“ආ..පුතා කොහොමද කාලෙකින්.”

“ආහ්..සර් කොහොමද ඉතින්. සර් ට්‍රාන්සර් වුනා කියලා ආරංචි වුනා. හැබැයි ආපහු ආවා කියලා දැනගත්තේ අද.”

කාලෙකට පස්සේ තාත්තලාගේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකට ගියපු මට දර්මන් සර්ව මුණ ගැහුනේ කාලෙකින්. අපි මෙහෙම විස්තර කතා කරමින් ඉන්න කොට මේ දවස් වල ප්‍රසිද්ධ එක් වාර්ථාවක් පිලිබඳවත් කතාවට ඇදිලා ආවා. 

“පුතා ලියන කියන ඒවා අපි කියවනවා. බොහොම ලස්සනයි. මමත් කෙනෙක් ව අදුන්වලා දෙන්නම් පුතාට එයාට ඒ යුගය ගැන හොද අත්දැකීම් තියෙනවා. ඔයාට වැදගත් වෙන කෙනෙක් වෙයි.”

“බොහොම ස්තූතියි සර්. හොද අත්දැකීමක් නම් මම අනිවාර්‍යයයෙන් ලියන්නම්.” 

“හරි පුතා මම ඉක්මනටම කෝල් එකක් දෙන්නම්කෝ” කියමින් ඔහු එතැනින් සමුගෙන ක්‍රීඩා උළෙලේ ඉදිරි වැඩ කටයුතු සඳහා නික්ම ගිය අතර මාද දිගු කාලයකින් හමු වූ මාගේ සමකාලීනයන් වෙත නැවත පිය නැගුවෙමි.

දින කිහිපයකට පසු මා මෙට්‍රොපොලිටන් කැම්පස් හි මාගේ කාර්‍යාලීය මේසය අසල සිටියදී මාගේ පෞද්ගලික දුරකථන අංකයට ඇමතුමක් ලැබුණු අතර එහි තිරයේ සටහන් වූයේ නොදන්නා අංකයකි.

“හෙලෝ...ගුඩ් මෝර්නින්ග්”

“ගුඩ් මෝර්නින්ග් මේ කසුන් පුතා ද?”

“ඔව්...කව්ද මේ.”

“පුතා මම නාමලී. මට පුතාගේ විස්තර ලබ දුන්නේ දර්මන් කියලා මගේ මිත්‍රයෙක්. පුතාට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්ද?”

“ඔව් මිස් පුළුවන්, කියන්න.”

“පුතා මට පුතාව මුණ ගැගෙන්න පුළුවන් ක්‍රමයක් තියෙද? මොකද ඒ ක්‍රමයෙන් මට පහසුවෙන් මට පුතාට මගේ කතාව කියන්න පුළුවන්.”

“ශුවර් මිස්. ඒත් මම මේ දවස් වල නම් ඉන්නේ කොළඹ. මිස් කොහෙද ඉන්නේ?”

“මමත් පුතා ඉන්නේ කොළඹ. ඔයාට පුළුවන්ද කොළඹ අද හවස 4ට විතර කොළඹ WTC එකේ Barista එකට එන්න.”

“හතරට නම් බැරි වෙයි මිස්. වැඩ ඉවර වෙන කොටත් 4.30 වෙනවා. 4.45ට විතර කමක් නැද්ද මිස්.” කතාවක් දැන ගැනීමේ නොනිත් කුතුහලයෙන් යුතු මා කෙසේ හෝ අදම ඈ මුණ ගැසෙමියි අදිටනින් යුතුව ඇයට ප්‍රකාශ කලෙමි.

“ම්.......sure පුතා. මම එන්නම්.”

“Thank You So Much මිස්.”

“You’re welcome පුතා. එහෙනම් හව හතරට meet වෙමු.”

“Sure මිස්. Good Day.”

“Good Day පුතා . See You.”

කාලය එදින ගත වූයේ ඉතා සෙමින් යැයි මට හැගුණි. සවස 4.30 බව හඟවමින් මාගේ අත් ඔරලෝසුවේ තබා ඇති එලාමය නාද වන්නට පටන් ගති. මා ඉක්මනින්ම මාගේ බෝඩිමට ගොස් බඩු බාහිරාදිය එහි තබා පිළිවෙලකට සකස් වී හැකි ඉක්මනින් ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ පිහිටා තිබූ Barista අවන්හලට පිය නැගුවෙමි.

මා එහි ගොස් වට පිට බැලූ නමුදු ඇයව මීට පෙර දැක නොමැති බැවින් ඇයට දුරකථන ඇමතුමක් ගනු ලැබුවෙමි.

“හෙලෝ මිස් මම ඇවිත් ඉන්නේ.”

“ආහ් පුතා හරි මම ඔයාව දැක්කා.”

මට මදක් දුරින් පිහිටි මේසයක් අසල සිට මැදි විය පසු කල කාන්තාවක් මා හට අත වනනු මා දුටු අතර මා ද අත වනමින් ඇය වෙත ඇවිද ගියෙමි.

“මිස් නාමලී?”

“ඔව් පුතා වාඩි වෙන්න” යැයි කියමින් ඉදිරි පස අසුන වෙත අත දිගු කරන ලදී.

මා වාඩි වූ පසු “පුතා මොනවද බොන්න කැමති? මොකද මේක ටිකක් දිග කතාවක් වෙයි. අපි මොනවා හරි බොන ගමන් කතා කරමු. මොනාද බොන්නේ? Coffee, Hot chocolate, Expresso, Black Cofee…”

“Hot chocolate එකක් බොමු මිස්.”

