අද නම් මාරම බිසී දවසක්. උදේ ඉඳන්ම අමාත්‍යංශයේ මීටින් එකකට හිරවෙලා හිටපු නිසා ඔලුවත් එක්කම බර වෙලා තිබුණේ. මීටින් එක ඉවර වෙලා එලියට බැහැලා, කොළඹ ට්‍රැෆික් එකේ අස්සෙන් රිංගලා යන්න ත්‍රීවීල් එකකට නැග්ගා විතරයි ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. ස්ක්‍රීන් එකේ වැටුණු නම දැක්කම මට දැනුනේ පුදුමයක්.
"හෙලෝ අශේන් අයියා..."
"මල්ලි උඹ ෆ්‍රී ද?" එහා පැත්තෙන් ඇහුණේ අශේන් අයියගේ සුපුරුදු, තැන්පත් කටහඬ.
"ඔව් අයියා, මේ මීටින් එකකට ගිහින් ආපහු ඔෆිස් එකට එන ගමන්. කියන්න."
"මේ... අද අර උඹ දාපු කතාව කියෙව්වා. පට්ට හොදේ."
"අඩේ කියෙව්වද? තැන්ක්කියු අයියා." මම හිනාවෙලා කිව්වා.
ටික වෙලාවක නිශ්ශබ්දතාවයක්. ඊටපස්සේ එයා ආයෙමත් කතා කළා. කටහඬ ටිකක් බර වෙලා.
"මේ... ඒක නෙවේ... මතකද අර මම උඹට එදා කියපු අර කතාව?"
"අර අපි දෙන්නා හම්බවුණු පාන්දර කියපු කතාවද?"
"ඔව්."
"ඒක කොහොම අමතක කරන්නද අයියා. තාමත් ඔයාගේ පර්මිෂන් නැති නිසයි මම ඒක ගැන අකුරක්වත් ලියන්නේ නැත්තේ. ඒක මගේ හිතේ විතරක් තියෙන කතාවක්."
ෆෝන් එකෙන් ඇහුණේ දිග සුසුමක් පිටකරන සද්දයක්.
"හ්ම්ම්ම්.... කමක් නෑ බං. ලියපන්. හැබැයි... එක කොන්දේසියක් පිට."
"මොකක්ද අයියා?"
"ඒ තැන් මොනවද කියලා අදුර ගන්න බැරි විදිහට ලියපන්. අඩුම තරමේ එයාගේ ඉස්කෝලේ නම පවා එපා. හරිද? මට ඕනේ ඒ ආදරේ මිනිස්සුන්ට දැනෙන්න. ඒත් එයාගේ මතකය නිදහසේ තියෙන්න ඕනේ."
"හරි අයියා. ඔයා කියනවනම් මම ඒ විස්තර මුකුත් නොදා ඉන්නම්. පොරොන්දු වෙනවා."
"හරි කොල්ලො. උඹට ඒක කියන්නමයි ගත්තේ කෝල් එක. ක්ලයන්ට් කෙනෙක් මාව හම්බවෙන්න එනවා කිව්වා, රෙඩි වෙන්න ඕනි. එහෙනම් බුදු සරණයි කොල්ලෝ හොදේ. වැඩ ටික හොදට කරගනින්."
"හරි අයියා, බුදු සරණයි."
ෆෝන් එක කට් කරලා ත්‍රීවීල් එකේ සීට් එකට ඔලුව තියාගන්නකොටම, මගේ හිත 2023 අවුරුද්දේ අර මීදුම පිරුණු පාන්දරට ඉබේටම ඇදිලා ගියා.
ඒ කාලේ මම KDU එකේ ඉගෙනගන්න ගමන් හිටියේ. බෝඩිම තිබ්බෙත් කැම්පස් එකට කිට්ටුවමයි. එදා අපේ ලියෝ දිස්ත්‍රික් එකෙන් "සිංහ චාරිකා" යන දවස. කලින් කතා කරගත්ත විදිහට පාන්දර 4ට කළුතර බෝධිය ගාවට යන්න ඕනේ නිසා, මම පාන්දරම නැගිටලා ලෑස්ති වුණා. නිදිමතේම පාරට ඇවිත් කඳවල වැව රවුමට එනකොටයි මගේ ෆෝන් එකට මැසේජ් වැටෙන්න ගත්තේ. ගෲප් එකේ උන් කියනවා ගොඩක් එවුන් අද එන්නේ නැතිලු. බස් එක එන්නත් පරක්කු වෙනවලු.
