අලුතින් ජොබ් එකට ගිහින් ආපු පලවෙනි සතිඅන්තය ඒක. සාමාන්‍යයෙන් සති අන්තයේ බෝඩිමට වෙලා ඉන්නේ නැති මම එදා වැඩක් වැටිලා තිබුනේ නැති නිසා ටිකක් දවල් වෙනකන් නිදා ගත්තා. මාව ඇහැරුනේ ෆෝන් එකට ආපූ කෝල් එකකින්. ඒ සඳුන් කියලා මගේ මහින්දේ යාලුවෙක්. මම නිදිමතේම කෝල් එක ආන්සර් කලා.

“හෙලෝ.....”

“හෙලෝ සපූ...මචං මම සඳුන් කතා කරන්නේ. උඹ දැන්ද නැගිට්ටේ?”

“ආ..ආ...සඳුවා කියපන්. ඔව් බං අද නිවාඩු දවසනේ. මොකෝ වෙන්නේ ඉතිං.”

“මේ....මචං මං රට යන්න කියලා. Englad බං. මේ එයාර්පෝර්ට් එකට යන ගමන්...උඹට කතා කරන්නම ඕනි කියලා ටික කාලයක් හිටියා...”

මම ඇදේ ඉඳගත්තා නොව ඉන්දවුනා කියුවොත් නිවැරදියි. “අ..අ..අඩෝ සඳුවා මොකද එක සැරේටම? ඒ..ඒ..එතකොට....?”

“ඔව් මචං. එ..එ..එයාගෙන් එක මැසේජ් එකක් එනකන් මම අවුරුදු තුනක් බලං හිටියා. ඒත්....ඒත් එයාට මාව අමතක කරලා ඉස්සරහට යන්න ඕනිනම් මමත් එක තැන ඉදලා වැඩක් නෑනේ බං. මං උඹට ගත්තේ දැනට අවුරුදු දෙකකට කලින් උඹ අහපු කතාව ලියුවට කමක් නෑ කියලා කියන්න. මම උඹට මේල් එකක් දාලා ඇති. බලපං, බලලා හොද විදිහකට ලියපන්.”

“අඩෝ මම කවදාවත් මේක බලාපොරොත්තු වුනු දෙයක් නෙවේ බං. මම ඒක ලියන්නම්. හරි උඹ ආපහු ආපු දවසක අපි සෙට් වෙමු. දැන් උඹ පරිස්සමින් පලයන්.”

“මේ...සපූ...මම....මේ....මං ආපහු ලංකාවට එන එකක් නෑ බං. මට ඇති බං...උඹට කාටත් වැඩිය හොදට ඒක වැටෙහෙනවා ඇතිනේ බං...”

“අඩෝ....මේ....පිස්සු කෙලින්න එපා....එහෙම කරන්න එපා සඳුවා...ආපහු වරෙන්.”

“නෑ බං...ඒක තීරණය කරලා ඉවරයි. කොහොම වෙතත් මම උඹලව අමතක කරන්නේ නෑ...මේ මචං ලොකු තාත්තා කතා කරනවා. මම උඹට ගිහින් ගන්නම් සුද්දා. එහෙනම් බුදු සරණයි. පරිස්සමින් ඉදපන්.”

“හරි සඳුවා...පරිස්සමින් පලයන්. ජයම වේවා. බුදු සරණයි.”

ෆෝන් එකට එවපු ඩොකියුමන්ට් එක ඕපන් කරන් මම ඇදේ හාන්සි වුනේ මතක එකින් එක ඔලුවට ගලාගෙන එද්දීයි.

මිනිහෙකුගේ දෛවය කියන දේ වෙනස් කරන්න පුලුවන් තැනක් තමයි මහින්දේ. ඒක ඇත්තටම ඔප්පු කරන්න සාක්ෂි ඕන තරම් තිබුනත් මම ඒවා මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. අපි අවුරුද්දක් සාර්ථකව කලා අංශයේ ඉගෙනගත්තා. ඊලඟ අවුරුද්ද තමා අපේ අයට පිට ඉස්කෝල වල කලා උලෙළවල් වලට යන්න පුලුවන් අවුරුද්ද. අවාසනාවට අපිට එකක් කරන්න බැරිවුනාට අපි පිට ඉස්කෝල වල ඒවාට සහභාගී වුනේ හරිම කැමැත්තෙන්. මොකද ඒ අතරේ ගර්ල්ස් ස්කූල් තිබුන නිසා.

