එදා මට හුඟක් වැඩ ගොඩකට හිරවුනු දවසක්. ඊලඟ සතියේ සම්මාන උත්සවේ, අනිද්දා
LEO කෑම්ප් එක, අද දිස්ත්‍රික් සෙක්‍රටේරියට් එකේ රැස්වීමක්. ඒක ඉවර වෙලා පහලට එනකොට මට කෝල් එකක් ආවා. ඒ වෙන කාගෙන්වත් නෙවේ මගේ විශ්ව විද්‍යාල කාලේ හොදම යාලුවෙක් උනු රිත්මි ගෙන්.
“හෙලා රිතු මොකද අපි මතක්
වෙලා”
“අඩෝ අඩෝ සපූ මේ....බලපන්කෝ
අන්තිම මැසේජ් එක දාලා තියෙන්නේ කවුද කියලා.”
“හරි හරි සුද්දා බිසී ලයිෆ්,
බිසී ලයිෆ්. ඉතිං මොකෝ දවාලේ.”
“මේ කාරණය කියන්නේ බං......අපි
මැරි කරනවා.”
“උබ විහිලුද කරන්නේ.....මම
හිතුවේ සකුනයාට තාම ගෙදරින් අවුල් කියලා. මතකනේ ඌ හමුදාවේ කියලා අන්කල් දාපු තග.”
“ඒවා ටිකක් එහෙම තමයි. ඒත්
අප්පච්චි කැමති උනා බං. හමුදාවේ කැප්ටන් කෙනෙක්නේ මගේ සුද්දා දැන්. මම උඹට තමයි මුලින්ම
ගත්තේ. උඹ එනවා නේද?”
“නැත්නම් යකෝ. මම එන්නේ
නැතුව. මේ.....”
“ඕ....”
“මම ලියන්නද එහෙනම්....”
“අපේ කතාවද?”
“නෑ මගේ කතාව.....ඔව් බං
උබේ කතාව තමයි.”
“ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.
හරි
කමක් නෑ. කොහොමත් උබ දන්නේ නැති ටික මම එවන්නම් අද රෑට."
"එල
එල කෙල්ලෙ... මම බලන් ඉන්නවා ඒ ටික එවනකන්. සකුනයටත් මාව මතක් කළා කියපන්. මගේ
හදවතින්ම උඹලා දෙන්නට සුබ පැතුවා කියපන් කොල්ලට. මම ලබන සතියේ ෆ්‍රී වුණු ගමන් උඹව
හම්බෙන්න එන්නම්." මම මුහුද දිහා බලන් පුළුල් හිනාවකින් එහෙම කිව්වා.
"අනිවාර්යයෙන්ම
සපූ... පරිස්සමින් ගෙදර පලයන්. බායි."
"බායි
බායි..."
වැඩ ටික ඉවර කරලා ඔලුව නිදහස් වෙන්නත්
එක්ක පෝර්ට් සිටිය පැත්තට ඇවිදන් යද්දී මම දැක්කා රිත්මිගෙන් ඩොකියුමන්ට් එකක් ඇවිත්
තියෙනවා. ඒක ඕපන් කරපු මම පෝට් සිටියේ මුහුදු
හුළඟට මගේ මහන්සිය ගහගෙන යන්න දීලා, ඒ
හුළඟත් එක්කම මගේ මතකයත් රිත්මිගේ කතාව අස්සේ සැරිසරන්න ඇරියා.
සපූට කෝල් එක
අරන් ඉවර වුණු ගමන් මම ෆෝන් එක පපුවට තුරුළු කරගත්තා. මගේ හිතට දැනුණේ අවුරුදු
ගාණක මහා බරක් එකපාරටම බිමින් තිබ්බා වගේ නිදහසක්. අප්පච්චිගේ හිත හැදුණා... ඔව්, අප්පච්චි
අන්තිමට මගේ සකුනට කැමති වුණා. හමුදාවේ කොල්ලෙක්ට තමන්ගේ එකම දුවව දෙන්න බෑ කියලා
ගෙදරින් ආපු ඒ මහා ඉඩෝරය දැන් ඉවර වෙලා ගිහින්.
මම ඇඳෙන් ඇලවෙලා ළඟ තිබුණු ලැප්ටොප් එක
ඔන් කළා. සපූට ලියන්න දෙන්න කලින් අපේ කතාවේ මටම විතරක් අයිති, මගේ හදවතේ ගැඹුරේම තියෙන ඒ මතකයන් ටික
මමම ආයෙත් මතක් කරගන්න ඕනේ. මම මගේ ප්ලේ ලිස්ට් එකේ උඩින්ම තියෙන සින්දුව ප්ලේ
කළා.
"වැහි
නැති දා ගිනියම්ලූ දිවාකරේ... මල් පරවී යනවාලු ඉඩෝකරේ..."
කාමරේ පුරාම ඒ
සින්දුව ඇහෙද්දි මගේ ඇස් දෙක ඉබේටම පියවුණා. මාව ආයෙමත් අරන් ගියේ අදටත් මගේ ඇඟේ
හිරිගඩු පිපෙන ඒ දවසට.
මම උසස් පෙලින් පස්සේ කේඩීයූ එකට යන්නේ රජයේ විශ්ව විද්‍යාලයකින් මාව තෝරා ගත්තේ නැති නිසා වගේම පුංචි කාලේ ඉදන්ම ආමි යුනිෆෝම් එකට තිබ්බ ආසාව නිසාමයි. ඒත් මගේ ජීවිතේ ඉරණම් කාරයා මාව එනකන් ඒකේ ඉදිවී කියලා මම හිතුවේ නැහැ.
