ජීවිතේ කියන්නෙම බලාපොරොත්තු නොවෙන දේවල් සිද්ධ වෙන තැනක්. ඒවා ජීවිතේට අලුත් මතක එකතු කරනවා වගේම, කාලයත් එක්ක කොහේ හරි මුල්ලක හැංගිලා තිබ්බ පරණ මතක ආපහු ඇදලා අරන් ඇස් ඉස්සරහා තියනවා.
එදත් මම වෙනදා වගේම ටිකක් වේලාසන ඔෆිස් එකෙන් පිටත් වුණා. වෙසක් පෝයට කලින් දවස නිසා කොළඹ බැස්ටියන් මාවතේ හයිවේ බස් ස්ටෑන්ඩ් එකේ හෝ ගාලා සෙනඟ. මට ඕනේ වුණේ අකුරැස්ස - කොළඹ හයිවේ බස් එක ගන්න. මොකද ඉමදුවෙන් බැහැලා ගෙදර යන එක මට ලේසි නිසා. පැයකට විතර පස්සේ අමාරුවෙන් බස් එකකට නැග්ග මම, හෙඩ්සෙට් එකත් කනේ ගහගෙන සීට් එකට හේත්තු වුණේ දවසේ මහන්සිය නිවාගන්න හිතාගෙන.
බස් එක හයිවේ එකේ මැදක් හරියට එනකොට කොන්දොස්තර අන්කල් ටිකට් කඩාගෙන මගේ ළඟට ආවා.
"ඉමදුව එකයි." මම සල්ලි දික් කළා.
"පුතා, මේක අද ඉමදුවෙන් එළියට දාන්නේ නැහැනේ. පාලටුවෙන් දාන්නේ." අන්කල් කිව්වා.
"එහෙනම් ඉමදුවට යන්න ලේසිම කොහෙන් බැස්සොත්ද?" මම ඇහුවේ පොඩි අපහසුවකින්.
"අමලගොඩට ගිහින් යන්න පුළුවන්."
"හරි එහෙනම් එකක් දෙන්න."
ජීවිතේ දෙතුන් පාරක් අහලා තියෙන තැනක නමක් කිව්වත්, ඔන්න ඔහේ යනවා කියලා හිත හදාගත්තා. ඒත් මැප් එක බලනකොට මම දැක්කා පාලටුවෙන් බැහැලා, නූපෙට ගිහින් අහංගමින් බැහැලා යන එක මීට වඩා ලේසියි කියලා. ඒ නිසාම හවස 6.30ට විතර මම පාලටුවෙන් බැස්සා. එහෙම ඉඳලා මාතරට යන බස් එකකින් නූපෙට ඇවිත්, එතනින් මාතර - කොළඹ බස් එකකට නැග්ගා.
පැය භාගයක් විතර යද්දී බස් එක එකපාරටම හුරුපුරුදු ටවුමකට කිට්ටු කළා. මම හිටියේ මගේ ජීවිතෙන් ටිකෙන් ටික අමතක වෙමින් තිබ්බ, ඒත් මගේ ජීවිතේ වැඩිම අවුරුදු ගාණක් පහු කරගෙන ගියපු, මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ඒ නගරයේ.
ඒ තමයි වැලිගම.
රෑ වුණත් ඒ බස් ස්ටෑන්ඩ් එක එදා වගේම අදත් මගේ දිහා බලන් හිටියා වගේ මට දැනුණේ. කඩසාප්පු, පාරවල්, බෝඩ් ලෑලි ගොඩක් වෙනස් වෙලා තිබුණත්, ඒ පරිසරයේ තිබ්බ හැඟීම එහෙමමයි. බස් එක වැලිගමින් අද්දනවත් එක්කම, මම කාලය හරහා අවුරුදු ගාණක් පස්සට ගියා.
ශිෂ්‍යත්වය පාස්වෙලා මට ලැබුණේ තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය. ගෙදර ඉඳන් ටිකක් දුර වුණත්, විශේෂ හේතුවක් නිසා මම ඒ ඉස්කෝලෙටම ගියා. මොකද කලින් ඉස්කෝලෙන් මට අවසන් දවසේ පවා ලබා දුන්නේ ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නොවුනු නිසා. ඒ නිසාම මම හිටියේ හරිම නිශ්ශබ්ද, මගේම ලෝකෙකට කොටු වෙලා. ඉස්කෝලේදී කැපී පෙනෙන ශිෂ්‍යයෙක් නොවුණු මම, හැමතිස්සෙම පන්තියේ පිටිපස්සෙම ඩෙස්ක් එකකට වෙලා පොතක් දිහා බලන් ඉන්න පුරුදු වෙලා හිටියා. මහ ලොකු දක්ෂතා තිබ්බෙත් නැති, හුඟක් දේවල් ඉවසපු කෙනෙක් නිසාම සමහර වෙලාවට වෙන්න ඕනේ නැති දේවල්වලට පවා මට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔය විදිහට එකාකාරීව කාලය ගතවෙමින් මම දහය වසරට ආවා.
