"මට නුඹ විතරක් වුනාට - නුඹට ඉන්නේ මං විතරද"

 


මට මල්ෂාව මුලින්ම මුණ ගැසෙන්නේ මුහුණු පොත හරහාය. දඹුල්ල ආශ්රිතව ජීවත් වූ ඇය මට වඩා බොහෝ වැඩිමහල් වූවත් කියවන්නාට වයස අදාල නැත යන්න සනාත කරමින් ඇය මාගේ කතාවල රසිකාවියක් විය. ඇය නිතර දෙවේලේ කියනා කතාවක් වූයේ “ මට මල්ලිට මගේ යාලුවගේ කතාව ඔයාව මුණ ගැහිලම කියන්න ඕනා” යන්නය. මටද දඹුල්ල ප්රදේශයට යාමට අවස්ථාවක් නොලද හෙයින් එයට අවස්ථාවක් නොලැඹුනු නමුත් පසුගිය දිනක සමාජීය විද්යා දෙපාර්තමේතුව මඟින් සංවිධාන කල වාර්ෂික සිද්ධි අධ්යයන චාරිකාවට මටද සහභාගීවීමට අවස්ථාව ලැබුණු බැවින් මා ඇයට මා එහි එන බව පැවසීමි. දෙවන දින සවස් යාමය සීගිරිය නැගීමට යොදාගෙන තිබූ බැවින් ඇය මා හට සිංහ පාදය අසලදී ඇයව මුණ ගැසෙනා ලෙස යෝජනා කලේය. නමුත් වැඩසටහනේ යම් යම් වීඩියො කොටස් කිහිපයක් ගැනීමට තිබූ නිසා මා හට ඇයව යොදාගත් වේලාවට මුණ ගැසීමට නොහැකි වේයැයි සිතුනමුත් මාගේ මිත්රයා සත්සරට පිං සිදු වන්නට විනාඩි 12කින් සිංහපාදය අසලට හති දමමින් ලගාවන්නට හැකි විය.
සත්සර ඉහලට ගිය අතර මා සිංහ පාදය අසල වතුර ටැංකිය අසල සිටි මල්ෂා වෙත ඇවිද ගියෙමි.
“අක්කේ...”
“කසුන් මල්ලි.” කියමින් ඇය මා වැලද ගත්තේය.
“අක්කා තනියමද ආවේ.”
“නෑ මල්ලි. අයියා උඩට ගියා දැන් ඒවී.”
“ඉතිං. කොහොමද අක්කේ...”
“හොදයි මල්ලි. ඉතිං කොහොමද අපේ ගම?”
“වරදක් නම් නෑ ඉතින්...”කියමින් අප ගමනේ තතු විනාඩි කිහිපයක් කතා කලෙමු.
වේලාව ගෙවී යමින් තිබූ නිසා,
“අක්කගේ යාලුවා ආවේ නැද්ද?”
ඇයගේ නෙතු කදුලින් පිරී යනවා මා දුටුවෙමි.
“මගේ යාලුවා හමුවෙන්න හොදම තැන තමයි මල්ලි සීගිරිය.”
“ඉතිං කෝ එයා.”
“දැනට අවුරුදු 10 කට විතර කලින් එයා එයාගේ ආදරය නිසා සීගිරිය දාලා යන්න ගියා මල්ලි. ලංකාවම දාලා. එදායින් පස්සේ එයා මාව සම්බන්ධ කරගන්න හදලාවත් නෑ.”
“මොකක්?”
“ඔව් මල්ලි. ඒ ආදර කතාව දන්නේ මම විතරයි. අද ඔයාත් දැන ගනිවී. මම මේ ලියුමේ කොපියක් ඔයාට දෙන්නේ ඒ ගැන ලෝකයට කියන්න. ඔයාට ඒක කරන්න පුලුවන් නේද මල්ලි?”
කියමින් ඇය දුඹුරු පැහැ කවරයක දමා තිබූ ලිපියක මුද්රණ පිටපතක් මා වෙත දිගු කලේය.
“පුලුවන් අක්කේ. ඒත් මේ මොකක්ද?”
