මට ඔහුව මුණගැහුණේ අප මුණ ගැසෙන්නට යොදාගෙන සිටි කොළඹ ගාලු මුවදොර බැරකූඩා අවහන්හලේදීය. ඔහු තුලින් නිහඬ නමුත්, දෑස් තුලින් මහා බරක් රැගෙන යන කෙනෙකු දිස්විය. මා යන විටත් ඔහු විස්කි වීදුරුවක් ඇණවුම් කර තිබූ අතර ඔහු කතාව පටන් ගන්නට පෙර ගාලු මුවදොර පිටියට එපිටින් පෙනෙනා මහ සයුර දෙස බලා විශාල සුසුමක් හෙලුවේ මහා බරක් බිමින් තබන්නාක් වැනි හැඟීමකිනි." මල්ලි, මම උබට කතාවක් කියන්නම්, හැබැයි උබ ඒක මේ විදිහටම කොහේ හරි කවදහරි ලියපන්. ඒක මහා ලස්සනට සරසන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙයන්. මොකද මේක එහෙම ලස්සන කතාවක් නෙවෙයි. ඒක ඇත්තටම මගේ ජීවිතේ කොටසක් වෙලා තිබුන දෙයක්."

මෙතැන් සිට මා අකුරු කරන්නේ ඔහු විසින් ඔහුගේම වචන වලින් කියූ, ඔහුගේ කතාවයි.
මට ඒ ආරාධනාව ලැබෙන කොට අවුරුදු 30 උනා විතරයි.
මම ඉගෙන ගත්ත යුනි එකේ මගේ ඩිපාර්ට්මන්ට් එකෙන් මට ලියුමක් ආවා. එයාලට ඕනි වෙලා තිබුනේ කෝපරේට් සෙක්ටර් එකෙන් සාර්ථක වුනු ආදි සිසුන් ලවා නව සිසුන්ට කතා කරන්න වගේම, ඒකෙන් එයාලට බලාපොරොත්තුවක් වගේම, එයාලට කරන්න පුලුවන් දේවල් අසීමිතයි කියලා එයාලට පෙන්නලා දෙන්න. ඒක මට ලොකු ගෞරවයක් උනා. ඒක නිසාම මම මගේ හොඳම දේවල් වලින් සැරසුනා. මම මේවගේ දේවල් ඒ කාලේ කරපු නිසා මම මටම කියා ගත්තේ මේක තවත් කතාවක් වගේම, අවසානයේ අත්පුඩි ගහන මිනිස්සුන්ගෙන් පිරුණු තවත් කාමරක් වෙයි කියලා. එත් ඒ සේරම වැරදියි කියලා තේරුනේ මම එයාව දකිනකම් විතරයි.
එයාගේ නම ෆාතිමා. එයා මාව දකින්නත් කලින්ම මම එයාව දැක්කා. එයා හිටියේ රෙජිස්ට්රේශන් ටේබල් එක ලඟට වෙලා අතේ ක්ලිප් බෝඩ් එකක් තියාගෙන. එයා එහාට මෙහාට ගියේ එයාට ලොකු වගකීම් ගොඩක් තිබුන කෙනෙක් වගේ. සුදු පාට හිජාබ් එකකින් සැරසිලා හිටපු එයාගේ මූණ හැම තිස්සේම හිනා වෙලා තිබුනා. ඒ හිනාවට මුලු මූණම සම්බන්ධ වෙලා හිටපු නිසා එයා එතන හුඟක් කැපී පෙනුනා කියුවොත් මම වැරදි නැහැ.
එයාට ඒ වෙනකොට වයස අවුරුදු විසි දෙකක් විතර වෙන්න ඇති. තුන්වන වසරේ ශිෂ්යාවක් විදිහට එයා හිටියේ උත්සව කමිටුවේ වගකිවයුතු සාමාජිකාවක් විදිහට. එයා මා දැකලා මගේ ලඟට ආවේ ඒ ලස්සන හිනාවත් එක්ක,
"I think you must be the Mr. Sujith from Meridian Holdings right. I'm Fathima. Thank You for Coming Sir." (මම හිතන්නේ ඔයා මෙරිඩියන් හෝල්ඩින්ග්ස් වල මිස්ටර් සුජිත් වෙන්න ඕනි, මම ෆාතිමා. අද ආවාට ගොඩක් ස්තූතියි සර්.")
එයා ඉතා විනීතව, සරලව, විවෘතව සහ විශාල විශ්වාසයක් ඇති තැනැත්තියක ලෙස කතාකර ගමන් එයාව හඳුන්වාදුන්නා.