මම කලින් කිව්වේ ජීවිතේ කියන්නෙම බලාපොරොත්තු නොවෙන දේවල් සිද්ධ වෙන තැනක් කියලා. ඔන්න ඔය කාලෙදී තමයි සුදීක්ෂා මගේ ජීවිතේට එන්නේ.
මට වඩා අවුරුදු දෙකක් බාල වුණු එයා අපේ ස්කූල් වෑන් එකට ආපු මුල්ම දවස අදටත් මට මතකයි. එදා ලොකු වැස්සක්. වෑන් එකට ගොඩවුණු අලුත් ළමයි දෙතුන් දෙනා අතරේ එයත් හිටියා. කොණ්ඩේ කරල් දෙකකට ගොතලා, තෙමුණු කුඩෙත් අතින් අරන් වෑන් එකට නැග්ග එයා වාඩි වුණේ මට ඉස්සරහා සීට් එකේ. චිත්‍රපටිවල වගේ එයා දැක්ක ගමන් මගේ හිත නැවතුණේවත්, ලොකු ප්‍රේමයක් ඇති වුණේවත් නෑ. එයා තවත් එක අලුත් ළමයෙක් විතරයි.
ඒත් කාලයත් එක්ක මට තේරුණා එයා නිකම්ම නිකන් ළමයෙක් නෙවෙයි කියලා. එයා හරිම දක්ෂ, ටැලන්ටඩ් කෙල්ලෙක්. වෑන් එකේ අනිත් ළමයි එක්ක කතා කරද්දී එයාගේ කටහඬේ තිබ්බ නිදහස් බව, හිනාවෙනකොට ඇස්වල තිබ්බ දීප්තිය මම හොරෙන් බලන් හිටියා. මම වගේ නිහඬ චරිතයකට එයාගේ ඒ ක්‍රියාශීලී බව මැජික් එකක් වගේ වුණා.
සති ගාණක් යනකම් අපි වචනයක්වත් කතා කළේ නෑ. ඒත් දවසක්...
වෑන් එකේ පිටිපස්සේ සීට් එක කියන්නේ මගේම ලෝකයක්. එදා වෑන් එකට නැග්ග අලුත් ළමයි දෙතුන් දෙනා අතරේ හිටපු සුදීක්ෂා, ඊළඟ දවස් කිහිපය පුරාවටම වාඩි වුණේ මට ඉස්සරහා සීට් එකේ. අපි අතර කිසිම කතාවක් තිබුණේ නැහැ. මම වෙනදා වගේම බෑග් එකෙන් පොතක් අරන් කියවන්න පටන් ගත්තා. මම ඒ කාලේ පිස්සුවෙන් වගේ කියෙව්වේ චන්දන මෙන්ඩිස් මහත්මයාගේ ෂර් ලොක් හෝම්ස් පරිවර්තන. එදා මගේ අතේ තිබුණේ 'බිහිසුණු නිම්නය' පොත.
වෑන් එක ගැස්සිලා ඉස්සරහට ඇදෙද්දී, එකපාරටම ඉස්සරහා සීට් එකේ හිටපු සුදීක්ෂා පිටිපස්සට හැරුණා. මම දැක්කා එයාගේ ඇස් කෙළින්ම තියෙන්නේ මගේ මූණ දිහා නෙවෙයි, මගේ අතේ තියෙන පොත දිහා කියලා.
"ඔයා ෂර් ලොක් හෝම්ස් කියවනවද?"
ඒක තමයි එයා මට කියපු මුල්ම වචන ටික. ඒ හඬේ තිබුණේ පුදුමයකට වඩා, තමන්ගේම කෙනෙක් දැක්කා වගේ හුරුපුරුදුකමක්. මම ටිකක් ගැස්සිලා පොතෙන් ඇස් ඉස්සුවා.
"ඔව්... මම ආසම පොත් සෙට් එක." මම යන්තම් හිනාවෙලා කිව්වා.