“ඕකේ, ඉන්න මම ඕඩර් එක දාලා එන්නම්” යැයි කියමින් කවුන්ටරය දෙසට ගිය ඇය නැවත පැමිණියේය.

“හරි පුතා. මම කොතනින්ද පටන් ගන්න ඕන.”

“මුල ඉදලම පටන් ගමු මිස්. එතකොට ලේසීයි.”

“හරි පුතා.” ඇය පුටුවට බරවෙමින් තම කතාව ඇරඹුවාය. 

පුතා මගේ උපන් ගම වගේම මගේ ජීවිතේ ලස්සනම කාලය ගතවුනේ ගාල්ලේ අහංගම. දැන් ජනාකීර්ණ වුනාට ඒ කාලේ ඒක පොඩි ගමක්. අහංගම හන්දියේ ඉදන් පොඩි දුරකින් ජීවත් වුණු මගේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවා වගේ ආරක්ෂකයා වුනේ අපේ ගෙදරින් ගෙවල් කිහිපයක් එහායින් උන්නු අරවින්ද අයියා. එයාගෙයි මගෙයි වයස පරතරේ අවුරුද්දක් වුණු නිසා අපි හුඟක් කිට්ටු යාලුවෝ වුණා. මම හෝඩියට ගියෙත් අරවින්ද අයියගේ අතේ එල්ලිලා කියලයි අපේ අම්මලා කිවුවේ. මෙහෙම ලස්සනට වෙල් වල දුවන ගමන්, සරුංගල් අරිමින් තමා අපේ ලමා කාලේ ගෙවුණේ.

මමයි අරවින්ද අයියායි දෙන්නම ගියේ ගමේ ඉස්කෝලේ වුණු අහංගම ශාරිපුත්‍රයට. ඒ කාලේ ඒකේ ලොකු ලොකු බිල්ඩින්ග් තිබේ නැහැ. ඉතින් කාලට ගෙවිලා යනවත් එක්කම අපි වැඩි වියට පත් වුණා. අපේ දිහාවට ඇස් දහස් ගාණක් යොමු වෙලා තිබුණ නිසා අපි දෙන්නාට දෙන්නා කතා වුනේ නැති තරම්. එක ඉස්කෝලෙට එකම පාරේ ගියා වුනත් අපි ඒ කාලේ බය වුනා ගමේ මිනිස්සු කතා හදාවි කියලා. එයාට හොදට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසාම ඉස්කෝලේ හොදම රිසාල්ට් එක දාලා එයා සාමාන්‍ය පෙල සමත් වෙලා ගාල්ලේ මහින්දෙට ගියා. එයා මහින්දෙට තේරුණු දවසේ ඒක කියන්න අපේ ගෙදරට ආවා. එදා එයා මගේ ලඟට ඇවිත්,

“සුදු නංගී, ඔයත් හොදට පාඩම් කරලා එන්න ගාල්ලේ ඉස්කෝලෙකට. ඔයාට පුළුවන් මම ඒක දන්නවා. ගමේම ඉන්නේ නැතුව අපි අලුත් ලෝකය හොයාගෙන යන්න ඕනෑ. තේරුණාද?”

මම කිසිම සද්දයක් නැතුව ඔළුව වැනුවා. එදා ඉදලා මම පාඩම් කලා පුතා පාඩම් කිරීමක් රැයක් දවාලක් නැතුව, කුප්පි ලාම්පු වේ තෙල් ඉවරල වෙලා නිවෙනකම්ම මම පාඩම් කලා. මමත් දැම්මා ඉස්කෝලෙම පුදුම වෙන රිසාල්ට් එකක්. කොහොම හරි මමත් ගියා ගාල්ලේ සංඝමිත්තාවට. 

අපිට ආපහු කතා කරන්න, ලංවෙලා යන්න අවස්ථාවක් ලැබුණා. කාලයක් දුරස් වෙලා තිබ්බ මිතුරු කම ආපහු වර්ධනය වෙන්න පටන් ගත්තා. මගේ ආරක්ෂකයා වගේම සහෝදරයා වුනේ අරවින්ද අයියා. බස් එකේ යාලුවෝ එක්ක යන එන අපේ යාලුකම, සහෝදර කම අපේ යාලුවෝ දැක්කේ වෙනත් විදිහකට.

“ඇත්ත කියපන් මලී, උඹයි අරවින්ද අයියයි යාලුයි නේද?”

“පිස්සුද බං.”

“අනේ පලයන් බං බොරු කියන්නේ නැතුව. උඹ අයියට කැමතියි නේද?”

“අයියෝ මොන විකාරයක්ද සුලෝ, අරවින්ද අයියා මගේ අයියා වගේ. එහෙම හිතන එකත් පව් බං”

“හ්ම්..හ්ම්..බලමුකෝ.”

කාලයත් මෙහෙම ගෙවිලා ගියේ අරවින්ද අයියා උසස් පෙළ විභාගේ උඩින්ම සමත් වෙමින්. එයා කොළඹ සරසවියට යන්න තරම් හොද ලකුණක් අරන් තිබුණා. එදා පාසල් ඇරිලා එන ගමන් බස් එකෙන් බහිද්දී අරවින්ද අයියා මුණ ගැහුණා.

“අයියේ උණුසුම් සුභ පැතුම්.”

“බොහොම ස්තූතියි සුදු නංගි.” 

“ඉතින් කවද්ද අයියේ දැන් කැම්පස් පටන් ගන්නේ?”

“තව අවුරුද්දක් විතර යයි සුදු නංගි.”

