීම ඇරඹුවේය. දඹුල්ල පාරේ ටික දුරක් ගිය විට මාර්ගය අයිනේම ඇති අපගේ නිවසට වාහන දමා බසිනවාත් සමඟ මාගේ බාල නැගනිය දිව විත් මාගේ කරේ එල්ලුණි.

“පොඩි දුව අයියගේ කරෙන් බහින්න. මහන්සි වෙලා එන ලමයට ඉන්න දෙන්නේ නෑ.” නංගීට ඒ ගෝරනාඩුව දමන්නේ මාගේ අම්මාය. මා පොඩ්ඩිව පැත්තකින් තබා දිව ගොස් අම්මාව බදා ගතිමි.

“ආ.....මෙන්න නාකි හුරුතල්” ඒ පොඩ්ඩිය.

“අනේ යනෝ යන්න. අම්මා මගේ.”

“ඉතිං මට මොකෝ තියාගන්න එකනේ ඇත්තේ.” ඇය බොරු අමනාපයක් මවා පාමින් කියයි.

“හා හා දෙන්නා රංඩු කරන එක නවත්තන්න. තුන්දෙනාම මගේ හරිනේ.” අම්මා මාගේ ඔලුව අතගාමින් පවසයි.

“කෝ අම්මා ලොකූ?” වෙනදාට මා අසලට දිව එන ලොකු නංගි දැකීමට නොමැති වූ නිසා මා අම්මාගෙන් විමසීමී.

“ඔය පවනිලාගේ ගෙදර ගියේ. මම කියුවේ නෑ ඔයා එනවා කියලා. දැන් හෙට ආවම කඩාගෙන පනියි.” “හ්ම්ම්...හ්ම්ම්...යන්කෝ කට්ටියම ගේ ඇතුලට.” කියූ තාත්තා අම්මා සමඟ ගේ තුලට යන්නට හැරුණි.

ඩිකියේ තිබූ බෑගය ගත් මා එහි වූ චොකලට් පාර්සලය පොඩ්ඩිට ලබා දී ඇග සෝදාගෙන පැමිණ අම්මාට කියා බත් පිඟානක්ම කවා ගත්තේය. ඉන්පසු ටික වේලාවක් ඔවුන් සමඟ කතා කරමින් සිට නින්දට ගියේ හෙට උදෑසන පොඩ්ඩිව උසස් පෙල පන්තියට ඇරලවන බවට පොරොන්දු වීය.

සෑමදා පුරුද්දට මෙන් පාන්දර ඇහැරුණු මා ව්‍යායාම කොට ඇග සෝදාගෙන එන විට උදෑසන 6 පමණ වී තිබුණි. නිවසේ වැඩට සිටි සුමනම්මා ලෑස්ති කොට තිබූ තේ එක බී මාගේ යමහා FZ වර්ගයේ යතුරු පැදිය ගෙන අසල තිබූ ඉන්ධන පිරවුම් හලෙන් තෙල් ගසාගෙන ලොකූගේ මිතුරිය වූ පවනිගේ නිවස අසලට යන විට උදෑසන 7 පමණ වී තිබුණි. නිවසේ ගේට්ටුව ලඟ සිට ලොකූට ඇමතුමක් ගත්තේ ඇයව පුදුම කිරීමටය.

“හෙලෝ ලොකූ ගුඩ් මෝනිම්”

“ගුඩ් මෝනිම් සුදු අයියේ. ඇයි මේ උදේ පාන්දරින්ම.”

“දැන්ද නැගිට්ටේ? කොහේද ඉන්නේ?”

“ඔව් සුදු අයියේ මම පවනිලාගේ ගෙදර ආවා. අද ඩියුටි නැද්ද?”

“පොඩ්ඩක් එලිය බලන්නකෝ මම කරන ඩියුටිය බලන්න.”

ඉහල මහලේ ජනේල් රෙද්ද මෑත් වී ලොකු පාර දෙස බලනවා දුටු මම සිනහා වී අත වැනුවෙමි.

“සුදු අයියේ .........”ඇය කෑගසනා හඩ දුරකථනයෙන් ඇසුනේය.

 “හා හා දැන් ගාල කඩාගත්තා වගේ දුවගෙන එන්න එපා. ඇදුමක් දාගෙන එන්නකෝ ගෙදර යං.”