"මේ මොන මඟුලක්ද උදේ පාන්දර..." කියලා හිතාගෙන පාළු පාරක කල්පනා කර කර ඉන්නවට වඩා, ඔන්න ඔහේ බෝධිය ලඟට යනවා කියලා හිතලා මම හන්දියට ආවා. සාමාන්‍යයෙන් රත්මලානේ ඉඳන් කළුතරට යන්න පැයක් විතර යනවනේ. ඉතින් ආපු බස් එකකට නැග්ගා. ඒත් මම හිතුවා වැරදියි. පාරේ කිසිම වාහනයක් නොතිබුණු පාන්දර වෙලාව නිසා, බස් එක විනාඩි විස්සකින් කළුතරටම ආවා.
මම කළුතර බෝධිය ලඟ බහිනකොට බෝධියේ ගේට්ටු පවා වහලා තිබුණේ. මුළු පරිසරයම පුදුමාකාර නිස්කලංකයි. ගඟ පැත්තෙන් එන සීතල හුළඟ ඇඟට වදිනකොට අමුතුම පාලුවක් එක්ක සනීපයක් දැනුණා. ඔන්න ඔහේ ඉන්නවා කියලා හිතලා විනාඩි පහළොවක් විස්සක් විතර ඉන්නකොට, බෝධියේ ගේට්ටු ඇරියා. ඒ කිට්ටුවම තිබ්බ නෙලුම් මල් කඩේකුත් ඇරපු නිසා, මාත් ලස්සන නෙලුම් මලක් අරගෙන ගිහින් බෝ සමිඳුට පූජා කරලා පැත්තකට වෙලා වාඩි වුණා.
තව විනාඩි කීපයක් යද්දී, ඈතින් සද්දයක් ඇහුණා. Yamaha FZ එකකින් ආපු තරුණයෙක් බයික් එක නවත්තලා, සුදු නෙලුම් මල් මිටියක් අරගෙන බෝධිය ගාවට ගියා. එයා හරිම ශ්‍රද්ධාවෙන්, වචනයකින් විස්තර කරන්න බැරි තරම් හැඟීමකින් ඒ මල් ටික පූජා කරලා මම හිටපු තැනටම ආවා.
"අ... අර මල් පූජා කලේ මල්ලිද?" එයා මගෙන් ඇහුවේ ටිකක් පුදුමයෙන් වගේ.
"ඔව් අයියා."
"අහ්... ඒක මිසක්." එයා හිනාවුණා. "මම හිතුවා කවුද මට කලින් අද මල් පූජා කරේ කියලා."
"ඇයි ඒ?" මම ඇහුවේ කුතුහලයෙන්.
"නෑ බං... දැන් අවුරුදු පහක් විතර ඉදන්, එකදිගටම මමනේ මේ බෝධියට දවසේ පළවෙනි මල පූජා කරන්නේ. ඒකයි. මල්ලි මොකද මේ පාන්දරම මෙතන?"
"මේ ලියෝ ක්ලබ් එකේ ප්‍රොජෙක්ට් එකක ට්‍රිප් එකක් යන්න කියලා අයියේ ආවේ. කොහේද මේ අපේ කට්ටිය එන්නේ හයටලුනේ."
"ඉතිං බං තාම පහ වුණෙත් නැහැනේ." එයා අතේ තිබ්බ ඔරලෝසුව බලන ගමන් කිව්වා.
"ඒකනේ අයියේ... අයියා මේ උදේම මොකද? අර මල් මිටියකුත් අරගෙන?" මම ඇහුවේ එයාගේ ඇස් වල තිබ්බ අමුතුම පාළු බවක් මට දැනුණු නිසාවෙන්.
එයා ටිකක් වෙලා ගඟ දිහා බලාගෙන හිටියා. ඊටපස්සේ ගැඹුරු හුස්මක් ගත්තා.
"ඒක ටිකක් දිග කතාවක් බං."