“හ්ම්ම්ම්ම්ම්”

“ඒක නෙවෙයි සුදු නංගි ඔයාට අද හවස පහට විතර එළුකැටිය පන්සලට එන්න. පොඩි දෙයක් තියෙනවා අහන්න.”

“මොකක්ද අයියේ අහන්න තියෙන්නේ?”

“අයියෝ ලමයෝ ඒක මෙතන අහන්න පුලුවන් නම් එන්න කියන්නේ නෑනේ. එනවද?”

“හ්ම්ම්ම්ම්ම්.......මම එන්න බලන්නම්කෝ අයියේ.”

“හොද ලමයා. මම පොඩ්ඩක් යාලුවෝ වගයක් හම්බුවෙලා එන්නම්. පරිස්සමින් යන්න.”

“හරි අයියේ කියා මම නිවසට පියනැගුවේ බර කල්පනාවක.”

කොහොම හරි හවස පහ වෙද්දි මම පන්සලට ආවා. එන කොටත් අරවින්ද අයියා ඇවිත්.

“අයියේ?”

“සුදු නංගි ආවද? හ්ම්.....සුදු නංගි මේක ගැන වැරදියට හිතන්න එපා. මම කාලයක් අහන්න කියලායි හිටියේ. ඒත් විභාගේ එක්ක මම අහන්න ගියේ නැහැ. “

“මොකක්ද අයියේ?”

“නාමලී, නංගි. මම ඔයාට කැමතියි.”

“මො...මො...මොකක්?”

“හ්ම්......මම හුඟක් කල්පනා කලා නංගි. ඇත්තටම මම ඔයාට කෑමතියි. ඔයාගේ අදහස මොකක්ද?”

“අ...අ...අයියේ?”

“දැන්ම උත්තරයක් ඕනත් නැහැ. ටිකක් කල්පනා කරලා බලලා කියන්නකෝ ඔයාගේ අදහසත්.” කියමින් එයා යන්නට හැරෙද්දී මම එයාගේ අතින් අල්ලා ගත්තා.

“අයියේ. බොහෝම ස්තූතියි අයියේ ඒ යෝජනාවට. ඒ...ඒ..ඒත්...”

“ඔව් ඒත්?”

“ඒත් අයියේ මට දැන්ම ඒ යෝජනාවට කැමති වෙන්න බැහැ අයියේ.”

“හ්ම්........මට තේරුණා.”

“මොකක්ද තේරුණේ?”

“ඔයා කැමති නැති විත්තිය.”

“අයියෝ නැහැ, නැහැ අනේ. මම කියුවේ දැන්ම බැහැ කියලා. මටත් උසස් පෙල හොදට සමත් වෙන්න ඕනි. ඔයා වගේ කොළඹ විශ්ව විද්‍යාලෙට එන්න ඕන අයියේ. ආදරයක් හිතේ තියාගෙන මට පාඩම් වැඩ කර ගන්න අමාරුයි අයියේ. ඔයා තේරුම් ගනියි කියලා හිතනවා.” කියා මම යන්නට හැරුණා.

“ඒ කියන්නේ දැන්ම බෑ නේ? අනාගතේ පුලුවන්නේ” කියන ගමන් එයාගේ මූණ සිනහවකින් පිරිලා ගියා.

“බලමුකෝ බලමුකෝ” කියමින් ලැජ්ජා හිතුනු මම වේගයෙන් අරවින්දගෙන් ඈතට දුවගෙන ගියේ රතු වුණු මූනේ දඟකාර සිනහවක් නංවාගෙනමයි.

කාලය ගෙවී ගියේ ඔහු සරසවි ප්‍රවේශය ගෙන ඉගෙන ගන්නා අතරේ සහ මා උසස් පෙළ විභාගය හොදින් සමත් වී ඔහුගේම සරසවියට තේරී පත් වෙමිනි. සරසවි ප්‍රවේශය ලැබූ දින මාගේ මිතුරියක් අතේ ඔහු කුඩා ලිපියක් එවා තිබුණි.

“ආදරණීය සුදු නංගී,

අදත් එදා වෙලාවටම පන්සලට එන්න පුළුවන්ද?

අරවින්ද අයියා”

මමත් සවස් යාමයේ පන්සල දෙසට ඇදුනේ මා හටද මේ වන විට ඔහුව හමුවීමට අවශ්‍යම වූ නිසාවෙනි. පන්සල ද්වාරය අසලම මකර තොරණට වාරු වී සිටියේ ඔහුය.

“මම හිතුවේ එන එකක් නෑ කියලයි.”

“පිස්සුද අයියේ. ඔයා දන්නවනේ මේ සුදු නංගිගේ හැටි.”

“හ්ම්...හ්ම්...දන්නවා දන්නවා. දන්න නිසානේ දෙයියනේ මේ මෙච්චර පස්සෙන් එන්නේ.”

“මොකක්ද මොකක්ද ඒ කතාවේ තේරුම?”

“තේරුම තමයි එදා දැන්ම බැහැ කියුව එකට දැන් හා කියන්න පුලුවන්ද?”

“මොකක්ද එදා ඇහුවේ???” මම බොරු කල්පනා කරන ගමන් කියුවා.

“ආ දැන් ඒ කියන්නේ අමතකයි. හ්ම්ම්.... හ්ම්ම්...සමාවෙන්න සුදු නංගි කරදර කරාට” කියමින් ඔහු යන්නට හැරුණි.

මම එක්වරම ඔහුගේ අතින් ඇද නවතා ගෙන ඔහුට තුරුළු වූයෙමි.

“සු..සු..සුදු නංගි...”

“මමත් කැමතියි.”

“ඔ..ඔය ඇත්තමද?”