දවසක් අපි කිහිපදෙනෙක් අංශ ප්‍රධාන කාර්‍යාලයට ගෙන්නුවා. ඒ කාලයේ ඒ තනතුරේ හිටියේ සුජීවනී මිස්.

“ලමයි...අපිට කොන්වන්ට් එකෙන් ආරාධනාවක් ඇවිත් තියෙනවා කලා දිනේට. ලබන සතියේ සිකුරාදා. ඔය දහදෙනා තමයි මම තේරුවේ. අකමැත්තක් නැතිවෙන්න බෑනේ.”

අපේ මූණේ සිහින් සිනාවක් ඇදෙනවාත් සමඟ ඇය අපට කියුවා.

“හරි එහෙනම් එදාට යන්න. අපේ කවුරුහරි මිස් කෙනෙක් ඒවී. හරිනේ. දැන් පන්තිවලට යන්න.”

අපි අපේ පංතිවලට ආවේ ඉගිල්ලිලා කියුවොත් හරි. ඇයි අප්පා කොන්වන්ට් එකට ආර්ට් ඩේ එකට යනවා කියන්නේ. අම්මේ.....

එදා ඉදන් අපේ මාතෘකාව වුනේ ඒක. කොහොම හරි දවස ආවා නෙවේ, උදා වුනා. මම, කසුන්, පසිඳු, පසන් ඇතුලු අපි සෙට් එක එදා උදෙන්ම පිටත්වුනේ සුජීවනී මිස් ඉස්සරහ ඉස්කෝලේ නම රකිනවා කියලා වුනු පොරොන්දුවකුත් එක්කයි. මොකද පෙර වැරදිනේ...ඉතිං අපි ඉස්කෝලෙට ඇතුල් වුනා. පාසලක තියෙන කෑගැහීම් නැත්තේ කතෝලික කන්‍යාරාමයක් නිසා වෙන්න ඇති කියලා හිතන් අපිව පිලිගන්න ආපු කෙල්ල එක්ක අපි ප්‍රදාන ශාලාවට ආවා. හරිනේ කාලා වරෙන්කෝ. යකෝ අපි විතරයි තාම ඇවිත් ඉන්න බොයිස් ස්කූල් එක. කෙල්ලෝ බැල්කනියේ ඉදන් අමුතු සත්තු ජාතියක් වගේ අපේ දිහා බලනවා.

“අඩෝ සපූ...අද එලියට බැස්ස වෙලාව අවුල් වගේද බං. හතර වටේම කෙල්ලෝ.” මම හෙමීට කසුන්ට කිට්ටුවෙලා කනට කරලා කියුවා.

“අනේ...පලයන් බං යන්න. මෙතම උඹනේ අපිත් ඇදගෙන පරක්කුයි පරක්කුයි කියාගෙන ආවේ. අනික උඹ බබා...” ඒ එක්කම කසුන් ලඟට ආපු කෙල්ලෙක් ඌ එක්ක කතා කරන්න ගත්තා. ඒ උගේ ගමේ යාලුවෙක්. ඔය අතරේ බැල්කනි එකේ හිටපු නටන්න සූදානම් වෙච්ච ගෑනු ලමයෙක්ගේ ඇස් එක්ක මගේ ඇස් යා වුනේ මේ වෙලාවෙයි. මම මේ වෙනක් දැකලා තියන ලස්සනම ගෑනු ලමයා වගේම ලස්සනම ඇස් තිබුනෙත් එයට. සාමාන්‍යයෙන් ඇස් එකට යාවුනාම කෙනෙක්ගේ ඇස් ඒකෙන් ඉවතට යනවා උනත්. මේ වෙලාවේ එහෙම වුනේ නැත්තේ මොකද කියලා හිතා ගන්න බැරි වුනා.

