ඔබේ සිනා ළඟ .....



මා පෞද්ගලිකව අහම්බයන් විශ්වාස කරන්නෙකු නොවෙමි. නමුත් මේ කතාව මට ලැබෙනුයේ එවන් අහම්බයකිනි. මෑතකදී අපගේ දෙපාර්තමේන්තුවේ ලිපි ද්‍රව්‍ය කිහිපයක් එහෙමෙහෙ කරනා මට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පැරණි ඩයරියක් හමු වුණි. අනුන්ගේ දිනපොත් කියවීම නරක පුරුද්දක් වූවත් මා සිත එය කියවන මෙන් බලකෙරිණි. වැඩය අවසන් වන තෙක් එය පැත්තකින් තැබූ මා වැඩය අවසන් කොට එය කියවීම ආරම්භ කලෙමි. මුල් පිටු කිහිපය හිස්‍ ය. ඉදිරිපස සදහන්ව ඇති පරිදි එය අයත්වන්නේ SSK සූරියආරච්චි නම් අයෙකුට බව පැහැදිලිය. නමුත් ඔහුගේ බඳවා ගැනීම් අංකයක් හෝ නිලයක් සදහන්ව නොතිබුණි. නමුත් ඔහුගේ කතාව දිනපොතේ භාගයක් පුරා ලියවී තිබිණි.

මම දන්නේ නෑ ඇයි මම මේ කතාව මෙහෙම ලියන්නේ කියලා. සමහර විට මගේ හිත නිදහස් කරගන්න ඕන නිසා වෙන්න ඇති. සඳරුවන් සූරියආරච්චි වුනු මම KDU එකට ආවේ කැඩෙට් නිලධාරියෙක් විදිහට. අපි ඇතුලත් වුනාම තමා දන්නේ අපේ බැච් එකේ ඉදලා සිවිල් අයටත් උපාධි පාඨමාලා පටන් ගන්නවා කියලා. අන්න ඒ විදිහට තමයි මට මගේ ආදරය ‘යෂ්මි මල්ලවසූරිය’ මුණ ගැසෙන්නේ. අපේ කෝස් එකේ හිටපු ලස්සනම කෙල්ල. දක්ෂතම කෙල්ල. එයා තමා හැමෝගෙම ක්‍රෂ් එක වුනේ. නමුත් අපේ කොල්ලෝ එකෙක්වත් එයාගෙන් අහන්න ගියේ නෑ. ඒ වගේම එයාගේ දක්ෂතාව මට්ටමට යන්න කවුරුත් හිටියෙත් නැහැ. නමුත් මට ඕන වුනා. ඉපදුනු දවසේ ඉදන් පිරිමි පාසලකට ගිය මම කෙල්ලෙක් එක්ක ආසාවට කතා කරලා තිබ්බේ නැහැ. වෙන දෙයක් වෙච්චාව දෙන් කියලා මම යෂ්ට කතා කරා.

“හෙලෝ යෂ්මි.”

“හෙලෝ....සූරියආරච්චි....සොරි මම ඔයාගේ මුල් නම දන්නේ නැහැ.”

“අහ්. ඒකට කමක් නැහැ. සඳරුවන් කියන්න මට”

“ඕකේ සඳරුවන්. ඇයි කතා කලේ.”

“මේ.........මේකයි.....”

“ඔව් කියන්න”

“නෑ...මේ....මට Maths ටිකක් අවුල්. ඔයාට වෙලාවක් තියේනම් මට ටිකක් කියලා දෙන්න පුලුවන්ද?”

“අයියෝ සුළු දෙයක්නේ. ඔයාට කොතන වගේද අමාරු?”

“මේ....අර...දිශානතිය. අන්න ඒ හරිය.”

“හරි...එහෙනම් හෙට අපි හවස වෙලාවේ කුප්පියක් දාමු.”

“හරි. අනේ Thank you so much යෂ්”

“යෂ්?”

“ඇයි එපාද?”

“අනේ නෑ සඳරුවන් කමක් නෑ.”

“හරි එහෙනම් හෙට හම්බුවෙමු.”

“හරි බායි.”

“බායි.” කියලා අපේ ගෲප් එකට යනකොට අපේ එවුන් නිකන් මැජික් එකක් වුනා වගේ බලාගෙන ඉන්නවා.