“හරි ඉන්න සුදු අයියේ මම එන්නම්”

ඇය විනාඩි දහයකින් පමණ එලියට පැමිණි අතර යතුරු පැදියට නැගි මොහොතේ සිටම ඇය මට බැන බැන සිටියේය.

“එනවා කියලා කියුවෙවත් නෑ. අපි කවුද නේ?” දහසක් බැනුම් ඇසුවද ගෙදර පැමිණ ඇය වෙනුවෙන් තැබූ චොකලට් පාර්සලය පෙන්වූ ගමන් ඇයගේ කට නැවතුණි.

උදෑසන කෑම කා පොඩ්ඩිව රැගෙන 9ට පමණ ඇයගේ පන්ති පැවැත්වෙන සිප්වින් ආයතනය වෙත රැගෙන ගියෙමි.

මුස්ලිම් පල්ලිය පසු කරනා විටම යතුරුපැදියේ වේගය අඩුවී වැව ඇති පැත්ත බැලුනේ පුරුද්දට මෙනි. පපුව හරහා සිහින් විදුලියක් යනවා සේ දැනුනි.

“සුදු අයියේ.” ඒ පොඩ්ඩිය

“ම්ම්ම්ම්ම්”

“ඒවා අතීතය අයියේ. ඔයා මට පොරොන්දු වුනානේ ඒ අතීතය අමතක කරනවා කියලා. ඇයි තාමත් විදවන්නේ.”

පොඩ්ඩිත් මාත් පමණක් දන්නා ඒ අතීතය අමතක කරනා බවට පොරොන්දු වූයේ මීට වසර හතරකට ඉහත ඇතුගල බැස්ස දවසකය.

“සමහර මතක තියෙනවා පොඩ්ඩො ඒවා අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැරි. ඒත් මම දැන් විදවන්නේ නෑ.”

“හ්ම්ම්ම්ම්ම්”

“අයියේ වැව පැත්තේ ගිහින් ඔය හිතේ තියෙන ඉතුරු බරත් අයින් කර ගන්න.” ඇය ඇතුගල පාමුල ඇති සිප්වින් ආයතනයෙන් බැස මාගේ අතට හෙල්මෙට්ටුව දෙන අතරවාරයේ පැවසුවාය.

“හ්ම්ම්ම්ම්. බලමුකෝ පොඩ්ඩෝ” කියමින් ඇයට සමුදුන් මා ඇය පන්තියට යනතෙක් බලා සිටියෙමි.

නැවතත් දඹුල්ල පාරට දමා මුස්ලිම් පල්ලිය ලඟින් හරවා වැව රවුමේ එක් තැනක යතුරුපැදිය නතර කෙරුවෙමි. කහ මල් වැටී ඇති බංකුවක වාඩි වී ඈතින් පෙනෙන ඇතුගල බුදුරුව දිහා බලාගෙන අතීතයේ දවස් වෙත පියවර නැගුවෙමි.

මම නමින් පමෝද් ජයසූරිය ය. කුරුණෑගල නඟරයේ ප්‍රසිද්ද අවන්හල් ජාලයක් වන තාලිය අවන්හල් ජාලයේ හිමිකරු වික්‍රම ජයසූරිය මාගේ පියා විය. තරමක ධනවත් පවුලකින් පැවත ආවද මා හා නැගනියන් දෙදෙනාට පියාගේ ධනවත්කම උපයෝගී කරගනිමින් වැජබෙන්නට අපගේ පියාණන් ඉඩ නොතැබුවේය. නගරයේ තිබූ කීර්තිමත් විදුහල් වෙත අප ගියද අපද පියාගේ නාමයෙන් වැජඹුනේ නැත. මා පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක, ක්‍රීඩා නායක, පාසල් ක්‍රිකට් පිලේ නායක සහ කැඩෙට් කණ්ඩායමේද නායකයා වූයේ පියාගේ කීර්තිය නිසා නොව මාගේ කැපවීමෙන්‍ ය. එය තවමත් එසේමය. පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙකු නිසා අසල කාන්තා පාසල් අතරද මාගේ නම ප්‍රචලිතව තිබුණි. මාගේ නැගණියන් අත ඇතැම් ගැහැනු ලමුන් චොකලට් සහ පෙම් හසුන් පවා එවා ඇති අතර ඔවුන්ද චොකලට් එක කා ලිපිය මට ලබා දෙයි. නමුත් ඒ කිසිදු කෙනෙකු අතරින් මට සිතට වැදෙනා කෙනෙකු උසස් පෙලෙ විභාගය අවසන් වන තෙක් හමු නොවුනි.