එයා ඇස් දෙකෙන් මොකද කියලා ඇහුවා. මමත් නිකන් කියලා කියුවා. එයා හිනා වුනා. මම මගේ ඇස්දෙකන් ස්ටේජ් එක පෙන්නලා නටන්නද ඉන්නේ කියලා ඇහුවා. එයත් ඔව් කියන්න වගේ ඔලුව වැනුවා. අපි ඇස් දෙකන් කතා කලා. එහෙම ඉන්න කොට “සුභ උදෑසනක් සියලූම දෙනාට....” නිවේදිකාව කලා උලෙල ආරම්භ කලා. මගේ අවදානය ඒ එක්කම කැඩිලා ගියා. මම ආපහු එයා හිටපු තැන බලන කොට එයා එතනින් යන ගමන් හිටියේ. කෙසේ වෙතත් පිලිගැනීමේ නර්ථනයේදී මම එයාව ආපහු දැක්කා. එයා ස්ටේජ් එකේ ඩාන්ස් කලාට මමත් එක්ක ඒ බෝල ඇස් වලින් කතා කරනවා. ඉතිං මමත් මගේ ඇස්වලින් කතා කලා. කොහොම හරි ඒකේ එයා සහ තව යාලුවෙක්ගේ ඩාන්ස් එකක් තිබ්බා. රතු පාට සාරියක් ඇදන් නටපු ඒ නැටුම අදටත් මගේ ඉස්සරහා මැවිලා පේනවා. ඒ තරම් ලස්සනට කෙනෙක් නටනවා මම කොහේදිවත් දැකලා නැහැ මේ වෙනතුරුත්. කොහොම වුනත් කලා උළෙල ඉවර වෙලා අපි යන්න හදන වෙලාවේත් දුක පිරුණු ඇස් වලින් මගේ දිහා බලන් හිටපු එයාව දාල යන්න හිතුනේ නැහැ. යන ගමන් මම හිමිහිට කසුන්ට කිට්ටු කලා.

“අඩෝ මේ...අහපන්කෝ මට අර උබේ යාලුවට කියලා උදව්වක් ඕනි.”

“මොන යාලුවට කියලද?” කසුන් මගේ පැත්තට හැරෙන ගමන් කියුවා.

“අර ගමේ යාලුවා බං කොන්වන්ට් එකේ. එයාට කියලා අර ඩුවල් එක නටපු අයගෙන් රෙඩ් සාරි එක ඇදන් හිටපු කෙල්ල බං. එයා මගෙත් එක්ක ඇස්වලින් කතා කලා වගේ දැනුනා.”

“ඇස් වලින්....”කසුන්ට හිනාවක් ගියා. “උබ හිතන්නේ නවල් එකක වගේ ඇස් වලින් කතා කලා කියලද? අනේ පලයං බං යන්න.”

“ඔන්න ඔන්න ඉතිං. උබත් එක්ක බෑනේ. හරි ඇස් වලින් කතා කරපු එක අමතක කරපන්. මට ඒ කෙල්ලගේ නම්බර් එක අරන් දීපන්. මොකක්ද බං. මම උබෙන් පොඩි උදව්වක් නේ ඉල්ලන්න්නේ.”

“බලමුකෝ මම අහලා බලන්නම්. හැබැයි පුතෝ මාව චාටර් කරන්න එපා. හරිද?”

“හරි හරි මස්සිනා මම උබට එහෙම කරනවද” කියන ගමන් කසුන් ගේ කරට අත දාගෙන බස් හෝල්ට් එක පැත්තට ගියා.

එදා හවස මගේ ෆෝන් එකට කසුන්ගෙන් මැසේජ් එකක් ආවා.

‘මම දන්නෑ මේක උබේ වාසනාවද කියලා. මම අද උබ කියපු නිසා නම්බර් එක ඉල්ලුවා. උබ කියපු කෙල්ලත් උබේ නම්බර් එක ඉල්ලලා තියනවා. මමත් උබේ එක දුන්නා. නම තිනාරා අපිට වඩා බාලයි. ඉන්නේ කරාපිටියේ. ලොකු අත්තක්. ඒ වගේම කතෝලික. ඉතිං කරන දෙයක් පරිස්සමින් මචං.’ කියමින් ඇගේ නම්බර් එක සදහන් කරලා එවලා තිබ්බා. මම මැසේජ් එකක් යවනවද නැද්ද කියලා හිත හිතා ඉන්නා කොට ඇයගේ නම්බර් එකෙන්ම මැසේජ් එකක් ආවා.

“හෙලෝ”

“හෙලෝ...කොහොමද? ඔයාට මැසේජ් එකක් දාන්න හිටියා විතරයි.”

“මම හොදින්. ඔයාට කොහොමද? ඔයාට නම්බර් එක හම්බ වුන විදිහ හිතා ගන්න පුලුවන්.”

“මමත් හොදින්. අද ඔයාගේ ඩාන්ස් එක හුඟක් ලස්සනයි. මම දැකලා තියන ලස්සනම ඩාන්ස් එක.”

“අනේ...තැන්ක් යූ. මම හිතුවෙම මට ස්ටෙප් වරදියි කියලා.”

“ඇයි ඒ???”

“නෑ මමත් එක්ක කොල්ලෙක් ඇස්වලින් කතා කරන ගමන්නේ හිටියේ.”