“ඔව් සුදු අයියේ. හැබැයි කොළඹ දී මාව තනි කරන්න එපා හරිද?”

“කවදාවත් නැහැ” කියමින් ඔහු මා තවත් තදින් බදා ගත්තේ රටක් රාජ්‍යයක් ලැබුණ කෙනෙක් වගෙයි.

“Excuse me, Madam. Your order is ready Madam” කියමින් අවන්හලේ තරුණ සේවකයා අප වෙත අපගේ පානයන් පිරිනංවන ලදී. 

“Thank You.”

“කොහොමද පුතා කතාව මගේ ආදරය හරි පිස්සු වගේ නේද?”

“නැහැ මිස්. ඒක මාර Pure ආදර කතාවක්. මට ඉතිරි ටික අහනක් ඉවසිල්ලක් නැහැ. ඇත්තෙන්ම මට Mr.අරවින්දව meet වෙනකන් ඉවසිල්ලක් නැහැ.” මම Hot chocolate පානය තොල ගාමින් ඇයට පවසාගෙන යන ලදී.

ඇය අසල ඇති වීදුරුවෙන් ඉවත බලා ගත්තාය. ඇය විනාඩියක් පමණ කිසිදු කතාවක් නොකොට බලා සිටියාය.

“මිස් මම මොනවා හරි වැරදි දෙයක් කියුවද?”

“ආහ් නෑ පුතා. මම කල්පනා කලේ මම කොහොමද අරවින්ද අයියව මුණ ගස්වන්නෙ කියලා.”

“ඇයි මිස් ඒ? මිස් මැරි කලේ Mr.අරවින්දව නෙවේද?”

“නැහැ පුතා. අරවින්ද අයියා අපේ ආදරේට අවුරුදු දෙකක් දෙද්දි මාව විතරක් නෙවේ. මේ මුළු ලෝකයම දාලා ගියා.”

නෙතු කෙවෙනි අග කඳුළු දිදුලන කදුළු කැට සමඟ ඈ නැවත තම කතාව ආරම්භ කරන ලදී.

කොළඹ සරසවියේ අපේ ආදරය ලස්සනට ගලාගෙන ගියා. තුම්මුල්ල හන්දිය අපේ ආදරයේ මතක වස්තු හංගගෙන තාමත් ඉන්නවා. මේ විදිහට කොළඹ කැම්පස් එකේ අවුරුද්දක් විතර ගත වුනා. මේ කාලේ තමයි අරවින්ද අයියා මගෙන් උදුර ගත්ත ’87 භීෂණ සමය පටන් ගත්තේ. අපි පන්ති පහට, දේශපාලන රැලි වලට නොගියා වුනත් ඒ කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දිහා හැමෝම බැලුවේ වපර ඇහැකින්. මේ කාලේ තමා අපේ කැම්පස් දින නියමයක් නැතුව වහලා දැම්මේ. අපි හැමෝම පැය කිහිපයක් ඇතුලත පාරට ඇදලා දැම්මේ මරණ වරෙන්තුව අතට දීලා වගේ. අපි පරාණ බයකින් තමයි ගෙදර ආවේ. ගෙදර ආවත් පුතා අපිට කිසි සැනසීමක් තිබ්බේ නෑ. රැය ගෙවුනෙත් නින්දක් නැතුව. මොකද කොයි වෙලේ හමුදාවෙන් ගෙදරට පැනලා අපිව අරගෙන යාවිද කියන බය අපි හැමෝගෙම හිත්වල තිබුනා.

එක දවසක් හමුදා ජිප් එකක් දුවිලි නංවගෙන අපේ ගෙවල් පහු කරගෙන අරවින්ද අයියලාගේ ගෙවල් පැත්තට යනවා තාත්තා දැකලා තිබුණා. තාත්තා දූවගෙන ඇවිත් මාව ගෙදර තිබ්බ අටුවේ හැංගුවා. පස්සේ තමයි දැනගත්තේ ඒක ගිහින් තිබුනේ අරවින්ද අයියලාගේ ගෙදරට කියලත් අරවින්ද අයියාව හොයලා තිබ්බ කියලත්. ඔය අතර දවසක තමයි අරවින්ද අයියා බොහොම රහසින් මට පොඩි ලියුම් කෑල්ලක් එවලා පන්සල පිටි පස්සේ තිබුණු පොල් අතු මඩුව ලඟට එන්න කියලා තිබ්බේ. මමත් දන්න සේරම රහස් පාරවල් වලින් එතනට යන කොට එයා ඇවිත් හිටියා. 

“සුදු අයියේ...මම අඩාගෙනම දූවගෙන ගිහින් එයාට තුරුලු වුනා.”

ඔහුට තුරුල් වෙලා මමත් එයත් නිහඩ විනාඩි කිහිපයක් ගෙවුවා.

“සුදු නංගි. මට ඉක්මනට යන්න වෙනවා.” මගේ උරහිසින් අල්ලාගෙන එයා මට කිව්වා.

“කෝ ඔය කඳුලු පිහිදාගන්න. හරි,මම දැන් කියන දේ හොදින් අහගන්න. හරිද? මේ ගෙවෙන කාලය අපිට ඒ තරම් හොද කාලයක් නෙවේ කියලා ඔයාට තේරෙනවනේ. විශේෂයෙන්ම අපි වගේ අයට. ඒ නිසා කවුරු ඇහුවත් මම දන්න බවක් කියන්න යන්න එපා.”