“අඩෝ 26 මොකෝ කියුවේ එයා.” ඒ මගේ බඩියා ප්‍රභාෂ්

“මොනවත් නෑ බං. මම ගණන් වැඩ ටිකකට උදව් ඉල්ලුවා එච්චරයි.”

“අඩෝ.....නෑ....සිරාවට?”

“ඔව්”

“අනේ පලයන් බං යන්න. මැත්ස් වලින් ඒ3ක් ගත්ත උබට තව මොකටද යකෝ උදව් මැත්ස් වලට”

“අඩෝ මතක නෑ බං”

“අනේ පලයන් යන්න. උඹ බබා.”

“අනේ පල පල”

“හා හා යමන්කෝ ඔහොම.”

“ඉක්මන් කරපන් නැත්නම් staff අපිව දෙකෙන් බෙදලා පනහෙන් ගුණ කරාවි.” කියලා මම කියුවේ අපි තාම first year නිසා කැට වැටෙන්න පුලුවන් නිසා.

ඔහොම දවස ගෙවිලා ගියේ ඊලඟ දවසේ යෂ් එක්ක වැඩිපුර කතා කරන්න පුලුවන් නේද කියන උද්දාමයත් එක්කමයි. ඒත් ඊට පහුවෙනිදා එයා ඇවිල්ලා හිටියේ නැහැ. මම එයාගේ යාලුවන්ගෙනුත් ඇහුව නමුත් එයාලාත් කිසිම දෙයක් දැනගෙන උන්නේ නැහැ. ඊට පහුවෙනිදා යෂ් ආව ගමන් ආවේ මම ලඟට,

“අනේ සඳරුවන් really sorry මට ඊයේ හොස්පිටල් එකට යන්න උනා හදිසි වැඩකට. අපි අද පාඩම බලමුද?”

“ආහ්..ඕකේ යෂ්. ඒත් ඇයි හොස්පිටල් ගියේ. මොකක් හරි අසනීපයක්ද?”

“ආහ් නෑ. ඒක පොඩි ප්‍රයිවට් දෙයක්. අද හවස කොහොමද එහෙනම්?”

“අහ් හරි. අද හවස ඕකේ.”

ඇත්තෙන්ම යෂ්ගේ කුප්පිය මට ඒ තරම් ප්‍රයෝජනවත් නොවුනට එයා ඒ කියලා දෙන විදිහට ඕන කෙනෙකුට maths තේරුනා. ඒ නිසාම අපේ සෙට් එකම ඒ semester එකේ maths ගොඩ ගියා. ඒ වගේම අපි දෙන්නා ගොඩක් සමීප වුනා.

“රූ...මේ මට ඇත්ත කියනවා. එදා ඔයා මගෙන් maths උගන්වන්න කියලා ඇහුවේ ඇයි?” දවසක් ෆ්‍රී වෙලාවකදී යෂ් මගෙන් ඇහුවා.

“තේරෙන්නේ නැති නිසානේ මෝඩියේ.”

“මේ...ගහනවා හරිද බොරු කියාගෙන ආවොත්...” අතේ තිබ්බ පොත රෝල් කරලා මගේ පැත්තට දික් කරන ගමන් යෂ් කියුවා.

“ඇයි?”

“ඇයි? නෑ ඔලිම්පියාඩ් වලින් ලංකාවේ ෆස්ට් වෙන මිනිස්සුන්ට ආමි එකට ආවම ගණන් අමතක වෙනවා ඇති නේ?”

මම කොයිතරම් පුදුම උනාද කියනවා නම් යෂ් “රූ ඔයි කට වහගන්නවා මෝඩයෝ මැස්සො යයි” කියනකම්ම මම ශොක් වෙලා හිටියේ.

“ඔ...ඔ...ඔයා කො..කොහොමද දැනගත්තේ?”

“රූ...මොකද මේ බය වෙලා ලමයෝ?”

“කි...කියන්නකෝ කොහොමද ඔයා දැන ගත්තේ?”

“අනේ ලමයෝ SSK සූරියආරච්චි කියන නම ඔයා නිකමටවත් ගූගල් එකේ ඔයාගේ නම සර්ච් කරලා නැද්ද ලමයෝ. ගූගල් දෙයියෝ තමා කියුවේ ඔයා ඔලිම්පියාඩ් ෆස්ට් කියලා.” ඇය සිනාසෙමින් කීවාය.

