ගාලු අහසට මම පෙම් බදින්නේ ඉපදුනු දා ඉදන්මයි. ගාලු කොටුව, කුණු ඇල පාර, කළු පාලම ජීවිතයේ මතක තියෙන තැන්. ඒ ගාලු අහස යට මට මුණ ගැහුණු ඒ හදවත තමයි පවනි කියන්නේ. මට මුලින්ම පවනිව මුණ ගැහෙන්නේ සුජිත් සර්ගේ සිංහල පන්තියේදී. ඒකත් සුජිත් සර් ගෲප් ක්ලාස් එකේදී. ඒ කාලේ පන්තියේ හොදම විචාර ලියන්නේ පවනි යි මමයි. ඒත් අපි අතරේ ඒ තරම් ලොකු කතා බහක් තිබුනේ නැහැ. අපි මුලින්ම කතා කලෙත් වැස්සක් නිසා.
එදා ගාල්ලට නා කපන වැස්ස. මට උදේ ගෙදරින් එනකොට කුඩේ ගේන්න බැරිවෙලා පන්ති ඉවර වෙලා බස් ස්ටෑන්ඩ් එකට යන්න විදිහක් නැතුවයි හිටියේ. එතකොට තමා මගේ ලඟින් ඇය ඇවිත් හිටගත්තේ.
“දසුන් යන්න විදිහක් නැද්ද?”
“අනේ බලන්නකෝ පවනි මේ කරුම වැස්ස දැන්ම පටන් ගත්තනේ. අද මට කුඩේ ගේන්නත් අමතක වුනා.”
“මේ....ඔයා කැමතිනම් ක්‍රමයක් තියෙනවා.”
“මොකක්ද?”
“මමත් එක්ක යන්. මගේ ලඟ කුඩයක් තියෙනවා.පොඩි එකක්.”
“ඔයාට ප්‍රශ්ණයක් වෙන එකක් නැද්ද?” මම එහෙම ඇහුවේ ඇය වගේම මමත් හිටියේ පාසල් නිල ඇදුමෙන් නිසා.
“අනේ නැහැ දසුන්. මෙහෙමයි ඔයා කැමතිනම් එන්න.” කියා ඇය බෑගයේ තිබූ කුඩා කුඩය එලියට ගෙන දිගහැර ගත්තා.
“හරි යන්” කියා මමත් ඇය සමඟ කුඩේ යටට උනා. අපි හිමින් සීරුවේ ඇවිදගෙන ආවා.
“දසුන් ඔයා බාගෙට තෙමෙනවා නේද?
“අනේ නැහැ පවනි. අපි මෙහෙම යන් තව ටිකයිනේ.”
“හ්ම්ම්ම්ම්”
ඇගේ මුවින් තවත් වචනයක් පිටවුනේ නැහැ. අපි දෙදෙනා හෙමින් සීරුවේ ඇවිත් බස් නැවතුමට ලඟා වුනා.
“අනේ තෑන්ක් යූ පවනි.”
“ඕක මොකක්ද දසුන්. එහෙනම් ලබන සතියේ හම්බුවෙමු."කියා ඇය බස් නැවතුමේ මිනිසුන් අතර නොපෙනී ගියා. මමත් කතළුව හරහා බසයට නැග්ගේ ගෙදර යන්නටයි. එලෙස අපේ කතාවේ ආරම්භය සනිටුහන් වුනා. සතියක කාලය වේගයෙන් ගෙවී ගියත් මෝසම් වැසි නිසා වර්ෂාවේ කිසිදු අඩුවක් වුනේ නැහැ. එදා වගේම එදිනත් ගාලු අහස වැහි මන්දාරමට බරව ලා පොදක් වැටෙමින් තිබුනා. කුඩේ ගෙනාවත් ඒක බෑගයෙන් එලියට නොගෙන මම වැස්ස දිහා බලන් ඉදියා.
“අදත් කුඩේ අමතක වුනාද?”
“හී......”
“අනේ අනේ පන්තියේ හොදම සාහිත්‍ය විචාරකයාට ඒ පොඩි දේ හැමදාම අමතක වෙනවා වගේ.”
“හී.....”
“හී...තමයි.හ්ම්ම්ම්ම් අදත් යමුද?”
“පුලුවන්ද?”
“අනිවාර්‍යයෙන්ම පුලුවන්.”
