අවුරුදු නිවාඩුවෙන්
පසු විශ්ව විද්‍යාලය ආරම්භ වූවා පමණි. ගිනි ගහන මද්දහනේ හිරුට සිතින් බැන බැන පැමිණි
මා බෝඩිමට පැමිණ ගොඩ වූවා පමණි. අන්කල් පාර්සලයක්ද අතැතිව මා වෙත පැමිණියේය.
“කසුන් ඔයාට පාර්සල්
එකක් ගෙනත් දීලා ගියා.”
“කවුද අන්කල්”
“ඒකනම් දන්නේ
නැහැ. මම හිතුවා ඔයා දන්නවා වෙන්න ඇති කියලා.”
“මම දැනුවත්වනම්
මට පාර්සලයක් නැහැ අන්කල් කෝ දෙන්නකෝ බලන්න” කියා මා ඔහු අතේ තිබු පාර්සලය ගෙන මාගේ
කාමරයට වැදුණි.
හොදින් නාගෙන පැමිණ
කෑමද කා අවසන් වූ මා සෙමෙන් පාර්සලය දිග හැරියේය. එහි තිබූයේ හතරට නැවූ A4 කොලයක් සහ දින පොතක් වැන්නකි.
මා කොලය දිග හැරියෙමි.
හිතවත් කසුන්
වෙත,
මල්ලි ඇත්තටම ඔයා
ලස්සනට ලියනවා. මමත් ආසයි ඔයාට මගේ කතාව කියන්න. ඒත් දැන් මම ඉන්න තැන හැටියට මට
ඔයාව මීට් වෙන්න බැහැ. මොකද ඒකට හේතු වගයක් තියෙනවා. ඒත් මම පොරොන්දු වෙනවා ඉක්මනින්ම
ඔයාව හමුවෙනවා කියලා. මේකත් එක්ක ඇති මම අන්තිමටම ලියපු මගේ දින පොත. මගේ කෙටි ආදරයේ
කතාව. ඔයා මේක කියවලා අපි ආපහු හමු වෙන දවසට මට දෙන්න. ඔයාට පුලුවන්නම් මගේ ආදර කතාව
මුළු ලෝකයටම අකුරු කරන්න. ඔයාට බුදු සරණයි. ජේසු පිහිටයි.
හමුවෙනතුරු,
පාරමී.
ඒ සමඟ තිබු 2019
ඉසිවර දිනපොත අතට ගත් මම පුටුව හොදින් ලං කරගතිමි. මුතුවන් අත් අකුරෙන් එහි ඔවුන්ගේ
කතාව විය.
අඟහරුවාදා ජනවාරි
1, 2019
අලුත් අවුරුද්දක්,
අලුත් දින පොතක්. අද මම මගේ ජීවිතයේ තීරණාත්මක තීන්දුවක් ගන්නවා. සමීරට මම කැමැත්ත
දෙන්න ඉන්නේ. අපි දැන් අවුරුද්දක් විතර ආශ්‍රය කරානේ. එයා FOE බව ඇත්ත. මම IR බවත් ඇත්ත. ඒත් එයාගේ
පර්සනැලිටි එකට මම ආසයි. රොට්රැක්ට් එකෙත් ඔය දුවලා පැනලා වැඩ කරන්නේ. හැබැයි වෙලාවකට
එයාට පිස්සු. ඒත් මේකට ගෙදරින් කැති වෙයිද? මොකද එයා කතෝලික. කමක් නැහැ එන විදිහකට
මුහුණ දෙනවා.
බ්‍රහස්පතින්දා
ජනවාරි 3, 2019
මම එදා එයාට කැමති
කියුවා කැෆටේරියා එකේදී. මේ මෝඩයා මාව බදා ගත්තා කියන්නකෝ. ලැජ්ජාවේ බැහැ. එයාගේ
ඇස් දෙක එදා සතුටින් දිලිසුනා. මොකක්ද හේතුවකට මට දැන් එයා නැතුවම බැහැ. මම ගෙදරින්
දේවල් හංගපු කෙනෙක් නෙවේ. ඒත් මේක ගැන මට හංගන්න වෙනවා.
ඉරිදා ජනවාරි 6,
2019
ඊයේ අපි දෙන්නා
විහාර මහා දේවි එකට ගියා. බස් එකේ එයාගේ ලඟින් එයාගේ අත අල්ලන් එයාගේ උරහිසට හේත්තු
වෙලා ගියපු ගමන මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පාර්ක් එකේ ඉදිද්දී මට හිතුනා ඊට ටිකක්
එහායින් තියෙන කෞතුකාගාරේ බලන්න යන්න. මොන මෝඩයෙක් නේද මම. යාලුවෙලා එලියට ආපු පලවෙනි
දවසෙම කෞතුකාගාර බලන්න යන. ඒත් සමීර මගේ දිහා බලලා හිනා වෙලා හරි යං කියුවා. අපි මුලු
දවසම හිටියේ කෞතුකාගාරේ. එයාට ලංකාවේ ඉතිහාසය ගැන තියෙන දැනුම ගැන මම පුදුම වුණා.