“ආහ්....”

“ඇයි ඇත්තටම ඔයා එහෙම ඇහුවේ මගෙන්?”

‘මම ඔයාට ආදරේ නිසා’ හිතෙන් කියන ගමන් “බැජ් එකේ ලස්සනම කෙල්ල ආඩම්බරේට කතා නොකර හිටියොත් කියලා.” කටින් කියුවේ එයා මම ගැන වැරදියට හිතයි කියන බය හින්දා.

ඔහොම කාලය යන කොට අපි හුඟක් සමීප වුනා. අපි බැජ් එක දෙසැම්බර් වැකේෂන් එකත් අල්ලලා නුවරඑලිය පැත්තේ යන්න කතා වුනා. අපේ බැජ් එකේ කොල්ලෙක්ට බස් එකක් තිබ්බ නිසා ලොකු ගේමක් නැතුව සෙට් එකටම යන්න පුලුවන් වුනා. ඒ ගමන තමයි මගේ ජීවිතයේ ගෙවුනු සතුටුම දවස් ටික වුනේ.

“මේ රූ...”

“ම්ම්ම්ම්.....”

“මම ඔයාගේ උරහිසින් ඔලුව තියාගන්නද? කමක් නැද්ද?”

“මගේ ලඟින් වාඩි වෙලා හිටපු යෂ් මගේ දිහා බලලා ඇහුවා.”

“අනේ තියාගන්න ලමයෝ. මේ උරහිස හැමදාටම ඔයාට තමයි.” කියලා මගේ කටින් එක සැරේටම පිට වුනා.

“හ්ම්ම්ම්ම්...”කියලා එයා මගේ උරහිස උඩින් එයාගේ ඔලුව තියාගත්තා.

මට ඇත්තටම පුදුමයි. බස් එක ගැස්සෙන වේගෙට උරහිස නොගැස්සි තියාගෙන යන මම දිහා ඉස්සරහා හිටපු මගේ බඩියා හිනා වෙවි බලන් හිටියා. මුන් වගේ පාප මිත්‍රයෝ. එක්කෝ ගනින්කෝ ෆොටෝ එකක්. ගොනා වගේ හිනාවෙවි ඉන්නවා. කියලා හිතලා මම යෂ් දිහා බැලුවා. එයා එයාගේ හීනී බෝල ඇස් දෙකේ කදුලු පුරවන් මගේ දිහා බලන් ඉන්නවා.

“යෂ්...ඇයි ලමයෝ මේ?”

“මෙච්චර මට ආදරය කරන්න එපා රූ. මට දවසක දාලා යන්න හිත හදා ගන්න බැරි වෙයි.”

“ඇයි ඒ? ඇයි ඔයා මාව දාලා යන්නේ? ඔයා එතකොට මට ආදරේ නැද්ද?”

“ආදරෙයි දෙයියනේ. මේ හිත පුරවලා ඔයාට ආදරෙයි. ඒත්.........”

“ඒත්............”

“මම පස්සේ කියන්නම් රූ....මේ දවස් ටික ඔයාට තුරුල් වෙලා ඉන්න දෙනවද?”

“දෙන්නම් දෙයියනේ දෙන්නම්...”කියලා එයාගෙ ඔලුව මම සිපගත්තේ ඇය තව මට ලං කර ගනිමින්.

ඒ දවස් ජීවිතයේ ලස්සනම දවස් කියන්නේ ඒ දවසෙන් පස්සේ රූ මට එයාගේ කතාව කියපු නිසා. එයාට පිලිකාවක්. එයා සනීප කරන්න පුලුවන් කියලා දොස්තරලා කියුවත් එයාට ඒ ගැන විශ්වාසයක් තිබුනේ නෑ. ඒත් අපි දෙවෙනි අවුරුද්ද මුලදී එයාගේ සැත්කම කලා. ඒක සාර්ථක වුනා. යෂ් හිනාවෙලා සතුටින් හිටියා. අපි ගැන ගෙවල් වලටත් අපි කියුවා. මම හිතුවා ලස්සන දවස් තව ඉස්සරහට තියෙනවා කියලා. අපි කැඩෙට් නිලධාරීන් තුන්වෙනි වසර ආරම්භයට යන්න ඕනෑ දියතලාව කදවුරට. සමාජයෙන් ඈත් වෙලා ලියුම් වලින් ගනුදෙනු කරන අපි ගෙදර යවන්නේ එක අතක අතේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයකින්. මට මතකයි යෂ් මම යද්දි එදා මාව බදාගෙන අඩපු තරම.