Yes that’s me, Fathima. Nice to meeting you. Thank you for inviting me. (ඔව් ඒ මම තමයි, ෆාතිමා. හමුවීම සතුටක් වගේම, ආරාධනා කලාට බොහෝම ස්තූතියි.) ඇත්තෙන්ම මම ඊට වඩා කියන්න හිටියත් මට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි.
එයා සිය වතාවක් විතර පුරුදු උනා වගේ, වැඩසටහන පුරාවටම මට හුඟක් උදව් කලා. මම වාඩිවෙන්න ඕනි කොතනද, මම මගේ කතාව කරන්න ඕනි කොයි වෙලාවටද, වගේම මගේ කතාව අතරතුර මට බොන්න වතුර පවා එයා ගෙනල්ලා තිබ්බා. එක වෙලාවක හදිසියේ මගේ මයික් එක කතාව මැදදී නතර වෙද්දී ඒ මයික් එක වෙනුවට තවත් මයික් එකක් එයාගේ අතේ තිබුනා. වැඩසටහන අවසානයේ මම මට උගන්වපු ලෙක්චර්ස්ලා එක්ක කතා කරමින් ඉන්න විටත් එයා එයාගේ යාලුවන් එක්ක ඊට ටිකක් එහායින් එයාගේ යාලුවෝ එක්ක කතා කරමින් සිනහවෙමින් ඡායාරූප ගනිමින් හිටියා. ඒක නිකන් එයා ඉන්න හැම තැනක්ම ආලෝකමත් වෙලා වගේ දෙයක්. ඒත් ඒක එයා හිතලා කරන දෙයක් නෙවේ. ඒක ඉබේම වෙන දෙයක් වගේ කියලයි මට හිතුනේ.
වැඩසටහනෙන් පස්සේ මම ඒ කාලේ මතයන් එක්ක ඒ ලඟ තිබුනු අඹ ගස්
හෙවනේ කොන්ක්රීට් මේසයට බර වෙලා කැම්පස් එක දිහා බලාගෙන හිටියා. මම ෆර්ස්ට් ඉයර් එකේම එතැන වාඩි වෙලා දැක්ක කැම්පස් එකට වඩා හුඟක් වෙනස් කැම්පස් එකක් දකින කොට ඒ අතීතේ මතක් වෙලා පොඩි වේදනාවක් හිත පුර ගියා. මට පිටිපස්සෙන් ඇහුණු අඩි සද්දයක් නිසා මම හැරිලා බලන කොට එයා මගේ ලඟ හිටගෙන හිටියා.
"ඔයා මෙහෙ ඉගෙන ගත්තද?" ඇය අනෙක් පස තිබූ අසුනේ වාඩිවෙන ගමන් ඇසුවේ නොදන්න නිසාම නෙවේ. ඇය ඒ ගැන දැන සිටියත් අප අතරේ කතාවට ආරම්භයක් ගන්න ඕනි නිසා කියලා මට හිතුනේ.
"හ්ම්ම්ම්ම්...ඔව්,දැනට අවුරුදු පහකට හයකට විතර කලින් වගේ. මම මෙතන ඉදන් තනියම ෆර්ස්ට් ඉයර් එකේදී කෑම කෑවා. ඒ කාලේ කැම්පස් එක මීට වඩා හුඟක් වෙනස්.”
"තනියම?"
"ඔව්...මම ඒකාලේ මෙහෙම නෙවේ. හරිම ලැජ්ජ කොල්ලෙක්." මම සිනහ වෙමින් කීවාය.
ඇයද සිනහ වෙමින්, "මමත් මට කල්පනා කරන්න ඕනි උනාම සමහර වෙලාවට මෙතට එනවා. " පැවසුවාය.
එතැනට මගේ යහලුවෙක් නමුත් දැන් එහි සේවය කරනා කෙනෙක් ආපු නිසා ඇය මගෙන් සමුගත්තත් ඒ කතාව මට තාමත් අද ඊයේ වගේ මතකයි. අපි එදා අපේ මොබයිල් නම්බර්ස් මාරු කරගත්තා. උත්සවයෙන් පස්සේ මම ආපහු එන ගමනේදී එයාගෙන් පණිවිඩයක් ඇවිත් තිබුනා: Hope the drive back was okay. It was nice meeting you. (පරිස්සමින් ආපහු යන්න ඇති කියලා හිතනවා. ඔයාව හමුවීම සතුටක්). මම කාර් එක අයිනට කරලා නවත්තලා ඒක හතර පාරක් කියෙව්වා. අපි කතා කරන්න පටන් ගත්තේ එහෙමයි.