KDU එක
කියන්නේ සාමාන්‍ය කැම්පස් එකක් වගේ නෙවෙයි, ඒක
හරියට නීතිරීති වලින් බැඳුණු වෙනමම ලෝකයක්. Day Scholar කෙනෙක්
විදිහට මම අඳින්නේ සුදු පාට ෂර්ට් එකයි, කලු
පාට ට්‍රව්සර් එකයි. අපිට උදේට කැම්පස් ඇවිත්, ලෙක්චර්ස්
ඉවර වෙලා හවසට ගෙදර යන්න නිදහසක් තිබුණත් Cadet Officers ගෙව්වේ
ඒකට හාත්පසින්ම වෙනස්, යකඩ
වගේ විනයකින් බැඳුණු ජීවිතයක්.
පාන්දරම නැගිටලා PT කරලා, දාඩිය පෙරාගෙන ග්‍රවුන්ඩ් එකේ දුවන එයාලව අපිට පේන්නේ ඈතින්. ඉර එළියට පිච්චෙන ඒ මූණු වල අපිට පේන්න තිබුණේ මහා රළු පෙනුමක්. ලෙක්චර්ස් වලට එද්දි ඇඳන් එන ඒ ලා දුබුරු පාට යුනිෆෝම් එක, කණ්ණාඩියක් වගේ දිලිසෙන බූට් දෙක, පිත්තල පටි බකල් එක... මේ හැමදේම අස්සේ කැඩෙට් කෙනෙක් කියන්නේ හැඟීම් දැනීම් නැති යකඩ මිනිහෙක් කියන එක තමයි මුල් කාලේ මගේ ඔළුවේ වැඩ කළේ. ඩේ ස්කොලර්ස්ලා වෙන අපි, කට්ටිය එක්ක හිනාවෙවී කතා කර කර යද්දි, කැඩෙට්ස්ලා ගියේ මාච් එකෙන්. එයාලට අපිත් එක්ක අනවශ්‍ය විදිහට කතා කරන්නවත්, හිනාවෙන්නවත් තහනම්. ඒ තරමටම අපි දෙගොල්ලන්ගේ ලෝක දෙක අතරේ නොපෙනෙන මහා තාප්පයක් බැඳිලා තිබුණා.
ඒත් ඒ තාප්පය කඩන් වැටුණු දවස තාමත් මගේ ඇස් ඉස්සරහා අද වගේ මැවෙනවා.
ඒ මම කේඩීයූ එකට ගිය මුල්ම මාස දෙකේ දවසක්. රත්මලානේ කට්ට අව්ව හොඳටම සැර දවසක්. මම හිටියේ ෆැකල්ටි එක පැත්තට යන පාරේ තියෙන ලොකු මාර ගහක් යටින් පරණ ලොකු පොත් වගයකුයි, ෆයිල් මිටියකුයි තුරුල් කරගෙන හනි හනිකට ඇවිදන් යන ගමන්. ඊළඟ ලෙක්චර් එක පටන් ගන්න තව තිබුණේ විනාඩි දෙකයි. කලබලේට යනකොට මගේ කකුල එතන තිබුණු පොඩි ගලක පැටලිලා මාව ඉස්සරහට විසි වුණා. මම වැටුණේ නැහැ, ඒත් මගේ අතේ තිබුණු ෆයිල් ටිකයි, පෑන් ටිකයි සේරම බිම විසිරිලා ගියා.
"අයියෝ..." මට මගේ කටින්ම කියවුණා. කට්ට අව්වේ, රත් වෙලා තියෙන තාර පාර උඩ දණහිසෙන් ඉඳගෙන මම කලබලෙන් ඒ කොළ ටික ඇහිඳින්න පටන් ගත්තා. හරියට හුළඟකුත් ආව නිසා කොළ එහෙට මෙහෙට යන්න ගත්තා. මට මාවම එපා වුණා.
එකපාරටම මට ඇහුණා ඒ සුපුරුදු සද්දේ. 'ටක්... ටක්... ටක්...' ඒ ලොකු හමුදා බූට් සපත්තු දෙකක් තාර පාරේ වදින සද්දේ. මම ඔලුව උස්සලා බැලුවේ නැහැ, මොකද මම දන්නවා කැඩෙට්ස්ලා එයාලගේ ගමන නතර කරන්නේ නෑ, එයාලා කෙළින්ම යන්න ඕනේ කියලා.
ඒත්... ඒ අඩි සද්දේ හරියටම මං ළඟින් නතර වුණා. මගේ ඇඟට උඩින් ලොකු සෙවණැල්ලක් වැටුණා.
මම එකපාරටම ඔලුව උස්සලා බැලුවා. ලා දුඹුරු පාට යුනිෆෝම් එකක් ඇඳපු, උස, කඩවසම් කොල්ලෙක් මං ඉස්සරහා හිටගෙන හිටියා. එයාගේ අත් දෙකේම නහර ඉලිප්පිලා පේන්න තිබුණා. මූණ පුරාම දාඩිය බිංදු පිරිලා. ඒත් එයාගේ ඇස්... ඒ ඇස් වල අර මම හිතාගෙන හිටපු යකඩ කැඩෙට් පෙනුම තිබුණේ නෑ. ඒ වෙනුවට ඒ ඇස් වල තිබුණේ පුදුම නිවිච්ච, කරුණාවන්ත බැල්මක්.
එයා මොකුත්ම නොකියා එක දණහිසක් බිමින් තියලා, තාර පාරට නැමිලා විසිරිලා තිබුණු මගේ නෝට්ස් ටික එකින් එක අහුලන්න ගත්තා. යුනිෆෝම් එකේ අයන් කරපු රැලි කැඩෙයි කියලවත්, බූට් එකේ ගෑවිලා තියෙන කුණු එයාගේ අතේ ගෑවෙයි කියලවත් එයා හිතුවේ නෑ.