“මො..මො..මොකක්ද? ඔයාව දන්න බව කියන්න එපා කියන්නේ සුදු අයියේ. ඔයා මගේ ජීවිතේ නේ. කොහොමද මම ඔයාව දන්නේ නැහැ කියන්නෙ.” මම කදුලු අස්සෙන් එයාට කියුවා.

“සුදු නංගි. හොදට අහ ගන්නකෝ. මේ ගෙවන ජීවිතේ කොයි වෙලේ කොතනින් කොහොම කෙලවර වෙයිද කියලා දන්නේ නැහැ. ඔයා දන්නව ඇතිනේ කැම්පස් එකේ වෙනුර අයියා ඒ වගේම තවත් හුඟක් අය අතුරුදහන් කියලා. ඒක නිසා ඔයාගේ හොදටයි මම මේ සේරම දේවල් කියන්නේ. කවුරුම හරි ඇහුවොත් මම අදුරන බවක් හෝ මුණ ගැහුණු බවක් කියන්න යන්න එපා. මම ජීවත් වෙලා හිටියොත් මම ඔයාව අනිවාර්යයෙන් හොයාගෙන එනවා. ඒත් මම ආවේ නැති වුනොත් ඔයා ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න. මට ඒක පොරොන්දු වෙනවාද?”

“ඔ..ඔයා මොනාද අයියේ මේ කියවන්නේ? ඔයා නැතුව මට මොන ජීවිතයක්ද අයියේ?”

“කෝ ඉතින් ඔය, ඔයා මට ගොඩක් ආදරෙයි නේද?” 

“හ්ම්ම්ම්...”ඉකි බිදුම් මැද්දෙන් මම කියුවා.

“එහෙනම් පොරොන්දු වෙන්න ඔයා ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගෙනියනවා කියලා.”

“හ්ම්ම්ම්....ම..ම..මම පොරොන්දු වෙන්නම්.”

“හොද ලමයා. තව එක පොඩි දෙයක්. මතකනේ අපි කතා කරගත්තේ, අපිට පුතෙක් ඉපදුනොත් මගේ නමත්, දුවෙක් ඉපදුනොත් ඔයාගේ නමත් තියනවා කියලා. ඒක මම නැති වුනත් කරනවා නේද?”

“අනේ....අයියේ මොකක්ද ඔයා මේ මැරෙන්න යනවා වගේ කතා කරන්නෙ? ඇයි?”

“කෝ ඉතින් පොරොන්දු වෙන්න කෝ.”

“හ්ම්ම්...ඒත් ඔයා එනවා. මට ඒක ඉරහද වගේ විශ්වාසයි.”

“අපි බලමුකෝ මගේ නංගි. මම යන්න ඕන. එලියෙ තැනක ගොඩ වෙලාවක් ඉන්න එක භයානකයි.” කියා ඔහු මගේ නලලත සිප ගෙන වේගයෙන් මගෙන් ඈත් වෙනවා බොද වුනු නෙතගින් බලාගෙන හිටියා. ඒ තමයි මගේ අරවින්ද අයියා දැකපු අන්තිම දවස.

එදා රෑ ගෙවි නිදි නැතුව ගෙවී යන අතරේ එක සැරේටම වාහනයක් නවත්තන සද්දයක් එක්ක කව්ද මිනිස්සු වගයක් අපේ ගෙදර දොර කඩාගෙන ඇතුල් වුනා.

“එකෙක් හෙල්ලෙන්නේ නෑ. අපි හමුදාවෙන්.”

අපේ පවුලේ අය බය භිරාන්තව හිටියේ කිසිම පිලිසරණක් නැති වුනා කියන හැගීමත් එක්ක.

“කෝ මේකේ ඉන්න කැම්පස් යන ## වරෙන් ඉස්සරහට. නැත්නම් තියෙනවා යකෝ තොපි හැ#තම බෑවෙන්න.” තුවක්කුවක් අතින් ගත්ත සිවිල් ඇදුමෙන් සැරසුණු කෙනෙක් තාත්තාගේ ඔලුවට තුවක්කුව තියලා කෑ ගහද්දි මට කරගන්න දෙයක් නැති වුණා. මම නිසා මගේ අහිංසක පවුලේ මිනිස්සුන්ට කරදරයක් වෙන්න ඕනේ නැහැ කියන හැගීම එක්ක මම ඉස්සරහට ආවා.

“ආ...තෝද ඒ...”කියමින් ඉදිරියට ආ කෙනෙක් ඔහුගේ හැඩි දැඩි අත දිග හැරලා කම්මුලට ගහපු පාරෙන් මම විසික් වෙලා ගියා. 

“ඕයි මේකිව දා ගනිල්ලා ජිප් එකට” යන්නත් “අනේ මගේ දුවේ” යන අම්මාගේ කෑ ගැසීමත් ඇසීමත් සමඟ මම සිහි විසඥ්ඥව ගියා.

මම සිහිය එන කොට හිටියේ සීතල සිමෙන්ති පොලොවක. මගේ අත පය බැදලා දාලා තිබ්බේ. මගේ ඇගට වතුර බාල්දියක් විසි කරපු සිවිල් ඇදුමෙන් හිටපු කෙනෙක් “නැගිටපිය ## ##ති” කියමින් අමු තිත්ත වචනයෙන් මට බැන ගෙන ගියා. ඇත්තටම මට නැගිට ගන්න පණ නැතිවයි හිටියේ. 

“තොට කියන දේ ඇහෙන්නේ නැද්ද යකෝ...” කියමින් මගේ බඩට බූට් සපත්තුවකින් පහර පිට පහර එල්ල කරපු ඒ නරුමයා ඕයි වරෙන් මේකිව ඉන්දවපන් කියූ විට තවත් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණ මාව නැගිට්ටුවා අසල තිබුණු පුටුවක වාඩි කෙරෙව්වා.