මම ලංකාවේ ඉතිහාසය ගැන වෙනමම හදාරනවා තමා. ඒත් එයාගේ දැනුම අම්මෝ මගේ පණ්ඩිත කොල්ලා.
කාටද ආඩම්බර.
ඉරිදා ජනවාරි 20,
2019
කාලෙකින් ලියන්න
බැරි වුණා තිබ්බ වැඩත් එක්ක. පාඩම්, පාඩම්, පාඩම්. සමීරත් මිඩ් ටර්ම් එකකට පණ දාගෙන
පාඩම් කරනවා. ඒත් අද එයා මමත් එක්ක පන්සල් ගියා. එයා කතෝලික වුනාට එයාට බෞද්ධ දර්ශනය
ගැන තියෙන අවබෝධය උපති බෞද්ධ වෙලා අවුරුදු ගානක් දහම් පාසල් ගිය මටවත් නැහැ. එයා
එක්ක කදවල පන්සලට ගියපු මම බුදුන් වැදලා ප්‍රාර්ථනා කරේ සමීර මගේම වෙන්න කියලා. මම
එහෙම ප්‍රාර්ථනා කරා කියුවම ඒ පණ්ඩිතයා කියනවා “ බුදුන්වහන්සේ සියල්ල අතහැරිය තැන
ඔයා මාව ඉල්ලනවා කියලා” මමත් ඇනිත් පැත්තට ඇහුවා ඇයි එපාද කියලා. මෙන්න ඒපාර ඒ පණ්ඩිතයා
කියනවා කර්මය අනුව දෙයක් සිද්ධ වෙන්න තියෙනවා නම් ඒක සිද්ධ වෙයි කියලා.” මම තරහින්
ගස්සලා පන්සලෙන් ආවා. ඇයි අප්පා එයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න මට බැරිද පණ්ඩිත මෝඩයා.
ඒ කොහොම වෙතත් අරන් දුන්න අයිස්ක්‍රීම් එකට බැහැ කියන්න බැරි නිසා මම යාලු වුණා. ඒත්
හිතට විස්තර කරන්න අමාරු බයක් ආවා.
බ්‍රහස්පතින්දා
ජනවාරි 31, 2019
පාඩම් වැඩ නිසා
මට ලියන්න බැරි වුණා. හෙට මම ගෙදර යනවා. අපි ගෙවල් වලට අපි ගැන කියනවා. මම සමීර
එක්ක කතා කරා මේ ගැන. මම ඉන්නේ ෆයිනල් ඉයර්, සමීරට තව ඉයර් එකක් තියෙනවා. අනික අපි
පුංචි ලමයි නෙවේනේ. ඒ නිසා මේ ගැන පිටින් දැන ගන්නවට වඩා අපිම කියන එක හොදයි කියලයි
මම හිතන්නේ. බලමු ගෙදරින් මොනවා කියාවිද කියලා. මට නම් බය අපේ අයියා මොනවා මේ ගැන
කියාවිද කියලා.
අඟහරුවාදා පෙබරවාරි
5, 2019
මම දැන් ඉන්නේ
සිහිනයකද මන්දා. මට මාර සතුටක් දැනෙන්නේ. මම ගෙදරට කියුවා අපි ගැන. හිතුවා වගේ ලොකූ
විරෝධයක් එල්ල වුනේ නැති එක මාර පුදුමයි. විශේෂයෙන්ම එයාගේ ආගම කතෝලික වීම. ගෙදරින්
කියුවේ මෙච්චරයි. “ දුවේ, ඔයා දැන් ලොකු ලමයෙක්. හැමදේම ඇගිලෙන් ඇන ඇන කියලා දෙන්න
ඕනි නෑනේ. ඔයාට හොදයි නම් ඒ දරුවා කමක් නැහැ. අපිත් ඒ දරුවගේ දෙමාපියන් එක්ක කතා කරලා
බලන්නම්. හැබැයි මගේ දුව මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕන. කවමදාකවත් ඔයා අදහන ධර්මය
අතාරිනේ නැහැ කියලා” ඇත්තෙන්ම සමීර මට කියලා තිබුනේ මම ආගම කිසි ප්‍රශ්ණයක් කර ගන්න
අවශ්‍ය නැහැ කියලා. සමීරලාගේ ගෙදරිනුත් අකමැත්තක් නොපෙන්වුව නිසා අපි දෙන්නාම හරිම
සතුටින්.