"අයියා කැමතිනම් කියන්න. මට පැයකටත් වැඩිය වෙලාව තියෙනවා." මම කිව්වේ ඇත්තටම ඒ කතාව අහන්න ඕන කමකින්.
"හ්ම්... එහෙනම් අපි අර බෝ හෙවණෙන් වාඩි වෙමුකෝ."
අපි බෝ මළුවේ කෙළවරක, ගඟ පේන මානයේ සෙමින් වාඩි වුණා. වටපිටාවේ කිසිම සද්දයක් නෑ. ගඟේ වතුර පාර ගලන සද්දෙයි, බෝ පත් සැලෙන සද්දෙයි විතරයි. එයා ආයෙමත් ලොකු හුස්මක් අරන් එයාගේ කතාව කියන්න පටන් ගත්තා.
"මේ සමන් දෙයියගේ ඇස් වලට පේන අන්තිම මායිම කියලා උඹ දන්නවනේ මල්ලි." අශේන් අයියා ගඟ දිහා බලාගෙනම කතාව පටන් ගත්තා. "හැමදේම පැහැදිලි උදේක අර පාලම උඩට ගිහින් බැලුවොත් සමනල කන්ද පේනවා. මේ වතුරට හාස්කම් කරන්න පුළුවන් කියලා මෙහේ මිනිස්සු විශ්වාස කරනවා. මොකද මේ කළුගංතොට කියන්නේ ජීවිත වෙනස් කරන පැත්තක්. එක දවසක් මේ කළු ගඟට සමාන්තරව ටිකක් උඩට පලයන්, එතකොට මම මේ කියන්නේ මොකක්ද කියලා උඹට තේරේවි. ඒත්... මගේ ජීවිතේ මේ තරම් වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ."
එයා මගේ දිහා බැලුවා. ඒ ඇස් වල කඳුළු තිබුණේ නෑ, හැබැයි අවුරුදු ගාණක වේදනාවක් හිරවෙලා තිබුණා.
"කළුතර හරියේ ගඟ හරහා යන්න හුඟක් පාලම් නැහැ බං. කිලෝමීටර් ගාණක් වටයක් ගිහින් යනවට වඩා, මිනිස්සු මේ ලඟක් වෙනකන් පාලම් පාරුව යූස් කරා. මගේ කතාවත් පටන් ගන්නේ අන්න ඒ පාලම් පාරුවක් නිසා. මම ඒ කාලේ වැඩ කරපු සේල්ස් කම්පැනියේ සේල්ස් හෙඩ්. ඔය ගමන් බිමන් වලට කම්පැනියෙන් මට මේ පරණ FZ බයික් එක දීලා තිබ්බා. ඒක FZ බයික් ලංකාවට ආපු අලුත. දන්නවනේ ඉතිං කොල්ලොනේ... ඇඟේ හයිය, තරුණ කම, බයික් එකේ සද්දෙත් එක්ක අමුතුම ගැම්මකින් හිටියේ."
එයා හිනා වුණා. ඒ හිනාවේ අතීතය ගැන සුන්දර මතකයක් ගෑවිලා තිබුණා.
"එයාගේ නම කාවින්ද්‍යා. එයා ඒ කාලේ උසස් පෙළ කරනවා. මට එයාව මුලින්ම හම්බවුණේ අර පාලම් පාරුව එනකන් ඉන්න තොටුපළ ලඟදි. දවසක් උදේ මම බයික් එකෙන් ටිකක් හයියෙන් ඇවිත් පාරුව ගාවම බ්‍රේක් පාරක් ගැහුවා. ඊයේ රෑ වැහැලා තිබ්බ නිසා එතන මඩ වලක්. මම බ්‍රේක් ගහනකොටම මඩ වතුර පාරක් විසිවුණා එතන හිටපු සුදු ගවුමක් ඇඳගත්ත කෙල්ලෙකුගේ ඇඟට."
අශේන් අයියා අත් දෙක එකට බැඳගෙන හිනාවුණා. "අම්මෝ මල්ලි ඒ වෙලාව... මට තාම ඇහෙනවා එයා කෑගැහපු විදිහ."
"මොකද වුණේ?" මම ඇහුවා.
"කෙල්ල හැරුණා නෙවෙයි කැරකුණා. මූණ රතු වෙලා කේන්තියෙන් පුපුරනවා.