අසල තිබූ තවත් පුටුවක් ගෙන මාගේ ඉස්සරහින් තබා ගත්ත අර කියුව නරුමයා,

“හරි දැන් කියපිය තෝ පන්ති පහට ගියා නේද?”

මට වචනයක් වත් කතා කිරීමට පණ නොතිබුණත් මම කෙදිරිලි හඩින් “නෑ” කියුවා.

“මොකක්ද? ඇහෙන්න කතා කරපන් ##යේ. තෝ ගියාද නැද්ද?” කියමින් තවත් කම්මුල් පහරක් එල්ල කරා. මට දැනුනා මගේ තොල පැලී යනවා.

මම නැවතත් කෙදිරිලි හඩින් “නැහැ” කියුවා.

“නෑ නෙවේ යකෝ තොපි සේරම චේ ගුවේරා කාරයෝ නේද? කියපන් කෝ තොපේ මහ එකා විජේවීර? තෝ අර අරවින්ද කියන එකාගේ කෙල්ල ලු නේ? තෝ දැන ගනින් තෝ ඇත්ත කියුවේ නැත්නම් මේ කොටිගල රබර් කැලේ වලදානවා තොගේ මිනීයවත් හොයා ගන්න බැරි වෙන්න.” කියමින් අපහාස පරුෂ වචන සහ පහර කෑම් සමඟ දිනයක් දෙකක් පමණ ගෙවී ගිය තැනද  මගෙන් පිට වූයේ “නෑ” යන්න සහ කෙදිරීම පමණක් වුනු නිසා ඔවුන් මා නැවතත් පොලොවට ඇද දමා නික්ම ගියේ “අද රෑට මේකිට පැන්සලක් බස්සලා ඉවරයක් කරමු” යන සාකච්ඡාවත් සමඟිනි. ඒ සමඟම සිහි විසඥ්ඥව ගිය මා නැවත සිහියට පැමිණියේ පහර කා ඉදිමුණු තොල ප්‍රදේශයෙන් දැනුනු වේදනාව මිශ්‍ර සීතලක් සමඟිනි.

“නංගී...කෝ නැගිටින්න.”

“අරවින්ද අයියා...ඔයා ආවද මාව එක්කන් යන්න. මගේ මුළු ඇගම රිදෙනවා අයියා.” හඩමින් මා ඔහුට තුරුලු වුනා.

“නංගි මම අරවින්ද නෙවේ. මම ජීවන්ත. නැගිටින්න කෝ මේ වතුර ටික බීලා ඉමුකෝ.”

මා ක්ෂණයකින් ඔහුගෙන් ඈත් වුනා. මගේ ඉදිරියේ දණ නමා හමුදා ඇදුමෙන් සැරසී සිටියේ තරුණයෙක්.

“ඔ..ඔ..ඔයා කව්ද?” මා වෙව්ලන හඩින් ඇසුවා.

“ඔයා දැක්කා වගේ මම හමුදාවේ. දෙවන ලුතිනන් කෙනෙක්. නම ජීවන්ත. ඔක්කෝටම ඉස්සර මේ වතුර ටික බීලා ඉමුකෝ නංගි. ඔයාට අමාරුනේ” කියමින් ඔහු මා වෙත ලං වුනා.

“ඈත් වෙයන් ජරා සතා.” කියමින් මා මගේ මුළු වීරියම ගෙන කෑ ගැසුවා. එක් වරම දොර විවර කරගෙන සිවිල් ඇදුමෙන් සැරසුනු පුද්ගලයින් දෙන්නෙක් ඇතුල් වුනා.

“කව්ද යකෝ කෑ ගහන්නේ. උඹ කව්ද?” කියමින් ඔවුන් ඔහුගේ ඉදිරියට ආවත් ඔහුගේ උරහිසේ තිබූ තරුව දැක වනම ඉද්ද ගැසූවාක් මෙන් “ගුඩි ඊවිනින්ග් සර්” කියමින් සැලියුට් කලා. ඔහුද පෙරලා ආචාර කොට ඔවුන් දෙදෙනා දෙසට ලංවී කුමක්දෝ සෙමින් කියූ අතර ඒ දෙදෙනා එයට අවනත වුනු ආකාරයෙන් මා දෙස ඔරවා බලා කාමරයෙන් පිට වුනා.

“හරි දැන් කවුරුත් ඔයාට කරදර කරන් එකක් නැහැ. කෝ මේ වතුර එක බොන්න කෝ.” ඔහු මා ලඟට එනතෙක් සිට මා ඔහුගේ මුහුණට “තුඃ” කියා කෙල පහරක් ගැසුවා. ඔහු ඒ ලේ මිග්‍රිත කෙල පහර සිය අතෙන්ම පිසදා නැගිට්ටා.

“හරි මට තේරෙනවා. මම මෙතනින් මේ වතුර එක තියලා යන්නම්. අත් ඉස්සරහට කරලානේ බැදලා තියෙන්නේ. පුලුවන්නම් අරන් බොන්න. හැබැයි මම ආපහු රෑටත් එනවා. එතකොටවත් ටිකක් කතා කරමු.”

“ඔව් රෑටත් වරෙන්. ඇවිත් මාව ඉවරයක් කරලා දාපිය.” මා හඩමින් ඔවුන්ට කියුවා. ඔහු මගේ දිහා හැරී බලා දොරෙන් පිටව ගියා.

