“ඔව් ඒ හයේ පහරත් සමඟ කවින්ද ජයසේකර තම මංගල එක්දින ශතකය මංගල එක්දින තරඟයේදී රැස් කරගනු ලබනවා. ඒ සමඟ ඔහු මංගල තරඟයේම එක්දින ලකුණු සියයක් ලබා ගත්....”
රාවල්පිණ්ඩි ප්රේක්ෂකාගාරය මහ හඬින් ඔල්වරසන් දෙද්දී කවින්ද පාකිස්ථානයට එරෙහිව තම ශතකය ලබා ගනිමින් තම පිත්ත ඔසවා ආචාර කලා. ඒ සමඟම තම පිත්ත මත තම හාදුවක් තැබූ ඔහු එය අහස වෙත පා කොට හැරියේය. ‘ඔයත් අද හිටියානම්’ කියා ඔහු සිතුවා පමණි. එ වෙලේම අනෙක් අන්තයේ සිටි තිසර පැමිණ ඔහුව බදා ගනිමින් සුබ පැතුවේය.
“මරු කොල්ලෝ තව හයයි, ඔය ටිකත් අදිමු.”
“හරි මචං අදිමු” කියා සිනා සෙමින් පැවසූ ඔහු තම හිස් වැස්ම් නැවත පලදා ගනිමින් මීලඟ පන්දුවට සූදානම් වුණි. නමුත් ඔහුගේ පාදය යම් දෙයක පැකිලී ඇදී ගියේය. ඔහුගේ සමබරතාවය ගිලිහී කඩුල්ල ආසන්නයේම ඇද වැටුණි. ප්රේක්ෂකාගාරය මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දව ගියේය.
“අයියෝ බී කෙයාර්ෆුල් මචං අනෙක් අන්තයේ සිට තිසර කෑගැසුවේය. මොකද උඹට සීය ගහපු ගමන් කකුල කඩා ගන්න ඕන උනාද?”
සිනාසෙමින් නැගිට ගත් ඔහු “මොනවා කරන්නද මචං, පට්ට එක්සයිටට්.” කියමින් නැවත පන්දුවට පහර දීමට සැරසුණි. මතකයේ එක තැනකින් ආරම්භ වූ හඬක් ඔහුගේ දෙසවන කරා ලඟා විය. හොදට බෝලය විතරක් බලන්න කවින්ද, වෙන කිසිම දෙයක් ගැන හිතන්න එපා. බෝලය ගැන විතරක් හිතන්න.
“ඔව් තවත් හයේ පහරක් කවින්ද ජයසේකරගෙන්. ඒ සමඟම ශ්රී ලංකා කණ්ඩායම පකිස්තානයට එරෙහි පලමු එක් දින තරඟය ජය ගන්නවා...”
ක්රීඩාංගණය එකම ජය ඝෝෂාවකින් පිරී ගියේය. කවින්ද ක්රීඩාගාරය වෙත ඇවිද එන විට සියලු දෙනා වාඩි වී සිටි අසුන් වලින් නැගිට මේ තරුණ ක්රීඩකයාට අත්පොලසන් නාදයක් ලබා දුන්නේය. සමහරෙක් ඔහුගේ ඡායාරූපද, තවකෙක් වීඩීයෝද ලබා ගන්නා ලදී. ක්රීඩාගාරයේදී කණ්ඩායමේ පුහුණුකරු වූ දීපක ද සිල්වා ඔහුට මුලින්ම සුභ පැතුවේය.
“නියමයි කොල්ලෝ නියමයි, හොදට ප්ලේ කරා. ඔයා අද ඔයාගේ හැකියාවෙන් නෙවේ, ඔයාගේ හදවතෙනුයි සෙල්ලම් කලේ. දිගටම ඔහොම යං.”
ඉන් පසු පැවැත්වෙන මාධ්ය සාකච්ඡා හා සියල්ල අවසන්ව ඔහු පාලුවට ගියා වූ රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේ වාඩී වී සිටියේය. ඔහුගේ දුරකථනය නාද විය. ඒ ඔහුගේ නැගණිය විය.
“හෙලෝ පොඩ්ඩි...”
“සුදු අයියේ අද ඔයා නම් නියමයි හොදේ. මාර ශොට්ස් ටිකක් නේ ගැහුවේ. මාර ආඩම්බරයි හලෝ ඔයා ගැන. ඔයාට කියන්න අද මුළු ගමේම මිනිස්සු හිටියේ අපේ ගෙදර, මිසිස් සිල්වා මුං කැවුම් ගෙනත් තිබ්බා. ඔයා ආසම කෑමනේ. එතකොට මිස්ට ෆර්නැන්ඩු කට්ටිය එක්ක සෙට් වෙන්න කියලා බ්රැන්ඩ් එකක් ගෙනල්ලා තිබ්බා. ඔයාට කියන්න අපේ තාත්තා ඔයා සීය ගහන කොට ඇඩුවා කියන්නකෝ, ඔන්න මම කියුවා කියන්න එපා...”