“අදත් ඔයා තෙමෙයි.”
“කමක් නැහැ. තෙමුනත් නොතෙමුනත් ඒ ගැන හිතලා හරි සන්තෝසෙන් ඉන්න පුලුවන්.”
“ඇයි ඒ.”
“ඒ...ඒ...ඒවා වැඩක් නැහැනේ. යමුද?”
“හ්ම්ම්...”
අපි කළු පාලම උඩින් කුණු ඇල පාර දිගේ ඇවිදන් ගියා සද්දයක්වත් නැතුව. ඒත් ඒ හිත් කතා කරා කියලා මට දැනුනා. එදත් අපි බස් ස්ටෑන්ඩ් එකේදී වෙන් වෙලා ගියා.
මේ විදිහට කාලය ගෙවිලා ගියා. වැස්ස වුනත් වැස්සේ නැති වුනත් එයා එයාගේ කුඩේ යටට මාව හැරෙන්න වෙන කිසිම කෙනෙක් ගත්තේ නැහැ කියලා මම දැක්කා. ඒත් විභාගේ කට ලඟ තියාගෙන ආදරයක් ගැන හිතන්න එයාට වගේම මටත් පුලුවන් කමක් තිබුනේ නැහැ. ටික ටික කාලය ගෙවිලා ගියා. වැස්ස දවසට අනිවාර්‍යෙන්ම එයා මාව එයාගේ කුඩේ යටින් එක්කන් ගියා. ඒත් අපි වචනයක්වත් කතා කලේ නැහැ.
පන්තියේ අන්තිම දවසත් උදා වුණා. එදත් ගාලු අහස කළු කරලා වැහි මන්දාරමක තිබුණා. වෙනදා වගේම එදත් එයා මම ලඟට ආවා.
“අන්තිම දවසෙත් මමත් එක්ක යන්ද?”
“කමක් නැද්ද?”
“කමක් නැහැ. අපි යමු.” කියා පොද වැස්සේ අපි බස් නැවතුම බලා අවසන් වතාවට යන්න පිටත් වුනා.
“දසුන් ඔයා හොදට විභාගේ කරන්න. ඔයාට සුබ පැතුම්.”
“ඔයාටත් පවනි. ඔයාත් හොදට විභාගේ කරන්න. ඔයාට ලේසියෙන්ම විශ්ව විද්‍යාලයට යන්න පුලුවන්.”
“හ්ම්ම්ම්...ඔයාත් පුලුවන් දසුන්.”
අපි එදත් හැමදාම වගේ අවසන් වතාවටත් ගාල්ල බස් නැවතුමේදී වෙන් වුනා.
අපි විභාගේ කරා. මට විශ්ව විද්‍යාල වරම් ලැබුනත් ලකුණු කිහිපයක ගැටලුවක් නිසා සරසවි වරම් නැති වුණා. ඒත් ඇය දිස්ත්‍රික් මට්ටමෙන් සමත් වෙලා කොළඹ විශ්ව විද්‍යාලයට තේරුණු බව දැනගන්නට ලැබුණා. මමත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට තේරී පත් වුණා. අපි දෙදෙනා එදායින් පසු නැවත මුණ ගැසුනේ නැහැ. ඉතින් අපි දෙන්නාගේ අප්‍රකාශිත වූ ප්‍රේමයට එතනින් නැවතුම් තිත වැටුණා.
මගේ ඉදිරියෙන් ගිය පෙම්වතුන් දෙදෙනා ජනප්‍රිය මාවත පැත්තට හැරෙද්දී මතක මාවත මාව හුඟක් ඈතට වගේම රාත්‍රී ආහාරය ගන්නා අවන්හලටත් කිට්ටු කරලා තිබුණා. රැසන්විල් හොටලයෙන් කෑම ඇණවුම් කොට එය ලැබෙන තෙක් සිටිනා මට හෝටලයේ දමා තිබූ ඒ සින්දුව සවනට වැටුණා.
"මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියා නම්.. ඔබ සිටියා නම්....."
Art is something which lies in the slender margin between the real and the unreal. (කලාව යනු සත්‍ය සහ අසත්‍යය අතර සිහින් මායිමක පවතින දෙයකි.)
-Chikamatsu Monzaemon
✒️Kasun Sapumohotti
0 Comments