මුලදී Good Morning වලින් පටන් ගත්ත ඒවා හෙමින් හෙමින් ඉස්සරහට ගියා. එයා ඉකෝන් වගේම පුරාවිද්යාවට මාර කැමතියි. මමත් ඉතිහාසෙට කැමති නිසා අපි දෙන්නා අපි කියවපු ආර්ටිකල්ස් මාරු කරගත්තා. මම reply කරනවා. එයා අනිත් පැත්තට reply කරනවා. සමහර දවස් වල අපි රෑ වෙනකම් කතා කළා, අපේ පවුල් ගැන, අපි බය වෙන දේවල් ගැන, අපි යන්න කැමතිම තැන් ගැන.
එයා එයාගේ තාත්තා ගැන මට කිව්වා, ඔහු පුත්තලමේ ඉන්න ජනප්රිය ගුරුවරයෙක්, එයාට ඕනේ උනේ ෆාතිමාට MBBS උගන්වන්න උනත් ෆාතිමා management තෝර ගත්තේ ඒකෙන් එයාට වෙනසක් කරන්න පුලුවන් කියලා හිතපු නිසා. එයාගේ ෆර්ස්ට් සෙමෙස්ටර් එකේ රිසාල්ට් දැකලා එයා බෝඩිමේ තනියම ඇඩුව කියලා එයා මට කියුවා. මොකද එයාට ඕන උනේ වෙන කාටවත් එයා ගැන ඔප්පු කරන්න නෙවේ, එයාටම එයා ගැන තිබ්බ විශ්වාසය ඔප්පු කරගන්න.
මමත් එයාට කිව්වා මගේ අම්මා ගැන. තාමත් එයා හැම පෝයකටම සිල් ගන්න යන හැටි. හැම වෙලාවකම මට සෙත් පතන්න බෝධි පූජා තිබ්බ හැටි, වගේම හැම කෙනෙක්ටම කරුණාව දක්වන්න උගන්වපු හැටි මම එයාට කියුවා. අපි අපි ගැන හුඟක් කතා කලා.
අපි මුණගැහිලා මාස තුනකට පස්සේ එක හැන්දෑවක, එයා එයාගේ research team එකත් එක්ක කොළඹ archive එකට ආවා. මගේ ඔෆිස් එකත් ඒ ලඟම තිබුන නිසා එයාලා එයාලගේ වැඩ ඉවර වුනාට පස්සේ එයාලට මම විහාර මහා දේවී පාර්ක් එක ලඟ restaurant එකක evening tea එකකට invite කරා. ටික වෙලාවකින් එක එක්කෙනා සමු අරන් යද්දි , ඉර බැහැගෙන යන හවස විහාරමහාදේවි පාර්ක් එක ළඟ නිහඬ පාරක් ලඟ අපි දෙන්නා විතරක් ඉතුරු වුනා.
එයා ඒ ලඟ වවලා තිබුනු බෝගන්විලා ගස් ලඟ නතර වුනා.
"හරි ලස්සනයි," එයා කිව්වා.
"හ්ම්ම්ම් ඔව්," මම කිව්වා. ඒත් මම බලන් හිටියේ ගස් දිහා නෙවේ. එයා දිහායි.
ඇය හැරිලා මගේ දිහා බැලුවා. අපේ ඇස් හමුවුනත් අපි ඇස් අහකට ගත්තේ නැහැ. තත්තපරයක්, දෙකක් තුනක් විතර ලෝකය නතර වෙලා තිබුනා වගේ.
එයා එයාගේ ඇස් පහලට යොමු කරලා එයාගේ සපත්තු දෙස බලාගෙන, "මම හිතන්නේ අපි ආපහු යන්න ඕනි." කිව්වා.
"හ්ම්ම්ම්ම්ම් ඔව්," මම ආපහු කිව්වා.
අපි නිහඬවම ආපහු ඇවිදගෙන ගියා. ඒක හිතේ තියෙන දේ කොහොමද කියන්නේ කියලා දෙන්නටම හිතාගන්න බැරුව හිත හිත ගියපු නිහඬ ගමනක්.
මට දැනෙන දේ මොකක්ද කියලා සති ගණනාවක් තිස්සේ මම දැනගෙන හිටියා. ඒ පළවෙනි හිනහවේ ඉදන්ම මම ඒ ගැන දැනගෙන හිටියා. ඒත් ඒ වගේම මම කව්ද කියලත්, ඇය කවුද කියලත් අපි දෙන්නම දැනගෙන හිටියා.