මට හරියට හුස්ම ගන්නත් අමතක වුණා වගේ. මම බලාගෙන හිටියේ එයා දිහා. එයා කොළ ටික සේරම එකතු කරලා, පිළිවෙළකට හදලා මගේ අතට දුන්නා.
"පරිස්සමින්..."
හරිම ගැඹුරු, ඒත් මාරම සනීප හඬකින් එයා එහෙම කිව්වා. ඒ වචන දෙක ඇහෙද්දි මගේ පපුව ඇතුළේ මොකක්දෝ අමුතුම ගැස්මක් ඇති වුණා. එයා දිහා බලන් හිටපු මට "තෑන්ක්ස්" කියාගන්න මතක් වුණේ තත්පර කිහිපයකට පස්සේ.
"තෑන්ක්ස්...." මම බිම බලාගෙනම වගේ කිව්වා.
එයා හිනා වුණේ නෑ. මොකද යුනිෆෝම් එකේ ඉද්දි එයාලට එහෙම හිනාවෙන්න බෑ. ඒත් එයාගේ තොල් කොනින් පොඩි ඉඟියක් පෙනුණා, ඒක හිනාවකට වඩා ආරක්ෂිත හැඟීමක් දෙන බැල්මක්. එයා නැගිටලා ආයෙත් කෙලින් වුණා. මගේ දිහා එක පාරක් බලලා, ආයෙත් මාච් කරන ගමන් ඉස්සරහට යන්න ගියා.
'ටක්... ටක්... ටක්...'
ඒ බූට් සද්දේ ඈතට ඈතට ඇහෙද්දිත් මම ඒ මාර ගහ යටට වෙලා, තුරුළු කරගත්ත ෆයිල් මිටියත් අල්ලගෙන එයා යන දිහා බලාගෙන හිටියා.
ඒ
තමයි සකුණ... මගේ ජීවිතේට ආපු ඉරණම්කාරයා. යකඩ විනයක් අස්සේ හැංගුණු, ලෝකෙම
ආදරේ පුරවගත්ත මනුස්සයාව මම මුලින්ම දැක්කේ අන්න ඒ විදිහටයි. එදා ඒ තාර පාර උඩ
වැටුණු කොළ ටිකත් එක්කම,
මගේ
හිතත් එයාගේ ඒ දිලිසෙන බූට් දෙක ළඟම වැටුණා කියලා මට තේරුණේ ගොඩක් කල් ගියාට
පස්සෙයි.
එදා ඒ මාර ගහ යටදි දැක්කට පස්සේ, ඊළඟ දවස් කිහිපයම මගේ ඇස් හෙව්වේ ඒ උස
රූපය. හැබැයි කේඩීයූ එකේ කැඩෙට්ස්ලා සිය ගාණක් ඉන්නවා. ඔක්කොමලා අඳින්නේ එකම
යුනිෆෝම් එක, කොණ්ඩෙ කපලා තියෙන්නේ
එකම විදිහට. ඉතින් ඈතින් එනකොට කවුද කියලා අඳුරගන්න එක ලේසි නෑ. ඒත් මගේ හිත
කොහොමහරි එයාගේ ඒ ඇවිදින විදිහ, ඒ
පුළුල් උරහිස්, දුර තියාම අඳුරගන්න
පුරුදු වුණා.
දවස් දෙක තුනකට පස්සේ
මට එයාව ආයෙත් දකින්න ලැබුණේ ලයිබ්‍රරි එකේදි. කේඩීයූ ලයිබ්‍රරි එක කියන්නේ ඩේ
ස්කොලර්ස්ලටයි කැඩෙට්ස්ලටයි එකම වහලක් යට, ටිකක්
නිදහසේ හුස්ම ගන්න පුළුවන් එකම තැන කිව්වොත් හරි. එතනදි ග්‍රවුන්ඩ් එකේ තියෙන යකඩ
නීති ටිකක් ලිහිල්. මම එදා හිටියේ අසයින්මන්ට් එකකට රෙෆරන්ස් බුක් එකක් හොයමින්.
එකපාරටම ලයිබ්‍රරි
එකේ දොර ඇරුණා. කැඩෙට්ස්ලා තුන් දෙනෙක් ඇතුළට ආවා. මගේ හදවත එකපාරටම ගැස්සිලා ගියේ
ඒ මැදින් ආපු කෙනා දැකලා. ඔව්, ඒ
එයා! එදා ගිනි අව්වේ දාඩිය පෙරාගෙන හිටපු කෙනා නෙවෙයි දැන් හිටියේ. අයන් කරපු
යුනිෆෝම් එක එක්ක එයා හරිම පිළිවෙළයි. මම පොත් රාක්කයක් අස්සට වෙලා හොරෙන් එයා
දිහා බලාගෙන හිටියා.
එයා ගිහින් වාඩි වුණේ
මට ටිකක් එහායින් තිබුණු මේසෙක. මම හෙමිහිට එයාට පේන මානයෙන් ගිහින් වාඩි වුණා.
එතකොටයි මම දැක්කේ එයාගේ පපුවේ දකුණු පැත්තේ ගහලා තිබුණු ඒ ලා දුඹුරු පාට නේම්
ටැග් එක. ඒකේ කළු පාට අකුරින් ඒකේ ගහලා තිබුණා... "SAU SAKUNA".
සකුණ! ඒ නම මම හිතින්
කීප සැරයක්ම මුමුණ ගත්තා. හරිම අමුතු ගාම්භීර,
ඒ
වගේම නිදහස් බවක් ඒ නමේ තිබුණා.