කෙසේ හෝ එදින රාත්‍රියේ මගේ ජීවිතයට කිසිදු හානියක් වුනේ නැහැ. මෙලෙස ඔහු කිහිප වාරයක්ම මගේ අසලට පැමිණියා. මාගේ ගලක් වන් හදවතද ඔහුගේ කරුණාව ඉදිරියේ කෙමෙන් කෙමෙන් මෙලෙක්ව ගියා. දිනක් මා ඔහුට සියල්ල කියුවා. අරවින්ද අයියා ගැන, මා හා ඔහුද කිසිදු දේශපාලනයකට සම්බන්ධ නැති බව වගේම මම අහිංසක බව. ඔහු ඒ සියල්ල ඉහලට දන්වා තිබුණා. ඒ වගේම ඔහුගේ සම්බන්ධතා හරහා මාව ඒ හමුදා කදවුරෙන් නිදහස් කර ගත්තා.

ඔහු මා නිවසට ගෙනවිත් ඇරලුවා වාගේම ඉන් පසුවත් අපගේ ගෙදර ඒමට යාමට ආරම්භ කලා. මෙසේ පැමිණි දිනෙක ඔහු මට ඔහුගේ ප්‍රේමය ප්‍රකාශ කලා. මා වහාම එය ඉවත දැමුවා.

“ඇයි නංගි ඔයා මට කැමති නැත්තේ. මම හමුදාවේ නිසාද?” ජීවන්ත කලකිරුණු හඩින් ඇසුවා.

“ඇත්තෙන්ම නැහැ අයියා. ඒක නිසා නෙවේ. මට මගේ සුදු අයියා ඒ කියුවේ අරවින්ද අයියා හොයා ගන්න ඕන. මම එයාට පොරොන්දු වුනා එයා එනකම් ඉන්නවා කියලා.”

“නංගි මම හොයා ගත්ත විදිහට අරවින්ද මේ කලාපේ දේශපාලන නායකයෙක්. ඔයා හිතනවද එයා මේ වෙන කොටත් ජීව....”

“ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා. එහමනේ අයියේ ඔයා අහන්න ගියේ.” මගේ හඩ මටම පාලනය කර ගත නොහැකි තරමට කේන්තියෙන් පිරී ගියා.

“නෑ නංගි...මට සමාවෙන්න. බලන්නකෝ...මට අරවින්දගේ ෆොටෝ එකක් වගේම එයාගේ අයි.ඩී නම්බර් එක දෙන්නකෝ. මම මට පුලුවන් උදව්වක් කරලා දෙන්නම්.”

එය මට විශාල සහනයක් වුනා. ජීවන්ත කියන්නේ කුඩා නිලයක හියත් බොහෝ සම්බන්ධකම් ඇති කෙනෙක් බව මේ වන විටත් මට හොදටම තේරුම් ගොස් තිබුනා. ඉතින් මම ඔහුට මගේ සන්තකයේ තිබූ අරවින්ද අයියාගේ ෆොටෝ එක සහ සටහන් පොතක සටහන් ව තිබූ ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකයද ඔහුට ලබා දුන්නේ “අනේ අයියේ මේක නැති කරන්න එපා. මේ මගේ ජීවිතේ.”

“නංගි බය වෙන්න එපා. මම ඉක්මනින්ම උත්තරයක් අරන් එන්නම්.” කියා ඔහු පිටව ගියා.

සතියක් දෙකක් ගෙවුනද ජීවන්තගෙන් කිසිදු උත්තරයක් නොමැති වුනා. මා කාමරයට වී හැඩූ කදුලෙන්ම ඉන්නා දිනෙක වාහනයක් පැමිණෙනවා හඩ ඇසී මම එලියට දුවගෙන ආවා. වාහනයෙන් බැස ආවේ ජීවන්ත. නමුත් ඔහුගේ උරහිසේ තිබූ එක් තරුව වෙනුවට තරු දෙකක් දිලෙන්නට වුනා.

“සොරි නාමලී නංගී. මට ප්‍රමෝෂන් එකට හදිසියේ කොලඹ යන්න උනා. මට තොරතුරු කිහිපයක් හොයා ගන්න පුලුවන් වුනා. අපි යමුද නංගි සාලයට වාඩිවෙලා කතා කරන්න.” කියමින් ඔහු නිවෙස දෙසට යන්නට වූ අතර ඔහු දුටුව මගේ බාල සහෝදරයා දුවවිත් අතේ එල්ලුනා. නිවසේ සැමගේ ආදරය සේම ගෞරවය මේ වන විටත් ඔහුට හිමිව තිබුනත් මගේ සිත අරවින්ද අයියා ගැන බියකින් වෙලී තිබුනා.

“අම්මේ, අම්මත් මෙතනින් වාඩි වෙන්නකෝ” කියමින් මා වාඩි වී සිටි තැන මගේ මවද වාඩි කරවූ ඔහු සිය නිල ඇදුමේ ඇතුලු සාක්කුවකින් ලිපියක් ඇද ගත්තා. 