එයාගේ මූණට ලොකු හිනාවක් ආවා. කම්මුල් වල ගැහෙන ඒ පුංචි වළ ගැහෙන ලස්සන මම මුල්ම වතාවට දැක්කේ එදා. "මමත් මාර ආසයි! මම 'සුනඛ ශාපය' කියවලා තියෙනවා. ඒකේ අර මඩ ගොහොරුව ගැන කියන තැන් වලට මම හරිම බයයි. ඔයා ඒක කියවලා තියෙනවද?"
වචන ගලපාගන්න අමාරු, නිහඬ ළමයෙක් වුණු මට, ඒ මොහොතේ කතා කරන්න මාතෘකාවක් ලැබුණා.
"ඒක තමයි මම කියවපු පලවෙනි පොත. මම දෙපාරක්ම කියෙව්වා. ඊළඟට 'ලෝහිත පරීක්ෂණය' කියවන්න. ඒක ඊටත් වඩා ලස්සනයි." මම කිව්වේ ලොකු උද්‍යෝගයකින්.
"මට ඒ පොත දෙන්න පුළුවන්ද? මම ගාව තියෙනවා 'සිව් රහස් සලකුණ'. මම ඒක හෙට ගේන්නම්. අපි මාරු කරගමු." එයා කිව්වේ ඇස් දෙකත් ලොකු කරගෙන.
ඒ පුංචි කතාබහ මගේ ඒකාකාරී ජීවිතේ ලොකු වෙනසක් කළා. පහුවදා ඉඳන් එයා වාඩි වුණේ මට ඉස්සරහා සීට් එකේ නෙවෙයි, මගේ ළඟින්ම තියෙන හිස් අසුනේ. අපි පොත් මාරු කරගත්තා. හෝම්ස්ගේ තර්+කනය, වොට්සන්ගේ විශ්වාසවන්තකම ගැන අපි දිගින් දිගටම කතා කළා. මුලදී පොත්වලට සීමා වුණු අපේ කතාබහ, ටිකෙන් ටික අපේ ජීවිත, ඉස්කෝලේ වැඩ, පවුලේ විස්තර, හීන දක්වා දුරදිග ගියා.
කාලයත් එක්ක අපි දෙන්නා අතරේ තිබුණේ වචනවලින් කියන්න බැරි තරමේ ලොකු බැඳීමක්. ඒක චිත්‍රපටිවල වගේ එකපාරටම මල් වැහි වැහැලා, සින්දු කියන ජාතියේ ආදරයක් නෙවෙයි. ඒක හරිම නිහඬ, ඒත් හරිම ගැඹුරු බැඳීමක්.
දවසක් එයා මට දුන්න 'රතුවත හැදි කත' පොත ඇතුළේ කොළ කෑල්ලක් තිබුණා. "අයියේ, හෝම්ස් වගේ හැමදේම තර්+කයෙන් විසඳන්න බැරි දේවල් ලෝකේ තියෙනවා නේද? මට දැන් වෑන් එකේ එන වෙලාව එනකම් ඉවසිල්ලක් නෑ."
ඒ කොළ කෑල්ල දැක්කම මගේ පපුව ගැහෙන්න ගත්ත වේගය අදටත් මට මතකයි. මම ඒකට උත්තර ලිව්වේ ඊළඟට එයාට දුන්න පොතේ පිටුවක් අස්සේ. "සමහර දේවල් තර්+කෙන් විසඳන්න ගියොත් ඒවයේ තියෙන ලස්සන නැති වෙනවා සුදී... මාත් බලන් ඉන්නේ ඉස්කෝලේ ඇරෙනකම්."
අපි කවදාවත් මූණට 'මම ඔයාට ආදරෙයි' කියලා කියාගත්තේ නැහැ. ඒත් වෑන් එක වංගුවක් ගනිද්දී එයාගේ උරහිස මගේ ඇඟේ දැවටෙනකොට එයා අහකට නොයා එහෙමම හිටියම, මගේ අතේ තිබුණු පෑන එයාගේ ඇඟිලි තුඩු වලින් අරන් එයාගේ පොතේ කුරුටු ගානකොට, කවුළුවෙන් එන හුළඟට එයාගේ කොණ්ඩේ අවුල් වෙද්දී මම ඒ දිහා හොරෙන් බලන් ඉද්දි එයා ලැජ්ජාවෙන් බිම බලාගන්නකොට... ඒ හැමදේම ඇතුළේ ලොකු ආදරයක් තිබුණා. කාටවත්ම නොතේරෙන්න, වෑන් එකේ මාමාටවත්, අනිත් ළමයින්ටවත් සැකයක් නොහිතෙන්න අපි අපේ ලෝකෙක ජීවත් වුණා.