ඇය කියවාගෙන කියවාගෙන ගියාය. කවින්දට හොදටෝම සිනහය. “අම්මෝ එච්චරද කියවිල්ල, කොහොමද පොඩ්ඩෝ අනිත් අය. අම්මා, තාත්තා, හැමෝම හොදින් නේද?”
“ඔව්...ඔව්...මේ සුදු අයියේ කවද්ද එන්නේ ඉතිං?”
“ඉක්මනටම පොඩ්ඩෝ ඉක්මනටම. මොනාද ගේන්න ඕනි.”
“මොනවත් එපා. මගේ අයියා පරිස්සමින් එන්නකෝ. ඒ ඇති.”
“මහන්සියි පොඩ්ඩෝ මම තියන්නද?”
“හරි සුදු අයියේ. පරිස්සමින්.”
“ඔයාලත්.” කියමින් දුරකථනය විසන්ධි කලේය.
“කොහොමද ගෙදර අයට බං?” කියමින් ඔහු අසලට ආවේ තිසරය.
“හොදයි තිසර. මොකද මේ පැත්තේ.”
“නෑ අනිත් හැමෝම සෙලිබ්රේට් කරනවා උඹ පැත්තකට වෙලා ඉන්නවා. ඒකයි තව පැයකින් බස් එක යනවා කියන්නයි ආවේ.”
“ආහ්. ඉතිං වාඩි වෙන්න.”
“උඹට මහන්සි පාටයි. උඹ ඇතිවෙන්න සෙලිබ්රේට් කරේ නැද්ද?” තිසර අසල වූ පුටුවකින් වාඩි වෙමින් ඇසුවේය.
“අම්මෝ සැමරුවා සැමරුවා”
“එහෙනම් උඹ මෙතන ඉදන් තනියෙන් භාවනා කරනවද?”
“ම්ම්ම්ම්...ඔව් ඒ වගේ එකක් තමයි.”
තිසර ඔහු දෙස මිනිත්තුවක් දෙකක් බලා සිටියේය. “උඹ අතීතේ ගැන මොකක් හරි නේද හිතන්නේ? සෙන්ට්රල් එක ගැන නේද?”
“උ..උ..උඹ කොහොමද?” කවින්දගේ දෑස් පුදුමයෙන් විශාල වුණි.
“අයියෝ මචං. මම උඹව දන්නේ ක්ලබ් ගහන කාලේ ඉදලා. උඹට තනියම දෙයක් ගැන කල්පනා කරන්න ඕන උනාම උඹ කරන්නේ පැත්තක් අල්ලගෙන කල්පනා කරන එක. උඹ ශරීරෙන් මෙතන හිටියට හිතෙන් ඉන්නේ වෙන තැනක වගේ. තිසර කවින්දගේ කරට අතක් දමා ගත්තේය. මම නම් කියන්නේ උඹ ආපහු ලංකාවට ගියහම උඹ ස්කෝලෙට පලයන්. ගිහින් ඔය හිත එකලාසයක් කර ගනින්. උඹට තවත් හුඟක් දුර යන්න පුලුවන්. දැන්... යමන්.” කියමින් නැගිට ගත් තිසර කවින්දවද රැගෙන කණ්ඩායම සිටි තැනට පියමැන්නේය.
ඉතිරි තරඟ දෙකද කවින්ද අර්ධ ශතක දෙකක් රැස් කල අතර තරඟාවලිය 2-1ක් ලෙස ශ්රී ලංකාව ජය ගත්තේ කවින්ද නැගී එන සුපිරි තරුවක් බවට පත් කරමිනි.
නැවත කොළඹ බලා එන ගුවන් යානයේ කවුළුවකින් පහල ඇති වලාකුළු දෙස බලමින් ආ කවින්ද තීරණයක් ගෙන තිබුණි. කණ්ඩායමේ සියලු දෙනා එකට ක්රිකට් ආයතනයට යා යුතු වූවත්, යානට ගොඩ වීමට පෙර කවින්ද පුහුණුකරු මුණ ගැසී තමන්ගේ කාරණය කීයන ලදී.
“කෝච් මට පෞද්ගලික දින කිහිපයක් ඕන. මම දවස් පහකින් ප්රැක්ටිස් වලට රිපෝර්ට් කරන්නම්.”
“ඔහු මිනිත්තු කිහිපයක් කවින්ද දෙස බලා සිටියේය. හැමදේම හොදින් නේද?”
“ඔව් කෝච්. ඒත් මට තැනකට යන්න ඕන. මගේ හිත කලබල වෙලා.”
“හ්ම්ම්ම්ම්ම්.....හොදයි. සමහර වෙලාවට ඉස්සරහට යන්න හොදම විදිහ තමයි පහුවුණු දේවල් ගැන මතක් කරන එක. හරි වෙලාව ගන්න. සිකුරාදා දවල් වෙනකොට මට කෝල් එකක් දෙන්න. ගියපු ගමන් ඔයාගේ චෙක් ටික ඩිපොසිට් කරාවි.”