උසස් පෙලෙ විභාගය අවසන් වී මා පියාගේ අවන්හලේ සේවය කලේ පියාගේ නියමය පරිදිය. නමුත් මා හට එකවරම ඉහල තැනක් නොදුන්නේය. කුඩාම සනීපාරක්ෂක සේවකයාගේ භූමිකාවේ සිට මා හට මසින් මස උසස් වීම් ලබා දුනි. ඒ මා පියාගේ ආයතනයේ සේවය කල තුන්වන මාසයයි. මේ වන විට මා අවන්හලේ වේටර්වරයෙකු ලෙස සේවය කලේය. ඇය මා දකින්නේ ඇය අපගේ අවන්හලට පැමිණි අතර වාරයේදීය. ඇයගේ මේසයට යාමට තිබුනේ වෙනත් වේටර්වරයෙකු වූවත් මා එම අවස්ථාව ගතිමි.

“Good evening madam. ඔයාලට අවශ්‍ය මොනවාද?”

“Good evening. අපිට menu එක බලන්න පුලුවන්ද?”

“Sure madam.” මම මාගේ අතෙහි වූ මෙනු පත් දෙක ඔවුන්ට ලබා දුනි.

ම්ම්ම්ම්ම්ම්ම්. ඔයා මොනාද recommend කරන්නේ, පමෝද්?”

මම රෙකමන්ඩ් කරන්නේ මැඩම් චොකලට් කේක් ඇන්ඩ් ඩෝනට් විත් අයිස් කොෆි. අපි අද ඒකට 25% ඩිකවුන්ට් දෙනවා මැඩම්.”

ඔහ් එහෙමද? සුබී එහෙනම් අපි ඒවා ඕඩර් කරමුද?”

“ශුවර් කවී. අපි ඕඩර් කරමු.”

“කවී ලස්සන නම.”මා එසේ සිතුවත් එය මටත් හොරා කියවුණි.

“excuse me?”

sorry madam.really sorry”

සිනහසුනු ඇය “it’s ok පමෝද්. අපිට ඔයා රෙකමන්ඩ් කරපු ඕඩර් ගේන්න.”

“ශුවර් මැඩම්”

මා ඇයගේ ඕඩරයද රැගෙන ඇයවෙත ගියෙමි.

“තැන්ක්ස්” ඇය මියුරු හඩින් පැවසීය.

නැවතත් ඇය යන විට මා හට ස්තූති කොට යන ලදී.

නැවතත් මසක් පමණ ගෙවී ගිය අතර මා මේ වන විට හෝටලයේ පාලනය පිලිබඳ ඉගෙන ගනිමින් සිටියේය. එදින මා අයකැමි ලෙස සිටි අතර ඇය පැමිණියේ පාසල් නිල ඇදුමෙනි.

“එක්ස්කියුස් මී. මට මැනේජර් මීට් වෙන්න පුලුවන්ද?”

“ඔව් කාරණය කියන්න පුලුවන්ද මිස්.”

“අපේ ආර්ට් ඩේ එක සම්බන්ධව.”

“හරි ටිකක් ඉන්න මිස්.” කියූ මා ඇයගේ ටයි පටිය දෙස බැලූ විගස ඇයද මාගේ සහෝදරියන් දෙදෙනා සිටිනා පාසලේ බව වටහා ගතිමි.

මම මැනේජර් මහතා හා කතා කොට ඇය සමඟ ඔහුගේ කාර්යාලයට පිවිසුනෙමි.

“මට මැනේජර් එක්ක ප්‍රයිවට් කතා කරන්න පුලුවන්ද?” ඇය මා දෙස බලා පැවසීය.

මැනේජර් මහතා කුමක් හෝ කීමට සැරසුනද මා ඇයට නොතේරෙන ලෙස එපා යැයි හඟවා “සොරි” යැයි කියා එලියට පැමිණියමි.