මම හැම පුර පසළොස්වක පොහොයකම පන්සලට යන මහනුවර බෞද්ධ පවුලක කොල්ලෙක්. අවට සිද්දවෙන සියල්ලම බලාගෙන ඉන්න, හැම දෙයක්ම සංසන්දනය කරන, හැමදෙයක් ගැනම හැමෝම කතාකරන, තමන් කරන පොඩි දෙයක් පවා පවුලට බලපාන, සමාජයක් ඇතුලේ ඉන්න පවුලක ලමයෙක්. අනිත් පැත්තෙන් එයා, තමන්ගෙ ඇදහිල්ල, යාච්ඤාව, වගේම විවිධ නීති රීතී එක්ක හැඩගැසුණු පුත්තලමේ මුස්ලිම් පවුලක කෙල්ලෙක්.
මේ ලංකාව මල්ලි. අපි අපේ රටේ හැම මනුස්සයෙක්ටම ආදරෙයි. ඒත් අපි ජීවත් වෙන්නේ අපේ මිනිස්සුම build කරගත්ත වටපිටාවක්. එතනින් එහාට ගිහින් කරන හැම දේම වැරදියි කියලා හිතන සමාජෙක. අපිට වුනෙත් ඒකම තමයි මල්ලි. අපේ පවුල්වලට අපිට කලින් ආරංචි ගිහින් තිබ්බා. එතනින් එහාට සිද්ධ වුනු දේවල් මල්ලිට හිතාගන්න පුළුවන් ඇතිනේ.
මාසයකට විතර පස්සේ එක ඉරිදා දවසක උදේ එයා මට කතා කරා. ඒ යාලුවෙක්ගේ නම්බර් එකකින්. නම්බර් එක එයාගේ නොවුනත් එයා වචනයක් කියන්නත් කලින්ම මම එයාව අදුර ගත්තා.
"Can we meet? Just once more,"(එකම එක සැරේකට විතරක් අපි හම්බුවෙමුද?) එයා ඇහුවා.
කැම්පස් එක ලඟ තියෙන පොඩි බැරිස්ටා එකේදී අපි හම්බුවුනා. මම යනකොටත් එයා ඇවිත් හිටියේ. එයා අපි දෙන්නාටම කොෆි ඕඩර් කරලයි තිබුනේ. එයා හරිම මහන්සි පාටකින් හිටියේ. එයාගේ ඇස් යට කළු වෙලා තිබුනා නිදිමරලාම. කල්පනා කරලා තෙහෙට්ටුවෙච්ච ඒ මූනෙන් වෙනදා තියෙන ඒ හිනහව මැකිලා ගිහින් තිබ්බා. අපි දෙන්නට දෙන්නා කතා නොකර ටික වෙලාවක් වාඩි වෙලා හිටියා.
"මම අම්මට කතා කලා." අන්තිමේදී ඇය කියුවා.
මම අම්මා කියුවේ මොනාද කියලා අහන්න ගියේ නැහැ. මොකද ඒක මොනවගේ දෙයක්ද කියලා මට හිතා ගන්න පුලුවන් වුනු නිසා.
"එයා මොනවත් නරක දෙයක් කිව්වේ නැහැ, ඒත්... එයා ඇඩුවා. ඒක ඊටත් වඩා නරකයි." ඇය නිහඬවම කිව්වා.
මම මගේ කොෆි එක දිහා බැලුවා. “හ්ම්ම්ම්ම් මගේ අම්මත්..... එයා මම කතා කරන්නත් කලින්ම ඇඩුවා.”
ෆාතිමා එයාගේ තොල් එකට තද කර ගෙන ජනේලෙන් ඉවත බලාගෙන හිටියා. එයා ආපහු මගේ දිහා බලන කොට ඒ බෝල ඇස් කදුලු වලින් පිරිලයි තිබුනේ. ඒත් එයා ඇඩුවේ නැහැ. එයා එයාගේ හැගීම් පාලනය කර ගන්න දක්ෂයි.
"අපි මෙහෙම වෙයි කියලා දැනගෙන හිටියා නේද?"
"හ්ම්ම්ම්...ඔව්"
ඒ වගේ දෙයකට ‘ඔව්’ කියන එක මහ පවුකාර දෙයක් තමයි මල්ලි. තමන්ට සිද්ධවෙන ලොකුම අහිමිවීමට භයානක එකඟ වෙන එක. ඒක මහ නරක හීනයක් වගේ. ඒත් අපි දෙන්නා අපි දෙන්නටම ගරු කරා. ඒක බොරුවට කරපු රඟපෑමක් නෙවේ නිසා.