“තැන්ක් යූ කෝච්.”
කොළඹට යානය ගොඩබස්වන ලද්දේ පාන්දර 1ට පමණය. ගොඩබැසීමෙන් පසු තම සඟයන් කිහිප දෙනෙක්ගේම උදව් ඇතිව කැබ් රථයක් වෙන් කරගත් ඔහු මාධ්ය මඟහැර හිමින් සීරුවේ පැමිණ කැබ් රථයට ගොඩ වුණි. කැබ් රථයේ රියැදුරා ඔහුව හදුනා ගත්තද, තමන්ගේ වෘත්තීයභාවය රැක ගනිමින්,
“සර් අපි කොහේද යන්නේ?”
“ඔයාගේ නම?” කවින්ද ඇසීය.
“සුනිල් සර්...මම සර් දන්නවා. මමත් මාතර සර්. අපිට හරිම ආඩම්බරයි සර් සර් ගැන.”
“හරි සුනිල්. එහෙනම් ඔයා දන්නවා ඇතිනේ සෙන්ට්රල් එක ගැන, අපි එහාට යමු.”
“අ....හරි සර්. හැබැයි පැය හතරක්වත් යාවි සර්.”
“කමක් නැහැ සුනිල්, හදිසියක් නැහැ” කියමින් ඔහු පිටු පස ආසනයේ දෙඇස් පියාගෙනම හරිබරි ගැසී වාඩි වුණි.
අධිවේගී මාර්ගයට පින්සිදුවන්නට ඔහු උදෑසන පහ පමණ වන විට පාලටුව හරහා සෙන්ට්රල් එක කරා ලඟා වෙමින් තිබුණි. නඟරය අලුත් වී ඇති බව ඔහුට පෙනුණි. නව ගොඩනැගිලි, නව නිවාස, අලුත් කඩ සාප්පු යනාදියෙන් නගරය අලුත් වී තිබුණි. බිසෝ නෑ දොල කලින්ට වඩා වතුර අඩුවෙන් ගලා යන සෙයක් ඔහුට දිස්වුණි. එම ස්ථානයේ පාසලේ නම සටහන් විශාල නාම පුවරුවක් සවි කොට තිබුණි. මෝටර් රථය පහල මාර්ගයට හරවන ලදී. තවමත් නිල්ල වැදුණු කුඹුරු යායත් ඒ හා ඇති ගස් පෙලත් ඔහුගේ මනසේ මතක අවදි කරන ලදී. රථය පාසලේ ගේට්ටුව අසල නවතන ලදී. පාසලේ ලාංඡනය සහිත නව කළුපැහැති විසල් ගේට්ටු දෙකක් එකල තිබූ පරණ ගේට්ටුව වෙනුවට ඔහු ඉදිරියේ තිබුණි.
තවමත් බිම් අඳුර මැකී ගොස් නැත. පාසල් ලමුන් තවමත් පැමිණ නොමැත. ඔහු සුනිල්ට මදක් සිටින්නැයි කියා රථයෙන් බැස්සේය. තවමත් ඒ හරහා හමා එන සුළඟ සමඟ ඇදී එන්නේ ඇයගේ සිනහව වීම ඔහුට පුදුමයක් නොවීය. ඔහු ගේට්ටුව අසලට යන ලදී. මුරකරු පැමිණි රථය ගැන විමසිලිමත් වන අතර ඔහුගේ මුවේ සිනහවක් ඇදී ගියේ ඔහු තමාව හදුනාගත් බැවින් යැයි ඔහුට සිතුනි.
“අප්පා...සර්....කොහොමද ඉතිං මොකද මේ පාන්දරම.” ඔහු කවින්ද ඉදිරියට පැමිණ පිලිගත්තේය.
“ඔව් අයියේ. පොඩ්ඩක් ඉස්කෝලේ පැත්තේ ආවා. මගේ ඉස්කෝලෙනේ මේ. මට ටිකක් ඇතුලට යන්න පුලුවන්ද? නැත්නම් ප්රින්සිපල්ව දැනුවත් කරන්න ඕනිද?”
“අයියෝ මහත්තයා, එන්න එන්න ඇතුලට මම අපේ ලොකු සර්ට කියන්නම් සර් ආව බව.”
“අනේ එහෙම කරදර කරන්න ඕනි නැහැ අයියේ. මම පොඩ්ඩක් ඉස්කෝලේ ඇවිදලා එන්නම් කමක් නැහැනේ?”
“අනේ මක් වෙනවද සර් ඒකට? වාහනේ උඩහින් පාක් කරන්න සර්. එන්න ඇතුලට.”
පාසලට අඩිය තබනවාත් සමඟ කවින්ද පහත්වී භූමිය ස්පර්ශ කලේ එයට කරනා කෘතගුණ සැලකීමක් ලෙසිනි. ඔහු සිල්වාට අලුතින් සාදා තිබූ රථගාලෙහි වාහනය නවතා තබන්නට යැයි කියා සෙමෙන් පාසල පියමැන්නේය.