'මොකද මනුස්සයෝ මේ? ඇස් පේන්නේ නැද්ද? පාරේ යන්න දන්නේ නැත්නම් ඔය මඟුල ගෙදර තියන් ඉන්නවා!' කියලා මුළු තොටුපළටම ඇහෙන්න බැන්නා.
මම ඉක්මනට බයික් එකෙන් බැහැලා, 'අනේ සොරි නංගි... මම දැක්කේ නෑ වලක් තියෙනවා...' කියලා කිව්වා.
'දැක්කේ නෑ? දැන් මේ ගවුම පිටින්ද මම ඉස්කෝලේ යන්නේ? මහ ලොකුවට බයික් එකක් අරන් ආවට වැඩක් නෑ මොලේ නැත්නම්. මනුස්සයෙක්ට පාරේ යන්න නෑ!'
මට කරගන්න දෙයක් නෑ. වටේම මිනිස්සු බලනවා. මම ඇත්තටම අප්සෙට් වෙලා, 'අනේ නංගි ඇත්තටම සොරි. මම හෝදලා දෙන්නම්...' කියලා කියවුණා බං කටට ආපු කලබලේට.
එයාට තවත් මල පැන්නා. 'හෝදලා දෙන්න? තමුසේ මේ ගවුම හෝදන්නද හදන්නේ? කරුණාකරලා යනවද මෙතනින් යන්න!' කියලා මට රවාගෙන එයා ආපහු හැරිලා ගෙදර යන්න ගියා. එයාට එදා ඉස්කෝලේ යන්න බැරි වුණා.
හැබැයි මල්ලි... ඒ බැණුම් අහනකොටත්, ඒ කේන්තියෙන් රතු වුණු මූණ දකිනකොටත් මට දැනුණේ අමුතුම හැඟීමක්. අර මඩ පැල්ලමත් එක්ක එයා හැරිලා යන දිහා මම කන්නාඩියෙන් බලන් හිටියේ මාරම ආසාවකින්. ඊටපස්සේ දවස්වල මම හිතාමතාම ඒ වෙලාවට තොටුපළට ගියා එයාව දකින්න."
"ඉතින් අයියේ, ආයේ කතා කළේ කොහොමද? එයා බනින්න ඇතිනේ දැක්කමත්."
"බනින්න? එයා මාව දැක්කම අහක බලාගන්නවා. හැබැයි මම කොහොමත් උදේට එතන ඉන්නවා. ඔහොම සති දෙකක් විතර ගියා. එක දවසක් උදේ පාරුව කැඩිලා. මිනිස්සු ටික දෙනයි හිටියේ. එයා අතේ තිබ්බ ඔරලෝසුව දිහා බල බල හරිම කලබලෙන් එහාටයි මෙහාටයි ඇවිදිනවා. මට තේරුණා එයාට ඉස්කෝලෙට පරක්කු වෙලා කියලා."
"ඉතින් මම හෙමිහිට බයික් එක එයා ගාවට කිට්ටු කළා. එයා මාව දැක්ක ගමන් ආයේ අහක බලාගත්තා.
'නංගි... පරක්කු වෙලා නේද?' මම හරිම පරිස්සමට ඇහුවා.
එයා මගේ දිහා බලලා ඇස් දෙක කරකවලා, 'පේනවනේ ඉතින්.' කියලා කෙටි උත්තරයක් දුන්නා.
'අද පාරුව එන්න තව පැය භාගයක්වත් යයි කිව්වා... ඉස්කෝලෙට යන්න පරක්කු වෙනවා නේද? කැමති නම් මම ගිහින් දාන්නම්.' මම ඇහුවේ හදවත ගැහෙන සද්දෙත් ඇහෙන ගමන්. මම හිතුවේ ආයේ මට කෑගහයි කියලා.
'ඕනේ නෑ. මම යන්නම්.' එයා ටිකක් සැරෙන් කිව්වා.
'මෙතනින් බස් එකක් ගන්නත් ලේසි නෑනේ. ත්‍රීවීල් එකක්වත් පේන්න නෑ. මම කන්න එන්නේ නෑ නංගි. නිකන් බොරුවට පරක්කු වෙන්න එපා. නගින්න මම ගිහින් බස්සන්නම්.'
