ඒ පසුගිය සතියේ සන්ද්යාවකි. විශ්ව විද්යාලයේ වැඩ නිමවීමට පැයක් තිබියදී මාගේ දුරකථනයට ඇමතුමක් ලැබුණි. එය මා නොදන්නා අංකයකිනි.
“හෙලෝ.”
“හෙලෝ. මේ මිස්ටර් පැතුම්ද?”
“ඔව් කතා කරනවා. කව්ද මේ?”
“මම කතා කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ ලියෝ සමාජයෙන්. ඔබතුමාට මේ වේලාවේ කතා කරන්න පුලුවන්කමක් තියෙනවද?”
“ඔව් අනිවාර්යයයෙන්ම. කියන්න.”
“ඔව්. අපි මේ එන අගෝස්තු මාසයේ 17 අපගේ මේ වසර ආරම්භ කිරීමේ සමාරම්භක උලෙල පවත්වන්න අදහස් කරගෙන තිබෙනවා. විශ්ව විද්යාලයේ ආදි ශිෂ්යයෙක් විදිහට සහ අපගේ ලියෝ සමාජයේ ආරම්භක සාමාජිකයෙක් විදිහට අපි ඔබතුමාට ආරාධනා කරනවා ප්රධාන ආරාධිත අමුත්තා විදිහට. ඔබ තුමාට එදිනට පැමිණෙන්න පුලුවන්නද?”
“අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම එනවා.”
“අපි ඔබතුමාට සහ ඔබතුමාගේ බිරිද යන දෙදෙනාටම ආරාධනා කරනවා. එය ගැටලුවක් වේවිද?”
“නැහැ. කිසිසේත්ම නැහැ.”
“ස්තූතියි ඔබතුමාට. අපි ඔබතුමාට ආරාධනාපත්රය එවන්නම්.”
“ස්තූතියි.”
දුරකථන ඇමතුම අවසන් වෙනවාත් සමඟම මාගේ දෙනත කදුලින් තෙත්ව යනවා මට දැනුණි. මා එසැනින්ම අනෙක් අතට ඇමතුමක් ගත්තේ මාගේ බිරිදටය. ඇයද ඉතාමත් සතුටට පත්වුණි. කාලය ගෙවී ගොස් අදාල දිනය එළැබිණි. ගාල්ල කොළඹ මාර්ගයෙන් කඳවල පාර දිගේ පැමිණෙන විට මාගේ මතකය ඈතට ඇදී ගියේය. ක්ලබ් හවුසය සහ ජලාශය පසුකරනා විට සුන්දර සහ දුක්බර මතකයන්ද මාගේ හිතේ ඇදිණි. කෙසේ හෝ උත්සවයට පැමිණ එය නිමවන විට සවස 6ට ආසන්න වී තිබුණි. සියල්ලන්ගෙන්ම සමුගෙන මා මාගේ බිරිද සමඟ ක්ලබ් හවුසය වෙත පැමිණියෙමි. එය එදා විදිහමය. වෙනසකට ඇත්තේ මාගේ දෑතේ වෙලී සිටින්නිය පමණි. වැව වටේ වැලි ඇතිරූ මාවත දිගේ පැමිණි අප දෙදෙනා එදා සේම අදත් පරණ වී ඇති ගොඩනැගිල්ල ආසන්නයේ මල්පදුර අසල බංකුවේ වාඩි වීමු.
“හ්ම්ම්ම්ම්”
“ඇයි?” ඇය විමසීය
“නෑ...සිංදුවක් මතක් වුණා.”
“මොකක්ද?”
“සිංදුවක පද මගේ විදිහට වෙනස් කරපු එකක්.”
“කියන්නකො බලන්න.” ඇය මගේ මුහුණට එඹෙමින් පැවසීය.
“වැව් ඉවුරේ දියරල පෙර සේම බිදෙනවා
කුඹුක් සෙවණ අප නැතුවද තව දළුලනවා
සරසවි බිම වැව් ඉවුරෙන් එතෙර පෙනෙනවා
නුඹත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා.”
“කව්ද නුඹ? පවනිද?” මාගේ ජීවිතයේ සෑම රහසක්ම දැන සිටි ඇය විමසීය.
මා ‘හ්ම්ම්...’ කියමින් ඇය තුරලට ගෙන කල්පනාවක ගිලී ගියේය.