“අ...අ...අනේ...ර්..ර්...රූ...ය...ය..යන්න එපා අනේ. ඉන්න බැරිද?”

“අනේ ලමයෝ ඔහොම අඩන්න එපා. එතකොට කොහොමද මම හිත හදන් ඉන්නේ.”

“අ..අ..අනේ...ඉ..ඉ..ඉතින් මට පාලුයිනේ....ම..ම..මම ආයේ ලෙඩ උනොත්....”ඉකි ගැසුම් හමුවේ ඇය කියනවා තාමත් මගේ කන් තුල රැව් දෙනවා.

“හරි අපි ලියුම් වලින් කතා කරමුකෝ. ඔයා හැමදාම මට ලියුම් ලියන්න. මමත් ලියන්නම්. හරිද බෝලේ.”

“මේ මම බෝල නෑ හරිද?” ඇඩීම නවත්තලා මාව බදා ගන්න ගමන් ඇය කියුවා.

“අම්මෝ කෝ අර අඩපු කෙල්ල.” මමත් ඇයව බදා ගන්න ගමන් කියුවා.

“හැමදාම ලියන්න. හරිද රූ.”

“හරි යෂ්. මම ගිහින් එන්නම් බුදු සරණයි.”

ඒ විදිහට ආරම්භ උනු මගේ දියතලාව ජීවිතේ හැමදවසකම ලියුම් ආව එකම කොල්ලා උනේ මම. සිනීයර්ස්ලා මට විහිලුවට කියුවේ සූරිට ලියුමක් ආවේ නැත්නම් එදාට ලෝක විනාසේ කියලා. මමත් හිනාවෙවි ඒවා අහන් හිටියා. මම අප්‍රේල් නිවාඩුවට ගමේ ගියාම යෂ් දූවගෙන ඇවිත් මගේ අතේ එල්ලිලා එයාගේ අතින්ම උයපු කෑම මට කවනවා. පිස්සු කෙල්ල...මටම හිනායි.

ඒත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ ගියපු මට ලියුම් එනවා අඩු වුනා. මට ඉවසගන්න බැරිම තැන කොයින් බොක්ස් එකකින් කෝල් එකක් අරගත්තා. එදා උත්තර දුන්නේ යෂ් නෙවේ. එයාගේ අම්මා.

“අනේ පුතේ දෝ...දෝ..දෝණිව ආයෙත් ඉස්පිරිතාලේ නවත්තන්න උනා පුතේ.” ඇඩුම් මැද්දෙන් ඇය කියන කොට මට හිතාගන්න බැරි වුනා.

“ඇ...ඇ...ඇයි අම්මේ යෂ්ට මොකක් හරි කරදරයක්ද?”

“අනේ පුතේ දුවගේ පිලිකාව ආපහු ඔඩු දුවලාලු. මම දන්නේ නැහැ රත්තරන් දවසක් කැම්පස් එකේ ඉදන් ආවම එක සැරේටම ඇදගෙන වැටුනා. එදා ඉස්පිරිතාලේ ගෙනිච්චාම දොස්තරලා තමා කියුවේ අර කරුම ලෙඩේ ඔඩු දුවලා කියලා.”

“දැ...දැ...දැ..දැන් කොහොමද අම්මේ මගේ යෂ්ට?”

“දැන් නම් කතා කරනවා පුතා. කෑම එහෙම කනවා.”

“හරි අම්මේ මම ඉක්මනට එන්න බලන්නම්කෝ.”

තවමත් කැඩෙට් නිලධාරීන් නිසා නිවාඩු අනුමත කරන්නේ නැහැ කියලා කියුවම මටත් කරන්න දෙයක් නැති වුනා. මගේ බඩියා ප්‍රභාෂ් මාව හැම තිස්සෙම සැනසෙව්වා. දිරිගැන්නුවා. කොහොම හරි ඔක්තෝම්බර් මාසයේදී හමුවුනු නිවාඩුවේදී මම ගෙදර ගියා නෙවේ දිව්වා. මම කෙලින්ම ගියෙත් යෂ්ලගේ ගෙදරට.