අපි තවත් පැයක් විතර එතන ඉඳගෙන පොඩි පොඩි දේවල් කිහිපයක් ගැන කතා කළා. එයාගේ සෙමෙස්ටර් exam. මම වැඩ කරනගමන් හිටපු project එක වගේ දේවල්. අපි නැගිටලා අපි අපෙන් වෙන් වෙන්න කැෆේ බැරිස්ටා එකේ දොර ලඟට ආවා. එයා එතනදී නතර වෙලා මගේ දිහාට හැරුණා.
"ඔයා හොඳ කෙනෙක්, සුජිත්" ඇය කිව්වා.
"ඔයාත් එහෙමයි, ෆාතිමා" මම කිව්වා.
එයා එයාගේ උරහිසේ තිබුනු බෑග් එක සකස් කරගෙන ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියා, නිකන් අපි දෙයක් මතක තියාගන්න බලාගෙන ඉන්නවා වගේ. ඊට පස්සේ එයා පඩිපෙල බැහැහෙන ගියා. මම එයා පාරෙන් එහාට යනකම්ම දොරගාවට වෙලා බලාගෙන හිටියා.
මම ගෙදර ගියේ කොහොමද කියලා අදටත් මට මතක නැහැ, මම අපාර්ට්මන්ට් එකේ ටයිල් පොලොවේ හාන්සි වෙලා කොච්චර වෙලාවක් හිටියද කියලවත් මට අදටත් මතක නැහැ.
ඒ අවුරුදු හයකට කලින්. මම තාමත් කැම්පස් එකට ගියාම ඒ අඹ ගස් හෙවනට වෙලා ටිකක් වෙලා ඉන්නවා. පාර්ක් එකේ බෝගන්විලා පදුර අයින් කරලා දැන්. මම කාත් එක්කවත් තරහ නැහැ මල්ලි. මගේ පවුල එක්කවත් එයාගේ පවුල එක්කවත් අපිව ඒ විදිහට වෙන්කරන්න අපිව හැඩ ගස්සපු මේ රටවත්, සංස්කෘතියවත්, සමාජයත් එක්කවත් මම තරහ නැහැ. එයාලා හතුරො නෙවේ. ඒක තමයි යථාර්ථය. එයා එයාගේ ඩිග්රිය first class එකක් එක්ක ඉවර කරා කියලා මට ආරංචි උනා. එයා මේ ලොකේ එයාගේ ඒ හිනහවත් එක්ක, ඒ හිනහවට උරුම අයත් එක්ක හොදින් ජීවත් වෙනවා ඇති කියලා මම හිතනවා.
ඔහු ඔහුගේ කතාවත් සමඟ කෝප්පයේ තිබුනු ඉතිරි විස්කි ස්වල්පයද එක හුස්මට උගුරට හලාගන්නා ලදී. කොලබ සවස එයට හැමදාම හුරුපුරුදු තදබද සමඟ ඉදිරියට යමින් තිබුණි.
ඔන්න ඕක තමයි මල්ලි මට කියන්න තියෙන කතාව. කතාව ලියවෙන විට නම්, ගම් හෝ කුමන හෝ සිදුවීමක් වෙනස් කලයුතු දැයි මා ඔහුගෙන් විසුවෙමි.
කතාව ලස්සන කරන්න යන්න එපා බං. කොහොමත් ඒක ලස්සන් කථාවක් නෙවේනේ. උඹට කැමති විදිහකට ලියපන්. ඒත් ලස්සන නැති කතා ලස්සන් කරන්න යන්න එපා.
අප තව ස්වල්ප වේලාවක් වාඩි වී කතා කරමින් සිටි අතර අවසානයේ මා ඔහුට සමුදී ගෝල්ෆේස් පිටිය දෙසට ගමන් කර අතර ගිටාරයක් අතේ තිබූ තරුණයෙකු ඔහුගේ මිතුරු මිතුරියන් සමඟ ගැයූ මා හුරුපුරුදු ගීතයක් මගේ දෙසවනට වැටුණි.
'හිමිකමක් නැති
සිහිනයක් දැක
නුඹ මාගේ යැයි නොකියම්
හිස් වසන ෆර්දාව
ඇස් වසා බැඳි දිනෙක
රාමලානයේ සඳ මියැදුණි'
Art is something which lies in the slender margin between the real and the unreal. (කලාව යනු සත්ය සහ අසත්යය අතර සිහින් මායිමක පවතින දෙයකි.)
-Chikamatsu Monzaemon
✒️Kasun Sapumohotti