උදේට ඉස්කෝලෙට යන්න මම බලන් හිටියේ මහා ලොකු බලාපොරොත්තුවකින්. ඈතින් වෑන් එක එනකොටම මම දන්නවා එයා පිටිපස්සේ සීට් එකේ කවුළුවෙන් ඔලුව දාලා මම දිහා බලන් ඉන්නවා කියලා. මම නැග්ග ගමන් මගේ අතට එයාගේ අතින් පොඩි ටොෆියක් හරි, අලුතින් ගෙනාපු පොතක් හරි ලැබෙනවා. මගේ පාළු ජීවිතේට වසන්තය ඇවිත් තිබුණා. මම සාමාන්‍ය පෙළ පන්තියට යද්දී, මට ඕනේ වුණේ හොඳට විභාගය පාස් වෙලා, කවදාහරි දවසක සුදීක්ෂාට ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න.
ඒත් යථාර්ථය කියන්නේ අපි හිතන තරම් සුන්දර දෙයක් නෙවෙයි. මම දහය වසර අග භාගයට එද්දී, විභාගෙට තව තිබුණේ මාස කිහිපයයි. මම ටිකක් පාඩම් වැඩ වලට අවධානය දුන්නා. ඒත් මම කවදාවත් අපේ කතාබහ අඩු කළේ නැහැ. ඒත්... සුදීක්ෂා වෙනස් වෙන්න පටන් ගත්තා.
මුලින්ම වෙනස් වුණේ අපේ පොත් හුවමාරුව. "අද මම පොතක් ගෙනාවේ නෑ අයියේ... කියවන්න කම්මැලියි වගේ." එයා දවසක් කිව්වා. මම ඒක සාමාන්‍ය දෙයක් විදිහට හිතුවා.
ඊටපස්සේ එයා වෑන් එකේ මගේ ළඟින් වාඩි වෙන එක මඟෑරියා. "අද මම අර නෙත්මිලා එක්ක ඉස්සරහා වාඩිවෙලා යන්නම් අයියේ, එයාලා එක්ක පොඩි වැඩක් කතා කරන්න තියෙනවා." මුල් දවස්වල එහෙම කිව්වත්, පස්සේ පස්සේ එයා පුරුද්දක් විදිහටම ඉස්සරහා සීට් එකට වෙලා යාළුවොත් එක්ක හයියෙන් හිනා වෙවී යන්න පටන් ගත්තා. පිටිපස්සේ සීට් එකේ මම ආයෙමත් තනි වුණා. මම දිහා හැරිලාවත් බැලුවේ නැති තරම්.
මට මේක දරාගන්න අමාරු වුණා. මොකක් හරි වැරැද්දක් මගේ අතින් වෙලාද? ගෙදරින් මොනවා හරි දැනගෙනද? මගේ හිත ඇතුළේ ප්‍රශ්න කෝටියක් වැඩ කළා. මට ඉවසාගෙන ඉන්න බැරිම තැන, දවසක් ඉස්කෝලේ ඇරිලා වෑන් එකට එන අතරමඟදී මම එයාව නැවැත්තුවා. එතන කවුරුවත් හිටියේ නැහැ.
"සුදී... පොඩ්ඩක් ඉන්නකෝ." මම කතා කළේ හරිම අමාරුවෙන්. එයා නැවතුණා. ඒත් මගේ මූණ දිහා බැලුවේ නැහැ. බිම බලාගෙනම හිටියා.
"මොකද වෙලා තියෙන්නේ? ඇයි මේ දවස්වල මාව මඟඅරින්නේ? මගේ අතින් මොකක් හරි වරදක් වුණාද සුදී?"
එයා අතේ තිබුණු ක්ලියර් බෑග් එක පපුවට තුරුළු කරගෙන ලොකු සුසුමක් හෙළුවා. ඊටපස්සේ කෙළින්ම මගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තරහවක් තිබුණේ නැහැ, ඒත් මම හොයපු ඒ ආදරණීය දීප්තියත් තිබුණේ නැහැ. ඒ ඇස් හරිම හිස්.
"ඔයාගේ අතින් කිසි වරදක් වුණේ නෑ අයියේ..." එයා හරිම සන්සුන්ව කිව්වා. ඒ සන්සුන්කම මාව තවත් බය කළා.