මීලඟ සටහනත් සමඟ
වියලි ගිය මලක් විය.
බ්‍රහස්පතින්දා
පෙබරවාරි 14 , 2019
අද ආදරවන්තයන්ගේ
දවස. සමීර මට චොකලට් පෙට්ටියක් එක්ක රෝස මලක් දුන්නා. මම මල ඔයා එක්ක තියෙනවා.
සෙනසුරාදා පෙබරවාරි
16, 2019
අද සමීර මාව කොච්චිකඩේ
ශාන්ත අන්තෝනි චර්ට් එකට එක්කන් ගියා එයාගේ පවුලේ අයත් එක්ක. ඇත්තටම ඒක මාර අත්දැකීමක්.
එයාලගේ නංගි මමත් එක්කමයි. අපි චර්ච් ගිහින් එයාලගේ ගෙදර ගියා. සමීරලට එයාලගේම කියලා
ඇදුම් ව්‍යාපාරයක් තිබ්බා. සමීරා ඒ කියනේ සමීරගේ නංගි අයියගේම කපාපු පලුව. හැබැයි මාරම
හොදයි. එයා මට එයාලගේ ෆැමිලි එක එක්ක එකතු වෙන්න මාරම උදව් කරා. අද එයාලගේ ගෙදර හවස්
වෙනකන් ඉදලා සමීර මාව බෝඩිමට ගෙනවිත් දැම්මා.
සිකුරාදා පෙබරවාරි
22, 2019
අද මගේ උපන් දිනය.
රෑ 12ට හරියටම සමීර කෝල් කරා.
සෙනසුරාදා පෙබරවාරි
23, 2019
ඊයේ තරම් සප්‍රයිස්
උන දවසක් මට මතක නැහැ. සමීර මම වෙනුවෙන් ලොකු පාර්ටි එකක් ලෑස්ති කරලා තිබුනා. පුදුමේ
කියන්නේ අපේ ගෙදර අයත් ඇවිත් තිබුනා. මම ඒත් සමීරට බැන්නා මෙච්චර දේවල් වියදම් කරේ
ඇයි කියලා. මෝඩයා නිකන් අපරාදේ සල්ලි. කොහොම උනත් මම විනෝද වුනා. සමීර I Love You.
අඟහරුවාදා මාර්තු
5, 2019
දිග සති අන්තයක්
ලැබුණු නිසා සමීර ගෙදරින් අවසර අරන් සමීරලාගේ නංගිත් එක්ක නුවර, නුවරඑලි ගියා. එයාගේ
අත අල්ලන් මාලිගාවට ගිහින් ලොකු නෙලුම් වට්ටියක් පූජා කරා හැමදාම මේ සතුට මමත්
එක්ක තියෙන්න කියලා. එදා හවස නුවර වැව හරහා එන හුලං වල සනීපය විද ගන්න ගමන් නුවර වැව
වටේ ඇවිදන් ගිය හැටි, සීතල නුවර එලියේ එයාට ගුලි වෙලා හිටපු හැටි මට කවදාවත් අමතක
වෙන්නේ නැති වෙන්නේ නැති වේවි. හැමදාම වගේ ඉතින් මගේ පණ්ඩිතයගේ පණ්ඩිත වචන වලින්නම්
අඩුවක් වුනේ නැහැ.
සිකුරාදා අප්‍රේල්
5, 2019
කාලෙකින් ලියන්න
බැරි වුනා. එසයිමන්ට් වැඩ එක්ක රොට්රැක්ට් එකේ ප්‍රොජෙක්ට් කුඩා ඔය ලීඩර්ශිප් ප්‍රෝග්‍රෑම්
එකත් කරන්න වුන නිසා මට ලියන්න බැරි වුනා. අද අවුරුදු වැකේෂන්. තවත් සති දෙකකින් තමා
මට මගේ පණ්ඩිතයා හම්බුවෙන්නේ. හරි පාලුයි වගේ.
ඉරිදා අප්‍රේල්
14, 2019
සුභ අලුත් අවුරුද්දක්
වේවා!
එතනින් පසු ඉදිරි
පිටුවල කිසිවක් නොලියා තිබුණු අතර ඒ වෙනුවට දින පොත අවසානයේ A4 පිටුවක් අමුණා තිබුණි.
මල්ලි මේක ලියන්නේ
ඔයාට කතාවේ ඉතුරු ටික තේරුම් ගන්න.