“මේ තමයි එයාගේ කතාව. එයාගේ අවසන් සටහන. එයා මට මේක තැපැල් කරලා තිබුණා. ඒත් මේක මට ලැබෙන කොට වෙන හැමදේම වෙලා ඉවරයි. අඩුම තරමේ මම මේක අයියටවත් කියලා නැහැ. ඔන්න කියන කොටම...”
ඒ වන විටත් අප දෙසට පැමිණෙමින් සිටි ඇයගේ ස්වාමි පුරුෂයා දැක ඇය වහා සිය කදුලු සඟවා ගත්තේය. මද වේලාවක් කතාවේ සිටි ඇය මාගෙන් සමුගත් පසු සිංහපාදය අසල ඇති ගඩොල් බැම්මක ඉද ගත් මා ඒ ලිපිය කියවන්නට ආරම්භ කලෙමි.
අපි ඇයට මෙත්මි යැයි කියමු.
“ආදරණීය මලී වෙතටයි,”
ඔයා මේක කියවන කොට මම මේ ලංකාවෙන් සමු අරන් තියේවි. සදහටම. රටේ ලෝකේ මිනිස්සු කතා කියාවි. ඒත් මගේ කතාව ඔයා හරි දැනගෙන ඉන්න එක මට සහනයක් වේවි. ආදරණීය මලී මේ සේරම පටන් ගන්නේ මම විදුමගේ උසස් පෙල පන්ති ගියපු මුල්ම දවසේ ඉදන්. මගේ ආදරණීය සර් තිවංක සර් එයාගේ පන්ති පටන් ගත්ත මුල්ම දවස. එයාගේ පිලිවෙල, රැවුල, ඒ හිතුවක්කාර කොණ්ඩේ, වැලමිටට නවපු සුදු කමිසේ මාව එයාටම ඇදිලා ගියා.
“හරි පුතාලා. අද අපි කතා කරන්නේ ආවස්ථික පිරිවැය. ආවස්ථික පිරිවැය කියන්නෙ.....”
එහෙම එයා කතා කරන කොට පන්තියේ ලමයි මීක් කියන්නේ නැතුව අහන් ඉන්නේ. ඒ තරම් ලස්සනයි එයා කියලා දෙන හැටි. මට තාමත් මතකයි ආවස්ථික පිරිවැයට එයා ගත්ත උදාහරණේ මල් කුමාරිගේ ආදරය කැප කරපු දුප්පත් කොල්ලා කටුක මතක තියා ගත්ත හැටි. තිවංක සර් හැම ලමයෙක්ගේම හිතේ හිටියට මගේ හිතේ හිටියේ මගේ සිහින කුමාරයා විදිහට. මම එයාට ආදරයා කලා. ඔව් මම දන්නවා තමන්ට උගන්වන ගුරුවරයා ගැන එහෙම හිතන එක හොද නෑ තමයි. ඒත් මලී මමත් හිතක් පපුවක් තියෙන කෙල්ලෙක්.
මම පන්තියේ හොදම ලකුණු ගත්තා. මගේ සර්ගේ අවදානය පවා ගත්තා. එයාගේ ඒ දිලිසෙන කලු පාට ඇස්වලින් මාව අගයන කොට මගේ ගිනි ගන්න හිත නිවිලා යනවා මලී. මම හිතට දවසක් විරිය අරන් සර්ට චිට් එකක් දැම්මා.
“සර් සර්ට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?” කියලා අහලා.
සර් චිට් එක අරන් මගේ දිහා බැලුවා. මල කෙලියයි සර් මගේ අකුරු අදුරගත්තවත්ද? සර් පුංචි හිනාවක් දාලා
“පුතාලා මේ චිට් එකක් ඇවිල්ලා තියෙනවා. මට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා අහලා. උත්තරය තමා නැහැ. ඒත් කියලා මම ඉන්න පැත්ත බලලා හිතේ කෙනෙක් ඉන්නවා.”