එයා ලොකු පොතක් දිග
ඇරගෙන මොනවාදෝ ලියන්න ගත්තා. මම මගේ පොත දිහා බලාගෙන හිටියට මගේ ඇස් ගියේම එයා
දිහාට. එකපාරටම... කිසිම පෙර දැනුම් දීමක් නැතුව එයා එක සැරේටම ඔලුව උස්සලා මං
දිහා බැලුවා. මට මාවම අමතක වුණා. මගේ හොර බැල්ම එයාට මාට්ටු! මම කලබලෙන් අහක
බලාගන්න හැදුවත්, එයාගේ ඇස් මාව හිර
කරගෙන වගේ මට දැනුණා.
කැඩෙට් කෙනෙක් විදිහට
එයාට ලයිබ්‍රරි එක ඇතුළේ කෙල්ලෙක් එක්ක හිනාවෙන්න තියා කතා කරන්නවත් බෑ. ඒක දැඩි
දඬුවම් ලැබෙන වරදක්. ඒත් එයාගේ ඒ තියුණු ඇස් අස්සේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා
කියලා මට තේරුණා. තත්පර කිහිපයක ඒ නිහඬ බැල්මෙන් පස්සේ, එයා හෙමිහිට එයාගේ තොල් කොනින් අර එදා
වගේම පොඩි, හරිම පරිස්සම්
හිනාවක් පෑවා. ඒ හිනාව ලයිබ්‍රරි එකේ හිටපු වෙන කාටවත් පෙනුණේ නෑ, මට විතරයි. ඊට පස්සේ එයා ආයෙත් පොතට
ඔලුව පාත් කරගත්තා.
අන්න එදා තමයි සපූ මට
තේරුණේ, මේ යකඩ කටුවක් අස්සේ
හැංගිලා ඉන්න මල, මං වෙනුවෙන්ම පිපෙන්න
පටන් අරන් කියලා. කතා නොකරන ඇස් දෙකකට මෙච්චර දේවල් කියන්න පුළුවන් කියලා මම
දැනගත්තේ සකුණගෙන්.
ඒත් අපි දෙන්නගේ මේ
නිහඬ ආදරේ වචන වලට පෙරළෙන්න තව මාසයක් විතර ගියා. ඒ
කේඩීයූ එකේ අවුරුද්දේ ලස්සනම දවස... බෝල් නයිට් එක. කැම්පස් එකේ යකඩ නීති ඔක්කොම
එක රැයකට අමතක කරලා, සුරංගනා
ලෝකයකට යනවා වගේ හැඟීමක් තමයි ඒ බෝල්රූම් එක ඇතුළට යද්දි මට දැනුණේ.
මම එදා ඇඳගෙන හිටියේ තද රතු පාට, ඇඟටම හැඩවුණු ගවුමක්. මුළු ශාලාවම
ලස්සනට සරසලා, බොඳ වුණු කහ පාට
ලයිට් එළියෙන් පිරිලා තිබුණා. ඩේ ස්කොලර්ස්ලා වෙන අපි ලස්සනට හැඩවෙලා හිටියට, එදා ඒ ශාලාවේ හිටපු හැමෝගෙම ඇස් ගියේ ඒ
විශේෂ නිල ඇඳුමෙන් සැරසිලා හිටපු කැඩෙට් ඔෆිසර්ස්ලා දිහාට. සාමාන්‍යයෙන් අඳින යුනිෆෝම්
එකට වඩා ඒ නිල ඇඳුමෙන් එයාලට ලැබුණේ මහා රාජකීය පෙනුමක්.
මම යාලුවෝ එක්ක
මේසෙකට වෙලා වටපිට බලද්දි මගේ ඇස් හෙව්වේ එකම එක රූපයයි. ඒත් එයා පේන්න හිටියේ නෑ.
හිතට පොඩි දුකක් එක්ක බලාපොරොත්තු කඩවීමක් දැනෙද්දිම, බෑන්ඩ් එකෙන් හරිම ලස්සන, හෙමින් යන මියුසික් එකක් ප්ලේ කරන්න
ගත්තා. ඩාන්සින් ෆ්ලෝ එකට කපල් එකින් එක එකතු වෙද්දි, එකපාරටම මගේ පිටිපස්සෙන් ඒ සුපුරුදු
සුවඳ මාව වටකරගත්තා.
මම ගැස්සිලා පිටිපස්ස
හැරුණා.
කළු පාට කලිසමත්, කළු පාට කෝට් එකත් එක්ක ඒ උරහිස් වල බැබළෙන ලාංඡන
එක්ක සකුණ මං ඉස්සරහා හිටගෙන හිටියා. ඒ පෙනුමට මට තත්පර ගාණකට හුස්ම ගන්නත් අමතක
වුණා. වෙනදා තියෙන ඒ දරදඬු පෙනුම වෙනුවට එයාගේ මූණේ තිබුණේ මාරම ආදරණීය, ඒත් ගාම්භීර පෙනුමක්. එයා මගේ ඇස් දිහාම
බලාගෙන, හමුදා නිලධාරියෙක්ටම
ආවේණික වුණු ඒ රාජකීය විදිහට ඉස්සරහට පොඩ්ඩක් නැමිලා ආචාර කළා.
ඊටපස්සේ එයාගේ දකුණු
අත මගේ දිහාට දික් කළා.
"May
I have this dance, My Lady?"
එයාගේ ඒ ගැඹුරු කටහඬ
මගේ කන් අස්සේ දෝංකාර දුන්නා. මට වචන පිටවුණේ නෑ. මම හෙමිහිට හිනාවෙලා මගේ අත
එයාගේ අත උඩින් තිබ්බා. එයාගේ අත මාරම රස්නෙයි වගේම හයියයි. එයා මාව ඩාන්සින් ෆ්ලෝ
එකේ මැදටම එක්කගෙන ගියා.