ඒ 2021 වසරයි. විෂය නිර්දේශ දෙකක උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් අසාධාරණයට ලක් වූ මා කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයට අයදුම් කලේ ඉතාමත් අහම්බයෙනි. ඉතාමත් අහම්බයෙන්ම එයට තේරී පත්වූ අපගේ කණ්ඩායමට මුහුණ දීමට සිදු වූ විශාලම ගැටලුව වූයේ කොවිඩ් 19 වසංගතයයි. කිසිදු අයෙකු මුණ නොගැසී ඔන්ලයින් ක්රම ඔස්සේ පමණක් හමුවූ අප 2022 වසරේදී හමුවන විට සියල්ලන්ම දැන සිටියෙමු. නව ජීවිතයක් කරා මුහුණ දීමට අප බොහෝ පිරිසක් රත්මලාන අවටම බෝඩිම් නිවාසවල නවාතැන් ගත්තෙමු.
එකල කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ ලියෝ සමාජය ආරම්භ කලා පමණය. පාසල් කාලයේ ලියෝ සාමාජිකයෙකු වී සිටීම නිසා ඒ පිලිබද ඇති ප්රාමාණික දැනුමත් හේතුවෙන් මා එහි තනතුරකට පත් කල අතර පවනි මුණ ගැසෙන්නේ ඒ කටයුතු වලදීය.
දිනක් මා හා අපගේ උප සභාපති වූ ඩෙවින් ලියෝ මීළඟ වැඩසටහන පිලිබඳ කතා කරමින් සිටින අතරවාරයේ ඉතාම ප්රියමනාප තරුණියක් අප අසලට පැමිණියේය.
“Excuse me Devin ayya. Dew told, you searched me?”
“Ah yes nanga. Machn this is a girl I told you. She can chair our new project.”
“Ok. Hi I’m Pathum. Devin told me you would like to chair one of our projects.”
“Yes ayya. If you give me a chance, I like to show my skill.”
“Ok. I will tell you later. What’s your name again?”
“I’m pawani.”
“Nice to meet you pawani.”
එහෙම මුණ ගැසුණු අපි දෙදෙනා බොහෝ ව්යාපෘති වල එකට වැඩ කලා. අපි බොහෝම සමීප වුණා. හුඟක් හැන්දෑවල් තිබුණා ක්ලබ් හවුස් එකේ නුඟගහ ලඟ තියෙන බංකුවක ඉදගෙන ඉර බැහැගෙන යනවා තුරුල් වෙලා බලන් ඉදපු. එතන ඉදපු තාරා පැටවුන්ට කෑම දීපු. අපි ගැන, අපේ අනාගතය ගැන හීන මවපු. ඒත් එයා කවදාවත් මට ආදරෙයි කියලාවත් මම එයාට ආදරෙයි කියලාවත් නැහැ. ඒත් අපි දෙන්නාම අපි දෙන්නට දෙන්නා ආදරෙයි කියලා හිතාගෙන හිටියා එක දිනයක් වෙනකම්.
ඒ දිනය මට හොදටම මතකයි. මම විශ්ව විද්යාලයේම සීමාවාසික පුණුණුවට තේරුණත් පවනිට ඕනි වුණේ එයාලගේ ගම වුණ මාතර ලඟ එකක් හොයා ගන්න. මම කොයිතරම් අකැමැතිවුනත් අවසානයේ ඒ තීරණයට එකඟ වුනේ මම ඇත්තටම එයාට ආදරෙයි කියලා හිතපු නිසා. එයා මාතර තරුණ සමාජයන්වල කැපී පෙනෙන චරිතයක් නිසා එයාට දින හතරක පුහුණු වැඩමුළුවක් සදහා කතා කරලා තිබුණා. මුලින්ම ඒක කල් ගියත් පස්සේ ආපහු සතියකින් ඒක තිබිලා පවනි ඒකට ගියා.
ඒ දිනය මට තවම මතකයි. 2023 ජූලි 20 බ්රහස්පතින්දා දවසක්. මම හොදටම වැඩවල යෙදිලා හිටපු මොහොතක පවනිගෙන් කෝල් එකක් ආවා.
“හෙලෝ සුදූ මම පොඩි වැඩක මම පස්සේ ගන්නම්.” කියලා මම කට් කරා.
ඒ එක්කම අනිත් පැත්තට ආපහු කෝල් එකක් ආව නිසා මම එලියට ඇවිත් කෝල් එක ඉස්සුවා.
“හෙලෝ සුදූ ඇයි?”