"එහෙනම් ඇයි? ගෙදරින් මොනවා හරි ප්‍රශ්නයක්ද? කවුරුහරි අපේ ගැන මොනවා හරි කියලද? මට කියන්න සුදී, මම..."
"නෑ අයියේ, එහෙම මුකුත් නෑ." එයා මගේ කතාව මැදින් පැන්නා. "මට... මට තේරෙන්නේ නෑ කොහොම කියන්නද කියලා. ඒත්... මට දැන් ඉස්සර වගේ දැනෙන්නේ නෑ."
ඒ වචන ටික මගේ කන් අස්සේ දෝංකාර දෙන්න ගත්තා. මට තේරුණේ නැහැ. "ඒ කියන්නේ?"
"ඒ කියන්නේ... අපි ගොඩක් වෙනස් අයියේ. අපි ආදරේ කරනවා කියලා හිතුවට, ඇත්තටම අපිට එහෙම ලොකු හැඟීමක් තිබුණද කියලත් මට දැන් සැකයි. මට... මගේ හිත වෙනස් වෙලා. මට දැන් මේක ඕනේ නෑ වගේ දැනෙනවා. මට ඉස්සරහට යාළුවෝ එක්ක සාමාන්‍ය විදිහට ඉන්න ඕනේ. මට සමාවෙන්න."
මට ඕනේ වුණා කෑගහන්න. 'එහෙම කොහොමද එකපාරටම හිත වෙනස් වෙන්නේ?' කියලා අහන්න. ෂර් ලොක් හෝම්ස්ට ලෝකේ ඕනෙම අමාරු ප්‍රශ්නයක් තර්+කයෙන් විසඳන්න පුළුවන් වුණාට, මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන විදිහ ගැන කිසිම පොතක ලියවිලා තිබුණේ නැහැ. ගෙදරින් විරුද්ධ වුණා නම්, වෙන කෙනෙක් හිටියා නම් මට ඒකට විරුද්ධව මොනවා හරි කරන්න තිබුණා. ඒත් 'හිත වෙනස් වුණා' කියන එකට මම කොහොමද තර්+ක කරන්නේ? ඒක හරියට හුළඟ අල්ලගන්න හදනවා වගේ වැඩක්.
"ඒත් සුදී... අපි කොච්චර දේවල් කතා කළාද... ඔයාට එහෙම ලේසියෙන් මේක අමතක කරන්න පුළුවන්ද?" මගේ කටහඬ වෙව්ලුවා. මගේ ඇස්වලට කඳුළු පිරුණා.
"මට ඇත්තටම සමාවෙන්න අයියේ. ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ඒත් මට මේක බලෙන් කරගෙන යන්න බෑ. අපි අදින් පස්සේ මේ ගැන කතා නොකර ඉමු. ඔයා විභාගෙට වැඩ කරන්න."
එච්චරයි. එයා හැරිලා යන්න ගියා. මම ගල්ගැහිලා වගේ ඒ දිහා බලන් හිටියා. කවදාවත් ආපහු හැරිලා බැලුවේ නැහැ.
ඒ කාලේ මම කොහොම ගෙවාගත්තද කියලා මම අදටත් දන්නේ නැහැ. වෑන් එකේ පිටිපස්සේ සීට් එක මට අපායක් වුණා. මම ආයෙමත් මගේ කටුව ඇතුළටම රිංගුවා. මම මගේ මුළු දුකම, වේදනාවම හරවාගත්තේ පොත්වලට. සාමාන්‍ය පෙළ විභාගය මම පුළුවන් තරම් කැපවීමෙන් ලිව්වේ ඒ ඉස්කෝලෙන්, ඒ වෑන් එකෙන්, එයාගෙන් ගැලවෙන්න ඕනෙම නිසයි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම ගාල්ලේ මහින්ද විද්‍යාලයට තේරුණා. මම තෙලිජ්ජවිලින් අයින් වෙලා යන දවසේවත් එයා මාත් එක්ක වචනයක්වත් කතා කළේ නැහැ.
බස් එකේ හෝන් සද්දෙට මම ආයෙමත් පියවි ලෝකෙට ආවා. බස් එක වැලිගම පහුකරගෙන මිදිගම හරහා අහංගම පැත්තට ඇදෙනවා. රෑ අහසේ එක තරුවක්වත් පේන්න තිබුණේ නැහැ. පෝයට කලින් දවස වුණත් සඳ වලාකුළු වලින් වැහිලා.