“ඇත්තද? මමත් අද කෙල්ලෙක් එක්ක ඇස්වලින් කතා කලානේ. හරියට එයා පූස් පැටියෙක් වගේ.”

“අනේ......”

“ඇයි???”

“ලැජ්ජයි...”

මේ විදිහට පටන් ගත්ත අපේ ආදර කතාව ලස්සනට ගලාගෙන ගියා. අපි මුලින්නම මුණ ගැහුනේ ගාලු කොටුවේ කොටු බැම්ම උඩ. ඒ සුදු පුංචි සීතල අතින් අල්ලන් අපි කොටුව වටේ ඇවිද්දා. කියවිල්ල ඉවරයක් නෑ කිචි බිචි ගගා කියවනවා. යාලුවෝ කියපුවා, ඒ දවස්වල වෙච්ච ඒවා. අපි පොඩි හෙවනක තිබ්බ බංකුවකින් ඉදගත්තා. එයා පුංචි පූස් පැටියෙක් වගේ මට තුරුල් වෙලා ඉන්නවා දැක්කම ඇත්තටම මට ලෝභ හිතුනා ඒ අත අතරින්න. අපි පැය කීපයක්ම එතන ඉදන් කතා කර කර හිටියා. එයාව බස් එකට දාලා යන කොට ඒ බෝල ඇස් දෙකේ කදුළු පුරවන් මට අත වනපු හැටි තාමත් මතක් වෙනවා.

ගංගාවක් වගේ ගලාගෙන ගියපු අපේ ආදර කතාවේ බාධක තිබේ නැතුවා නෙවේ. ඒත් ඒවා හිමීට මඟ හැරිලා එකට ඇදිලා යන අපි දැනන් හිටියේ නැහැ අපේ ආදර කතාවේ මහා බාධකයට අපි ලංවෙමින් ඉන්නේ කියලා.

ඒ වෙනකොට මම උසස් පෙළ කරලා රිසාල්ට් එනකන් කසුන්ලගේ තාත්තගේ බල කිරිල්ලට ඌත් එක්ක ජපන් ක්ලාස් යන කාලේ. විදේශ සේවා එකේ තිබ්බ ඒක ඇතුලට යන කොට ෆෝන් බාර දීලා යන්න ඕන කියලා යකාගේ නීතියක් තිබ්බා. අපිටත් කරන්න දෙයක් නැති නිසා අපිත් තියලා ගියා. හවස යන්න ඇවිත් බලන කොට ෆෝන් එකේ තිනූගෙන් කෝල් 50කට වැඩියි. මැසේජ් සියගානක්. කෙල්ල දන්නවා මම ක්ලාස් යනවා කියලා. ඒත් ඇයි මේ හදිස්සියේ කියලා බලන්න කෝල් එකක් ගත්තත් ෆෝන් එක බිසී. මම මැසේජ් වලට ගියා.

“අනේ අයියේ. කවුදෝ අපි ගැන ගෙදරට කියලා. ගෙදරින් ඇහුවා ඔයා ගැන. මටත් හංගන් ඉන්න බැරි වුනා. කවදාවත් මට අතක් උස්සපු නැති තාත්තා මට හොදටම ගැහුවා. ඔයාට එවලේම ගන්න කියුවා. මම කියුවා ඔයා පංති කියලා. කොයි වෙලේ ෆෝන් එක ගනිවීද දන්නේ නැහැ අයියේ. මම මැසේජ් එකක් දැම්මේ කලබල වෙන්න එපා කියලා කියන්න. මම පුලුවන් වෙලාවක් ලැබුණු ගමන් ඔයාට මැසේජ් එකක් දාන්නම් අයියේ.”

මගේ අත වෙවුලනවාත් ස්මඟ පිට දිගේ දහඩිය ගලා යනවා දැනුනි. ඇගට පන නැතිවුනාක් මෙන් බස් නැවතුමේ බංකුවක මා ඉන්දවුනි. කසුන් මා කරා පැමිණ මා අල්ලා ගනිමින් සදුවා...සදුවා...මොකද උනේ කියමින් උරහිස් දෙකන් අල්ලා සොලවන්නට වුනි. ඇත්තෙන්ම මේ කුමක් වුනිදෝයි මට සිතා ගත නොහැකි විය. මා කසුන්ට සියලු දේ කී පසු ඔහු මා අස්වසන්නට විය.