ඇයද විනාඩි පහක් පමණ සිට එලියට පැමිනි අතර ඇයගේ මුහුණ එතරම් හොදින් නොතිබුනු බව පෙනී ගියේය. ඇය අවන්හලේ කෙලවර වූ පුටුවක් ඇද වාඩි වුනි. මැනේජර් මහතා ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇති බව දුටු සැනින් මා හට තේරුම් ගියේය. මා ඇයට ලං වුනි.

“එක්ස්කියුස් මී මිස්. මිස් මොනවා හරි බොනවද?”

“ඔව් මට අයිස් කොෆි එකක් ගේන්න.”

“ඕකේ මිස්.”

මා ඇයගේ ඇනවුමද රැගෙන පැමිණෙන විට ඇය මේසය මත ඔලුව තබාගෙන සිටියේය.

“මිස්, මිස්ගේ ඕඩර් එක.”

ඇය ඔලුවා උස්සා බැලුවේය. ඇයගේ දෑස් රතු වී ඇත. ඔව් ඇය අඩා ඇත.

“මිස් මොකක් හරි ප්‍රශ්ණයකද?”

මා ඇසූ විගස ඇය නැවත හඩන්නට විය. වටේ පිටේ අය අප දෙස බැලූවද එය එතරම් ගණන ගත්තේ නැති බව නොපෙනුනි. මා ඇයට ලං වුනි.

“මිස් ප්‍රශ්ණය මොකක්ද කියුවොත් මට උදව් කරන්න පුලුවන්.”

“අනේ අපේ ආර්ට් ඩේ එකට 50,000 විතර අඩුවක් තියෙනවා refreshment වලට. මම ඒ ගැන බලන්න ඕන. ලබන සතියේ ඉවෙන්ට් එක. හරි ප්‍රශ්ණයක තමා ඉන්නේ මම.” ඇය හඩමින්ම පැවසුවේය.

මෙය සිරා චාන්ස් එකකි. චාන්ස් වදින විට ගත යුතු යැයි කවුදෝ කෙනෙකු පවසා ඇත.

“හරි මිස් අඩන්න එපා. මම අපේ පුංචි මහත්තයාට කියන්නම්කෝ. මට මිස්ගේ නම්බර් එක දුන්නොත් මම පුංචි මහත්තයාට කියලා ඕක කරලා දෙන්නම්.”

“කවුද පුංචි මහත්තයා?”

“අපේ ලොක්කාගේ පුතා. මමත් එක්ක හරි ෆිට්.” මම සිනහව සඟවාගෙන ලෝක බොරුවක් ගැසුවෙමි.

“අනේ ලොකු උදව්වක් අනේ.” ඇය මාගේ දෑතම අල්ලාගෙන කීවේය. නිකන් විදුලියක් ගියාක් මෙනි.

“ඉන්න මම නම්බර් එක දෙන්නම්” කියූ ඇය කුඩා නෝට් පොතක කොලයක් කඩා ඇයගේ දුරකථන අංකය ලබා දුනි.

“කාවින්ද්‍යා විමලරත්න. හරි මිස් වැඩේ වුනා කියලා හිතා ගන්න.”

“අනේ තැන්ක්ස්. ඔයාගේ නම?”

“පමෝද්”

“තෑන්ක්ස් පමෝද්”

“එනි ටයිම් මැඩම්” කියූ මම නැවත ඇතුලට ගොස් ඇයගේ අංකය මාගේ දුරකථනයට ඇතුලත් කර ගත්තෙමි. නැවත මා එලියට එන විට ඇය නික්ම ගොස් තිබුණි.

රාත්‍රියේ නිවසට ගිය මා දුරකථනය ගෙන ඇයට ඇමතුමක් ගත්තෙමි.

“හෙලෝ”

“හෙලෝ මේ මිස් කාවින්ද්‍යා ද?”

“ඔව් කාවින්ද්‍යා තමයි. මේ කවුද?”

“හෙලෝ මම තාලිය හොටෙල් චේන් එකේ ඕනර්ගේ පුතා කතා කරන්නේ. අපේ පමෝද කියුවා ඔයාට අපෙන් උදව්වන් ඕන කියලා. හව් කැන් අයි හෙල්ප් යූ?”