අවට ලෝකෙම නිහඬ වුණා
වගේ මට දැනුණේ. එයාගේ එක අතක් මගේ ඉණ වටේ එතුණා. අනිත් අතින් මගේ අත තද කරලා
අල්ලගත්තා. මම මගේ අනිත් අත එයාගේ ඒ පළල් උරහිස උඩින් තිබ්බා. මියුසික් එකේ තාලෙට
අපි හෙමිහිට එහාට මෙහාට යද්දි, මගේ
හදවත ගැහෙන සද්දේ එයාට ඇහෙනවා ඇති කියලා මට හිතුණා. අපි දෙන්නා අතරේ තිබුණේ අඟල්
කිහිපයක පරතරයක් විතරයි.
"අද
ගොඩක් ලස්සනයි..."
විනාඩි ගාණක
නිහඬතාවයක් බිඳගෙන එයා එහෙම කිව්වේ මගේ ඇස් දිහාම බලාගෙන. ඒ ඇස් වල තිබුණු හැඟීම
මට මඟහරින්න පුළුවන් කමක් තිබුණේ නෑ.
"තෑන්ක්ස්..."
මම බිම බලාගෙනම රහසින් වගේ කිව්වා.
එයා ඩාන්ස් කරන ගමන්ම
මාව තවත් ටිකක් එයාට ළං කරගත්තා.
"රිතූ..."
එයා මගේ නම ඒ විදිහට
කිව්ව පළවෙනි වතාව. මම ගැස්සිලා එයාගේ මූණ දිහා බැලුවා.
"ඔයා
දන්නවද... මම කේඩීයූ එකට ආවේ මගේ ජීවිතේම මේ යුනිෆෝම් එකට ලියලා දීලා. මගේ හීනේ
වුණේ හොඳම කැඩෙට් කෙනෙක් වෙලා යුනිෆෝම් එකේ උරහිසේ තරු අඳින එක ගැන විතරයි. වෙන
කිසිම දෙයකට මගේ ලෝකේ ඉඩක් තිබුණේ නෑ."
එයා කතා කරද්දි මම
අහගෙන හිටියේ මෝහනය වුණා වගේ. එයාගේ කටහඬ වෙව්ලුවාද කියලත් මට හිතුණා.
"ඒත්...
ඒත්... එදා අර තාර පාර උඩ වැටිලා තිබුණු නෝට්ස් අහුලන්න මම පාත් වෙද්දි, මම කවදාවත් හිතුවේ නෑ මගේ හදවතත් එතනම
බිම වැටෙයි කියලා." එයා හෙමිහිට හිනා වුණා. "කවදාහරි දවසක මගේ උරහිසේ
තරු අඳින දවසට... ඒ තරු වලටත් වඩා මගේ ලෝකෙ එළිය කරන තරුව වෙන්න ඔයාට පුළුවන්ද
රිතූ?"
මට මොකුත් කියාගන්න
බැරි වුණා. මගේ ඇස් වලට කඳුළු පිරුණා. ඒ කඳුළු අස්සෙන් මම දැක්කා එයාගේ ඇස් වල
තියෙන ඒ මහා බලාපොරොත්තුව. මම වචනයක්වත් නොකියා මගේ ඔළුව එයාගේ පපුවට හේත්තු
කරගත්තා. මම උත්තරේ දුන්නේ වචන වලින් නෙවෙයි. එයාගේ ඒ වේගෙන් ගැහෙන හදවතට උඩින් මම
මගේ කම්මුල තියාගනිද්දි, එයා
මාව තවත් තදින් තුරුළු කරගත්තා.
ඒ බෝල් නයිට් එකේ, ඒ ලයිට් එළිය මැද, හැමෝගෙම ඇස් වලින් හැංගිලා අපි අපේ
ලෝකෙක තනි වුණා. ඒ තමයි අපේ කතාවේ ආරම්භය. හරියටම අවුරුදු හතකට කලින්... සකුණ මගේ
ජීවිතේට ආවේ අන්න ඒ විදිහට.
ඒ බෝල් නයිට් එකෙන් පස්සේ ගෙවුණු කාලය හරියට හීනයක් වගේ. කේඩීයූ එකේ රළු නීති අස්සේ, කාටවත්ම අහු නොවෙන්න අපි අපේ ආදරේ පරිස්සම් කළා. සකුණට නිවාඩු ලැබෙන දවස් වලට අපි කොළඹ වටේ ඇවිද්දා, ගෝල්ෆේස් එකේ බංකුවක වාඩි වෙලා මුහුදු හුළඟ වදිද්දි ගොඩක් වෙලා කතා කර කර හිටියා. කාලය හරිම ලස්සනට ගලාගෙන ගියා.
ඒත්... හැම ලස්සන කතාවකම කඳුළු පිරුණු පරිච්ඡේදයක් තියෙනවා. අපේ සුරංගනා ලෝකෙට හෙණ ගෙඩියක් පාත් වුණේ සකුණ කමිෂන් වෙලා සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කෙනෙක් විදිහට කෑම්ප් එකට යන්න ලෑස්ති වුණු කාලේ.
එදා සකුණගේ පාසින් අවුට් එක දවසේ මම එයාටත් හොරෙන් ගත්ත ලස්සන ෆොටෝ එකක් තිබුණා. එයා අසිපතත් අතේ තියාගෙන, ඒ තද කොල පාට නිල ඇඳුමෙන් හෙමිහිට හිනාවෙලා ඉන්න ඒ ෆොටෝ එක මම ප්‍රින්ට් කරලා මගේ ඩයරි එක අස්සේ හැංගුවා. මම ඒක හැමදාම රෑට නිදාගන්න කලින් බලනවා.