පාසලේ ගොඩනැගිලි අලුත් වී ඇත. සියඹලා ගස අද එතැන නැත. හයේ පන්ති කාමරය දැන් තෙමහල් ගොඩනැගිල්ලකි. ලොවි ගස යට බුදු කුටියකි. හතේ පන්ති තිබුණු ටකරං ශාලාවට යන පාර දෙපස අඹ පැල සිටුවා ඇත. ටකරං ශාලාව ලඟ සියඹලා ගස දැන් නැත. බිත්තියේ විකට් කූරූ ඇද ක්රිකට් ගැසූ තැන් හදුනා ගන්නටත් අපහසුය. නමුත් පඩිපෙල ලඟ කොස් ගස නොමැති බව කුමක්දෝ විශාල වෙනසක් ඔහුට කියාපෑවේය. පහල තිබූ හරි හතරැස් ක්රීඩාගාරය දැන් මහල් ගොඩනැගිල්ලකි. කවින්ද පඩිපෙල ලඟින් පිට්ටනියට මූණලා වාඩි විය. පිට්ටනිය හරහා ඇදී ආ සුළං පහර ඔහුව අතීතයට ගෙනගියේ ඔහුටත් රහසින්මය.
“කවින්ද උඹ අදත් පරක්කුයි.”
ඉනට අත්දෙක තබා ගෙන තරහින් ඔහු දෙස බලා සිටින්නේ ඔහුගේ උප නායක රුවන් ය.
“සොරි සොරි බං. ඉංග්රීසි තිබ්බේ අන්තිමට.”
“අනේ පලයන් බං. ඉංග්රීසි ඉගෙන ගන්නම එකානේ. බැලුවොත් ඇත්නම් පිට්ටනියේ හිටපු එකා දැන් ක්ලාස් එකේමයි. ඇත්ත කියපන් කාවින්ද්යා පන්තියේ හිටියා නේ?” කටකොනින් සිනහා වෙමින් රුවන් ඇසුවේය.
“කට කට...ඇහෙයි යකෝ.”
“අම්මේ මුගේ පැණි හිනාව...ආව්..ආව්...ආව්...”
එකී කාරණාව කිසිවෙකුටත් රහසක් වූවේ නැත. පාසලේ සිටින ලස්සනම කෙල්ලෙක් වුණු කවින්දගේම පන්තිය වූ 11 පන්තියේ සිටි කාවින්ද්යා හා ඔහුගේ සම්බන්ධය ඇති වී මහා ලොකු කාලයක් ගත වී තිබුනේද නැත. එවකට පාසල් ක්රිකට් කණ්ඩායමේ උප නායකයා වූ ඔහුට ගැහැණු ලමයි කැමැත්තෙන් සිටියද ඔහුගේ හිත තිබුණේ ඇයටය. ඇය කෙසේ හෝ කතාවට අල්වාගැනීමට කවදාවත් පුස්ථකාලයේ නොසිටි කාවින්ද පුස්තකාලයට පවා යන ගියේය. කෙසේ හෝ දිනක් ඇය ඔහු සමඟ කතා කරන්නට පැමිණියාය.
“හලෝ කවින්ද? ඔයා ගැන නේද හැමෝම කතා වෙන්නේ, ප්රසිද්ධ ක්රිකට් ප්ලෙයර් දවසක නැෂනල් ටීම් එකත් රිප්ප්රෙසන්ට් කරනවා කියන කවින්ද ඔයා නේද?”
“ම...මම ඒ තරම්ම ප්රසිද්ධ නැහැ ඉතිං. මම..ක්රිකට වලට කැමතියි. එච්චරයි.”
“මමත් ඔයා ප්ලේ කරනවා බලන් ඉන්න ආසයි. ඔයා බැට් කරන කොට කන්නෙවත් නැතුව බලන් ඉන්න පුලුවන්.”
කවින්දගේ හදවත කොතරම් වේගයෙන් ගැහුනේද කිවහොත් ඇයට එය ඇසෙයි කියා පවා ඔහුට බිය සිතුණි. මෙසේ මාස කිහිපයක් ගෙවී ගිය අවසන ඔවුන් දෙදෙනා පෙම්වතුන් විය. ආදර හසුන් පත්, රහසින් හමුවීම් යහලුවන්ගේ ඔත්තු බැලීම් මැද පන්ති කාමරය තුල සිදුවන කතාබස් සමඟ කාලය ගෙවී ගියේය.
“ඔයා දවසක නැෂනල් ටීම් එකට ප්ලේ කරන දවසක මම හැමදාම ඔයා එක්ක ඉන්නවා.” දිනක් හිස් කාලච්ඡේදයක තනිවූ වේලාවක ඔහුගේ දෑතේ පැටලී ඇය කීවාය.
“හැමදාම” කවින්ද ඇසුවේය.
“හ්ම්ම්…හැමදාම….”