“අනේ තෑන්ක්ස් අ ලොට්. අපිට එදාට refreshment ඕන වෙලා තියෙනවා. ඒකට 50,000 විතර යනවා. අපිට ඒ කොස්ට් එක කවර් කරන්න පුලුවන්ද අහන්නයි මම අද ඔයාලගේ මැනේජර් මීට් වුනේ. එයා කියනවා ඕනර් ගෙන් අහන්නේ නැතුව තීරණයක් ගන්න බෑ කියලා. අනේ ප්ලීස් අපිට හෙල්ප් කරන්න පුලුවන්ද?”

“ෂුවර්. කවද්ද ඉවෙන්ට් එක.”

“ලබන සතියේ බදාදා.”

“ඕකේ. ඔයාලට අවශ්‍යය refreshment ලිස්ට් එක හෙට පමෝද්ට ගෙනත් දෙන්න. හැබැයි අපිටත් ඔයාලගෙන් උදව්වක් ඕනි.”

“කියන්න ඕන දෙයක්. මේ කරපු උදව්වට ඕන හෙල්ප් එකක්?”

“ඕකේ එදාට ඉවෙන්ට් එකට අපිට ඉන්විටේෂන් එකක් ඕන. මොකද අපි ස්කූල් එක්ක වැඩ කරන්න කැමතියි. අපිව ප්‍රමෝට් කරගන්නත් ඕන නේ.”

“ශුවර් අනිවාර්යයෙන්.”

“තව අපේ ස්පොන්ස එක එදාට ප්‍රමෝට් කරන්න ඕන. ඕකේ?”

“ශුවර් ශුවර්”

“ඕකේ හෙට refreshment ලිස්ට් එක එවන්න.”

ඇය පසු දින සවසම අවශ්‍ය කෑම පිලිබඳ තොරතුරු ගෙනවිත් දුන් අතර, පියාගේ අවසරය මත ඒවා අවශ්‍ය දිනට ලබා දීමටද කටයුතු සූදානම් කෙරුනි.

උත්සවයට දින දෙකකට පෙර ආරාධන පත්‍රය ලැබුණු අතර පියාගේ අනුදැනුම මත මා එයට සහභාගී වීමට නැගනියන්ගේ පාසල් වෙත ගමන් කලෙමි. ඒ වන විට ලොකූ ගණිත අංශයෙන් උසස් පෙල හදාරමින් සිටි අතර පොඩ්ඩි 9 වසරේ විය. ආරාධනා පත්‍රය පෙන්වා විදුහලට ඇතුල් වූ මා ප්‍රධාන ශාලාවට ඇතුල් වෙද්දී තවමත් වැඩකටයුතු සූදානම් වෙමින් පැවතියේය. මා දුටු කාවින්ද්‍යා මා අසලට පැමිණියේ පුදුමයෙනි.

“පමෝද් ඔයා ඇයි මෙහේ?”

“පොඩි මහත්තයා මාව එව්වා.” මම සිනහ සෙමින් කිව්වෙමි.

“ඔයා...එව්වා....” ඇය පුදුමයෙන් මා දෙස බැලීය.

“ඇයි මිස්ට සැකද?”

ඇය පුදුමයෙන් බලා සිටින විට “පමෝද් පුතා” යනුවෙන් ආමන්ත්‍රණයක් ඇසුනු නිසා මා මෙන්ම ඇයද හඩ ආ දෙස හැරී බැලුවේය. ඒ මා හට අකුරු කරවූ ‘මාලනී ගුරුතුමිය’ විය. ඇය මෑතකදී මෙම විදුහලට මාරු වීමක් ලැබූ බව අසන්නට ලැබුනි. මා ඇය වෙත ගොස් දණ ගසා වැන්දෙමි. “තෙරුවන් සරණයි මගේ කොල්ලට” යන සුපුරුදු ආමන්ත්‍රණය අයගෙන් ලැබුනි.

“බලන්නකෝ පොඩි කොල්ලා කොලු වෙලා තියෙන තරම්. ඉතිං කොහේද මෙහේ?”

“අපි තමයි මැඩම් refreshment ස්පොන්සර් ඉවෙන්ට් එකේ. එක නිසා ඉවෙන්ට් එකට ඉන්වයිට් එකක් ලැබුනා. මැඩම්ට කොහොමද? අසනි නංගි හොදින්ද?”