ඒත් එක අවාසනාවන්ත දවසක, මම ලෙක්චර්ස් ගිහින් එද්දි අප්පච්චි හිටියේ සාලේ පුටුවක වාඩිවෙලා. එයාගේ මූණ රතු වෙලා, හරියට පුපුරන්න යන ගිනි කන්දක් වගේ. මම දැක්කා අප්පච්චි ඉදිරිපිට තියෙන වීදුරු මේසේ උඩ මගේ ඩයරි එක... ඒක උඩ අර ෆොටෝ එක! මගේ පපුව හෝස් ගාලා පත්තු වෙලා ගියා. කකුල් දෙක පණ නැති වුණා.
"අ....අ.....අප්පච්චි..." මම බය වෙලා කතා කළා.
"කවුද මේ?" අප්පච්චිගේ කටහඬ මුළු ගෙදරම දෙදරන්න තරම් සද්දෙයි. එයා කවදාවත් මට එහෙම කෑගහලා තිබුණේ නෑ.
"මේ... මේ... ස....ස...සකුණ..." මම ගොත ගැහුවා.
"මම ඇහුවේ නම නෙවෙයි රිත්මි! කවුද මේ හමුදාකාරයා? උඹ කේඩීයූ ගියේ ඉගෙනගන්නද නැත්නම් මේ හමුදාවල ඉන්න එවුන් එක්ක යාලු වෙන්නද? ආ........" අප්පච්චි ෆොටෝ එක අරන් බිමට විසි කළා.
"අ...අ...අ..ප්පච්චි එ...එයා හ..හරි හොඳ කෙ...කෙනෙක්. එයා ලෙ...ලෙ..ලෙෆ්ටිනන්ට් කෙනෙක්..." මම අඬාගෙනම ෆොටෝ එක අහුලගන්න පාත් වුණා.
"මට වැඩක් නෑ මිනිහා ලෙෆ්ටිනන්ට්ද, ජෙනරල්ද කියලා!" අප්පච්චි කෑගැහුවා. "උඹ හිතුවද මම මගේ එකම දුවව, මේ....මේ....මේ..... ගෙදර හැදිච්ච එකම මල, හමුදාවේ මිනිහෙකුට දීලා හැමදාම බයෙන් මැරී මැරී ඉන්න කැමති වෙයි කියලා? උ.....උ.....උඹ දන්නවද ඔය රස්සාවේ හැටි? අද ඉන්නවා, හෙට නෑ. උඹට කවදාහරි තනිවෙන්නද ඕනේ?ආ.....කියනවා"
"අ.....අ.....අ...නේ....අ...අ...අ...ප්පච්චි එහෙම කියන්න එපා!" මම කෑගහලා ඇඬුවා.
"මම කියන දේ අහන්න රිත්මි..." අප්පච්චිගේ කටහඬ ටිකක් බාල වුණත්, ඒකේ තිබුණු දැඩි බව වෙනස් වුණේ නෑ. "ඔය සම්බන්දේ මෙතනින් ඉවරයි. මම කැමති නෑ මගේ දුව කවදාහරි දවසක ඔය යකඩ ගොඩවල් අස්සේ ජීවිතේ හොයනවා බලන්න. ආයේ ඔය මිනිහා ගැන කතාවක් මේ ගෙදර ඇහෙන්න බැහැ!"
එදා රෑ මම කොට්ටෙට මුහුණ ඔබාගෙන කොච්චර ඇඬුවද කියනවා නම් මගේ ඇස් දෙක ඉදිමිලා තිබුණේ. ඊට පහුවදා ඉඳන් අප්පච්චි මගේ ෆෝන් එකට රෙස්ට්‍රික්ෂන්ස් දැම්මා. මම යන එන තැන් ගැන හොයන්න ගත්තා. ගෙදර ඇතුළේ මහා අමුතු නිහඬ බවක්, හිරගෙයක් වගේ හැඟීමක් ඇති වුණා.
මම යන්තම් සකුණට කෝල් එකක් අරන් මේ විස්තරේ කියද්දි, මම හිතුවේ එයා කලබල වෙයි, තරහ ගනීවි කියලා. ඒත් එයා හිටියේ හරිම නිවිලා.
"රිතූ... අඬන්න එපා මගේ මැණික. අප්පච්චිට ඔයා ගැන බයක් දැනෙන එක සාධාරණයි. ඒක මගේ රස්සාවේ එකේ හැටි. ඒත් මම ඔයාව අතාරින්නේ නෑ. කොච්චර කල් ගියත් මම ඔයාගේ අප්පච්චිට ඔප්පු කරලා පෙන්වනවා මට ඔයාව සතුටින් තියන්න පුළුවන් කියලා. එතකන් අපි මේක ඉවසමු."
අන්න
ඒ දවසේ ඉඳන් තමයි සපූ,
අපේ
කතාවේ ඉඩෝරය පටන් ගත්තේ. උඹ දන්නවනේ
සකුණගේ හිත හරි හයියයි,
ඒත්
මම හිටියේ ගෙදරින් එන පීඩනයයි, එයා ළඟ නැති පාළුවයි මැද හිරවෙලා, හරියට
වතුර නැතුව පරවෙන්න යන මලක් වගේ. කතා කරන්න විදිහක් නෑ, දකින්න
විදිහක් නෑ. ඊටත් වඩා හිතට වද දුන්නේ, මේ ප්‍රශ්න අස්සේම එයාට
සාම සාධක මෙහෙයුමකට රට යන්න ඕඩර් එකක් ආපු එක...