වසරක් ගෙවී ගියේය. ඇය ඔහුගෙන් දුරස් වන බව දැනුනද ඔහු එය තැකුවේ නැත. ඇය ඔහුව මඟහරින්නට ගත්තේය. දිනක් ඔහු ඇය දිනේෂ් නම් පාසලේ විවාද කණ්ඩායම් නායකයා සමඟ ආලයෙන් වෙලී සිටිනවා දක්නට ලැබුණි. මෙය ඔහුට දරාගත නොහැකි විය. ඔහු කෙලින්ම ගොස් ඇයගෙන් මේ පිලිබඳ විමසීය.
“ඔයා මොකක්ද කවින්ද බලාපොරොත්තු වෙන්නේ ආහ්? ඔයා දක්ෂ ප්ලෙයර් කෙනෙක් වෙන්න ඇති, ඒත් දිනේෂ්…එයාට හොද අනාගතයක් තියෙනවා, ඔයාට වඩා.”
“මොකක්? ඒ කියන්නේ මට නැහැ කියලද?”
“කවුද දන්නේ කවින්ද, ක්රිකට් කියන්නේ නිකන්ම නිකන් ස්පෝර්ට් එකක් විතරයි. ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ආපහු මට කරදර කරන්න එපා.” කියා ඇය නික්ම ගියාය.
වසරක ආදරය එසේ නිකන්ම දියවී ගියේය. ඔහු පිටතට පෙනෙන්නට සිනහ වී සිටියාට ඇතුලාන්තයෙන් ඔහු කඩා වැටී සිටියේය. ක්රිකට් පිටිය ඔහුගේ තරහව සැගවීමට හොදම තැන විය. ඔහුගේ වේගවත් පහරවල් හතරේ සීමාවන් පසු කලද ඔහුගේ පහරවල පෙර තිබූ ස්ථාවරත්වය නැති බව ඔහුගේ පුහුණුකරු වූ පෙරේරා මහතා දකින ලදී.
“කවින්ද, කෝ ඔයාගේ කොන්ට්රෝල් එක? මොකක් හරි ප්රශ්ණයක්ද?”
“නැහැ සර්. නිකන් ප්රැක්ටිස් එකට සර්.”
“තරහ අරන් නිකන් ඔහේ බැට් එක වනන්න එපා කවින්ද. ඔයාගේ ඔය තරහ හරි විදිහට යූස් කරගන්න පුරුදු වෙන්න.”
කවින්ද පිටිය මැද සිට එය හොදින් ධාරණය කරගත්තේය. මීළඟ පන්දුවට එල්ල කල වේගවත් පහර හතරේ සීමාව පැන්වූ අලංකාර කවර් ඩ්රයිව් පහරක් විය.
කාවින්ද්යාගේ වෙන්වීමෙන් පසු ඔහු ගැහැණු ලමුන් සමඟ කතා කිරීම සම්පූර්ණයෙන් අතහැරදැමුවේය. ඔහු ක්රිකට් ක්රීඩාවට පමණක් අවධානය යොමු කල අතර ක්රීඩාව පිලිබඳ සම්පූර්ණ හැදෑරීමක් සිදු කලේය. ඔහු විටෙක තනිවම පවා පුහුණු විය. නමුත් ඔහු තම හදවතේ ආදරය නම් කොටස ගඩොල් බිත්තියකින් වසා තැබුවේය. ඔහුට සෙව්මි මුණ ගැසෙන්නේ මෙවන් අවස්ථාවකය.
දිනක් ඔහු පුහුණුවීම් නිම වී ක්රීඩා බෑගය සකසමින් සිටින විට යමෙකු පැමිණ තමන් අසලින් සිටගන්නවා ඔහුට දැනුනි. ‘උඹ ලෑස්ති වෙන්නේ නැද්ද’ යන්න කියා පැවසුවේ ඒ රුවන් යැයි සිතාගෙනය.
“රුවන් නම් අයියේ තාම බෑග් පැක් කරනවා. ඔයා ඉන්නවා දැකලයි ආවේ.” ඇසුණු කාන්තා කටහඬින් විමතියට පත්ව පසු පස හැරුණු ඔහු දුටුවේ තමා පිටුපස සිටින සෙව්මිව ය. ඇය තමාට වඩා අවුරුද්දක් බාල නමුත් ඉගෙනීමට මෙන්ම, දක්ෂ ත්රෝ බෝල් ක්රීඩිකාවක් විය.
“සෙ..සෙව්මි නංගි….මෙතන?”
“ඔයා දැන් කලින්ට වඩා හොදට සෙල්ලම් කරනවා අයියා.”
“මොකක්?”
“ඔයාගේ බැටින්ග් ස්ටයිල් එක. දැන් එක මාර ක්ලීන් වගේම ෆෝකස්,” ඇය සිහින් සිනහවක් නඟමින් පැවසුවාය. “කලින් ඔයා නිකන් ෂෝ එකට අවධානේ ගන්න වගේ ක්රිකට් ගැහුවේ. ඒත් දැන් ඔයා ඇත්තටම ක්රිකට් ගහනවා.”