එයා ආයෙමත් ඔරලෝසුව දිහා බැලුවා. වෙන කරන්නම දෙයක් නැති තැන මූණත් පුම්බගෙන බයික් එකට නැග්ගා. හැබැයි නැගලා, 'හැබැයි ඉස්කෝලේ ගේට්ටුව ලඟට යන්න බෑ. හන්දියෙන් බස්සන්න ඕනේ. ටීචර්ස්ලා දැක්කොත් මට ප්‍රශ්නයක් වෙනවා.' කියලා නීතියකුත් දැම්මා.
මම හිනාවෙලා, 'හරි හරි, හන්දියෙන් බස්සන්නම්කෝ' කියලා බයික් එක ස්ටාර්ට් කළා."
අශේන් අයියා ගඟ දිහා බලාගෙන හිනාවෙනවා. ඒ ඇස් වල ඒ අතීතය සජීවීව පේනවා වගේ මට දැනුණා.
"මුල් ටිකේම අපි දෙන්නා කතා කළේ නෑ බං. මට බයයි මොනවා හරි අහන්න ගිහින් එයා ආයේ බනියි කියලා. එකපාරටම පාර හරහා බල්ලෙක් පැනලා මට පාරක් බ්‍රේක් ගහන්න වුණා.
'බ්‍රේක් ගහද්දී ටිකක් පරිස්සමෙන් ගහනවා. ආයෙමත් කාගේ හරි ඇඟට මඩ විසිවෙයි.' එයා පිටිපස්සේ ඉඳන් කිව්වා. ඒ කටහඬේ කේන්තියක් නෙවෙයි, පොඩි විහිලුවක් තිබුණේ.
මට ඉබේටම හිනා ගියා. 'එදාට නම් ඇත්තටම සමාවෙන්න ඕනේ නංගි. මම හිතලා කරපු දෙයක් නෙවෙයි.'
'හ්ම්... කමක් නෑ. ම..මගේ නම කාවින්ද්‍යා.' එයා එකපාරටම කිව්වා. ඒක හරියට අයිස් කන්දක් දිය වුණා වගේ.
'මම අශේන්.'
අන්න එහෙමයි මල්ලි ඒ යාලුකම පටන් ගත්තේ. එදා හන්දියෙන් බහිනකොට එයා මට පොඩි හිනාවක් දාලා, 'තෑන්ක්ස් අශේන් අයියේ' කියලා ගියා. එදා මට දැනුණු සතුට වචන වලින් කියන්න බෑ බං."
"ඒ යාලුකම ආදරේකට පෙරලෙන්න වැඩි කාලයක් ගියේ නෑ. හැබැයි ඒ ආදරේ හරිම අහිංසකයි මල්ලි. මම එයාව ඉස්කෝලේ ලඟටම දාන්නේ නෑ. මොකද එයා යන ඉස්කෝලේ නීති හරිම තදයි. ගුරුවරු දැක්කොත් එයාට ප්‍රශ්නයක් වෙන නිසා මම හන්දියෙන් බස්සනවා. වැස්ස දවස් වලට, බයික් එකෙන් එනකොට එයා මගේ පිටට මුවා වෙලා, මගේ ජැකට් එක අස්සේ හැංගිලා එනකොට... ඒ උණුහුම, ඒ සුවඳ, මට අද වගේ මතකයි."
"සමහර සෙනසුරාදා දවස්වලට පන්ති ගිහින් එන වෙලාවට පාරු පාලම එන තොටුපළ ලඟ තියෙන ලොකු ගහ යටට වෙලා අපි පැය ගණන් කතා කරනවා. එයාට ලොකු හීන තිබුණා. කැම්පස් යන්න, ලොකු රස්සාවක් කරන්න... මම ඒ හීන වලට පාර හදන්නම් කියලා පොරොන්දු වුණා.
'අශේන් අයියේ, අපි කවදාහරි පොඩි ගෙයක් හදමු මේ ගඟ පේන මානෙන්. එතකොට අපිට හැමදාම මේ හුළඟ විඳින්න පුළුවන්.' එයා මගේ උරහිසට ඔලුව තියාගෙන, කළු ගඟේ රළ දිහා බලාගෙන කියනවා. මට හිතුණේ මේ ලෝකේ මීට වඩා ලස්සන තැනක් තවත් නෑ කියලා."