සාම සාධක මෙහෙයුමට යන්න කලින් දවසේ මට
එයාව හරියට දැකගන්නවත් ලැබුණේ නෑ. ඒත් එයා යන්න කලින් මගේ යාලුවෙක් අතේ මට පොඩි
ලියුම් කෑල්ලක් එවලා තිබුණා. ඒකේ තිබුණේ මෙච්චරයි...
"මම
යනවා මගේ රිතූ... මේ යන්නේ අපේ හීන හැබෑ කරගන්න. අප්පච්චි කියපු දේවලුත් හරි. මම
මේ රටින් පිටවෙලා ගිහින් හරි මගේ ආදරේ වගේම මගේ වගකීමත් ඔප්පු කරලා පෙන්නන්නම්.
මාව විශ්වාස කරන්න. පරිස්සමින් ඉන්න... - ඔයාගේ සකුණ"
ඒ අවුරුදු දෙක...
හරියට අර සින්දුවේ කියනවා වගේම මහා ඉඩෝරයක් සපූ. දවස් හත්සීය තිහක් මම ගෙව්වේ පණ
ගැහෙන බයෙන්. සාම සාධක හමුදාවලට එල්ල වෙන ඇටෑක් ගැන ප්‍රවෘත්තිවල යද්දි මගේ පපුව
හෝස් ගාලා පත්තු වෙනවා. කලාතුරකින් හොරෙන් හම්බුවෙන විනාඩි පහක හයක කෝල් එකක් තමයි
මාව ජීවත් කෙරෙව්වේ. ඒ කෝල් එකේදිත් එයා ඇහුවේම "අප්පච්චි, අම්මා සනීපෙන්ද? ඔයා හොඳින් ඉන්නවද?" කියන එක විතරයි. කිසිම දවසක එයා
අප්පච්චි ගැන තරහකින්වත්, කලකිරීමකින්වත්
කතා කළේ නෑ.
ඒත් මේ හැමදේම දිහා
අහක බලාගෙන වගේ, හැබැයි හරිම සීරුවෙන්
බලාගෙන හිටපු කෙනෙක් හිටියා. ඒ තමයි අපේ අප්පච්චි.
මම කෑම කන එක අඩු කළා, මගේ මූණේ තිබුණු හිනාව මැකිලා ගියා. මම
හිටියේ හරියට පණ නැති රොබෝ කෙනෙක් වගේ. ගෙදර හැමෝම එක්ක සතුටින් හිනාවෙලා හිටපු
අප්පච්චිගේ 'එකම මල' දවසින් දවස පරවෙලා යනවා අප්පච්චිට
පෙනුණා. ඒ වගේම, සකුණ රට ගියාට
පස්සෙත් මම වෙන කිසිම කෙනෙක් දිහා නොබලා, ඒ
ආදරේම බදාගෙන ඉන්න විදිහ අප්පච්චිට තේරුම් යන්න ඇති.
දවසක් හවස මම කාමරේට
වෙලා අර පරණ ෆොටෝ එක දිහා බලාගෙන ඉද්දි අප්පච්චි කාමරේට ආවා. මම කලබලෙන් ෆොටෝ එක
හංගන්න හැදුවත් අප්පච්චි මගේ අතින් ඇල්ලුවා.
"ඕක
හංගන්න එපා දුවේ..." අප්පච්චිගේ කටහඬ පුදුම විදිහට නිවිලා තිබුණා. අප්පච්චි
මගේ ඔළුව අතගාන ගමන් හෙල්ලි හෙල්ලි තිබුණු මගේ කඳුළු පිරුණු ඇස් දිහා බැලුවා.
"මම
හිතුවේ කාලයත් එක්ක ඔයාට ඔය කොල්ලව අමතක වෙයි කියලා. ඒත් ඔයා දවසින් දවස මැරෙනවා
බලන් ඉන්න මට බෑ දෝණි. අනික ඔච්චර දුර රටක,
ජීවිතේ
පරදුවට තියලා ඉන්න ගමන් පවා, මිනිහා
ඔයාව අමතක කළේ නෑ කියන්නේ... එයාට මගේ මලව පරිස්සම් කරන්න පුළුවන්. කවදද පුතා
ලංකාවට එන්නේ?"
මම අදහාගන්න බැරුව
අප්පච්චි දිහා බැලුවා. "ත....ත...තව...
තව මාස තු....තු...තුනකින් අප්පච්චි..." මම ඉකි ගහන ගමන් කිව්වා.
"එයා
පරිස්සමින් ආපුදෙන්කෝ... අපි කතා කරමු." එහෙම කියලා අප්පච්චි කාමරෙන් යද්දි
මට දැනුණේ මහා හිරගෙදරකින් මාව නිදහස් කළා වගේ හැඟීමක්.
එදායින් පස්සේ ඒ
ගෙවුණු මාස තුන මම ඇඟිලි ගැන්නේ හරියට අවුරුදු ගාණක් වගේ. අපේ දවස් හත්සීය තිහක ඒ මහා
ඉඩෝරය ඉවර වෙමින් තිබුණා.
අන්තිමට ඒ දවස උදා
වුණා. සකුණ ලංකාවට ආවා. එයා කෑම්ප් එකේ වැඩ සේරම ඉවර කරලා මාව බලන්න කෙළින්ම ආවේ
අපේ ගෙදරට. මම කාමරේ දොර රෙද්ද අස්සෙන්, හදවත
ගැහෙන සද්දේ අහගෙන බලාගෙන හිටියා.
අප්පච්චි මිදුලටම
ගිහින් එයාව පිළිගත්තා. අවුරුදු දෙකක කාන්තාර අව්වට පිච්චිලා එයාගේ මූණේ තිබුණේ
මහා දරදඬු, ඒත් කඩවසම් පෙනුමක්.
සකුණ ගේ ඇතුළට ඇවිත් අප්පච්චිට, අම්මට වැන්දා.