“මම මේ කියන කතාව තව අවුරුදු හතලිහක් පනහක් යනකන්වත් රහසිගතව තියෙන්න ඕනි. මොකද ඔයාලා වගේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ වාර්තා දැන ගන්නවත් තියන්නේ නැහැ. ඒත් මම නාමලී නංගිට වුණු පොරොන්දුව නිසයි මේක මෙතන කියන්නේ. නංගි කියපු විදිහට මම අරවින්ද ගැන සොයා ගත්තා. ඇත්තෙන්ම අරවින්ද කියන්නේ කැරලිකාර පක්ෂයට සහය දුන්නු එක් ශිෂ්‍ය සංගමයක ගාල්ල දිස්ත්‍රික්කය භාරව හිටපු කෙනා. ඒත් එයා ඒක කරලා තියෙන්නේ බොහොම රහසිගතව. රජයට ලැබුණු තොරතුරකට අනුව එයාව ඉමදුවදී අත්තඩංගුවට අරන් ගාල්ලේ කොටුවේ තියෙන හිටොප් කදවුරට අරන් ගිහින් තියෙනවා. එතනින් එහාට වුනු දේවල් වාර්තාවේ නැහැ. ඒ වගේ වාර්තාවක් තිබුනත් මේ ජිවිත කාලය තුල ඒ ගැන දැන ගන්න ලැබෙයි කියලා මම හිතන්නෙත් නැහැ. ඒත් මට එක දෙයක් කියන්න පුලූවන් මේ වෙනකොට එයා ජීවතුන් අතර නැහැ. මට සමාවෙන්න.”

මම මුළු ගෙය දෙවනත් වන්න කෑ ගැසුවෙමි. අම්මා මාව තුරුල් කරගත්තා මතකයි. එතනින් එහාට දින ගනනක් ගත වන තෙක් මට කිසිදු මතකයක් නැහැ පුතා. කාලය අවුරුද්දක් විතර ගත වුනා. ජීවන්ත තවමත් අපේ ගෙදර යනවා එනවා. මුලදී කිසිම කතාවක් කලේ නැති වුනත් මම එයාට වෛර කරත් පහුවෙන්න පහු වෙන්න මට අරවින්ද අයියාට දීපු පොරොන්දුව අනුව මම ජීවිතයේ ඉස්සරහට ගියා. අවුරුදු කිහිපයකින් විශ්ව විද්‍යාල ආපහු ආරම්භ කරත් මම ගියේ නැත්තේ ඒ මතක මාවත් දිගේ ඇවිදින්න අමාරු නිසා. භීෂණය ඉවර වනවාත් එක්ක මම ජීවන්ත එක්ක විවාහ වුනා. ඒ එක්කම එයාට පිටරට පුහුණුවකට යන්නට ලැබුණා. වෙහෙසකාරී වේදනා බර මනස සැහැල්ලු කර ගන්න මමත් ඔහු සමඟ විදේශ ගත වුනා.

එහි ගත කරපු අවුරුදු හතරක් වගේ කාලය තුල මටයි ජීවන්තටයි පුතෙක් ඉපදුණා. අරවින්ද අයියාට දීපු පොරොන්දුව ඉටුකරන්න මම ජීවන්තගෙන් අවසර ඉල්ලුවාම එයා මට කියුවේ,

“සුදූ අරවින්ද කියන්නේ අපේ භාෂාවෙන් කියනවනම් පට්ට පොරක්. හැබැයි මගේ පුතාට මගේ නමේ කෑල්ලකුත් දාන්න ඕනේ. ඒකට කමන් නෑ නේද?”

ඒ විදිහට අපි අපේ පුතාට “ජීවන්ත අරවින්ද” කියලා නම දැම්මා. පහු කාලෙක අපේ පවුලට දුවෙකුත් එකතු වුනා. අපි අතීතයේ මතක එක්ක ජීවිතය ඉස්සරහට අරන් ගියා. ඉතින් ඔන්න ඔය විදිහට තමා පුතා මගේ කතාව ඉවර වෙන්නේ.

“වාව් මිස්, කතාව හිතා ගන්න බැහැ. මට ඇත්තටම මිස් ගැන අනුකම්පාවක් වගේම ආඩම්බරයක් එනවා. මට පොඩි අවසරයක් ඕනි මිස්.”

“කියන්න පුතා.”

“මට මේක කතාවකට ලියන්න අවසර දෙන්න පුලුවන්ද?”

“අනිවාර්‍යයෙන්ම. මට දර්මන් කියුවා ඒ ගැන. ඒ නිසාමයි මම මේක ඔයාට කියුවේ. ඔයා ලියන්න පුතා. මම බලන් ඉන්නවා.”

තවත් කෙටි කතා බහකින් පහු අප අවන්හලෙන් එලියට පැමිණියෙමු. ඒ අවස්ථාවේ “අම්මා” යැයි අමතමින් තරුණයෙකු අප සිටි දිශාවට පැමිණ ඇයගේ අතින් අල්ලා ගන්නා ලදී.

“පුතා මේ තමයි මගේ පුතා. ජීවන්ත අරවින්ද”

“කොහොමද මල්ලි.”

“හොදයි අයියා” අතට අත දෙමින් ආචාර කිරීමකින් පසු නිරත වුනු තවත් කෙටි කතා බහකින් පසු,

“අම්මා අපිට පරක්කු වෙනවා, අපි යමුද? මල්ලි ඔයාවත් ඩ්‍රොප් කරන් යන්නම්.”

“කමක් නැහැ අයියා මම මෙතන ඉදන් පයින් යන දුර ඉන්නේ.”

“හරි එහෙනම් කොල්ලෝ අපි ගියා” කියමින් ඔහු හා ඇය මගෙන් ඈත්ව යන දිශාව බලා සිටිනා විට කොහෙන්දෝ ආ ගීයක් මගේ මනසේ වාදනය වුනි.


අසුරු සැනින් එක මොහොතකදී

කාලය නැවතී යලි ඇරඹී

විශ්වය අළුතින් බිහි වේවා

ඔබේම වී මා මගේම වී ඔබ 

අපේම වී අප ඉපදේවා


සත්‍ය සිදුවීම් කිහිපයක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමකි. නම් සියල්ල මනඃකල්පිතය. 


-කසුන් සපුමොහොට්ටි-