“ඔය ඉන්නේ පුතා. පාඩම් කරන්නෙත් නෑ. සෙල්ලම් කර කර ඉන්නවා. හෙට අනිද්දා රිසාල්ට් එනවලු නේද?”

“ඔව් මිස්.” මම සිනහ සී කීවෙමි.

“කාවින්ද්‍යා ඇයි දරුවො නිකන් බය වෙලා වගේ.” මාලනි මැඩම් කාවින්ද්‍යා දෙස බලා පැවසුවේය.

මා ඇය දෙස බලන විට ඇය කට ඇරගෙන මා දෙස බලා සිටියි.

“මැ.....මැ....මැ...මැඩම් කො...කො...කො..කොහොමද පමෝද් අදුරන්නේ?”

“දරුවෝ මේ ඉන්නේ තාලිය හොටෙල් චේන් එකේ ඕනර්ගේ එකම පුතා. මගේ හොදම ගෝලයෙක්. තව අර මැත්ස් ක්ලාස් එකේ ඉන්නේ තක්ෂිලා. එයාගේ අයියා. ඔයාලගේ සීනියර් බැජ් එකේ අයනම් මෙයාට මරා ගන්න හැදුවා.” මැඩම් සිනහ වෙමින් කී විට මා සිනහසෙමින් ලැජ්ජාවෙන් බිම බලා ගතිමි.

“හරි හරි ඔයාලා ඕක ඉවර කරන්නකෝ. මම පමෝද්ව ස්ටාෆ් රූම් එකට එක්කන් යනවා. පටන් ගන්න හදන කොට ඇවිත් කියන්න.”

“හ...හ..හරි මැඩම්”

“පුතා යමු ස්ටාෆ් රූම් එකට.” කියූ මාලනී මැඩම් මා රැගෙන ගුරු විවේකාගාරය දෙසට ගිය අතර යන අතරවාරයේ පිටුපස බැලූ මා දුටුවේ තවමත් පුදුමයෙන් බලා සිටින කාවින්ද්‍යාය. මට තනිවම සිනහ ගියේය.

ගුරු විවේකාගාරය තුලදී මාලනි මැඩම් විසින් අනිකුත් ගුරුවර ගුරුවරියන් වෙත මා හදුන්වා දුන් අතර ගුරුවරියන් සමඟ කතා කරනා විට ගැහැනු ලමුන් නිතරම එහෙ මෙහේ යනු දුටු මා ලොකූද ඒ අසලින් යනු දුටුවෙමි. මා දුටු ඇය හිටිතැනම නැවතුනු අතර මාද ගුරුවර ගුරුවරියන්ගෙන් සමාව ඉල්ලා මදක් නැගනිය සමඟ කතා කිරීමට අවසර ඉල්ලුවෙමි. ඔවුන්ගේ අවසරය ලැබූ පසු නැගනිය සිටි ස්තානයට සිනහ සෙමින් ගියේ ඇයටද මෙය පුදුමයක් නිසාය.

“සප්‍රායිස්.”

“සුදු අයියේ. ඔයා මෙහේ මොනාද කරන්නේ?”

“ආහ් අද අර ඉවෙන්ට් එකක් තියෙනවා නේද? අපි තමා ඒකේ refreshment ස්පොන්සර්. ඉතින් මම කියලා ඉන්වයිට් එකක් ගත්තා.”

“කියුවෙවත් නෑ අනේ කවුරුවත්. ලස්සන කොල්ලෙක් ස්ටාෆ් රූම් එකට ඇවිත් කියලා ආරංචියට මේ පැත්තට ආවේ.”

“ආ ඇත්තද දැන් ලස්සන කොල්ලොත් බලන්න පටන් ගත්තද?”

“අනේ යන්න සුදු අයියේ යන්න. ඔය... ඔය එන්නෙත් ඔයාව බලන්න තමා.”

ස්ටාෆ් රූම් එක අසලින් ගිය ගැහැනු ලමුන් දෙදෙනෙකු පෙන්වමින් ලොකූ කීවේය.

“නෑ.......සිරාවට.”

“සිරාවට තමයි. දැන් ඉතින් මම පන්තියට ගිහිල්ලත් ඉවරයි.”

