බටුගෙදර කදුළු කතාව



 අපේ ලංකාව ශ්‍රි ලංකාව ක්‍රි.පූ. හතරවන සියවසේ ඉදන්ම සෙරන්ඩිප් දිවයින, රත්නදීපය ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් වෙලා තිබුනේ ප්‍රධාන වශයෙන්ම එක දෙයකට. ඒ ලොව අනර්ඝතම මැණික් හමුවන රාජ්‍යයක් විදිහට.  ඉතිහාසය හාරා අවුස්සලා බලන කොට ග්‍රීක රෝම වෙලදුන් පවා  ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මැණික් මිලදී ගන්නය කියලා පැහැදිලිවම ඔප්පු වෙනවා. පුරාතන රජ කාලයේ  රත්නපුරය කියලා අපි වර්තමානයේ හදුන්වන නගරය වෙනුවට පිහිටා තිබුනේ බටුගෙදර කියන නගරය. ඒ කාලයේ දැන්කාලයේ වගේ මහා මාර්ග නොතිබි යුගයක් නිසා ගංගා හරහා ප්‍රවාහනය ඉතාමත් ප්‍රචලිතව පැවතුන බව අපිට ඉතිහාසයෙන් සාක්ෂි දිග හරින්න පුලුවන්. වර්තමාන රත්නපුරය ආශ්‍රිතව හමුවන මැණික් වෙලදාම සිදු වුනේ මේ කියනා බටුගෙදර ගම වගේම රත්නපුරය හරහා ගලා යන කළු ගඟේ පැවතියා වූ බටුගෙදර තොටුපල ආශ්‍රිතව බව ඉතිහාසඥයන් හුඟදෙනෙක් මත පල කරලා තියෙනවා. මේ විදිහට මැණික් වලට ඒකාලයේ වගේම මේ කාලයේත් ප්‍රසිද්ධ බටුගෙදර වර්ථමානයේ ප්‍රසිද්ධ වෙනින් කාරණාවකට. ඒ තමයි ගංවතුරයි.

 

බටුගෙදර ගම පිහිටලා තියෙන්නේ කළු ගඟට වගේම වේ ගගට මායිම් වෙලා රත්නපුර නගරයේ ඉදන් පොඩි දුරකින්. සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම් සක්‍රිය වෙනවත් එක්කම අප්‍රේල් මාසයේ අග විතර ඉදන් රත්නපුරේට වහින වැස්සෙන් එන ගංවතුර රත්නපුර මිනිස්සුන්ට සාමාන්‍යය දෙයක්. ඔවුන් මේ ගං වතුරට කියන්නේ දවස් 45 ගංවතුර විදිහට. සාමාන්‍යයෙන් බටුගෙදර ගම්වාසීන් වගේම ගංවතුර අවධානමට ලක් වෙන හුඟක් පිරිස් මේ කාලෙදී ඔවුනොවුන්ගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එක්ක ලඟ තියෙන පාසලකට හෝ ගමේ විහාරය වගේ උස් බිමක තියෙන ස්ථානයකට පිය නැගීම සාමාන්‍යය දෙයක්. ඒත් නාගරීකරණය වගේම කාලගුණයේ සිදුවෙන විශාල වෙනස්කම් නිසා වර්ථමානය වන විට ඔවුන්ට කවදා කොයි වෙලාවේ ගංවතුරක් පැමිණෙයි දැයි සැකයෙන් ජීවත් වෙන්න වෙලා තියෙනවා. කොටින්ම කියුවොත් මේ 2022 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ වෙනවිට පමණක් බටුගෙදර ගමේ මිනිස්සු ගංවතුර නවයකට මුහුණ දීලා තියෙනවා. ගමේ එක නැන්දා කෙනක් කියුව විදිහට ඇය තම දරුවා පාසලයෙන් රැගෙන නැවත තම නිවසට එන විට ඇයගේ නිවස ගංවතුරින් යට වෙලා. අපි ගමේ මිනිස්සුන්ගෙන් මේකට  හේතූ මොනවද කියලා අහන කොට ඔවුන් අපි එක්ක හුඟක් දේවල් කියුවා.

 

බොහෝ ගමේ උදවියට අනුව මේ විදිහට ගංවතුර කිහිපයක්ම ඇති වීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ගමේ තියෙන පාරක් කාපට් දාලා සංවර්ධනය කිරීමයි. මේ කාපට් ඇතිරීමේදී ජලය ගලා බැසීමට තිබුනු බොහෝ කාණු, බෝක්කු වගේ ඒවා වැහිලා ගිහින් වැස්සක් වැටුණූ ගමන් ජලය එක් රැස් වෙලා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙන බව තමා හුගක් ගමේ උදවියගේ මතය. ඒවගේම තවත් කතා කරපු තරුණ වයසේ පසුවෙච්ච කෙනක් වගේම ගමේ ග්‍රාම නිලධාරීතුමිය පවා කියුවේ මෙම ගංවතුර ප්‍රශ්ණයට මූලික හේතුව වෙන්නේ කුඹුරු ආශ්‍රිත ඉඩම් ගොඩ කරලා නිවාස සෑදීම කියලයි. ඒ විදිහට කුඹුරු ඉඩම් ගොඩ කිරීම නිසා වැසි ජලය ගලා යාමට ඇති මාර්ග වගේම මීට කලින් ජලය ගලා ගියපු ජල මාර්ග අවහිර වීම නිසා මේ විදිහට ගංවතුර තත්ත්වයන් ඇති වන බව ඔවුන් දෙපලම අපිට කියුවා. ඒ වගේම තවත් ගමේ මාමා කෙනෙක් අපිට කියුවේ වේ ගඟ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැනීම් කටයුතු සඳහා ලබා දීලා තියෙන නිසා ගං පතුල ඕනෑවටත් වඩා ප්‍රමාණයක් සෑරීම මේ නිතර නිතර ගංවතුරට හේතු වෙලා තියෙන බවයි.