මට යෂ්ව දකිද්දි ඇස් අදහා ගන්න බැරි වුනා. එයා කිසිම ලෙඩක් නෑ වගේ ලස්සනට හිනා වෙලා ඉන්නවා. වෙනසකට තියෙන්නේ එයාගේ දිගට තිබ්බ කොණ්ඩෙ අඩු වීම විතරයි. මම මුලු නිවාඩුවම යෂ් එක්ක හිටියා. නිවාඩුව ඉවර වෙලා යන්න කලින් දවසේ යෂ්  එයාගේ අතින්ම මට කෑම කැව්වා. මම එයාගේ ඔලුව ඉබිද්දි එයාට ඇඩුනා.

“යෂ් සුදූ ඇයි මේ අඩන්නේ?”

“අනේ නෑ රූ...ඔයා මට කොච්චර ආදරෙයිද. ඒත් මම හැමදාම ලෙඩ.”

“ඔන්න ඉතින් මාව තරහ ගස්සනවා. ඔයා ඉක්මනට හොද වෙනවා හරිද?”

“ඔව් මම හොද වෙනවා මගේ රූ වෙනුවෙන් මම හොද වෙනවා.”

“අන්න හොද ලමයා. කියමින් මම ඇයව බදා ගත්තා.”

එදා මම යනකොට රූ මගේ කකුල් දෙක ලඟ වැටිලා වැන්දා. ම...ම...මට හිතා ගන්න බැරිවුනා.

“අනේ යෂ් මොකක්ද මේ කරන්නේ.”

“මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න රූ. ඔයාගේ ආදරේට මට දෙන්න පුලුවන් එකම දේ තමයි මේ.”

“මේ නැගිටින්න. කෝ...කියමින් ඇයව අසීරුවෙන් නැගිට්ට ගත්ත මම”

“අඩන්න එපා හරිද තව මාස දෙකකින් මම එනකොට හොදවෙලා ඉන්න හරිද?”

“හ්ම්ම්ම්ම්”

“හරිද?”

“හරි මගේ රූ...”කියමින් මා වැලදගත්තාය. ඒ අප දෙදෙනා හමුවෙන අවසන් අවස්ථාව බව දැන සිටියේ එකල මා තදින් විශ්වාස කල දෙවියන් පමණි.

අප කදවුරට පැමිණි විගස අප අපගේ පුහුණුවට යොමු කල අතර ‘අකුණු පහර’ නම් ආදර්ශ මෙහෙයුමද ආරම්භ කරන ලදී. මසක් පමණ කැලයේ සිටිමින්, අවට සමාජය හා ගැටීමක් නොමැතිව ඒ පුහුණුව නිම කිරීමට පෙර දින මා යෂ්ව සිහිනෙන් දිටිමි. එය සාමාන්‍ය සිහිනයක් ලෙස සැලකූවත් මාගේ සිතට අමුත්තක් දැනිණි. කෙසේ වූවත් මෙහෙයුම හොදින් නිම කල යුතු නිසා එය ඉවසාගෙන අවසන් දිනය සාර්ථකව නිම කිරීමට අප කණ්ඩායමට හැකි වුණි. නැවත කදවුරට ආපසු මා හට කෙලින්ම අණ දෙන මූලස්ථානයට වාර්තා කරන මෙන් දැනුම් දීමක් කෙරිණි.

“මිස්ට සූරියආරච්චි නිවසෙන් ඔබට හදිසියේම පැමිණෙන්නැයි කියා දැනුම් දීමක් එවා තිබෙනවා. තමුන්ට ඒ පිලිබඳ මේ එවා තියෙන ලිපියෙන් දැන ගන්න පුලුවන් වේවි. නමුත් මතක තියා ගන්න පුතා ජීවිතයේ වැටීම් වලින් නැගිටීම තමා නියම සොල්දාදුවෙකුගේ ලක්ෂණ. පැය 2000ට තමුන්ව රැගෙන යන්න අපේ රථයක් සූදානමින් තියෙනවා. සූදානම් වෙන්න.” කණ්ඩ භාර නිලධාරිතුමා එසේ කියන විට හිතට අමුත්තක් දැනුනත් ඒ ගැන පිටතට නොපෙන්වා ආචාර කොට මා නැවත බිලට් එක වෙත පැමිණ යෂ්ගේ අත් අකුරෙන් ලියවී තිබූ ලියුම කියවන්නට වූයේ ඒ ලියුම මගේ ජීවිතය කලඹවාවියැයි කියා දැන නොවේ.