“ඉතින් මෙහෙම කියන්න. ඒ ලස්සන කොල්ලා තාලිය හොටෙල් එකේ ලේක් සයිඩ් එකේ වැඩ කරනවා කියන්න. ඔයා අදුරනවා කියන්න.”

“ඥෑ ඥෑ තමයි. දැන් ඉවෙන්ට් එකටත් ඉන්නවද?”

“ඔව් ඉන්නවා. ඉන්නවකෝ අද දෙන්නගේම පන්තිවලට ඇවිත් යන්න.”

අනේ මේ....” කියමින් ලොකු එම ස්ථානයෙන් නික්ම ගිය අතර උත්සවයේ වැඩ කටයුතු වලටද සහභාගී වී, විදුහල්පතිනිය සමඟ සාකාච්ඡාවක්ද සිදු කොට නැගනියන් දෙදෙනාගේ ගුරුවර ගුරුවරියන් සමඟ කතා කොට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුද සොයා බලා යලි නිවසට පැමිණි මාගේ දුරකථනයට ඇමතුමක් ලැබුනි. ඒ කාවින්ද්‍යාගෙන්‍ ය.

“අනේ සොරි මිස්ටර් පමෝද්”

“ඇයි?”

“නෑ ඔයා දන්නවානේ හේතුව.”

Never judge a book it's cover නංගි.”

“අනේ මම එහෙම කරේ නෑ.” ඇය ඉකිබිදුමක් තුලින් පැවසීය.

“හරි හරි ලමයෝ අඩන්න දෙයක් කියුවේ නෑනේ.”

“ඒත් මිස්‍ටර් පමෝද්”

“මේ මිස්ටර් කෑල්ල අයින් කරනවද?”

“ඒත්......”

“ඒත් මේත් නෙවේ පමෝද් අයියා කියන්න.”

“හරි මිස්ට....සොරි සොරි පමෝද් අයියා.”

“ම්ම්ම්ම්ම් අන්න හරි.”

දෙදෙනාටම එකවර සිනහවක් ගියේය.

එසේ ආරම්භ වූ අප දෙදෙනාගේ කතාව මාසයක් ඇතුලත අප දෙදෙනා පෙම්වතුන් කරවීමට සමත් විය.

මේ අතර උසස් පෙල ප්‍රථිඵල නිකුත් වූ අතර මා විශ්ව විද්‍යාල වරම් හිමි කරගෙන තිබුනි. නමුත් මාගේ කැමැත්ත වූයේ කුඩා කල සිටම හමුදා නිලධාරියෙකු වීමය. එම නිසාම ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමියේ කැඩෙට් නිලධාරියෙකු ලෙස මා ඉල්ලුම් කල විට කාවින්ද්‍යා වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මේ අතර ඇයගේ විභාග කටයුතු යෙදී තිබුණු අතර ඒවා අවසන් වන විටම ඇකඩමියේ කැඩෙට් නිලධාරියෙකු ලෙස මා බදවා ගත්තේය. මා යාමට පෙර දිනයේ වැව රවුමේ කහමල් ගස යට ඇය හමු වූ විට ඇය මා බදාගෙන ඇඩූ අයුරු තවමත් මතකයට එයි. නමුත් එය අපගේ අවසන් හමුවීමයැයි කිසිවිටෙක නොසිතුවෙමි.

ඇකඩමියට බැදුනු දින සිට මාස ගණනාවක් යනතෙක් සන්නිවේදන පවත්වාගෙන යාමට හැකි වූයේ ලියුම් හරහාය. දුරකථන භාවිතය තහනම් මුල් මාස හතර යනු ඉතාමත් දීර්ඝ කාලයකි. මුල් මාසයේ සෑම සතියකම කාවින්ද්‍යාගෙන් ලැබුණු ලිපි දෙවන මස වද්දි සෙමින් නැවතුණි. අප්‍රේල් නිවාඩුව සදහා නිවාඩු ලබා දුන් සැනින් නිවසට දිව ගිය මා කාවින්ද්‍යාගේ දුරකථනයට ඇමතුම් ගත්තද එය භාවිතයේ නොමැති විය. මාගේ නැගනියන්ද ඇය ගැන හෝ අපගේ ප්‍රේමය පිලිබඳ තොරතුරු දැන සිටියේ නැත.