“මො..මොකක්? ඔයා ක්රිකට් ගැන දන්නේ මොනාද දන්නේ කියලා කියන්නකෝ.” කවින්ද පුදුමයෙන් දෑස් විසල් කරමින් ඇසුවේය.
මගේ තාත්තා ෆස්ට් ක්ලාස් ක්රිකට් ප්ලේ කරලා තියනවා එයා තරුණ කාලේ.මමත් පොඩි කාලේ ඉදන්ම ක්රිකට් බලනවා.අපේ ගෙදර ක්රිකට් පොත් වලින් පිරිලා තියෙන්නා." ඇය ඔහුගේ වතුර බෝතලය අතට ගෙන ඔහුට දෙමින් පැවසුවාය. "ඔයා මිනිස්සුව ඉම්ප්රෙස් කරන්න එක ඕනවට වඩා හිතනවා අයියා. බෝලය ගැන විතරක් හිතන්න."
එතැන් සිට සති කිහිපයක්ම ඇය ඔහු හා කතා කලාය. ඇය පුහුණු වීම් මෙන්ම තරඟවලදී ඔහු පහර දෙන අයුරු විවේක වේලා වලදී බලා සිටියාය. ඉන්පසු ඔහු ලඟට පැමිණ ඇයගේ නිරීක්ෂණ ඔහු වෙත කිසිදු පැකිලීමකින් තොරවම ඉදිරිපත් කලාය.
"ඇයි ඔයා ඔෆ් ඩ්රයිව් එක ගහන කොට උරහිස ඕනවට වඩා පහත් කරන්නේ?”
“ඔයා මීට වඩා ෆිට් වෙන්න ඕන, ඔයා ටයර්ඩ් වුනහම ඔයාගේ ෆුට් වර්ක්ස් හරිම වීක්.”
“ඔයා දක්ෂයි කියලා ඔයා දන්නවානේ අයියේ. ඔයා ඒක ඔප්පු කරන්න ඕන නැහැ. ඔයා ඔයාගේ ස්ටයිල් එකකට ප්ලේ කරන්න”
ඔහු සෑම විටම පන්දුවට පහර දීමට පැමිණෙන විට හතරේ සීමාව අසල ත්රෝ බෝල් පුහුණු වන අය අතර ඇය සිටී දැයි විමසිල්ලෙන් බලන්නට පටන් ගත්තේය. ඇත්තෙන්ම ඔහු වෙනස් වී තිබුණි. ඔහු දැමූ ගඩොල් බිත්තිය පුපුරා යමින් තිබුණි.
එක්තරා දිනක අන්තර් පාසල් තරඟයක ඔහු වේගවත් ලකුණු 89ක් ලබා ගත්තේය. නමුත් අනවශ්ය ලෙස එල්ල කිරීමට ගිය පහරක් හේතුවෙන් ඔහු දැවී ගියේය. තරඟයෙන් පසු සිහින් සිනහවකින් මුව සරසාගෙන ඇය ඔහු අසලට පැමිණියේය.
“මොකක්ද අයියා ඒ ගහපු ශොට් එක?”
“මං කලබල වුනා මම හිතන්නේ. හයක් ගහන්න හැදුවේ.”
“අනේ මන්දා හැදෙන්නේම නෑ වගේ. ආ……” කියමින් කොලයක ඔතා තිබූ මුං අලුවා කිහිපයක් ඔහු වෙත දිගු කලාය.
“ඔහුගේ මුවට නිතැතින්ම කෙල ඉනුවේය. ඇයි?”
“ඔයා හාෆ් සෙන්චරි එකක් ගැහුවනේ. ඒකටයි තව ඔයාගේ මහන්සියටයි. ඒක සමරන්න වටිනවනේ. ඒකයි.”
මෙසේ මාසයක් පමණ කාලයක් ගත විය. දෙදෙනාම දෙදෙනාට ආලයෙන් වෙලී සිටියද එය පැවසීමට පසුබට විය. බිග් මැච් සමය පැමිණියේ මේ අතරය. නිතර පුහුණු වීමට තිබුණු හෙයින් කවින්ද සෑම විටම සිටියේ පිට්ටනියේ ය. තරඟයට තව දින පහකි. ලැබුණු මද විවේකයේදී සෙව්මි කවින්ද වෙතට පැමිණියාය.
“මම බිග් මැච් එක බලන්න එනවා කතා බහ අවසානයේ පිටත් වීමට ආසන්නයේදී ඇය පැවසුවාය. පුලුවන් උනොත් ඉස්සරහම ෂීට් එකට එනවා. මම ඔයාගෙන් සෙන්චරියක් ඕන. දෙනවා නේද?”
“මම ඔයා වෙනුවෙන් ඒක අරන් දෙන්නම්. ඒ වගේම එදාට තව දෙයකුත් ඔයාට කියන්නම්.”
“මොකක්ද?”
“එන්නකෝ එදාට” කියමින් ඔහු හැරී ගමන් කලේය. ඇය සිහින් සිනහවකින් මුව සරසාගෙන ඔහු යන දෙස බලා සිටියාය.