“ආහ් උඹද පවනිගේ කොල්ලා?” මෙලෝ රහක් නැති පිරිමි කටහඩකින් පිලිතුරු ආව නිසා මම ආපහු අංකය චෙක් කරා.
“හෙලෝ. ඇයි උඹට ශුවර් නැද්ද මේ පවනිගේ නම්බර් එක කියලා?”
“කව්ද උඹ? උඹට කොහෙන්ද පවනිගේ ෆෝන් එක?”
“ඒක උඹට වැඩක් නැහැ. මම උඹට දෙන අවසාන සහ එකම අවවාදය පවනි දැන් මගේ. උඹට කිසිම අයිතිවාසිකමක් නැහැ. ඒක නිසා පැත්තකට වෙලා හිටපන්. උඹට මම කියන දේ විශ්වාස නැත්නම් මම ෆොටෝ එකක් එවන්නම්. පැත්තකට වෙයන්. ගුඩ් බායි.”
මට වචනයක්වත් කියන්න නොදී ඒකා ෆෝන් එක කට් කරා. මම අනිත් පැත්තට කෝල් එක ගන්න හදනකොටම ආපු පින්තූරය දැකලා මගේ ඉහමොල රත්වුණා. රෝස පාට ෂර්ට් එකක් ඇදගත්ත රැවුල වවලා කොන්ඩේ බොකිටු කරගත්ත කොල්ලෙක්ට මම අවුරුදු දෙකක් ආදරය කරපු පවනි තුරුල්වෙලා ඉන්නවා. මම ආපහු ගන්න හැදුවත් එයා මාව බ්ලොක් කරලා තිබුණා. මගේ ඇස්වලින් කදුළු බිංදු සට සට ගාලා වැටුණා. ලෝකයම නැතිවෙලා ගියපු මට ජීවත්වෙලා වැඩක් නැත කියලා හිතද්දිම,
“පැතුම් අයියා ඔයා හොදින්ද?” කියලා කටහඩක් ආවා.
මම අනිත් පැත්ත බලද්දි ඇය මගේ ලඟින් අද වාගේම හිටියා. ජීවිතයේ දෙයක් නැති වෙන්නේ ඊට වඩා ලොකු දෙයක් ලැබෙන්නය කියන දෙය ඇත්තක් කියන දේ මට එදා පැහැදිලි වුනා.
මම පවනිම උපාධි ප්රධානෝත්සවයේදී දැක්කා. ඒත් ඊට පස්සේ මම ඇයව දුටුවේ නැහැ. එදා පවනි එක්ක ඒ තුරුල්වෙලා ඉදපු කෙනා මාතර හක්මන පැත්තේ ඒ තරම් හොද නැති කෙනෙක් කියලා පස්සේ දැනගන්න ලැබුණා. පවනි පස්සේ කාලෙක ඇමෙරිකා ගියා කියලත් අහන්න ලැබුණා.
“කල්පනා කරලා ඉවරද..ම්ම්ම්...?”
“හ්ම්ම්ම්ම්. රෑත්වෙලා නේද?”
“ඇයි මේ විදිහට අපි ඉදලා නැද්ද ඒ කාලේ. මතක නැද්ද?”
“අම්මො මතකයි මතකයි” මම කිව්වා
“මේ මම සිංදුවේ අනිත් කැල්ල ගැන කල්පනා කර කර හිටියේ.” ඇය කිව්වා
“ඒ මොකක්ද?”
“ඔබ අතගෙන ගිය වීදියේ ඈ හා යනවා
සිඟිති පුතා අතැගිල්ලක එල්ලි එනවා
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතනවා”
“ඉතින්?” මම ඇසීමි.
“නෑ අර පුංචි පුතාත් ආවනම් ඒ සිංදුවම තමයි.” ඇය හුරුතල් වෙමින් පැවසුවේය.
“ආහ් ඇත්තද නෝනා? යන්කෝ අද ගෙදර” මා සිනාසෙමින් ඇය තුරුල් කොටගෙනම නැගිට කාරය දෙසට යන විට ක්ලබ් හවුසයට පැමිණ සිටි තරුණයින් කණ්ඩායමක් ඔවුන්ගේ මීලඟ ගීතය මෙසේ ආරම්භ කලේය.
“මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි”

(නම් සහ සියලු සිද්දීන් මනඃකල්පිතය. ස්ථාන නාමයන් කතාව රසවත් කිරීමට පමණක් යොදාගත්තකි.)
0 Comments