අශේන් අයියා එකපාරටම කතාව නැවැත්තුවා. බෝ කොළයකින් වැටුණු පිනි බිඳුවක් එයාගේ අත උඩට වැටුණා. ඒ පිනි බිඳුව දිහා බලාගෙන එයා ආයෙමත් කතා කරන්න පටන් ගත්තේ හුස්මක් හිරකරගෙන වගේ.
"ඒත් දෛවය කියන්නේ හරිම පුදුම දෙයක් මල්ලි... ඒක අපි හිතන විදිහට නෙවෙයි වැඩ කරන්නේ." එයාගේ කටහඬ වෙව්ලන්න ගත්තා. "උසස් පෙළ ලියලා ප්‍රතිඵල එනකන් අපි හිටියේ මාරම සතුටින්. දැන් නිදහස්නේ කියලා. ඒත් එයාට එකපාරටම නිතරම මහන්සියක් දැනෙන්න ගත්තා. ඇඟ කෙට්ටු වුණා. පපුවේ පොඩි රිදීමක් තියෙනවා කිව්වා. අපි හිතුවේ විභාගෙට පාඩම් කරලා නිදිමරපු නිසා හැදුණු ගැස්ට්‍රයිටිස් කියලා. දවසක් එයාට කලන්තේ දාලා වැටිලා, ගෙදරින් හොස්පිට්ල් ගෙනිහින් තිබුණා."
අශේන් අයියා මගේ දිහා බැලුවා. ඒ ඇස් වල තිබුණේ මහා ශෝකයක්.
"ඩොක්ටර්ස්ලා ටෙස්ට් වගයක් කරලා තිබුණා. රිපෝට්ස් ආවම... මල්ලි... ඒක ස්ටේජ් ෆෝ බ්‍රෙස්ට් කැන්සර් එකක්."
මට මොකුත් කියාගන්න බැරි වුණා. මගේ ඇඟත් හිරිවැටිලා ගියා. අර ලස්සනට ගලාගෙන ගිය කතාව එකපාරටම අඳුරු අගාධයකට වැටුණා වගේ මට දැනුණා.
"උඹට හිතාගන්න පුළුවන්ද බං... අවුරුදු දහනවයක, මල් කැකුළක් වගේ හිටපු කෙල්ලෙක්ට එහෙම දෙයක් ඇහෙද්දී දැනෙන හැඟීම? ස්ටේජ් ෆෝ කියන්නේ... ආයේ හැරීමක් නෑ කියන එක. ඒක මුළු ඇඟේම පැතිරිලා තිබුණේ.
කිමෝ කරද්දී එයාගේ ඒ ලස්සන දිග කොණ්ඩේ ගැලවිලා යද්දී... ඇස් යට කලු වෙලා, කම්මුල් වල ගැහිලා යද්දී... මම හොරෙන් කොච්චර ඇඬුවද කියලා මේ කළු ගඟ විතරයි දන්නේ. හැබැයි එයා මට කවදාවත් අඬන්න දුන්නේ නෑ.
දවසක් මම හොස්පිට්ල් එකට යනකොට එයා ඇඳේ හාන්සි වෙලා හිටියේ. මාව දැක්කම එයා හිනාවෙන්න උත්සාහ කළා.
'අශේන්...' එයාගේ කටහඬ ගොඩක් දුර්වලයි.
'ඇයි පණ?'
'ඇයි අශේන් මට මෙහෙම වුණේ? මට ඔයාව දාලා යන්න බෑනේ...' එදා නම් එයාට ඇඬුණා බං. මම එයාව බදාගෙන, 'පිස්සුද කෙල්ලේ, ඔයාට මුකුත් වෙන්නේ නෑ. අපි කොහොමහරි සනීප කරගමු' කියලා මම හිනාවුණා. ඒත් මගේ ඇතුලෙන් මම පිච්චි පිච්චි හිටියේ."
ඔහු කඳුළක් පිහදාගත්තා.