බිග් මැච් එක පවත්වන දිනය උදා විය. කාසිය වාසිය ලබා ගත් සෙන්ට්රල් ක්රීඩකයන් පලමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර ඉනිම ගොඩ නංවමින් රුවන් සහ කවින්ද අගනා සබඳතාවයක් ගොඩ නංවමින් සිටියේය. දිවා ආහාරය සඳහා තරඟය නවත්වන විට කවින්ද නොදැවී ලකුණු 90 ක් ලබාගෙන සිටියේය. නමුත් තවමත් ප්රේක්ෂකාගාරය තුල සෙව්මිගේ රුව නොදුටුවේය. නැවත ක්රීඩාගාරය වෙත යන අතරේ පුහුණුකරු තම සඟයන්ට තදින්ම යමක් කියනු ඔහු දුටුවේය. ඔහු ලඟා වන විටම එය නැවැතුණු අතර “ආහ්…කවින්ද සුපිරියි අද හොදට ප්ලේ කරා. ඉතුරු ටිකත් ඔහොම ඇදගෙන යමු…” ලෙස උපදෙස් කිහිපයක්ම ලැබුණු අතර දිවා ආහාර වේලාවේ පවා ඔහු තනි නොකිරීමට පුහුණුකරු වගබලා ගත්තේය. එය කවින්දට පුදුමයක් ගෙන ආ නමුත් කිසිවිටෙක තම පුහුණුකරුගෙන් ප්රශ්ණ නොකරමි යන ප්රතිපත්තිය මත සිටි නිසා ඔහු කිසිවක් නොඅසන ලදී.
“මචං කෝච් මොකක් හරි අවුලකින්ද බං මම එක්ක.” නැවත ක්රීඩාංගණයට එන අතරවාරයේ ඔහු රුවන්ගෙන් අසන ලදී.
“අනේ මංදා බං මටත් කවුරුත් කියුවේ නැහැ. අපි මේක හොදට ප්ලේ කරමුකෝ.”
වැඩි වේලා නොගොස් සිය ශතකය රැස් කල ඔහු තම පිත්ත මත හාදුවක් තබා තම පාසල් කූඩාරම වෙත පාකොට හැරියේ සෙව්මි බොහෝ විට එහි ඇතැයි සිතාගෙනය. දිනය අවසන තරඟය නතර කොට අනෙක් පාසලට වාරය ලබා දෙන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 280 රැස් කොට තිබූ අතර කවින්ද නොදැවී ලකුණු 120ක් රැස් කොට තිබුණි.
ඔහුට ඒ පුවත ආවේ පුහුණුකරුගෙන් ය. ඒ ඔහු නැවත ක්රීඩාගාරය වෙත ගිය විටය. තම දිවියට නව එලියක් ගෙන ආ ඇය පැමිණ තිබුනේ නැත. ඇය ක්රීඩාංගණය වෙත පැමිණෙමින් සිටින අතර පාර මාරු වීමේදී අධික වේගයෙන් ආ ටිපර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ඇය සහ තවත් ඇයගේ යෙහෙලියක් අනතුරට ලක් කරමින් පලාගොස් තිබුණි. ඇයගේ මිතුරිය මේ වන විට දැඩිසත්කාර ඒකකයේ සිටියත් සෙව්ම් මෙලොව හැරගොස් තිබුණි. ඔහුගේ ඇගට පණ නොමැතිව කඩා වැටුණි. දෑසින් කදුලු සට සට ගා වැටෙද්දී කෑගසා හඩන්නටවත් ශක්තියක් නොමැතිව ඔහු අසරණ විය. තම මිතුරන් ඔහුව අස්වසද්දී සියල්ල නැවත හැරවිය නොහැකි ලෙස සිදුවී තිබුණි. ඔහු එදින රාත්රියේ ඇය බලන්නට ගියේය. සුදෝ සුදු වතින් සැරසී ඇය සිහින් සිනහවකින් මුව සරසාගෙන නිසලව වැතිරී සිටියාය. වෙනදාට ඉගිබිගි කරනා දෑස් ඇද වැසී ගොස් තිබුණි. ඔහු ඇයගේ හිස අතගා ඇය දෙසට පහත් වුණි.
“සු…සුදූ….ද…දන්නවද ම..ම..මම ඔයාට අ…අද කියන්න හිටියේ මොකක්ද කි....කියලා.” ඔහු ඉකිබිදුම් අතරින් ඇයට මිමිණුවේය. “ම..ම..මම ඔයාට ආදරෙයි….”
ඔහු ඇයගෙ කම්මුලට හාදුවක් තබා එතැනින් නික්ම ගියේ ඉකිබිදුම මහා හැඩුමක් වීමට පෙරය.