කෙසේ හෝ දින කිහිපයක්ම ගෙවී ගියේ තිනූගෙන් කිසිදු පිලිතුරක් නොමැතිවය. සතියකට පමණ පසුව ඇයගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. ඇයට මා හා සියලු සම්බන්ධතා නැවැත්වීමට පවසා ඇත. උසස් පෙලින් පසු ඇයව විවාහ කර දීමට ඇයගේ ව්‍යාපාරික පියාට උවමනා වී ඇති බවත් නිදහසේ පෞද්ගලිකව වැඩිදුර තොරතුරු දැන්වීමට ඇයව මංජරී වෙලඳහල තුලදී සෙනසුරාදා දින හමුවන ලෙසත් ඇය පවසා සිටියා.

නියම කරගත් පරිදි අප හමුවූවා. නමුත් කවුද හිතුවෙ අපි ආදරෙන් හම්බවෙන අන්තිම දවස එදා කියල. එදා ඇය මගේ පපුවේ හිස හොවාගෙන ඉදලා, “මම ලබන සතියේ තීරණය කොහොම හරි කියන්නම්” කියලා ඒ බෝල ඇස්දෙකෙන් වැටෙන කදුලු පිහිදාන ගමන් හරි හදිස්සියෙන් ගියා. ඒත් ඒ තීරණය කවදාවත් ආවේ නැහැ. එදා හවස එයාගේ තාත්තාගේ කුලී මැරයෝ අපේ ගෙදරටම ඇවිත් තග දැම්මා. මධ්‍යම පාන්තික පවුලක් වුනු අපි මොනවා කියලා කරන්නද? එදා රෑම එයාගේ තාත්තා එයාගේ මුලු පවුලම රට යැව්වා. සල්ලි බලය හැමතැනම පැතිරෙන කොට මගේ රිසාල්ට් ආවා. කොළඹ කැම්පස් එකට උඩින්ම මාව තේරිලා. මම කැම්පස් ගියාට, මම එයාව Contact කරගන්න දරපු හැම උත්සාහයක්ම වතුරේ ගියා, 2019 මුල් කාර්තුවේ ඒ බැල්කනි එක උඩ ඉදන් මමත් එක්ක කතා කරපු ඇස්, හිතේ තියාගෙන මම අදටත් එයාගෙන් Message එකක් එනකම් බලාගෙන ඉන්නවා.

ඒත් මොනවා කරන්නද? සමහර මිනිස්සු හරි පව්. තමන්ට කවදාවත් අයිති කර ගන්න බැරි මිනිස්සු වෙනුවෙන් බලන් ඉන්නවා. ගතින්, හිතින් කොච්චර ලං උනත් අත්සනක අයිතිය ලැබෙන්නේ නැති. එහෙම බලන් ඉන්න හේතුව ආදරේ. ආදරේම විතරයි. ඉතින් ඒ ආදරේ නාමෙන් මම ඉස්සරහට යන්න තීරණය කරා. එංගලන්තේ කැම්පස් එකක මට රීසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ජොබ් එක ලැබුනා. මම ඉක්මනටම රටෙන් යනවා. ඒ එයාට විතරක්ම වුනු ආදරය පිරුණු හදවතත් එක්ක. අවසානෙට කියන්න තියෙන්නේ,

මිනිසුන් අමු අමුවේ මරා දමන
"ප්‍රේමය"
නුබව නම්
,
එල්ලුම් ගස් යැවිය යුතුමය!!!

මහා සුසුමක් පිට කරමින් මා ඇදෙන් නැගිට බෝඩිමේ ජනෙලයෙන් එබී කොළඹ නගරය පිස එන සුළඟ විදගනිමින් සිටිද්දී පහල කඩයක යසස් මැදගෙදරගේ නවතම ගීතයක් මෙසේ වාදනය විය.

නේක රෑ දිවා හීනයේ පවා
ප්‍රේම රූ රටා ඇදුනා
පාරමී පුරා පෙම් කාරණා කියා
වතේ ශ්‍රියාව පීරුවා
ප්‍රේම දෑ යා වුනා නුරාග වෑහුනා
බෑ නොකිව සිනා සුනා

ස්වේත සඳේ රෑට නුඹේ පාළු මකාලා
සේද වලාවෝ ගැවසීලා
තාම නැතේ ආල කථා ඇයට කියාලා
ඇය විමසාවි නෙතු මානා

කසුන් සපුමොහොට්ටි
සත්‍ය කතාවක් ආශ්‍රයෙන් සිදුකරනා ලද මනඃකල්පිත නිර්මාණයකි.