"එයා දවසක් මට එයාලගේ ගෙදරට එන්න කිව්වා. ඒ වෙනකොට එයාට ඇඳෙන් නැගිටින්නවත් පණක් තිබුණේ නෑ. මම ගෙදරට යනකොට එයාගේ අම්මයි තාත්තයි මාව දැකලා අඬන්න ගත්තා. එයා ඇඳේ ඉඳන් හිනාවෙලා මාව පෙන්නලා කිව්වා, 'අම්මේ, තාත්තේ... මේ මගේ අශේන්... මම කිව්වේ ඔයාලට එදා...' කියලා. මම එයාගේ ලඟින් වාඩි වෙලා ඒ කෙට්ටු වෙලා ගිය අත අල්ලගත්තා. ඒ අතේ තවදුරටත් අර මම බයික් එකේ යද්දී දැනුණු රස්නය තිබුණේ නෑ මල්ලි."
"එදා එයා මාව අඳුන්වලා දීලා හරියටම මාසයකට පස්සේ... එයා මේ ලෝකෙන් යන්නම ගියා බං. මාව, අර අපි හදන්න හිටපු ගෙදර හීනේ, අර ගහ යට කතා කරපු දේවල් ඔක්කොම මේ කළුගං තොටේ තනිකරලා දාලා එයා ගියා."
නිශ්ශබ්දතාවය ආයෙමත් අප අතර රජ කළා. මට කියන්න කිසිම වචනයක් මතක් වුණේ නෑ. මම නිකන්ම අහගෙන හිටියා.
"උඹ දන්නවද මල්ලි..." අශේන් අයියා ආයෙමත් කතා කළා, "එයා කැමතිම මල තමයි සුදු නෙලුම් මල. මම දවසක් ඒ මොකද කියලා ඇහුවම, එයා දුන්න උත්තරේ තමයි...
'ඔයා දන්නවද අශේන්, මඩේ ඉදන් උඩට කොච්චර නෙළුම් මල් ආවත්, සුදු නෙළුම් කියන්නේ හරිම රෙයා (rare) දෙයක්. ඒක හරිම පිරිසිදුයි. ඉතින් මමත් ඒ වගේ නිසා මම කැමතිම මල සුදු නෙළුම් මල.' කියලා.
ඒ වළ ගැහෙන කම්මුල් වලින් හිනාවෙන ගමන් එයා එහෙම කියනවා මට තාමත් මැවිලා පේනවා. පණ්ඩිත කෙල්ල..."
ඔහුගේ මූණේ ආදරණීය හිනාවක් ඇඳුනා. ඒත් ඒක ඇතුලේ තිබුණේ මහා වේදනාවක්.
"දැන් මට මගේම කියලා පොඩි කම්පැනියක් තියෙනවා බං. වාහනයක් තියෙනවා. සල්ලි තියෙනවා. ඒත්... මම තවමත් හැමදාම උදේට එයාගේ සොහොනට තියන්න සුදු නෙළුම් මල් ගන්න කළුතරට එනවා. ඒ ගමන්ම බෝ හාමුදුරුවොන්ට පළවෙනි මලත් මම පූජා කරනවා, එයා වෙනුවෙන්."
"අපේ පවුල්වල අය බං මට පිස්සු කියනවා. මැරිච්ච කෙල්ලෙක් නිසා පිස්සෙක් වෙලා කියලා බනිනවා. මට යාලුවෝ හිනාවෙනවා. වෙන කෙනෙක් බදින්නේ නැත්තේ ඇයි කියලා අහන අහන සැරේට මම බෑ කියන නිසා, සමහරු හිතන්නේ මට ලෙඩක් කියලා. ඒත් බං..."
ඔහු මගේ දිහා කෙලින්ම බැලුවා.
"...අර පාලම් පාරුව තියෙන තොටුපලේ, අපි වැස්සට හැංගුණු ඒ ගහට කතා කරන්න පුළුවන්නම්... ඒ ගහ කියාවි මම එයාගේ ඒ හිනාවට කොච්චර ආදරේ කරාද කියලා. මම එයාගෙන් ලබපු සෙනෙහස, ඒ පිරිසිදු ආදරය කොච්චරද කියලා ඒ ගහ දන්නවා. උඹලා ඔය හිනාවෙන්නේ, බනින්නේ ඒ වගේ ආදරේ කරපු කොල්ලෙක්ට කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නෑ මල්ලි. මගේ හිතේ තියෙන එයාගේ තැන වෙන කිසිම ගෑනියෙකුට දෙන්න බෑ. ඒක එච්චරයි."