අප්‍රේල් 21
උදේම මම ආවා. උදේ මට කෝල් කරපු සමීර එයාලා කොච්චිකඩේ යනවා කියලා කියුවා. උදේ 7ට විතර
බස් එකට නැගපු මට කලුතර බෝධිය හරියට එනකොටම ඇගට අමුත්තක් දැනුනා. ඒ එක්කම මගේ ෆෝන්
එකට අයියාගෙන් කෝල් එකක් ආවා.
“හෙලෝ චූටි, කොයි
හරියෙද ඉන්නේ?” එයා කලබලෙන් වගේ ඇහුවා.
“කලුතර හරියේ
අයියා. ඇයි මොකද මේ කලබලෙන් වගේ?”
“නෑ කොළබ බෝම්බ
වගයක් පිපිරිලා. මල්ලි කොච්චිකඩේ ගියපු නිසා පොඩ්ඩක් හොයලා බලන්න.”
“හරි අයියේ” කියපු
මම අනිත් පැත්තට සමීරට කෝල් කරත් ෆෝන් එක ඉස්සුවේ නැහැ.
මම දිගටම කෝල්
කරත් එයා ෆෝන් එක ඉස්සුවේ නැහැ.
ඒ එක්කම බස්
එකේ ගියපු සිංදු නැවතුනා. රේඩියෝව ඔන් වුනා.
“මෙන්න දැන් ලැබුනු
පුවතක්
කොලඹ ශ්‍රැන්ගිලා
හෝටලයේ පිපිරුමක් වාර්තා වී තිබෙනවා. එයට හේතුව අපට පැහැදිලි නැහැ. ඔව් අපට දැන් තවත්
පිපිරීමක් වාර්තා වෙනවා කොලඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයෙනුත්...”
මට කෑ ගැස්සුනා.
මම අයියාට කෝල් කරලා සේරම විස්තර කියන කොටත් අයියා කොළඹ එන්න පිටත්වෙලා. මම අඩ අඩා
බෝඩිමට ඇවිත් පැයක් විතර යන කොට අයියා ඇවිත් මම එක්ක සමීරලගේ ගෙදර ගියා.
සමීරලගේ ගෙදර
කවුරුත් හිටියේ නැහැ. අපි ඊට පස්සේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පැත්තට ගියා.
ඇතුල්වෙන්න ඉඩ නොදුන්නත් අයියා රජයේ ආරක්ෂක අංශයක ඉහල තනතුරක් දරන නිසා කිසි ප්‍රශ්ණයක්
නැතුව ඇතුල් වුනා. මුළු පොලවම ලෙයින් තෙත් වෙලා. මල කදන් එක දෙක එලියට ගේනවා.
මගේ ලඟින් ගෙනිච්ච
මලකදේ අත එක සැරේටම පහතට වැටෙනවත්, ඒ අතේ තිබ්බ සමීරට මම අරන් දුන්න ඔරලෝසුව දකිනවත්
විතරයි මට මතක. ඊට පසේ දවස් (කදුලු බින්දු වැටී බොද වී ඇත) පස්සේ පෞද්ගලික රෝහලක
ඇදක් උඩ ඇස් ඇරලා බලද්දි මගේ සමීර පොලොවට යට වෙලා ඉවරයි. ඊට පස්සේ මාව ඇවිදින මල කඳක්
වුනා. ඒත් සමීර වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියන හැගීම මාව ජීවත් කෙරෙව්වා. මම මේ ටික
ලියන්නේ සිද්ධ වුණ දේවල් බොහෝම කෙටි කරලා. සමීරා බොහෝම අසාධ්‍ය වුණා. බොහෝම
අමාරුවෙන් අද එයා සනීප වුනත් 100%ක්ම නැහැ. අද ඒ කියන්නේ 2023 අප්‍රේල්
3 එයා එක්ක මම ඇමෙරිකා යනවා. එයාගේ බෙහෙත් වලට වගේම එයාගේ උසස් අධ්‍යාපන කටයුතු වලට.
ඇත්තෙන්ම එයා තමයි මට ඔයාගේ කතා පෙන්නුවේ.
මම මේක මගේ විශ්වාසවන්ත
යාලුවෙක් අත ඔයාට එවනවා. ඉතින් අපි ඉක්මනට හමුවෙමු මල්ලි බුදුසරණයි ජේසු පිහිටයි.
එක හුස්මට කියවා දැමූ දිනපොත පැත්තකින් තබනවාත් සමඟම බෝඩිමේ අන්කල්ගේ
රේඩියෝවේ මේ ගීතය වාදනය වෙමින් තිබුණි.
යනව
නම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න
නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න
අපේ ආදර කතාවේ කෙටි
පටුන පෙති මත ලියන්න
පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න
ඉතිං නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න.....
kasun sapumohotti
0 Comments