ලඟදී මට අපේ පරණ යාළුවෙක්ගෙන් අහන්න ලැබුණා එයා ලඟදීම මැරි කරන්න යනවා කියලා. ඒක ඇහුවම මට ලොකු දුකක් දැනුණේ නැහැ. ඒත් අවුරුදු ගාණකට කලින් වෑන් එකේ පිටිපස්සේ සීට් එකේ මගේ උරහිසට හේත්තු වෙලා හිටපු, හෝම්ස්ගේ කතා වලට බය වුණු ඒ පුංචි කෙල්ල දැන් වෙන කෙනෙක්ගේ මනාලියක් වෙනවා කියන සිතුවිල්ල මගේ හිතේ සියුම් රිදුමක් ඇති කළා. ඒ රිදුම ආදරයක් නෙවෙයි, නැතිවුණු සුන්දර අතීතයක් ගැන තියෙන ලෝබකමක් විතරයි.
බස් එක අහංගම ටවුන් එකට කිට්ටු කළා. තාත්තා මාව ගන්න ඇවිත් ඉන්නවා කියලා කෝල් කරලා තිබුණ නිසා මම බෑග් එකත් අරන් දොර ගාවට ගියා. බස් එකෙන් බැහැලා පාර පනිද්දී, ටවුමේ කඩේකින් දාලා තිබුණු සින්දුවක් මාව ඒ තැනම හිර කළා. ඒ ඝෝෂාකාරී නගරය මැද, වාහන වල සද්ද අස්සෙන් මට ඒ වචන ඇහුණේ හරියට මගේම හිත ඇතුළෙන් ඇහෙනවා වගේ.
විදුලිය සේ යලි ඇවිදින්..
මට පිටුපා නුඹ ගියදා..
මට දැනුනා සද අහසේ නෑ කියා...
මධුරස ලවණත තවරලා..
මදහසකින් මුව සරසවලා.. රහසින්.. බොදවී... මැකීලා..
අදුරේ මා තනිකර.. නුඹ ගියදා..
මට දැනුනා සද අහසේ නෑ කියා..
මම ටික වෙලාවක් ඒ සින්දුව දිහා හිතින් බලන් හිටියා. එදා ඔයා මට පිටුපාලා යද්දී මටත් දැනුණේ මගේ අහසේ සඳ නැති වුණා කියලා තමයි. තර්+කයෙන් උත්තර හොයන්න බැරි මිනිස් හිත් ගැන මට මුලින්ම ඉගැන්නුවේ ඔයා. ඔයා වෙනස් වුණේ ඇයි කියලා මම අදටත් දන්නේ නැහැ. සමහරවිට ඔයා කියපු විදිහටම ඔයාගේ හිත වෙනස් වෙන්න ඇති. යථාර්ථය ඒකයි. හැම කතාවක්ම සතුටින් ඉවර වෙන්නේ නැහැ වගේම, හැම වෙන්වීමකටම මහා ලොකු හේතු තියෙන්නෙත් නැහැ.
"පුතා, යමුද?"
පාර අයිනේ බයික් එක නවත්තගෙන හිටපු තාත්තා මට කතා කළා.
"යමු තාත්තේ..." මම හිනාවෙලා බයික් එකට නැග්ගා.
බයික් එක ඉමදුව පාරට හැරෙද්දී මම අහංගම ටවුම දිහා ආයෙමත් බැලුවා. ජීවිතේ කියන්නෙම බලාපොරොත්තු නොවෙන දේවල් සිද්ධ වෙන තැනක්. ඒ සිද්ධ වෙන දේවල් අපේ ජීවිතේට මතක එකතු කරනවා. සමහර මතක අපිව රිදෙනවා, සමහර මතක අපිව හිනා ගස්සනවා. ඒත් ඒ හැමදෙයක්ම අවසානයේදී අපිට ඉතුරු කරන්නේ, ජීවත් වෙන්න පුරුදු වුණු, අලුත් මිනිහෙක්ව විතරයි. මම ගැඹුරු හුස්මක් ගත්තා. ඒ පද පේලිය මට නැවත නැවත මගේ හදවතේ රැව් දෙන්න පටන් ගත්තා.
මට දැනුනා සද අහසේ නෑ කියා.....
(සත්‍ය සිදුවීම් රාශියක් එකතුවෙන් ලියවුනකි. සියලු නම් හා සමහර සිදුවීම් මනඃකල්පිත ඒවා වේ.)
කසුන් සපුමොහොට්ටි

0 Comments