අපි කළුතර බෝධිය යටට වෙලා තව ටිකක් කතා කරා. උදේ හය විතර වෙනකන්ම අපි ඒ අතීතයේ ජීවත් වුණා. ටික වෙලාවකින් ගෲප් එකේ හිටපු තෙවන් මල්ලි එතනට ආවා කියලා මැසේජ් එකක් දැක්ක නිසා මම අශේන් අයියගෙන් සමුගත්තා. එයා මගේ කරට අතක් දාලා, "පරිස්සමෙන් ගිහින් වරෙන් මල්ලි" කියලා ආපහු බයික් එකට නැගලා යන්න ගියා.
ඒ කතාව අහලා මම කොච්චර කම්පනයට පත් වුණාද කිව්වොත්, මුළු ගමන පුරාවටම මගේ ඔලුවේ වැඩ කළේ අශේන් අයියගේ ඒ කඳුළු පිරුණු ඇස් දෙකයි, අර අහිංසක කෙල්ලගේ කතාවයි විතරයි.
ඊට ටික දවසකට පස්සේ මම අපේ කවිකාර මාධ්‍යවේදියා වෙච්ච ගයාන් රාජපක්ෂ අයියගේ කවියක් ෆේස්බුක් එකේ දකිනවා. ඒ කවිය දැක්ක ගමන් මට මතක් වුණේ අශේන් අයියාව.
"මල්ලි මෙතනින් කොතනටද දාන්නේ?"
වීල් එකේ අයියාගේ කටහඬට මේ ලෝකෙට ආපු මම ගැස්සිලා ගියා. බලද්දී වීල් එක ඒ වෙනකොටත් ගාමිණී හෝල් එක ලඟට ඇවිත්. අශේන් අයියගේ කෝල් එකෙන් පස්සේ මම සම්පුර්ණයෙන්ම ඒ අතීතයට ගිහින් හිටියේ.
"මෙතනින් වමට දාන්න අයියේ..." මම කිව්වා.
ඔෆිස් එකට ඇවිත් ගමන් මහන්සි නිවාගෙන, ගොඩ ගැහිලා තිබ්බ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා මම පුටුවට හේත්තු වුණා. ඊටපස්සේ ෆෝන් එක අරගෙන, එදා මම සේව් කරගෙන හිටපු ගයාන් අයියගේ ඒ කවිය හොයාගෙන, මම ආසම ඒ කවි පේලි ටික ආයෙමත් කියවන්න පටන් ගත්තා. ඒ අකුරු අස්සේ අශේන් අයියගේ හුස්ම වැටිලා තියෙනවා වගේ මට දැනුණා.
මන විඳි සුවඳ නුඹ සිත් ඇති මල් රැගෙන
පාලම් පාරුවෙන් මහ දිය කඳ මත පදින
නැග එම් මෙගොඩ සිට එගොඩට නුඹ සිටින
කළු ගඟ දිගේ සමනොල ගිර සිට ඇදෙන
ඈ සිහි වෙලා හද දිය වී නෙතු තෙමන
පිණි කඳුලකින් තෙත් වී සුසුමන් හමන
ළය බර වැඩි සෙවනින් සිත සනසන්න
බෝ සමිඳුනේ කළුතර මැද වැඩ ඉන්න...
මම ෆෝන් එක මේසෙ උඩින් තිබ්බා. කොළඹ ඔෆිස් එක ඇතුළටත් කළුතර බෝධියෙන් එන සීතල හුළඟක් ආවා වගේ මට දැනුණා. ඒ හුළඟේ, කොහේදෝ පිපිණු සුදු නෙළුම් මලක සුවඳක් ගෑවිලා තිබුණා.
සාහිත්‍ය වනාහි සත්‍යයෙන් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ. සත්‍ය කතා කිහිපයක් නිර්+මානාත්මකව ගෙනහැර දැක්වීමකි.
කසුන් සපුමොහොට්ටි
.jpeg)
0 Comments