පසු දින ඔහු තම පාසල වෙනුවෙන් ක්රීඩාපිටියට ගියේ ‘මේක අනිවාර්යයෙන් දිනන්නම ඕන’ යැයි තම අනෙක් සඟයින්ට අඟවමිනි. කෙසේ හෝ දිනයේ දිවා විවේකය වන විට ප්රතිවාදී කණ්ඩායමේ ක්රීඩකයින් ඉතාමත් අඩු ලකුණු සංඛ්යාවකට දවා ගන්නා ලද ඔවුන් තම දෙවන ඉනිම ඇරඹුවේය. කවින්ද තම පිත්ත ක්රියාත්මක කලේ ඉතාමත් වේගවත් විස්මිත ලෙසය. පන්දුවාර තුනකින් අර්ධ ශතකය ලබා ගත් ඔහු මීලඟ පන්දුවාර දහය තුල ශතක සීමාව ඉක්මවීය. 'බෝලය ගැන විතරක් හිතන්න. බෝලය ගැන විතරක් හිතන්න.' ඔහුගේ දෙසවන තුල ඇගේ හඬ දෝංකාර දුන්නේය. ඔහු තම හාදුව තැබූ පිත්ත අහසට යොමු කොට හාදුවක් පා කොට යැවුවේය. සවස තේ පානය සඳහා ඉනිම අත්හිටුවන විට ඔහු නැවත ලකුණු 160 ක් වාර්ථා කොට තිබුණු අතර එය නව පාසල් වාර්ථාවක් විය. අතිදක්ෂ පන්දු බලඇණිය නිවැරදිව ක්රියාත්මක කල ඔහු ප්රතීවාදී කණ්ඩායමේ දෙවන ඉනිමද සුනු විසුනු කර දමා තරඟය ජය ගත්තේය.
එදිනට පසු දින සවස ඇදහැලුණු මහ වැස්ස මැද තම කර පිටින් සිය ආදරිය ඇගේ අවසන් සුසානය කරා ගෙන ගිය ඔහුට එදිනම රාත්රියේ තේරීම් කාරක සභාවෙන් ඔහුව 19න් පහල සංචිතයට තෝරාගත් බවට පණිවුඩයද, මාතර රාහුලයට පැමිණෙන ලෙස ආරාධනාවද ලැබුණි.
දෑස් හැර බැලූ කවින්දට පෙනුනේ හිරු උදාව ආරම්භව ඇති ආකාරයයි. ඔහු වාඩිවී සිටි ස්ථානයෙන් නැගිට පඩිපෙල බැස ගොස් ක්රීඩාංගණය මැදට ගියේය. උදෑසන හමා ආ සීතල සුලඟකින් ඔහුගේ ඇගේ හිරිගඩු පිපෙද්දී ඔහු ක්රීඩාංගණය මැද දණින් වැටී තම ආචාරය ලබා දුන්නේය. ‘ස්තූතියි මට දුන්න හැමදේටම. ජීවිතේ හැම දේම ආරම්භ කරපු මෙතැනට වගේම මගේ ජීවිතේ කඳුලු පිහිදාපු දේවතාවියටත් ස්තූතියි.’ තම හදවතින් ආචාරය පුද දී නැවත යාමට හැරෙනවාත් සමඟම ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබුණි. ඒ තිසරගෙනි.
‘මචං. උඹ හෙට ෆ්රී නේද? මමයි ෆැමිලි එකයි එනවා උඹලගේ ගෙවල් පැත්තේ. කමක් නෑනේ. උඹ අතුරුදහන් වෙන්නේ නෑනේ.’
ඔහු සිනහසෙමින් එය පිලිතුරු යැවීය. ‘වරෙන් වරෙන්. මම පරණ යාලුවෙක් බලන්න ආවා. මම උඹට ගෙදර ලොකේෂන් එක එවන්නම්.’
නැවත රථය වෙත යන අතරතුර මුණ ගැසුණු විදුහල්පතිතුමා සමඟ කෙටි පිලිසදරක නිරත වූ ඔහු නැවත එන පොරොන්දුව මත ඔහුගෙන් සමුගත්තේය. වාහනය නැවත මාර්ගයට දැමූ සිල්වා,
“දැන් කොහේද සර් යන්නේ?”
“ගෙදර යමු සිල්වා. ගෙදර යමු. මම ලොකේෂන් දැම්මා.”
“හරි සර්” කියමින් තම රථය ඉදිරියට ධාවනය කරන්නට පටන් ගත්තේය. පිටුපසින් නොපෙනී යන තම පාසල දෙස බලා ඉද ඔහු ආසනයට බරවී හිදගත්තේ පසුබිමින් වාදනය වන ගීතයට සම වැදෙමිනි.
වේදනා කන්ද ආදරේ උසට ආකහේ ගෑවුනා
ආකහේ ඉඳන් හීන දෙව්දුවක් තුන් හිතට ලං උනා
තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු ඈ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුනා
ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා
නොකීයම, නොකීයම යන්න ගියා
ආදරෙන් කී කතා අද ගොලු වෙලා, අද ගොලු වෙලා
නොකීයම, නොකීයම යන්න ගියා
හා හා යන්න ගියා හා... යන්න ගියා
Kasun Sapumohotti
(සියලුම නම්, ගම්, ස්ථාන හා සිද්ධීන් මනඃකල්පිතය.)