ඔයාට කියන්න මලී මට ඉවසුම් නැති උනා. මට එවෙලේ කෑගහන්න ඕනේ උනා. සතුට වැඩි කමට. ඒ කාලේ මගේ හොදම යාලුවා උනේ මිහිරි. දඹුල්ලේ මහා වෙලද පවුලක එකම ගෑනු ලමයා. මම එයාටත් මේ ගැන කිවුවා. එයාත් සතුටු උනා.
මම මගේ සර්ට ලියුමක් ලියුවා. මගේ හිතේ තියෙන හැම දේම කියලා. මම එයාට ආදරේ කරන්න පටන් ගත්ත හැටි. මම එයා කියන හැමදේම ආදරයෙන් බලන් හිටපු හැටි. හැමදේම මම ලියුවා. ඒත් මම මගේ නම වෙනුවට “එම්” කියලා විතරක් ලියුවා. ඒ ලියලා මම ඒක සර්ට තැපැල් කරා.
මම හැම සතියෙම එයාට මට එයා ගැන හිතෙන හැටි කියලා ලියුමක් තැපැල් කරන්න අමතක කරේ නැහැ. ඒත් මම ඒ හැම සැරේම මාව හදුන්වලා දුන්නේ “එම්” කියලා. මේ විදිහට කාලය ගෙවිලා ගියා. සර් සමහර දවසට මම ඉන්න පැත්තම බලන් ඉන්නවා. මෝඩයෝ ඔහොම බලන් ඉන්න එපා අපි දෙන්නම අහුවෙයි කියලා කෑ ගහලා කියන්න මට හිතෙනවා. මේ කාලේ හුඟක් පිරිමි ලමයින්ගෙන් ප්රේම ආරාධනා නොලැඹුනාමත් නෙවේ. ඒත් මම මගේ සර්ගෙ නිසා ඒ සේරම ප්රතික්ෂේප කරා.
ඔය විදිහට කාලය ගෙවිලා ගියා. උසස් පෙල පන්තියේ අන්තිම දවසත් ආවා. එදා එයා අන්තිම ප්රශ්ණෙත් කතා කරලා ඉවර කලා.
“මගේ පුතාලා, ඔයාලාට මම දන්න හැම දේම මම කියලා දීලා ඉවරයි. කිසිම ගුරු මුෂ්ටියක් තියාගත්තේ නැහැ. මම දන්නවා ඔයාලට මේ විභාගේ ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන් කියලා. මේ කිසිම මුහුණක් රිවිෂන් ක්ලාස්වලදී මට දකින්නට නොලැබේවායි කියලා මම ප්රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දැන ගන්න ඕන කරුණු මොනා හරි තියෙනවද පුතාලට?”
“සර් අපිට සර්ගේ ගර්ල්ෆ්රෙන්ඩ් ගැන කියනවද?” අස්සක හිටපු කොල්ලෙක් හයියෙන් අහලා කියාපු වෙලාවේ මගේ පපුව හයියෙන් ගැහෙන්න පටන් ගත්තා. මෙයා මගේ ගැන කියයිද? “අනේ කියන්න නම් එපා මගේ සර්.”
සර් එයාගේ හීනී සුන්දර, මාව පිස්සු වට්ටපු හිනාව දාලා කියපු දේ ඇත්තටම මාව පිස්සු වට්ටාවි කියලා මම ජීවිතේට හිතන්නේ නැතුව ඇති.
“ඔව් පුතාලා එයා තමා ඔයාලගේ පන්තියේ මිහිරි. මට හැම සතියෙම ‘එම්’ කියලා ලියුම් ලියපු ඔයාලගේ පන්තියේ මිහිරි.”