නමුත් දිනක් මා සහ පොඩ්ඩි ඇතුගල වෙහෙරට ගියේ පොඩ්ඩීට යෑමට ඕනෑයි කියූ නිසාය. මේ වන විට 10 වසරේ සිටි ඇයට යමක් කමක් තේරුණි. ඇතුගල වෙහෙර මලුවේදී මට මුණ ගැසුනේ කාවින්ද්‍යාගේ යෙහෙලිය වූ සුබීෂා ය. මා ඇයගෙන් කාවින්ද්‍යාගෙන් විමසීය නමුත් ඇයගේ පිලිතුර මා විමතියට පත් කලේය.

“එයාට තමුන්ට වඩා හොද සල්ලි තියෙන කොල්ලෙක් හම්බුවුනා පමෝද්. අනික බලනවා තමුසෙගේ හැටි විතරක්. ආමි කාරයා...”

මා හමුදාවෙන් ඉගෙන ගත් දෙය නම් ඉවසීමය. මා එසේ අසීරුවෙන් ඉවසීමෙන් දැනුනු දුක තද කරගෙන සිටියද මාගේ නැගෙනිය එසේ නොවීය. කටකාරියක් වූ ඇය

“මේ බලපන් බැ@ලි, තොගේ ව@ යන බ@#ට කියපන්...” යැයි ආරම්භ කල වාග් ප්‍රහාරය අවසන් වූයේ ඇයව ඇදගෙන සුබීෂාගේ දෑස් මානයෙන් ඉවතටත් ගෙන ගොස් බොහෝ වෙලාවකට පසුවය.

“ඇයි සුදු අයියේ ඔයා මොනවත් කියුවේ නැත්තේ? ආහ්. ඔයා ඒ වගේ කතා අහන්න ඕනේ නෑනේ....”

මට ඇසුනේ එපමණකි. මා තද කරගෙන සිටි දුක හැඩුමක් සේ පොලා පැන්නේය. මා පොඩ්ඩිව බදාගෙන හොදටෝම හැඩුවේය. ඇයද කිසිවක් නොකියා මාගේ ඔලුව අතගාමින් සැනසීය. අවසානයේ මේ සියල්ල අමතක කරනා බවට පොඩිඩීට පොරොන්දුවක්ද වී, මෙය අප දෙදෙනාගේ රහසක් වශයෙන් තබා ගන්නා බවට පොරොන්දු වී ඇතුගල කන්ද බැස දැනට වසර 4ක් ගෙවී ගොසිනි.

 මා දැන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් වරයෙකු ලෙස සේවය කරන අතර නොබෝ කලකින්ම ලුතිනන් ධුරයට නිර්දේශ වී ඇත. මේ වැව රවුමේදී දිනක් ඇය මට කී දෙයක් මතකයට නැගුණි.

“ මම කැමති පමෝද් වීරක්‍රියා කරන මිනිස්සුන්ට”

 පසුගිය දිනක මට කාවින්ද්‍යාගේ නව පෙම්වතා හමු වුණි.

“මචං උඹ කරන ජොබ් එක මොකක්ද?”

“මම මචං කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් කරන්නේ”

එය ඇසූ මට සිනහ යාමට ආවේ කන්ස්ට්‍රක්ෂන් කරන අයත් වීරක්‍රියා කරනවාදැයි මතක් වූ නිසාය.

පැය තුනක අතීතාවලෝකනයකින් පසු හදවතේ දුක සුසුමක් කොට රන්තාලිය වැව් සුලඟට මුසු කල මා නැවත නැගනියගේ පන්ති පැවැත්වෙන ස්ථානයට ගියේ ඇයව රැගෙන යාමටය. ඇය රැගෙන නැවත නිවෙස බලා ඒමට සැරසෙන විට අසල වූ කඩයකින් චාමර වීරසිංහගේ ගීයක් වාදනය විය.

 

රන් තාලිය වැව ලග වුන් කාලය මතකද

අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම

වැව පාමුල ඉදගෙන මං

හැඩුවේ දුකට රත්තරං

 

කසුන් සපුමොහොට්ටි.

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 

 

 

 

 

Post a Comment

0 Comments