“ආදරණීය මගේම රූ වෙතටයි,

ඔයා මේ ලිපිය කියවන කොට මම සමහර විට මේ ලෝකෙන් ගිහින් තියේවී. ඒත් කලඹල වෙන්න එපා. මොකද මම හැමදාම ඔයා ලඟ ඉන්නවා. මොකද මේ ලෝකේ මම ආදරණීම හිනාව, කතාව තියෙන්නේ ඔයා ලඟ. මම ආදරයේ මුල් අකුරු කියෙව්වේ ඔයාගෙන්.

මම කියවලා තියෙන ඉතිහාස පොත් වල ආදර කතා වගේ මටයි ඔයාටයි ලස්සන කථාවක් ලියන්න බැරි වුන එක ගැන සමාවෙන්න රූ. මේ පිලිකාව කියන ලෙඩේ නිසා ඔයාව දාලා යන්න වෙනවට සමාවෙන්න. මට ඔයාට දැනෙන්න ආදර සැමරුමක් දෙන්න බැරි උන එක ගැන සමාවෙන්න. මම දන්නවා ඔයා මට සමාව දෙනවා කියලා. මොකද මේ ලෝකේ ලස්සනම හදවත තියෙන්නෙ ඔයාට.

අද මේ ලියුම ලියන්නේ අද ඔපරේෂන් එකට මම ගන්නවා කියපු නිසා. මගේ ආදරණීය රූ මම අද නැති වුනොත් ඈත ආකාසේ පුංචි තරුවක් වෙලා බලන් ඉන්නවා. ඔයා මම නැති නිසා දුක් වෙලා ජීවිතය විදවන්න එපා රූ. ජීවිතේ විදින්න.

බුදු සරණයි මගේ ආදරණීය සාගර සඳරුවන් සූරියආරච්චි

මෙයට

සැමදා ඔබේම

යෂ්”

 

කදුලු සට සට ගා වැටෙද්දි මගේ ලඟ දුවගෙන ආපු මගේ බඩියා මාව අල්ලා ගත්තා. අපි මගේ රූ බලන්න ගියා. එයා ලස්සනට පෙට්ටියක දිගා වෙලා හිටියා. මම කිහිප සැරයක්ම සිහිය නැතිවෙන්න ගියත් සොල්දාදුවෙකු විදිහට ලැබුණු පුහුනුව නිසා එය මැඩපවත්වා ගන්න පුලුවන් වුනා.

දැනට එයා නැති වෙලා අවුරුදු 8ක් වෙනවා. මම දන්නේ නෑ මම මේ කතාව ලියන්නේ කියලා. ඒත් තාමත් මම හැමදාම ගමේ ගියාම එයාගේ සොහොන ලඟට යනවා. මට දැනෙනවා එයා මගේ ලඟ ඉන්නවා කියලා. රෑට මම ඈත තියෙන තරු එක්ක හිතෙන් කතා කරනවා. මොකද ඒ මගේ ආදරේ නිසා. ඒ මගේ යෂ් නිසා.

එක හුස්මට කතාව කියවාගෙන ගිය මම අවසානයේ ලොකු හුස්මක් හෙලුවා. අම්මෝ බලන කොට වෙලාව 4.30. මම රෑට කන්න කෑම එකක් ගන්න කඩේට ආවම වාදනය වුනු ගීතයක් ඔස්සේ නැවත මගේ හිත කතාව එක්ක වේගයෙන් දිව ගියා.

කුමටද උපමා ඉතිහාසයේ උන් ප්‍රේමවන්තයින්ගෙන් ..

කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ ..

ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා ..

ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා

 

ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා

ඔබේ කතා ළඟ සිත නැවතුනු දා

ප්‍රේමය හැදින්නෙමි

ප්‍රේමය හැදින්නෙමි

මේ ලෝ තලයේ


Art is something which lies in the slender margin between the real and the unreal.

-Chikamatsu Monzaemon


Kasun Sapumohotti

 

 

 

 

Post a Comment

0 Comments