මම මගේ එහා පැත්තේ හිටපු මිහිරි දිහා බැලුවා. එයා මගේ දිහා බලලා කට කොනෙන් හිනාවක් දාලා නැගිටලා ගිහින් මගේ සර්ට තුරුල් උනා. පන්තියේ අනිත් හැමෝම අත්පුඩි ගහද්දි මම විකාරෙන් වගේ බලන් හිටියා විතරයි මතක. මම ගෙදර ගියා නිකන් පාවෙලා වගේ. ඇදට වැටෙනවා විතරයි මතක, ඊලඟට මතක මම දඹුල්ල මහ ඉස්පිරිතාලෙන් නැගිටිනවා. මගේ ලඟ මගේ අම්මා හිටියා. මම අම්මා බදාගෙන ඇඩුවා. පුලුවන් තරම් හයියෙන් ඇඩුවා. ඇස්වල කදුලු හිදෙනකම්ම ඇඩුවා. පස්සේ මම අම්මට වෙච්ච හැම දේම කියුවා.
කොහොම හරි මම ඒ සිද්ධියෙන් මානසිකව හුඟක් වැටුනා. මම පුලුවන් විදිහට විභාගේ ලියුවා. මට ඒ අතරේ වෙලා තිබ්බ සේරම දේවල් ආරංචි උනා.
මිහිරි මම ලියපු ලියුම් එයාගේ තාත්තගේ සල්ලි බලේ වගේම දේශපාලන බලය යොදවලා සර්ගේ අතට යන්න නොදී අරගෙන තිබිලා තියෙනවා. මමත් ඒවා තැපැල් කලේ විදුමග භාරේ නිසා ඒ වැඩේ එයාට ලේසි වෙලා තියෙනවා. එයා ඒ ලියුම් සර්ට දෙනවා වගේ හැසිරිලා තියෙනවා. මගේ හොදම යාලුවා වගේ ඉන්න ගමන් එයා එයාගේ වෙනව ගේමක් ගහලා තියෙනවා. සර් අර බලන් ඉදලා තියෙන්නේ මගේ දිහා නෙවේ, මිහිරි දිහා කියලා මට වැටහුනේ පස්සේ.
කොහොම හරි හිත හදාගෙන මම ඔයාලාගේ බැච් එකත් එක්ක විභාගේ කරා. ඒ වෙනකොට තාත්තා එයාගේ දේපල සේරම විකුණලා මාවත් එක්ක සදහටම ලංකාව දාලා යන්න සැලසුම් කරලා තිබ්බා. ඒ වෙනකොට මුළු දඹුල්ලටම කියලා මිහිරිගේ තාත්තා මගේ සර්ගෙයි එයාගෙ දුවගෙයි විවාහය ගන්න සැලසුම් කරලා තියෙන නිසා මම තාත්තාගේ තීරණයට එකපයින් කැමති උනා.
අනාගතේ කවදා හරි දවසක මගේ සරුයි මමයි මේ සිගිරියේදීම හමුවේවි. සිංහපාදය ලඟදී අපි හමුවෙලා ආදරයෙන් බැදේවි. ඒ අනාගතේ දවසක එනකම් මම මේ සංසාරේ ඉන්නම්.
ආදරණීය මලී. මේ සටහන මම ඔයාට ලියන අන්තිම සටහන වෙයි. මම ඔයාව ආයෙමත් සම්බන්ධ කරගන්නේ නැහැ. මුලු ජීවිත කාලෙම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.
මෙයට,
ඔබගේ ආදරණීය සහෝදරිය
මෙත්මි
ලියුම කියවා අවසන් කල මා දුටුවේ ඈතින් ඉර බැස යන අයුරුයි. අපගේ කණ්ඩායමත් පහලට බසිමින් තිබූ නිසා මා නුවර කලාවිය පිස එන සුලං පොද වැදෙමින් බැස යන හිරු එලිය බලා සිටිනා විට කොහේදෝ සිට ආ මේ අපුරු ගීත ඛණ්ඩය මාගේ මනසට ඇතුලත් වුණි.
“උස අත්තක මලක් උනේ - ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ - පොකුරක එක මලක් වෙන්න
වැහි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට - තරු තිබෙන්නේ රෑ විතරද
විහඟුන් පෙම් ගී ගැයුවට - ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් වුනාට - නුඹට ඉන්නේ මං විතරද”
කසුන් සපුමොහොට්ටි
(නම්,ගම් සහ ඇතුලත් සියලුම සිද්ධීන් මනඃකල්පිතය)

Post a Comment

0 Comments