"කොහොමද
අංකල්? සනීපෙන් හිටියා නේද?" සකුණ ඇහුවේ හරිම සැහැල්ලුවෙන්, ඒත් ගෞරවයෙන්.
"මම
නම් හොඳින් හිටියා පුතා. පරිස්සමින් ආපු එක ලොකු දෙයක්... වාඩිවෙන්නකෝ."
අප්පච්චිගේ කටහඬේ ඉස්සර තිබුණු ඒ සැර ගතිය දැන් ගෑවිලාවත් නෑ.
සකුණ වාඩිවෙන්නේ
නැතුව අප්පච්චි දිහා හිනාවෙලා බැලුවා.
"මම
යන්න කලින් කිව්වා නේද අංකල්, මම
ආයෙත් එන්නේ හැමදේම හරියට විසඳගෙන කියලා. මගේ ජීවිතේටත් වඩා මම මගේ රටේ නමත්, මගේ ආදරෙත් පරිස්සම් කළා."
අප්පච්චි හෙමීට ඔළුව
වැනුවා. "ඔව් පුතා... මට ඒක දැන් තේරෙනවා. උඹ ඔච්චර දුර ගිහිල්ලත් මේකිව අමතක
කළේ නෑනේ. මගේ කෙල්ලත් උඹ එනකන් පිස්සුවෙන් වගේ හිටියේ. මට දැන් විශ්වාසයි උඹට මගේ
දුවව බලාගන්න පුළුවන් කියලා."
එතකොටම සකුණගේ මූණට
ආඩම්බර හිනාවක් ආවා. "තව
පොඩි සතුටු ආරංචියක් තියෙනවා අංකල්..." සකුණ එහෙම කියලා හයියෙන් හුස්මක්
ගත්තා. "අංකල් එදා බැනලා පැන්නුවේ ලෙෆ්ටිනන්ට් සකුණටනේ... හැබැයි අද අංකල්
ඉස්සරහා ඉන්නේ ලෙෆ්ටිනන්ට් සකුණ නෙවෙයි. කැප්ටන්
සකුණ! මට ප්‍රොමෝෂන් එක
හම්බුණා අංකල්."
ඒ වචන ටික ඇහෙද්දි
මගේ පපුව ආඩම්බරකමට පිම්බිලා ගියා. මගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණේ මටත්
නොදැනිමයි.
අප්පච්චි එකපාරටම
හයියෙන් හිනාවෙලා ගිහින් සකුණගේ උරහිසට තට්ටුවක් දැම්මා. "අන්න නියම කොල්ලෝ! මට ආඩම්බරයි පුතා...
දැන් ඉතින් ඔය කාමරේ අස්සේ හැංගිලා අඬන කෙල්ලට ගිහින් කතා කරපන්කෝ. ඒකි දැන්
පැලෙන්න අඬනවා ඇති."
අප්පච්චි එහෙම
කියද්දිම සකුණ කාමරේ පැත්තට හැරුණා. මට තවත් එතන හැංගිලා ඉන්න ඉවසීමක් තිබුණේ නෑ.
මම දුවගෙන ගිහින් කෙලින්ම එයාගේ පපුවට තුරුල් වුණා. අප්පච්චි එතන හිටියා කියන
එකවත් මට ඒ වෙලාවේ මතක නෑ. ඒ අවුරුදු දෙකක දුක,
වේදනාව, බලාපොරොත්තුව... හැමදේම කඳුළු වෙලා
එයාගේ පපුව හරිය තෙත් කළා.
"මම
ආවා මැණික... මම ආවා..." එයා මාව තද කරලා බදාගන්න ගමන් කනට කරලා රහසින්
කිව්වා. අපි දෙන්නම ඇස් පිල්ලම් නොගහා බලන්
හිටපු ඒ මොහොත, මගේ කඳුළු පිහදාන
ගමන් එයා මට ආදරේ කියන්නේ මොකක්ද කියලා කනට කරලා රහස්
කියපු ඒ මොහොත... ඒක තමයි සපූ මගේ ජීවිතේ මම ලබපු සුන්දරම ජයග්‍රහණය. මහා ඉඩෝරයක්
අවසානයේ අපේ ආදරේ මල් පිපුණේ අන්න එහෙමයි.
මම දන්නේ නැහැ සපූ උබ මේක කොහොම ලස්සන කරාවිද මේක එහෙම් පිටින්ම දාවිද කියලා. ඒත්
මිනිස්සු දැනගනිවී ඒ
හමුදා ඇදුම ඇතුලේ ඉන්න කෙනයි, මමයි අතරේ තියෙන බැඳීම කොච්චර ගැඹුරුද කියලා...
කතාව කියවගෙන ගියපු මම ලොකු හුස්මක් ගත්තා. එහෙනම් උන් දෙන්නා කොහොම හරි එයාලගේ ලෝකේ
ජය ගත්තා. මම ආපහු බෝඩිමට එන්න නැගිටින කොට ඈතින් මට ඒ සිංදුවම ඇහුණා.
“නොහඬන්
ප්‍රියාවේ ඉඩෝරේ නිමාවීලා ගියා
මේ වාලුකාවේ හඬාවී වලාකුල් ඈ නියා
පෙම් වර්ෂාවේ තෙමාවී නෙතේ කඳුලැල් පිහා
නිල් මල් සිනාසී බලාවී නෙත් මානෙන් ඈ තියා”
සාහිත්‍ය වනාහි සත්‍යයෙන් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට
අයත් වේ. සත්‍ය කතා කිහිපයක් නිර්මානාත්මකව ගෙනහැර දැක්වීමක් පමණි.
Kasun Sapumohotti
.png)
0 Comments