 

මේ විදිහට ගංවතුර පැමිණි අවස්ථාවන් වල හදිසි භාවිතයට බෝට්ටු රජය වගේම රතු කුරුස සංවිධානය මඟින් ලබා දීලා තියෙන බව ගමේ රතුකුරුස සංවිධානයේ ඉහල නිලදාරියෙක් අපිට කියුවා. ඒ වගේම කුඩා කාලයේ ඉදන්ම ගංවතුරට මුහුණ දීලා ලබා ගත්ත අත්දැකීම් නිසාම ගංවතුර අවධානමකදී ක්‍රියා කල යුත්තේ කොහොමද වගේම ගංවතුර බැස ගියාට පසු ක්‍රියාකල යුත්තේ කොහොමද කියලා ගමේ උදවියට ඉතාමත් හොද වගේම පැහැදිලි දැනුමක් තියෙන බව ඔවුන් එක්ක කරපු කතා බහේදී මට වගේම මගේ සඟයන්ට හොදින් පැහැදිලි වුණා. ඒවගේම රාජ්‍ය නොවන සංවිධාන වලින් ගමේ වැසියන්ට ගංවතුර තත්ත්වයන් වලදී මෙන්ම ගංවතුරෙන් පසු ඇතිවන තත්ත්වයන් වලදීද සහය ලැබෙනවා වගේම ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ද ගමේ වැසියන්ට වටිනා සහයක් ලබා දෙනවා කියලා අපිට හොදින්ම ඔප්පු වුණා.

අපි ගමේ උදවියට පවතින ගැටලු ගැන සාකච්ඡාවේ දී පෙනී ගියපු කාරණයක් තමයි ගම්වාසීන් සතුව තිබෙනා බෝට්ටු 2003/2004 වගේ කලවල ලැබී ඇති ඒවා බවයි. ඒවායින් සමහරක් ඒවා හදිසි අවස්ථාවකදී එක වර ප්‍රයෝජනයට ගත නොහැකි තරමටම අබලන් වෙලා කියලයි ගමේ රතු කුරුස සංගමයේ සේවය කරනා තරුණ අයියා කෙනෙකු කියුවේ. ඔහු කියුවේ නව බෝට්ටු කිහිපයක් හෝ ලබා දීමට ක්‍රියා හැකිනම් එයට ඔවුන් ඉතාමත්  කෘතඥය වන බවයි. ඒ වගේම ගමේ උදවිය පුන පුනා කියුවේ මේ විදිහට නිතර නිතර ගංවතුරෙන් යට වෙන එක වලක්වගන්න රජය නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.

 

 ඒ වගේම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් තුමිය හා කල කෙටි කතා බහේදී එතුමිය සදහන් කලේ ට්‍රයිඩෑම් හා මල්වල ජලාශය කියන ව්‍යාපෘතීන් වලට කැබිනට අනුමැතිය ලැබිලා තිබුණද එම ව්‍යාපෘතීන් වලට ප්‍රාදේශීය වශයෙන් විවිධ ගැටලු පැන නැගීලා තිබෙනවාය කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ට්‍රයිඩෑම් කියන ව්‍යාපෘතියේදී නිවාස 500ක් පමණ වගේම ඒ ආශ්‍රිතව තියෙන සම්ප්‍රධායික ඉඩම් රාශියක් ජලයෙන් යටවෙනවා වගේම එසේ යටවන නිවාස වලට වන්දී වගේම නව ස්ථානයන්හි පදිංචි කිරීමේ ගැටලු පැන නඟිනවා වාගේම ඇතැම් පුද්ගලයන් තම සම්ප්‍රධායික ඉඩම් අතහැර යාමට අකැමැති වීම වගේ හේතු බලපානවා කියලා ඇය ප්‍රකාශ කලා. නමුත් මේ කියන ව්‍යාපෘතීන් වලින් බටුගෙදර වගේම රත්නපුරයට බලපාන දැඩි වගේම සුළු ගංවතුර 80%කින් පමණ වලක්වාලිය හැකි බවත් ඇය හා කල කතා බහේදී කියුවා.

 

කොහොම වුනත් මේ බටුගෙදර අසරණ මිනිස්සුන්ගේ මේ ප්‍රශ්ණයට, ඔවුන්ගේ කදුළු කතාවට කවර පාර්ශවයකින් හෝ විසදුමක් ලබා දිය හැකිනම් ඒක වර්ථමාන මෙන්ම අනාගත පරම්පරාවටද සිදුකරනා සේවයක් ලෙස මම දකිනවා වාගේම මෙම ප්‍රශ්ණයට කඩිනම් විසදුමක් ලබා දීම රජය සතු වගකීමක් මෙන්ම රජය කර මත පැටවී ඇති යුතුකමක්ද වන බව මම මතක් කරනු කැමැත්තෙමි.

 

සටහන - කසුන් සපුමොහොට්ටි (බටුගෙදර ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකින් පසු.)

ඡායාරූප අයිතිය - සමාජීය විද්‍යා දෙපාර්තමේන්තු මාධ්‍ය කණ්ඩායම

Post a Comment

0 Comments